කොරෝනා මර්දනයට අදාළ සෞඛ්‍ය විධි විධාන අනිවාර්ය කරන ගැසට් නිවේදනය අද (13) මුද්‍රණයට

කොරෝනා මර්දනයට අදාළ සෞඛ්‍ය විධි විධාන අනිවාර්ය කරන ගැසට් නිවේදනය අද (13) මුද්‍රණයට

බ්‍රැන්ඩික්ස් කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ ආසාදිතයින් 7 ක්

*********************************************

කොරෝනා මර්දනයට අදාළ සෞඛ්‍ය විධි විධාන අනිවාර්ය කරන ගැසට් නිවේදනය අද (13) මුද්‍රණයට

(13.10.2020 – 09:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනයට අදාළ සෞඛ්‍ය විධි විධාන අනිවාර්ය කරන ගැසට් නිවේදනය අද (13)මුද්‍රණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

එම ගැසට් නිවේදනයට අනුව අදාළ සෞඛ්‍ය විධි විධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයක් හෝ මාස 6 ක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම අධිකරණය මගින් ලබාදිය හැකි වනවා.

+++++++++++

++++++++++++++

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කඨින පිංකම් සම්බන්ධයෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ හැකිතාක් දුරට පුද්ගල දුරස්ථභාවය සහිතව පුද්ගලයින් 50 කට පමණක් සීමා කරමින් එම පිංකම් සිදුකරන ලෙසටයි ෴

+++++++++++++

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළාගොස් බීමතින් මාර්ගයේ වැටී සිටියදී සොයාගත් පොලිස් කොස්තාපල් රියදුරාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

මොහු දැනට නිරෝධායන ක්‍රියාවලියේ නිරත වන අතර එම කටයුතු අවසන් වූ පසු නිරෝධායන පනත යටතේ නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ෴

+++++++++++++

කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් ද කොරෝනා රෝගීන් 39 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඊයේ (12) දිනයේදී ද නව ආසාදිතයින් 22 ක් වාර්තා වී තිබෙනවා.

ඉදිරි දින 3 තුල, රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලාවල සේවය කරන පාර්ශවයන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත්, නිදහස් වෙළඳ කලාපවල නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඇඳිරි නීතිය පවත්නා ප්‍රදේශවලින් හැර සෙසු ප්‍රදේශවලින් පැමිණෙන සේවකයින්ගේ මැදිහත්වීමෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සිදුකරන බවයි.

එමෙන්ම, සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් කටුනායක – සීදුව රද්දොළුගම හා ආඩිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වන විට කොරෝනා රෝගීන් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ඊයේ (12) හඳුනාගත් ආසාදිතයින් අතර ආඩිඅම්බලම ප්‍රදේශයේ පාසලක දෙවන (2) ශ්‍රේණියේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියක ද වනවා.

ඒ අනුව අදාළ පාසලේ සිසුන් ඇතුළු ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ සිදු කළ අතර එහි වාර්තා අද(13) ලැබීමට නියමිතයි ෴

+++++++++++++++

ජනගහනයෙන් විශාල කොටසකට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ හැර ඊට එරෙහිව සමාජය තුළින් ප්‍රතිශක්තියක් ගොඩනැගීමේ උපක්‍රමය සදාචාරාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබිරයේසස් මහතා ජිනිවා නුවර ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ගාල් ප්‍රතිශක්තිය (herd immunity) ලෙස හැදින්විය හැකි එම උපක්‍රමය භාවිත කිරීම ජනතාව අනවශ්‍ය පීඩාවකට ලක් කරන අතර, ඇතැම් විට ඔවුන්ට මරණය උදාකරන බවයි.

ලොව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 3,80,00,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 10,85,000 කට අධිකයි.

ඉන් ආසාදිතයන් 80,00,000 වැඩි පිරිසක් සහ මරණ 2,20,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

මේ නිසා ඇමරිකාවේ කොරෝනා වෛරසය මර්දනය සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් ‘ගාල් ප්‍රතිශක්තිකරණය’ (herd immunity) යොදා ගන්නා බවට චෝදනා එල්ල වනවා.

එය ඇමරිකානුවන්ට මරණීය තත්ත්වයක් උදාකරන බව ඇතැම් විද්‍යාඥයන්ගේ අදහසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (12) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසයේ කවදාක හෝ එලෙස වෛරසයකට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනැගීම සඳහා මෙම උපක්‍රමය භාවිත කර නොමැති බවයි ෴

++++++++++++++++

පවතින තත්ත්වයත් සමඟ විභාග දෙපාර්තමේන්තුව මගින් මේ මස පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය කල් දමා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන විභාගය ද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු නියාමකවරුන් සඳහා වන විභාගය ඇතුළු තවත් විභාග කිහිපයක් කල් දමා තිබෙනවා ෴

+++++++++++++++++

කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළඳසැල් 6 ක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඊට ආපන ශාලා දෙකක් (2) ද ඇතුළත්.

බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ නැවතී සිටි කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර, මෙම පුද්ගලයන් අදාළ වෙළෙඳ සැල් වෙත ගොස් ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

‘හිරු ටී.වී.’ ඔස්සේ අද (13) උදෑසන විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++++++++

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීම අපහසු වුවද ඒ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන් සඳහා සේවා පහසුකම් සපයා ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.

ඒ අනුව ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත හෝ දිවයින පුරා රජයේ රෝහල්වල පිහිටා ඇති ලේ බැංකු වෙත පරිත්‍යාගශීලීන්ට රුධිරය පරිත්‍යාග කළ හැකි අතර, ඒ සඳහා https://www.nbts.life/ යන වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකියි.

***************************************

කළුතර – එතනමඩල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සමයං නැමැත්තාට අයත් බව කියන ගිනි අවියක් සමඟින් ඔහුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව රනාල ප්‍රදේශයේදී ඊයේ (12) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී ඔහු සතුව තිබී මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ කිහිපයක් ද යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

කීර්තිමත් කොන්ඩෙ – නාස්ට් සංචාරක සඟරාව මගින් 2020 වසර සඳහා ලොව විශිෂ්ඨතම ගුවන් සේවා 10 අතරට ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය ද නම් කර තිබෙනවා.

ඇමරිකානු සංචාරක සඟරාව ඒ සඳහා යොදාගෙන ඇත්තේ සිය පාඨකයන්ගේ තේරීමයි.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය 6 වන ස්ථානයට නම් කර ඇති අතර, ඕස්ට්‍රේලියානු කොන්ටාස් ගුවන් සේවය 5 වන ස්ථානයටත්, නවසීලන්ත ගුවන් සේවය 4 වන ස්ථානයටත්, කටාර් ගුවන් සේවය 3 වන ස්ථානයටත්, එමිරේට්ස් දෙවන (2) ස්ථානයට සහ සිංගප්පූරු ගුවන් සේවය ප්‍රථම (1) ස්ථානයට නම් කර තිබෙනවා ෴

***************************************

පූගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයෙකු හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමේදී මිය යාම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

පෙරේදා (11) දිනයේදී අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළවයි.

පසුව ඔහු පොලීසිය තුළ දී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා ෴

***************************************

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ( Condominium Management Authority ) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු (නියාමන) අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අධිකාරියේ බත්තරමුල්ලේ පිහිටි කාර්යාලයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කළේ.

සහාධිපත්‍ය සහතිකයක් ලබා දීම සඳහා සැකකරු විසින් පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴

*********************************************

බ්‍රැන්ඩික්ස් කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ ආසාදිතයින් 7 ක්

(13.10.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලාවක තවත් සේවක සේවිකාවන් 35 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් හමුවී ඇති ආසාදිත සංඛ්‍යාව 74 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර, කොල්ලුපිටියේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවන් 7 දෙනෙකු ද ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළා.

එසේම, කොරෝනා ආසාදිත පුද්ගලයින් 3 දෙනෙකු සංචරණය කර ඇති බව කියන බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් 6 ක් තාවකාලිකව වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.

එම ආසාදිතයින් අතරින් එක් අයෙකුගේ බිරිඳක් රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක සේවය කිරීම හේතුවෙන් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1397 ක්.

දැනට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පී.සී.ආර්. පරීක්ෂණ 24,778 ක් සිදුකර තිබෙනවා.

මේ අතර, මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ගොස් සිටි තවත් 3 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

එම රදගුරු නිවසේ ඉදිකිරීම් කරමින් සිටි වෙන්නප්පුව – ලුණුවිල පදිංචිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට මුලින් හඳුනා ගත් අතර, ඉන් පසුව එම රදගුරු නිවසේ සේවය කරමින් සිටි 35 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණා.

එසේම හලාවත – අඹකඳවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (2) වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයාගේ මව සහ සහෝදරිය මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

මීට අමතරව මාරවිල රෝහලේ කොරෝනා යැයි සැක සහිත රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අයෙකු පසුගිය දා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඔහුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කොරෝනා වෛරසය පාලනයකින් තොරව සමාජගත වී ඇති බව තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි.

+++++++++++++++

කොවිඩ්19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා නිවේදනය කළේ අද (13) සිට නැවත දැනුම් දෙන තුරු මෙලෙස සේවාදායකයින්ට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

දෙපාර්තමේන්තුව මගින් ලබා ගත යුතු සේවාවක් ඇත්නම් 1970 දුරකථන අංකය අමතන ලෙසට ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සදහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා අද (13) නියෝග කළ අතර, ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ වරෙන්තුව නිකුත් කරන ලෙස අධිකරණයේ ඉල්ලා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ පුත්තලමේ සිට මන්නාරම දක්වා ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා සැකකරුවන්ට එල්ලවී තිබෙනවා ෴

++++++++++

තමාව යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් අද (13) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

එමඟින් වැඩබලන පොලිස්පතිවරයා ඇතුලු කිහිපදෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට අනුව තීරු බදු සහන යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම යළි රජයේ සමාගම් යටතේ සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, පසුගිය කාලයේ එම සහනය යටතේ බාස්මතී සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ලබාදීම මගින් සිදුවී ඇති අක්‍රමිකතා සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6000 ක් ආනයනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සහ සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගෙන් ප්‍රශ්න කළා.

***************************************

නිසි දැනුම හා තාක්ෂණය ලබාදිමට රජය මැදිහත් වන්නේ නම් රටටම අවශ්‍ය දෙළුම් කල්පිටියෙන් ලබාදිමට හැකි බව කල්පිටිය දෙළුම් වගාකරුවන් පවසනවා.

කෙසේ නමුත් වගාකරුවන්ගේ චෝදනාව වසර ගණනාවක් පුරාවට කිසිදු බලධාරියෙකුගේ මැදිහත්වීමක් නොමැති නිසා තමන් අසරණ වී ඇති බවයි.

මේ කල්පිටිය අර්ධද්විපයේ තිහලිය , ආලංකුඩාව , ඇතුළු ප්‍රදේශ වල අක්කර 150 ක පමන භුමියක වගා කර ඇති දෙළුම් වගාවයි.

1996 වසරේ ආරම්භ කළ කල්පිටිය දෙළුම් වගාව මේ වන විට විනාශ මුඛයට ඇඳ වැටෙමින් තිබෙනවා.

නියමිත මිළක් නොමැති කමත් වගාවන්ට සිදුවන හානියත් ඇතුළු හේතු නිසා කල්පිටිය දෙළුම් ගොවීන්ගේ ජනජීවිතයටද මේ වන විට එල්ලව ඇත්තේ මහත් තර්ජනයක්.

දෙළුම් වගාව දිරි ගැන්විම වෙනුවෙන් සාර්ථක ක්‍රම වේදයන් රජ්‍ය ආයතන විසින් ක්‍රියාවේ නංවා නැති බව වගාකරුවන්ගේ තවත් චෝදනාවක්.

අසීමත මුදලක් වැයකර පිටරටින් ආහාර පාන ගෙන්වන යුගයක මේ වගාකරුවන් රජයට දෙන පණිවුඩය ඉතා වැදගත්.

කල්පිටිය අර්ධද්විපයේ දෙළුම් වගාකරුවන් ආරක්ෂා කර විදේශයට යන විනිමය රට තුළ රඳවා ගැනිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ යුතුකමක් නොවන්නේද?

***************************************

සිවලුන්ගේ තර්ජනය නිසා හොරණ, අගලවත්ත සහ කළුතර යන ගම්මානවල වැසියන් තවමත් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට මුහුණ පා තිබෙනවා.

සිවලුන් සපා කෑමේ ආසන්නතම සිදුවීම පෙරේදා (11) වාර්තා වුණේ අගලවත්ත ප්‍රදේශයෙන්.

ගතවූ මාස කිහිපය තිස්සේ අගලවත්ත, හොරණ, මතුගම සහ කළුතර ප්‍රදේශවාසීන් දැඩි බියකින් පසුවන්නේ සිවල් තර්ජනයක් හේතුවෙන්.

සිවලෙකු සපා කෑ 64 හැවිරිදි කාන්තාවක් ගැන අගලවත්ත ප්‍රදේශයෙන් ද පෙරේදා (11) වාර්තා වුණා.

පසුගිය 11 වැනිදා තේ දළු නෙලමින් සිටි මෙම කාන්තාව සිවලෙකුගේ සපා කෑමකට ලක්ව ඇති අතර, පසුව ඇයව මතුගම – වෑත්තෑව රෝහලට ඇතුළත් කෙරුණා.

සිවලෙකු විසින් තවත් සුනඛයෙකු සපා කෑම හේතුවෙන් එම සුනඛයා ඇතුළු ප්‍රදේශයේ සියලුම සුනඛයින්ට අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

හොරණ – මීමනපලාන ගම්මානයේ අවුරුද්දක් වයසැති දැරියක් ද සිවලෙකුගේ සපා කෑමට ලක්වූ පුවතක් අපට පසුගිය 09 වැනිදා වාර්තා වුණා.

දිගින් දිගටම සිවලුන් ගම්මාන වෙත කඩා වැදීම හේතුවෙන් කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද පසුවන්නේ දැඩි භිතියකින්.

ගම්වැසියන් පවසන්නේ මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර සිවලුන් ගම්මානවලට කඩා වැදීම නතර කර දෙන ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *