සරසවි ශිෂ්‍යාවකටත් කොරෝනා ආසාදනය වෙයි

සරසවි ශිෂ්‍යාවකටත් කොරෝනා ආසාදනය වෙයි

ශිෂ්‍යත්වය සහ උසස් පෙළට යන සිසුන්ට විශේෂ දුම්රිය මැදිරි

අනතුර ගැන දැනුන බව පූජිත් කියයි – කොමිසමෙන් දැඩි අවවාදයක්

කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතයන් ගණන 14 දක්වා ඉහළට

එරාන් වික්‍රමරත්නට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු (2) පැමිණ ඇති බවට තොරතුරු

*********************************************

සරසවි ශිෂ්‍යාවකටත් කොරෝනා ආසාදනය වෙයි

(10.10.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පානදුර රෝහලේ හෙද නිලධාරිනියකගේ දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකගේ ඥාති දියණියක සමඟ විශ්වවිද්‍යාලයෙන් පිටත පෞද්ගලික නවාතැනක නතර වී සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල නිවාඩු ලබාදීමත් සමඟ ඇය පසුගිය සතියේ පානදුර පිහිටි තම නිවස වෙත ගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කාන්තාවකගේ ඥාති දියණියක සමඟ නතර වී සිටින බැවින් ඇය පානදුර රෝහලේ දී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදියි ඇයට කොරෝනා ආසාදිත බව අනාවරණ වී ඇත්තේ.

මේ වන විට අදාළ කොරෝනා ආසාදිත විශ්වවිද්‍යාල සිසුවිය කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇති අතර, එම රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ද ඇයට කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

අදාළ සිසුවියට කොරෝනා වැළඳීම හේතුවෙන් ඇයගේ මව සේවය කරන පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුනා.

එහි සේවය කළ වෛද්‍යවරුන් ඇතුලු 10 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි රෝහල් අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය කියා සිටියේ.

++++++++++++

මෙරට කොවිඩ් ව්‍යාප්තියේ ඉදිරි තත්ත්වය පිලිබඳ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, සැකකරන කොරෝනා ආශ්‍රිතයින් බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සාමාජිකයින් අතර සම්බන්ධතාවයක් ඇති බවයි.

+++++++++++++++++

කොළඹ – රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වනවා.

ඊයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී එය තහවුරු වූ බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 5 ක් වයසැති දරුවාගේ කොරෝනා ආසාදිත පියාගේ ආශ්‍රිතයෙකු වී ඇත්තේ අදාළ දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සේවය කිරීම නිසා බව අනාවරණ වනවා.

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබන 18 වැනිදා දක්වා වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කළා.

ඒ එම කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ සුරක්ෂා නිවාසයේ පුද්ගලයින් අතර කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ෴

++++++++++++++

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම සම්බන්ධයෙන් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂිත පියවරක් ලෙස රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති අත් සේදීම, මීරටයක සමාජ දුරථ භාවය පවත්වා ගැනීම සහ මුහුණු ආවරණයක් පැළඳීම යන උපදෙස් තරයේ පිළිපදින ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

එමෙන්ම නේවාසික රෝගීන් බැලීමට යාම අවම කරන ලෙසට ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රෝගීන් සඳහා රැගෙන යන ද්‍රව්‍ය රෝගියා මුණගැසී ලබාදීම වෙනුවට සුදුසු ක්‍රමවේද මගින් රෝගියා වෙත ලැබෙන්නට සැලැස්වීමට කටයුතු කළ හැකියි.

අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ළඟම ඇති රෝහල වෙතට යන ලෙසට ද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා ෴

++++++++++++++

පසුගිය සැප්තැම්බර් 23 වනදායින් පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් සිටී නම් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුවන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා ෴

++++++++++++++

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් තුන්දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඒ හේතුවෙන් වාට්ටු දෙකක් (2) සහ ශල්‍යාගාරයක් තාවකාලිකව වසා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා සඳහන් කළේ.

මේ අතර, කොළඹ – රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට (1) කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වනවා.

ඊයේ (09) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී එය තහවුරු වී ඇති අතර, එම සේවිකාව පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වනවා.

කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළේ අදාළ කාන්තාව, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 5 ක් වයසැති දරුවාගේ කොරෝනා ආසාදිත පියාගේ ආශ්‍රිතයෙකු වී ඇත්තේ අදාළ දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සේවය කිරීම නිසා බවට අනාවරණ වී ඇති බවයි.

මෙම සාත්තු සේවිකාව රැඳී සිටි බොරැල්ල – ලෙස්ලි රණගල මාවතේ සිල්මාතා ආරාමයක, සිල්මාතාවක ඇතුලු ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.

***************************************

ගම්මාන රැසක ජනතාවගේ ආදායම සරිකර ගැනීමට උපකාර වූ තඹුත්තේගම සති පොළ භූමිය බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහීම හේතුවෙන් මේ වනවිට වසර කිහිපයක සිට භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ පවතින තත්ත්වය තුළ මෙම පොළ භූමියේ අකටයුතුකම් රැසක් ද සිදු වන බවයි.

අද (10) ‘රතු මිනිත්තුවේ’ අවධානය ඒ පිළිබඳවයි.

***************************************

දුර්ලභ රෝගයකින් පීඩා විඳින දරුවෙකු පිළිබඳව අහංගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දරුවාගේ දෙමව්පියන් පෙන්වා දෙන්නේ, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර සඳහා මාසිකව විශාල මුදලක් වැය වීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවයි.

ජයතිස්ස සහ ශ්‍රියාකාන්ති පවුලේ තුන්වැනි දරුවා ලෙස මෙම දරුවා උපත ලබන්නේ මීට වසර 6 කට පෙරයි.

නිරෝගී දරුවෙකු ලෙස උපත ලැබුවත්, ඉන් මසකට (1) පසුව ඔහුගේ ක්‍රියාකාරකම් නතර වී තිබෙනවා.

***************************************

මාතර කොප්පරාවත්ත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි තිබී නීති විරෝධී ලිපි ලේඛණ සහ ව්‍යාජ නිල මුද්‍රා රැසක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රසිද්ධ පාසල්වල විදුහල්පතිවරුන්ගේ නිල මුද්‍රා, විවිධ රාජ්‍ය ආයතනවල ලිපි ශීර්ෂ සහ තවත් ලිපි ශීර්ෂ ඇතුලු ව්‍යාජ නිල මුද්‍රා රැසක් ඒ අතර වන බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර කොප්පරාවත්ත, දික්වැල්ල දොඩම්පහල, සහ මාතර රාහුල පාර ප්‍රදේශවල පදිංචිකරුවන් තුන්දෙනෙක් (3).

රාහුල පාර පදිංචි සැකකරු වසර එක හමාරකට පමණ පෙර වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්වරයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය පිළිබඳ මාතර පොලිසියයි විමර්ශණ සිදුකරන්නේ.

***************************************

රත්‍රං ව්‍යාපාරිකයෙකුගෙන් වංචාකාරී ලෙස රුපියල් 825,000 ක මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාත්තන්කුඩි නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාත්තන්කුඩි පොලිසිය සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.

සොරකම් කරන ලද රන් භාණ්ඩ තොගයක් අදාළ රත්‍රං ව්‍යාපාරිකයා මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම මුදල උසස් පොලිස් නිලධාරියෙකුට ලබාදීමට බව පවසා සැකකාර හිටපු නාගරික මන්ත්‍රිවරයා එම මුදල් ලබාගෙන ඇති බව සඳහන් ෴

*********************************************

ශිෂ්‍යත්වය සහ උසස් පෙළට යන සිසුන්ට විශේෂ දුම්රිය මැදිරි

(10.10.2020 – 16:45 +0530 – hirunews.lk/sinhala)

5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දුම්රිය පහසුකම් සැපයීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් මැදිරි වෙන් කර දුම්රිය ධාවනය කිරීමටයි තීරණය කර ඇත්තේ.

***************************************

විසි හතර (24) හැවිරිදි තම ගර්භනී බිරිඳගේ ගෙළ සිරකර ඝාතනයට තැත් කළ පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ කටුගස්තොට පොලීසියට පැමිණි 34 හැවිරිදි අදාළ සැකකරු තම බිරිඳ ඝාතනය කළ බවට පාපොච්චාරණයක් සිදුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු සිය බිරිඳ ඝාතනය කළ ආකාරය පොලීසියට විස්තර කළ අවස්ථාවේ ඒ පිළිබඳව අවධානය යොමුකළ කටුගස්තොට පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ පුද්ගලයාගේ නිවස වෙත පිටත් කර හැර තිබෙනවා.

එහිදී අදාළ කාන්තාවගේ ගෙළ සිරකර ඇඳෙහි වැටී සිටින ආකාරය නිරීක්ෂණය කළ පොලිස් නිලධාරීන් වහාම ඇය මහනුවර රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ගර්භනී කාන්තාවගේ ජීවිතය බේරාගැනීමට හැකිවී තිබෙනවා.

නැන්දම්මා සහ ලේලිය අතර හටගත් ආරවුලක් මත ඇගේ ස්වාමි පුරුෂයා මෙලෙස ඇය ඝාතනයට තැත් කර ඇති බවටයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

*********************************************

අනතුර ගැන දැනුන බව පූජිත් කියයි – කොමිසමෙන් දැඩි අවවාදයක්

(10.10.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා අද (10) අවවාද කළා.

ඒ, ඔහු අද (10) 10 වෙනි දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“වසර කිහිපයක සිට රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු දීලත් පොලිසිය ඉදලා තියෙන්නේ නිද්‍රෝපගතව නේද ජයසුන්දර මහත්මයා ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. ඒක වැරදි කතාවක්. අපිට රාජ්‍ය බුද්ධි සේවයෙන් නැවත අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සමහරවිට උපදෙස් දීලා තියෙන්න ඇති එහෙම. ඒ තිබුණ දේශපාලන තත්ත්වයත් එක්ක මාව ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වෙත් නැහැනේ. මාස 6 කට වැඩි කාලයක් එහෙමයි වුණේ. නමුත් සිද්ධිය වුණාට පස්සේ වැරදිකාරයෝ පොලිස්පති හා ආරක්ෂක ලේකම්වරයායි. දේශපාලන පරිසරාත්මක රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුවේ ගැටලු‍ තමයි මේවට බලපෑවේ.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“පොලිසියට වෙනම contingency plan එකක් එහෙම නැත්නම් හදිසි ආරක්ෂක සැලැස්මක් තිබෙනවාද ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“තියෙනවා ස්වාමීනි. හදිසි ආරක්ෂක සැලැස්මවල් කොට්ඨාස වශයෙන්, පොලිස් ස්ථාන වශයෙන් වගේම ජාතික මට්ටමෙනුත් තිබුණා.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔය plan එක ක්‍රියාත්මක වෙන්නේ මොන වගේ අවස්ථාවකද ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“හදිසි අවස්ථාවක් හැටියට රජය කිව්වොත් ඒ දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක කරනවා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“කොහෙන්ද ඔය contingency plan එක ක්‍රියාත්මක වෙන්නෙ ?”‍

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“මිරිහානේ පොලිස්පති අණදෙන නිල මැදිරිය හරහා. ඒකට ලංකාවෙ සියලු‍ පොලිස් ස්ථාන දැනුවත් කරන්න පුලු‍වන්.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“අප්‍රේල් 20 හැන්දෑවේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දන්වපුවාම හෙට (21) ප්‍රහාරය වෙනවා කියලා ඇයි මේ පොලිස්පති අණදෙන නිල මැදිරිය ක්‍රියාත්මක නොකළේ ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“මං මේ තොරතුරු ලැබෙද්දි 20 හවස හිටියේ මගේ නිල නිවසේ. මට ලැබුණු තොරතුර මම මගේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දුන්නා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“21 උදේ කොහෙද හිටියේ ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“ඒත් මගේ නිල නිවසේ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“නිල නිවසට වෙලා ඉන්නැතුව පොලිස්පති අණදෙන නිල මැදිරියට ගිහින් ක්‍රියාකාරකමක් කරන්න හිතුවේ නැත්ද ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“මම නිලන්තට කිව්වා අනිත් නිලධාරින්ට දැනුම් දෙන්නම් මාත් එයාලට කියන්නම් කියලා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ජයසුන්දර මහත්තයා… ඒ වෙද්දි ඔබට ලැබුණු තොරතුර, හෙට මරාගෙන මැරෙන ප්‍රහාරය වෙනවා පල්ලිවල හා හෝටල්වල කියලානෙ..? ”‍

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“මට හොටෙල්ස් ගැනනම් කිව්වේ නැහැ. හෙට බරපතළ සිද්ධියක් වෙන්න පුලු‍වන් මේක කලින් ආපු තොරතුරේ development එකක් කියල විතරයි නිලන්ත මට කිව්වේ. අනතුරු වෙන්න පුලු‍වන් තැන් මට 20 හවස කිව්වේ නැහැ. ඒ නිසා තමයි ‘නන්දන මුණසිංහ ඇතුළු Senior DIG නිලධාරින්ට කතාකරන්න. නිලන්ත මාත් fallow up කරනවා’ කියලා නිලන්තට කිව්වේ ස්වාමීනි ”‍

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ඒ නිලන්ත ජයවර්ධන දුන්න තොරතුර ලැබුණම පැහැදිලි වුණා ද 2009 න් පස්සෙ රටට වෙන්න පුලු‍වන් ලොකුම අනතුර වෙන්න යන්නේ කියල ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“එහෙම අනතුරක් වෙයි කියලා දැනුනේ 20 නෙවෙයි අප්‍රේල් 9 මට තොරතුර මුලින්ම ආපු දවසෙ. එදාට පස්සේ මට වාර්තා 3 ක් ආයෙත් එව්වා. ඒත් ඒ එකකින්වත් 9 වෙනිදා SIS එක එවපු තොරතුරු සනාථ කරලා තිබුණේ නැහැ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“අප්‍රේල් 9 එවපු තොරතුර නේද ඉතින් 20 තහවුරු කළේ ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“මං ඇහුවා නිලන්තගෙන් ඔයාලා මුකුත් හොයන්නේ නැත්ද කියලා. නැහැ; මේ විදෙස් තොරතුර තමයි තියෙන්නේ කිව්වා. මට එතනින් එහාට පැහැදිලි වුණේ නැහැ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“ඇයි එහෙමනම් පැහැදිලි කරගන්න නිලන්ත ජයවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවලා 20 රෑ සාකච්ඡා නොකළේ ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“එතකොට ඒ වෙලාවේ හදිසි අවස්ථාවක්නම් අදාළ තැන්වලට නිලධාරින් යවන එක විතරයි කරන්න පුලු‍වන්. සාකච්ඡා තිය තිය ඉන්න බෑ. දුර ඉන්න නිලධාරින් සාකච්ඡාවලට ගෙන්නනත් බෑනේ ඒ වෙලාවෙ. ඒ වෙද්දි බෝම්බකාරයෝ ස්ථාන ගතවෙලත් ඉවරනේ ස්වාමීනි අපි දැනගෙන හිටියේ නැති වුණාට.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“හොදයි. එහෙමනම් ඇයි අර පොලිස්පති නිල මැදිරියෙන් නොකිව්වේ මේක ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“ඒකට එතන අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. එයා ඒක කරන්න ඕනේ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“දැන් බලන් යද්දී ඔබ පොලිස්පති විදියට නිලධාරින්ට වැඩේ භාරකරලා උපදෙස් දෙන එකමද කළේ ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“මං ඉතින් උපදෙස් දුන්නා ස්වාමීනි. එය මා කළ යුතුයි නේ.”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබ 2019.04.21 වෙද්දී තොරතුරුකරුවෙක් ද ? නැත්නම් නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ප්‍රධානියාද ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“නැ මං පොලිස්පති. මං ඉතා කාරුණිකව අර කියමන බැහැර කරනවා..”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය :

“ඔබ ඉතා ඥාණාන්විතව උත්තරය නම් දෙනවා. නමුත් මං කියපු දේ ඔබ තේරුම් ගන්නේ නෑ.”‍

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“හොදයි. ස්තුති.”

ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය :

“ජයසුන්දර මහත්මයා අර plan එක ගැන කිව්වනේ. 9 වෙනිදා තොරතුරු ලැබුණම ඒකට එහෙම සැලසුමක් තිබුණද ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“ඇත්තම කියන්නෙපැයි. ඒකට එහෙම එකක් හැදුවේ නැහැ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඔබ කියන හැටියට පොලිසියට plan එකක් තිබිල තියෙන්නේ සිද්ධිය වුණාට පස්සේ ක්‍රියාත්මක කරන්න වෙන්න ඕනේ. සිද්ධියකට කලින් එහෙම කරන්න ඕනේ නැත්ද ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“මෙහෙමයි ස්වාමීනි. අපි මේ හදිසි අවස්ථා සැලැස්ම නිලධාරින්ට පෙරහුරු කරනවා. මේ වගේ දෙයක් වුණාම කරන්න. එතනදී ඉතින් පෙර කරන්නද පසු කරන්නද කියන අවස්ථාව අනුව බලන්න ඕනෙ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“හා හොදයි ඉතින් 20 රෑ ඕක කරන්න තිබුණනෙ. කළාද ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“නැ මං දැනුම්දෙන එකයි කළේ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“Senior DIG නිලධාරින් ඔය plan එක කළාද කියලා බැලු‍වද ඔබ ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“නෑ මන් බැලු‍වේ නැහැ. ඒක ඔවුන් ක්‍රියාත්මක කරන්න ඕනේ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“කරලා නැහැ නේද…. ඒකනේ 21 බෝම්බ පිපුරුණේ ?”

පූජිත් ජයසුන්දර – හිටපු පොලිස්පති :

“එහෙමයි ස්වාමීනි.”

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (10) රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය යොමුකළ ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු දුන් ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා අවවාද කරමින් සඳහන් කළේ මින් පසු මෙවැනි පිළිතුරු ලබානොදෙන ලෙස සහ මෙය අවසන් අවවාද කිරීම බවයි.

අනතුරුව ඔහුගෙන් සාක්ෂි විමසීම අද (10) දිනට අවසන් කෙරුණා.

++++++++++++++

*********************************************

කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතයන් ගණන 14 දක්වා ඉහළට

(10.10.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා පොකුරේ ව්‍යාප්තියත් සමඟ කටුනායක ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලාවල සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිට අනාවරණ වනවා.

එම ආයෝජන කලාපයේ කර්මාන්තශාලා තුනකින් (3) ඊයේ (09) දිනයේ ආසාදිතයන් තුන්දෙනෙකු (3) වාර්තාවූ අතර, ඒ අනුව අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී තවත් 11 දෙනෙකු කොරෝනා ආසාදිත බවට අද (10) දිනයේ තහවුරු වූ බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.

මෙම තත්වයත් සමඟ කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලා 12 ක 1,325 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

පසුගිය 7 වන දා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු කටුනායක ආයෝජන කලාපයේ එක් ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබුණා.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ද ඇයට කොරෝනා ආසාදිත බව තවදුරටත් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, කටුනායක ආයෝජන කලාපයේ තවත් ඇඟලුම් කර්මාන්තශාලාවක ආරක්ෂක නිලධාරියෙකුට කොරෝනා ආසාදිත බව ඊයේ (09) තහවුරු වූ අතර, ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක බව අනාවරණ වී තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ තවත් කාන්තාවක් කටුනායක ආයෝජන කලාපයේ වෙනත් ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයට පැමිණ ඇති අතර ඊයේ (09) එම කාන්තාවට ද කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණා.

මෙවන් පසුබිමක් තුළයි කටුනායක ආයෝජන කලාපයෙන් තවත් 11 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (10) හඳුනාගෙන ඇත්තේ.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ කටුනායක ආයෝජන කලාපය සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සදහන් කළේ කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවලින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමඟ අදාළ ආයතන පමණක් විෂබීජහරණය සඳහා වසා දැමීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර කුලියාපිටිය – බරිගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ එම රෝගියාගේ ආශ්‍රිතයින් වන පවුල් 30 ක පුද්ගලයින් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ගම්පහ – වතුපිටිවල රෝහලේදී පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ මවක සහ දියණියක රෝහල් බලධාරීන්ට නොදන්වා ඊයේ (09) රාත්‍රියේ ආපසු නිවෙස් වෙත යාමේ සිදුවීමක්ද වාර්තාවුණා.

ඔවුන් රණවිරුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සෞඛ්‍ය නිලධාරීන් සහ පොලීසිය සිදුකළ දැනුවත් කිරීමෙන් පසු යළි රෝහල වෙත පැමිණ තිබෙනවා.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මෙතෙක් නිකුත් කර නැහැ.

යම් හෙයකින් ඔවුන් ආසාදිතයන් බවට තහවුරු වුවහොත් ඔවුන් ගමන් මාර්ගය සහ රණවිරුගම ප්‍රදේශය නිරෝධායනයට ලක් කිරිමට සිදුවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ.

දික්ඕවිට වරායෙන් මුහුදු ගිය ධීවරයෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් ඔහු අදාළ බෝට්ටුව තුළදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුනා. ඒ හේතුවෙන් දික්ඕවිට වරායද තාවකාලිකව වසා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දිවයිනේ සියලු ප්‍රියසම්භාෂණ හා උත්සව ආදිය පැවැත්වීම අත්හිටුවා ඇති මොහොතක ඊයේ (09) රාත්‍රියේ අකුරැස්ස තලහගම ප්‍රදේශයේදී සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වුණා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,306 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1,204 ක්.

මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1,083 ක්.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් එම ප්‍රදේශවල පිහිටි සතොස අලෙවිසැල්, සමූපකාර, ඔසුසැල් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් අද (10) රාත්‍රී අට (08:00) දක්වාත් විවෘතව තැබෙනවා.

මේ අතර පවතින කොරෝනා තත්ත්වය තුළ ආරක්ෂිත පියවරක් ලෙස රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේ පිළිපදින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එහි දැක්වෙන්නේ අත් සේදීම, මීටරයක සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුහුණු ආවරණයක් පැළඳීම යන උපදෙස් තරයේ පිළිපදින ලෙසයි.

එසේම, නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාම අවම කරන ලෙසද ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවට දැනුම් දෙන්නේ පසුගිය සැප්තැම්බර් 23 වනදායින් පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කුමන හෝ සේවකයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුවන ලෙසටයි.

++++++++++++++

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවක සේවිකාවන් දෙදෙනෙකු ඇතුළු 103 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අනෙක් පිරිස එම ආයතනයේ සේවක සේවිකාවන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1186 ක් දක්වා ඉහළ යනවා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4628 ක්.

ඉන් 1309 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සුවය ලැබූ 3306 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 13 ක් ෴

+++++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, අද (10) දිනයේදීත් එම පොලිස් බල ප්‍රදේශ 18 හි පිහිටි ඔසුසැල්, සුපිරිවෙළඳසැල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් විවෘත කර තබන බව පොලිසිය ප්‍රකාශ කළා.

පසුගිය සදුදා ඇඳිරි නිතීය පැනවීමත් සමඟ පෙරේදා මුල්වරට විවෘත කෙරුණු මෙම වෙළඳසැල් ඊයේ (09) දිනයේදීත් විවෘතව තැබුණා.

නිරෝධායන නීතිරීති යටතේ අද (10) උදෑසන 8 ට විවෘත වන වෙළඳසැල් රාත්‍රී 8 තෙක් විවෘතව පවතිනවා ෴

++++++++++++++

මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1,186 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ (09) දිනයේදී එම කර්මාන්තශාලාවේ සේවය කළ සේවකයින් දෙදෙනෙකු (2) සහ එහි ආශ්‍රිතයන් 101 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟයි.

මේ අතර මන්නාරම රදගුරු නිවස පිටුපස ගොඩනැගිල්ලක ඉදිකිරීම් සඳහා පැමිණි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් පස්දෙනෙකුට (5) කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (09) හඳුනාගෙන තිබෙනවා.

ඒ, එම ආශ්‍රිතයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ අවස්ථාවේදියි.

මන්නාරම රදගුරු නිවසේ මන්නාරම රදගුරු ලයනල් එමානුවෙල් පියතුමා ඇතුළු 93 දෙනෙකුද අදාළ පෙදරේරුවා කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

කෙසේ වෙතත් සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේදී මන්නාරම රදගුරු ලයනල් එමානුවෙල් පියතුමාට කොරෝනා ආසාදනය වී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ පළමු ආසාදිතයා හඳුනාගැනීමෙන් පසු ඔක්තෝම්බර් පස්වනදා (05) සිට මේ දක්වා කාලය තුළ එම පොකුරේ පී.සී.ආර්. පරික්ෂණ 26,000 කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවයි.

මේ අතර, ඊයේ (09) දිනයේදී විදෙස් රටවලින් පැමිණි නිරෝධායනයට ලක්වෙමින් සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකුටද (2) වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වුණා.

ඒ සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4,628 දක්වා ඉහළ ගිය අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයන් 1,309 ක් පමණයි.

එසේම රටේ පවතින තත්ත්වයත් සමඟ ජංගම රූපලාවන්‍ය ආයතන පවත්වාගෙන යාම තාවකාලිකව නවතා දමන බව ශ්‍රී ලංකා කොණ්ඩා මෝස්තර සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමයේ සභාපතිනි නයනා කරුණාරත්න මහත්මිය සඳහන් කළා ෴

+++++++++++++

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 28 ක්.

*********************************************

එරාන් වික්‍රමරත්නට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(10.10.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීම නිවැරදි ක්‍රියාවක් බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාට එරෙහිව ‘සිංහලේ ජාතික සංවිධානය’ අද (10), පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එමඟින් ඔවුන් ඉල්ලා සිටියේ අදාළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසයි.

මේ අතර රියාජ් බදියුදීන් නිදහස් කිරීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් සියදෙනෙකුගේ (100) අත්සනින් යුත් ලිපියක් ඊයේ (09) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවා.

ඒ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්.

ඒ පිළිබඳව අද (10) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය බරපතල වැරැද්දක් බවයි.

***************************************

යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළකළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියාසිටියේ ඊයේ (09) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවකදී කිසිදු අයෙකුට අදහස් පළ කිරීමට අවස්ථාවක් ලැබී නොමැති බවයි.

එය 20 වන සංශෝදනයට කැමැත්ත පළ කරන අයට ඉදිරියේදී අත්වන ඉරනමේ පෙරනිමිති බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් එම සාකච්ඡාවේදී මත ගැටුම් නොව විවිධ මත ප්‍රකාශ වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

මේ අතර 19 වන සංශෝධනය හේතුවෙන් රට ව්‍යාකූල තත්වයට පත්වූ බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වා දුන්නා.

ඇතමුන්ට එය නොතේරෙන බවයි ඔහු කියාසිටියේ.

***************************************

පවතින දේශපාලන තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළකිරීමෙන් පසුවන බව එහි හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

මහනුවර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ තම පක්ෂයට ලබාදුන් පොරොන්දු ඉටුකර ඇත්ද යන්න ගැටළු සහගත බවයි.

මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පත් කරන ලද කමිටු වාර්තාව තවත් නොබෝ දිනකින් ඉදිරිපත් කරනු ඇති බව එහි හිටපු මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

***************************************

අනුරාධපුර ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාව සහිත පූජාභූමි බල ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරීම හා නඩත්තු කටයුතු සිදු කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පත් කර තිබෙනවා.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම පූජා භූමියේ සංචාරයක නිරතවූ අතර, එහිදී එම ස්ථානයේ නඩත්තු කටයුතු සිදු නොවන බවට අවුකන විහාරාධිපති හිමියන් කළ දැනුම්දීමට අනුව මෙලෙස සිවිල් ආරක්ෂක බලකාය යටතට එහි නඩත්තු කටයුතු පත්කර ඇති බව සඳහන්.

2015 වසර දක්වා එම පූජා භූමියේ කටයුතු සිවිල් ආරක්ෂක බලකාය යටතට පත් කර තිබූ අතර, පසුගිය යහපාලන රජය සමයේ එය ඉවත් කර තිබුණා.

ඒ අනුව ඊයේ (09) සිට අවුකන බුද්ධ ප්‍රතිමාව සහිත පූජා භූමිය සිවිල් ආරක්ෂක බලකාය යටතට පත් කෙරුණු අතර, එය භාරගැනීමේ අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් මහතා එක්ව සිටියා ෴

***************************************

සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් සිටි ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විවිධ වද හිංසාවලට ලක්වූ බවට හිරු ප්‍රවෘත්ති තුළින් වාර්තාකිරීමත් සමඟ ඒ පිළිබඳව විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වන බවයි.

එමෙන්ම සිද්ධියට අදාළ කරුණු තහවුරු වූ වහාම නීත්‍යානුකූලව ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව කටයුතු කරන බවද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

පෙරේදා (08) දිනයේදී හිරු ප්‍රවෘත්ති තුළින් එම කාන්තාව පිළිබඳ කරුණු වාර්තා කළ අතර, ඇයට වදහිංසා පැමිණවීම හේතුවෙන් දරුණු ස්නායු රෝග තත්ත්වයකටද ලක්ව තිබෙනවා.

දියණියන් දෙදෙනෙකු (2) සහ පිරිමි දරුවෙකුගෙන් (1) යුතු පවුල නඩත්තු කිරීම සඳහා ඇය සෞදි අරාබිය බලා පිටත්ව යන්නේ 2014 වසරේදියි.

එහිදී අදාළ නිවසේ කාන්තාව ඇයට යකඩ ඇණ ගිල්වා අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

***************************************

මහල් නිවාස සංකීර්ණවල නීතිවිරෝධී ක්‍රියා පාලනයට සහ සුරක්ෂිත පරිසරයක් බිහිකිරීම සඳහා නව පොලිස් ඒකක තුනක් (3) මහල් නිවාස ආශ්‍රිතව පිහිටුවීම අද (10) සිදු කෙරෙනවා.

ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් – මුවදොර උයන නිවාස සංකීර්ණයේ, දෙමටගොඩ – මිහිඳුසෙන් පුර නිවාස සංකීර්ණයේ සහ මෝදර – මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ මෙලෙස නව පොලිස් ඒකක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අද (10) විවෘත කිරීමට නියමිතයි.

නාගරික ජනතාව සඳහා ඉදිකරන ලද මහල් නිවාසවල ජීවත්වන ජනතාව මත්ද්‍රව්‍යවලට නැඹුරුවීම සහ අනෙකුත් දුරාචාරවලින් වළක්වාගැනීම අරමුණු කරගනිමින් මෙම පොලිස් ඒකක පිහිටුවනවා ෴

***************************************

ගතවූ පැය විසි හතර (24) තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් මත්කුඩු සහ නීතිවිරෝධී මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් 263 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිසට අතර හෙරොයින්, සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයන් 94 දෙනෙකු සහ ගංජා අලෙවි කළ සැකකරුවන් 56 දෙනෙකු ඇතුළත් ෴

***************************************

ලබන (13) අඟහරුවාදා පැය 12 ක කාලයක් මින්නේරිය අවට ප්‍රදේශ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

මින්නේරිය ජල ගබඩා ටැංකියේ අලුත්වැඩියා කටයුත්තක් මීට හේතුවයි.

ඒ අනුව අඟහරුවාදා (13) පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා මින්නේරිය හිගුරක්ගොඩ මින්නේරිය නගරය මින්නේරිය හබරණ මාර්ගයේ ගිරිතලේ දක්වා ගල්ඔය පාර හිගුරක්ගොඩ නගරය සහ අවට මාලකපුර තඹලවැව සහ සිංහඋදාගම ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුවනු ඇති ෴

***************************************

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේදී කන්ටේනර් රථයක රියදුරුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා දිනයේ (08) කන්ටේනර් රථය අදාළ ස්ථානයේ නවතා තැබූ බවට දෝෂාරෝපණය කරමින් කිසියම් පිරිසක් විසින් එහි රියදුරුට පහරදී තිබුණා.

පසුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ දඹුල්ල පොලීසිය සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු (3) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) පෙරවරු 09:30 ට මධ්‍යස්ථාන 2,936 කදී ආරම්භ කෙරුණා.

විභාගය අද (10) පෙරවරු 09:30 ට ආරම්භවීමට නියමිතව තිබුන ද උදෑසන 08:30 පමණ වනවිට අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණ සිටින ලෙසටයි විභාග දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල විශේෂ මධ්‍යස්ථාන 12 ක්ද ස්ථාපිත කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2,936 කදී පැවැත්වෙන අතර, ඊට පෙනී සිටීන සිසුන් සංඛ්‍යාව 331,694 ක්.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල මෙන්ම අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් සඳහාද අදාළ ස්ථානවල විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පමණක් නොව කුමන ප්‍රදේශයක වුවද විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම ඔවුන්ගේ භාරකරුවන් එක්රැස්වී සාකච්ඡා කිරීම් සිදු නොකළ යුතු බවයි.

කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ අද පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,936 කදී මේ වනවිට සාර්ථකව පැවැත්වුණු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

ඒ, සෞඛ්‍ය අංශ ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි.

විභාගය පෙරවරු 09:30 ට ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවතුණු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

විභාගය සඳහා පැමිණි සිසුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සළසා දීමට විශේෂ සැළැස්මක් අද (10) ක්‍රියාත්මක වනවා.

විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන අයුරු නිරීක්ෂණය කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව දෙමාපියන් රැස්ව සිටිනු අයුරු නිරීක්ෂණය වූ අවස්ථා කිහිපයක් දක්නට ලැබුණු බවද අප වාර්තාකරුවන් සඳහන් කළා ෴

***************************************

මහ පරිමාණ ව්‍යාපාරිකයන් විසින් වෙළඳපොල තුළ කෘත්‍රිම සහල් හිඟයක් නිර්මාණය කර සහල් මිල ඉහළ දැමීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඊට අදාළ කැබිනට් අනුමැතියද ලැබී ඇති අතර, රුපියල් බිලියන දෙකක් (2) ඒ සඳහා වෙන් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍ය ආනයනය නොකරන බවට රජය ගෙන ඇති ප්‍රතිපත්තිය කඩකරමින් හෝ සහල් ආනයනය කර එම ජාවාරම නැවැත්වීමට කටයුතු කරන බවයි මරදගහමුල පිහිටි වී ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ෴

***************************************

පිටමාරුව – කුඩා ලෝකාන්ත පරිශ්‍රයේ සංචාරක කූඩාරම් ඉදිකිරීම මුළුමනින්ම තහනම් කර තිබෙනවා.

මීගහකිවුල ප්‍රාදේශීය සභාව මෙම තීරණය ගෙන ඇත්තේ සිදුවන පරිසර විනාශය සැළකිල්ලට ගනිමින්.

තාවකාලිකව ඉදිකරන මෙම සංචාරක කූඩාරම්වල නවාතැන්ගැනීමට පැමිණෙන පුද්ගලයින් ගෙන එනු ලබන දිරාපත් නොවන ද්‍රව්‍ය පරිසරයට එක්කිරීම හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත පරිසරය විශාල වශයෙන් හානියට ලක්ව තිබෙනවා.

එමෙන්ම අදාළ ස්ථානවල මත්පැන් පානය කරන සංචාරක පිරිස්ද වැඩි වශයෙන් සිටීම සහ සංචාරක පිරිස්වලට බාධාවන ලෙසට ඔවුන් හැසිරෙන බවටද පැමිණිලි ලැබී ඇති බවයි වාර්තාවන්නේ ෴

*********************************************

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු (2) පැමිණ ඇති බවට තොරතුරු

(11.10.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු (2) පැමිණි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමුව තිබෙනවා.

ගම්පහ – දිවුලපිටියේ වෙළෙන්දෙකු සහ ඔහුගේ රියදුරු කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට රඹුක්කන රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන් මෙලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ඇති බවටටයි තොරතුරු ලැබී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසීමක් කළ අතර, එහිදී ඔවුන් ප්‍රකාශ කළේ අනාවරණ වී ඇති මෙම තොරතුරුවලට අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පී.සී.ආර්. පරික්ෂණ 100 ක් අද (10) දිනය තුළ සිදුකිරීමට බලාපොරාත්තු වන බවයි.

මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් වාර්තාවන්නේ 1,186 ක් ලෙසයි.

ඒ, ඊයේ (09) දිනයේදී එම කර්මාන්තශාලාවේ සේවය කළ සේවකයින් දෙදෙනෙකු (2) සහ එහි ආශ්‍රිතයන් 101 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගැනීමත් සමඟයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසාදිතයන් සහ ඔවුන්ගේ සමීපතමයන් වෙන් කොට හඳුනාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් තවදුරටත් අවදානම පහව ගොස් නොමැති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය තුළ ජනතාව තවදුරටත් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

මේ අතර ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව සංඛ්‍යාව 101 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *