වන සතුන්ගෙන් ජලභීතිකාව පැතිරෙන්නේ දැයි සෞඛ්‍ය අංශවලට ගැටලුවක්

වන සතුන්ගෙන් ජලභීතිකාව පැතිරෙන්නේ දැයි සෞඛ්‍ය අංශවලට ගැටලුවක්

ටෙනිසන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා එද්දී අගමැති මහින්දගේ රිය හදිසියේ අතරමග නවත්වයි

20 ට එරෙහි පෙත්සම් විභාගය සිකුරාදා (02) උදෑසන 09:30 දක්වා කල් යයි

තලගුලි කවා බස් මගීන්ගේ මුදල් කොල්ලකන ජාවාරමක්

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් මැඩපැවැත්වීමට බෙල් 212 හෙලිකොප්ටර් යානයක්

අපනයන ක්ෂේත්‍රය වර්ධනය වී ඇති බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් කියයි

විස්සට එරෙහි පෙත්සම් තිස් දෙකක දේශන අවසන් – යළි සලකා බැලීම හෙට (02)

කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තය, 2023 ට පෙර නිමකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

බස් රථයක් දුම්රිය ගේට්ටුවකින් ඇතුළු කළ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක්

අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනේ මමයි.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා.. – ඇමති මහාචාර්ය චන්න ජයසුමන

ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය 5 වන දා සිට

රන් ආභරණ සොරකම් කළ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරයට

*********************************************

වන සතුන්ගෙන් ජලභීතිකාව පැතිරෙන්නේ දැයි සෞඛ්‍ය අංශවලට ගැටලුවක්

(30.09.2020 – 20:55 +0530 – hirunews.lk/sinhala)

වනජීවින් හරහා මේ වනවිට ජල භිතිකා රෝගය පැතිර යන්නේද සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කළුතර – මිල්ලනිය ප්‍රදේශයේ සිවලුන් සපා කෑම නිසා පුද්ගලයින් දෙදෙනෙකු මියයාම මෙන්ම සතුන් 10 කට ආසන්න සංඛ්‍යාවක් මියයාම ඊට ආසන්නම හේතුව බවයි එහි මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය එකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩි. කිත්සිරි මහතා කියා සිටියේ.

පසුගිය වසරේ ජල භිතීකාව හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙක් මියගොස් ඇති අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ රෝගය වැළදීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 24 ක්.

ඊයේ (29) කරාපිටිය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දොලොස් (12) හැවිරිදි පාසල් දරුවෙක්ද ජීවිතක්ෂයට පත්වුනේ ජල භිතිකා රෝගය හේතුවෙන්.

උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මිය යන විට මාපලගම සිරි සුනන්ද විද්‍යාලයේ හත්වන (7) ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.

මෙම සිසුවා මිය යාමට දින තුනකට (3) පෙර කරාපිටිය ශීක්ෂණ රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටි උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයටම අයත් යටලමත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුනේද ජල භිතිකා රෝගය හේතුවෙන්.

ජලභීතිකාව රෝගය සම්බන්ධයෙන් දැඩි කථාබහක් ඇතිවුනේ පසුගිය සති කිහිපයේ මදුරාවල සහ මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශවලින් සිවලුන් සපා කෑම් වාර්තාවීමත් සමඟයි.

මදුරාවල, මොරොන්තුඩුව, ගලපාත, පැල්පොල යන ප්‍රදේශවලින් මෙවැනි සිද්ධීන් 9 දෙනෙකු වාර්තා වී තිබූ අතර ඉන් දෙදෙනෙකු (2) ජලභීතිකාව වැළදීමෙන් ජිවිතක්ෂයට පත්වුණා.

එසේම, ඉංගිරිය සහ මිල්ලනිය යන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශවලින් සිවලුන් සපා කෑම් නිසා සතුන් 8 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය එකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩි. කිත්සිරි මහතා සඳහන් කළේ.

පවතින තත්ත්වය මත මාස කිහිපයකට පෙර සුනඛයින් ඇතුළු ක්ෂීරපායි සතෙකු සපාකෑවේ නම් රජයේ රෝහලකට ගොස් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම සිදුකරන ලෙසයි අධ්‍යක්ෂවරයා ජනතාවට දැනුම් දෙන්නේ.

*********************************************

ටෙනිසන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා එද්දී අගමැති මහින්දගේ රිය හදිසියේ අතරමග නවත්වයි

(30.09.2020 – 18:05 +0530 – hirunews.lk/sinhala)

මොරටුව- රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලට මාස තුනකට (3) පෙර පත් කරන ලද විදුහල්පතිවරයා මාරුකිරීම වළක්වන ලෙස ඉල්ලමින් එම විදුහලේ දෙමව්පියන් පිරිසක් අද (30) එම විදුහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වුණා.

එම අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සිය රථය නවත්වා එම පිරිසගේ ඉල්ලීම ගැන අවධානය යොමු කළ අතර දෙමාපියන් අගමැතිවරයාට එහිදී සංදේශයක්ද භාර දුන්නා.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා පැමිණෙමින් සිටියදීයි, අගමැති මහින්ද මහතාට මෙම පිරිස මුණ ගැසුනේ.

***************************************

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බැලීමට පැමිණි යුවළක් හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 8 ක් සමග බන්ධනාගාර බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා බොරැල්ල පොලිසියට භාරදී තිබෙනවා ෴

*********************************************

20 ට එරෙහි පෙත්සම් විභාගය සිකුරාදා (02) උදෑසන 09:30 දක්වා කල් යයි

(30.09.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් යළි විභාගයට ගැනීම ලබන සිකුරාදා (02) උදෑසන 09:30 දක්වා කල් දමා තිබෙනවා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද (30) පෙරවරුවේ දෙවන (2) දිනටත් ශේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 39 ක්.

අදාළ පෙත්සම් සඳහා මැදහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පාර්ශ්ව 8 ක් අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණා.

පෙත්සම් විභාග කිරීම ඊයේ (29) ආරම්භ කෙරුණු අතර ඊයේ (29) දිනය අවසන් වන විට විභාග කර අවසන් කෙරුණු පෙත්සම් ගණන 7 ක්.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච (5) පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

පෙත්සමක් ඉදිරිපත් කළ ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන ‘සිතීමේ නිදහස’‍ නමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම් සිදුවන බව පෙන්වා දුන්නා.

එමෙන්ම පුරවැසියන් සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කරන තත්ත්වයක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතරව යෝජිත පනත් කෙටුම්පත තුළින් ජනතාව සතු අධිකරණ බලයද අත්තනෝමතික ලෙස අත්පත් කර ගැනීමක් සිදුවන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවද සඳහන් කළා.

මෙම පනත් කෙටුම්පත ඍජුවම ජනතා පරමාධිපත්‍යය සමග ගැටෙන හෙයින් එය සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කළ යුතු බවයි නීතිඥ පුලස්ති හේවාමාන්න තවදුරටත් පෙන්වා දුන්නේ.

තරුණ නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර එම බලය යළි විධායකය වෙත පැවරීමට යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් යෝජනා කර ඇතැයි සඳහන් කළා.

මේ තුළින් ජනතා පරමාධිපත්‍යය ඍජුවම උල්ලංඝනය වන බවයි ඔහු අවධාරණය කළේ. මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කිරීම අත්‍යවශ්‍ය බවද නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළා.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මනන් ජයකුමාර් කරුණු දක්වමින් මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන අවස්ථාවක පුද්ගලික මාධ්‍ය ආයතන වෙත විවිධ විධානයන් නිකුත් කිරීමේ බලතල මෙම පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත පවරා ඇතැයි සඳහන් කළා. මේ තුළින් ‘සිතීමේ නිදහස’‍ නමැති මූලික අයිතිවාසිකම ඍජූවම උල්ලංඝනය වන අතර එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා ජනමත විචාරනයකට යොමු කළයුතු බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා කරුණු දක්වමින් 20 සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී රජය විසින් සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළද, එම සංශෝධන මේ දක්වා ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ නිල කාර්යයන් වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමට 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් පියවර ගෙන තිබීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන වගන්තිය මඟින් දක්වා තිබෙන ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බව පෙන්වා දුන්නා.

මෙම පනත් කෙටුම්පත හරහා උපරිමාධිකරණ විනිසුරුවරු, නීතිපති, විගණකාධිපති වැනි උසස් නිලතල සඳහා තමා කැමති පුද්ගලයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතල අපගමනයක් සිදුවන බවටත් චෝදනා කළා.

*********************************************

තලගුලි කවා බස් මගීන්ගේ මුදල් කොල්ලකන ජාවාරමක්

(30.09.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

බස් රථවල ගමන් ගන්නා මගීන්ට ‘අධි මාත්‍රාව සහිත ඖෂධ ඇතුළත් තල කැරලි’ ආහාරයට ලබාදී ඔවුන්ගේ මුදල් සහ රන් ආභරණ කොල්ලකෑමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

නුවරඑළිය – හැටන් මාර්ගයේ ධාවනය කෙරෙන මගී ප්‍රවාහන බස් රථවලින් මෙම තත්ත්වය වාර්තා වී ඇති අතර, අධි මාත්‍රාව සහිත ඖෂධ ඇතුළත් තල කැරලි ආහාරයට ගැනීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්වී ඇති බව ද නුවරඑළිය රෝහලේ විශේෂඥ වෛද්‍ය සංදීපන ගමගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඔරුගොඩවත්තේ ‘කුඩු පද්මිණී’ගේ ගෝලයෙකු වන ‘බාබු’ නමැත්තා රුපියල් 1,20,000 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව සැකකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබී රුපියල් 36,500 ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.

මේ අතර, තණමල්විල – හම්බේගමුව ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑම් 97 ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) අත්අඩංගුවට ගත් මොහු හම්බේගමුව – අරඹේකෙම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.

***************************************

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ලබන 05 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි යළි නොතීසි නිකුත් කෙරුණා. ඒ, නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් ආර්.කේ. සුමිත් රණසිංහ කොමිසම හමුවේ කර ඇති පැමිණිල්ලකට අදාළවයි ෴

***************************************

රට තුළ ප්‍රමාණවත් වී තොග තිබියදී සහල් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එම සංවිධානයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියා සිටියේ යහපාලන ආණ්ඩු සමයේත් සහල් ආනයනයෙන් රජයට රුපියල් මිලියන 4000 කට වැඩි පාඩුවක් සිදුව ඇති බවයි ෴

*********************************************

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් මැඩපැවැත්වීමට බෙල් 212 හෙලිකොප්ටර් යානයක්

(30.09.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala)

රන්දෙණිගල රක්ෂිතයේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යෙදවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (30) කටයුතු කළා.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුවයි අදාළ යානය යොදවා තිබුනේ.

*********************************************

අපනයන ක්ෂේත්‍රය වර්ධනය වී ඇති බව රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් කියයි

(30.09.2020 – 22:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට අපනයන ක්ෂේත්‍රය කොවිඩ් 19 වසංගතයට පෙර පැවති තත්ත්වයට මේ වනවිට වර්ධනය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ රට ආර්ථික වශයෙන් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බවයි.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ප්‍රකාශයට ද අද (30) ප්‍රතිචාර දැක්වුවා.

මේ අතර වර්තමානය වනවිට රට ආර්ථික වශයෙන් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

*********************************************

විස්සට එරෙහි පෙත්සම් තිස් දෙකක දේශන අවසන් – යළි සලකා බැලීම හෙට (02)

(01.10.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය හෙට (02) පෙරවරු 09:30 දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (30) තීරණය කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් ඊයේ (30) විභාගයට ගැනුණේ දෙවන දිනටයි.

ඊයේ (30) පස්වරු 07:20 දක්වා පෙත්සම් විභාගය පැවැති අතර, එහිදී යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 39 න්, 32 ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණා.

අනතුරුව වැඩිදුර විභාගය හෙට (02) දිනය දක්වා කල් තැබුණු අතර එදින සෙසු පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතයි.

ඊයේ (30) පෙත්සම් කැඳවූ අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් අධිකරණය ස්වාධීනත්වයට සහ මූලික අයිතිවාසිකම් කෙරෙහි අහිතකර බලපෑමක් සිදුකරන බව පැවසුවා.

ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතු වන බවත් එම බලය අධිකරණ හරහා ක්‍රියාත්මක විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සදහන් කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මුස්තාපා, එහෙත් මෙම 20 වන සංශෝධන පනත් කෙටුම්පත හරහා ජනතාව සතු අධිකරණ බලය පාර්ලිමේන්තුව වෙතින් ඉවත් කිරීමක් සිදුවන බවයි පෙන්වා දුන්නේ.

ඒ අනුව අදාළ වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක් සදහා යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් යැයි ද ජනාධිපති නීතිඥ මුස්තාපා අධිකරණය හමුවේ කියා සිටියා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, නීතිඥ රවුෆ් හකීම් කරුණු දක්වමින් තමා මෙම පනත් කෙටුම්පතට එරෙහිව පුද්ගලිකව පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙනී සිටින බව සදහන් කළා.

යෝජිත පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අහෝසි කිරීම සිදුවන හෙයින් විනිසුරුවරු ඇතුළු උසස් නිලතල සදහා සිදු කරනු ලබන පත් කිරීම් වල පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතල ගැටළු මතුවන බවයි නීතිඥ රාවුෆ් හකීම් පෙන්වා දුන්නේ.

යෝජිත පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයා නීතියට ඉහළින් ඔසවා තැබීමක් සිදුවන බව පෙන්වා දුන් ඔහු මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවත් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කළ යුතු බවත් අවධාරණය කළා.

විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා ෴

*********************************************

කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තය, 2023 ට පෙර නිමකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(01.10.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ස්වභාවික සම්පත් රැක ගැනීමට සහ තිරසාර කළමනාකරණයට ශ්‍රී ලංකා රජය කැප වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ හමුවක් අමතමින් කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසි වාරයට සමගාමීව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍රකොටගෙන සංවිධාන කළ ජෛව විවිධත්වය පිළිබද රාජ්‍ය නායක සමුළුව වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (30) රාත්‍රී 07:30 ට ජනාධිපතිවරයා විසින් අමතනු ලැබුවා.

තිරසාර සංවර්ධනය සඳහා ජෛව විවිධත්වය පිළිබදව ඉක්මන් ක්‍රියාමාර්ග මෙම සමුළුවේ තේමාවයි.

2030 වසරේ තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ හරය විය යුත්තේ ජෛව විවිධත්වය පිළිබද සංකල්පය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාලකයා කිසිවිටෙකත් දේශයේ හිමිකරු නොව හුදෙක් තම රටවැසියන් සහ සියළු ජීවීන් වෙනුවෙන් එහි භාරකරු පමණක් යන සංකල්පය මත ශ්‍රී ලංකාවේ පුරාණ පාලන ක්‍රමය ගොඩනැගී තිබුණා.

සංවර්ධන න්‍යාය පත්‍රය තුළ තම රජය අනුගමනය කරනුයේ එම මූලධර්මය බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

පෘථිවියෙහි සහ එහි සම්පත්වල හුදු භාරකරුවන් වශයෙන් හැකි උපරිමයෙන් තම ආරක්ෂාව යටතේ ඇති දෑ රැක ගනිමින් අනාගත පරපුරට භාරදීමට අදිටන් කර ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 ට පෙර අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව පැවති සාකච්ඡාවකදීයි.

2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2017 වසරේදීයි අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ. එහෙත් ඉදිකිරීම් සිදු නොවීම නිසා සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැලපෙන බව අදාළ ක්ෂේත්‍රයන් හි ප්‍රවීනයන් පෙන්වා දී තිබුණා.

ඒ අනුව මෙහි වැඩකටයුතු දිවා රාත්‍රි වැඩකර කඩිනමින් අවසන් කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

*********************************************

බස් රථයක් දුම්රිය ගේට්ටුවකින් ඇතුළු කළ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට

(01.10.2020 – 08:40 +0530 – hirunews.lk/sinhala)

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේදී ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා අලුත්ගම සිට කොළඹ දක්වා ධාවනය කළ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හා රූපවාහිණි නාලිකා ඔස්සේ විකාශය වූ වීඩියෝ පටයකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අද (01) ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++

අවධානම නොතැකූ බස් රිය – රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට

(30.10.2020 – 18:30 +0530 – sinhala.adaderana.lk)

වසා තිබූ දුම්රිය ගේට්ටුව හරහා ධාවනය කළ බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 28 වන දා සවස 05:16 ට පමණ දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය වසා ඇති අවස්ථාවක එය නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වු බස් රථයක් පිළිබඳ වීඩියෝවක් ඊයේ (29) ‘අද දෙරණ’ අනාවරණය කළා.

දකුණු පයාගල පොලීසිය විසින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අද (30) පොලිස් ස්ථානය වෙත කැඳවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් රියදුරු සහ කොන්දොස්තරවරයා හෙට (01) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

*********************************************

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක්

(01.10.2020 – 09:50 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත්කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, සුරාබදු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී.

සුරාබදු නිලධාරීන්ගේ වෘත්තිය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී.

දේශපාලන බලපෑම් මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීම වහාම නවතාදමා සුදුසුකම් සපිරූ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරු ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ ඒ අනුව ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රම වේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන් බවයි.

මේ අතර, කොළඹ හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ඊයේ (30) පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

*********************************************

අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනේ මමයි.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා.. – ඇමති මහාචාර්ය චන්න ජයසුමන

(01.10.2020 – 22:28 +0530 – lankacnews.com)

පැවති මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් පලමුවැනියා විය යුතුව තිබුනේ තමා වුවත් ඊට එරෙහිව යමක් සිදු වූ බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

තමන් එම දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියා වූයේ කෙසේදැයි හැම දෙනාම පුදුම වී ඇතැයිය ඒ මහත් සදහන් කරයි.

පැවති මැතිවරණයේදී අනුරාධපුරයේ පැවතියේ ඡන්දයක් නොව යුද්දයක් යයිද ඒ මහතා කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමින් ඇමතිවරයා මෙම අදහස් පල කර ඇත.

*********************************************

ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතිය 5 වන දා සිට

(01.10.2020 – 09:52 +0530 – hirunews.lk/sinhala)

ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතියට සමගාමීව මේ මස 05 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ නිවෙස්වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය එම දිනවල පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කාලය තුලදී දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වෙත ගෙනවිත් භාරදීමට මහජනතාවට අවස්ථාව සැලසෙන බවයි.

ඒ අනුව, රූපවාහිනි, විදුලි පංකා, ජංගම දුරකථන, පරිගණක හා බැටරි ඇතුළු විද්‍යුත් අපද්‍රව්‍ය දිවයින පුරා තැපැල් කාර්යාල 653 කට භාර දිය හැකියි ෴

*********************************************

රන් ආභරණ සොරකම් කළ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරයට

(01.10.2020 – 10:41 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා නිවාස බිඳ දේපල සහ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු ඊයේ (30) හලාවත දිසා විනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හලාවත – විලත්ත ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුවයි සැකකරු දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (30) හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වූයේ ඔහු දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිවාස බිඳ දේපල සොරකම් කර ඇති බවත්, ඔහු සූදු ක්‍රීඩාවේ සහ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙකු බවයි.

සැකකරු රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමක් ඇති රන් ආභරණ සහ මුදල් සොරා ගෙන ඇති බව ද සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී තිබෙනවා ෴

***************************************

පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි මිලට සහල් සහ පොල් අලෙවි කළ වෙළඳුන් 70 කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කර තිබෙනවා.

පසුගිය මාස දෙකක (2) කාලය තුළ මෙම වැටලීම් සිදුකර ඇති අතර, එහිදී පරීක්ෂාවට ලක් කර ඇති වෙළඳසැල් සංඛ්‍යාව 300 කට අධිකයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලිවලට අනුව මෙම වැටලීම් සිදුකර ඇති අතර එහිදී වෙළදසැල් හිමියන් කිහිප දෙනෙකුට අවවාද කළ බව ද පාරිභෝගික අධිකාරිය සඳහන් කළා ෴

***************************************

ගාල්ල – ඉමදූව නගරයේදී වාලම්පුරි දෙකක් රුපියල් කෝටි 6 කට අධික මුදලකට විකිණීමට තැත් කළ 4 දෙනෙකු කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ (30) අත්අඩංගුවට ගත් මොවුන් නුවරඑළිය සහ ඉමදූව ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම දිවයින පුරා නිවාස බිඳ දේපල සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ‘චූන් කුරුල්ලා’ නමැත්තා මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු හලාවත දිසා විනිසුරු අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඊයේ (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හලාවත – විලත්ත ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 3200 ක් සමඟ පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුවයි සැකකරු දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (30) යලි හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

සැකකරු රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සහ මුදල් සොරා ගෙන ඇති බව ද සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී තිබෙනවා.

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 61 යි මිලිග්‍රෑම් 390 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, හෝමාගම ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

එමෙන්ම, ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අලුත්ගම ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, තීරු බදුවලින් නිදහස්ව මෙරටට ගෙන්වා සීදුව ප්‍රදේශයේ ගුදමක තැන්පත් කර තිබූ අඩි 40 ක පමණ බහාලුමක් රේගු භාරයට ගෙන තිබෙනවා.

එහි හිමිකරුවන් වාර්තා කර තිබුණේ මෙම බහාලුම තුළ විදේශීය මධ්‍යසාර ලීටර් 11,257 ක් ඇති බවටයි.

කෙසේ වෙතත් අදාල බහාලුම් පරීක්ෂා කිරීමේදී එහි තිබී ඇත්තේ පානීය ජලය ලීටර් 1 බැගින් වූ බෝතල් 15 අසුරන 1179 ක් සහ හඳුනා නොගත් ද්‍රව්‍ය අඩංගු බැරල් 20 ක ප්‍රමාණයක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *