විස්සට එරෙහි පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට (30)

විස්සට එරෙහි පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට (30)

අම්බලන්තොට ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය විසි හතරක (24) ජල කප්පාදුවක්

ක්‍රීඩාව දියුණු කිරීමට පැරණි ක්‍රීඩකයන්ගේ අත්දැකීම් භාවිතයට ගතයුතුයි

නිවාඩු නොදමා පාසල් කාලයේ ටියුෂන් දුන් අනුරාධපුරයේ ගුරුවරයෙකුට වැඩ වරදී

වතු නිවාස ආසන්නයේම නව නිවාස ඉදිකිරීමට රජයේ අවධානය

සංශෝධනවල ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ලැබෙන කාලසීමාවේ වෙනසක්

සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16 කට පසු හමුවූ මව

චන්දිමාල් ජයසිංහට විරුද්ධව පැමිණිල්ලක්

රිය අනතුරු කිහිපයක් සිදුකර පළා යෑමට තැත්කළ බීමත්ව සිටි රියදුරෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ගැන සන්ධ්‍යා කුමාරි කළ හෙළිදරව්ව

ගංඟා රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

දරුවෙකුට පහරදුන්නැයි, රොටුඹ ටියුෂන් ගුරා අත්අඩංගුවට

තැපැල් සේවා පුළුල් කරන්න – ජනපතිගෙන් උපදෙස්

*********************************************

විස්සට එරෙහි පෙත්සම් වැඩිදුර සළකා බැලීම හෙට (30)

(29.09.2020 – 16:56 +0530 – hirunews.lk/sinhala)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගය හෙට (30) දිනය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

පෙත්සම් විභාගය අද (29) ආරම්භ වුනේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුලු විවිධ දේශපාලනඥයින්, නීතීඥවරුන්, වෘත්තියවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම පුරවැසියන් ඇතුලු පාර්ශව විසින්.

එම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන බරපතල ලෙස උල්ලංඝනය වන බවයි.

එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කරගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින්ද සම්මත විය යුතු බවත් ප්‍රකාශ කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ.

සියලු පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයාවයි.

අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති දප්පුල ද ලිවේරා කියා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා නව සංශෝධන සිදුකිරීමට රජය තීරණය කර ඇති බවයි.

ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත බව ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී නීතිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊශ්වරන් කරුණු දක්වමින්, එම සංශෝධන අඩංගු ලේඛනය පෙත්සම්කාර පාර්ශ්වය වෙතද ලබා දෙන ලෙස ඉල්ලීමක් කළා.

ඒ අනුව අදාළ ලේඛනයේ පිටපත් පෙත්සම්කාර පාර්ශවය වෙතද ලබා දෙන ලෙසයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

ඉන් අනතුරුව පෙත්සමක් ගොනු කර තිබූ නීතිඥ ඉන්දික ගාල්ලගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ කරුණු ඉදිරිපත් කළා.

ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී රජය විසින් සංශෝධන හදුන්වා දීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් සදහන් කර තිබුනද එම යෝජිත සංශෝධන පිළිබඳව හැදෑරීමට සාධාරණ කාලයක් හිමි විය යුතු බව සඳහන් කළා.

ජනාධිපතිවරයාගේ නිල කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කීරීම සඳහා ජනතාවට හිමිව තිබූ අවස්ථාව යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් අහිමි කර ඇති බවත් එය ජනතා පරමාධිපත්‍යය ඍජු ලෙස උල්ලංඝනය කිරීමක් බවටත් නීතිඥවරයා චෝදනා කළා.

ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට නොහැකි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් හදුන්වා දී තිබු සීමාව වත්මන් 20 වන සංශෝධන පනත් කෙටුම්පත් තුළින් ඉවත් කර ඇතැයි චෝදනා කළ ඔහු මේ තුළින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වන බවද අවධාරණය කළා.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාල සහ රාජ්‍ය සමාගම් ගනනාවක් විගනනයෙන් ඉවත් කිරීම සහ විගණකාධිපතිවරයා ලෙස පත්වීමට පුද්ගලයෙකුට තිබිය යුතු සුදුසුකම් යනාදිය යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර ඇති බවත් ඒ හරහා මූල්‍ය පාලනයට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බවටත් ඔහු කියා සිටියා.

සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති බොහොමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වගන්තිය මගින් සදහන් කර තිබෙන ‘මහජන පරමාධිපත්‍යය සමග ඍජුවම ගැටෙන’ හෙයින් එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කිරීමට සිදුවන බව සදහන් කළා.

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව’ මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනය තුළින් කප්පාදුවට ලක්වන බවත් එවැනි උසස් නිලතල සදහා පුද්ගලයින් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බවටත් ඔහු චෝදනා කර සිටියා.

මේ තුළින් අදාළ පත් කිරීම් සිදු කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමේ අවදානමක් පවතින බවද නීතිඥවරයා පෙන්වා දුන්නා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සදහන් කර තිබුනද යෝජිත 20 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව යටපත් කරන තත්වයක් දිස්වන බව සදහන් කළ නීතිඥවරයා මෙම සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සිය අභිමතය පරිදි ඉවත් කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පවරා දී තිබෙන බව පෙන්වා දුන්නා.

මේ හරහා මහජන පරමාධිපත්‍යය සහ නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් පාර්ලිමේන්තුව සතු ඇතැම් බලතල ජනාධිපතිවරයා වෙත පවරා දීමක් සිදු කර ඇතැයි චෝදනා කළා.

පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරනු ලබන පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් සදහා යොමු කළ හැකිවන ආකාරයේ බලයක් ජනාධිපතිවරයා වෙත මෙම සංශෝධන පනත් කෙටුම්පත තුළින් පවරා දී ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් යැයි ද ඔහු පෙන්වා දුන්නා.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත නීතිය ඉදිරියේ බල ශූන්‍ය ලියවිල්ලක් යැයි පෙන්වා දුන්නා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුලධර්ම සහ ව්‍යවස්ථාවේ මූලික පදනම උල්ලංඝනය වන අයුරින් එය කෙටුම්පත් කර ඇති බවත් ඒ තුළින් ජනතා පරමාධිපත්‍යය මෙන්ම මූලික අයිතිවාසිකම් ද බරපතල ලෙස කප්පාදුවකට ලක්වන බවත් ජනාධිපති නීතිඥවරයා සදහන් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පාර්ශව 07 ක් වෙනුවෙන් ගොනු කළ පෙත්සම් විභාග කිරිම අද අවසන් වුණා. වැඩිදුර විභාගය හෙට (30) දින දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ හා මහාචාර්ය ජී.එල්. පීරිස් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

++++++++++++++++

*********************************************

අම්බලන්තොට ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය විසි හතරක (24) ජල කප්පාදුවක්

(29.09.2020 – 16:59 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට ජලසම්පාදන ක්‍රමය යටතේ ජලය සැපයෙන දෙහිගහලන්ද, මිරිජ්ජවිල, සිසිලසගම, ගොඩවාය, මානජ්ජාව සහ පහළ බැරගම ප්‍රදේශවලට හෙට (30) පැය විසි හතරක (24) කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (30) පෙරවරු හයේ (06:00) සිට පසුදා (01) පෙරවරු හය (06:00) දක්වා මෙලෙස එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති ෴

*********************************************

ක්‍රීඩාව දියුණු කිරීමට පැරණි ක්‍රීඩකයන්ගේ අත්දැකීම් භාවිතයට ගතයුතුයි

(29.09.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

පැරණි ක්‍රීඩකයන්ගේ අත්දැකීම් භාවිතයට ගනිමින් මෙරට ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කාලය එළඹ ඇති බව ඔලිම්පික් පදක්කම්ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසනවා.

ඒ ඇය ඔලිම්පික් දිනා වසර 20 ක් සපිරීම නිමිත්තෙන් කෑගල්ල උඩුවක කනිෂ්ඨ විද්‍යාලයේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයක් අමතමින්.

එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.

*********************************************

නිවාඩු නොදමා පාසල් කාලයේ ටියුෂන් දුන් අනුරාධපුරයේ ගුරුවරයෙකුට වැඩ වරදී

(29.09.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

නිවාඩු ලබා නොගෙන පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වූ අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙකු අද (29) උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානයට ලක්වුණා.

උසස් පෙළ රසායන විද්‍යා විෂය උගන්වන ඔහු මාස දෙකකට (2) වැඩි කාලයක් මෙලෙස පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වූ අතර, ඒ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි ෴

*********************************************

වතු නිවාස ආසන්නයේම නව නිවාස ඉදිකිරීමට රජයේ අවධානය

(29.09.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

වතු නිවාස ආශ්‍රිතවම එම ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේ අද (29) පැවති වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැළසුම් පිලිබඳව පැවති සාකච්ඡාවේදියි.

ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදි ආරම්භ කර තිබෙනවා.

දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669 ක්.

කෙසේ වෙතත් යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතුවූ බව නිලධාරීන් මෙහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

වතු ජනතාව ජීවත්වන නිවාස අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සපයා ඇති බැවින් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබාදිය හැකි බවයි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

සිදුවිය යුත්තේ ඔවුන් ජීවත්වන පරිසරයේ සිට ජීවන තත්වය නගා සිටුවීම බව සඳහන් කළ ජනාධිපතිවරයා නිවාස සැළසුම් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීමෙන් ඉදිකිරීමේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය ඉහළ තත්වයක පවත්වාගත හැකි බව කියා සිටියා.

එසේම 438 ක් වන වතු ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් වතු ජනතාව වෙනුවෙන් කඩිනමින් ලබාදිය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා ෴

+++++++++++++

*********************************************

සංශෝධනවල ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ලැබෙන කාලසීමාවේ වෙනසක්

(29.09.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත සංශෝධන 53 ක් සහිත ලේඛනයක් නීතිපති දප්පුල ද ලිවේරා විසින් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.

විසිවන සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසරක් (1) ඉක්මවූ පසු විසුරුවා හැරීමට ලබාදී තිබූ බලය සංශෝධනය කොට එය, වසර දෙකකුත් (2) මාස හයක් (6) දක්වා දීර්ඝ කිරීමට එමඟින් යෝජනා කර තිබෙනවා.

එසේම අදාළ සංශෝධනවලට ජනාධිපතිවරයාගේ බලතල සහ කාර්යයන් යටතට, ‘මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ඇත්තේය’ යන වගන්තිය ඇතුළත් කර තිබෙනවා.

මේ අතර එම සංශෝධනවල දැක්වෙන්නේ නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහ ලේකම්, අගවිනිසුරු, අභියාචනාධිකරණයේ සභාපති සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන්, විගණකාධිපති, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් යන තනතුරු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව බවයි.

අදාළ තනතුරු පත් කිරීමේ ඍජු බලය ජනාධිපතිවරයාට හිමිවන බවට විසිවන සංශෝධනය මගින් යෝජනා කර තිබුණා.

එසේම අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු ලේකම්වරයෙකු සිටිය යුතු අතර, ඔහු අග්‍රාමාත්‍යවරයාගේ විධිවිධානවලට යටත්ව සේවය කළ යුතු බවටද වගන්තියක් නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ සංශෝධනවල ඇතුළත්.

‘ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකිය’ යන වගන්තිය ඉවත් කිරීමට විසිවන සංශෝධනයෙන් ගත් තීන්දුව නව සංශෝධනවලින් නොවෙනස්ව පැවතෙනවා.

*********************************************

සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16 කට පසු හමුවූ මව

(29.09.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

මව් සෙනෙහසට නිම් හිම් නැහැ.

මේ ඒ අසීමාන්තික මව් සෙනෙහසේ තරම කියා පාන තවත් නිදසුනක්.

මේ සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16 කට පසු හමුවීමේ සතුට අප සමඟ බෙදාගත් දිරිය මවකගේ කතාවයි.

දිනය 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා….

ස්ථානය අම්පාර මුහුදුබඩ ප්‍රදේශය…

වෙනදා මෙන්ම උදෑසන 9 පසුවී විසිපස්වැනි විනාඩිය ගතවන තෙක් මෙරට තුළ පැවතියේ ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක්.

නමුත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ සිදුවු දරුණු රික්ටර් මාපක 9.1 ක ප්‍රබලත්වයෙකින් යුත් දරුණු භූකම්පනයකින් වියරු වැටුණු සයුර ගොඩබිමට කඩාවදිනවා.

හදිසියේ හිස මත කඩා වැටුණු මේ මහා ව්‍යසනයෙන් වෙරළබඩ ජීවත්වන බොහෝ දෙනෙකුට සිය ආදරණියයන් අහිමි වුණේ සිතා ගැනීමටත් ඉඩක් නොතබමින්.

සමන්තුරේ ජීවත්වු අබුසාලි සිත්ති හමාලියාගේ පවුලද එහි බලපෑමට ලක්වනවා.

එහිදි ඇගේ අවුරුදු 5 ක රාසීන් මොහොමඩ් අක්‍රම් රිස්කාන් පුතු අතුරුදන් වනවා.

කෙසේ වෙතත් තම පුතු සොයන ගමන නතර නොකරන හමිලියාට වසර 16 කට පසු සිය සටන ජයගන්නේ ප්‍රාතිහාර්යයක් මෙන්.

ඒ ඇය සේවය කළ රෝහලේ සේවිකාවකගේ මාර්ගයෙන් ලද තොරතුරකට අනුවයි.

මේ හමිලියා දිගහරින ඇගේ කතාවයි.

*********************************************

චන්දිමාල් ජයසිංහට විරුද්ධව පැමිණිල්ලක්

(29.09.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

හමුදා උත්සව නිල ඇඳුමකට සමාන ඇඳුමක් ඇඳ උපන්දින සාදයකට සහභාගි වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් නීතිඥවරුන් පිරිසක් අද (29) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

*********************************************

රිය අනතුරු කිහිපයක් සිදුකර පළා යෑමට තැත්කළ බීමත්ව සිටි රියදුරෙක්

(29.09.2020 – 22:01 +0530 – sinhala.adaderana.lk)

බීමතින් වෑන් රියක් පදවා රිය අනතුරු කිහිපයක් සිදුකර පළා යමින් සිටි රියදුරෙකු ප්‍රදේශවාසීන්ගේ පහර කෑමකට ලක්වූ පුවතක් පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

පානදුර මහබෙල්ලන තොටුපොල පාරේදී පාසැල් සිසුවෙක් අනතුරට ලක්කට පළා ගිය රථය මහබෙල්ලන මංසන්ධියේදී ත්‍රිරෝද රථයක ගැටී දෙදෙනෙකුට (2) තුවාල සිදුව ඇති අතර එම ස්ථානයෙන් ද පළා යන අතරේදී එම රථය අලුබෝමුල්ල ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී නතරවී තිබේ.

එහිදී කුපිත වූ ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ රියදුරු සිය ඇඳුම් ද උනා දමා පළා යෑමන්නට උත්සහ කිරීමේදී පොලීසියේ මැදිහත්වීමෙන් සුවසැරිය ගිලන් රථයක් මගින් ඔහුව රෝහල්ගත කර තිබේ.

***************************************

29-09-2020

*********************************************

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ගැන සන්ධ්‍යා කුමාරි කළ හෙළිදරව්ව

(29.09.2020 – 23:01 +0530 – hirunews.lk/sinhala)

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, වඩාත් අපක්ෂපාතී යැයි පවසමින් පත් කළ පොලිස් කොමිසම දේශපාලණීකරණය වී ඇතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම නිරීක්ෂණය කළ බව එහි සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා අද (29) ප්‍රකාශ කළා .

ඒ යුද හමුදා පළමුවන බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් රවීන්ද්‍ර රූපසේන මහතා කළ පැමිණිල්ලකට අදාළව ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසමට කළ කරුණු දැක්වීමේදීයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් 2015.09.04 වන දින උදෑසන 05:30 ට පමණ බලහත්කාරයෙන් සිය නිවසට කඩා වැදුණු බව සන්ධ්‍යා කුමාරි මහත්මිය කොමිසම හමුවේ සදහන් කළා.

ඇය පැවසුවේ රාත්‍රී ඇදුමෙන් සැරසී සිටීම නිසා දැඩි අපහසුතාවයට පත් වූ තමා එම ඇඳුම මාරු කර ගැනීමට සී.අයි.ඩී. යේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා ගෙන් ඉල්ලීමක් කළ ද ඔහු ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් බවයි .

තම ස්වාමියා පිළිබඳව කරුණු නොදන්නා බව අවස්ථා කිහිපයකදී පැවසීමෙන් අනතුරුව උරණ වූ සී.අයි.ඩී. යේ ප්‍රේමතිලක නැමැත්තා තමන් අමතා “මේකිව හුරතල් කරලා හරි යන්නේ නැහැ. මේකිවයි දරුවයි වාහනේ දාගෙන යන්න ඕන” යැයි පවසමින් බලහත්කාරයෙන් තමා රැගෙන යාමට කටයුතු කළ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසුවේ සී.අයි.ඩී. නිලධාරීන් කොල්ලකරුවන් ලෙස කටයුතු කර ඇති බවයි.

සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ ඒ අවස්ථාවේදී තම ඉල්ලීම මත රාත්‍රී ඇඳුම මාරු කර ගැනීමට සී.අයි.ඩී. නිලධාරින් අවස්ථාව ලබා දුන්නද ඒ අවස්ථාවේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක නැමැත්තා තමාට කාමරයේ දොර වසා ගැනීමට අවස්ථාවක් ලබා නොදී ඒ අසල රැඳී සිටි බවයි .

සන්ධ්‍යා කුමාරි මහත්මිය සඳහන් කළේ , උදෑසන 06:30 සිට පස්වරු 02:00 පමණ දක්වා තමාට හෝ සිය පුතුට ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීමට හෝ පානය කිරීම සඳහා ජල බිඳක් ලබා දීමට හෝ සී.අයි.ඩී ය සානුකම්පිත නොවූ බවයි.

තමාට ඉවසා ගත නොහැකි නිසා ස්වාමියා සේවය කරන ස්ථානයට ගිය පසු ශරීර කෘත්‍යයන් ඉටු කර ගැනීම සඳහා ඉඩ ලබා දෙන්නැයි ඉල්ලීමක් කළ අවස්ථාවේදී ඔවුන් වැසිකිළියේ දොර වසා ගැනීමට ඉඩ නොදී ඒ අසල රැඳී සිටි බව සංවේදී වෙමින් ඇය ප්‍රකාශ කළා.

කොමිසමේ සභාපති විනිසුරුවරයා නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා ගෙන් විමසුවේ, මෙම කාන්තාවගේ පැමිණිල්ලට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ කුමන වගන්ති උල්ලංඝනය වී ඇත් ද යන්නයි .

එයට අනුව ලිංගික හිරිහැර කිරීමේ වරද සිදුකර ඇති බව හැඟී යන්නේ යැයි රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළා.

මෙහිදී පොලිස් කොමිසම සන්ධ්‍යා කුමාරි මහත්මිය වෙත එවා තිබූ පිළිතුරු ලිපියක් සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු වුණා.

“කාන්තාවක් බලහත්කාරයෙන් වාහනයක දමා ගෙන යාම විනය විරෝධී ක්‍රියාවක් නොවන බව පොලිස් කොමිසම කියනවා. මෙහෙම පොලිස් කොමිසමක් අවශ්‍ය ද? කන්න බොන්න නැතුව, ඇදුම් මාරුකරගන්න දොරවල් අතරට වෙලා හිටපු එක විනය විරෝධි ක්‍රියාවක් නොවන බව කියන්න තරම් පොලිස් කොමිසම මේ තරම් පහත් ද ? පොලිස් කොමිසමේ අසාර්ථකභාවය මෙයින් පෙනී යනවා. පොලිස් කොමිසම කොතරම් දේශපාලනයට ගැති වෙලා තියෙනව ද යන්න කොමිසම හමුවේ ලැබෙන සාක්ෂිවලින් පෙනී යනවා.” කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වැඩිදුරටත් සදහන් කළා.

*********************************************

ගංඟා රකින්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

(30.09.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට ගංඟා ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි සියලුම පරිසර සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පළමුවරට පරිසර අමාත්‍යාංශයේදි ඊයේ (29) පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

පරිසර සංරක්ෂණය උදෙසා විදේශ රටවල සිට ආනයනය කරන භාණ්ඩ කාණ්ඩ පහක් (5) ලබන වසරේ ජනවාරි මස 1 වනදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

මේ අතර උඩවලව රක්ෂිතයට අයත් බෝදාගම අක්කර 40 ක් සහ අලිවැටක් ඩෝසර් කර ඇති බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි සඳහන් වන්නේ ප්‍රශ්නගත ස්ථානය උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් ස්ථානයක් නොවන බවයි. එය බෝදාගම ග්‍රාමනිලධාරී වසමට අයත් මහවැව රජයේ වනයට අයත් මායිමක සිදුවූ අනවසර ක්‍රියාකාරකමක් බව එහි සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සඟවා ඇති ඩෝසර් යන්ත්‍රය සහ එහි ක්‍රියාකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

මහවැව රජයේ වනයට යාබදව ඇති කතරගම දේවාලයට අයත් ඉඩමක් බදු පදනම මත ලබාගත් අයෙකුගේ උපදෙස් මත එම ඉඩමට අයත්වන ලෙස කැලෑ ඉඩම් හෙක්ටයාර 5 ක් වටවන අයුරින් මීටර 3 ක් පමණ පළලට, මීටර 600 ක් පමණ දුරට ඩෝසරයක් භාවිතයෙන් මායිම් සළකුණු කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා ෴

*********************************************

දරුවෙකුට පහරදුන්නැයි, රොටුඹ ටියුෂන් ගුරා අත්අඩංගුවට

(30.09.2020 – 07:22 +0530 – hirunews.lk/sinhala)

= දරුවෙකුට පහරදුන්නැයි, රොටුඹ ටියුෂන් ගුරුවරයෙකු අත්අඩංගුවට =

මාතර – රොටුඹ ප්‍රදේශයේ හය ශ්‍රේණියේ සිසුවෙකුට ඔහු සහභාගිවන උපකාරක පන්තියක ගුරුවරයෙකු පහරදී ඇති බවට අදාළ සිසුවාගේ පියා චෝදනා කරනවා.

අධ්‍යයන කටයුතු සිදුවන අවස්ථාවේ තවත් සිසුවෙකු සමඟ කතා කළේ යැයි සඳහන් කරමින් ගුරුවරයා මෙලෙස තම දරුවාගේ පාදයට පෑනකින් ඇන ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ වනවිට එම දරුවා මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රොටුඹ පොලීසියෙන් විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

***************************************

විදේශ රටවල් 3 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 339 දෙනෙකු අද (30) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි 47 දෙනෙකු ඩුබායි හි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

එමෙන්ම ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු කටුනායකට පැමිණියා ෴

***************************************

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘රත්මලානේ කුඩු අංජු’ නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 21 ක් සමඟින් රත්මලාන දුම්රියපොළ අසළ දී ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලානේ කුඩු අංජු නැමැත්තා දැනට විදේශගතව සැඟව සිටිනවා ෴

++++++++++++++

රුපියල් එක්කෝටි විසිපන්ලක්ෂයක (1,25,00,000) වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 100 ක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අද (30) උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහරගම ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති මොවුන් මහරගම ප්‍රදේශයට හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක නිරත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ වන විට මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවට දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර, කැබ් රථයකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි 3 දෙනෙකු පලෙයි පොලීසිය මගින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයියකච්චි ප්‍රදේශයේ සිට අලිමංකඩ දක්වා ධාවනය වෙමින් තිබූ මෙම කැබ් රථය ක්ෂණික මාර්ග බාධකයේදී හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහි සිටි පුද්ගලයෙකුගේ ගමන් මල්ලක තිබී මෙම කේරළ ගංජා තොගය සොයා ගැණුනා.

***************************************

රුපියල් 5000 සේ ව්‍යාජ මුදල් නෝට්ටු 39 ක් සමඟින් සැකකරුවෙකු උඩුදුම්බර – නිසාරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නෝට්ටුවලට අමතරව ජංගම දුරකථන 8 ක් සහ පරිඝනක කිහිපයක් ද ඊයේ (29) සිදුකළ වැටලීමකදී ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු උඩුදුම්බර ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙක්.

***************************************

රැඳවියෙකු ලඟ තිබී ජංගම දුරකථන සිම්පතක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. ඊයේ (29) වැලිකඩ බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම රැඳවියාගේ ගමන් මල්ලේ තිබී මෙම සිම්කාඩ්පත සොයාගෙන ඇති බව සඳහන් ෴

*********************************************

තැපැල් සේවා පුළුල් කරන්න – ජනපතිගෙන් උපදෙස්

(30.09.2020 – 09:54 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාතික තැපැල්සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගත හොත් ශ්‍රී ලංකා තැපෑලට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙනවා.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැළසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තැපෑල සතු විශාල සම්පත් සම්භාරය නිසි ලෙස කළමනාකරණයෙන් ඉලක්කය වෙත පහසුවෙන් ළඟවිය හැකි බවයි ෴

***************************************

බදුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ආරුක්කු 9 පාලම හෙවත් දෙමෝදර පාලම ජාතික උරුමයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙරට ජාතික උරුමයන් බවට පත් කළ යුතු ස්ථාන කවරේද යන්න පිළිබඳව මේ දිනවල වෙනම ලේඛනයක් සකස් කරමින් පවතින බවයි.

ඒ අනුව ඊට ආරුක්කු 9 පාලමද එක් කර ඇති බවයි රාජ්‍ය අමාතවරයා කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Chandimal. Why a lawyer want to interfere with the entertainment of this clownish rich guy? The uniform has no resemblance to that of any Sri Lanka army regiments. He is not wearing a rank, and so it is just a prop for his birthday party settings. Let these wierd group of people enjoy themselves wasting money if they want; it is their earnings and no need for any lawyer to get envious about it. They are just actors and playing for the media and publicity.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *