මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සුරාබදු නියාමකවරයෙකු ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සුරාබදු නියාමකවරයෙකු ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට

මිරිස් කුඩු ගසා ත්‍රිරෝද රථයක් පැහැර ගැනීමට උත්සහ කළ යුවළක් හෙම්මාතගමින් අල්ලයි

ටෙනිසන් කුරේගේ දේහය නිවස වෙත

වැටුප් වෙනුවට හෙරොයින් ලබාදුන්, ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

සෑම මැතිවරණ කොට්ඨාශයකට ඒකක 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක්

20 ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

තුන් දෙනෙකුට (3) මරු කැදවමින්, බූවැලිකඩ කඩා වැටුණු පස් (5) මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

පාඨලී ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනම්

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක්

බීමට ජල පොදක් සොයන මැදිරිගිරිය ජනතාව

හිරු පුවතින් පසු, සති පොළේ දිවි ගෙවූ පවුලට මන්ත්‍රී නිපුණ රණවක පිහිට වෙයි

පාස්කු කොමිසමේදී විජේදාස රාජපක්ෂ සහ මුජිබර් රහුමාන් සාක්ෂි දෙයි

දෙණියායේ පදිංචි සිසුවියක් අතුරුදන්

*********************************************

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සුරාබදු නියාමකවරයෙකු ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට

(29.09.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියක් පමණ වටිනා ‘මැන්ඩි’ වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 653 යි මිලිග්‍රෑම් 380 ක් සමඟින් සුරාබදු නියාමකවරයෙකු ඇතුළු 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයේ සුරාබදු නියාමකවරයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කොස්ගම – කළුඅග්ගල ප්‍රදේශයේදී ඊයේ (28) දින වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී මෝටර් රථයකින් ‘මැන්ඩි’ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුගෙන් සිදුකරන ලද ප්‍රකාශවලට අනුව අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් අයෙකු හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සුරාබදු නියාමකවරයා විසින් ඔවුන්ට මෙලෙස ‘මැන්ඩි’ මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි ෴

+++++++++++++

මැන්ඩි මත්ද්‍රව්‍ය සමඟින් අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

මෙම නිලධාරියා මෑතකදී පරිවාස කාලසීමාව සම්පූර්ණ කරන ලද නවක සුරාබදු නියාමකවරයෙකු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් මෙම නිලධාරියා ජයවර්ධනපුර සුරාබදු ස්ථානයට අනුයුක්තව සේවය කරන අයෙක්.

කොස්ගම – කළුඅග්ගල ප්‍රදේශයේ ඊයේ (28) සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් මැන්ඩි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගත් ග්‍රෑම් 653 යි මිලිග්‍රෑම් 380 ක් වූ මැන්ඩි මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව සඳහන්.

පසුව ඔහුගෙන් සිදුකරන ලද ප්‍රකාශවලට අනුව අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් අයෙකු හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

වැඩිදුරටත් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සුරාබදු නියාමකවරයා විසින් ඔවුන්ට මෙලෙස මැන්ඩි මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවයි.

මීට අමතරව අත්අඩංගුවට ගත් සැකකරුවන් භාවිතා කරන ලද මෝටර් රථයකක් සහ ජංගම දුරකථන 5 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘අවිස්සාවේල්ල – ගවුස්’ නැමැත්තාගේ ගෝලයෙකු ද හෙරොයින් ග්‍රෑම් 11 ක් සමඟින් බොරැල්ල ප්‍රදේශයේදී ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ‘ගවුස්’ නැමැත්තාගෙන් හෙරොයින් මිලදී ගෙන බොරැල්ල සහ ඒ අවට ප්‍රදේශවලට අලෙවි කර ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු 48 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (28) සිදුකළ තවත් වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘රුවන්පුර රන්මුතුගේ සඳමාලි සිල්වා’ හෙවත් ‘සාලමුල්ල සඳා’ සහ ඇයගේ සැමියා හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 50 ක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සති දෙකකට (2) ඉහත දී සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 90 ක් සමඟින් අත්අඩංගුවට ගත් කාන්තාවන් තුන් දෙනාගෙන් (3) සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර, වැල්ලවාය – ඌව කුඩාඔය පොලීසිය සිදුකළ හදිසි වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 750 ක් සමඟින් සැකකරුවන් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මොරටුව ප්‍රදේශයේ සිට සිය ශරීරය තුළ සඟවාගෙන වැල්ලවාය දක්වා බස් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවටයි සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ෴

*********************************************

මිරිස් කුඩු ගසා ත්‍රිරෝද රථයක් පැහැර ගැනීමට උත්සහ කළ යුවළක් හෙම්මාතගමින් අල්ලයි

(29.09.2020 – 06:49 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යන මුවාවෙන් ගොස් එම ත්‍රිරෝද රථය පැහැරගැනීමට උත්සහ කළ යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයෙන්.

හෙම්මාතගම නගරයේ ත්‍රිරෝද රථයකින් සිංහරාජ ගම්මානය ප්‍රදේශයට කුලී ගමනක් යන මුවාවෙන් ගොස් එම මාර්ගයේ පාලු ස්ථානයකදී එහි රියදුරාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තියුණු ආයුධයකින් පහර දී ත්‍රිරෝද රථය පැහැර ගැනීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ත්‍රිරෝද රථ රියදුරුගේ කෑගැසීමත් සමඟ රථය පැහැරගැනීමට පැමිණි යුවළ පලාගොස් ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා අල්ලා පොලිසිය වෙත භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් වන අතර සැකකාර කාන්තාව තණමල්විල පදිංචි 28 හැවිරිදි වියේ පසුවන්නියක්.

55 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක් මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර ඔහු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ හෙම්මාතගම පොලිසි මඟින් සිදුකරනු ලබනවා ෴

*********************************************

ටෙනිසන් කුරේගේ දේහය නිවස වෙත

(29.09.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය අද(29) පෙරවරුවේ මොරටුවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (28) දහවල් අභාවප්‍රාප්ත වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අනිද්දා (01) පස්වරු 4 ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ඊයේ (28) රාත්‍රියේ මෙන්ම අද (29) දිනයේත් කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටිනවා.

ටෙනිසන් කුරේ මහතාගේ සමකාලීන සගයෙකු වන ප්‍රවීන රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා ද ඊයේ (28) රාත්‍රියේ එම නිවසට පැමිණි අතර, ඔහු මාධ්‍යයට අදහස් නොදක්වා ඉන් පිටව ගියේ දැඩි ශෝකයෙන් ෴

+++++++++

++++++++++++++++++

(30.09.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (01) සිදුකිරීමට නියමිතයි.

ඒ, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදියි.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා අභාවප්‍රාප්ත වන විට ඔහු 68 වන වියේ පසුවුණා.

1986 තිරගතවූ පෙරළිකාරයෝ චිත්‍රපටයට එක්වෙමින් සිය කලා චාරිකාව ඇරඹූ ඔහු ‘ටෙනී’ නමින් සිනමා ලෝලීන් අතර ජනාදරයට පත්වුණා.

ටෙනිසන් කුරේ මහතා හිරු මාධ්‍ය ජාලය සමඟත් අතිශය සමීප සබඳතා පැවැත්වූ නිහතමානී කලාකරුවෙක්.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඔහුගේ අභාවය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ ඊයේ (29) සටහනක් තබමින් කියා සිටියේ මිනිසුන් සතුටු කිරීම ඔහු සතු දක්ෂතාවක් නිසා සැමදා ඔහු සිහිපත් වනු ඇති බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ සියලුදෙනා ‘සිනාසෙන මිනිසා’ ලෙස ඔහුව ආදරයෙන් සිහිපත් කරනු ඇති බවයි ෴

++++++++++++++++

30-09-2020

+++++++++++++

30-09-2020

++++++++++++++

30-09-2020

++++++++++++++++

01-10-2020

++++++++++++++

01-10-2020

*********************************************

වැටුප් වෙනුවට හෙරොයින් ලබාදුන්, ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

(29.09.2020 – 08:06+0530 – hirunews.lk/sinhala)

තමන් යටතේ සේවය කරන පිරිසකට වැටුප් වෙනුවට හෙරොයින් ලබා දී සේවය ලබා ගත් ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

අතුරුගිරිය පොලීසිය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි මේ පිළිබඳව තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ.

පසුගිය දිනක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත සිදුකළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ මව ද හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

පසුව ඊයේ (28) එම කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා ද හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු මාළඹේ 10 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 500 ක් සොයා ගෙන තිබුණා.

මීට අමතරව, හෙරොයින් ප්‍රවාහනයට යොදා ගත් බවට සැකකෙරෙන ලොරි රථ දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව දැනට එකම පවුලේ මව සහ ඇයගේ පුත්‍රයන් දෙදෙනෙකු (2) මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අබලි යකඩ එක්රැස් කරන ව්‍යාපාරවල නිරත වී ඇති අතර, එහි සේවය කරන පිරිස් වෙත වැටුප් වෙනුවට හෙරොයින් ලබාදී ඇති බවටයි පසුව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ෴

*********************************************

සෑම මැතිවරණ කොට්ඨාශයකට ඒකක 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක්

(29.09.2020 – 09:51 +0530 – hirunews.lk/sinhala)

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිවරයාගේ බලය අඩු නොවන අතර, අදාළ කෙටුම්පත පිළිබඳව ආණ්ඩුව එක මතයක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ අද (29) උදෑසන පැවති විශේෂ හමුවකට එක්වෙමින්.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැන සොයා බැලූ කමිටු වාර්තාවේ, අග්‍රාමාත්‍යවරයා ද එකඟ නිර්දේශ, කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට එකඟතාවක් පවතින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා එම හමුවේදී සඳහන් කළා.

එමෙන්ම, සෑම මැතිවරණ කොට්ඨාශයකට නිවාස ඒකක 100 කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව එම හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කළා.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්වූ අතර, අදාළ ගිවිසුම අත්සන් කිරීමට මේ වන විට කිසිදු සාකච්ඡාවක් රජය පවත්වා නොමැති බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා ෴

*********************************************

20 ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

(29.09.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, අගවිනිසුරු ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එම කෙටුම්පතට එරෙහිව මේ වන විට පෙත්සම් 39 ක් ඉදිරිපත් වී තිබෙනවා ෴

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (29) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අදාළ පෙත්සම් සලකා බැලීම පෙරවරු 10:15 ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වූ බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට ඉදිරිපත්ව ඇති පෙත්සම් සංඛ්‍යාව 39 ක්.

මෙහිදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා නව සංශෝධන සිදුකිරීමට රජය තීරණය කර ඇති බවයි.

ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත බව ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී නීතිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

එම ලේඛනය තමන් වෙතට ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව අදාළ සංශෝධන අඩංගු ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත ද ලබාදීමට පියවර ගන්නා ලෙසයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ.

පෙත්සම් සලකා බැලීම මේ වන විටත් සිදුවනවා.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ හා මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා ෴

+++++++++++++++

++++++++++++

*********************************************

තුන් දෙනෙකුට (3) මරු කැදවමින්, බූවැලිකඩ කඩා වැටුණු පස් (5) මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

(29.09.2020 – 11:21 +0530 – hirunews.lk/sinhala)

මාස එකහමාරක් වයසැති කුඩා බිළිඳියක් ඇතුළු තුන් දෙනෙකුට (3) මරු කැදවූ සිද්ධියට අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුවන අනුර ලෙව්කේ නමැත්තා මහනුවර පොලිසිය විසින් අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර සැකකරු පොලිස් වෙත එලෙස පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

පසුගිය 20 වනදා මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටුණු අතර ඊට යටවීමෙන් හෝටලයක සිටි මව පියා සහ බිළිඳිය ජිවිතක්ෂයට පත් වුණා.

ඒ අනුව නොසැලකිලිමත් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස තුන් දෙනෙකුට (3) මරණය සිදු කිරීම යන චෝදනාව මත ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසිය අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු අද (29) දහවල් අපරාධ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි අදාළ උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේ.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මින් ඉදිරියට ගොඩනැගිල්ලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහය ද ලබා ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවයි ෴

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තුන්දෙනෙකුට (3) මරු කැඳවූ ගිලාබැසීමට ලක්වූ මහනුවර – බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ ඔක්තෝම්බර් 13 වනදා දක්වා අද (29) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

*********************************************

ගව ඝාතනය තහනම් කිරීමට කැබිනට් අනුමැතිය

(29.09.2020 – 11:35 +0530 – hirunews.lk/sinhala)

ගව ඝාතනය (හරක් මැරීම) සම්බන්ධයෙන් දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින සත්ත්ව පනත සහ ගව ඝාතනය ආඥා පනත ආදී පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා විසින් ඒ සඳහා ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ දක්වා ඇත්තේ එම නීති රීති සංශෝධනය කිරීමට නොපමාව පියවර ගන්නා අතර, ගව මාංෂ (හරක් මස්) පාරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංෂ ආනයනය කිරීමට සහ සහන මිලකට ලබාදීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

එමෙන්ම, කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදා ගත නොහැකි වයස්ගත තත්ත්වයට පත්වන ගවයින් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

එම පියවරවලට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴

*********************************************

පාඨලී ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනම්

(29.09.2020 – 12:08 +0530 – hirunews.lk/sinhala)

රාජගිරියේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු 3 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා.

ඒ, අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ පාඨලී චම්පික රණවකගේ රියදුරාට ද මෙම විදෙස් ගමන් තහනම බල පැවැත්වෙනු ඇති.

මේ අතර, අද (29) දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි පාඨලී චම්පික රණවකගේ රියදුරා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළා.

අදාළ නඩුව ලබන 12 වන දා යළි කැදවීමට නියමිතයි ෴

*********************************************

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක්

(29.09.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

නඩු ප්‍රමාදයන්ට හේතුවන ගැටළු විසඳීම සහ නීති ප්‍රතිසංස්කරණය යන කරුණු සැළකිල්ලට ගනිමින් අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මෙම විශේෂ ඒකකය මගින් සිදුවනු ඇති.

නීති ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්ගේ දායකත්වය ලබාගනිමින් වසර 3 ක කාලයක් එය සිදුකිරීමටයි නියමිතව ඇත්තේ ෴

*********************************************

බීමට ජල පොදක් සොයන මැදිරිගිරිය ජනතාව

(29.09.2020 – 14:33 +0530 – hirunews.lk/sinhala)

ජලය රටට බත සපයන ගොවීන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක්.

අද (29) ‘රතු මිනිත්තුව’ දිග හැරෙන්නේ ගොවිතැන් කිරීමට පමණක් නොව බීමටවත් ජල පොදක් සොයා ගැනීමට නොහැකිව වෙහෙසෙන ගම්වැසියන් පිරිසක් පිළිබඳ විමසා බැලීමටයි.

මේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දම්සෝපුර වැවයි.

කවුඩුල්ල ජලාශය හරහා කුමුදුපුර, බේබියාවැව, ජයගම්පුර, මීගස්වැව යන ගම්මානවලට ජලය සැපයෙන්නේ මේ දම්සෝපුර වැවෙන්.

ගොවි පවුල් 700 කට අධික ප්‍රමාණයක් ද දම්සෝපුර වැව හරහා සිය වගාවන් පෝෂණය කරනවා.

රුපියල් මිලියන 160 ක මුදලක් වැය කරමින් මැදිරිගිරිය යාය 12 අඹගහවැව ව්‍යාපෘතිය මගින් 2016 වසරේ ජුනි මස 6 වැනිදා යහපාලන රජය යටතේ දම්සෝපුර වැවට ජලය රැගෙන යාම ආරම්භ වන්නේ ගොවීන්ගේ ජල ගැටලුවට විසඳුමක් ලෙසයි.

*********************************************

හිරු පුවතින් පසු, සති පොළේ දිවි ගෙවූ පවුලට මන්ත්‍රී නිපුණ රණවක පිහිට වෙයි

(29.09.2020 – 14:41 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවනක් නොමැතිව සිය කුඩා දරුවන් දෙදෙනා (2) සමඟ සතිපොළක දිවිගෙවන පවුලක් පිළිබඳව අප පසුගිය සෙනසුරාදා වාර්තා කළා.

එම හිරු පුවත ඵල දරමින් සතියක් ගතවෙන්නටත් මත්තෙන් එම අසරණ පවුලට නව නිවසක් හිමිවීමට භාග්‍ය උදාවී තිබෙනවා.

මාතර තෙලිජ්ජවිල හොරගොඩ සතිපොළ භුමියේ දරු දෙදෙනා සමග දිවි ගෙවන මෙම පවුල පිළිබද අප වාර්ථා කලේ පසුගිය 26 වෙනිදායි.

මේ වයස අවුරුදු 4 ක සහ මාස 4 ක දරු දෙදෙනා දිවි ගෙවන අයුරු දුටු බොහෝ සංවේදී හිත් ඇත්තවුන් ගේ නෙතග කඳුලක් ඉනූ බවට නොඅනු මානයි.

ඔවුන් එදා හැඬු කඳුලින් ඉල්ලා සිටි එකම ඉල්ලීම වුණේ නිවසක් තනා ගැනීමට බිම් කොටසක්.

මේ පුවත ප්‍රචාරය වීමත් සමග ඊට අවධානය යොමු වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා එම පවුලට නිවසක් තනා දීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ඒ අනුව මාතර පිහිටි සිය කාර්යාලයට මේ අසරණ පවුල කැදවූ මන්ත්‍රී වරයා ඔවුනට නව නිවසක් තනාදීමටත් එතෙක් සිය පෞද්ගලික වියදමින් කුලී නිවසක් ලබාදීමටත් කටයුතු කළා.

තමන්ට ලද ඒ අනගි අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දික ප්‍රසාද් මහතා සහ ඔහුගේ බිරිද සිය ප්‍රීතිය වචනවලට පෙරලුවේ මෙලෙසින්.

*********************************************

පාස්කු කොමිසමේදී විජේදාස රාජපක්ෂ සහ මුජිබර් රහුමාන් සාක්ෂි දෙයි

(29.09.2020 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයන් පිරිසක් අයි.එස්. සංවිධානයට එක්වීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය ගැන යහපාලන ආණ්ඩුව අවධානය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය මෙන්ම, ආණ්ඩු බලය අහිමිවීම ද වළක්වා ගත හැකිව තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්න්ධයෙන් විමර්ශනය කරණ ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින්.

එමෙන්ම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව අනිවාර්යයෙන් වගකිව යුතු බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (28) පස්වරුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතායි.

එහිදී මෙරට පිරිස් අයි.එස්. සංවිධානයට එක්වීම පිළිබඳ විජේදාය රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරය දරණ සමයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවක් සහ ඊට විරෝධය පළකරමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සිදුකළ කතාවක් කොමිසම හමුවේ ඔහුගේ අවධානයට ලක් කෙරුණා.

අනතුරුව ඒ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාය රාජපක්ෂ :

“මෙරට පුද්ගලයින් අයි.එස්. සංවිධානයට එක්වීම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට මාස 30 කට පෙර මම පාර්ලිමේන්තුවේදි කළ කතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නම් පාස්කු ඉරුදින සිදුවූ විශාල මිනිස් ඝාතනය වළක්වාගන්න තිබුණා නේද ?”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් :

“ඔබතුමා විතරක් නෙමෙයි අන්තවාදය ගැන කිව්වේ. දිගන සිදුවීමෙන් පස්සේ මමත් සහරාන් ගැන පොලීසියට පැමිණිලි කළා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්න කියලා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂිදෙමින් කියා සිටියා ඔහු සහරාන් අල්ලන්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා කියලා. අන්තිමට මොකද වුණේ ? කවුද නාමල් කුමාර කියලා කෙනෙක්ව දාලා සහරාන්ව අල්ලන්න ගිය නාලක ද සිල්වාව අල්ලලා හිරේ දැම්මා. මම කියන්නේ අදෘශ්‍යමාන බලවේගයක් සහරාන්ව බේරගන්න වැඩකළා.

මෙම සාක්ෂි ලබාදීම අතරතුර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සංවේදී වූ අතර ඔහු හඬමින් මෙසේ පැවසුවා :

“මම මගේ දරුවාව මුස්ලිම් පාසලකට දාලා තිබු‍ණේ නැහැ. සහජීවනය ඉගෙනගන්න කොළඹ ජාතික පාසලකටයි දරුවව දාලා තිබුනේ. නමුත් මේ සිදුවීමෙන් පස්සේ දරුවා සති දෙකක් ඉස්කෝලේ ගියේ නැහැ. මොකද ඉස්කෝලේ ගියාම අනිත් ළමයි කොන් කරනවා. අන්තිමට මට මගේ ළමයගේ ඉස්කෝලේ මාරු කරන්නත් වුණා. අන්න එකයි මම කියන්නේ මේ වැඩේ සහරාන් කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමේ. වෙන කාගේ හරි වුවමනාවකට. මම මේ ඒ කව්ද කියලයි හොයන්නේ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාත් එක්ක තිබුණ රූපවාහිනී විවාදයකදි කිව්වා, ‘අපි පොට්ටු අම්මාන්ට නෙමේ, සහරාන්ටත් පඩි ගෙවලා තියෙනවා’ කියලා. ඒ කියන්නේ සහරාන් 2015 ට පෙර සිටම ඉඳලා තියෙනවා. මම සැකකරනවා මේ ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ඉන්නවා කියලා. මෙවැනි මිලේච්ඡ දරුණු ප්‍රහාරයක් කරන්න ශක්තිමත් බලවේගයක් පිටුපස ඉන්නැතුව බැ.”

මෙහිදි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේ, ඔබේ ආරක්ෂකයින් මෙම ප්‍රහාරය පිළිබඳ පෙර දැනුවත්ව සිටියේ යැයි, ඔබ ප්‍රකාශ කළ බව විදෙස් වෙබ් අඩවියක වාර්තා කර ඇත්නම් එය සත්‍යක්ද යන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් :

“බෝම්බ පිපුරුවාට පස්සේ මගේ ආරක්ෂකයින් මට කිව්වා ඔවුන්ගේ ප්‍රධානීන් ප්‍රහාරයට පෙර ඔවුන්ව දැනුවත් කරලා තිබ්බා කියලා. නමුත් මගේ ආරක්ෂයින් ප්‍රහාරයට පෙර මා ඒ පිළිබඳව දැනුවත් කළේ නැහැ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :

“2015 – 2019 අතර පැවති ආණ්ඩුවේ ජාතික ආරක්ෂක කවුන්සිලය සහ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම්වලදි සහරාන් පිළිබඳ කරුණු ඉදිරිපත් කර තිබුණානම්, ඒ පිළිබඳව ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබුණාද ?”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් :

“නැහැ ස්වාමිනි, ඒ ආණ්ඩුවේ හිටපු මුස්ලීම් මන්ත්‍රීවරුන් වන අපව ඒ පිළිබඳ දැනුවත් කර තිබුනේ නැහැ “

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

“ඔබ කියන්නේ 2015 – 2019 ආණ්ඩුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතුයි කියන එක නේද…?”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් :

“ඔව් ස්වාමිනි.. අනිවාර්යයෙන් වගකිව යුතුයි.”

ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු :

“පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තයින් සමඟ සිට පළාගියේ යැයි කියවුණු සාරා නැමැත්තිය මේ වන විට ඉන්දියාවේ සිටින බවත් ඇයව ලංකාවට ගෙන්නන්න කියලත් ඔබ සඳහන් කර තිබුණා නේද ?”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් :

“ඇය ඉන්දියාවට පළා ගිය බවත් මේ වන විට වාර්තා පළවෙනවා. ‘ඇයට පළා යෑමට උපකාර කළා’ යැයි පසුගියදා මඩකලපුවෙ පොලිස් නිලධාරියෙකුවත් අත්අඩංගුවට ගැනුනා. දැන් වර්තමානයේදි මාධ්‍ය වාර්තා පළවෙනවා මෙම තැනැත්තිය ඉන්දියාවේ ඉන්නවා කියලා. එහෙමනම් වර්තමාන රජයට විශාල වගකීමක් තියෙනවා මේ සාරාව ලංකාවට ගෙන්න ගන්න. ඒ පිළිබද වර්තමාන රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ යුතුයි. මොකද සාරාව ගෙන්න ගත්තොත් කවුද මේකට සම්බන්ධ, කොහොමද මේක වුණේ කියලා සියලුම තොරතුරු සොයාගන්න පුලුවන්.”

ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු :

“ඔබ නූර්දින් මොහොමඩ් කියලා කෙනෙක්ව හඳුනනවාද, ඔහු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පිහි වගයක් සඟවාගෙන ඉදලා අසුවුණා නේද…?”

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් :

“ඔව්, නුර්දින් මොහොමඩ් කියන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්. ඔහුව මම අවුරුදු 10 ක වගේ ඉදලා දන්නවා. නමුත් අපි ඔය සිදුවීම ගැන දන්නෙත් ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ. ඔහු කිව්වේ දිගන සිදුවීම්වලින් පස්සේ ආරක්ෂාවට තියාගන්න කියලා තවත් පුද්ගලයෙක් ඔහුට ගෙනත් දුන්නා කියලා. නමුත් අපි ඔහුට කිව්වා ඒක සුදුසු නැහැ කියලා.”

අනතුරුව ජනාධිපති කොමිසම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් :

“ඔබතුමා මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙන අවස්ථාවේදි අන්තවාදයට සම්බන්ධ අයගේ නම් ලැයිස්තුවක් කියද්දී, මගේ නමත් කියලා තියෙනවා. එහෙම කිව්වේ මොනවගේ පදනමකින්ද ?”

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ :

“මම එක්කෙනෙකුගේ නෙමේ; නම් කිහිපයක්ම කිව්වා. හිස්බුල්ලා, අසාද් සාලිගේ නමුත් කිව්වා. ඒ වගේම 2016 නොවැම්බර් 18 දින මෙරට පුද්ගලයින් අන්තවාදයට සම්බන්ධ වෙනවා යැයි මම කතාවක් කළේ වගකීම් සහගතව. නමුත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔබ පමණක් මෙම ප්‍රකාශයට අභියෝග කළා. පාර්ලිමේන්තුවේ මෙවැනි වගකීම් සහගත ප්‍රකාශයක් කළාම ඒකට අභියෝග කරනවා කියන්නෙම ත්‍රස්තවාදයට අනුබලදීමක්. එවැනි හෙළිදරව් කිරීම් අභියෝගයට ලක්කිරීම තුළමයි මේ වගේ දැවැන්ත මිනිස් ජීවිත හානියක් වුනේ. ඒ කාලේ ආණ්ඩුව මගේ ප්‍රකාශය ගැන අවධානය යොමුකළානම්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයයි, ආණ්ඩු බලය අහිමිවීමයි, එක්සත් ජාතික පක්ෂය විනාශවීමයි ඔය කියන තුනම නවත්තගන්න තිබුණා.”

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

*********************************************

දෙණියායේ පදිංචි සිසුවියක් අතුරුදන්

(29.09.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

දෙණියාය – ඉදුරදෙණිය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇයගේ දෙමව්පියන් විසින් මාතර පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

17 හැවිරිදි ඇය මාතර නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා පෙරේදා නිවසින් පැමිණ ඇති බවයි දෙමව්පියන් කියා සිටියේ.

නේවාසිකාගාරයක රැඳී සිටිමින් ඇය මාතර නගරයේ පැවැත්වෙන උපකාරක පන්තිවලට මීට පෙර සහභාගි වී තිබෙනවා.

කෙසේ වෙතත් උපකාරක පන්තියට සහභාගිවී පෙරේදා ඇය යළි නේවාසිකාගාරයට පැමිණීම සඳහා පිටවූවත් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙනුයි මෙලෙස දෙමව්පියන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය මේ වනවිට සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *