උතුර – නැගෙනහිර හර්තාල්

උතුර – නැගෙනහිර හර්තාල්

20, අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්

කාති උසාවියෙන් වූ අසාධාරණය

අවයවයක් අහිමිව උපන් කුඹුක්ගැටේ සිඟිත්තිය

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් නොකෙරේ – විදෙස්ගත වීම තහනම්

හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් සැකකරුවෙකු මාළඹේදී අත්අඩංගුවට

සියල්ලන් හඬවමින් නික්ම ගිය ටෙනිසන් කුරේ ගැන දියණිය මුල්වරට හෙළිකළ කතාව

වියළි කහ කිලෝග්‍රෑම් 952 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට පොලීසියේ නොසැලකිල්ල හේතු වූ බව හිටපු පොලිස්පති පූජිත් පිළිගනී

දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80 ක ඉතුරුවක්

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන කොමිසමට අනුරගෙන් හෙළිදරවුවක්

පාසල් ළමුන්ට නිල ඇදුම් වවුචර වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට කැබිනට් අනුමැතිය

20 හරියට කළානම් හතර ගාතෙන් වැටී සිටින රටේ හතුරන්ට ආණ්ඩු විරෝධී ආයුධ ලැබෙන්නේ නැහැ – ජාතික සංවිධාන

දුම්රිය මගීන්ට වැදගත් නිවේදනයක්

*********************************************

උතුර – නැගෙනහිර හර්තාල්

(28.09.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

උතුර සහ නැගෙනහිර පළාත්වල මේ වනවිට ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් යාපනය ඇතුළු උතුරු පළාතේ නගර කිහිපයක ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරුවන් කියා සිටියේ නැගෙනහිර පළාතේ ද හර්තාල් ක්‍රියාත්මක වුවද ඉන් ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී නොමැති බවයි.

උතුරු පළාතේ යාපනය ඇතුළු නගර කිහිපයක මෙම හර්තාලය හේතුවෙන් කඩ සාප්පු වසා දමා, පෞද්ගලික බස් ගමනාගමනය ඇනහිට ඇති බවයි වාර්තාකරුවන් කියා සිටියේ.

එහෙත් රජයේ කාර්යාල විවෘතව පවතින අතර ශ්‍රී ලංගම බස් ගමනාගමනයද සාමාන්‍ය පරිදි සිදු වන බවයි ඔවුන් සඳහන් කළේ.

එමෙන්ම පාසැල් විවෘතව පැවතියද සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිදුවන බලපෑම් නවතා දමන ලෙසට ඉල්ලමින් දෙමළ දේශපාලන පක්ෂ 10 ක් එක්ව මෙම හර්තාලය ක්‍රියාත්මක කරනවා.

++++++++++++++

හිටපු LTTE සාමාජිකයෙකු වන තිලීපන්ගේ සැමරුමකට සූදානම් වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සාණක්‍යන් ඇතුළු 06 දෙනෙකුට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර තිබෙනවා ෴

************

වල්ලපට්ටා කුඩු බවට සැක කරන කිලෝග්‍රෑම් 446 ක් සමඟ පුද්ගලයෙකු වැලිගම – කපුවත්ත ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී බොයිලේරුවක්, උණුදියර සිසිල් කිරීමට යොදාගන්නා සිලින්ඩරයක්, ඇඹරුම් යන්ත්‍රයක්, සහ බැරල් කිහිපයක් ද ඊයේ (27) සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා අකුරැස්ස අඩවි වන කාර්යාලය වෙත භාරදුන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

*********************************************

20, අධ්‍යයනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්

(28.09.2020 – 13:39 +0530 – hirunews.lk/sinhala)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දස (10) දෙනෙකුගෙන් යුත් කමිටුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් කර තිබෙනවා.

පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස, අමාත්‍ය මහින්ද අමවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා, හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාරතී දුෂ්මන්ත, නීතිඥ සංජය ගමගේ සහ අචාර්ය චමිල් ලියනගේ ද එම කමිටුවට ඇතුලත්.

මෙම කමිටුවේ නිර්දේශයන් සලකා බැලීමෙන් අනතුරුව පක්ෂයේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති කමිටුව වෙත ඉදිරියේදි භාරදීමට නියමිත බවයි නිදහස් පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ෴

++++++++++++++

++++++++++++

***************************************

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කරනවා. ඔහු මෙම ඉල්ලීම සිදුකළේ අද (28) කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින්. ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා තාරුණ්‍යය 2020’ මැයෙන් මැතිවරණ කොමිෂන් සභාව සංවිධානය කළ සංවාද මණ්ඩපයක් අද (28) කොළඹදී පැවැත්වුණා ෴

*********************************************

කාති උසාවියෙන් වූ අසාධාරණය

(28.09.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි අහෝසි කර රට තුළ සියලු ජනවර්ගයන්ට එක නීතියක් ස්ථාපිත කළ යුතු බව නව සිංහල රාවය පවසනවා.

අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ අදහස් පළ කළ අතර කාති උසාවිය මඟින් අසාධාරණයට ලක් වූ පිරිස්ද ඊට එක්ව සිටියා.

*********************************************

අවයවයක් අහිමිව උපන් කුඹුක්ගැටේ සිඟිත්තිය

(28.09.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

නිරෝගීමත් දිවි පෙවෙතක් සෑම මිනිසෙකුම ලබන උතුම්ම දායාදයයි.

එවන් දායාදයකට උරුමකම් නොකිවූ පුංචි සිඟිත්තියක් පිළිබඳව හිරු කැමරා නෙත මෙලෙස යොමු වුණා.

බහිස්‍රාවීය ඉන්ද්‍රීය පද්ධතියේ එක් අවයවයක් වන ‘ගුද මාර්ගය’ නොමැතිව උපන් පුංචි සිඟිතියක් පිළිබඳ සංවේදී පුවතක් අපට වාර්තා වුණේ කුරුණෑගල ප්‍රදේශයෙන්.

කුරුණෑගල – කුඹුක්ගැටේ – පහළ වටුවාව ප්‍රදේශයේ උපත ලද මෙම සිඟිති දැරියගේ වයස අවුරුද්දයි (1) මාස 9 ක්.

සාමාන්‍ය පරිදි මුඛයෙන් ආහාර ගැනීමට නොහැකි මේ සිඟිති දියණියට දියර ආහාර පමණක් ලබාදීමට සිදුව ඇත්තේ ද නළ මාර්ගයෙන්.

ඇයගේ දෙමව්පියන් පැවසුවේ මීට පෙර විදේශ රටක නිෂ්පාදිත නළයක් මාර්ගයෙන් ආහාර ලබා දුන්න ද මේ වනවිට සිය දියණියගේ ශරීරයට බද්ධ කර ඇත්තේ කුරුණෑගල රෝහලින් බද්ධ කළ නළයක් බවයි.

පිහිටක් අත්‍යවශ්‍ය මෙම පවුල වෙනුවෙන් කරුණා නෙත යොමු කිරීම සෑම දෙනාගේම යුතුකමක් නොවන්නේද?

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් රිමාන්ඩ් නොකෙරේ – විදෙස්ගත වීම තහනම්

(28.09.2020 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළා.

කෙසේ නමුත්, නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට විදේශ සංචාර තහනමක් පැනවීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් නියෝග කරනු ලැබුවා.

අදාළ කපිතාන්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම පිලිබඳව නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතේ 35 සහ 48 වන වගන්ති ප්‍රකාරව යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම සහ නඩු පැවරීම පිලිබඳව බලය පැවරී ඇත්තේ මහාධිකරණයට බවයි.

මෙවැනි විමර්ශන සඳහා සහය වීමට මහේස්ත්‍රාත් අධිකරණයට යම් හැකියාවක් තිබුණ ද පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා එවැනි බලයක් හිමි නොවන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ සැකකාර කපිතාන්, අදාළ නෞකාව තුළ ගින්න හට ගත් අවස්ථාවේදී එය මැඩපැවැත්වීම සඳහා ගත යුතු පියවර අනුගමනය කිරීම පැහැර හැර ඇති බවටයි.

ගින්න ඇති වූ අවස්ථාවේදි එය නිවා දැමීමට කටයුතු නොකර පලායාම, එම අනතුර පිළිබඳව සංඥා වගකිව යුතු ආයතන වෙත නිකුත් නොකිරීම, තොරතුරු වසන් කිරීම යනාදී ක්‍රියාවන් කපිතාන්වරයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවත්, එය සමුද්‍ර දූෂණ වැළැක්වීම යටතේ අපරාධමය වරදක් බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන අතර, එවැනි නඩු පැවරීමක් සිදුකරන අවස්ථාවක ඔහු යළි අධිකරණය හමුවට ගෙන්වා ගැනීම තහවුරු කිරීම සඳහා රජයේ අධීක්ෂණය යටතේ රඳවා තැබීම අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

සැකකාර කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පැමිණිල්ල ඉල්ලා සිටින ආකාරයට ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට, අධිකරණයමය බලයක් නොමැති බවයි.

පැමිණිල්ල විසින් සිදුකළ යුත්තේ තම සේවාදායකයාට එරෙහිව ඉක්මනින් මහාධිකරණය හමුවේ නඩු පැවරීම බවත්, එසේ නඩු පවරනු ලැබුවහොත් ඔහු වරද පිළිගෙන අදාළ දඩය ගෙවා නිම කිරීමට සූදානම් බවත් කපිතාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළා.

ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ සැකකරු විදේශිකයෙකු වන අතර, ඔහු ඇප මත මුදා හරිනු ලැබුවහොත් යළි නඩු විභාගයක් සඳහා ගෙන්වා ගැනීම ගැටලු සහගත වන බවටයි.

ශ්‍රී ලංකාවට අනන්‍ය මුහුදු ආර්ථික ජල තීරය එක් එක් පුද්ගලයින්ගේ සෙල්ලම් පිට්ටනි බවට පත් කර ගැනීමට ඉඩ දිය නොහැකි බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නා.

මෙම පුද්ගලයාට දඩුවම් කිරීම පැමිණිල්ලේ අපේක්ෂාව නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ මෙවැනි සිද්ධීන් අනාගතයේදී ඇතිවීම වළක්වා ගැනීම සඳහා සංඥාවක් නිකුත් කිරීම පමණක් මෙම ක්‍රියාව තුළින් තමන් අපේක්ෂා කරන බවයි.

*********************************************

හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් සැකකරුවෙකු මාළඹේදී අත්අඩංගුවට

(28.09.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

මාළඹේ 10 කණුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 500 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරු ව්‍යාපාරික කටයුතු සිදුකරන මුවාවෙන් කලක සිට මෙලෙස හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවයි.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර, මන්නාරම – තල්පාඩුව මුහුදු වෙරළේ සඟවා තිබියදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 48 ක් යුද හමුදාව විසින් අද (28) සොයා ගෙන තිබෙනවා.

ධීවර යාත්‍රාවකින් පැමිණි පිරිසක් විසින් අදාල කේරළ ගංජා තොගය තල්පාඩු මුහුදු වෙරළේ සඟවා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, ඉන්දියාවේ සිට මන්නාරමට බෝට්ටු මගින් ගෙන්වන බවට සැක පළ කෙරෙන රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝවක් සමඟින් සැකකරුවන් 4 දෙනෙකු සපුගස්කන්ද – ඔබවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 35 ත් 38 ත් වියේ පසුවන අතර, ඔවුන් සතුව තිබී කේරළ ගංජා ජාවාරමෙන් උපයා ගත් බවට පැවසෙන රුපියල් 13,000 ක මුදලක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් හමුවට අද (28) පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

++++++++++

***************************************

*********************************************

සියල්ලන් හඬවමින් නික්ම ගිය ටෙනිසන් කුරේ ගැන දියණිය මුල්වරට හෙළිකළ කතාව

(28.09.2020 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද (28) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූවා.

මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා 68 වන වියේ පසුවූවා.

සිය පියාගේ අභාවය පිළිබඳව සංවේදී වූ දියණිය අපවෙත ප්‍රකාශ කළේ පසුගිය 26 වනදා උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ටෙනිසන් කුරේ මහතා අද (28) උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි.

මේ අතර කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළේ ටෙනිසන් කුරේ මහතා හෘදය ආශ්‍රිත රෝගී තත්වයකින් පෙළුණු බවට පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි.

++++++++++++

ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද (28) ජීවිත රඟමඬලෙන් සමුගත්තා.

කොළඹ ජාතික රෝහලේදී අද දහවල් අභාවප්‍රාප්ත වූ ඔහු මිය යනවිට 68 වන වියේ පසුවුණා.

1952 වසරේදී මොරටුව ප්‍රදේශයේ උපත ලද ටෙනිසන් කුරේ මහතා මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙක්. 1984 වසරේ සිනමා තිර පිටපත් රචනය සඳහා චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතා සමග තම වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලිං, සොමි බෝයිස්, කොලොම්පූර්, වැඩබැරි ටාසන් හා පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු චිත්‍රපට 150 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ සිනමාවට පිවිසුණේ 1986 වසරේ තිරගත වූ පෙරළිකාරයෝ චිත්‍රපටයෙන්.

කෙසේ වෙතත්, ඔහු මුලින්ම රඟ පෑ චිත්‍රපටය වූයේ දිනේෂ් ප්‍රියසාද් මහතා අධ්‍යක්ෂණය කළ නොම්මර 1 යි චිත්‍රපටයයි.

‘හිරු හිතක මතක’ වැඩසටහනට ද ටෙනිසන් කුරේ මහතා පසුගියදා එක්වුණා.

රංගනයෙන් මෙන්ම චිත්‍රපට හා වේදිකා නාට්‍යය රැසකට අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් ද ටෙනිසන් කුරේ මහතා දායකත්වය සපයා තිබෙනවා. එමෙන්ම, ගායකයෙකු හා පද රචකයෙකු ලෙස ද ඔහු දක්ෂතා දක්වා ඇති ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

ටෙනිසන් කුරේ මහතා පසුගිය සෙනසුරාදා රෝගාතුර වීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) දහවල් අභාවප්‍රාප්ත වූ බවයි ඔහුගේ දියණිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, අභාවප්‍රාප්ත රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඔක්තෝම්බර් පළමුවනදා (1) බ්‍රහස්පතින්දා පස්වරු 4 ට මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී සිදුකෙරෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.

+++++++++++

https://www.youtube.com/watch?v=Cbdcu7YTGAk

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සහ මුජිබර් රහුමාන් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා.

*********************************************

වියළි කහ කිලෝග්‍රෑම් 952 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(28.09.2020 – 19:08 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝග්‍රෑම් 952 ක් සමඟ පුද්ගලයකු අද (28) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව සහ පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදීයි.

ඇසුරුම් 27 ක් තුළ අසුරා තිබූ මෙම කහ තොගය, ඉන්දියාවේ සිට නීති විරෝධීව ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ සැකකරු සහ එම කහ තොගය, මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මන්නාරම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

*********************************************

පාස්කු ප්‍රහාරයට පොලීසියේ නොසැලකිල්ල හේතු වූ බව හිටපු පොලිස්පති පූජිත් පිළිගනී

(28.09.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ට නිදහසේ මෙරට තුළ ක්‍රියාත්මක වීමට හැකිවූයේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතැම් අවස්ථාවල නොසැලකිලිමත්ව ක්‍රියා කළ නිසා බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද (28) පිළිගත්තා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර සාක්ෂි ලබාදීම සදහා අද (28) ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ හතරවන (4) දිනටයි.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2017 මාර්තු මස 10 වන දින කාන්තන්කුඩි ආලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදිත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.

එම සැකකරුවන් ඒ වන විට එම ප්‍රදේශයෙන් පළාගොස් තිබු බවත් ඔවුන් පදිංචි ස්ථිර ලිපිනයක් පිළිබඳ දැන නොසිටීම සහ ඇතැම් පුද්ගලයින් එම සැකකරුවන් සඟවාගෙන සිටීම මෙම අත්අඩංගුවට නොගැනීමට හේතු වු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එහිදි කොමිසමට කියා සිටියා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදි ඔහුගෙන් විමසා සිටියේ ‍ සහරාන් සමඟ සබඳතා පැවැත්වූ ‘ආමි මොහිදින්’ නැමැත්තා සැඟව සිටින ස්ථානය රාජ්‍ය බුද්ධි සේවය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩයස් නම් නිලධාරියාට පෙන්වා දී තිබියදි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නොමැත්තේ ඇයි ද? යන්නයි.

ඔවුන් ඒ අවස්ථාවේ වහාම වරෙන්තුකරුව අත්අඩංගුවට ගතයුතුව තිබු බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසු නීති කෘත්‍යයන් ඉටුකර ඔහුව තොරතුරුකරුවෙකු ලෙස භාවිත කිරීමේ ගැටලු‍වක් නොවන බවද හිටපු පොලිස්පතිවරයා එහිදි පිලිතුරු ලබාදෙමින් කියා සිටියා.

එහෙත් ඔවුන් ‘ආමි මොහිදින්’ නැමැත්තාව තොරතුරුකරුවෙකු ලෙස භාවිත කළායැයි වාර්තාවෙන්නේ සැකකරු අත්අඩංගුවට නොගත් පසුබිමක බවද පුජිත් ජයසුන්දර කොමිසමට දන්වා සිටියා.

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු එහිදි ප්‍රශ්ණ කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලද අවස්ථාවෙන් ‘ආමි මොහිදින්’ අත්අඩංගුවට ගත්තේ නම් ඔහුගෙන් සහරාන් හෂිම්ගේ ත්‍රස්ත ජාලය පිළිබඳ තොරතුරු අනාවරණය කරගනිමින් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබුණා නේද යන්නයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එහිදි කොමිසමට සදහන් කලේ ‘ආමි මොහිදින්’ සහරාන් සමඟ පවත්වා ඇති සම්බන්ධතාවය බලද්දි ඔහු අත්අඩංගුවට ගත්තේ නම් බොහෝ කරුණු හෙළිදරව් කරගැනීමට තිබු බවයි.

එසේ හෙළිදරව් වුයේ නම් ඒ ඔස්සේ සහරාන් වගේම අනිකුත් සැකකරුවන්වත් අත්අඩංගුවට ගෙන මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වළක්වා ගැනීමට තිබු බවද හිටපු පොලිස්පතිවරයා කියා සිටියා.

එසේනම් ‘සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවුණා කියන එක ඔබ පිළිගන්නවාද?’ යන්න පිළිබද ‍ ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු සිදුකල ප්‍රශ්ණ කිරීම් වලට හිටපු පොලිස්පති – පූජිත් ජයසුන්දර පිලිතුරු ලබා දෙමින් කියා සිටියේ ‘එය තමන් පිලිගත්නා’ බවයි.

සහරාන්ට නිදහසේ කටයුතු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවු බවද හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියා.

*********************************************

දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80 ක ඉතුරුවක්

(28.09.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සදහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදිකයින්ට පැවරීමේ හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසුමට ලක් කර තිබෙනවා.

ඒ, දංකොටුව, කඳාන – කපුවත්ත සහ වත්තල ප්‍රදේශවල ස්ථාපිත මෙරට රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනක් (3) අද(28)පෙරවරුවේ නිරීක්ෂණයට ලක්කල අවස්ථාවේදීයි.

මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහල ප්‍රමිතීන් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදන වහාම ආරම්භ කල යුතු බව ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කලා.

රෙදි නිෂ්පාදනකරුවන් ජනාධිපතිවරයාට සදහන් කර ඇත්තේ රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයට ලක් නොවීම හේතුවෙන් රෙදි වල වර්ණයට විශාල හානියක් සිදුවන බවයි.

දේශීය රෙදි නිෂ්පාදනය ඉහල නැංවීමෙන් ආනයනය පිරිවැය සියයට 68 කින් ඉතිරිකර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80 කට අධික මුදලක් ඉතිරිකර ගත හැකි බවද පෙන්වා දුන්නා.

*********************************************

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන කොමිසමට අනුරගෙන් හෙළිදරවුවක්

(28.09.2020 – 20:34 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ දූෂණ විරෝධී කමිටුව පිහිට වූයේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව බවට වූ සඳහන සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (28) ප්‍රකාශ කළා.

ඒ දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාගේ පැමිණිල්ලක් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (28) විභාගයට ගත් අවස්ථාවේදී.

දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව දූෂණ විරෝධී කමිටුව පිහිට වූ බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ ලබාදී තිබෙන සාක්ෂි මුළුමනින්ම අසත්‍යයක් බවයි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විමසූවේ , දූෂණ විරෝධී කමිටුව ගැන ඔබට යම් අදහසක් තියෙනවද? යන්නයි.

“වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් ඉදිරිපත් කර තිබූ සටහන් වල යම් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. එම සාක්ෂියේ මා දැක්කා මෙය ජාතික විධායක සභාවේ අනුමැතියට ලක් කලා කියලා හිටපු අගමැතිවරයා කියලා තියෙනවා. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.” යනුවෙන් දිසානායක මහතා ප්‍රකාශ කළා.

ජාතික විධායක සභාවේ එවැනි කැබිනට් පත්‍රිකාවක් පිළිබඳ සාකච්ඡා කළාදැයි නීතිඥවරයා විමසුවා.

“කිසිදු සාකච්ඡාවක් සිදු වුණේ නැහැ. මා සහභාගි වූ කිසිදු අවස්ථාවක එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුනේ නැහැ” දිසානායක මහතා පිළිතුරු දුන්නා.

කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අනුර කුමාර දිසානායක මහතාගෙන් විමසුවේ “ජාතික විධායක සභාවේ අනුමැතිය ඇතිව” කියලා වචනයක් කැබිනට් පත්‍රිකාවට යෙදීම තුළින් කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා දෙන්න හදපු දැනුම්දීම කුමක්ද යන්නයි.

“මට හිටපු අගමැතිතුමාගේ මනස ඒ තරම් හොඳින් කියවන්න බැහැ, කාටවත් බැහැ” ඊට පිළිතුරු දෙමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

එහිදී අර්ථකථන දෙකක් පැනනගින බවත් ‘ජාතික විධායක සභාවේ අනුමැතිය නිසා දූෂණ විරෝධී කමිටුව පිහිටවූ බව’ හෝ එසේත් නැත්නම් ‘මම නෙවෙයි මේක පිහිටුවේ; ජාතික විධායක සභාව’ යනුවෙන් පැවසිය හැකි බවත් ඔහු එහිදී කියා සිටියා.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී. එස්. ජයවීර මහතා ගොනු කළ පැමිණිල්ලකට අදාලව හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ජනාධිපති කොමිසම හමුවේ අද(28) පෙනී සිටියා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පිහිට වූ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇතැයි තමා නොදැන සිටි බව හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ තමා කිසි විටෙක දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්‍යාලයේ රැස්වීම් වලට සහභාගී නොවූ බවයි.

මේ අතර පැමිණිලිකාර සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩී එස් ජයවීර මහතාද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ දේශීය සංචාරකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩු සමයේ දී අසත්‍ය චෝදනා ගොණු කර නඩු පැවරීම දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදුකර ඇති බවට ඔහුගේ පැමිණිල්ලේ සඳහන්.

කොමිසම හමුවේ පෙර සාක්ෂි වල අනාවරණය වූ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සම්බන්ධ ගෙවීම් හා සේවා ලිපි සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාද කොමිසමට ලේඛන ඉදිරිපත් කළා.

ඔහු කොමිසම හමුවේ අනාවරණය කළේ තුසිත් මුදලිගේ මහතා ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබූ කාලසීමාව අවසන් වූ පසුවත් දූෂණ විරෝධී කමිටු කාර්යාලය පවත්වාගෙන යාමට වැටුප් සහ දීමනා ලබා ගෙන ඇති බවයි.

ඒ අනුව රජයේ දේපල සාපරාධී ලෙස පරිහරණය කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමට කර තිබූ පැමිණිලි කිහිපයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අදත් කොමිසම හමුවට කැඳවාගෙන එනු ලැබුවා.

*********************************************

පාසල් ළමුන්ට නිල ඇදුම් වවුචර වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදීමට කැබිනට් අනුමැතිය

(28.09.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ සිට පාසල් සිසුන් සඳහා වවුචර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබා දීමට අද (28) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ නිල ඇඳුම් සැපයුම්කරුවන් ලෙස දේශිය නිෂ්පාදකයින් තෝරා ගැනීමටද තීරණයකට එළැඹි බවයි.

***************************************

පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා ෴

*********************************************

20 හරියට කළානම් හතර ගාතෙන් වැටී සිටින රටේ හතුරන්ට ආණ්ඩු විරෝධී ආයුධ ලැබෙන්නේ නැහැ – ජාතික සංවිධාන

(15.09.2020 – 15:09 +0530 – lankaleadnews.com)

20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටට යහපතක් සිදුවේද? 20 නිවැරදි කරන්නේ කෙසේද යනුවෙන් ජාතික සංවිධාන විසින් පිටු 4 ක ලේඛනයක් සකස්කොට ඇත. 20 වැනි සංශෝධන කෙටුම්පත් කිරීමට බාරගත් පිරිස් විසින් ජනවරම පිළිබඳව අවබෝධයකින් තොරව සිදුකොට ඇති වැරදි 12 ක් විස්තරාත්මකව දක්වා ඇත.

20 වැනි සංශෝධනයේ අත්‍යවශ්‍ය නිවැරදි කිරීම් සිදුකොට කෙටුම්පත නැවත ගැසට් කිරීම මගින් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාව අහිමි කළ යුතු බවද එම පත්‍රිකාව මගින් අවධාරණය කරයි.

20 නිවැරදි කරන්නේ කෙසේද ? (pdf file)

*********************************************

දුම්රිය මගීන්ට වැදගත් නිවේදනයක්

(28.09.2020 – 17:30 +0530 – sinhala.adaderana.lk)

තාවකාලිකව නතර කර තිබු දුම්රියන් දෙකක් (2) නැවත ධාවනය සඳහා යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා පෙරවරු 06:45 ට ධාවනය වු අංක 1001 දරන දුම්රිය ඔක්තෝබර් 8 වනදා සිට එම වේලාවටම දිනපතා ධාවනය වන බවය.

එමෙන්ම බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 08:00 ට ‍ධාවනය වු අංක 1002 දරන දුම්රිය ඔක්තෝම්බර් 9 වනදා සිට එම වේලාවටම දිනපතා ධාවනය වන බව ද දුම්රිය මුලස්ථානයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (වාණිජ) වී. එස්. පොල්වත්ත මහතා දැනුම් දෙයි.

ඉහත දුම්රියන්හි ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සලසා දී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *