පාස්කු කොමිසමේ ලතීෆ්ගේ සාක්ෂිය

පාස්කු කොමිසමේ ලතීෆ්ගේ සාක්ෂිය

එංගලන්තයෙන් ගෙන්වූ කසල කන්ටේනර් කිහිපයක් යළි හරවා යැවේ

නිශාන්ත සිල්වා සිටින රට සොයා බලා වාර්තා කරන්නැයි සී.අයි.ඩී. අධ්‍යක්ෂට දේශපාලන පලිගැනීම් කොමිසමෙන් නියෝග

දැඩි ආරක්ෂාවක් මැද රොහාගේ අවසන් කටයුතු අඟුලානේදී

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15 ක්

පොල් මිල ගැන ඇමති බන්දුල කතා කරයි

අංගොඩ ලොක්කාගේ මවගෙන් සහ සහෝදරියගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

අලුත් රියදුරු බලපත්‍රයට ලකුණු ක්‍රමයක්

පුහුණු කාලය නිම කළ ගිනි නිවීමේ භටයන් 70 දෙනෙකු සේවයට

කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවන තැනට

කසල තේ කිලෝ විසිදහසක් (20,000) සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රාවස්තිපුර අනතුරකින් පියෙකු සහ දියණියක මරුට

රන්කරුවන්ගේ දුක්ගැනවිල්ල

ඉදිරි වසර කිහිපය තුළ සමෘද්ධිලාභී නිවෙස් වලට සූර්ය පැනල ලබාදීමේ වැඩපිළිවෙළක්

*********************************************

පාස්කු කොමිසමේ ලතීෆ්ගේ සාක්ෂිය

(26.09.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ සිටින නිලධාරින් 90% ක් පමණ පොලිස් නිලධාරින් වන බැවින් ඔවුන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර් ලතීෆ් මහතා අද (26) පැවසුවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරණ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද කැඳවා තිබුනේ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණ දෙන නිලධාරී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතායි.

ඔහු පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එම බලකායේ අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කළා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ධුරය 2016 වසරේදී භාරගන්නා විට සහ විශ්‍රාම ගන්නා අවස්ථාව වන විට කෙතරම් පිරිස් බලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සතුව සිටියේද යන්න ජනාධිපති කොමිසම මෙහිදී එම්.ආර්.ලතීෆ් මහතාගෙන් විමසා සිටියා.

එම්.ආර්.ලතීෆ් – විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති :

ස්වාමීණි ,2016 වකවානුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව 10,176 ක් සිටියා . මම විශ්‍රාම ගන්න අවස්ථාව වන විට අප සතුව සිටියේ නිලදාරීන් 7912 යි. නිලධාරීන් 2200 කගේ පමණ ඌණතාවක් තිබුණා.

මෙහිදි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින්නේද යන්නයි.

එම්.ආර්.ලතීෆ් – විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති :

සාමාන්‍යයෙන් ඔවුන් බුද්ධි තොරතුරු එක්‍ රැස් කරනවා . Technical Operation වල පවා නිරත වෙනවා. බුද්ධි අංශ නිලධාරීන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීම වැළැක්වීමටයි තවත් පාර්ශවයක් විසින් අපරාධ කරුවන් හෝ සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ. බුද්ධි නිලධාරියෙක් පොලිස් නිලධාරියෙක් වීම තුළම එම නිලධාරියාට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බලයක් තිබෙනවා. වෙනත් රටවල බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වෙනම පනතක් ක්‍රියාත්මක වනවා. එවැනි පසුබිමක බුද්ධි නිලධාරීන් මෙහෙයුම් රාජකාරි වල නිරත වන්නේ නැහැ. නමුත් මෙරට රාජ්‍ය බුද්ධි සේවය තුළ 90% ක්ම පොලිස් නිලධාරින් ඉන්න නිසා ඔවුන්ට අත්අඩගුවට ගැනීම් සිදුකරන්න පුළුවන්. මෑතකදී කොළඹ ජාතික රෝහලේ සිදුවු මුදල් මංකොල්ලකෑමේ සිදුවීමෙදි අදාළ සැකකරුව අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් දෙදෙනෙක්. කොහොම වුනත් ඕනෑම අවස්ථාවකදී ඕනෑම මෙහෙයුමක් සදහා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරි කණ්ඩායම් යෙදවීමට මට හැකියාව තිබුණා.

‘ප්‍රහාරයක් ඕනෑම අවස්ථාවක එල්ල වන්න පුලුවන්’ ලෙස පසුගිය වසරේ අප්‍රේල් 4 වන දා රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු විදෙස් බුද්ධි තොරතුරේ සඳහන් පුද්ගලයින් ගේ නම් වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගේ නම් බවට තොරතුරු පැවතියත් බුද්ධි අංශ ක්‍රියාත්මක නොවුනේ මන්දැයි ජනාධිපති කොමිසම මෙහිදී එම්.ආර්.ලතීෆ් මහතාගෙන් විමසුවා.

එම්.ආර්.ලතීෆ් – විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති :

බුද්ධි අංශ තොරතුරු අනුව එම තොරතුරේ සියලු දේම අන්තර්ගත වුනා . 2019 ජනවාරි 16 වන දින වනාතවිල්ලුව සිද්ධිය සම්බන්දයෙන් අපට processed information තිබුණා. 2019 ජනවාරි 16 STF එකෙන් කණ්ඩායමක් පවා දැම්මා.මෙහෙයුම් දියත් කර හැකි ක්‍රියාත්මක වීමට හැකි තොරතුරු ලැබිලා තිබුණා. සී.අයි.ඩී වැනි ආයතන හරහා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට තිබුනා. අප්‍රේල් 04 විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුර පැහැදිළිවම බුද්ධි තොරතුරක්, එසේම එහි මෙහෙයුමක් සිදුකිරීමට සහ ක්‍රියාත්මකවීමට හැකි පැහැදිළි තොරතුරු තිබුණා. කිසියම් තොරතුරක Top Secret යනුවෙන් සදහන් කර තිබීම තුළම එය බුද්ධි තොරතුරක් ලෙස තහවුරු කරගැනීමේ ක්‍රියාවලියකට භාජයනය වුවක්.

කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :

කොහොමද STF එක පොලීසිය සහ අනෙක් ආයතන අතර ක්‍රියා කරේ ?

එම්.ආර්.ලතීෆ් – විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති :

වාචිකව , ලිඛිතව වගේම විධිමත් ආකාරයෙන් අපිට ඉල්ලීම් ලැබෙනවා. එස්.ටී.එෆ්. නිලධාරීන් ඉල්ලලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එහෙම බොහෝ අවස්තාවන් වලදී එස්.ටී.එෆ්. නිලධාරීන්ව මා අමතා ලබා ගත්තා. උදේ 10 වගේම රෑ 12 ටත් ඔහු මට ඇමතුම් ලබා ගත් වේලාවන් තිබුණා . ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පවා එස්.ටී.එෆ්. නිලධාරින් ඉල්ලපු අවස්ථා තිබුණා. පොලිස්පතිවරයා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය වැනි ආයතන වල උසස් නිලධාරින් මගෙන් වාචිකව හෝ ලිඛිතව ඉල්ලීමක් කළ අවස්ථාවල STF නිලධාරින් යෙදවීමට මම ක්‍රියා කළා. ඒවගේම චක්‍රලේඛයක් මගින් මාහට රාජ්‍ය බුද්ධි සේවය සමග සෘජුව සම්බන්ධ නොවී පොලිස්පතිවරයා හරහා සම්බන්ධ වන ලෙස නෛතික රාමුවක් පැවති වටපිටාවක වුවද, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගේ සෘජු ඉල්ලීම් වලට මම නිලධාරි කණ්ඩායම් මෙහෙයුම් සඳහා යොමු කළා.

*********************************************

එංගලන්තයෙන් ගෙන්වූ කසල කන්ටේනර් කිහිපයක් යළි හරවා යැවේ

(26.09.2020 – 17:56 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයෙන් ආනයනය කර තිබූ කසල කන්ටේනර් 263 න් 21 ක් යළි එංගලන්තයට පිටත් කර යැවූ බව රේගුව ප්‍රකාශ කළා.

ඉතිරි කන්ටේනර තවමත් මෙරට රඳවා තිබෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් ෴

*********************************************

නිශාන්ත සිල්වා සිටින රට සොයා බලා වාර්තා කරන්නැයි සී.අයි.ඩී. අධ්‍යක්ෂට දේශපාලන පලිගැනීම් කොමිසමෙන් නියෝග

(26.09.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala)

රට හැර ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔහු සිටින රට පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බලන ජනපති කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

කොමිසමේ සභාපති විනිසුරුවරයා අද (26) සඳහන් කළේ ඔහු විදේශ ගත වී ඇති බවට මීට පෙර නිකුත් කළ සිතාසි වලදී වාර්තා වී ඇති බවයි.

ඔහු දේශපාලන පලිගැනීම් පිලිබඳ චෝදනාවට ලක්වූ වගඋත්තරකරුවෙකු බැවින් වෙනත් රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඉඩ නොලැබෙන බව ද විනිසුරුවරයා කියා සිටියා.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් අද (26) පෙරවරුවේ දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බලන ජනපති කොමිසමට පැමිණියා.

***************************************

බලංගොඩ – රයිවත්ත ප්‍රදේශයේ නිවසකදී ගෙළ සිර කර ඝාතනය කර තිබූ 17 හැවිරිදි පාසල් සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප්‍රධාන සැකකරු අද (26) රක්වානේදී අත්අඩංගුවට ගැණුනා. පොලීසිය ප්‍රකාශ කළේ 48 හැවිරිදි ඔහු නිතර නිවසට ආගිය තැනැත්තෙකු බවයි ෴

+++++++++++++++

ගංජා කිලෝග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 700 ක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගංජා ළග තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙළිකරගත් තොරතුරු මත, අද (26) දහවල් සිදුකළ වටලිමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 ත් 47 ත් අතර වියේ පසුවන වත්තල හා කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

සැකකරුවන් සන්තකයේ තිබී විවිධ ප්‍රමාණයේ ගංජා පාර්සල් සහ ප්‍රවාහනය සඳහා යොදාගත් ජීප් රථයක් හා ත්‍රිරෝද රථයක් කැලණිය පොලීසිය බාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා හෙට (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

සිද්ධිය සම්න්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

++++++++++++++++

තෙලිකඩ දීපගොඩවත්ත ප්‍රදේශයේ පැවති සාදයක් වටලා මත් මුද්දර මත් පෙති සහ තවත් මත් ද්‍රව්‍ය සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත්තේ තෙලිකඩ පොලිසිය විසින්.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී රුපියල් එක් ලක්ෂ හැට දහසක් පමණ වටිනා මත් මුද්දර 40 ක්, රුපියල් එක්ලක්ෂ පනස් දහසක් (1,50,000) පමණ වටිනා මත් පෙති 20 ක් සහ ලක්ෂ දෙකක් (2) පමණ වටිනා තවත් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මහනුවර සහ කොළඹ ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 සහ 30 අතර වයස්වල පසුවන සැකකරුවන් වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව සඳහන්.

තෙලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

+++++++++++++++

වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පෙර වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත්, මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ යළිත් ඩෙංගු පැතිරයාමේ අවදානම ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා ෴

*********************************************

දැඩි ආරක්ෂාවක් මැද රොහාගේ අවසන් කටයුතු අඟුලානේදී

(26.09.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාවට පලායාම සඳහා මීගමුව – කොච්චිකඬේ ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවෙන් මියගිය ‘රත්මලානේ රොහා’ගේ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකෙරුණා.

ඒ අඟුලාන ශාන්ත ෂේවියර් දේවස්ථාන සුසාන භූමියේදීයි.

හිරු වාර්තාකරු සඳහන් කළේ අවමඟුල් උත්සවය පැවැත්වුණු කාලසීමාවේ එම ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් මෙන්ම සිවිල් පොලිස් නිලධාරින් හා බුද්ධී අංශ නිලධාරින් ද යොදවා තිබූ බවයි.

මේ අතර, ‘රත්මලාන රොහා’ගේ මරණය සැමරීමට සූදානම් වූ කුඩු අංජුගේ සොහොයුරිය ඇතුළු 4 දෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද(26) නියෝග කළා.

දෙහිවල – ගල්කිස්ස නගර සභා පොදු සුසාන භූමියේ පිහිටි ‘රත්මලාන රොහා’ විසින් ඝාතනයට ලක් කළ ‘කුඩු අංජු’ගේ බාල සොහොයුරා වන ‘ලන්සියා’ නමැත්තාගේ සොහොන මලින් සරසා එය සැමරීමට අදාල පිරිස කටයුතු සූදානම් කර තිබියදී ඊයේ (25) රාත්‍රියේ මොවුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ සොහොනට ඩ්‍රෝන යානාවක් මගින් මල් ඉසීමට ද සූදානම් කර තිබූ අතර පසුව එම ඩ්‍රෝන යානාව ද පොලිස් භාරයට ගැණුනා.

එම ඩ්‍රෝන යානාව කුලී පදනම මත ලබා දුන් කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ නිවස ද පොලීසිය අද (26) පරීක්ෂාවට ලක් කළා.

එහි තිබූ තවත් ඩ්‍රෝන යානා කිහිපයක් සහ උපාංග කිහිපයක් පොලීසිය තම භාරයට ගත් අතර, ඒවා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

රොහාගේ මරණය සැමරීමට සූදානම් වන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබුණේ.

විදෙස්ගතව සැඟව සිටින ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල සාමාජිකයෙකු ද වන ‘අමල් සිංහාරා’ හෙවත් ‘කුඩු අංජු’ නමැත්තා, ‘රොහා’ මියගිය බව සැලවීමත් සමඟ සිය සතුට පළ කරමින් ෆේස්බුක් ගිණුමක සටහන් කිහිපයක් තබා තිබුණා.

‘කුඩු අංජු’ සහ ‘රත්මලානේ රොහා’ අතර විරසකයක් හට ගෙන තිබුණේ 2016 වසරේ ජුනි 23 වනදා මහර අධිකරණය ඉදිරිපිටදී ‘කුඩු අංජු’ගේ සහෝදරයෙකු වන ‘සිංහාරගේ සුරේෂ් අසංක ද සිල්වා’ හෙවත් ‘ලන්සියා’ ඝාතනය කිරීමත් සමඟයි.

+++++++++++++

ලක්ෂ 20 ක ඩ්‍රෝන කැමරා 5 ක් අල්ලයි

(26.09.2020 – 18:51 +0530 – lankadeepa.lk)

රත්මලාන ප්‍රධාන පාතාල සාමාජිකයෙකූ වූ කොචිච්කඩේ ප්‍රදේශයේදී පොලීස් වෙඩි පහරින් ඝාතනයට ලක්වූ ‘රොහා‘ යන අයගේ මරණය සම්බන්ධයෙන් සතුට සැමරීමට කටයුතු කළ ‘කුඩු අංජු’ගේ සහෝදරිය සමග ඊයේ (25) ගල්කිස්ස ‘නිසල අරණ සුසාන භූමියේදී’ අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යන්ත්‍ර සමග අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමකට ලක්කෙරිණි. එහිදී රුපියල් ලක්ෂ 20 කට අධික ඩ්‍රෝන කැමරා 5 ක් ඇතුලු උපකරණ තොගයක් ප්‍රධාන සැකකරුගේ කඩුවෙල නිවසේ තිබී අද (26) සවස දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

සැකකරු කඩුවෙල පදිංචි වයස 38 ක අයෙකු වන අතර කිසිඳු බලපත්‍රයක් නොමැතිව ඩ්‍රෝන යන්ත්‍ර ආනයනය කිරීමේ ආයතනයක් පවත්වාගෙන යනු ලැබ ඇතිබවත්, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා විශාල ඩ්‍රෝනා යන්ත්‍ර 2 ක් හා කැමරාකරණය කරන ඩ්‍රෝන කැමරා 3 ක්ද සමග උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර පරීක්‍ෂණ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එල්. දුෂ්මන්ත මහතා අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් උදයංග මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරගෙන යනු ලබයි.

*********************************************

බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15 ක්

(26.09.2020 – 18:40 +0530 – hirunews.lk/sinhala)

ඉතා අසීරු අවස්ථාවලදී වුවද, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රමුඛත්වය දී කටයුතු කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (26) පැවති ද්විපාර්ශවික අතත්‍ය සමුළුවට එක්වෙමින්.

ජනවරම සහ කොරෝනා ජය ගැනීම සඳහා ක්‍රියාකල ආකාරය තුළින් රටේ පවතින ප්‍රසාදය පිළිඹිබු වන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

ආගමික, සංස්කෘතික සමානකම් ඇති දෙරට අතර, පවතින නොබැඳි මිත්‍රත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට මූලිකත්වය දෙන බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.

මෙම සමුළුව, අගමැති මෝදි මහතා සහ අසල්වැසි රටක නායකයෙකු සමඟ පැවැත්වෙන ඒ ආකාරයේ ප්‍රථම ද්විපාර්ශවික සමුළුව ලෙසයි ඉන්දීය මාධ්‍ය හඳුන්වා ඇත්තේ.

එම සමුළුවේදී විවිධ අංශ යටතේ දෙරට අතර පවතින සබඳතා ඇගයීමට ලක් කෙරුණා.

දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සංචාරක සහ අනෝන්‍ය වැදගත්කමකින් යුත් සියලු අංශ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදඟන් කළේ.

අතත්‍ය සමුළුව ආරම්භයේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂය ලැබූ මැතිවරණ ජයග්‍රහණය තුළ රාජපක්ෂ රජයේ ප්‍රතිපත්ති දෙරට අතර ද්වීපාර්ශවික සහයෝගිතාව පුළුල් කිරීමට පහසුකම් සලසනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

“ලැබූ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දු – ලංකා සබඳතා නව පරිච්චේදයකින් ආරම්භ කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. දෙරටේම ජනතාව අප දෙස නව අපේක්ෂා සහ බලාපොරොත්තු සහිතව බලා සිටිනවා. ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා වලදී අප අනුගමනය කරන්නේ අසල්වැසියාට පළමු තැන ප්‍රතිපත්තිය මත සිටයි.” යනුවෙන් මෝදි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සීමාවන් කඩිනමින් ලිහිල් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කළ නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් ලබාදෙන බවට ද දැනුම් දුන් බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

එක්සත් ශ්‍රී ලංකාවක් තුල සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය උදෙසා දමිල ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට කටයුතු කරන ලෙසට ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

*********************************************

පොල් මිල ගැන ඇමති බන්දුල කතා කරයි

(26.09.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පොල් ගෙඩියේ ප්‍රමාණය මත මිල නියම කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම විපක්ෂය ඇතුළු පාර්ශ්ව විහිළුවට ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කෙසේ වෙතත් රජය නිකුත් කළ ගැසට් නිවේදනයේ සදහන් මිලට වෙළෙඳපොලේ පොල් අලෙවි වන්නේදැයි අප සොයා බැලීමක් කළා.

පොල් ගෙඩියක මිල රුපියල් 60 ත් 70 ත් අතර උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ (25) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණා.

එහි සදහන් ආකාරයට වට ප්‍රමාණය අනුව පොල් ගෙඩියක මිල වෙනස් වනවා.

වට ප්‍රමාණය අඟල් 12 ට අඩු පොල් ගෙඩි සදහා උපරිම සිල්ලර මිල රුපියල් රුපියල් 60 කටත් වට ප්‍රමාණය අඟල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 65 කටත් වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් ගෙඩියක් සඳහා රුපියල් 70 ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපි මහ ජනතාවගෙන් සහ පොල් වෙළෙන්දන්ගෙන් විමසීමක් සිදු කළා.

මේ අතර අනුරාධපුර පැවති වැඩසටහන් කිහිපයකට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොල් මිල සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර පොල් මිල පිළිබඳව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අදහස් පළ කළා.

*********************************************

අංගොඩ ලොක්කාගේ මවගෙන් සහ සහෝදරියගෙන් පොලීසිය ප්‍රශ්න කරයි

(27.09.2020 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී ඝාතනයට ලක්ව මියගිය බවට සැක කරන ‘ලසන්ත චමින්ද පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ මව සහ සොහොයුරියකගෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය ඊයේ (26) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල් භාවිත කර රැස් කර ඇති දේපල සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීම සඳහායි.

උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මීට පෙර කළ දැනුම්දීමකට අනුව ඔවුන්ගෙන් මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ට අයත් දේපල රැසක් පසුගිය දිනවලදී පොලීසිය සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සොයා ගැණුනා.

එමෙන්ම, සැකකරු ඉන්දියාවේදී මියගොස් ඇති බවට සැක කෙරෙන අතර, ඒ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ඥාතින්ගෙන් ඩී.එන්.ඒ. සාම්පල ලබාගෙන ඉන්දීය පොලීසිය වෙත මීට පෙර යොමුකර තිබුණා.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ තොරතුරු යොමුකරන පනතේ නීතිමය ප්‍රතිපාදනවලට අනුව අදාළ ඩී.එන්.ඒ. සාම්පල එවන ලෙස ඉන්දීය පොලීසිය සිදුකළ දැනුම්දීමකට අනුව යළිත් ඒවා ලබාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා ෴

*********************************************

අලුත් රියදුරු බලපත්‍රයට ලකුණු ක්‍රමයක්

(27.09.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර ලබාදීමේදී ඒ සඳහා යම් ලකුණු ප්‍රමාණයක් ලබාදී අනතුරුව රියදුරා විසින් සිදුකරන වැරදිවලට අනුව එම ලකුණු ක්‍රමයෙන් අඩුවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, ක්‍රමයෙන් අඩුවන ලකුණු සංඛ්‍යාව බින්දුවක් වූ විට අදාළ රියදුරු බලපත්‍රය අහෝසි වන අතර, එම රියදුරුට යළි රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව ද එහිදී අහිමි වනවා ෴

*********************************************

පුහුණු කාලය නිම කළ ගිනි නිවීමේ භටයන් 70 දෙනෙකු සේවයට

(27.09.2020 – 09:18 +0530 – hirunews.lk/sinhala)

වසරක පුහුණු කාලය නිමා කළ ගිනි නිවීමේ භටයන් 70 දෙනෙකු විසිර යාමේ උත්සවය අද (27) පැවැත්වෙනවා.

ඒ, කොළඹ නගර ශාලාවේදියි.

උදෑසන හතට (7) වැල්ලවත්තේ සිට පා ගමනක් ආරම්භ කළ ආධුනික ගිනි නිවීමේ භටයන් පෙරවරු 10 ට පමණ කොළඹ නගර ශාලාව ආසන්නයට පැමිණ එම පා ගමන අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

*********************************************

කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාව ලොව දෙවන තැනට

(27.09.2020 – 09:25 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ගෝලීය වසංගතය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගිතාව සැළකූ විට ශ්‍රී ලංකාව ලොව රටවල් 108 ක් අතුරින් දෙවන (2) ස්ථානයට පැමිණ තිබෙනවා.

චීන මූල්‍ය බුද්ධි ආයතනයක් වන යීකායි පර්යේෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයට අනුව කොවිඩ් 19 ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණදුන් රටවල් අතුරෙන් මුල්තැන ගෙන ඇත්තේ චීනයයි.

ශ්‍රී ලංකාව එහි දෙවන (2) තැන හිමිකරගෙන සිටින අතර, තුන්වන (3) ස්ථානය හිමිව ඇත්තේ අප්‍රිකානු ඝානා රාජ්‍යයටයි.

දකුණු කොරියාව, මියන්මාරය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය සහ නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජය පිළිවෙලින් හතරවන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා හිමිකරගෙන සිටිනවා.

කොවිඩ් 19 පාලනය අතින් මුල් තැන ගෙන සිටින රටවල් 10 න් 9 ක්ම ආසියානු පැසිෆික් කලාපයට අයත් රටවල් වීම විශේෂත්වයක්.

ඩෙන්මාර්කය සහ ජර්මනිය යුරෝපයේ කොවිඩ් පාලනය අතින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර, ගෝලීය වසංගතයේ අවදානම නොසළකා හැරි බ්‍රසීලය සහ ඇමරිකා එක්සත් ජනපදයට සාර්ථක ප්‍රතිචාර දර්ශකයේ හිමිව ඇත්තේ 89 සහ 98 වන ස්ථානයි.

මෙම දර්ශකය සැකසීමේදී යීකායි පර්යේෂණ ආයතනය අදාළ රටවල් එකසිය අටේ (108) වසංගත රෝග පාලන ආකෘති ඇගයීමට ලක් කර ඇති අතර, වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට දේශීය වශයෙන් සංවර්ධනය කළ ආකෘති පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති බව සඳහන්.

චීන පර්යේෂණ ආයතනය සැකසූ මෙම වාර්තාව සමාප්ත කර ඇත්තේ කොරෝනා එන්නතක් සුලභව යොදාගැනීමට හැකිවන තුරු කොරෝනා වෛරසය මිනිස් සංහතිය තුළ පවතිනු ඇති බව ප්‍රකාශ කරමින්.

මේ නිසා තාක්ෂණික මෙවලම් සහ ජනතා සහය ඇතිව ගෝලීය වසංගතයට එරෙහි සාධනීය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා රජයන් පියවර ගත යුතු බවයි එමගින් පෙන්වා දෙන්නේ.

මේ අතර කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් අනතුරුව මෙරට සංචාරක කර්මාන්තය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා සහය වන බවට ඇමරිකාව ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තාක්ෂණික සහය ලබාදීමට ඇමරිකාව මේ වනවිටත් කටයුතු කර ඇති බවයි.

ඇමරිකානු මූල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයට සිය සන්නිවේදන සහ ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමට හැකියාවක් ලැබෙන බවයි ඇය කියා සිටියේ.

***************************************

රත්‍රං කිලෝග්‍රෑම් හතරක් (4) සමඟ පුද්ගලයෙකු පුත්තලම – පාලවිය කලපු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රත්‍රං තොගය කැබලි 21 ක් ලෙස සකස් කර තිබූ අතර, නීතිවිරෝධී ලෙස යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී ඊයේ (26) රාත්‍රී 7.15 ට පමණයි.

සැකකරු 47 හැවිරිදි පුත්තලම – නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+++++++++++++++

(27 September 2020 – 10:04)

බස්නාහිර පළාතේ ගතවූ පැය 24 තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 484 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතුරින් පුද්ගලයින් 169 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 329 කට ආසන්න ප්‍රමාණයක් සොයාගනු ලැබූ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම පුද්ගලයින් 133 දෙනෙකු සතුව තිබී ගංජා කිලෝ 47 කට අධික ප්‍රමාණයක්ද පොලිසිය සොයාගෙන ඇති අතර, නීතිවිරෝධී දුම්වැටි 10,721 ක්ද අදාළ වැටලීම්වලදී සොයාගෙන තිබෙනවා ෴

*********************************************

කසල තේ කිලෝ විසිදහසක් (20,000) සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(27.09.2020 – 11:13 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව ගබඩා කර තිබූ කසල තේ කිලෝ විසිදහසකට (20,000) වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු ගම්පොල වෙලම්බොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කසල තේ කිලෝ තුන්දහසක් (3,000) පමණක් ළග තබා ගැනීමට බලපත්‍ර ලබාගෙන ඊට වඩා වැඩි ප්‍රමාණයක් තබා ගනිමින් මෙහි ජාවාරම් සිදුකරන බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ ගබඩාව මුද්‍රා තැබීමට පොලිසිය පියවර ගෙන ඇති අතර එය තේ මණ්ඩල නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

වෙලම්බොඩ ප්‍රදේශයේ නිරන්තරයෙන් කසල තේ වැටලීම් සිදුවන අතර දින කිහිපයකට පෙර ද එම ප්‍රදේශයෙන් කසල තේ කිලෝ පහලොස් දහසක් (15,000) අත්අඩංගුවට ගෙන තිබුනා.

මෙලෙස සකස් කරන තේ කොළ අනුරාධපුර, පොළොන්නරුව සහ යාපනය වැනි ප්‍රදේශවලට අලෙවි කරන බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

*********************************************

ශ්‍රාවස්තිපුර අනතුරකින් පියෙකු සහ දියණියක මරුට

(27.09.2020 – 11:46 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අද (27) අලුයම සිදුවූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබෙනවා.

වෛද්‍යවරයෙකු පැදවූ මෝටර් රථයක් ඔවුන් දෙදෙනා (2) ගමන් කළ ත්‍රී රෝද රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (27) අලුයම 01:20 ට පමණ අනතුර සිදුවී ඇති අතර මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 28 හැවිරිදි දියණියයි.

මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ කුඩා දැරියක් සහ තවත් කාන්තාවක් ද තුවාල ලබා තිබෙනවා.

මියගිය කාන්තාව ත්‍රී රෝද රථය පදවා ඇති අතර ඇය අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇතැයි සඳහන්.

බරපතල තුවාල ලැබූ ඇයගේ පියා මියගොස් ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි.

ත්‍රී රෝද රථයේ ගමන් කර ඇත්තේ අනුරාධපුර තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ ගමන් කළ වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ද සුලු තුවාල ලබා තිබෙනවා.

එම අවස්ථාවේ වෛද්‍යවරයාගේ දරුවන් දෙදෙනා (2) ද මෝටර් රථයේ පිටුපස අසුනේ සිට ඇති අතර ඔවුන්ට හානියක් සිදුවී නැහැ.

සැකකාර වෛද්‍යවරයා ද අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*********************************************

රන්කරුවන්ගේ දුක්ගැනවිල්ල

(27.09.2020 – 12:30 +0530 – hirunews.lk/sinhala)

දේශීය කාර්මාන්තයන් නගා සිටුවීම සම්බන්ධයෙන් මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්ව වනවා.

නමුත් පිටරටින් ස්වර්ණාභාරණ ගෙන්වීමත්, සංචාරක කේෂ්ත්‍රයේ පසුබෑමත් නිසා දේශීය සාම්ප්‍රදායික රන්කරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පුවතක් අපට මාතර පොහොසතුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

රන් කර්මාන්තය ඉතා සියුම් කලාවක්.

රළු දළ ලෝහය තුලින් මටසිළුටු ස්වර්ණාභරණ තැනූ රන්කරුවන්වන් ගැන ඉතිහාසයේ – පොත පතෙහි සඳහන්.

දවසින් දවස වෙනස්වන සමාජයේ අතීත උරුමයන් රැකගන්නා අතර, අතීතයේ වටිනාකම්ද සමඟ ඉදිරියට යෑමට මේ කර්මාන්තයේ නියැලෙන්නන් බොහෝ සේ උත්සාහ ගන්නවා.

*********************************************

ඉදිරි වසර කිහිපය තුළ සමෘද්ධිලාභී නිවෙස් වලට සූර්ය පැනල ලබාදීමේ වැඩපිළිවෙළක්

(27.09.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර කිහිපය තුළ රටේ සෑම සමෘද්ධිලාභී නිවසකටම විදුලිය නිෂ්පාදනය සඳහා සූර්ය පැනල ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාතර – තිහගොඩ ප්‍රාදේශීය සභාවේ පැවති උත්සවයකට එක්වෙමින්.

මාතර – තිහගොඩ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ වහළය මත ලක්ෂ 45 ක වියදමකින් සවිකළ සූර්ය පැනලවලින් නිපදවෙන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම වෙනුවෙන් උත්සවයක් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *