අගමැති සහ ඉන්දීය අගමැති අතර වීඩියෝ සංවාදය ඇරඹේ

අගමැති සහ ඉන්දීය අගමැති අතර වීඩියෝ සංවාදය ඇරඹේ

මීතොටමුල්ල කසළ කන්ද උද්‍යානයක් වෙයි

තනතුරු පහළ හෙලීමට එරෙහිව සෞම්‍ය ලියනගේ අධිකරණයට

රොහාගේ අවසන් කටයුතු සිදු කෙරෙන ප්‍රදේශයට පොලිස් බුද්ධි හා සිවිල් නිලධාරීන්

වැඩිමිලට විකුණන පොල් වැටලීම ඇරඹේ

හඟුරන්කෙත පාසලක ගොඩනැගිල්ලක් ඉරි තලා යයි

තිලීපන් සැමරුමට ඉඩ නොදෙන බව පවසා උතුර නැගෙනහිර විරෝධතා

අපනයන ප්‍රවර්ධනයට දිරිදීමනාවක්

කථානායක නිල නිවසේ පැවැත්වූ පිරිත් පිංකම

ලෝකාන්තයට නව මාර්ගයක් ඉදිකිරිම නිසා ගැටළු රැසක්

ආසන පහසුකම් නොමැති ලග්ගල බස් නැවතුම් පොළ

හිසට සෙවනක් නොමැතිව දරුවන් සමග සති පොලේ ජිවත් වන පවුල

මේ වසරේද ළමා අපචාරවල අඩුවී ඇති බව ළමාරක්ෂණ අධිකාරිය කියයි

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ඉල්ලුම් කළ සම්පූර්ණ වන්දි මුදල ලබාදීමට සමාගම එකඟවෙයි

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වැසේ

*********************************************

අගමැති සහ ඉන්දීය අගමැති අතර වීඩියෝ සංවාදය ඇරඹේ

(26.09.2020 – 12:06 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශවික අතත්‍ය සමුළුව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සමුළුව, අගමැති මෝදි සහ අසල්වැසි රටක නායකයෙකු සමඟ පැවැත්වෙන ඒ ආකාරයේ ප්‍රථම ද්විපාර්ශවික සමුළුව ලෙසයි ඉන්දීය මාධ්‍ය විසින් හැඳින්වූයේ.

සමුළුව සඳහා ආරාධනා ලැබීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එම සමුළුවේදී විවිධ අංශ යටතේ දෙරට අතර පවතින සබඳතා ඇගයීමට අපේක්ෂා කරන බවයි.

දේශපාලන, ආර්ථික, ආරක්ෂක, සංචාරක සහ අනෝන්‍ය වැදගත්කමකින් යුත් සියලු අංශ පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළා.

ඊට ට්විටර් පණිවුඩයකින් පිළිතුරු දුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, සඳහන් කළේ ඉන්දු ශ්‍රී ලංකා ද්විපාර්ශවික සබඳතා පරිපූර්ණ අන්දමින් ඒකාබද්ධ ඇගයීමකට ලක් කිරීමට මෙම සමුළුව අවස්ථාවක් වනු ඇති බවයි.

එමෙන්ම කොවිඞ් 19 ගෝලීය වසංගතයෙන් පසු තවදුරටත් සහයෝගීතාව වර්ධනය කිරීමේ මංපෙත් ගවේෂණය කළ යුතු බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු තීරය ආක්‍රමණය කිරීමේ ගැටළුව පිළිබඳවද සමුළුවේදී සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) සඳහන් කළේ මෙරට ධීවර නියෝජිතයන් හමුවීමෙන් අනතුරුවයි.

එහිදී එම ගැටළුවට විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

*********************************************

මීතොටමුල්ල කසළ කන්ද උද්‍යානයක් වෙයි

(26.09.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 32 කුට මරු කැඳවමින් 2017 වසරේ නායගිය මීතොටමුල්ල කසළ කන්දේ රුක් රෝපණය කර, උද්‍යානයක් සකස් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැළසුම් කර තිබෙනවා.

ඒ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 1.2 ක්.

මේ පිළිබඳ සොයාබැලීමට නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඊයේ (25) එහි සංචාරයක නිරතවුණා.

*********************************************

තනතුරු පහළ හෙලීමට එරෙහිව සෞම්‍ය ලියනගේ අධිකරණයට

(26.09.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තමන් දැරූ තනතුරු පහත හෙළීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බව එහි පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ සෞම්‍ය ලියනගේ පවසනවා.

ඔහු දැරූ මහාචාර්ය පදවිය සහ පීඨාධිපති තනතුර අහිමි කිරීමටයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය තීරණය කළේ.

කථිකාචාර්යවරයෙකු ලෙස ඔහුගේ පරිවාස කාලය අවසන්වීමට පෙර සම්පූර්ණ කළයුතු පශ්චාත් උපාධි සුදුසුකම් සපුරා නොතිබීම හේතුවෙන් මෙම පියවර ගත් බව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නිසි බලධාරී මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුදැනුම මත පාලක සභාව මෙම තීරණය ගෙන ඇති අතර, ඔහුට ඒ සම්බන්ධයෙන් අභියාචනා ක්‍රමවේදය ඔස්සේ යළි තනතුර ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළ සෞම්‍ය ලියනගේ කියා සිටියේ විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරියේ මෙම තීරණයට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි ෴

*********************************************

රොහාගේ අවසන් කටයුතු සිදු කෙරෙන ප්‍රදේශයට පොලිස් බුද්ධි හා සිවිල් නිලධාරීන්

(26.09.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කොච්චිකඬේ ප්‍රදේශයේදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගිය ‘දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා’ හෙවත් ‘රත්මලානේ රොහා’ගේ අවසන් කටයුතු අද (26) අඟුලාන ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ හේතුවෙන් ප්‍රදේශයට සිවිල් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් බුද්ධි නිලධාරින් ද යොදවා ඇති බවයි.

එමෙන්ම ‘රත්මලානේ රොහා’ගේ මරණය සැමරීමට සූදානම් වූ ‘කුඩු අංජු’ගේ සොහොයුරිය ඇතුළු 4 දෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අද (26) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලීසිය සඳහන් කළේ මීට පෙර ‘රත්මලානේ රොහා’ විසින් ඝාතනය කරන ලද ‘කුඩු අංජු’ගේ සොහොයුරු වන ‘ලන්සියා’ගේ දෙහිවල ගල්කිස්ස නගර සභා පොදු සුසාන භූමියේ පිහිටි සොහොනට ඩ්‍රෝන යානාවක් උපයෝගී කරගෙන මල් ඉසීමට සූදානම් කිරීම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

අදාළ ඩ්‍රෝන යානයේ මල් ඉසීම සඳහා වෙනම කොටසක්ද සකසා තිබී ඇති අතර, එයද මේ වනවිට දෙහිවල පොලීසිය භාරයට ගෙන තිබෙනවා. අදාළ සොහොන ඊයේ (25) දිනයේදී මල්වලින් සරසා තිබූ බව ද පොලීසිය සඳහන් කළා.

‘රත්මලානේ රොහා’ගේ මරණයෙන් පසු සතුට සමරන ලෙසට ‘කුඩු අංජු’ සිය ෆේස්බුක් ගිණුමෙහි පසුගියදා සඳහන් කර තිබුණා.

එමෙන්ම ‘රොහා’ගේ මරණය සැමරීමට කටයුතු කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක ලේකම්වරයා ඊයේ (25) උපදෙස් ලබාදුන් බවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.

මේ අතර අනුරාධපුර – ඉපලෝගම පොලිසිය සහ යුද හමුදා බුද්ධි අංශ එක්ව ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුලු තුන්දෙනෙකු (3) හෙරොයින් ග්‍රෑම් 3 කට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගත් බවයි ඉපලෝගම පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම පෑලියගොඩ ප්‍රදේශයේ කේරළ ගංජා බෙදාහැරීමේ ජාලයකට සම්බන්ධ හයදෙනෙකු (6) පෑලියගොඩ පොලිසිය අද (26) අත්අඩංගුවට ගනු ලැබුවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මොහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 40 යි ග්‍රෑම් 500 ක් සොයාගත් බවයි.

මොවුන් කළක් තිස්සේ ජාවාරම සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.

මීට අමතරව මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අකුරැස්ස – පරදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොක්අඩිචෝලේ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබුණා.

‘රත්මලානේ රොහා’ගේ මරණය සම්බන්ධයෙන් සාද පැවැත්වීමට සූදානම් වීමේදී අත්අඩංගුවට ගත්,‘කුඩු අංජු’ගේ නැගණිය ඇතුළු හතරදෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

++++++++++++++++

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ උපකාරක පන්ති ගුරුවරයෙකු ඇතුළු තුන්දෙනෙකු (3) සීදුව ප්‍රදේශයේදී හෙරොයින් සහ කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් සිදුකළ විශේෂ වැටලීමකදීයි.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී 40 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයා පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ තොරතුරු මත මෙම ජාවාරම මෙහෙයවූ පුද්ගලයා සහ ගුරුවරයාගෙන් ඉගෙනුම ලැබූ 21 හැවිරිදි ගෝලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් මීගමුව ආශ්‍රිතව මත්ද්‍රව්‍ය බෙදා හැරීම් සිදුකර ඇති බවට ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 38 ක වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 150 ක් සහ රුපියල් ලක්ෂ 18 ක් වටිනා කේරළ ගංජා කිලෝ 6 ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (25) අත්අඩංගුවට ගත් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ 26 හැවිරිදි මන්ත්‍රීවරයෙකු ඇතුළු 3 දෙනා ලබන මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද (26) කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එසේම, රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා මත්පෙති 8000 ක් සමඟ වත්තල – හේකිත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෝදරදී අද (26) අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ උතුර කොට්ඨාශ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින්.

ඔහු එම මත්පෙති මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීම සඳහා රැගෙන යමින් තිබූ බව අනාවරණ වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මානසික ආබාධිත සහිත පුද්ගලයින්ට ලබාදෙන ඖෂධ වලට අධි මාත්‍රාවන් යොදා මෙම මත්පෙති සකස් කර ඇති බවයි.

*********************************************

වැඩිමිලට විකුණන පොල් වැටලීම ඇරඹේ

(26.09.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

පාලන මිල ඉක්මවා වෙළඳපොලේ පොල් අලෙවි කරන වෙළඳුන් සොයා සිදුකරන වැටලීම් හා විමර්ශන අද (26) සිට ආරම්භ කළ බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ ඊයේ (25) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාලන මිල ඉක්මවා මෙලෙස පොල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

පොල් ගෙඩියක මිල රුපියල් 60 ත් 70 ත් අතර උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ (25) එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණු අතර, ඒ අනුව පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස් වනවා.

වට ප්‍රමාණය අගල් 12 ට අඩු පොල් රුපියල් 60 කටත්, වට ප්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් රුපියල් 65 කටත්, වට ප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක් සඳහා රුපියල් 70 ක මිලක් ද නියම කර තිබෙනවා.

මේ අතර පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳුන් සොයන වැටලීම්ද පාරිභෝගික සේවා අධිකාරිය යළි ආරම්භ කර තිබෙනවා. එම අධිකාරිය පැවසුවේ වෙළඳපොලේ සහල් මිල ඉහළ ගොස් ඇති බවට ලද තොරතුරු අනුව අදාළ වැටලීම් යළි ආරම්භ කළ බවයි.

කැකුළු සහල් සඳහා රුපියල් 93 ක්, නාඩු සහල් සඳහා රුපියල් 96 ක් මෙන්ම සම්බා සහල් සඳහා රුපියල් 98 ක් වශයෙනුයි පාලන මිල පනවා ඇත්තේ ෴

*********************************************

හඟුරන්කෙත පාසලක ගොඩනැගිල්ලක් ඉරි තලා යයි

(26.09.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – හඟුරන්කෙත ස්වර්ණප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉරිතලා යාම හේතුවෙන් පාසල් ළමයින් ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළා.

අදාළ ගොඩනැගිල්ලේ බිත්ති ඉරිතලා ගොස් ඇති අතර, විදුහල්පතිනිය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා වෙත කරන ලද දැනුම්දීමක් අනුව ආණ්ඩුකාරවරයා එම ස්ථානයට ඊයේ (25) පැමිණ තිබුණා.

*********************************************

තිලීපන් සැමරුමට ඉඩ නොදෙන බව පවසා උතුර නැගෙනහිර විරෝධතා

(26.09.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

උපවාසයක යෙදී සිටියදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන තිලීපන් සැමරීමට රජය ඉඩනොදෙන බවට පවසමින් ඊට විරෝධය පා උතුරු නැගෙනහිර පළාත්වල ලබන සඳුදා (28) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඊට සමාගාමිව අද (26) පෙරවරුවේ සිට චාවකච්චේරි – ශිවම් කෝවිල ඉදිරිපිට උපවාසයක් ද ආරම්භ කරන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පසුගිය 15 වනදා ද තිලීපන් සැමරීමට සුදානම් වු අවස්ථාවකදි ද යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිසිය භාරයට ගෙන පසුව මුදා හැරියා.

ඒ, මියගිය තිලීපන් සමරා උත්සව හෝ පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් යාපනය අධිකරණය පසුගිය 14 වනදා නියෝගයක් නිකුත් කර තිබිම හේතුවෙන්.

1963 වසරේ උපත ලද රාසයියා තිලීපන් නොහොත් තිලීපන්, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් 1987 සැප්තැම්බර් මස 15 වන දින මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. ආහාර හෝ ජලය ලබා නොගැනීම හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූයේ ඉන් දින 11 කට පසුවයි.

තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක් සංවිධාන කරන මෙම හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ගෙන් අප විමසිමක් කළා.

එහිදි ඔහු සඳහන් කළේ තහනම් සංවිධානයක පුද්ගලයින් සැමරිමට යම් අයෙක් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක බවයි ෴

*********************************************

අපනයන ප්‍රවර්ධනයට දිරිදීමනාවක්

(26.09.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි කාර්තු දෙක (2) සඳහා අපනයන ප්‍රවර්ධනය සඳහා දිරිගැන්වීමේ දීමනාවක් ලබාදීමට අපනයන සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහිදී වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750 ඉක්මවූ මහ පරිමාණ අපනයනකරුවන්ට පසුගිය වසරේ ආදායමට සාපේක්ෂව සියයට දෙකක (2) දිරිදීමනාවක් හිමිවන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ අපනයන කරුවන්ට සියයට 3.5 ක දීමනාවක් හිමිවනු ඇති.

අලුතෙන් පිහිටුවන ලද අපනයන සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව මගින් අදාළ යෝජනාව පසුගිය 23 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේ නව වැඩසටහන තුළින් ඔක්තෝම්බර් 1 වනදා සිට ලබන වසරේ මාර්තු 31 දක්වා ඩොලර් මිලියන 600 ක අතිරේක අපනයන ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවයි ෴

*********************************************

කථානායක නිල නිවසේ පැවැත්වූ පිරිත් පිංකම

(26.09.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මහින්ද යාපා අබේවර්ධන මහතා කථානායක ධුරයට පත්වීමෙන් අනතුරුව ඊයේ (25) රාත්‍රියේ කථානායක නිල නිවසේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණයක් පැවැත්වුණා.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද එම අවස්ථාවට එක්ව සිටියා.

කතානායක නිල නිවසේ දී මෙම පිරිත් පිංකම පැවැත්වුණේ ගංගාරාම විහාරස්ථානයේ පුජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

ඊට මැති ඇමතිවරන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියා.

මේ අතර ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු සෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයාග මූලිකත්වයෙන් සැලසුම් කර ඇති ගමින් ගම චාරිකාවේ ප්‍රථම අදියර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හපුතලේ අක්කර 100 ගම්මානයෙන් ඊයේ (25) ආරම්භ වුණා.

ජනතා ගැටලු විමසීමේ සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදේශයේ වගා බිම් සහ නිවෙස් කිහිපයකට යමින් ජනාධිපතිවරයා තොරතුරු සොයා බැලුවා.

***************************************

*********************************************

ලෝකාන්තයට නව මාර්ගයක් ඉදිකිරිම නිසා ගැටළු රැසක්

(26.09.2020 – 13:43 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ නන්පේරියල් වතුයාය හරහා ලෝකාන්තය දක්වා මාර්ගයක් ඉදිකිරීමට බලංගොඩ – ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් නන්පේරියල් වතුයායේ ජනතාව චෝදනා කරන්නේ මෙමගින් පාරිසරික මෙන්ම සමාජීය ගැටලු රැසක් උද්ගත වන බවටයි.

ලෝක උරුමයක් වූ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීම සඳහා පට්ටිපොල සහ ඔහිය දෙසින් ප්‍රධාන මාර්ග 2 ක් දැනටමත් විවෘතව පවතිනවා.

මේ වන විට බලංගොඩ සිට නන්පේරියල් වතුයාය හරහා නව ප්‍රවේශ මාර්ගයක් විවෘත කිරීමට ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් නන්පෙරියල් වතුයාය හරහා මෙම මාර්ගය විවෘත කළහොත් නිතර පැමිණෙන සංචාරකයන් හේතුවෙන් පරිසර විනාශය මෙන්ම සමාජීය ගැටලු රැසක් උද්ඝත වනු ඇති බවට ජනතාව චෝදනා කරනවා.

කෙසේ වෙතත් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ නැග්රැග් ප්‍රදේශයේ සිට හෝර්ටන්තැන්න හරහා කොටස පා ගමනින් පමණක් සිදුකළ හැකි ලෙසට මාර්ගය ඉදිකරන බැවින් පරිසර විනාශයක් සිදුනොවන බවයි.

*********************************************

ආසන පහසුකම් නොමැති ලග්ගල බස් නැවතුම් පොළ

(26.09.2020 – 13:47 +0530 – hirunews.lk/sinhala)

ජනතා බදු මුදලින් ඉදිකළ ලග්ගල ප්‍රධාන බස්නැවතුම් පොළෙහි පහසුකම් නොමැතිකමින් මගීන් සහ බස් රථ සේවකයින් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

අද (26) ‘රතු මිනිත්තුව’ වෙන් වන්නේ ලග්ගල බස් නැවතුම්පළේ අද තත්ත්වය පිළිබඳ විමසීමටයි.

ලග්ගල ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිකර ජනතා අයිතියට පත්කළේ 2019 වර්ෂයේ ජනවාරි 08 වනදායි.

ඊට යාබඳව සනීපාරක්ෂක කටයුතු සඳහා වෙනම පහසුකම් සකස්කර තිබුණත්, එය මේ වන විට පවතින්නේ ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයකයි.

කෝටි ගණනක් මුදල් වැය කර ඉදිකළ බස් නැවතුම්පළෙහි අද තත්ත්වයයි මේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙහි නිසි පරිදි ආසන පහසුකම් හෝ සලසා නැති බවයි.

අවස්ථා ගණනකදී මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද ඒ පිළිබඳව මෙතෙක් කිසිවෙකුගේ අවධානයට යොමු වී නැහැ.

කෙසේ වෙතත්, මෙලෙස නිරපරාදේ විදුලි පංකා ක්‍රියාත්මක වෙමින් තිබීමද සුලභ දසුනක් බවට පත්ව තිබෙනවා.

වැසිකිලි පද්ධතිය උතුරා ගොස් නිසි ලෙස පවිත්‍ර නොකිරීම හේතුවෙන් අවට පරිසරය ද අපිරිසිදු වී තිබෙනවා.

ජනතා බදු මුදලින් ඉදිකෙරෙන මෙවැනි ව්‍යාපෘති හරහා ජනතාවට නිසි පහසුකම් ක්‍රමවත්ව ලැබෙන්නේදැයි සොයාබැලීමත් බලධාරීන් සතු වගකීමක්.

ලග්ගල බස් නැවතුම් පොළේ පවතින මෙම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබෙන තෙක ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

හිසට සෙවනක් නොමැතිව දරුවන් සමග සති පොලේ ජිවත් වන පවුල

(26.09.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවණක් නොමැතිව කුඩා දරු දෙදෙනා සමග සති පොළක දිවිගෙවන අසරණ පවුලක් පිළිබඳව මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මේ, මාතර – තෙලිජ්ජවිල – හොරගොඩ සති පොළයි වෙළෙඳුන් හා පාරිභෝගිකයින් මෙහි පැමිණෙන්නේ සතියකට වතාවක් වුවත් 37 හැවිරිදි ප්‍රසාද් ඉන්දික සහ 34 හැවිරිදි බිරිඳ ඉන්දිකා සඳමාලි අවුරුදු 4 සහ මාස 4 පසුවන සිය කුඩා දරු දෙදෙනා (2) සමග සැමදා රැය පහන් කරන්නේ මේ සතිපොළ භූමියේයි.

මීට පෙර කුඩා නිවසක දිවි ගෙවූ මොවුන් අද කුඩා දරු දෙදෙනා (2) සමග මහ මගට ඇදවැටී තිබෙනවා.

සිය දරුවන්ට හිසට සෙවණක් තනා දීමේ ඒකායන බලාපොරොත්තුවෙන් විවිධ උත්සහයන්වල නිරත වුවත් එම උත්සහයන් ව්‍යර්ථව ඇත්තේ අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවටයි ඔවුන් මැසිවිලි නගන්නේ.

තම දරුවන් දෙදෙනාගේ (2) අනාගතය වෙනුවෙන් දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳ සිටින මේ දෙපළගේ සිහිනය හිසට සෙවණක් ඉදිකර ගැනීම බව ඔවුන් හැඬූ කඳුළින් අපට පැවසුවා.

*********************************************

මේ වසරේද ළමා අපචාරවල අඩුවී ඇති බව ළමාරක්ෂණ අධිකාරිය කියයි

(26.09.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ළමා අපචාර සංඛ්‍යාත්මකව අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ 2019 වසරේ ළමා අපචාර සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි 8,558 ක් ලැබී තිබූ බවයි.

කෙසේ වෙතත් මේ වසරේ ගතවූ මාස හතහමාරක (7½) කාලය තුළ ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි ලැබී ඇත්තේ 4,484 ක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ ෴

*********************************************

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ඉල්ලුම් කළ සම්පූර්ණ වන්දි මුදල ලබාදීමට සමාගම එකඟවෙයි

(26.09.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ලබාදීමට එම සමාගම එකඟතාව පළ කර තිබෙනවා.

මූලික වන්දි ගෙවීමක් ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ අතර, එය ලබාදීමට නෞකාව අයත් සමාගම විසින් එකඟතාවය පළ කළා.

කෙසේ වෙතත් අවසන් ඇස්තමේන්තුව ලෙස පසුගියදා තවත් මිලියන සියයක් (100) ද ඇතුලත්ව රුපියල් මිලියන 442 ක වන්දි මුදලක් ප්‍රකාශයට පත්කළ අතර, ඒ අනුව එම මිලියන 100 ක මුදලද ලබාදීමට තීරණය කර ඇතැයි නෞකාවේ හිමිකාර සමාගමේ නීතීඥවරුන් දැනුම්දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා ෴

*********************************************

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වැසේ

(26.09.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් හේතුවෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වන දින දක්වා වසා තැබෙන බව එම කාර්යාලය නිවේදනය කළා.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 3 දෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ රැදී සිටින 44 දෙනෙකුට කොරෝනා ආසාදනය වීම ඊට හේතුවයි.

මේ අතර, අද(26) දිනයේදී කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3349 දක්වා ඉහළ ගියා.

කටාර් සිට පැමිණි 3 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු ඒ අතර වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,186 වන අතර, ආසාදිත 150 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එසේම, කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී පසුව ආසාදිතයෙකු නොවන බවට ප්‍රකාශ වූ රුසියානු ජාතිකයා අද (26) හෝ හෙට (27) මෙරටින් පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ රුසියානු ජාතිකයා නිරෝධායනය වීමේදී නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොතිබූ බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *