ජනතා යහපතට දෙන නියෝග කඩකරන නිලධාරින්ට දැඩි පියවර ගන්නා බව ජනපති කියයි

ජනතා යහපතට දෙන නියෝග කඩකරන නිලධාරින්ට දැඩි පියවර ගන්නා බව ජනපති කියයි

මහනුවර ගිලා බැසීමට ලක්වූ ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගනී

පොලිස්පතිවරයාගේ බලතල සීමා වී ඇත්තේ පොලිස් කොමිසම හේතුවෙන් – වැඩබලන පොලිස්පති

‘ගොනා කෝවිලේ රොහා’ ඝාතනයට ලක්වීම සැමරීමට සූදානම්වූ ‘කුඩු අංජු’ගේ සහෝදරිය ඇතුළු 4 ක් අත්අඩංගුවට

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර දුන් නඩු තීන්දුවලින් අගතියට පත්වුවන් වෙනුවෙන් සිංහලේ සංවිධානය කමිටුවක් ඉල්ලයි

පොල් සඳහා උපරිම සිල්ලර මිලක්

කොළඹ වරායේ බහලුම් ප්‍රවාහන රථ රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4 ක්

රත්මලානේ රොහාගේ අවසන් කටයුතු අද (26)

කළුතර දිස්ත්‍රික්කයේ නරින්ගේ සපාකෑම් පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ගිල දැමූ දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට

දිඹුලාගලට අහසින් වැටුණු කෙදි

*********************************************

ජනතා යහපතට දෙන නියෝග කඩකරන නිලධාරින්ට දැඩි පියවර ගන්නා බව ජනපති කියයි

(25.09.2020 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග, චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) නිලධාරින්ට අවධාරණය කළා.

එම නියමය කඩකරන නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

බදුල්ල – හල්දුම්මුල්ල – වෙලංවිට ග්‍රාමයෙන් අද (25) ආරම්භ වූ ‘ජනපති ගම සමග පිලිසඳර’ සාකච්ඡා මණ්ඩපයේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡා මණ්ඩපයේ පළමු හමුව මෙය වන අතර, එය පැවැත්වුණේ වෙලංවිට – අක්කර 100 ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදීයි.

මෙහිදී ආබාධිත රණවිරුවෙකු කළ ඉල්ලීමට අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ගම්මාන 7 ක් නියෝජනය කරන මොරකැටිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමටයි නියම කළේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට, වනජිවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටලු ගොනුකොට හිමිකම් සහ ඔප්පු දීමට පියවර ගන්නැයි ද නියම කෙරුණා.

වී, කුරුඳු සහ කෝපි ඇතුළු සියලු වගා කටයුතුවලදී ගොවීන්ට ඇති ගැටලු දීර්ඝ සාකච්ඡාවකට ලක්වූ අතර, වන සංරක්ෂණ මැණුම් කිරීමේදී සිදුව ඇති අතපසුවීම් නිවැරදි කරන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කළා.

රැස්ව සිටි කුඩා දරුවන් සිටින සියලුදෙනාගේ ගැටලුවලට හැකි උපරිමයෙන් විසඳුම් ලබාදුන් ජනාධිපතිවරයා සාකච්ඡා මණ්ඩපය නිමවීමෙන් අනතුරුව ප්‍රදේශයේ වගාබිම් සහ නිවෙස්වලට යමින් තොරතුරු විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

[ සේයාරූ ]

*********************************************

මහනුවර ගිලා බැසීමට ලක්වූ ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කර ගනී

(25.09.2020 – 19:01 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව, ඔහු ලබා දුන් තොරතුරුවලට අනුව අදාළ ගොඩනැගිල්ල ඉදිකල මාතලේ ප්‍රදේශයේ පෞද්ගලික කොන්තරාත්කරු ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද (25) දිනයේ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර ගොඩනැගිල්ලට යටවීමෙන් මියගිය තම සහෝදරයාගේ පවුලට සාධාරණය ඉටුකර දෙන ලෙස මියගිය පුද්ගලයාගේ සහෝදරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

එංගලන්තයේ සිට මෙරටට පැමිණ මේ වනවිට නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින්.

මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේ කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු 2006 වසරේදී මහල් දෙකක් (2) ඉදිකිරීම සඳහා පළමුව මහනුවර මහ නගර සභාවෙන් අවසර ලබාගෙන ඇති බවයි.

අනතුරුව ඔහු ඉතිරි මහල් ඉදිකර ඇති බව ආණ්ඩුකාරවරයා කියා සිටියා.

කඩාවැටුණු මෙම ගොඩනැගිල්ලට යටවීමෙන් ඊට පහළින් පිහිටි හෝටලයක සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිළිඳිය ජීවිතක්ෂයට පත්වී හෙටට සතියක කාලයක් ගතවනවා.

මේ අතර කඩාවැටුණු ගොඩනැගිල්ලේ සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා අනාවරණ කළේ මහනුවර මහ නගර සභා බලප්‍රදේශය තුළ අවදානම් සහ අනවසර ඉදිකිරීම් 256 ක් ඉවත් කරන ලෙස අධිකරණ නියෝග ලබාදී ඇතත්, මේ දක්වා ඒවා ඉවත් කිරීමට නොහැකි වී ඇති බවයි ෴

*********************************************

පොලිස්පතිවරයාගේ බලතල සීමා වී ඇත්තේ පොලිස් කොමිසම හේතුවෙන් – වැඩබලන පොලිස්පති

(25.09.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොමිසම පිහිටුවීම මගින් පොලිස්පතිවරයාගේ බලතල සීමා වී ඇතැයි වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න පිළිගත්තා.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ යලි සේවයේ පිහිටුවීමට ඇති බාධා පිළිබඳ විමසීමට වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඊයේ (24) දෙවැනි (2) වරටත් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා.

ඔහු සදහන් කළේ එය සුදුසු බවට තමා පොලිස් කොමිෂන් සභාව වෙත නිර්දේශ නිකුත් කර ඇති නමුත් එම කොමිෂන් සභාව එය ප්‍රතික්ෂේප කළ බවයි.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විමසුවේ වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නැවත සේවයේ පිහිටුවීමත්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ යළි සේවයේ පිහිටුවීම ප්‍රතික්ෂේප කිරීමත් මගින් පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු කර ඇති බවට හැඟී යන්නේද යන්නයි.

පොලිස්පතිවරයා ලෙස තමා යවනු ලැබු නිර්දේශ පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු කර ඇතැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න එහිදී සඳහන් කළා.

කොමිසම යළි විමසුවේ එසේ පැවසීමට හේතුව කුමක් ද යන්නයි.

තමාගේ නිර්දේශ වලට වඩා පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් පොලිස් කොමිසම ස්වාධීන තීන්දු ගන්නා බව සී.ඩී. වික්‍රමරත්න ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා.

මෙහිදී ලලිත් අනුරුද්ධ ජයසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහේෂ් කොටුවැල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිව හඳුනනවාදැයි සී. ඩී. වික්‍රමරත්නගෙන් විමසූ අතර ඔහු පැවසුවේ තමා ඔහුව හඳුනන බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට තරග කර ඇති බවත්, එම පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස කටයුතු කර ඇති බවත් නීතීඥ මහේෂ් කොටුවැල්ල කොමිසමට පෙන්වා දුන්නා.

නීතිඥ මහේෂ් කොටුවැල්ල සී. ඩී. වික්‍රමරත්නගෙන් විමසූවේ සේවයට වාර්තා නොකර දේශපාලනයේ නිරත වූ එවැනි පුද්ගලයකු යළි සේවයේ පිහිටුවා එදිනම විශ්‍රාම ගැන්වීමට නිර්දේශ නිකුත් කළේද යන්නයි.

තමා එලෙස නිර්දේශ කළ බව සි. ඩී. වික්‍රමරත්න පිළිගත් අතර ප්‍රිශාන්ත ජයකොඩි විශ්‍රාම නොගෙන තවදුරටත් සේවයේ කටයුතු කිරීම පිළිබඳව එහිදී කොමිසමේ අවධානය යොමු වුණා.

එහිදී වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වැඩිදුරටත් පැවසුවේ ප්‍රිශාන්ත ජයකොඩි පොලිස් සේවයට සුදුසු නොමැති බව තමා පිළිගන්නා බවත් ඔහු සේවයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය ද දැනුවත් කර ඇති බවයි.

පොලිස් කොමිසම පිහිටුවීම මගින් සිදු කර ඇත්තේ පොලිස්පතිවරයා ශක්තිමත් කිරීමක්ද ? දුර්වල කිරීමක්ද යන්න කොමිසම මෙහිදී විමසුවා.

ඔහු සඳහන් කළේ පොලිස් කොමිසම මගින් පොලිස්පතිවරයා දුර්වල කර ඇති බවයි.

පොලිස්පතිවරයාට, තීරණ ගැනීමේ නිදහස ඇතැම් අවස්ථාවල දී පොලිස් කොමිසම නිසා අහිමිවී ඇති බවත්, ඇතැම් තීරණවලදී පොලිස්පතිවරයාගේ නිර්දේශවලට ඉහළින් කොමිසම ක්‍රියා කරන බැවින් කරුණු දැක්වීමට සිදුවන බවත් වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර දේශපාලන පළිඟැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට කර තිබූ පැමිණිලි කිහිපයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අදත් කොමිසම හමුවට ගෙන එනු ලැබුවා.

*********************************************

‘ගොනා කෝවිලේ රොහා’ ඝාතනයට ලක්වීම සැමරීමට සූදානම්වූ ‘කුඩු අංජු’ගේ සහෝදරිය ඇතුළු 4 ක් අත්අඩංගුවට

(25.09.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාතාල සාමාජිකයෙකු වූ ‘හැරල්ඩ් රෝහණ ද සිල්වා’ හෙවත් ‘ගොනා කෝවිලේ රොහා’ පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්වීම සැමරීමට සූදානම්ව සිටි ‘කුඩු අංජු’ගේ සහෝදරිය ඇතුළු සිව්දෙනෙකු (4) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

‘රත්මලානේ රොහා’ගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන ඕනෑම අයෙකුට ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත දැඩි නීතිමය පියවර ගන්නා බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා ෴

++++++++++++++++

පෑලියගොඩ ප්‍රදේශයේ කේරළ ගංජා බෙදාහැරීමේ ජාලයකට සම්බන්ධ හයදෙනෙකු (6) පෑලියගොඩ පොලිසිය අද (26) අත්අඩංගුවට ගනු ලැබුවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මොහු සතුව තිබී කේරළ ගංජා කිලෝ 40 යි ග්‍රෑම් 500ක් සොයාගත් බවයි.

මොවුන් කළක් තිස්සේ ජාවාරම සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ෴

*********************************************

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර දුන් නඩු තීන්දුවලින් අගතියට පත්වුවන් වෙනුවෙන් සිංහලේ සංවිධානය කමිටුවක් ඉල්ලයි

(25.09.2020 – 21:13 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ක්‍රියාත්මක කළ නඩු තීන්දුවලින් අගතියට පත් සියලු පාර්ශවයන් වෙත සාධාරණයක් ඉටුකිරීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවට ‘සිංහලේ ජාතික සංවිධානය’ පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද (25) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.

මේ අතර දේශපාලනඥයින් විසින් ඉදිරියටත් තම ප්‍රතිවිරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා අධිකරණ කේෂේත්‍රයේ නිළධාරීන් සම්බන්ධ කරගැනීම කෙරෙහි ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහජන යුතුකම් කේන්ද්‍රයේ මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳමින් සඳහන් කළා.

*********************************************

පොල් සඳහා උපරිම සිල්ලර මිලක්

(25.09.2020 – 21:35 +0530 – hirunews.lk/sinhala)

පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව :

• වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70 ක්.

• වට ප්‍රමාණය අඟල් 12-13 අතර පොල් ගෙඩියක් අලෙවි කළ හැකි මිල වන්නේ රුපියල් 65 ක්

• වට ප්‍රමාණය අඟල් 12 ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60 ක්

බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

කිසිදු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම මිලට වඩා අලෙවි කිරීම, අලෙවිය වෙනුවෙන් තැබීම හෝ අලෙවියට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි එම අධිකාරිය නියෝග කළේ.

මෙම නියෝග අද (25) සිට බලපැවැත්වෙනවා ෴

*********************************************

කොළඹ වරායේ බහලුම් ප්‍රවාහන රථ රියදුරන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

(25.09.2020 – 22:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බහළුම් ප්‍රවාහන රථ රියදුරන් ඊයේ (24) දහවල් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

ඔරුගොඩවත්ත රේගු පරීක්ෂණ අංගනවල පවතින අකාර්යාක්ෂමතාවයන්ට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර තිබුණා.

අද (25) පස්වරුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතරුව එම වර්ජනය නිමාවට පත් වුණු අතර ඒ හේතුවෙන් අද (25) එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද ඇති වුණා.

*********************************************

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4 ක්

(26.09.2020 – 06:31 +0530 – lankaleadnews.com)

මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4 ක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

රජයේ ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉන් ප්‍රධානම සංශෝධනයක් වන්නේ දැනට ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනයට අඩංගු නොවන 7 වැනි උප ලේඛනයේ දිවුරුම (රටේ ඒකීයභාවය පිළිගන්නා) නැවත ඇතුළත් කිරීමයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව 3 ක් ලෙසත් එහි මෙතෙක් සඳහන් නොවූ ඝණපූරණය සාමාජිකයන් දෙකක් (2) ලෙසත් නව වගන්තියක් ඇතුළත් කෙරෙයි. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමටද නව සංශෝධනයක් එක් කෙරේ.

මෙම සංශෝධන මාලාවට එක් කෙරෙන සිව්වැනි (4) සංශෝධනය වන්නේ මැතිසබය තෝරාපත් කරගත් පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන කාලය නිශ්චය කෙරෙන සංශෝධනයයි. දැනට ප්‍රකාශිත ව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් වන්නේ මැතිසබය තෝරා පත්කර වසරකට (1) පසු ජනාධිපතිට එය විසුරුවා හැරිය හැකිය කියාය. එය යහපාලන රජය 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූ විධිවිධානයමය. එහෙත් එම කාලසීමාව වසරක් (1) නොව වසර 2½ ක් විය යුතු යැයි රජයේම ප්‍රබල පාර්ශ්ව ගණනාවක් සඳහන් කර ඇති බැවින් එම කරුණ සිව්වැනි (4) සංශෝධනය ලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.

සෙසු වගන්ති සංශෝධනය කිරීමක් ගැන මෙතෙක් සාකච්ඡා වී නොමැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයටත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය ජනාධිතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් තමන් ජනතාවට පොරොන්දු වූ ලෙස 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම අහෝසි කළ යුතු බවය. ඒ සඳහා රජයට ජනතාව මැතිසබයේ 2/3 ක ජනවරමක් ලබාදී ඇති බැවින් තමන්ගේ එකම අරමුණ එම ජනතා අභිලාෂය ඉටුකිරීම බවත් ජනපතිවරයා පවසා ඇත. එයට රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමත්, අමාත්‍ය මණ්ඩලයත් ඒකමතිකව අනුමැතිය ලබාදුන් බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි ෴

*********************************************

රත්මලානේ රොහාගේ අවසන් කටයුතු අද (26)

(26.09.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කොච්චිකඬේ ප්‍රදේශයේදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් මියගිය ‘දේවමුණි හැරල්ඞ් රෝහණ ද සිල්වා’ හෙවත් ‘රත්මලානේ රොහා’ගේ මරණය සැමරීමට සූදානම් වන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව අදාළ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට සූදානම් බවයි.

මේ අතර මියගිය ‘රත්මලානේ රොහා’ගේ අවසන් කටයුතු අද (26) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් දෙහිවල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ‘රත්මලානේ රොහා’ගේ මරණය සැමරීමට සූදානම් වූ ‘කුඩු අංජු’ගේ සොහොයුරිය ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දෙහිවල – ගල්කිස්ස නගර සභා පොදු සුසාන භූමියේ පිහිටි ‘කුඩු අංජු’ගේ බාල සොහොයුරාගේ සොහොනට ඩ්‍රෝන යානාවක් යොදා ගෙන මල් ඉසීමට සූදානම් කර තිබූ බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර, ‘කුඩු අංජු’ සමඟ ‘වට්ස්ඇප්’ ඔස්සේ සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ද සිටින බව සඳහන්.

‘රත්මලානේ රොහා’ගේ මරණෙන් පසු සතුට සමරන ලෙසට ‘කුඩු අංජු’ සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණා.

ඒ ‘කුඩු අංජු’ගේ සහෝදරයා ‘රත්මලානේ රොහා’ අතින් ඝාතනය වී තිබීම හේතුවෙන්.

මේ අතර, ජා-ඇල ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 8 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොග්ගල සහ ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම, අලුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් ගොඩෙහිතැන්න – දීගල ප්‍රදේශයේදී බෝර 16 ගිනි අවියක් සහ අඩි තුනහමාරක් (3½) දිගැති කඩුවක් සමඟ සැකකරුවෙකු සමඟ ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, ගංජා ජාවාරමට එරෙහි වූ පුද්ගලයෙකුට එම ජාවාරම්කරුවන් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ මදුරන්කුලිය – කන්දතෝඩුවාව ප්‍රදේශයේ පදිංචි තුන්දරු (3) පියෙක්. ඔහු මේ වනවිට පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පහරදීම සිදුකළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට උඩප්පුව පොලීසිය කටයුතු කරන බවට ප්‍රදේශවාසීන් සහ ඥාතීන් චෝදනා කළ ද, පොලීසිය සඳහන් කළේ ගංජා ජාවාරමට එරෙහිවීම හේතුකොටගෙන මෙම පහරදීම සිදුකර ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි ෴

*********************************************

කළුතර දිස්ත්‍රික්කයේ නරින්ගේ සපාකෑම් පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

(26.09.2020 – 08:21 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ නරින්ගේ සපාකෑම් පිළිබඳව ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හොරණ හා මිල්ලනිය ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා.

ඊට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය අධ්‍යක්ෂ එල්.ඩී. කිත්සිරි මහතා සඳහන් කළේ මෙම නරින් අතර ජලභීතිකා රෝගය පැතිරයාම දක්නට ලැබෙන බැවින් ඒ හරහා හරකුන්, සුනඛයින් වැනි ගෘහාශ්‍රිත සතුන්ටද එම රෝගය පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවයි.

පසුගියදා හොරණ, මිල්ලනිය හා බුලත්සිංහල ප්‍රදේශවලින් නරි මිනිසුන් සපාකෑමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.

මියගිය නරින් තුන් දෙනෙකුගේ (3) හා සුනඛයෙකුගේ (1) හිස් කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකර සිදුකළ පරීක්ෂාවේදී හෙලි වුණේ එම සතුන්ට ජල භීතිකාව වැළඳී ඇති බවයි ෴

*********************************************

අධි රුධිර පීඩනයට ලබාදෙන ඖෂධ ගිල දැමූ දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ

(26.09.2020 – 09:16 +0530 – hirunews.lk/sinhala)

සිය මිත්තිණියට ලබා දී තිබූ බෙහෙත් පෙති කිහිපයක් ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් කුඩා දරුවෙකු රෝහල් ගත කළ පුවතක් මීගහකිවුල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

වයස අවුරුදු එක හමාරක (1½) දරුවෙක් මෙලෙස අද (26) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා එම දරුවා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අධික රුධිර පීඩනය සඳහා දරුවාගේ මිත්තණියට රෝහලෙන් ලබා දී තිබූ බෙහෙත් පෙති ඇසුරුමක් සමඟ සෙල්ලම් කරමින් සිට ඇති මෙම දරුවා එම ඇසුරුමේ තිබූ පෙති කීපයක් ගිල දැමීමෙන් මෙලෙස අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.

දරුවාගේ මුඛය තුල ඖෂධ පෙති කීපයක් තිබෙනු දුටු දරුවාගේ මව ඒ පිළිබඳව සොයා බැලීමේදී දරුවා බෙහෙත් පෙති ගිල ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.

අනතුරුව දරුවා වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

*********************************************

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට

(26.09.2020 – 11:50 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබෙනවා.

ඒ, චුන්නාකම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඥානලිංගම් මයුරන් එම කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.

මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීරද අද (26) පෙරවරුවේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අතර, පස්වරු තුනට (3) පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් අනුව ඔහු සාක්ෂි ලබාදීමකින් තොරව කොමිසමෙන් පිටව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

*********************************************

දිඹුලාගලට අහසින් වැටුණු කෙදි

(26.09.2020 – 11:53 +0530 – hirunews.lk/sinhala)

දිඹුලාගල කන්ද අවට ප්‍රදේශයට ඉහළ අහසේ සිට සුදු පැහැති කෙදි වර්ගයක් වැටී ඇති බව අප වාර්තාකරු පවසනවා.

මනම්පිටිය, දලුකාන හා ඒ අවට ගම්වලට වැටෙන එම කෙදි කොටස් ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඒවා ප්‍රදේශයේ විදුලි රැහැන්වලද පතිත වී තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *