රජය රැකියා හිමිවන උපාධිධාරීන් 50,000 නාම ලේඛනය ප්‍රසිද්ධ කෙරේ

රජය රැකියා හිමිවන උපාධිධාරීන් 50,000 නාම ලේඛනය ප්‍රසිද්ධ කෙරේ

අයවැයට පෙර අතුරු සම්මත ගිණුමක් – යෝජනාව බදාදා කැබිනට්ටුවට

කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට STF

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෙකු හෙරොයින් සමඟ අල්ලයි – ‘බඩෝවිට ලොකූ’ගේ නිවස ගැනත් විමර්ශණයක්

කිරිඳිවැල OICගේ වැඩ තහනම්

නිසි මිලක් ඉල්ලන අර්තාපල් ගොවියෝ

හිටපු ජනපති මෛත්‍රී අගෝස්තු 26 පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

‘සොල්ටා’ නැමැත්තාගේ අවමඟුලේදී වැඩිහිටි කාන්තාවක් කළ ප්‍රකාශය

ඊ.ටී.අයි. සමාගමට විදේශීය සමාගමකින්, ඩොලර් මිලියන 70 ක් ලැබී ඇති බවට තොරතුරු

හෙරොයින් ජාවාරමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, තවත් අයෙකු අත්අඩංගුවට

අගමැති ප්‍රමුඛ නව රජයේ අමාත්‍යවරුන් රැසක් සිය ධුරවල වැඩ අරඹයි

*********************************************

රජය රැකියා හිමිවන උපාධිධාරීන් 50,000 නාම ලේඛනය ප්‍රසිද්ධ කෙරේ

(17.08.2020 – 08:57 +0530 – hirunews.lk/sinhala)

නව රජය මගින් සිදුකළ උපාධිධාරින් 50,000 කට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ තෝරාගත් උපාධිධාරීන්ගේ නාමලේඛනය නිකුත්වී තිබෙනවා.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ තෝරාපත්වූ සියලුදෙනා ලබන මස (සැප්තැම්බර්) දෙවනදා (02) ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සේවයට වාර්තා කළ යුතු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා ප්‍රකාශ කළේ.

[ එම නාම ලේඛනය ]

************************************************

අයවැයට පෙර අතුරු සම්මත ගිණුමක් – යෝජනාව බදාදා කැබිනට්ටුවට

(17.08.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

වසරේ ඉදිරි කාර්තුව සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වනවා.

ඒ, ඉදිරි මාස කිහිපයේ රජයේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහායි.

ඉන් අනතුරුව දෙසැම්බර් මාසයේදී 2021 වසර සඳහා වන නව අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.

මෙම අතුරු සම්මත ගිණුම පළමුව අනුමැතිය සඳහා අනිද්දා පැවැත්වෙන නව රජයේ මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් පසුවයි එය පාර්ලිමේන්තුවට යොමු කෙරෙන්නේ.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ රුපියල් බිලියන දහසකට ආසන්න වටිනාකමකින් යුත් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇති බවයි.

2019 සහ 2020 වසරවල හිඟ බිල්පත් පියවීමද මෙම අතුරු සම්මත ගිණුමේ ප්‍රධාන අරමුණක්.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නව පාර්ලිමේන්තුවක් පත්වී මාස තුනක කාලසීමාවක් ගතවනතුරු අවශ්‍ය නම් රජයේ අත්‍යාවශ්‍ය වියදම් පියවාගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන සළසා ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත ලබාදී තිබෙනවා.

මේ අතර අනිද්දා පැවැත්වෙන මංගල කැබිනට් මණ්ඩල හමුවේදී අතුරු සම්මත ගිණුම මෙන්ම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

*************************************************

කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාවට STF

(17.08.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීමට තීරණය වී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ වැලිකඩ, කොළඹ රිමාන්ඩ් සහ මැගසින් යන බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවන බවයි.

මෙහිදී බන්ධනාගාර රැඳවියන් හමුවීමට පැමිණෙන ඔවුන්ගේ ඥාතීන් මෙන්ම භාණ්ඩ පරීක්ෂා කිරීමටද විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මැදිහත්වන බව කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා ෴

*********************************************

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෙකු හෙරොයින් සමඟ අල්ලයි – ‘බඩෝවිට ලොකූ’ගේ නිවස ගැනත් විමර්ශණයක්

(17.08.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙල කරන්නෙකු අතුරුගිරිය – මොරටුවාහේන පන්සල අසළදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ හෙරොයින් ජාවාරමට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ සැකසහිත යතුරුපැදියක් පරීක්ෂාවට ලක් කිරීමේදී පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් සහිත ඉටි බෑගයක් හමුවී ඇති අතර, ඒ තුළ හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 730 ක් තිබී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහුට රස පරීක්ෂක කාර්යාලයේ සේවය කරන තවත් පුද්ගලයෙකු විසින් මෙම හෙරොයින් ලබාදී ඇති බවටයි.

මෙම සිද්ධියට තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මකයි.

එමෙන්ම මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරික්ෂාවට ලක් කිරීම සඳහා ලබාදී තිබූ මත්ද්‍රව්‍ය බවට පොලීසිය සැක පළ කරනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් සිය භාරයට ගනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණීමේ චෝදනාව මත එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 13 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

එමෙන්ම මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ දැනට අත්අඩංගුවේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්, මත්කුඩු අලෙවි කළ බවට පැවසෙන ‘බඩෝවිට රජිත අසන්ත’ හෙවත් ‘ලොකූ’ නමැත්තා බඩෝවිට, දෙවන අදියර ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ඉදිකළ තෙමහල් නිවසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහයක් ලැබුණේද යන්න එහිදී සොයාබලන බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

තවත් නිවාස රැසකට ගමන් ගන්නා මාර්ගයක් අවහිර වන පරිදි මෙම නිවස ඉදිකර තිබෙනවා.

‘බඩෝවිට රජිත අසන්ත’ හෙවත් ‘ලොකූ’ නමැත්තා මේ වනවිට ඉන්දියාවට පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.

එමෙන්ම අද (17) උදෑසන පහෙන් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර තුළ සිදුකරන ලද විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 748 දෙනෙකු ඇතුලු 1,662 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*********************************************

කිරිඳිවැල OICගේ වැඩ තහනම්

(17.08.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කිරිඳිවැල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නියෝගයක් අනුව මෙම වැඩතහනම පනවා ඇති බවයි පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේ.

පසුගියදා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අසිත හේමතිලක’ හෙවත් ‘සොල්ටා’ නැමැත්තාගේ අපරාධ රැසක් වසන් කිරීම ඇතුළු චෝදනා රැසක් මොහුට එල්ල වනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස ‘සොල්ටා’ කටයුතු කළා.

එමෙන්ම අදාළ ස්ථානාධිපතිවරයා තම නිල නිවසේදී මොහු සමඟ මත්පැන් සාදයක් පවත්වා ඇති බවටද තොරතුරු ලැබී ඇති බවයි වාර්තාවන්නේ.

‘සෝල්ටා’ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන සඟවා තිබූ ආයුධ සොයාගැනීම සඳහා මාළඹේ – චන්ද්‍රිකා කුමාරණතුංග මාවතට රැගෙන ආ අවස්ථාවේ පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 11 වනදායි.

********************************************

නිසි මිලක් ඉල්ලන අර්තාපල් ගොවියෝ

(17.08.2020 – 14:35 +0530 – hirunews.lk/sinhala)

සාරවත් අස්වැන්නක් සඳහා සිය ශ්‍රමය ශක්තිය වැය කරන ගොවීන්ගේ එකම අරමුණල අස්වනු නිසි මිලක් යටතේ විකුණා ගැනීමයි.

නිසි මිලක් නොමැති වුවහොත් අදාළ නිෂ්පාදනය මෙන්ම ගොවියාගේ ජීවිතයද පත්වන්නේ දැඩි අනාරක්ෂිත තත්ත්වයකටයි.

සිය අස්වනු සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් එලෙස අසරණ වූ අර්තාපල් ගොවීන් පිළිබඳ මේ පුවත වාර්තා වන්නේ වැලිමඩ ප්‍රදේශයෙන්.

***************************************

පසුගිය යහපාලන රජය සමයේදී මහජන මුදලෙන් ඉදිකළ, කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විනාශවෙමින් පවතින බස් නැවතුම්පොලක් පිළිබඳව පොළොන්නරුව – තල්පොත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

************************************************

හිටපු ජනපති මෛත්‍රී අගෝස්තු 26 පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

(17.08.2020 – 15:58 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ ලබන 26 වන දා එම ඒකකයේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙසයි.

මෙලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කොමිසම වෙත කැදවීමට පියවර ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට පැවති ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

අදාළ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍ය ධුරය දරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්.

මේ අතර, පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධනට ද හෙට (18) දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දන්වා තිබුණා.

එමෙන්ම, එළඹෙන 21 වන දා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායකට ද ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට මේ වන විටත් දැනුම් දී තිබෙනවා.

**********************************************

‘සොල්ටා’ නැමැත්තාගේ අවමඟුලේදී වැඩිහිටි කාන්තාවක් කළ ප්‍රකාශය

(17.08.2020 – 16:32 +0530 – hirunews.lk/sinhala)

‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස පැවසෙන ‘සොල්ටා’ නැමැත්තා පසුගියදා මාලබේ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වුනා.

ඒ ආයුධ සඟවා ඇති ස්ථානයකදී පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම හේතුවෙන් පොලිසිය මෙලෙස සැකකරුට වෙඩි තබා ඇති බවයි පසුව අනාවරණ වූයේ.

ඔහුගේ අවමගුල පසුගියදා සිදුකෙරුණු අතර එහිදී වැඩිහිටි කාන්තාවක් සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවනවා.

එම වීඩියෝව පහතින් :

********************************************

ඊ.ටී.අයි. සමාගමට විදේශීය සමාගමකින්, ඩොලර් මිලියන 70 ක් ලැබී ඇති බවට තොරතුරු

(17.08.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමට විදේශීය සමාගම් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 70 ක පමණ මුදලක් ලැබී ඇති බවට අද අනාවරණ වුණා.

ඒ, ඊ.ටී.අයි. සමාගමේ සිදුවූ බව කියන අයථා ක්‍රියා සහ අක්‍රමිකතා සොයා බලන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදීයි.

ජනාධිපති කොමිසම හමුවේ අද (17) සාක්ෂි ලබාදීමට පැමිණියේ බැංකු සහකාර කළමනාකාරවරියක්.

ඇයගේ සාක්ෂි ලබාදීමේදී හෙළි වූයේ ‘බ්ලූ සමිට් කැපිටල් පෞද්ගලික සමාගම’ හා ‘බෙන් හෝල්ඩින්ග්ස් සමාගම’ ඇතුළු තවත් විදේශ සමාගම් කිහිපයකින් ඊ.ටී.අයි. ආයතනයේ ගිණුමට ඇමරිකානු ඩොලර් මිලියන 70 ක පමණ මුදලක් ලැබී ඇති බවයි.

අවසන් වරට එම ගිණුමට මුදල් ලැබී ඇත්තේ පසුගිය වසරේ මාර්තු මාසයේදියි.

ඊට අමතරව ‘ඇලෙක්ස් ඉන්ද්‍රජිත් ලවෙල්’ යන අයගේ ගිණුමකින් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් ඊ.ටී.අයි. ආයතනයට ලැබී ඇති බව ද එම සාක්ෂිකාරිය අද (17) හෙළි කළා ෴

*********************************************

හෙරොයින් ජාවාරමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, තවත් අයෙකු අත්අඩංගුවට

(17.08.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ජාවාරමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ, තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 15 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර මීට පෙර අතුරුගිරිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයා සන්තකයේ තිබූ මත්කුඩු තොගය නඩු භාණ්ඩ ලෙස එම දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබූ ඒවා බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

අතුරුගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ අදාළ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඒ බව අනාවරණ වූ බවයි.

අතුරුගිරිය, මොරටුවාහේන පාර පන්සල අසළ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී 28 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ ඊයේ (16) රාත්‍රී කාලයේදියි.

පසුව මොහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර පිළියෙල කරන්නෙකු බවට හෙළි වුණා.

ඔහු සන්තකයේ තිබී සොයා ගැනුණු හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 730 ක්.

සැකකරු අද (17) පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොහුගෙන් දින 7 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි මහේස්ත්‍රාත්වරයා පොලීසියට අවසර ලබාදුන්නේ.

අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළ අතර, එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙපාර්තමේන්තුවේ ආහාර අංශයේ සහ ආයතන අංශයේ සේවය කරන්නන් වන බවයි.

කෙසේ වෙතත්, නඩු භාණ්ඩ ලෙස පරීක්ෂා කිරීම් සඳහා ලැබෙන මත්කුඩු ගබඩා කර ඇති අංශය දැඩි ආරක්ෂක විධි විධාන යටතේ පවත්වාගෙන යන බැවින් පහසුවෙන් පුද්ගලයෙකුට ඊට ප්‍රවේශ විය නොහැකි බවයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා කියා සිටියේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එම සිද්ධිය වාර්තා වීමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තිබූ මත්කුඩු තොගයක් පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවේ වැඩිදුර පරීක්ෂා කිරීම් සඳහායි.

*********************************************

අගමැති ප්‍රමුඛ නව රජයේ අමාත්‍යවරුන් රැසක් සිය ධුරවල වැඩ අරඹයි

(17.08.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ අමාත්‍යවරුන් රැසක් අදත් (17) සිය ධුරවල වැඩ භාරගනු ලැබුවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේදී අද (17) උදෑසන වැඩ භාර ගත්තා.

ඒ, මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික නායකයින්ගේ ආශිර්වාද මධ්‍යයේ. මෙම අවස්ථාවට නව රජයේ අමාත්‍යවරුන් රැසක්ද එක්ව සිටියා.

එහිදී රුපියල් 5000 ක වටිනාකමකින් යුතු නව මුදල් නෝට්ටුවක් නිකුත් කිරීම ද සිදු කෙරුණු අතර මහබැංකු අධිපතිවරයා විසින් එය නව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූවා.

අනතුරුව ගංගාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ද සිය ධුරයේ වැඩ ආරම්භ කළා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කලේ ඉන් අනතුරුවයි.

වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා කොළඹ – ඩාලි පාරේ පිහිටි වාරිමාර්ග අමාත්‍යාංශයේදී වැඩ භාරගත් අතර තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එම අවස්ථාවට එක්ව සිටියා.

එමෙන්ම, අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද චමල් රාජපක්ෂ මහතා අද (17) එම ධුරයේ වැඩ ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

මේ අතර, අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (17) වැඩ භාර ගනු ලැබුවේ කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදීයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයා ද සර්වාගමික ආශිර්වාදය මධ්‍යයේ බලශක්ති අමාත්‍යාංශයේදී අද වැඩ භාර ගත්තා.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තා.

අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් අලි ෂබ්රි ද අද (17) සිය ධුරයේ වැඩ ආරම්භ කළා.

මේ අතර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා.

එමෙන්ම, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත්, දිලූුම් අමුණුගම, කනක හේරත්, ප්‍රසන්න රණවීර, පියංකර ජයරත්න සහ සිසිර ජයකොඩි මෙන්ම ෂෙහාන් සේමසිංහ යන මහත්වරු අද (17) සිය ධුරවල වැඩ ආරම්භ කරනු ලැබුවා.

මේ අතර, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ඉඩම් අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තා.

එමෙන්ම, දයාසිරි ජයසේකර මහතා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ පිහිටි සිය අමාත්‍යාංශයේදී බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කළා. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *