ලබන 20 වනදා මැතිසබයේ පළමු සැසිය ඇරඹීමේදී හමුදා උත්තමාචාර, අශ්වාරෝහක පෙළපාලි නැහැ

ලබන 20 වනදා මැතිසබයේ පළමු සැසිය ඇරඹීමේදී හමුදා උත්තමාචාර, අශ්වාරෝහක පෙළපාලි නැහැ

ප්‍රමිතියෙන් තොර, සුදුවෙන්න ක්‍රීම් අලෙවිකළ කාන්තාවක් හලාවතින් අල්ලයි

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඉතාලි යන්න ගිය, තරුණියක් කටුනායකදී අත්අඩංගුවට

ජාතිවාදී දේශපාලනයෙන් ඔබ්බට ගොස් ජාතික දේශපාලනය සමඟ අත්වැල් බැඳගතයුතු බව අධිකරණ ඇමති කියයි

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ 100 කට PCR පරීක්ෂා

සිව් (4) මසකට පසු සරසවි අද (17) ඇරඹේ – සෞඛ්‍ය නිර්දේශ නොමැති බවට අන්තරෙන් චෝදනා

කොරෝනා නිර්දේශ අනුගමනය කරමින් නිෂ්පාදිත ලොව පළමු තේ ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකාවට

ගතවූ පැය 24 තුල සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් 1662 ක් අත්අඩංගුවට

බදුල්ලේ අහස් කූරු සොරකම

අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගනී

යෝධ නිදිකුම්බා මාතලේ ගිලගැනීමට පෙර විසදුම් ඕනෑ – ගොවි සංවිධාන නව රජයෙන් ඉල්ලයි

තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 07 ක් මියයාම ගැන පරීක්ෂණ සඳහා කාලය අවශ්‍ය බව වනජීවී ඇමති කියයි

*************************************************

ලබන 20 වනදා මැතිසබයේ පළමු සැසිය ඇරඹීමේදී හමුදා උත්තමාචාර, අශ්වාරෝහක පෙළපාලි නැහැ

(17.08.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීමේදී මින් පෙර පැවති ආකාරයේ සැමරුම් කිසිවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ලබන 20 වනදා පැවැත්වෙන 09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භයේදී පෙර පැවති ආකාරයට හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි නොපැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගිවන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ජයමංගල ගාථා ගායනා කිරීම පමණක් සිදුකිරීමට නියමිතයි.

09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන 20 වනදා උදෑසන 09:30 ට පැවැත්වෙන අතර, එහිදී පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීම සිදු කෙරෙනවා.

ඉන් පසුව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සහ ප්‍රතිඥා දීම සිදු කෙරෙනු ඇති.

අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කරගැනෙන අතර, පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති.

කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙල අසළදී ජනාධිපතිවරයා පිළිගැනෙන අතර, වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරීන් පෙරටුකරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය වෙත කැඳවාගෙන යාමට නියමිතයි.

ජනාධිපතිවරයා මුලසුනේ සිට පස්වරු තුනට (03:00) නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති.

*********************************************

ප්‍රමිතියෙන් තොර, සුදුවෙන්න ක්‍රීම් අලෙවිකළ කාන්තාවක් හලාවතින් අල්ලයි

(17.08.2020 – 06:49 +0530 – hirunews.lk/sinhala)

නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු හෝ බෙදාහරින්නෙකුගේ නාමයක් සඳහන් නොකරමින් ප්‍රමිතියකින් තොර රූපලාවන්‍ය ක්‍රීම් වර්ග අලෙවි කළ ව්‍යාපාරික ස්ථාන 03 ක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද පැමිණිල්ලකට අනුව කාලයක සිට සිදුකරණ ලද විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

හලාවත සහ මුන්දලම, විජයකටුපත ප්‍රදේශ වලදී මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

සම සුදුපැහැ ගැන්වීමට ආලේපනය කරන ක්‍රීම් වර්ග බෙදාහරින බවට මුන්දලම – විජයකටුපත ප්‍රදේශයේ පදිංචි අදාල කාන්තාව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව සඳහන්.

ඒ ඔස්සේ සම්බධවන පාරිභෝගිකයින් වෙත තැපැල් මගින් අදාල ක්‍රීම් වර්ගය අලෙවි කිරීමට එම කාන්තාව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

වැටලීම් කරන ලද ස්ථාන වල තිබී සම සුදුපැහැ ගැන්වීම සදහා ආලේප කරන බව කියන ක්‍රීම් වර්ග විශාල තොගයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අදාල කාන්තාවට එරෙහිව හලාවත දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ ෴

**********************************************

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

(17.08.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෙකු හෙරොයින් සමඟ අතුරුගිරිය – මොරටුවාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් මත සැකසහිත යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 730 ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

28 හැවිරිදි මොහු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

*********************************************

ව්‍යාජ ලිපි ලේඛන සකස් කර ඉතාලි යන්න ගිය, තරුණියක් කටුනායකදී අත්අඩංගුවට

(17.08.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලේඛන සකසා වීසා කාඩ්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් විදෙස් ගතවීමට තැත් කළ තරුණියක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉතාලිය වෙත යාමට උත්සාහ කළ 19 හැවිරිදි හලාවත – කටුනේරිය ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඊයේ (16) අලුයම ඇය ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ කවුළුව වෙත පැමිණි අවස්ථාවේදී ඉතාලියට ඇතුළුවීම සඳහා නිකුත් කර තිබූ වීසා කාඩ්පත පිළිබදව සැක සිතී අදාළ ගුවන් සමාගමේ නිලධාරීන් ඒ පිළිබදව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඉතාලියේ නේවාසික වීසා හිමි කාන්තාවකගේ තොරතුරු යොදාගෙන මෙම තරුණියගේ ඡායාරූපය පමණක් ඇතුළත් කොට වීසා කාඩ්පත සකස් කර ඇති බවටයි.

එම තොරතුරුම ඇතුළත් කොට ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍රයක් ද අදාළ තරුණිය විසින් සකස් කර තිබෙනවා.

වීසා සහ ගුවන් ගමන් බලපත්‍රවලට ව්‍යාජ මුද්‍රාවක් ද භාවිත කර ඇති බවටයි සිදුකරන ලද විමර්ශනවලදී තවදුරටත් අනාවරණ වී ඇත්තේ ෴

************************************************

ජාතිවාදී දේශපාලනයෙන් ඔබ්බට ගොස් ජාතික දේශපාලනය සමඟ අත්වැල් බැඳගතයුතු බව අධිකරණ ඇමති කියයි

(17.08.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

සියලුම ජනකොටස් අතර ජාති, ආගම් භේදවලින් තොර එකට ජීවත්විය හැකි පරිසරය නිර්මාණය කිරීම සඳහා ජාතිවාදී දේශපාලනයෙන් ඔබ්බට ගොස් ජාතික දේශපාලනය සමඟ අත්වැල් බැඳගත යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (16) සංවිධාන කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එම අවස්ථාවට එක්වෙමින් වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් කියා සිටියේ ජාතිවාදී, ආගම්වාදී දේශපාලනය අවසන් කිරීමට කාලය එළඹ ඇති බවයි.

************************************************

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ 100 කට PCR පරීක්ෂා

(17.08.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින්, භාණ්ඩ හුවමාරු කරන්නන් ඇතුළු 100 කට අධික පිරිසක් පී.සී.ආර්. පරීක්ෂාව සඳහා යොමු කර තිබෙනවා.

ඒ, රාජාංගණය ප්‍රදේශයේ දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමඟයි.

මේ අතර, ඊයේ (16) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු (3) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද 2893 දක්වා ඉහළ ගියා.

ඊයේ (16) සොයාගත් ආසාදිතයන් තුන්දෙනා (3) ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වන අතර, ඒ අනුව, ආසාදිතයින් 212 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, තවත් ආසාදිතයන් 04 දෙනෙකු සුවය ලබා ඊයේ (16) රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සංඛ්‍යාව 2670ක් දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

********************************************

සිව් (4) මසකට පසු සරසවි අද (17) ඇරඹේ – සෞඛ්‍ය නිර්දේශ නොමැති බවට අන්තරෙන් චෝදනා

(17.08.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු මාස 04 කට පමණ පසු අද (17) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහෙත් විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද (17) ආරම්භ නොකෙරෙන බවයි එම සරසවි නිවේදනය කළේ.

ඒ, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සිසුන්ට ප්‍රමාණවත් පරිදි පහසුකම් නොමැතිවීම හේතුවෙන්.

ඒ අනුව කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා (19) සිට ආරම්භ වන බවයි එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ.

එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ මීට පෙර දැනුම් දුන් පරිදි විභාග පැවැත්වෙන බැවින් කළමනාකරණ පීඨයේ දෙවන සහ සිව් වන වසර සිසුන් සහ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර සිසුන් අද දිනයේ විශ්වවිද්‍යාලය වෙත කැදවා ඇති බවයි.

විභාග කටයුතු අවසන් වීමෙන් පසුව අධ්‍යයන කටයුතු සඳහා සියළුම වසරවල සිසුන් විශ්වවිද්‍යාලය වෙත කැඳවීමට පියවර ගන්නා බවයි උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල පසුගිය අප්‍රේල් මස 21 වනදා සිට වසා දැමුණු අතර, ජූනි මාසයේ සිට ක්‍රමානුකූලව අවසන් වසර විභාග සඳහා අදාළ සිසුන් වෙනුවෙන් පමණක් විශ්වවිද්‍යාල විවෘත කෙරුණා.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් චෝදනා කළේ විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා නිසි සෞඛ්‍ය නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි ෴

**********************************************

කොරෝනා නිර්දේශ අනුගමනය කරමින් නිෂ්පාදිත ලොව පළමු තේ ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකාවට

(17.08.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා නිර්දේශිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් තේ නිෂ්පාදනය කළ ලොව පළමු තේ කර්මාන්තශාලාවට හිමි ප්‍රමිති කාර්යාංශ සහතිකය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලාවකට පිරිනමා තිබෙනවා.

හැටන් – කොටගල මවුන්ටන් වර්නන් තේ කර්මාන්තශාලාව විසිනුයි අදාළ සහතිකය හිමි කරගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් නිර්දේශිත අදාළ සෞඛ්‍ය උපදෙස් තේ දළු නෙලීමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම ක්‍රියාත්මක කරන්නේ දැයි මාස දෙකකට අධික කාලයක් අධීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම ප්‍රමිති සහතිකය පිරිනමා තිබෙනවා ෴

***********************************************

ගතවූ පැය 24 තුල සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් 1662 ක් අත්අඩංගුවට

(17.08.2020 – 08:28 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුල බස්නාහිර පළාත තුල සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් 1662 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර දීර්ඝ කාලයක සිට අධිකරණය මඟ හැර සිටි වරෙන්තුකරුවන් 696 ක් ද සිටින බවයි පොලිසිය පැවසුවේ.

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 91 දෙනෙකු ද එම පිරිස අතර වන බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර අද (17) උදෑසන 5 ට අවසන් වූ ගතවූ පැය විසිහතරකට ආසන්න කාලය තුළ බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 748 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 350 දෙනෙකුම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් අය බව සඳහන් ෴

************************************************

බදුල්ලේ අහස් කූරු සොරකම

(17.08.2020 – 10:11 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල නගරයේ, පහළ වීදියේ පිහිටි වෙළඳසැලක සිදුවූ සොරකමක් එම වෙළදසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

වෙළඳසැලේ අලෙවි කිරීමට තිබූ අහස් කූරු තොගයක් ඊයේ (16) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු මෙලෙස සොරාගෙන ගොස් තිබෙනවා.

**********************************************

අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ භාරගනී

(17.08.2020 – 10:59 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ එම අමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.

පෙරවරු 10:16 ට යෙදුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේදී එම ධුරයේ වැඩ ආරම්භ කළේ සර්වාගමික වතාවත් වලින් අනතුරුවයි.

මෙහිදී මහබැංකු අධිපතිවරයා විසින් රුපියල් පන්දහසේ නව මුදල් නෝට්ටුවක් සංකේතාත්මකව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

අනතුරුව කොළඹ – හුණුපිටිය – ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසද නිල වශයෙන් එම ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළා.

එසේම අග්‍රාමාත්‍යවරයා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ධුරයේ අද (17) පස්වරුවේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ , වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු ද තම ධුරවල රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

අමාත්‍ය විමල් වීරවංශ මහතා, වැඩ භාරගැනීමේ අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද එක්ව සිටි අතර, එහිදී උන්වහන්සේ අනුශාසනාවක්ද සිදුකළා.

මේ අතර වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගාව, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරු ද අද (17) රාජකාරි කටයුතු ආරම්භ කළා.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා (17) අද පෙරවරුවේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ අතර, එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියංකර ජයරත්න, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරු ද අද (17) දිනයේ වැඩ භාරගනු ලැබුවා.

බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද අද (17) පෙරවරුවේ එම අමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදියි.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ ජගත් පී. විජේවීර මහතා, පොල්හේන්ගොඩ පිහිටි එම අමාත්‍යාංශයේදී අද (17) පෙරවරුවේ රාජකාරි කටයුතු ආරම්භ කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

*********************************************

යෝධ නිදිකුම්බා මාතලේ ගිලගැනීමට පෙර විසදුම් ඕනෑ – ගොවි සංවිධාන නව රජයෙන් ඉල්ලයි

(17.08.2020 – 11:27 +0530 – hirunews.lk/sinhala)

මාතලේ දිස්ත්‍රික්කයේ වැවි හා ජලාශ ආශ්‍රීත ප්‍රදේශවල කලක් තිස්සේ පැතිර යමින් පවතින ‘මී මොසා පිග්‍රා’ යන උද්භිත විද්‍යාත්මක නමින් හැදින්වෙන යෝධ නිදිකුම්බා ශාකය බලවත් තර්ජනයක්ව ඇති බව ගොවීන් පවසනවා.

මෙම ශාකය ජලාශ අභ්‍යන්තරයට පැතිරිම සහ ඇලවේලිවල පැතිරිම හේතුවෙන් ජලාප්‍රවාහන කටයුතු වලටද බාධා එල්ලවී ඇති බවයි ගොවින් පෙන්වා දෙන්නේ.

ගොවි සංවිධාන කියා සිටියේ මෙම ශාකය විනාශ කිරිමේ නොහැකියාව වැනි කාරණා රැසක් හේතුවෙන් මේ වනවිටත් ගොවීන් විවිධ ගැටළුවලට මුහුන දෙමින් සිටින බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ගොවීන් පවසන්නේ යෝධ නිදිකුම්බා ශාකය කපා ඉවත් කළ ද එහි බිජ විවිධ පාරිසරික බලපෑම් මධ්‍යයේ වූවද පහසුවෙන් පැලවීම හා වේගයෙන් ව්‍යාප්ත වීම, මෙම ගැටළු නිර්මාණය වීමට හේතුවක් වී ඇති බවයි.

මිට පෙරද මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දක්නට ලැබුනු මෙම ශාකය මේ වන විට දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල හා ඇල දොල වැවි අමුණු ආශ්‍රීතව ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන්.

මේ වන තෙක් බලධාරීන් මේ සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි ගොවි සංවිධාන රැසක් මැසිවිලි නගමින් කියා සිටින්නේ .

කෙසේ වෙතත් මේ සඳහා ස්ථිර විසදුමක් ලබාදීමට කටයුතු කරන ලෙස ගොවින් නව රජයෙන් ඉල්ලීමක් කරනවා.

************************************************

තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 07 ක් මියයාම ගැන පරීක්ෂණ සඳහා කාලය අවශ්‍ය බව වනජීවී ඇමති කියයි

(17.08.2020 – 11:31 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනාධිපතිවරණ සමයේ හබරණ, තුම්බිකුලම රක්ෂිතයේ අභිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නියන් හත්දෙනාගේ (7) මරණයට හේතු ඉදිරිපත් කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බව නව වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.

රජරට ප්‍රදේශයේ වන අලින් මියයෑම සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා ඊයේ (16) පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පල කළා.

තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් හත් දෙනෙකු (7) අභිරහස් ලෙස මිය යාම සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබඳව මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේ දී අමාත්‍යවරයා පවසා සිටියේ විවාහ වූ සැණින් දරුවන් ඉපදීම වැනි ප්‍රශ්න මාධ්‍යවේදීන් නගන බවත්, එම සතුන්ගේ මරණයන්ට හේතු සොයා ගැනීම සඳහා ගතවන කාලය නිශ්චිතව කිව නොහැකි බවයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන බොහෝ දෙනා දැඩි කනස්සල්ලකින් යුතුව සේවය කරන බවත්‍ ඉදිරියේදී කලකිරීමකින් තොරව සේවාව තෘප්තිමත් වන ආකාරයෙන් නිලධාරීන් සමඟ වනජීවී වන සංරක්ෂණ වීෂයන් දෙක එක හා සමානව පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

දිවයිනේ වන ජීවි පශු වෛද්‍යවරුන් සඳහා විශේෂ උසස්වීම් ක්‍රමවේදයක් සකසන බවත් ඉදිරියේ දී වනජීවී විශේෂඥ වෛද්‍යවරුන් හඳුන්වාදීමේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *