හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

(31.07.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබෙනවා.

එහිදී ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

සාක්ෂි සැඟවීමේ චෝදනා මත නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද උදෑසනයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

අත්අඩංගුවට ගත් සී.අයි.ඩී. හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තවමත් CCD යේ

(31.07.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කරමින් පවතිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ අද (31) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඔහු අද (31) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ නාරාහේන්පිට – ඇල්විටිගල නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි.

ඒ, මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් වන නඩුවේ ගිනි අවි අත්අඩංගුවට ගැනීමට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනාවකට අදාලවයි.

ප්‍රසිද්ධ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන සහ තවත් සිව් දෙනෙකුට (4) කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේ 2015 වසරේ නොවැම්බර් 27 වන දායි.

එම අවස්ථාවේ වාස් ගුණවර්ධන, අධිකරණය හමුවේ කියා සිටියේ එවක සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ ශානි අබේසේකර තමා සමඟ ඇති පෞද්ගලික අමනාපයක් හේතුවෙන් තම පුත්‍රයා ද මෙම නඩුවට සම්බන්ධ කරගෙන ඇති බවයි.

***************************************

පොහොය දවසේ ගෙන් ගෙට යාමට, දේශපාලන පක්ෂ කළ ඉල්ලීමක් මැතිවරණ කොමිසම ඉවත දමයි

(31.07.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද දායකයින්ගේ ලිපින සොයා ගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 4,50,000 කට ආසන්න සංඛ්‍යාවක් යළි තැපැල් කාර්යාල වෙත ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒවා නොලැබුණු ඡුන්ද දායකයෙක් වේ නම්, අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවයි.

තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 99% ක් පමණ මේ වනවිට බෙදාහැර අවසන් බවද ඔහු කියා සිටියා.

මේ අතර, පුර පසලොස්වක පොහොය යෙදෙන අගෝස්තු 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කළ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පසුගියදා පැවති රැස්වීමකදී අදාළ ලේකම්වරුන් ඉල්ලා සිටියේ කොරෝනා තත්ත්වය සලකා සිය ප්‍රචාරක කටයුතු නිසිලෙස සිදුකරගෙන යෑමට නොහැකි වූ බැවින් 03 වැනිදා ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු සිදුකිරීමට අවසර ලබාදෙන ලෙසයි.

එහෙත්, පවතින නීතිමය බාධා සහ ආගමික කටයුතුවලට බාධාවීම් සිදුවිය හැකි බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

ඒ අනුව ලබන 02 වැනිදා මධ්‍යම රාත්‍රි දොලහට (12) පෙර සියලු ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළේ ෴

***************************************

එප්පාවල පොස්ෆේට් නිධිය ගැන සමීක්ෂණයක්

(31.07.2020 – 08:33 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල පොස්ෆේට් නිධියේ ඇති සම්පූර්ණ ඛනිජ ප්‍රමාණය ගණනය කිරීමේ කටයුතු ලබන අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කටයුතු යොදා තිබෙනවා.

අනාගතයේදී රටට අවශ්‍ය පොහොර රට තුළම නිෂ්පාදනය කළ හැකි තත්ත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය මූලික දත්ත ලබාදීම මෙහි අරමුණ වී ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සජ්ජනද සිල්වා මහතා සඳහන් කළේ.

එප්පාවල නිධියේ සමස්ත පොස්ෆේට් ප්‍රමාණය ටොන් මිලියන 55 ක් පමණ වන බවට දැනට හඳුනාගෙන ඇති අතර, එය මෙරට වසර සියයකට (100) වැඩි කාලයකට අවශ්‍ය පොහොර සැපයීමට ප්‍රමාණවත් බව සඳහන්.

කෙසේ වෙතත්, ඒ පිළිබඳව විධිමත් ලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම අපේක්ෂාව බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සජ්ජනද සිල්වා මහතා කියා සිටියේ ෴

***************************************

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ 325 ක් PCR පරීක්ෂණයට

(31.07.2020 – 08:48 +0530 – hirunews.lk/sinhala)

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ 325ක් PCR පරීක්ෂණයට.

ඊයේ (30) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 4 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගියා.

ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවකයෙකු, මෙන්ම, කටාර්, එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සහ තුර්කියේ සිට පැමිණි තුන්දෙනෙකු ඒ අතර සිටියා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 16 දෙනෙකු ඊයේ (30) පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගියා.

ඒ අනුව රෝගීන් 2,333 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

එසේම, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු කාර්ය මණ්ඩලය සහ අදාළ ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයින් 3 දෙනෙකු පූනානි කඳවුර වෙත නිරෝධායනය සඳහා යොමුකළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

පසුගිය 16 වනදා ද, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනුණා.

අදාළ ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වන අතර, ඊයේ (30) හඳුනාගත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයාද එම ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය සභාවේ 325 දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා ෴

***************************************

ලෝකෙටම එකක් වෙන්න සැරසෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ නිවුන් සොහොයුරන් තබන්න යන සුපිරි වාර්තාව මෙන්න

(31.07.2020 – 09:51 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවේ සේවය කරන නිවුන් සහෝදරයින් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා අදාළ ලියකියවිලි භාරදී තිබෙනවා.

ඒ, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ගිනස් පොත් වාර්තා පිළිබඳ මෙරට ජාතික මෙහෙයුම් කවුන්සිලයේ සභාපති සමන් අමරසිංහගේ සහභාගීත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ ඊයේ පැවති උත්සවයකදීයි.

එකම දිනෙක උපත ලබා, එකම දිනයක පාසලට ඇතුළත්ව උසස් පෙළ දක්වා එකම පන්තියක අධ්‍යාපන හැදෑරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා එකම දිනයකදී යුද හමුදාවට එක්ව තිබෙනවා.

එකම දිනෙක අධිකාරියට පත්වී ඇති ඔවුන්, උසස් වීම් ලබා ඇත්තේද එකම දිනකදී වීම විශේෂත්වයක්.

එසේම, යුද හමුදාව සඳහන් කළේ මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන නිවුන් සහෝදරයින් එකම දිනයකදී විශ්‍රාම ගැනීමට නියමිත බවයි ෴

***************************************

මැතිවරණ නීති උල්ලංගණය කිරීම ගැන පැමිණිලි 5814 ක්

(31.07.2020 – 10:53 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 5814 ක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජුනි මස 28 වන දා සිට පසුගිය බදාදා දිනය දක්වා මෙම පැමිණිලි ලැබී ඇති බවයි එම කොමිසම නිවේදනය කළේ.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත අදාළ පැමිණිලි ලැබී තිබුණා.

කෙසේ වෙතත්, අදාළ කාලසීමාව තුළ මේ වන තෙක් සිදුවී ඇති කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී නැහැ ෴

***************************************

මුහුදු වෙරළේ සිටි තරුණ පෙම්යුවලක් බියවද්දා තරුණිය දූෂණය කළ පුවතක් පානදුර ප්‍රදේශයෙන්

(31.07.2020 – 11:21 +0530 – hirunews.lk/sinhala)

තරුණ පෙම්යුවලක් බියවද්දා තරුණිය දූෂණය කළ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වර්තාවනවා.

අදාල සිදුවීම වී ඇත්තේ පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය පිටුපස මුහුදු වෙරලේදීයි.

එහිදී පෙම්වතුන් යුවල බියවැද්දූ නාදුනන පුද්ගලයෙක් විසින් පිහියක් පෙන්වා මෙලෙස පෙම්වතිය දූෂණය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

නිට්ටඹුව ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි

(31.07.2020 – 11:54 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වැටලීමට නිට්ටඹුව පොලිසිය සමත්වී තිබෙනවා. එහිදී වෛද්‍යවරයෙකු ඇතුළුව 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පිරිස වන්නේ එම මධ්‍යස්ථානයේ කළමනාකරු සහ සේවය ලබාගැනීමට පැමිණි කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු බවයි සඳහන් වන්නේ.

පොලිසිය කළ පරීක්ෂාකිරීම්වලදී ගබ්සා සඳහා යොදාගන්නා උපකරණ, ඖෂධ සහ ජාතික හැඳුනුම්පත් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මධ්‍යස්ථානය හරහා සේවය ලබාගන්නා අයෙකුගෙන් රුපියල් 40,000 ක පමණ මුදලක් අයකරගන්නා බවයි පොලිසිය සිදුකළ විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

වැඩිහිටියන්ට වඩා වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ කොරෝනා සක්‍රීය බව ඇමෙරිකාව කියයි

(31.07.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ හතර ලක්ෂ හැත්තෑ හත් දහස් හාරසිය දහනවයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද හය ලක්ෂ හැත්තෑ හය දහස් හත්සිය අනූ හතක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම වැඩිහිටි පුද්ගලයන්ට වඩා වයස අවුරුදු පහට අඩු ළමයින් තුළ කොරෝනා වෛරසය සක්‍රියව පවතින බව ඇමරිකානු වෛද්‍ය සංගමය මගින් නිකුත් කළ නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණ කර තිබෙනවා.

මේ අතර, පොළොන්නරුව – ලංකාපුර ප්‍රදේශයෙන් හඳුනා ගත් කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 200 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (30) රාත්‍රියේ සිදුකර තිබෙනවා.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන්, ප්‍රාදේශීය සභාවේ සේවකයන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ එලෙස සිදුකළ බවයි පොළොන්නරුව දිස්ක්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ.

මේ අතර, රාජාංගණය ප්‍රදේශයට පනවා ඇති සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා කියා සිටියා.

ඔහු ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය කොවිඩ් කමිටුව අද (31) දිනයේ රැස්වී සාකච්ඡා සිදුකරන බවයි.

කෙසේ වෙතත්, සංචරණ සීමාවන්ලිහිල් කළ ද කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීම් හා ගමන්බිමන් යාම සඳහා තවදුරටත් අවසර හිමි නොවන බව රාජාංගණය ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා සඳහන් කළා.

ඊයේ (30) දිනයේ කොරෝනා ආසාදිතයන් සිව් (4) දෙනෙකු හඳුනා ගැනුණු අතර, මේ වන විට මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 2814 ක් ලෙසයි.

ඉන් 2333 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 470 දෙනෙකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

***************************************

තවත් එජාප නියෝජිතයින් 37 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(31.07.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයට සහය දක්වන තවත් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේ පක්ෂයේ ප්‍රගමනය සඳහා දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ෴

***************************************

අංගොඩ ලොක්කාගේ බව කියූ උකුස්සා අධිකරණයට

(31.07.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගත් බව කියන උකුස්සා සහ සැකකරුවන් දෙදෙනා (2) මේ වන විට හෝමාගම අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

මීගොඩ – නාවලමුල්ල – කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපොලක කූඩු කර තිබූ මෙම උකුස්සා සමග අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ සහ අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් එක්වයි.

+++++++++++++++++++++

භාර හාර වී වගා කළ ගංජා හේනක් සොයා ගැනේ

(31.07.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව බන්ධනාගාරයට තාප්පයට ඉහළින් ගංජා සහ දුම්කොළ විසි කරන ලද පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පොළොන්නරුව පොලීසිය වෙත ඊයේ (30) භාරදුන් අවස්ථාවේදියි.

පොළොන්නරුව – ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මෙම පුද්ගලයා බන්ධනාගාරයට විසි කර තිබූ ගංජා ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 590 ක් හා දුම්කොළ ග්‍රෑම් 56 යි මිලිග්‍රෑම් 150 ක් සොයා ගැනුණා.

මොහු හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත නිදහස් වී සිටින අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

දැනට බන්ධනාගාරය තුළ සිටින පුද්ගලයෙකු දුරකථනයෙන් අමතා කළ දැනුම් දීමකට අනුව මොහු මෙම මත්ද්‍රව්‍ය විසි කර ඇති බව හෙළි වී තිබෙනවා.

මේ අතර, මගී බස් රථයක අසුනක් තුළ සඟවා රැගෙන යමින් තිබූ ගංජා තොගයක් සමඟ අදාළ බස් රථයේ කොන්දොස්තරවරයා පොල්ගහවෙල ප්‍රදේශයේදී ඊයේ (30) අත්අඩංගුවට ගැනුණා.

මෙම කොන්දොස්තරවරයා දීර්ඝ කාලයක් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, කොළඹ සිට අඹගස්වැව දක්වා ධාවනය වෙමින් තිබූ අදාළ බස් රථය, පොල්ගහවෙල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ හදිසි පරීක්ෂාවකදීයි මේවා සොයා ගැනුණේ.

එම අවස්ථාවේ මගීන් රැසක් ද බස් රථයේ ගමන් කරමින් සිටියා.

එමෙන්ම, හම්ඹේගමුව – අලුත්වැව ප්‍රදේශයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලූ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් එහි සිටි සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ඩ්‍රෝන යානාවල නිරීක්ෂණයට නොපෙනෙන ලෙස කෙසෙල් වගාවක් අතර මෙම ගංජා වගා කර තිබූ අතර එක් ගසක තිබූ පඬුරක් ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ හේනේ අස්වැන්න ලබා ගැනීමෙන් පසු ඔවුන් අදාළ භාරය ඔප්පු කිරීමට අපේක්ෂාවෙන් සිටි බවයි.

එසේම, කල්පිටිය – පල්ලිවාසතුරෙයි ප්‍රදේශයේ සඟවා තිබූ කිලෝග්‍රෑම් 961 ක් බර, රුපියල් ලක්ෂ 40 ක වටිනාකමින් යුත් බීඩිකොළ තොගයක් පොලිස් භාරයට ගනු ලැබුවා.

ඊයේ (30) රාත්‍රියේ ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මෙම බීඩිකොළ තොගය පොලිස් භාරයට ගෙන ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා ෴

***************************************

ගංජා නීතිගත කිරීමට, නීතිමය රැකවරණය නොදෙන්න අපේක්ෂකයින් 141 ක් එකඟ වෙයි

(31.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ගංජා නීතිගත කිරීම සඳහා නීතිමය රැකවරණය ලබානොදෙන බවට මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 141 දෙනෙකු එකඟතාවය පළ කර ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් විසින් මෙරට තුළ මද්‍යසාර හා දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා වන යෝජනාවලියකට මැතිවරණ අපේක්ෂකයින්ගේ අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇති අතර, එහිදී මෙම අපේක්ෂකයින් ඊට කැමැත්ත පළ කර තිබෙනවා ෴

***************************************

සිසුන්ගේ ඉල්ලීමට අනුව කිරිඳිවැල සිට ආරක්ෂක සේවා විද්‍යාලයට පාසල් බස් රථයක්

(31.07.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති ජන හමු මාලාවට ජනාධිපතිවරයා ඊයේ (30) එක් වුණා.

ගමින් ගමට ගොස් ජනතා ගැටලුවලට සවන්දී ඒවාට නිසි විසඳුම් ලබාදීමේ නව සංකල්පය හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ජනහමු මාලාවේ මිනුවන්ගොඩ ආසනයේ ජන හමුව පැවැත්වුණේ උඩුගම්පොළ සතිපොළ භූමියේයි.

මෙහිදී තම ගැටළු සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව උදාවුණා.

මේ අතර ප්‍රදේශවාසි විකුම් සම්පත් දිඹුල්ගස්හේන මහතා නිර්මාණය කළ කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. පැයකට කසළ ටොන් 15 ක් යකඩ, ප්ලාස්ටික් සහ කාබන් ලෙස වෙන් කොට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීම මෙම යන්ත්‍රයේ විශේෂත්වයක්.

අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ වේයන්ගොඩ පැරණි බස්නැවතුම්පොළ භූමියේ පැවති ජන හමුව වෙතයි.

සමූපකාර පනත සංශෝධනය සහ සමුපකාර කොමිෂන් සභාවට දක්ෂ නිලධාරීන් පිරිසක් පත් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වුණා.

අනතුරුව ජනාධිපතිවරයා පැමිණියේ අත්තනගල්ල, වාරණ රජමහා විහාරය අසළ සංවිධාන කර තිබූ ජන හමුවටයි.

කිරිඳිවැල මහජන රථගාල භූමියේ සංවිධාන කළ ජන හමුවට ජනාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේදී සිසුන් පිරිසක් කළ ඉල්ලීම අනුව කිරිඳිවැල සිට ආරක්ෂක සේවා විද්‍යාලයට පාසල් බස් රථයක් දෙන බව පැවසුවා.

දෙකටන සංවිධාන කර තිබූ ජන හමුවට ද සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වුණා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

ගම්මාන කිහිපයකම දරුවන්ගේ නැණස පෑදූ කිරිගල්පොත්ත විද්‍යාලයට අද අත්ව ඇති ඉරණම

(31.07.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

බඩල්කුඹුර අධ්‍යාපන කොට්ඨාශයට අයත් කිරිගල්පොත්ත විද්‍යාලය වසර ගණනාවකට ඉහත මේ පාසල ගම්මාන කිහිපයකම දරුවන්ගේ නැණස පෑදූ තක්ෂිලාවක් බවට පත්ව තිබුණා.

නමුත් එදා දරුවන්ට අකුරු කරවීම පිණිස ඇරඹි මෙය දැනට වසර 10 ක් පමණ කාලයක් තිස්සේ වසා දමා තිබෙන්නේ ක්‍රම ක්‍රමයෙන් වල් බිහිවෙමිනුයි.‍

එකල පාඩම් ඉගැන්වූ පන්තිකාමර සහ ගුරු නිවාසය අද වේයන්ගේ තෝතැන්නක් බවට පත්ව අවසන්.

විවේක කාලයේ එකම ගාලගෝට්ටික් බවට පත්ව තිබූ සෙල්ලම් පිට්ටිනිය ඝණ කැලෑවකින් වැසී ගොස් අවසන්.

පසුගිය කාලවකවානුව තුළ පාසලේ ගොඩනැගිල්ල සහ අනෙකුත් සම්පත් රැකගැනීමට ප්‍රදේශවාසීන් විසින් විවිධ උත්සහයන් ගත්ත ද, ඒ කිසිවක් මෙතෙක් සාර්ථක වී නැහැ.

මෙම පාසල වැසී යාමත් සමඟ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රදේශයේ දරුවන්ට සිදුව ඇත්තේ කිලෝමීටර් ගණනාවක දුරින් පිහිටි පාසල් කරා යාමටයි.

ප්‍රදේශයේ ගම්මාන 4 ක පමණ සිසුන් 500 කට ආසන්න පිරිසක් වසර ගණනාවක් පුරා අකුරු කළ මේ කිරිගල්පොත්ත විද්‍යාලය වැසී යාමත් සමග මෙහි තිබූ වටිනා උපකරණ පවා දිනෙන් දින අතුරුදන් වන්නට පටන් ගත් බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

***************************************

හම්බන්තොට දක්වා දුම්රිය මාර්ගයේ මූලික අදියර මේ වසරේ අවසන්

(31.07.2020 – 14:40 +0530 – hirunews.lk/sinhala)

මාතර – කතරගම දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන කොටසේ ශක්‍යතා අධ්‍යයනය සහ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මෙම වසර තුළ සිදුකර අවසන් කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

එහි ඉදිකිරීම් කටයුතු 2021 වසරේ ආරම්භ කිරීමට නියමිත අතර 2023 වසරේදී පළමු දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව සඳහන් ෴

***************************************

කොළඹ වරාය සේවක විරෝධතාවක් හේතුවෙන් මෙහෙයුම්වලට බාධා

(31.07.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරමින් ලිඛිත ප්‍රතිඥාවක් ඉල්ලා වරාය වෘත්තීය සමිති 23 ක් අද (31) පස්වරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඊට පෙර ඔවුන් හර්තාල් පාලම අසලින් විරෝධතාවයක් ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් වරාය කටයුතුවලට බාධා එල්ල වී තිබුණා ෴

***************************************

හෙරොයින් කිලෝ 23 ක් සමග පූකුඩිකන්නාගේ මස්සිනා වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

(31.07.2020 – 15:29 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝ 23 ක් වැල්ලම්පිටිය – බ්‍රැන්ඩියවත්ත ප්‍රදේශයේ නිවසකින් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද සමත් වුණා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

මොහමඩ් රාසික් මොහොමඩ් රුස්නි නමැති සැකකරු බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් ‘පූකුඩිකන්නා’ නමැති පාතාල සාමාජිකයාගේ මස්සිනා ද වනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම මෙහෙයුම සිදුකරනු ලැබුවේ යුද හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරු මතයි.

මේ අතර, මීගොඩ – නාවලමුල්ල – කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපොලක කූඩු කර තිබියදී සොයා ගත් උකුස්සා සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අද (31) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

ඒ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අනෙක් සැකකරුවා තවදුරටත් පොලීසිය තුළ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි අතුරුගිරිය පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, අදාළ උකුස්සා දෙහිවල සත්වෝද්‍යානය වෙත ඉදිරිපත් කර එම සත්ත්වයා ආරක්ෂිත සත්ත්වයෙක් ද යන්න පිලිබඳ වැඩිපුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබෙනවා.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ අදාළ උකුසු විශේෂය ළඟ තබා ගැනීම නීතිවිරෝධී නොවන බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම දෙසැම්බර් 2 වන දින දක්වා කල් තැබුණා.

මීගොඩ – නාවලමුල්ල – කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපොලක කූඩු කර තිබූ මෙම උකුස්සා සමග අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (30) අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ සහ අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් එක්වයි.

අදාළ උකුස්සා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගත් බවට මීට පෙර තොරතුරු වාර්තා වුව ද සිදුකළ පරීක්ෂණවලදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් වාර්තා නොවූ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, මෙම උකුස්සා අද (31) පස්වරුවේ දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

නිවුන් අලි පැටවුන් දෙදෙනා (2) දැක ගැනීමට සංචාරකයින් මින්නේරියට

(31.07.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනවල දෙස් විදෙස් මාධ්‍යවල පවා කතා බහක් ඇති කළ ශ්‍රී ලංකාවේ නිවුන් අලි පැටවුන් දෙදෙනා (2) මින්නේරිය වනෝද්‍යානය තුළ මේ වනවිට නිරෝගීව කෙළිදොලින් සිටින බව වාර්තාවෙනවා.

මාසයක් පමණ වයසැති මෙම අලි පැටවුන් දැක ගැනීමට මින්නේරිය ජාතික වනෝද්‍යානයට මේ දිනවල සංචාරකයින් විශාල පිරිසක් පැමිණිම ද විශේෂත්වයක්.

වනජීවීන් පිළිබඳ පර්යේෂක ආචාර්ය සුමිත් පිලපිටියගේ නිරීක්ෂණයකට අනුව සොයාගනු ලැබු මෙම නිවුන් අලි පැටවුන් දෙදෙනාට වැඩිමහල් සහෝදරයෙකුද සිටින බවයි වාර්තාවන්නේ.

මවගෙන් කිරි බීමට අලි පැටවුන් දෙදෙනා අතර ඇති තරඟය නිසා පැටවුන්ට කිරි අඩුවීමට හැකි බවයි අචාර්ය සුමිත් පිලපිටිය මහතා පවසන්නේ.

කෙසේ වුවද මෙම පැටවුන් දෙදෙනාට දැඩි රැකවරණයක් මවගෙන් හිමිවෙනවා.

මව අනුකරණය කරන මේ දඟයන් දෙදෙනා කුඩා තණ පිඩලි උගුල්ලමින් කෑමටද දැන්ම පුරුදු වී ඇති බවයි අචාර්ය සුමිත් පිලිපිටිය මහතා වැඩිදුරටත් පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *