විදුලි පාරිභෝගයන්ට කෝටි 300 ක සහනයක්

(30.07.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

සියලූ විදුලි පාරිභෝගයන්ට මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා රුපියල් කෝටි 300 ක සහනයක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලක්ෂ 67 ක් වන පාරිභෝගියන්ට මෙම සහනය හිමිවන අතර, අදාළ මාස 3 සඳහා ගෙවිය යුත්තේ පෙබරවාරි මාසයේ බිල්පතෙහි සඳහන් ගාස්තුව පමණයි.

එම මාස 3 ට ඊට වඩා අඩු බිලක් ලැබී ඇත්නම් එම මුදල ගෙවීමට ද හැකියාව පවතින බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා ෴

***************************************

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(30.07.2020 – 18:33 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අගෝස්තු 31 වනදා දක්වා මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

අයදුම් කරන පාසල් සිසුන් විදුහල්පති මගින් (online) ක්‍රමයට අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

පෞද්ගලික අයදුම්කරුවන් www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස එහි සඳහන් උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව අයදුම්පත්‍ර මාර්ගගත (online) ක්‍රමයට ඉදිරිපත් කළ යුතුයි.

සෑම පෞද්ගලික අයදුම්කරුවෙක්ම තම අයදුම්පත්‍රයේ මුද්‍රිත පිටපතක් ලබාගත යුතු අතර එහි සඳහන් තොරතුරු නිවැරදි බවට තහවුරු කර ග්‍රාම නිලධාරී මගින් සිය අත්සන සහතික කරවාගෙන ලියාපදිංචි තැපෑලෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි.

එහෙත් අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතව සිටින රජයේ හෝ සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවල හෝ කාර්ය මණ්ඩල සඳහා පමණක් සිය අයදුම්පත්‍රයේ අත්සන තමා සේවය කරනු ලබන ආයතනයේ ප්‍රධානියා මගින් සහතික කර ඉදිරිපත් කිරීමට අවසර ලැබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සියලුම අයදුම්පත්‍ර ලියාපදිංචි තැපෑල මගින් යොමු කළ යුතුයි.

අයදුම්පත්‍ර බහාලන කවරයේ වම් පස ඉහළ කෙළවරේ “අ.පො.ස. (සා.පෙළ) විභාගය – 2020” ලෙස සඳහන් කර අයදුම්කරුගේ නගර අංකය සහ නගරය සඳහන් කර –

විභාග කොමසාරිස් ජනරාල්,
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
තැ.පෙ. 1503,
කොළඹ.

යන ලිපිනයට යොමු කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011 278 4537, 011 278 4208, 011 318 8350, 011 314 0314 හෝ 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදු කළ හැකියි.

***************************************

සැඟවී සිටින සම්පායෝගේ පොලිස් සොහොයුරා ඇතුළු ඥාතීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

(30.07.2020 – 18:03 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තු ලබා අධිකරණය මග හැර සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ සොහොයුරෙකු වන වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියෙකු ඇතුළු ඥාතීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුගේ දියණියගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 21 වැනිදා කුරුණෑගල නිවසට පැමිණීමෙන් පසු පියා මෙතෙක් නිවසට නොපැමිණි බවයි.

විවිධ පාර්ශවයන්ගේ බලපෑම් මත තම සොහොයුරා අධිකරණය මග හරිමින් සිටින බව අනුරුද්ධ සම්පායෝගේ සොහොයුරා ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, ඔහු යටතේ සේවය කළ දෙවන පෙල ජේලර්වරයෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල රළ ගොඩබිමට පැමිණිය හැකියි – අවධානයෙන් පසුවන්න

(31.07.2020 – 07:04 +0530 – hirunews.lk/sinhala)

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල වෙරළ ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.

ඒ අනුව සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවන අතර ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර දකුණු පළාත සහ පොලොන්නරුව, මන්නාරම, මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඇතැම්විට පැයට කිලෝමීටර් 60 ක් දක්වා වර්ධනය විය හැකි බවයි එහි දැක්වෙන්නේ ෴

***************************************

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා විසි කළ සැකකරු අල්ලයි

(31.07.2020 – 07:44 +0530 – sinhala.adaderana.lk)

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා හා දුම්කොළ විසි කරන ලද සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30) උදෑසන 11:30 ට පමණ මෙම සැකකරු බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිටින බවට පොළොන්නරුව පොලීසියට කරන ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු විසින් ගංජා ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 590 ක් හා දුම්කොළ ග්‍රෑම් 56 මිලිග්‍රෑම් 150 ක් බන්ධනාගාරය තුළට විසිකර තිබිය දී සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වු ඇතුමල්පිටිය, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (31) පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොළොන්නරුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි ෴

***************************************

සහරාන් සමාජය තුළ සිටීම තර්ජනයක් ලෙස වටහාගෙනයි සිටියේ – හිටපු SIS ප්‍රධානී

(30.07.2020 – 22:26 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (30) දිනයේ ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේය. ඒ, සිව්වන දිනටයි.

එහිදී ඔහු කියා සිටියේ 2018 දෙසැම්බර් මස 30 වන දිනය වන විට සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් ආශ්‍රිත ආගමික ස්ථාන කිහිපයකට පහරදීම් සිදුව තිබූ බව තමන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දැනුම් දුන් බවය.

එමෙන්ම ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් විසින් කාත්තන්කුඩියේ පිහිටි එම සංවිධානයේ ප්‍රධාන මධ්‍යස්ථානය තුළ සෑම ඉරුදිනකම ශ්‍රී ලංකාව ඉස්ලාම් දේශයක් නොවන නිසා එය ඉස්ලාම් දේශයක් කරා රැගෙන යා යුතු බවට දේශන පවත්වමින් සිටි බව තමන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබු බවද නිලන්ත ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදි කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් වන පාර්ශවයක් පිළිබඳ ව රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබි තිබිය දී, ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කර තර්ජනය අවම කරගැනීමට හෝ අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ යුතුව තිබුණා නොවේද යන්නය.

එය එසේ සිදුකළ යුතුව පැවතියද මෙවැනි තොරතුරු නිසා මහජනතාව අතර ජාතිවාදි ගැටුම් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ මහජනාතව දැනුවත් නොකළ බවට ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුන්නේය.

කොමිසම හමුවේ සාක්ෂිදෙමින් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් ධුරයේ රැදී සිටි කාලය දේශපාලනික වශයෙන් පක්ෂ දෙකක් රට පාලනය කළ කාලයක් බැවින් එම පක්ෂ දෙකෙහි දර්ශනය පිළිබදව ගැටළු පැවති බවය.

එබැවින් තමන්ට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස අමතර පීඩනයක් දැනුණු බවත් සහරාන්ගේ අන්තවාදි ක්‍රියා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තිබු හොඳම ස්ථානය ජාතික ආරක්ෂක කවුන්සිලය බැවින් ඒ වන විට රාජ්‍ය පාලනය කළ පක්ෂ දෙකම ආරක්ෂක කවුන්සිලයේ දී සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කළ බවත් ජයවර්ධන මහතා කියා සිටියේය.

එසේම 2017 වර්ෂයේ ආරම්භ වන විට ඇමරිකාවට සහ ඉන්දියාවට අයි.එස්. ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවීමේ තර්ජනයක් පැවති බව තමන්ට විදෙස් බුද්ධි අංශ වලින් දැනගැනීමට ලැබුණු බැවින් මෙරට පිහිටි අමෙරිකානු තනාපති කාර්යාලය සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් යොදවන ලෙස එවකට ආරක්ෂක ලේකම්වරයාට තමන් නිර්දේශ කළ බව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

එහිදි කොමිසමේ සමාජිකයෙකු වන අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ විදෙස් රටකට තිබු තර්ජනයක් සම්බන්ධයෙන් ආරක්ෂාව සැපයීමට නිර්දේශ කළ ඔබ මෙරට සිදු වු අත්තවාද ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු සැපයීමෙන් පමණක් නැවතීමේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේ මන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ සහරාන් හෂිම් සමාජය තුළ සිටීම බරපතළ තර්ජනයක් බව තමන් වටහාගෙන සිටි බැවින් විශේෂ කණ්ඩායමක් යොදවා ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පාස්කු ප්‍රහාරයට වසරකට පෙර ලිඛිතව වගකිවයුත්තන් දැනුවත් කර තිබු අතර සැකකරුවන් සැඟව සිටින ස්ථානද නිශ්චිතව පෙන්වා තිබු බවය.

එසේම අන්තවාදි ක්‍රියාකාරකම්වල නිරතවුවන් 94 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2017 වසරේද, 130 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2018 වසරේද ලබා දී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස තමන් වගකිවයුතු අංශ වෙත දැන්වූ බව සාක්ෂිකරු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් අතීතයේ පොලිස් විශේෂ කාර්යය බලකාය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය රාජ්‍ය බුද්ධි සේවය යටතේ පැවති කාලයේ මෙන්, තම සේවා කාලය තුළ අත්අඩංගුවට ගැනීම්, සෝදිසි මෙහෙයුම් සිදු කිරීමේ හැකියාවක් නොවු බව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

***************************************

රනිල් සජිත් බෙදීම බොරුවක්.. මැතිවරණයෙන් පසු අලුත් සෙල්ලමකට..

(31.07.2020 – 06:26 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලනවා කියන චෝදනාව කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් විශාල පිරිසක් ඉවත් කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරලා තියෙනවා. ඔය ලැයිස්තු අපි මුල සිට අගටත් අග සිට මුලටත් කීප වරක්ම පරීක්ෂා කලා. හැබැයි එකේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම නැහැ. මොකක්ද හොරේ. ඇත්ත කතන්දරේ මේ එක්සත් ජාතික පක්ෂයෙත් සමගි ජන බලවේගයෙත් බෙදීම එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේත් බෙදීම බොරුවක් – ප්‍රෝඩාවක් – මුලාවක්. මේ අය කරන්නේ රඟපෑමක්.

මහ බැංකු මගඩිය නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විකට රංගනය නිසා කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාගැනීමේ යටි අරමුණෙන් තමයි මේ අය බෙදීම අද පෙන්නුම් කරන්නේ. ඇත්තට බෙදිලා නෑ. අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මැතිවරණයෙන් පස්සේ මේ දෙකම එකතු වෙලා පරණ පුරුදු පක්ෂය කරගෙන යනවා. ඒක නිසා තමයි පක්ෂයෙන් ඉවත් කරනවා කියන එකට ඔච්චර කලබල.

2014 දෙසැම්බර් මාසෙ 11 වැනිදා මම ‘ජාතික හෙළ උරුමයෙන්’ ඉවත් වෙලා ආවා. ‘පිවිතුරු හෙළ උරුමය’ බිහි කරගත්තා. ආපහු ‘ජාතික හෙළ උරුමයේ මාගේ සාමාජිකත්වයට මොකද වෙන්නේ – ඒක තියෙනවද නැද්ද’ කියලා අපි කලබල වුණේ නෑ. මොකද අපි එක සදහටම අතහැරලයි ආවෙ. හැබැයි මේ අය මෙහෙම කලබල වෙන්නේ ඇයි ? ඇත්ත කතන්දරේ මේ දෙපාර්ශ්වය අතර කිසිම බෙදීමක් නෑ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳ කලකිරීමෙන් ඉන්න අයගේ ඡන්ද ටික සජිත් ප්‍රේමදාස මැතිතුමා ගාවටත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විකට රංගනයෙන් කලකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාවට එකතුකර මැතිවරණයෙන් පස්සේ දෙපාර්ශවය එකතුවීමේ කුමන්ත්‍රණයක – යටි අරමුණක වැඩපිළිවෙළකයි ඔවුන් යෙදිලා ඉන්නේ.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *