ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරු 04 දෙනා සී.අයි.ඩී.යට

(30.07.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හතරදෙනා (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද (30) පෙරවරු 10:15 ට පමණ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.

පසුගිය ජූනි මස 16 වනදා ඊ.ටී.අයි තැන්පතුකරුවන් තුන්දෙනෙකු (3) විසින් පවරා තිබූ නඩු අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහට වරෙන්තු නිකුත් කළා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

CID ය හමුවට පැමිණි ETI අධ්‍යක්ෂවරුන් 4 දෙනා පැය 8 කට පසුව පිටව යයි

(30.07.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ පළමු වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ පැය 08 කට වැඩි කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබෙනවා.

ඔවුන් අද (30) පෙරවරු 10:15 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර, අද (30) පස්වරු 06:30 ට පමණ ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊ.ටී.අයි. සමාගමේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳව සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔවුන් මෙලෙස කැඳවා තිබුණේ.

හෙට (31) යළි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

මීට පෙර, අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වරෙන්තුවක් ද නිකුත් කළා.

ඒ පසුගිය ජුනි 16 වනදායි.

එසේම, ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන වලදී ද එම සමාගමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වුණා.

මහ බැංකුවට හෙළි නොකළ ගිණුම්වලින් රුපියල් කෝටි ගණනක මුදල් ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් ආකාරය එහිදී අනාවරණ වීම විශේෂත්වයක්.

මේ අතර, කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනි අනූෂා ජයන්ති මහත්මිය කියා සිටියේ ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් නතර නොවී ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ යුතු බවයි.

***************************************

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා

(30.07.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණවලදී මෙම රෝගියා හඳුනාගත් බවයි.

ඔහු මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු ද වනවා.

ඔහුගේ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් සිටින අතර, ඔවුන් නිරෝධායනයට යොමුකිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ආසාදිතයා සමඟ මෙරට මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,811 දක්වා ඉහළ ගියා.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී 16 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම යාමත් සමග සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2,333 ක්.

***************************************

ජනපතිගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම තම අරමුණයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

(30.07.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සිය අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, මීරිගම ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

වසර දෙකක් තුළ කසළ තේ කන්ටේනර් 252 ක් ඉරාකයට අපනයනය කර ඇති බවට තොරතුරු

(30.07.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ කසළ තේ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම්කරු වසර දෙකක් (2) තුළ කසළ තේ කන්ටේනර් 252 ක් අපනයනය කර ඇති බවට තොරතුරු හෙලිවී තිබෙනවා.

කොහුබත් අපනයනය කරන බවට රේගුවට ව්‍යාජ තොරතුරු සපයා මෙලෙස කසළ තේ අපනයනය කර ඇත්තේ ඉරාකයටයි.

ඉරාක වෙළඳපොලට කසළ තේ සැපයීමේදී සැකකරු ‘සිලෝන් ටී’ නාමය භාවිත කර තිබෙනවා. වැඩිදුර පරික්ෂණවලදි හෙළිවී ඇත්තේ මෙම කසළ තේ ජාවාරම ජාලයක් ලෙස ක්‍රියාත්මක වී ඇති බවයි.

අවස්ථා කිහිපයකදි මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 9 ක්.

මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, රේගු අවදානම් කළමනාකරණ ඒකකයේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴

***************************************

චෝදනාවලට ලක්වූ සුරාබදු නිලධාරීන් ගැන සෙවීමට කමිටු තුනක් (3)

(30.07.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු සහ මත්ද්‍රව්‍ය අලෙවිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සුරාබදු නිලධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කමිටු තුනක් (3) පත් කර තිබෙනවා. ඒ, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින්.

පසුගියදා පුත්තලම – කලපුව ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා වයඹ පළාත නියෝජනය කරන සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු (2) යටතේ කමිටු දෙකක් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එමෙන්ම පමුණුගම – නුගපෙ ප්‍රදේශයේදී මත්පැන් සහ එතනෝල් ස්ප්‍රීතු සමගින් සුරාබදු නියාමකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ සතියක පමණ කාලසීමාවක් තුළ මෙම කමිටු තුනේ (3) වාර්තා සළකා බැලීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම පුත්තලම කළපුව ආසන්න ප්‍රදේශයේදී මත්කුඩු සමඟ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී නිසි අධීක්ෂණයක් සිදු නොකළ බවට චෝදනා කරමින් නාත්තන්ඩිය ප්‍රදේශය භාර සුරාබදු අධිකාරිවරයා සහ පුත්තලම දිස්ත්‍රික් සහකාර සුරාබදු කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු කර තිබෙනවා.

එමෙන්ම කළුතර – හීනටියනගල ප්‍රදේශයේ දෙමහල් නිවසක ස්කාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා අද (30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඊයේ (29) සිදුකල වැටලීමේදී අත්අඩංගුවට ගත් එතනෝල් ප්‍රමාණය ලීටර 4,000 ක්.

මෙම ස්කාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු කාලයක් තිස්සේ එම ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටින අයෙකු බවට අනාවරණ වී ඇති අතර, ඔහු පවත්වාගෙන ගිය කෘත්‍රිම රා නිපදවීමේ ස්ථානයක් පසුගිය 2019 වසරේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබුවා.

මෙම සිද්ධිය වාර්තා කිරීමට මූලික වූ අලූත්ගම හිරු මාධ්‍යවේදී තුසිත කුමාරට සහ ඔහුගේ බිරිඳදට සැකකරු පසුගිය වසරේ දෙසැම්බර් 6 වනදා පහරදී තර්ජනය කර තිබුණා ෴

***************************************

වියළි කහ කිලෝ දහසකට (1000) ආසන්න තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(30.07.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝ දහසකට (1000) ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහුදු මාර්ගයෙන් කොරෝනා ආසාදිතයන් මෙරටට සංක්‍රමණය වීම ඇතුලු නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව සිදු කරන මුර සංචාරයකදීයි පෙරේදා මෙම සැකකරු සහ කහ තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කිසියම් ද්‍රව්‍යක් අසුරන ලද ගෝනි කිහිපයක් සැක කටයුතු ලෙසට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු උතුරු මැද නාවික විධානය විසින් පරීක්ෂා කිරීමේදී වියළි කහ තොගය හමුවී තිබෙනවා.

කිලෝ 999 යි ග්‍රෑම් 500 කින් යුත් එම කහ තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

කහ තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු ස්වයං නිරෝධායනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මගින් මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත භාරදුන් බවයි නාවික හමුදාව කියාසිටියේ ෴

***************************************

පන්නිපිටියේ වල් ගුරා ළමයින්ගේ වීඩියෝ සහ ඡායාරූප විදෙස් රටවලට යවා ඇති බව හෙළිවේ

(30.07.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

= පන්නිපිටියේ අපයෝජකයා ළමයින්ගේ වීඩියෝ සහ ඡායාරූප විදෙස් රටවලට යවා ඇති බව හෙළිවේ =

ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටි රූපවාහිනි පසුතල නිර්මාණ ශිල්පියෙකු වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු කුඩා දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ සහ ජායාරූප ගෙන ඇමරිකාව ඇතුළු රටවල් 05 ක විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

54 වන වියේ පසුවන මොහු විවාහ වී පසුව දික්කසාද වූවෙකු බවට අනාවරණය වී ඇති අතර 2012 වසරේ සිට අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පිරිමි ළමයින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එසේම පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිසිය, අල්මාරියක තිබී ළමයින්ගේ යට ඇදුම් විශාල තොගයක් සහ බිම වැටී තිබූ හිසකෙස් 200 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණුනා.

එසේම ළමයින්ගේ වීඩියෝ පට සහිත සීඩී 130 ක් ද හමුවී ඇති අතර ඒවා වැඩිදුර පරීක්ෂාව සඳහා යොමු කර ඇත්තේ රජයේ රස පරීක්ෂකවරයා වෙතයි.

මනාලෙස ඉංගී‍්‍රසි උච්චාරණය කළ හැකි සැකකරු කුඩා දරුවන්ට ඉංගී‍්‍රසි පන්ති පවත්වා ඇති නමුත් අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් මෙම පුද්ගලයාට ඒ සඳහා විශේෂ සුදුසුකමක් තිබී නොමැති බවට හෙළි වී තිබෙනවා.

ඔහු විසින් අපයෝජනයට ලක් කර ඇති කුඩා දරුවන් තුන්දෙනෙකු (3) ගෙන් පොලිසිය මේ වනවිටත් ප්‍රශ්ණ කර ඇති අතර එම දරුවන්ගේ දෙමව්පියන් ඉංගී‍්‍රසි පන්ති සඳහා තම දරුවන් සැකකරුගේ නිවසට ඇරලවා ගොස් ඇති නමුත් වැඩිදුර සොයාබැලීම් සිදුකර නැහැ.

එසේම මෙම දරුවන්ට ත්‍යාග ලෙස ඩ්‍රෝන් කැමරා මොහු විසින් පිරිනමා ඇති බවටද දරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී පොලිසිය හෙලි කරගෙන තිබෙනවා.

තවද සැකකරු කුඩා ළමයින්ගේ නම් වලින් ෆේස්බුක් ගිණුම් විවෘත කර විවිධ පුද්ගලයින් සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවයි ඔහුගේ පරිගණක පරීක්ෂා කළ පොලිසිය අනාවරණය කර ගත්තේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කරන මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිණිය ලෙසයි.

පසුගියදා කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලය සිදුකළ සැකකරු පළායන අවස්ථාවේදී ඔහු අල්ලා පොලිසියට බාර දෙනු ලැබුවේද මෙම පොලිස් නිලධාරිණිය වන අතර පසුව ඇයට පොලිස්පතිවරයා විසින් මුදල් ත්‍යාගයක්ද පිරිනමනු ලැබුවා ෴

+++++++++++++++++++++

පන්නිපිටියේ වල් ගුරා දරුවන්ගේ වීඩියෝ පිටරටට විකුණලා

(30.07.2020 – aruna.lk)

= පන්නිපිටියේ ඉංග්‍රීසි ගුරා දරුවන්ගේ වීඩියෝ පිටරටට විකුණලා =

ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පෙනී සිටි පන්නිපිටියේ සැකකරු කුඩා දරුවන්ගේ අසැබි වීඩියෝ හා ඡායාරූප ගෙන ඒවා රටවල් පහක (5) විදේශිකයන්ට විකුණන ජාවාරමක් කරගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

ඇමරිකාව, ජර්මනිය, ස්පාඤ්ඤය, මැලේසියා ඇතුළු රටවල විදේශිකයන්ගේ ඊමේල් ලිපිනයන්ට හා තැපැලෙන් සීඩී පට පවා යවා මුදල් උපයා ඇති බව අනාවරණය කරගෙන ඇත.

ඒ වෙනුවෙන් රුපියල් විසිදහස, තිස්දහස වැනි ගණන් සැකකරුගේ ගිණුමට වැටී ඇති බවද හෙළිවී ඇත.

ශ්‍රී ලංකා දරුවන් සමලිංගික සේවයට යොදවන බවට හුවා දක්වමින් වයස අවුරුදු අටත් දොළහත් අතර (08 – 12) දරුවන්ගේ වීඩියෝ පට හා ඡායාරූප ගෙන මෙසේ පිටරටට යවා ඇතැයි ද ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

ප්‍රසිද්ධ ළමා චරිතවල සිටින දරුවන් ඉලක්ක කර ෆේසස්බුක් ගිණුම් පවා මෙම සැකකරු සකසා ඇති බවද කියයි. සැකකරු ළමා චිත්‍රපටයක තිරපිටපතක්ද ලියා ඇති අතර එය තිරගත වූ ප්‍රසිද්ධ චිත්‍රපටයකි.

මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් කිරීමට ඇතැයි බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇත.

සැකකරුගේ පන්නිපිටිය නිවෙස පරීක්ෂා කිරීමේදී වීඩියෝ පට සහිත සීඩී 130 ක්, පරිගණක හා ළමා යට ඇඳුම් අල්මාරියක් සහ ළමයින්ගේ හිසකෙස් 192 ක් සොයාගෙන තිබිණි.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

+++++++++++++++++++++

ළමුන් අපයෝජන කළ ‘දෙපානම රියැලිටි නිර්මාණකරුගේ සගයා’ ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්‍යවරයෙක්

(30.07.2020 – 11:16 +0530 – truenews.lk)

බාල වයස්කාර දරුවන්ව ලිංගික අපයෝජන සඳහා යොදාගෙන එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්ඩංගුවට ගත් ගුරුවරයා මෙම ජාවාරම සිදු කොට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සමග හවුල් වී බව හෙළිවී තිබෙනවා.

දරුවන් අපයෝජනය කොට වීඩියෝ දර්ශන විදේශ රටවලට විකුනන ලද පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ මිතුරෙකු වන මෙම වෛද්‍යවරයා මීට වසර ගනනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි.

මෙම සිදුවීමෙන් පසු ඔහු විදේශගතවී ඇති අතර මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව වාර්තා වනවා. මෙම වෛද්‍යවරයා සහ ‘රියැලිටි’ වැඩසටහන් ගුරුවරයා දීර්ඝ කාලීන මිතුරන් වනවා.

දරුවන්ට ලිංගික අතවර කර තැටි විකිණූ පන්නිපිටියේ දෙපානම ‘රියැලිටි’ වැඩසටහන් නිර්මාණකරුගේ නිවෙස පරික්‍ෂා කිරීමේදී ඉහත කී දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන සීඩී තැටි හා ඒ සඳහා යොදාගත් පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්, මෙමරි කාඩ්, කැමරා හා ජංගම දුරකථන ඇතුළු උපාංග රැසක්ද පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

මොහු දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය චිත‍්‍රපට ආකාරයට රූගත කිරීම් සිදුකර ඇති අතර එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කුඩා දරුවන් කෙරෙහි දක්වන විකෘති කාමාශාවෙන් පෙලෙන පුද්ගලයන්ට අලෙවි කර තිබෙනවා ෴

+++++++++++++++++++++

ළමුන් අපයෝජනය කර වීඩියෝ විකිණූ රියලටි ශිල්පියාගේ ‘පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරිනියට’ හදිසි මාරුවක්

(30.07.2020 – 14:02 +0530 – truenews.lk)

ළමුන් අපයෝජනය කළ ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටි රූපවාහිනි පසුතල නිර්මාණ ශිල්පියා පිළිබඳ විමර්ශණය කරන මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

ඒ ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිණිය ලෙසයි.

පසුගියදා කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලය සිදුකළ සැකකරු පළායන අවස්ථාවේදී ඔහු අල්ලා පොලිසියට බාර දෙනු ලැබුවේද මෙම පොලිස් නිලධාරිණිය වන අතර පසුව ඇයට පොලිස්පතිවරයා විසින් මුදල් ත්‍යාගයක්ද පිරිනමනු ලැබුවා.

ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටි රූපවාහිනි පසුතල නිර්මාණ ශිල්පියෙකු වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු කුඩා දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ සහ ජායාරූප ගෙන ඇමරිකාව ඇතුළු රටවල් 05 ක විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබෙනවා.

54 වන වියේ පසුවන මොහු විවාහ වී පසුව දික්කසාද වූවෙකු බවට අනාවරණය වී ඇති අතර 2012 වසරේ සිට අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පිරිමි ළමයින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මනාලෙස ඉංගී‍්‍රසි උච්චාරණය කළ හැකි සැකකරු කුඩා දරුවන්ට ඉංගී‍්‍රසි පන්ති පවත්වා ඇති නමුත් අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් මෙම පුද්ගලයාට ඒ සඳහා විශේෂ සුදුසුකමක් තිබී නොමැති බවට හෙළි වී තිබෙනවා.

ඔහු විසින් අපයෝජනයට ලක් කර ඇති කුඩා දරුවන් තුන්දෙනෙකුගෙන් පොලිසිය මේ වනවිටත් ප්‍රශ්ණ කර ඇති අතර එම දරුවන්ගේ දෙමව්පියන් ඉංගී‍්‍රසි පන්ති සඳහා තම දරුවන් සැකකරුගේ නිවසට ඇරලවා ගොස් ඇති නමුත් වැඩිදුර සොයාබැලීම් සිදුකර නැහැ.

තවද සැකකරු කුඩා ළමයින්ගේ නම් වලින් ෆේස්බුක් ගිණුම් විවෘත කර විවිධ පුද්ගලයින් සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවයි ඔහුගේ පරිගණක පරීක්ෂා කළ පොලිසිය අනාවරණය කර ගත්තේ ෴

+++++++++++++++++++++

Nirantha Edirisinghe

+++++++++++++++++++++

+++++++++++++++++++++

26-07-2020

***************************************

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට

(30.07.2020 – 14:26 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ රාජ්‍ය නිලධාරින් දෙදෙනෙකු (2) කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පෑලියගොඩ – පට්ටියහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් කොළොන්නාව සහ කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 250 ක් සැකකරුවන් සතුව තිබී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

41 සහ 36 හැවිරිදි සැකකරුවන් අතර ඥාතී සම්බන්ධයක් පවතින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

සැකකරුවන්ගෙන් එක් අයෙකු කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කළමනාකරණ නිලධාරියා ලෙස කටයුතු කරන අතර, අනෙක් පුද්ගලයා කැළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා.

***************************************

පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයකින් ජලය

(30.07.2020 – 15:49 +0530 – hirunews.lk/sinhala)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (30) පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසනවා.

ඒ අනුව කොළඹ 01, 02, 03, 07, 08, 09, 10, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයකින් ජලය සැපයෙන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ ෴

***************************************

‘අංගොඩ ලොක්කා’ හෙරොයින් ජාවාරමට යොදාගත් උකුස්සෙක් පොලිස් භාරයට

(30.07.2020 – 16:25 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘අංගොඩ ලොක්කා’ගේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා යොදා ගත් බවට සැකකෙරෙන උකුස්සෙකු මීගොඩ – නාවලමුල්ල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපොලකින් සොයා ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි අද මෙම උකුස්සා සොයා ගෙන ඇත්තේ.

සිද්ධියට අදාළව සත්ත්ව ගොවිපොලේ හිමිකරුවෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.

මීට අමතරව, එම ගොවිපොලේ තිබී වායු රයිෆලයක් සහ පතොරම් 10 ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

+++++++++++++++++++++

මත්ද්‍රව්‍ය ගෙනයාමට පුහුණු කළ උකුස්සෙක් පොලිස් බාරයට ගනී

(30.07.2020 – 16:29 +0530 – lankadeepa.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ නමැති පාතාලකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන ‘උකුස්සෙකු’ මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ ‘අංගොඩ ලොක්කා’ නමැති පාතාලකරුගේ සමීපමතයකුට අයත් සත්ව ගොවිපලක සිර කර සිටියදී පොලිස් බාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිසියේ නිළධාරීන් හා එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම ‘උකුස්සා’ සහ ගොවිපලෙහි සිටි සේවකයින් දෙදෙනෙකු (2) ද වායු රයිෆලයක් ද සමගින් සැකපිට අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා (2) පිළිබදව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවද පොලිසිය පවසයි.

සත්ව ගොවිපලට ඇතුල්වීම තහනම් බවට පුවරුවක් යෙදු ගේට්ටුවක් සවිකර සුනඛයින් විශාල පිරිසක් ගොවිපල වටා ආරක්ෂාව සදහා යොදා ගනිමින් පවත්වාගෙන ගොස් තිබූ බවද පොලිසිය පවසයි.

මෙම ‘උකුස්සා’ වෙනත් රටක සිට බෝට්ටුවක් මගින් මෙරටට ගෙන ආ බව, සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බවත් ඒ පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

‘කුසඇලි මුහුදුකුස්සා’ නමින් හදුන්වන මෙම උකුස්සා ශ්‍රී ලංකාවට ආවේණික සත්වයකු නොවන බවත් මෙම සත්වයින් කූඩුකර ඇතැදැඩි කිරීම නීතියෙන් තහනම් බවත් මෙවැනි වැඩුණු උකුස්සන්ට කිලෝ 15 පමණ බරක් ඕනෑම තැනකට රැගෙන යාමට පුහුණුකල හැකි පක්ෂීයෙකු බවත් තම බාරයට ගත් උකුස්සා පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවත් බත්තරමුල්ල වනජීවී හදිසි වැටලීම් ඒකකය පැවසීය.

***************************************

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ජංගම දුරකථන එවලා

(30.07.2020 – 16:51 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද ජංගම දුරකථන 04 ක් හමු වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම ජංගම දුරකථන 04 බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර පසුගිය ජුලි මස 21 දින ද මීගමුව බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද පාර්සලයක තිබී ජංගම දුරකථන 04 ක් සොයාගනු ලැබුවේය.

එම පාර්සලය තුළ තිබී හෙරොයින්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සහ මත්පෙති කිහිපයක් ද සොයාගැණුනි ෴

***************************************

නිමේෂයක නොසැලකිල්ල – කුඩා දරුවාට බරපතළයි (CCTV දර්ශන සහිතයි)

(30.07.2020 – 15:23 +0530 – sinhala.adaderana.lk)

වලස්මුල්ල පාසල අසළ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු තුන හමාරක (3½) පිරිමි දරුවෙක් බරපතළ තුවාල ලබා තිබේ.

පියාගේ ත්‍රීරෝද රථයේ ටයරයක් මාරු කිරීම සඳහා මාර්ගය අසළ නවතා ඇති විට දරුවා ත්‍රීරෝද රථයෙන් එකවර බැස ඉතා වේගයෙන් මාර්ගයේ අනෙක් පසට දිව යෑමට උත්සහ දැරීමේ දී අනෙක් පසින් පැමිණි වෙනත් ත්‍රීරෝද රථයක දරුවා ගැටී තිබේ.

එම අනතුරින් දරුවාට බරපතළ තුවාල සිදුව ඇති අතර, දරුවා වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යැවු බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

අනතුර සිදුවන අයුරු ත්‍රීරෝද රථය නවතා තිබූ ස්ථානයේ ඇති සීසීටීවි කැමරාවක එම සිදුවීම සනිටුහන් ව තිබේ.

දරුවා අනතුරට පත්කළ ත්‍රීරෝද රථ රියදුරා වලස්මුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (30) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වලස්මුල්ල, කිරම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

***************************************

මරණ දඬුවම් ලබා සිටින සිරකරුවෙකු මෙහෙයවු මත්ද්‍රව්‍ය ජාවාරමක්

(30.07.2020 – 15:06 +0530 – sinhala.adaderana.lk)

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, බෙදාහැරීම හා මත්ද්‍රව්‍ය අලෙවිකර ලබාගන්නා මුදල් විවිධ ගිණුම්වලට බැරකිරීම සිදුකරන බවය.

මොවුන් ජාවාරම් කටයුතු සඳහා යොදාගත් වෑන් රථයද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම ජාවාරමේ සියලු කටයුතු ජංගම දුරකථන යොදාගනිමින් මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැරදි දෙකකට (2) මරණ දඬුවම් ලැබ සිටින සිරකරුවෙකු බවය.

මෙම සිරකරු විදේශීය රටක සිටින පුද්ගලයෙකු සමග දුරකථන මාර්ගයෙන් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙයි ෴

***************************************

2012 දී නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළා – හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී

(30.07.2020 – 13:21 +0530 – sinhala.adaderana.lk)

2012 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසයි.

හිටපු බුද්ධි ප්‍රධානියා මේ බව ප්‍රකාශ කළේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ ව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

තුන්වන දිනට ඊයේ (29) ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් නිලන්ත ජයවර්ධන මහතා 2015 ජුලි මස 20 වන දින එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ රථවාහන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි නන්දන මුණසිංහ මහතාට යවන ලද බුද්ධි තොරතුරු ඇතුළත් ලේඛනයක් ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

එහි දැක්වුණේ 2003 වසර වන විට 2.4 % ක් එනම් සිසුන් 203 න් 05 දෙනෙකු පමණක් ලෙස පැවති ශ්‍රී ලංකා නීති විද්‍යාලයට මුස්ලීම් සිසුන් බඳවා ගැනීමේ සංයුතිය 2012 වන විට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ ආකාරයයි.

ඒ අනුව 2003 වර්ෂය වන විට 2.4 % ක් ලෙස පැවති මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය 2012 වර්ෂය වන විට 25.24 % ක් ලෙස අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ බවත් ඒ අනුව 2012 වර්ෂයේ දී මුස්ලිම් සිසුන් 78 දෙනෙකු ශ්‍රී ලංකා නීති විද්‍යාලයට බඳවාගෙන තිබූ බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා අනාවරණය කරන ලදි.

රාජ්‍ය බුද්ධි සේවය විසින් නිරීක්ෂණය කළ මෙම තත්ත්වයට හේතුව අධිකරණ අමාත්‍යංශය තුළ පැවති ගැටළුවක් බවත් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ වූ ශ්‍රී ලංකා නීති විද්‍යාලය සහ අධිකරණ අමාත්‍යංශය තමා විසින් දැනුවත් කළ බවත් නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ප්‍රශ්න කර සිටියේ මෙලෙස අසාමාන්‍ය ලෙස මුස්ලිම් සිසුන් බඳවාගැනීම වැඩිවීමට හේතුව කුමක් ද යන්නය.

එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා කියා සිටියේ ව්‍යාප්තවාදය සහ රටේ සුළුතර ජන කොට්ඨාසයක් බහුතරය සමග කරන අරගලයක් මෙයට මුල් වී ඇති බව තමා අනුමාණ කරන බවය.

එබැවින් මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුත්තේ බුද්ධියෙන් බවද නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

මේ අතර අදාළ ලේඛනය තුළ ඇති තවත් දැනුම්දීමක් ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කරමින් ජයවර්ධන මහතා කියා සිටියේ 2013 වර්ෂයේ දී ජමියතුල් උලමා සංවිධානය ආයතන 204 ක භාණ්ඩ වර්ග 4500 ක් සඳහා හලාල් සහතික නිකුත් කර තිබු බවය.

ඒ තුළින් 2013 වර්ෂය වන විට ජමියතුල් උලමා සංවිධානය මාසිකව රුපියල් මිලියන 1.5 ක මුදලක් උපයා ගත් බවද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අනාවරණය කළේය.

***************************************

යහපාලන ආණ්ඩුවේ විධායක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – විජේදාස රාජපක්ෂ

(30.07.2020 – 08:12 +0530 – sinhala.adaderana.lk)

යහපාලන ආණ්ඩුව සමයේ පැවති ‘ජාතික විධායක සභාව’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවූවක් නොවන බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (29) දිනයේ මේ බව ප්‍රකාශ කර තිබේ.

ජාතික විධායක සභාවේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීමට ලක්වූ බව පවසමින් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදෙමින් විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර ඇති බව ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ පැමිණිල්ලට අනුව එම සභාවේ සාමාජිකයෙකු ජනාධිපති කොමිසම වෙත කැඳවා සාක්ෂි ලබාගත යුතු බව සභාපති විනිසුරුවරයා තීරණය කිරීමෙන් අනතුරුව විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවට කැඳවනු ලැබීය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, තමන් එහි සාමාජිකයෙකු ලෙස නම් කර තිබුණ ද ජාතික විධායක සභාවේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් තමන් එය රැස්වූ කිසිදු අවස්ථාවක සහභාගි නොවු බවය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක සහ අර්ජුණ රණතුංග යන අය එහි සාමාජිකත්වය දැරූ බව විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය රජය සමයේ දී තමන් අධිකරණ අමාත්‍යවරයාව සිටිය ද යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් දැනුවත් වී නොසිටි බව විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් සඳහන් කර සිටියේ ඒ සඳහා නීතීපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බවය.

ඒ අනුව එවකට නීතිපතිවරයා වූ ජයන්ත ජයසූරිය මහතාගෙන් ඒ පිළිබඳ විමසූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළ බව විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ජාතික විධායක සභාවේ තීරණයක් මත අදාළ අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් 15 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම සභාව තීරණය කර තිබු බව විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

යහපාලන රජය සමයේ පැවති ජාතික විධායක සභාවේ ක්‍රියාකලාපය ‘කැළෑ නීතිය රජ කිරීමක්’ බව විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත ෴

***************************************

නිට්ටඹුවේ ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි

(30.07.2020 – 15:31 +0530 – lankadeepa.lk)

කොළඹ මහනුවර මහා මාර්ගයට ආසන්නව නිට්ටඹුව නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වටලා වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් එහි ගබ්සා සිදුකළ පුද්ගලයා ඔහුගේ ආරක්ෂකයා සමඟ ගබ්සාවක් සිදු කර ගැනීමට පැමිණ සිටි 19 හැවිරිදි අවිවාහක තරුණියක හා ඇගේ පෙම්වතා අද (30) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වෛද්‍යවරයෙක් බව කියන පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගැනුනු පෙම් යුවළ කුරුණෑගල පදිංචිකරුවන්වේ. නිට්ටඹුව පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාට ලත් තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.

පොලිසිය එහි යන අවස්ථාවේ අවිවාහක තරුණිය ගබ්සාවට සූදානම් කර ඇදේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙම යුවළ ඊයේ (29) වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු තරුණිය ගැබ් ගෙන ඇති බව හෙළිවීමෙන් පසුව ගබ්සාව සදහා රුපියල් 40,000 ක් අය කරන බව දන්වා ඇතැයිද ඒ අනුව යුවළ අද (30) මුදල්ද රැගෙන පැමිණ ඇති බවද මූලික පරීක්ෂණයේද හෙළිවී ඇත.

මෙම සැකකරු කළක් රාගම රෝහලේ සේවය කර ඉවත්වී බද්දට ගත් ස්ථානයක මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය බව පවසා ඇත. සැකකරු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇතත් අවසන් පරීක්ෂණය සමත්නොවූ පුද්ගලයකු බවට පොලිසියට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය සොයා බැලීමට නියමිතය.

මේ අවස්ථාවේ එහි රැදී සිටි තවත් කාන්තාවන් සිව් (4) දෙනෙකු හා පිරිමි පුද්ගලයන් සිව් (4) දෙනෙකුද පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.

ඔවුන් අනුරාධපුරය හා කුරුණෑගල දුර බැහැර ගම්මානයන්හි පදිංචිකාරියන් බව හෙලිවී ඇති අතර එම කාන්තාවන් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මේ ස්ථානයේ පැවැත්වෙන බව කියන සම්මුඛ පරීක්ෂණයකට සහභාගිවීමට පැමිණි බවයි.

ඔවුන් කරන ප්‍රකාශය සත්‍යදැයි හෙළි කර ගැනීමටද පොලිසිය කටයුතු කරන අතර අවශ්‍ය වුවහොත් එම තරුණ කාන්තාවන් වෛද්‍ය පරීක්ෂනයකට ලක් කිරීමටද නියමිතය.

ගබ්සාවන් සදහා යොදාගන්නා බව කියන අඩු ආදි උපකරණ ගණනාවක් හා බෙහෙත් වර්ග රැසක්ද මේ ස්ථානයේ තිබී හමුවූ බව පොලිසිය කියයි. ඒවා සියල්ල පොලිස් බාරයට ගෙන ඇත. වෛද්‍යවරයා පැමිණි බව කියන නවීන පන්නයේ මෝටර් රියක්ද පොලිසිය බාරයට ගෙන ඇති අතර පොලිස් නිල ඇදුමක්ද එහි තිබී හමුවූ බව පොලිසිය සදහන් කරයි. මෙහි මේස ලාච්චුවක තිබී පිරිමි දෙදෙනෙකුගේ හා කාන්තාවන් සිව් දෙනෙකුගේද හැදුනුම්පත් හමුවී ඇති අතර ඒවා ලැබුනු ආකාරය සොයා බැලීමටද කටයුතු කෙරේ.

මේ ස්ථානයේ කාලයක සිට ඉතා රහසිගතව ගබ්සාවන් කර ඇති බව පොලිසිය හෙලි කරගෙන ඇති අතර වසර දෙකකට ඉහතදී ගබ්සාවක් සදහා රුපියල් 6000 ක් අය කර ඇති බවද මෙ වනවිට දහ දහස් ගණනින් අය කරමින් මෙය පවත්වාගෙන ගොස් ඇති බවටද තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගැනනු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *