යහපාලන සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,000 ක වංචාවක්

(28.07.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

2016 – 2019 කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,059 ක මුදල් අවභාවිතයක් සිදුව ඇති බව අදාළ අක්‍රමිකතා පිළිබඳ සොයාබැලූ කමිටු වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා.

එම කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයාබැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස මීට පෙර කමිටුවක් පත් කළා.

පිටු 142 කින් සමන්විත එම කමිටු වාර්තාව අද (28) එහි සාමාජිකයින් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ, හිටපු අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරු කමිටුවට ඇතුළත් වුණා.

සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කමිටුව නිර්දේශ කර තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 400 ක් නිදහස් කිරීම, මහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ජංගම ගිණුම් 25 ක් පවත්වාගෙන යෑම, අවිධිමත් බඳවාගැනීම් මෙන්ම මුදල් රෙගුලාසි උල්ලංඝනය කර සිදුකළ මිලදීගැනීම් සම්බන්ධයෙන්ද කමිටු වාර්තාවේ තොරතුරු ඇතුළත්.

ඒ අනුව නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීමේ සහ තැන්පතු පොලී ආදායම අහිමිවීමෙන් සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 2,608 ක්. නීත්‍යානුකූල අනුමැතියකින් තොරව ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753 ක්ද, සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී රුපියල් මිලියන 48 ක අලාභයක්ද සිදුව ඇති බව කමිටුව අනාවරණ කරනවා.

2016 – 2019 කාලසීමාව තුළ පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීතිවිරෝධීව වෙනත් කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,266 ක්.

අපේගම ව්‍යාපෘතියේ දේපළ පැවරීමේදී රුපියල් මිලියන 8 ක අලාභයක් සිදුව ඇති අතර, විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර සහ ප්‍රදාන ලෙස රුපියල් මිලියන 2,316 ක මුදලක්ද අවභාවිත වී ඇති බව අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් වාර්තාවේ සඳහන්.

බඳවාගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවාගැනීම් සඳහා වැටුප් දීමනා ලෙස පමණක් රුපියල් මිලියන 3,060 ක මුදලක් වැය කර තිබෙනවා.

කමිටු වාර්තාවෙන් වැඩිදුරටත් හෙළිව ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන්ද නීතිවිරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති බවයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්ථාවර ගිණුමෙන් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කරගෙන ඇති මුදල රුපියල් මිලියන 400 ක්.

2019 වසර පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට පසුගිය වසරේ නොවැම්බර් 15 වනදා අධ්‍යක්‍ෂ මණ්ඩලයක් කැඳවා ඇති අතර, එහි නීත්‍යානුකූල භාවය පිළිබඳව ගැටළු මතුව ඇත්තේ සහභාගි නොවූ සාමාජිකයන්ගේ අත්සන්ද ඊට ලබාගෙන තිබීම හේතුවෙන්.

ඒ අනුවයි 2016 – 2019 කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇති මූල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව නිර්දේශ කර ඇත්තේ.

+++++++++++++++++++++

(28.07.2020 – 18:27 +0530 – lankaleadnews.com)

2016 සිට 2019 දක්වා ඇමතිවරුන් දෙදෙනකු යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රු. මිලියන 11,059 ක් අවභාවිතා කොට ඇති බවට ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව විසින් වාර්තාවක් අගමැතිවරයාට බාර දී ඇත.

ඊට අමතරව මීට පෙර තනතුරු නොමැතිව දේශපාලන උවමනාව මත රැකියාවලට බඳවාගන්නා ලද එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් වසරකට රු. මිලියන 7,000 ක් වැය වන බව හෙළිවිය ෴

+++++++++++++++++++++

***************************************

ETF පොලිය පහළට

(29.07.2020 – 08:10 +0530 – hirunews.lk/sinhala)

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා පසුගිය වසර වෙනුවෙන් ගෙවන පොලිය සියයට 8 දක්වා පහත දමා තිබෙනවා.

2018 වසරේ එය සියයට 9 ක්ව පැවති අතර, රජයේ පොලී අනුපාතිකයන්ගේ වෙනස්වීම මීට බලපා ඇති බවයි එහි සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න මහතා සඳහන් කළේ.

ලක්ෂ විසි පහක් (25) පමණ මෙම අරමුදලේ සාමාජිකත්වය දරණ අතර, අරමුදල මේ වනවිට රුපියල් බිලියන 300 ඉක්මවා තිබෙනවා.

කෙසේ වෙතත් ‘ඊ.ටී.එෆ්. සුරැකීමේ සේවක සංගමය’ පෙරේදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ මෙතරම් විශාල අරමුදලක පරිපාලන කටයුතු සිදු කෙරෙන සාමාන්‍යාධිකාරි තනතුර වසර 15 ක් තිස්සේ පුරප්පාඩුව පවතින බවයි ෴

***************************************

පමුණුගම දී සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට

(29.07.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

පමුණුගම – උස්වැටකෙයියාව ප්‍රදේශයේදී මත්පැන් සහ එතනෝල් ස්ප්‍රීතු සමඟින් සුරාබදු නියාමකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (29) අලුයම සිදුකළ වැටලීමේදී මොවුන් නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනාගාරයකින් රැගෙන යමින් තිබූ මත්පැන් මිලිලීටර් 180 බෝතල් 50 ක් සහ එතනෝල් ස්ප්‍රීතු බෝතල් 5 ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 23 වන දා ද පුත්තලම කලපුව ආසන්නයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සුරාබදු නියාමකවරයෙක් ඇතුලු අටදෙනෙකු (8) අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට දාන්න හැදූ පාර්සලය

(29.07.2020 – 09:12 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට නීතිවිරෝධී ලෙස දැමීමට සූදානම් කර තිබූ පාර්සලයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පාර්සලය තුළ තිබී හෙරොයින්, දුරකතනයක්, එම දුරකතනයේ බැටරය හා චාජර් එක සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙම සැකකරු බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

***************************************

තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම අනිද්දා (31) ඇරඹේ

(29.07.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව නතර කෙරුණු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සිය රට ගෙන්වීමේ කටයුතු අනිද්දා (31) සිට යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි සිට මෙරටට පැමිණීමට නියමිත බවයි ෴

***************************************

ජනාධිපති කොමිසමෙන් මාධ්‍යට නියෝගයක්

(29.07.2020 – 09:32 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ සමය අවසන් වන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමෙන් පසු, ඉන් පිටතට පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අත්හිටුවන ලෙස මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය දී ඇති බව වාර්තා වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පසුගිය දා ජනාධිපති කොමිසම වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේ මැතිවරණ සමය අවසන් වන තෙක් සාක්ෂිකරුවන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ සලකා බලන ලෙසය.

විශේෂයෙන් මැතිවරණ සමයේදී කොමිසම වෙත පැමිණෙන සාක්ෂිකරුවන් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හේතුවෙන් අපේක්ෂකයින්ට අගතියක් සිදුවන බව මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී තිබුණි.

ඒ පිළිබඳ ව අවධානය යොමු කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මාධ්‍යවේදීන් වෙත දැනුම් දී ඇත්තේ කොමිසම තුළ සාක්ෂිකරුවන් සිදුකරන ප්‍රකාශ ‍මාධ්‍ය වෙත මුදාහැරීමට බාධාවක් නොමැති බවය.

කෙසේවෙතත් කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටතට පැමිණ සාක්ෂිකරුවන් විසින් මාධ්‍ය වෙත සිදුකරන ප්‍රකාශ ලබා ගැනීමෙන් වළකින ලෙස ඔහු වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමට ද සභාපති විනිසුරුවරයා පියවර ගෙන ඇති බව සඳහන් වේ ෴

***************************************

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට සාකච්ඡා

(28.07.2020 – 22:37 +0530 – sinhala.adaderana.lk)

විශේෂ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුව (Reserve Bank of India) සමග දැනට සාකච්ඡා කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර, දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට පසුගිය දා එළඹිණි.

එගින් මෙරටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ.

“ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි අරමුණ වූයේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක් සුරක්ෂිත කර ගනිමින්, ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීමයි. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක බාහිර ආර්ථික පරිසරයට ප්‍රධානම හේතුව වනුයේ කොවිඩ්-19 වසංගත තත්ත්වයයි”.

මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 400 ක් ප්‍රථමයෙන් මාස තුනක (3) කාලයක් සඳහා ලබා ගත හැකිය.

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල් වෙත පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුවෙහි කොන්දේසිවලට අනුකූලව, පසුව, මෙම මුදල් හුවමාරු පහසුකම වරකට තෙමස් (3) කාලපරිච්ඡේදයක් බැගින් දෙවරක් (2) නැවත ලබාගත හැකිය ෴

***************************************

සජිත් ට එරෙහිව චෝදනාවක්

(28.07.2020 – 22:26 +0530 – sinhala.adaderana.lk)

සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිව සිටියදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා ලබා දෙන බව පවසමින් තරුණ තරුණියන් විශාල පිරිසක් රැවටීමට ලක් කළ බව නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවූවන්ගේ සංගමය චෝදනා කළේය.

ඔවුන් පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට රැකියා ලබා දෙන බව පවසා සිය දේශපාලන වුවමනා ඉටුකරගන්නට උත්සාහ කළ බවය.

අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවූවන්ගේ සංගමයේ උප සභාපති මංගල සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙලෙස අසරණ වු පිරිස මේ වන විට ජීවත් වන්නේ දෙමාපියන්ගේ මුදල්වලින් බවය.

එහිදී අදහස් දැක්වු එම සංගමයේ කැඳවුම්කරු ප්‍රදීප් රොෂාන් ජයවර්ධන මහතා පැවසුවේ පත්වීම් ලැබුණු රැකියාව අනුව දෛනික වැටුප රු. 500 ක් බවත් ඒ අනුව මාසෙකට දවස් 30 ම වැඩ කළද රුපියල් දහ-දොළොස්දාහකට වැඩි වැටුපක් ලබාගත නොහැකි බවය.

***************************************

ජාවාරම් ගැන තොරතුරු දෙන්න විද්‍යුත් ලිපින දෙකක්

(28.07.2020 – 16:50 +0530 – sinhala.adaderana.lk)

විෂ මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සදහා විද්‍යුත් ලිපිනයන් හා ෆැක්ස් අංකයක් පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත.

ඊට අදාළ ව හඳුන්වාදී ඇති 1997 හා 1917 යන දුරකතන අංක දෙකට අමතරව මෙම විද්‍යුත් ලිපින හා ෆැක්ස් අංකය හඳුන්වාදෙන බව පොලිස් මූලස්ථානය පැවසීය.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1997@police.lk යන විද්‍යුත් ලිපිනයෙන් තොරතුරු ලබාදිය හැකි අතර අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා 1917@police.lk යන විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකිය.

මීට අමතරව 011 244 0440 ෆැක්ස් අංකයෙන් ද අදාළ තොරතුරු ලිඛිතව ලබාදිය හැකි බවද පොලිස් මූලස්ථානය පැවසීය ෴

***************************************

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් උද්ඝෝෂණයක්

(29.07.2020 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා.

ඒ සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම සහ වසර කිහිපයක සිට වැටුප් වැඩි නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ෴

***************************************

මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනා (2) අධිකරණයට භාර වෙයි

(29.07.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

වරෙන්තු ලබා සිටි, මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද (29) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවී තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකුට ශීතකරණයක් ඇතුළු පහසුකම් ලබාදීමේ චෝදනා මත මොවුන් සහ තවත් නිලධාරීන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට පසුගිය 22 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.

ඒ අනුව, එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබූ කාලිංග කළුඅග්ගල ද පසුගියදා අධිකරණයට භාර වූ අතර, පසුව නියෝග කෙරුණේ සැකකරු අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි ප්‍රදීප් අනුරුද්ධ සම්පායෝ මේ වනවිට අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එය ලබන මස 5 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි ෴

***************************************

වරාය සේවකයින් අදත් විරෝධතාවයක

(29.07.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරිය මගින් ආරම්භ කරන ලෙසට බලකරමින් එහි සේවකයින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.

වරාය අධිකාරියේ ලෝඩන් බැස්ටියන් හෙවත් එල්.බී. දොරටුව ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වෙන බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

දහවල් කෑම පැයේ මෙම විරෝධතාවය සිදුකිරීමෙන් අනතුරුව වරාය වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට නියමිතයි ෴

***************************************

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ ගිණුමකින් පහලොස් ලක්ෂයක් මුදා හරින්නැයි අධිකරණ නියෝගයක්

(29.07.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ‘පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ’ තත්කාලින දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් 15,08,000 මුදලක් එම සමාගෙමේ මුදල් අයෝජනය කළ කාන්තාවක් වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) මහ බැංකු අධිපතිවරයාට නියෝග කළා.

මෙම කාන්තාව නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තමන් විසින් අදාළ සමාගමේ සිදුකළ ආයෝජනය වෙනුවෙන් මෙම මුදල ලාභාංශ ලෙස ලැබීමට නියමිතව තිබූ බවයි.

මේ අතර පර්පචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අධිකරණයට හමුවේ පෙනී සිටිමින් මෙම ආයෝජිකාව විසින් ආයෝජනය කළ මුදල් කල් පිරී තිබේ නම් එය මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බව සිය නීතිඥවරයා මාර්ගයෙන් කියා සිටියා.

ඒ අනුව අදාල මුදල මෙම කාන්තාවට ගෙවන ලෙස මහ බැංකු අධිපතිවරයාට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යලි කැදවන නොවැම්බර් මස 12 වනදා බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට නියෝග කළා ෴

***************************************

රාජාංගනයේ තැපැල් ඡන්ද විමසීම සාර්ථකව සිදුවේ

(29.07.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ තාවකාලිකව අත්හිටවූ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද විමසීම මේ වනවිට සාර්ථකව සිදුකරමින් පවතිනවා.

පෙරවරු 9 ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර පස්වරු 4 ට එය අවසන් වීමට නියමිතයි.

මෙවර මහමැතිවරණයට අදාළව රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පසුගිය 13 වනදා සිට දින 7 ක කාලයක් වෙන් කෙරුණු නමුත්, කොරෝනා ව්‍යාප්තියත් සමඟයි රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමුණේ.

රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී මෙම තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුකෙරෙනවා.

මේ අතර, සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එහි කොමසාරිස් ජනරාල් සමන් රත්නායක කොවිඩ් 19 වෛරසය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඊයේ (28) පැවති රැස්වීමකදී මේ බව ලිඛිතව දැනුම් දෙනු ලැබුවා.

***************************************

පාතාලය මර්දනය කරනවා – ජනපති කියයි

(29.07.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ක්‍රියාත්මක පාතාල කණ්ඩායම් මුළුමනින්ම මර්දනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ප්‍රදේශ කිහිපයක ඊයේ (28) පැවති ජනහමු කිහිපයකදී ජනතාව යොමුකළ ගැටලුවලට පිලිතුරු දෙමින්.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

10 වන ශ්‍රේණිය දක්වා පාසල් ආරම්භ කෙරෙන කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

(29.07.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට ලබන 10 වනදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, ඊට අදාළ කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සිසුන් පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ෴

***************************************

කේ. මතිවානන් ක්‍රිකට් උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(29.07.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව කේ. මතිවානන් මහතා ප්‍රකාශ කළා.

වසර 15 ක් ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ තමන් සම්බන්ධයෙන් කිසිදු සැළකිල්ලක් වත්මන් ක්‍රිකට් පරිපාලනය නොදැක්වූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ෴

***************************************

අනවසර ඉදිකිරීමක් හේතුවෙන් ගොවි පවුල් 3000 කට පීඩා

(29.07.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

අඹේවෙල ව්‍යාපාරයේ වැව් ජලයෙන් පෝෂණය වන බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ මැතිවරණ කොට්ඨාසයේ ගොවි පවුල් ගණන 2000 ක් පමණ වනවා.

වසර පුරා අක්කර තුන් දහසක (3000) පමණ වී, අර්තාපල් මෙන්ම උඩරට එළවළු වර්ග වගා කිරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයයි.

ඒ සඳහා ප්‍රධාන ජල මූලාශ්‍රය බවට පත්ව තිබෙන්නේ හීන් වැවයි.

ප්‍රධාන ජලාශයෙන් ජලය එන මෙම වාරි ඇල වැටී ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 6000 ක් පමන උසින් පිහිටි රක්ෂිතය මැදින්.

2011 වසරේදී මෙම කොටසේ අනවසර ඉදි කිරීමක් සිදු කරනු ලබන්නේ දේශපාලන බල අධිකාරියේ අදිසි හස්තය යොදවමින්.

කෙසේ වුවත් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ එම කටයුත්ත තාවකාලිකව නතර කෙරුණද එහි ඉදිකිරීම් යළි ආරම්භ වී ඇතැයි ගම්වැසියන් චෝදනා කරනවා.

ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ අදාළ අනවසර ඉදි කිරීම් හේතුවෙන් ගොවි පවුල් 3000 ක් දැඩි පීඩාවට පත්ව ඇති බවටයි.

ප්‍රදේශයේ ජනතා අවශ්‍යතා ඉටුකිරීම පසෙකලා ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයට පවා තර්ජනයක් එල්ල වී ඇති මෙම අනවසර ඉදි කිරීම් නතර කිරීමට බලධාරීන් පියවර ගන්නේ කවදාද?

ගොඩ-මඩ දෙකට ජලය සපයා ප්‍රදේශයේ ජනතාව ස්වයංපෝෂිත කරන හීන්වැව සහ ඒ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශය ආරක්ෂා කිරීමට බලධාරීන්ගේ දෑස් විවරවනතුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *