ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය ඉල්ලයි..

(28.07.2020 – 06:32 +0530 – lankacnews.com)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැලයක් බැගින් සිටුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පරිසරවේදීන් ඉදිරියේ පොරොන්දුවක් ලබා දෙන ලදී. ඒ මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේ ශ්‍රී ජයවර්ධන පුර ‘දියසරු උයණේ දී’ පැවති ‘හරිත හෙටක් – මනාපයට පැලයක්’ ප්‍රතිඥාව පරිසරවේදීන් වෙත ලබා දීමේ වැඩසටහන හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා :

“මැතිවරණ තමයි පරිසරයේ මාරයා බවට පත්වෙලා තියෙන්නේ. පරිසර ඇමතිවරු පරිසර අධිකාරි වල හිටපු සභාපතිවරු මැතිවරණයට බැස්සහම පරිසරය අමතක වෙනවා. කාලයක් පොලිතීන් ටොන් ගණනින් පරිසරයට එක් වුණා. පෝස්ටර් කෝටි ගණනින් පරිසරයට එකතු වුණා. අපි දන්නවා පෝස්ටර් එකක ආයුකාලය පැය කීපයයි. නැතිනම් දින කිහිපයයි. ඒ නිසා එක හදන්නේ ඉතාම බාල තීන්ත භාවිතයෙන්. වැසි කාලෙට මේ පෝස්ටරේ තියෙන විෂ රසායණික පරිසරයට එකතු වෙනවා. ලක්ෂ ගණනින් ගස් කැපෙනවා පෝස්ටර් තැනීම සඳහා. රතිඥා හරහා ශබ්ද දූෂණයක් විතරක් නෙවේ එහි අඩංගු විෂ ද්‍රව්‍යත් පරිසරයට එකතු වෙනවා. මේ සියල්ල ම නිසා මැතිවරණ කාලයේ පරිසරය දුෂණයවී දැවැන්තම විනාශයක් සිදුවෙනවා.

ඒ වගේම මෑත කාලේ අලුත් සංස්කෘතියක් එකතු වුණා පරිසර විරෝධී මැතිවරණ ව්‍යාපාර තුළ. ඒ තමයි රථ පෙළපාලි යාම. ලොක්කෙක් කියලා දැනෙන්න නම් විශාල වාහන ප්‍රමාණයක් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ තිබියයුතු යැයි අපේක්ෂකයන් කල්පනා කරනවා. එවිට මා තනි වාහනයෙන් තනියම පැමිණෙන කොට මා වට කරගෙන පිරිසක් නැති උනාම බොහෝ දෙනෙක් අහනවා ඔහොම ආවහම ‘ෂෝ එකක්’ නෑ නේද? පිරිස් බලයක් පෙනෙන්නෙ නෑ නේද ? කියලා. නමුත් වාහන විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීමෙන් පරිසරයට කාබන් විමෝචනය වීමෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳ මේ අයට කිසිම අවබෝධයක් නැති බව පේනවා. එනිසා මැතිවරණ ව්‍යාපාරයක් තුළ වාහන වල සිදුවන ඉන්ධන දහනයෙන්, පෝස්ටර් පත්‍රිකා මුද්‍රණය කිරීමට භාවිතා වන විදුලිය ජනනය කිරීම සදහා ගල් අගුරු භාවිතයෙන්, ඩීසල් යනාදිය භාවිතයෙන්. සිදුවන කාබන් විමෝචනය නිසා පරිසරයට දැවැන්ත හානියක් සිදුවෙනවා. මේ පරිසරයට මුදාහරින කාබන් උරා ගැනීමේ හැකියාව තියෙන්නෙ ගස් වැල් වලට විතරයි. මේ පාර්ලිමේන්තු මැතිවරණය තුළ සිද්ද වෙන දැවැන්ත පරිසර හානිය සමනය කරගැනීම සඳහා අපට තිබෙන හොඳම විසඳුම පරිසරය වෙනුවෙන් හැකි පමණින් ගස් වගා කිරීම පමණයි. පැලයක් එකතු කිරීම පමණයි.

මේ පිළිබඳ යම් සංකල්පයක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා. අපි අමතක කරන්න නරකයි 2009 පළාත් සභා මැතිවරණයේදී පෝස්ටර් පොලිතීන් රතිඤ්ඤා නැති මැතිවරණ ව්‍යාපාරයක් කරන බවට මම දළදා වහන්සේ ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස එදා මා දැක්ක පරිසර විනාශය ආදර්ශයෙන් නතර කළ යුතුයි කියන විශ්වාසය නිසා තමයි එදා මම පරිසර අධිකාරියේ සභාපති ධූරයෙන් ඉවත් වෙලා දළදා වහන්සේ ඉදිරියට ගිහිල්ලා ලිඛිත ප්‍රතිඥාවක් ලබා දුන්නේ මාගේ අනාගත කිසිම මැතිවරණයක පෝස්ටර් පොලිතීන් රතිඤ්ඤා භාවිතා කරන්නේ නැහැ කියලා.

අපේ ප්‍රතිඥාව අනුව පසුගිය පක්ෂ නායක රැස්වීමකදී පෝස්ටර් වලින් තොරව ජනාධිපතිවරණය කරන්න යෝජනා කරාම එක් දිස්ත්‍රික් නායකයෙක් කිව්වා ගම්මන්පිල ඇමතිතුමාගේ වැඩේ කොළඹට හොඳයි ගමට ගැළපෙන්නෙ නෑ. ගමට ‘ෂෝ එක’ නැත්තං ඡන්ද ටික එකතු කරන්න බෑ කියලා. නමුත් ජනාධිපතිතුමන්ගේ තෝරාගැනීම උනේ ‘ෂෝ එක’ නැතත් ඡන්ද නැතත් පරිසරය සුරැකීම වැදගත්. පරිසරය එක, මැතිවරණය දෙක කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරපු නිසා තමන්ගේ ඡන්ද අඩු වීමේ අවදානම අරගනිමින් එතුමා පෝස්ටර් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කිරීමට තීරණය කළා. එදා අපි කොළඹට ගෙනාපු ප්‍රතිපත්තිය අද ජාතික ප්‍රමිතිය බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා. ජාතියේ වාසනාවට මේ වන විට පරිසර හිතකාමී ගැඹුරු පරිසර සංකල්ප පිළිබඳ අවබෝධයක් තිබෙන කෙනෙක් මේ රටේ ජනාධිපති ධූරය දරනවා. ඒ නිසා මහාචාර්ය සරත් කොටගම මැතිතුමනි, මහාචාර්ය හේමන්ති රණසිංහ මැතිණියනි, සමන්ත ගුණසේකර මැතිතුමනි ඔබතුමන්ලා පරිසරය සුරැකීම පිළිබඳ මොනතරම් පර්යේෂණ කරන්න ඇද්ද? මොනතරම් වාර්තාවක් සකසන්න ඇද්ද? පරිසරයේ අධිකාරියේ ලාච්චු තුළ මෙවැනි වාර්තාවන් ගොඩගැහිලා ඇති. මේ එම වාර්තාවන් මහපොළොව යථාර්ථයක් බවට පත් කිරීමට අපට ලැබිල තියෙන ස්වර්ණමය අවස්ථාවයි.

අපි දැක්කා විල්පත්තු වනය රිෂාඩ් බදුර්දීන් විනාශ කරපු වෙලාවේ අපි ඔහු සමග සටනට බැස්සා. මම රූපවාහිනි විවාද දෙකක් රිෂාඩ් බදුර්දීන් සමග කළා තමන් විල්පත්තු වනයට හානියක් කළේ නෑ කියන මිත්‍යාව සමාජගත කරන්න උත්සාහ කරද්දී. දේශපාලකයන් බොහොම ජනප්‍රියයි කතා කරන්න. අද අවශ්‍ය වන්නේ කතාව නොව ක්‍රියාවයි. පරිසරය සුරැකීමට ප්‍රතිඥා දීමට වඩා වැදගත් වන්නේ සැබැවින්ම පරිසරය සුරැකීමයි. ඒ නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මා බලාපොරොත්තු වෙනවා ජනතාව මට ලබා දෙන සෑම මනාපයක් වෙනුවෙන්ම එක් පැලයක් ගානේ පරිසරයට එකතු කරන්න. මට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ලබා දෙන මනාප ගණන ලක්ෂ තුනක් නම් ඉදිරි වසර 5 තුළදී ලක්ෂ තුනක් නව පැළෑටි රෝපණය කිරීමේ ප්‍රතිඥාව අද ලබා දෙනවා.

මනාපයට පැලයක් ප්‍රතිඥාව

මාගේ දේශපාලන දිවියේ ආරම්භයේ සිටම පෝස්ටර්, පොලිතීන් සහ රතිඤ්ඤා වලින් තොරව, රථ පෙළපාලි නොමැතිව, පරිසර හිතකාමී ප්‍රතිපත්තීන්ට අනුව යමින් පැවැත් වූ ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාර වල අද්විතීය පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් අප වන්දනීය දෙරණ තලය මත ක්‍රියාත්මක වන කාබන් විමෝචන ක්‍රියාවලිය අවම කරනු වස්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මා විසින් ලබා ගන්නා සෑම මනාපයක් සඳහාම පැලයක් මාතෘ භූමියට දායාද කර සැමට ආදර්ශයක් ලබා දෙන බවට වර්ෂ දෙදහස් විස්සක් වූ ජූලි මස විසිහත් වන අද දින, මෙහි රැස්ව සිටින සම්භාවනීය පරිසරවේදීන් ඉදිරියේ ප්‍රතිඥා දෙමි.

එතැනින් නොනැවතී අද දින ආරම්භ වන හරිත හෙටක් ජාතික ව්‍යාපාරය හරහා මාගේ පරිසර හිතකාමී ප්‍රතිපත්තීන් මහ පොලොව මත යථාර්ථයක් කිරීමටත්, ඒ හරහා මිහිමව ගේ තවත් දරු පිරිසක් වන වෘක්ෂ ලතා, ගංඟා, ඇළ දොළ, මහා සමුදුර මෙන්ම අහිංසක සතා සිව්පාවා වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිමින්, හඬක් නැති ඔවුන්ගේ හඬ බවට පත් වීමටත් මම ප්‍රතිඥා දෙමි!”

පාහියන්ගල ආනන්ද සාගර හිමි :

“අද ඉතාම වැදගත් දිනයක්. ඡන්ද ව්‍යාපාර අතර මේ වෙනකොට පරිසරය විනාස කරන ආකාරයේ මැතිවරණ ව්‍යාපාර ගණනාවක් සිදුවෙමින් පවතිනවා. ඒ අතර උදය ගම්මන්පිල මහතා මේ කරන ව්‍යාපෘතිය සම්බන්ධව අප ඉතාමත් අගය කරනවා. ප්‍රශංසා කරනවා. මට කියන්න තියෙන්නේ මේ ප්‍රතිඥාව වෙන කෙනෙක් කළාට ඒකෙ වලංගුභාවයක් නෑ. නමුත් අපි උදය ගම්මන්පිල මහත්මයගේ මේ භාවිතාව ඇතුළෙ දැක්කා දේශපාලනය පැත්තකින් තියල මහපොළොව වෙනුවෙන්, හුස්ම ගන්න පරිසරයක් වෙනුවෙන්, එතුමා ඉතාමත්ම කැපවීමෙන් වැඩ කළා. ඒකට ආගමක් පක්ෂයක් දේශපාලනයක් කිසිම දෙයක් බලපෑවේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම එතුමා මතක් කරපු නිසාම මම එක් කාරණාවක් පැහැදිලි කරන්නම්, විල්පත්තු රක්ෂිත වනාන්තර පද්ධතිය විනාශය සම්බන්ධව එතුමා බොහොම ඕනෑකමින් ඒ පිළිබඳ තොරතුරු හොයලා ගැසට් ගෙනල්ලා ඒවා ඉතාමත්ම විධිමත්ව පරිගණක ගත කරලා ඒ සම්බන්දයෙන් අදහස් සැක්වූවා. ඇත්තටම දේශපාලන නායකයෙක් පරිසරයක් සම්බන්ධව සංවේදී භාවයෙන් අදාල තොරතුරු ඉතාම හොඳින් ලබාගෙන පරිසරවේදීන් අරගෙන එහෙම කටයුතු කරනවා අපි දැකලා නැහැ. අපි විල්පත්තු වන සංහාරයට එරෙහිව ගෙනාපු සටනට දේශපාලනඥයෙක් හැටියට එතුමා දැක්වූ දායකත්වය ඉතාමත් වටිනවා. ඒක දේශපාලනයට එහා ගිය කාර්යයක් හැටියට අපි දකිනවා. ඒ නිසා තමයි අපි එතුමාගේ මේ වේදිකාව ඇතුලේ දේශපාලනයකින් තොරව එතුමාගේ පරිසර ව්‍යාපෘතිය පිළිබඳ ඇවිත් බය නැති අපිට හිට ගන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන්නේ. මම ජනාධිපතිතුමාගෙන් පෞද්ගලික ඉල්ලනවා උදය ගම්මන්පිල මහත්මයාට පරිසර අමාත්‍යාංශය දෙන්න. මොකද අපිට සටනක් නැතුව පරිසරය වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන්.

මහාචාර්ය සරත් කොටගම මහතා :

“ගම්මන්පිල මහත්මයා ගැන මම හොඳට දන්නවා. මට විවෘතව කියන්නට පුළුවන් එන්නත් කලින් ඒ මනාපය දීලා තියෙන්නේ ඒ නිසා ගහක් හිටවනවා බලාගෙනයි ඉන්නේ දැන්. මගේ බලාපොරොත්තුව නම් ඔබතුමා ඉදිරි රජය තුළ පරිසර ඇමති වෙයි කියන එකයි. එහෙම නැතුව මේ ප්‍රශ්න විසඳන්න බෑ. ප්‍රතිපත්ති තියෙනවා. අපට පත පොතෙන් සහ අපේ විද්වතුන් සකස් කරපු භෞතික සැලැස්මක් මේ රට වෙනුවෙන් තියෙනවා. ඒක සමාජ විවේචනයට කොතෙක් දුරට ලක් වුණාද කියන එක තමයි මේ වන විට ගැටලුවක් වෙලා තියෙන්නෙ. විවේචනය හරියට සිදු කර ගත්තොත් අපට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ හරියට යන්නට පුළුවන්. මොකද ලෝකය වේගයෙන් වෙනස් වෙනවා.

විවිධ අගමැතිතුමන්ලා ජනපතිතුමන්ලා සමග සම්බන්ධ වෙලා කටයුතු කරපු පුද්ගලයෙක් විදිහට මම දකිනවා අද අපට ලොකු හයියක් තියෙනවා. විෂය තේරෙන ජනාධිපතිකෙනෙක් ඉන්නවා. එතුමත් එක්ක මේ ගමන යන්න පහසු වෙනවා කියන එකයි මගේ විශ්වාශය. මොකද එතුමා දැඩි තීරණ ගන්න පුළුවන් අවශ්‍යතාව අනුව ක්‍රියා කරන්න පුළුවන් පුද්ගලයෙක්.

විශේෂයෙන්ම ඔබ තුමන්ට මනාප වැඩියෙන් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ හිටවන පැල සියල්ලම යම්කිසි අරමුණු සහගතව හිටවන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

මහාචාර්ය හේමන්ති රණසිංහ, ජේෂ්ඨ පරිසරවේදී සමන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවේදී අදහස් දැක්වූව. මෙහිදී තරුණ පිරිස් විසින්ද මනාපයට පැලයක් ප්‍රතිඥාව සිය ජංගම දුරකථන හරහා ලබා දෙමින් සමාජ ජාල වෙත එක්කිරීම සිදු කරන ලදී.

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

25-07-2020

+++++++++++++++++++++

26-07-2020

+++++++++++++++++++++

27-07-2020

+++++++++++++++++++++

28-07-2020

***************************************

වන අලි ප්‍රහාරයට ලක්වූ කථිකාචාර්යවරියට සැත්කමක්

(28.07.2020 – 11:34 +0530 – hirunews.lk/sinhala)

වන අලි ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ තාක්ෂණික අංශයේ කථිකාචාර්යවරිය අද (28) සැත්කමකට භාජනය කර තිබෙනවා.

32 හැවිරිදි වියේ පසුවන ගයත්‍රි දිල්රුක්ෂි නම් ඇය පසුගිය දා කිලිනොච්චිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ අතර, පසුව යාපනය දිස්ත්‍රික් මහරෝහල වෙත මාරු කර යැවීමටයි කටයුතු කෙරුණේ.

කෙසේ වෙතත්, පසුව ගුවන් මගින් ඇය කොළඔ ජාතික රෝහල වෙත රැගෙන එනු ලැබුවා ෴

***************************************

විමල් විරවංශගේ ඇස් උඩ ගියේ ඇයි

(28.07.2020 – 11:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පොලිසිය සිංහල මිනිස්සුන්ට එක්විදියකටත් මුස්ලින් මිනිසුන්ට තවත් විදියකටත් සලකන බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී විජිත හේරත් පිටරටකදී කළ ප්‍රකාශය දකින විට තමාගේ ඇස් උඩ ගිය බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා

ඔහු මෙම අදහස් පැවසුවේ ‘හිරු ටී.වී සලකුණ’ දේශපාලන සාකච්ඡාවට එක්වෙමින්.

විජිත හේරත් මෙම ප්‍රකාශය කරන්නේ දෙමළ ඩයස් පෝරාවට බවද ඔහු පවසනවා.

“සිංහල මිනිසුන් මාර්ග නීති කඩකාලාම අතහරිනවා. මුස්ලින් මිනිසුන් මාර්ග නීති කඩකලාම වදදෙනවා” යනුවෙන් විජිත් හේරත් ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව කරන ලද එම ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍යයක් බවත් බොහෝ වෙලාවට සිදුවන්නේ එම කාරණයේ අනිත් පැත්ත බවත් විමල් විරවංශ මහතා පවසනවා.

පසුගිය ආණ්ඩුව සමයේ ඇතම් මුස්ලින් ප්‍රදේශවල ජනතාව හෙල්මට් නොමැතිව යතුරු පැදිවල ගිය ආකාරයද අමාත්‍යවරයා මෙහිදී මතක් කළා

මිට අමතරව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට එළබෙන් ආණ්ඩුවක කිසිදු ඉඩක් නොලැබෙන බවද විමල් විරවංශ මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ ප්‍රකාශ :

+++++++++++++++++++++

***************************************

එජාප, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 110 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(28.07.2020 – 12:29 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයට සහය පළ කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද (28) රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගෙන ඇති බව සදහන්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනාට අමතරව ප්‍රාදේශීය සභා නියෝජිතයින් 56 දෙනෙකුගේ ද පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත්තේ ෴

***************************************

දිගම්බරම් කියන්නේ කවුද ? – ජීවන් තොණ්ඩමන් අසයි

(28.07.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයෙන් පසු වතුකරයේ බලය තියෙන්නේ කාටදැයි බලාගත හැකි බව ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

එලබෙන මහ මැතිවරණය සඳහා තරග කරණ ජීවන් තොණ්ඩමන් මහතා අස්ගිරි නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනිමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය විමසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පැවැසුවා.

වතුකරයෙන් තරග වදින දිගම්බරන් මහතා අභියෝගයක් නොවේදැයි මාධ්‍ය මෙහිදී විමසුවා.

ඊට පිළිතුරු දෙමින් ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ දිගම්බරන් යනු කවුරුන්ද යන්නයි.

තමා බලයට එන්නේ රජුන් තනන්නට නොව ජනතාවට සේවය කිරීමට බවද ඔහු සඳහන් කළා.

***************************************

‘මැල්වත්තේ මංජු’ නමැත්තාගේ ගෝලයෙකු අත්අඩංගුවට

(28.07.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

ටී 56 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 22 ක් සහ මැගසීනයක් සමඟ 52 හැවිරිදි සැකකරුවෙකු කුරුණෑගල – වැල්ලව – නිකදළුපොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මැල්වත්තේ මංජු’ නමැත්තාගේ ගෝලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

සනත් නිශාන්ත මැතිවරණ නීති උල්ලංඝණය කරමින් හැසිරුණු සිද්ධිය ගැන වැඩබලන පොලිස්පති වාර්තාවක් කැඳවයි

(28.07.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ලියාපදිංචි නොකළ යතුරුපැදිවල නැග හිස් වැසුම් නොමැතිව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා, වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ පළ වී මීට අදාළ ඡායාරූප පිළිබදව පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවයි ෴

***************************************

සහරාන්ගේ ත්‍රස්ත ක්‍රියා ගැන පසුගිය වසරේ ආරක්ෂක කවුන්සිලය දැනුවත් කළා – රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ හෙළිකරයි

(28.07.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව පසුගිය වසරේ ජනවාරි මාසයේදීම ජාතික ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කර තිබු බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදීත් ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩව ක්‍රියාත්මක නොවු බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (27) පළමුවරට සාක්ෂි දුන් අතර සාක්ෂි විමසීමේ පළමු පැය 3 ක පමණ කාලය මාධ්‍යයට විවෘත වු‍ණේ නැහැ.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන පැවසුවේ තමා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව සිටි 2015 මාර්තු මස 03 සිට 2019 මැයි මස 31 දක්වා වූ කාලය තුළ ආරක්ෂක ලේකම්වරයාට බුද්ධි හා විවිධ තොරතුරු ඇතුළත් වාර්තා 2738 ක් යවා ඇති බවයි.

එසේම පොලිස්පතිවරයාට වාර්තා 2343 ක්, ජාතික බුද්ධි ප්‍රධානියාට වාර්තා 925 ක්ද යොමුකළ බව සාක්ෂිකරු පැවසුවා.

2017 මාර්තු මස 10 වන දින සිදුවු ආලියාර් ගැටුමෙන් පසු සැඟව සිටි සහරාන් හෂිම් දිගින් දිගටම අයි.එස්. මතවාදය සාධාරණිකරනය කිරීම හේතුවෙන් ඔහු අන්තවාදියෙකු නොව සැබැවින්ම ත්‍රස්තවාදියෙකු බව තමන් ජාතික ආරක්ෂක කවුන්සලයට ලිබිතව හා වාචිකව දැනුවත් කර තිබු බව නිලන්ත ජයවර්ධන මෙහිදි අනාවරණය කළා.

“මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න නැත්නම් විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා” යැයි තමන් ආරක්ෂක කවුන්සලය දැනුවත් කරමින් සඳහන් කළ බව ඔහු වැඩිදුරත් පැවසුවා. එමෙන්ම 2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවු මාවනැල්ල බුදු පිළිම කැඩීම අන්තවාදී ක්‍රියාවක් බව තමන් ජාතික ආරක්ෂක කවුන්සලය දැනුවත් කළ බවද සාක්ෂිකරු සඳහන් කළා.

සාක්ෂිකරු වැඩිදුරටත් අනාවරණය කළේ මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට සහ වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියට සහරාන් හෂිම් සම්බන්ධ බව පසුගිය වසරේ ජනවාරි මාසයේ දී ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කළ බවයි.

කෙසේ වෙතත් තමන් සැපයු වාර්තා වලට කිසිදු සාධනිය ප්‍රතිචාරයක් නොලැබුනු බව ඔහු කොමිසමට පැවසුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ලබාදෙන විටත් සහරාන් හෂීම් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියේදැයි ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළා.

සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන පැවසුවේ සහරාන් හෂිම් යනු අයි.එස්. මතවාදය වෙනුවෙන් පෙනී සිටින ත්‍රස්තවාදියෙක් බව තමන් පැහැදිලිව දැන සිටි බවයි.

එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ සහරාන් නොයෙක් ප්‍රදේශවල සැරිසරමින් අයි.එස්. මතවාදය ප්‍රචාරණය කරන බව ඔබ දැන සිටියේද යන්නයි.

සහරාන් හෂිම් එවැනි ක්‍රියාකාරකම් වල යෙදි සිටින බව පමණක් නොව ඔහු කැකුණුගොල්ල ප්‍රදේශයේ සැඟව සිටින බව තමන් වගකිව යුතු පාර්ශවයන්ට දැනුම් දී තිබු බවද සාක්ෂිකරු තවදුරටත් ප්‍රකාශ කළා.

මෙහිදි ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු ප්‍රශ්න කළේ එවැනි වටපිටාවක් තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ ඇයිද යන්නයි. නිලන්ත ජයවර්ධනගේ පිළිතුර වූයේ බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී තිබියදී විමර්ශන අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි.

වසර ගණනාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් කොළඹට ගහනවා යැයි කිසිදු සඳහනක් සිදුකර නොතිබූ පසුබිමක මෙවැනි තොරතුරක් ලබාදුන්විට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ නිලන්ත ජයවර්ධන මහතා අද (28) දෙවන දිනටත් සාක්ෂි ලබා දෙමින් සිටිනවා.

***************************************

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයින්ට එල්ල වූ ප්‍රහාරය, තානාපති කාර්යාලයේ අනුදැනුමකින් සිදුවූවක් නොවේ – කාර්යාංශයෙන් ප්‍රකාශයක්

(28.07.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් රැකියා අහිමි වී ජෝර්දානයේ සිර වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසකට එරට ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුම්සහගත සිද්ධියක් නොවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

ජෝර්දානයේ අල්ඛරාක් කර්මාන්තපුරයේදී ඊයේ (27) මෙම සිද්ධිය වාර්තා වූයේ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදීයි.

පසුව 350 කට ආසන්න මෙම පිරිස කලහකාරී ලෙස හැසිරීමත් සමඟ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ජෝර්දානයේ ආරක්ෂක අංශ කටයුතු කළා.

කෙසේ වෙතත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා කියා සිටියේ මෙම ප්‍රහාරය තම කාර්යාංශයේ හෝ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුදැනුම මත සිදුවූවක් නොවන බවයි.

කොරෝනා ගෝලීය වසංගතය හමුවේ විදෙස්ගතව සිටි පුද්ගලයින් 10 දෙනෙකු කටාර් සිට අද (28) පෙරවරුවේ මෙරටට පැමිණියා.

මේ අතර, ඊයේ (27) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2805 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා මර්දන කටයුතු ඇතුළු බෝවන රෝග මර්දන කිරීමේ කටයුතුවලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක නිරත වනවා. ඒ, අරලිය ගහ මන්දිරයේ දීයි.

මේ අතර මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති දරුණුතම ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වය කොරෝනා වසංගතය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පෙන්වා දී ඇත්තේ එබෝලා, සිකා, සාස් සහ සූකර උණ වැනි රෝග තත්ත්වයන් හීදී ප්‍රකාශයට පත් කළ ගෝලීය හදිසි අවස්ථාවලට වඩා කොරෝනා ව්‍යාප්තිය ඉහළ අවදානමක් ගන්නා බවයි.

***************************************

ජනපති තවත් විශේෂ තීරණයක් ගනී

(28.07.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ සම්පාදනයේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීමට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. බත්තරමුල්ල – තලවතුගොඩ ජන හමුවකදී මොරටුව ලී බඩු නිෂ්පාදකයින් පිරිසක් ඉදිරිපත් කළ ගැටළුවකට පිළිතුරු දෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ෴

***************************************

දේශීය ගොවියා ආරක්ෂා කිරීම සඳහා කහ ආනයන අත්හිටුවීමට තීරණය කර ඇති බව ජනපති කියයි

(28.07.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

කහ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. කුරුණෑගල – වීරඹුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ ඊයේ (27) පස්වරුවේ පැවති ජනහමුවකට එක්ව සිටි ජනතාව සමඟ කථාබහක නිරත වූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ කහ වගා කරන ගොවීන් ආරක්ෂා කරගැනීම එහි අරමුණ බවයි.

අනතුරුව ඊයේ (27) පස්වරුවේ දුම්මලසූරිය – නෙරළුගම ක්‍රීඩාංගණයේ පැවති ජනහමුකට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා.

පසුව පන්නල ප්‍රදේශයට යන අතරතුර ද මාර්ගයේ රැදී සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද සාකච්ජාවක නිරත වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජනහමු සඳහා එක්ව සිටිනවා.

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

රිෂාඩ්ගේ සහ කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් දෙපිරිසක්, වව්නියාවේදී ගැටේ – 5 දෙනෙකුට තුවාල

(28.07.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන්ගේ දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර, ඇති වූ ගැටුමකින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වව්නියාව – පූවරාසන්කුලම් ප්‍රදේශයේදී අදාළ ගැටුම හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් ද එම ස්ථානයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) රාත්‍රියේ 07:45 ට පමණ මෙම දෙපිරිස අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, පසුව ගල්මුල්වලින් සහ පොලු මුගුරුවලින් ප්‍රහාර එල්ල කරගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ඒ හේතුවෙන් තුවාල ලැබූ කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් 4 දෙනෙකු සහ රිෂාඞ් බදියුදීන්ගේ ආධාරකරුවෙකු (1) වව්නියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගැටුමෙන් කාදර් මස්තාන්ගේ ආධාරකරුවන් පැමිණි වාහන දෙකකට (2) ද අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ මේ වනවිට පූර්ව මැතිවරණ පැමිණිලි 5773 ක් සිය කොමිසම වෙත ලැබී ඇති බවයි.

එමෙන්ම නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 95 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් බෙදා හැරීම් සිදුකර අවසන් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.

මහ මැතිවරණයට ගම්බිම් බලා යන ජන්දදායකයන් වෙනුවෙන් එළඹෙන 31 වනදා සිට ලබන මස 10 වන දින දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා ෴

***************************************

‘පොඩි ලැසී’ගේ ගෝලයෙකු ගිනි අවි සමග අත්අඩංගුවට

(28.07.2020 – 14:43 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘පොඩි ලැසී’ නමැත්තාගේ සමීපතමයෙකු ඇල්පිටිය – කහදූව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ‘අනුර මල්ලි’ ලෙස හඳුන්වනු ලබන අතර, ටී 56 වර්ගයේ ගිනි අවියක්, කඩුවක් සහ විවිධ ප්‍රමාණයේ උණ්ඩ 8 ක් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම හා කොල්ලකෑම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ බවට කරුණු අනාවරණ වී තිබෙනවා ෴

***************************************

ලොකුළූණු වගා බිමක හඳුනා නොගත් දළඹු විශේෂයක්

(28.07.2020 – 14:47 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – ගලේවෙල ප්‍රදේශයේ ලොකුළූණු වගා බිමක හඳුනා නොගත් දළඹු විශේෂයක් සොයාගෙන තිබෙනවා.

කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දෙන්නේ ලොකුළූණු වගාවට මෙන්ම අනෙකුත් ශාකවලට ද මෙම දළඹුවාගෙන් තර්ජන එල්ල වන බවයි.

දඹුල්ල – ගලේවෙල – තෙන්නකෝන්පුර ප්‍රදේශයේ ලොකුළූණු වගාව තුළ හඳුනා නොගත් දළඹු විශේෂයක් ව්‍යාප්ත වී ඇති අකාරයයි මේ.

කහ පැහැයට හුරු මෙම දළඹු විශේෂය මීට දින දෙකකට පෙර තම වගාවෙන් හඳුනා ගත් බව එම ගොවි මහතා සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Parisara amaathyansaya ganna kaageth hitha kalewala thiyena watinaa gas kapaa ganeema saha aanduwe idam horata liyaagannema. Lankaawe deshapaaluwo ekekwath mama wiswaasa karanney natha. Oya hitawana paleawalata watura daanna kenek nae hitewwata pasuwa, emanisaa oya boru poronduwalin kisi waedak nae. Api dannawa ohoma porondu dunna ayage hati.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *