මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සාර්ථකව

(26.07.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රථම ළමා අක්මා බද්ධ කිරීමේ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඉතා සාර්ථකව සිදුකළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය නිවේදනය කළා.

දිවයින පුරා සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක සක්‍රිය දායකත්වයෙන් මෙම බද්ධ කිරීම සිදුකර තිබෙනවා.

ජීවී දායකයෙකුගේ අක්මා කොටසක් මෙලෙස බද්ධ කර ඇත්තේ සිරෝසිස් රෝගයට ගොදුරු වී සිටි 9 හැවිරිදි දරුවෙකුටයි.

මෙම ශල්‍ය කර්මය සිදුකිරීමට පැය 12 කට ආසන්න කාලයක් ගතවී ඇති බවද සඳහන්.

***************************************

IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන රෝහලට – සැඟවූ තොරතුරු බුද්ධි අංශ හෙළි කරගනී

(26.07.2020 – 12:15 +0530 – hirunews.lk/sinhala)

IDH රෝහලෙන් පැනගොස් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රෝහලට යොමුකර තිබෙනවා.

මේ අතර අයි.ඩී.එච්. රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිතයා ආගිය තැන් පිළිබඳ සියලු තොරතුරු බුද්ධි අංශ මගින් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව එම ස්ථානවලට ගොස් අවශ්‍ය පියවර ගැනීම මේ වනවිටත් සිදුකරමින් පවතින බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙම සිද්ධියෙන් පසු කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව දැඩි කිරීමටද පියවර ගෙන තිබෙනවා.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ කොරෝනා ආසාදිතයෙකු එම රෝහලෙන් පලාගියේ පෙරේදා (24) දිනයේදියි.

ඉන්පසුව ඔහු ජාතික රෝහලේදී යළි සොයාගැනුනු අතර, ඒ දක්වා පැමිණි ගමන් මග පිළිබඳව රෝගියා විසින් අනාවරණයක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණවලදි හෙළිවූයේ පැනගිය ආසාදිතයා සිය ගමන් මග පිළිබඳව ලබාදී තිබූ තොරතුරු සාවද්‍ය බවයි.

එමෙන්ම විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම යළි ආරම්භ කරන බවද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (25) පැවති ආගමික උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඊයේ (25) දිනයේදී ආසාදිතයන් හයදෙනෙකු (6) හඳුනාගැනීමෙන් පසු මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 2770 ක් ලෙසයි.

එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ පුද්ගලයන් 25,826 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර එළඹෙන මහ මැතිවරණයෙන් පසු ලබන අගෝස්තු 10 වනදා සියලූ රජයේ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සම්පූර්ණයෙන් විවෘත කිරීමට සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පුද්ගල දුරස්ථභාවය අනුව පන්ති කාමර සකස් කිරීමට කටයුතු කර ඇති අතර, පාසල් තුළදී ඇතිවන සෞඛ්‍යමය පිළිබඳ ගැටළු අධ්‍යයනය කිරීම සඳහා පාසල් මට්ටමින් කමිටුව බැගින් පත් කිරීම පිළිබඳවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය මේ වනවිට යොමුව තිබෙනවා.

මේ අතර, යාපනය – ඓතිහාසික නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඊයේ (25) සිට ආරම්භ කෙරුණා.

***************************************

ETI තැන්පත්කරුවන්ගෙන් තවත් චෝදනාවක්

(26.07.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala)

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් ආයතනවල මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක (6) උපරිමයකට යටත්ව වන්දි මුදල් ගෙවීම ඊයේ (25) සිට ආරම්භ වුණා.

එහෙත් ETI තැන්පත්කරුවන් පවසන්නේ තවමත් ETI අධ්‍යක්ෂක මණ්ඩලය නීතිය හමුවට ගෙනවිත් නොමැති බවයි.

***************************************

ජාත්‍යන්තර මුහුදේ ගිනි ගනිමින් යාත්‍රාවක සිටි හලාවත ධීවරන් 6 ක් බේරා ගැනේ

(26.07.2020 – 12:42 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගිනි ගනිමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් 06 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමේ පුවතක් වාර්තා වුණා.

හලාවත ධීවර වරායට නාවික සැතපුම් දාහක (1000) පමණ දුරින් ජාත්‍යන්තර මුහුදේදී ගිනිගෙන ඇත්තේ බහුදින ධීවර යාත්‍රාවක්.

හලාවත සිට නාවික සැතපුම් දාහක (1000) පමණ දුරින් ජාත්‍යන්තර මුහුදේදී මෙලෙස මෙම බහුදින ධීවර යාත්‍රාව ගිනිබත් වූයේ පසුගිය 20 වනිදායි.

එම යාත්‍රාව හලාවත ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණා.

එය දුටු නාවික සැතපුම් 2 ක පමණ දුරින් තිබූ තවත් බහුදින ධීවර යාත්‍රාවක පිරිසක් මැදිහත්ව ගිනි ගනිමින් තිබූ යාත්‍රාවේ සිටි පිරිස මුදා ගැනීමට කටයුතු කළා.

මෙලෙස දිවි බේරා ගැනීමට හැකි වී තිබෙන්නේ හලාවත ඉරණවිල ග්‍රාමයේ ධීවරයින් 06 දෙනෙකුයි.

ඥාතීන් පවසන්නේ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් ඔවුන් දැඩි කම්පනයකට ලක්ව සිටින බවයි.

+++++++++++++++++++++

***************************************

අබලන්ව තිබූ මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු හදිසියේ අත්හිටැවේ

(26.07.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

අබලන්ව තිබූ මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු හදිසියේ අත්හිටවූ පුවතක් අපට හාලිඇල ප්‍රදේශයෙන් වාර්තාවුණා.

ගම්වාසීන් ප්‍රශ්න කරන්නේ සියලු කටයුතු සූදානම්ව තිබියදීත් එය අත්හිටුවන ලෙසට බලපෑම් කළේ කවුරුන්ද යන්නයි.

හාලිඇල උඩුවර 6 කණුව හවන් කැටිය හරහා කිරින්දට යන මාර්ගය පාගමනින්වත් යෑමට නොහැකි තරමට අබලන්ව පවතින්නේ වසර 20 ක පමණ සිටයි.

ගම්මාවසීන් තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් කිලෝ මීටර් 5 ක දුරින් යුක්ත මේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට පසුගියදා සියලු කටයුතු සුදානම් කෙරුණා.

වැඩ ආරම්භ කිරීමට දින කිහිපයකම පෙර කොන්ත්‍රාත්කරුවන්ද ගම්මානයේ නවාතැන් ගත්තා.

සුබ මොහොතින් මාර්ගයේ වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පසුගිය සිකුරාදායි.

නමුත් ගම්වාසීන් චෝදනා කරන්නේ ලැබුණු දුරකථන ඇමතුමකට අනුව මාර්ගයේ වැඩ කටයුතු අත්හිටුවන්නට අදාළ කොන්ත්‍රාත් සමාගම පියවරගත් බවයි.

කොන්ත්‍රාත්කරුවන් පැවසුවේ ප්‍රතිසංස්කරණය සදහා නියමිතව තිබුණේ මෙම මාර්ගය නොවන බවයි.

සිද්ධියට විරෝධාය පා මාර්ගය ප්‍රතිසංස්කරණය සදහා ගෙන ආ රථවාහනවලට යළි පිටවිය නොහැකි ආකාරයට ගම්වාසීන් මාර්ගය අවහිර කළා.

පවුල් 500 කට ආසන්න සංඛ්‍යාවක් තම ගමනාගමන කටයුතු සපුරාගන්නා මේ මාර්ගය සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබා දෙන්නැයි ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

***************************************

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් ග්‍රෑන්ඩ්පාස් හිදී අත්අඩංගුවට

(26.07.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන ‘ගමගේ තරංග කුමාර’ හෙවත් ‘කොට තරංග’ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරුට අපචාර චෝදනා, ගිනි අවි ප්‍රවාහනය ඇතුළු තවත් චෝදනා රැසක් එල්ල වී ඇති බවයි.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු ග්‍රෑන්ඩ්පාස් හිදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 230 ක් සමඟින් අද (26) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු හෙට (27) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

රන් මිල වාර්තාගත ලෙස ඉහළට

(26.07.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් මිල නැවතත් කඩඉම් සීමාවක් පසුකරමින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1900 ඉක්මවු අතර රන් මිල එම සීමාවට පැමිණියේ 2011 වසරෙන් පසු ප්‍රථම වතාවටයි.

ගතවූ සතිය තුළ පමණක් ලෝක වෙළඳපොලේ රන් මිල සියයට 4 කින් ඉහළ ගිය අතර, ලොව විශාලතම රන් පාරිභෝජකයෙකු වන ඉන්දියාවේ රන් මිල මේ වසර තුළ මේ දක්වා සියයට 30 කින් ඉහළ යාම විශේෂත්වයක් ෴

***************************************

පොලිස් අණ නොතකා ගමන් කළ වෑන් රථයේ සිටි සිව් (4) දෙනාට අපරාධ චෝදනා

(26.07.2020 – 16:20 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අණ නොතකා වෑන් රථයක ගමන් ගත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවුල පොලිස් බල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අදාළ වෑන් රථය නතර කරන ලෙසට නාවුල නගරයේදී දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අණ නොතකා ධාවනය කළ වෑන් රථය පසුව පොලිස් නිලධාරීන් හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව එහි සිටි සැකකරුවන් 4 දෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, අදාළ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ව්‍යාජ නම්වලින් පෙනී සිට ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

***************************************

වාහනවල ව්‍යාජ ලෙස චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කළ ගරාජයක් වටලයි

(26.07.2020 – 17:39 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදි ඇතුළු වාහනවලට ව්‍යාජ චැසි අංක සහ එන්ජින් අංක වාත්තු කිරීම් සිදුකළ ස්ථානයක් අලවතුගොඩ පොලීසිය අද (26) වටලා තිබෙනවා.

අලවතුගොඩ පොලීසියට ලද තොරතුරක් මත අකුරණ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ ගරාජයකුයි මෙලෙස වටලා තිබෙන්නේ.

එහිදී, එම ගරාජයේ ව්‍යාජ ලෙස එන්ජින් අංක සහ චැසි අංක වාත්තු කර තිබූ යතුරු පැදියක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී එම ගරාජයේ තිබී ව්‍යාජ ලෙස අංක වාත්තු කිරීම සඳහා යොදා ගන්නා අක්ෂර 89 ක් සහ ඒ සඳහා යොදාගත් උපකරණ ද සොයා ගැනීමට හැකිවූ බවයි.

ධාවන තත්ත්වයේ නොමැති වාහන හෝ යතුරුපැදිවල ලියාපදිංචි සහතිකය සොයාගෙන ඊට අනුකූලව චැසි සහ එන්ජින් අංක වෙනස් කර වාත්තු කිරීම මෙහිදී සිදුකර ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

තරුපහේ හෝටලයක් අසළ මත්පෙති ජාවාරම, බන්ධනාගාරයේ සිට මෙහෙය වූ බවට තොරතුරු

(26.07.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොටුව ප්‍රදේශයේ තරු පහේ හෝටලයක් ආසන්නයේදී හෙරොයින් සහ මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ ජාවාරම්කරුවෙකුගේ උපදෙස්වලට අනුව මත්කුඩු ප්‍රවාහනය සහ මුදල් පරිහරණය සිදුකර ඇති බව සඳහන්.

කොටුව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 400 ක් සහ මත්පෙති 5600 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

වත්තල සහ අංගොඩ ප්‍රදේශවල පදිංචි 20 හැවිරිදි සහ 29 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය කුරියර් සේවාවක් මගින් ඔවුන් මෙරටට ගෙන්වා ඇති බවයි.

+++++++++++++++++++++

***************************************

පළමු ඡන්ද ප්‍රතිඵලය 6 වන දා සවස තේ පානයට පෙර

(26.07.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මහමැතිවරණයේ පළමු නිළ ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 6 වනදා සවස තේ පානයට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ අද (26) පැවති සාකචඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක තේරීම් භාර නිලධාරීන් සහ නියෝජ්‍ය මෙන්ම සහකාර කොමසාරිස්වරුන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (26) පැවැත්වුණා.

ඊට තැපැල්පතිවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, වෛද්‍ය සභාවේ මහාචාර්යවරයෙකු සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා සහභාගි වී සිටියා.

ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන විෂබීජහරණයට ලක් කිරීමට අදාළ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් අවධානයට ලක්ව තිබෙනවා.

එමෙන්ම, නිරෝධායනයට ලක්වන පුද්ගලයන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඇති වන ගැටලු අවම කර ගැනීම සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළ බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

එමෙන්ම, නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස්වල නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා 31 වනදා ඡන්දය ප්‍රකාශ කර කිරීමට මේ වන විටත් තීරණය කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග හෙට (27) දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

දිවයින පුරා පොලිස් තොරතුරු පොත් සමීක්ෂණයක්

(26.07.2020 – 20:10 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පොලිස් ස්ථානවල තොරතුරු පොත් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම සමීක්ෂණය සිදුකෙරෙන බවයි කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිළධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එම ජාවාරමේ නිරත වීම සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු අනාවරණ වුණා.

එම තත්ත්වයත් සමඟයි දිවයින පුරා පොලිස් ස්ථානවල එවැනි දූෂණ ක්‍රියා හෝ තොරතුරු ලේඛන අස්ථානගතව ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇත්තේ ෴

***************************************

බන්ධනාගාරය තුළට හෙරොයින් විසිකළ පිරිසක් අත්අඩංගුවට ගනී

(25.07.2020 – 22:21 +0530 – sinhala.adaderana.lk)

මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළට හෙරෝයින් ඇතුළු තහනම් ද්‍රව්‍ය තාප්පයට ඉහළින් විසිකළ පුද්ගලයින් 07 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ, එහිදී අත්අඩංගුවට ගත් රුක්ෂාන් නිලංග නම් තිස් එක් හැවිරිදි සැකකරු මේ සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු බවය.

අත්අඩංගුවට ගත් 07 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටී.

ඉන් එක් තරුණියක් 21 හැවිරිදි චලනි භාග්‍යා නම් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් සැකකාරිය දිලිනි සිතාරා නම් 28 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ ම පදිංචිකාරියක් බව හෙළි වී ඇත.

අද (25) දිනයේ දී ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී හෙරෝයින් ග්‍රෑම් 127 ක්, කේරළ ගංජා කිලෝ 04 ක් හා මත්පෙති 300 ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් හෙට (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

++++

මේ අතර රුවන්වැල්ල, ඉඹුලාන, රත්තාගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගිනි අවි කම්හලක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්ථානයේ තිබී විදේශීය නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 03 ක්, ෂොට් ගන් වර්ගයේ මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 02 ක්, ගල්කටස් 01 ක්, රිවෝල්වර පොයින්ට්-ටූ අවි 01 ක්, ටී කටර් වර්ගයේ ටී 56 උණ්ඩ යොදන ගිනි අවියක් හා තවත් අවි කිහිපයක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ගිනි අවි සැකසීමට යොදාගන්නා තවත් උපකරණ කිහිපයක්, ටී 56 උණ්ඩ 10 ක්, එම්.එම්.ජී උණ්ඩ 01 ක් හා බෝර 12 උණ්ඩ 16 යක් සොයාගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 52 කි.

***************************************

කන්ජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙකු (2) කොටහේනේදී අත්අඩංගුවට

(26.07.2020 – 22:02 +0530 – hirunews.lk/sinhala)

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් වන කන්ජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙකු (2) මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටහේන ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ ෴

***************************************

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස්

(26.07.2020 – 22:07 +0530 – hirunews.lk/sinhala)

පොහොට්ටුව හදන අය පාරේ ඇවිද්දනවා යැයි කියපු අය අද (26) පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.

05 වෙනිදායින් පසු පොළොන්නරුවේ පාලනය සම්පූර්ණයෙන්ම තම අතට ගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ ජනහමුවකට එක්වෙමින්.

සමගි ජන බලවේගයේ අපේක්ෂක තුෂාර ඉඳුනිල් ජන හමුවකට එක්වෙමින් පැවසුවේ කාන්තාවන් ඉදිරියේ අඬා මනාප එකතු කරගැනීමට තරම් අපේක්ෂයින් බාල්දු වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිල මහතා ජන හමුවකට එක්වෙමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ ලබාදෙන රුපියල් 10,000 සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ලබාදෙන රුපියල් 20,000 ගැන අදහස් පළකළා.

තවත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් :

+++++++++++++++++++++

***************************************

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනපති අවධාරණය කරයි

(27.07.2020 – 06:11 +0530 – hirunews.lk/sinhala)

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය සහ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දෙන ලෙසටයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට ඊයේ (26) කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා නිකවැරටිය පොළ භූමියේ පැවති ජන හමුවට සහභාගී වූ අවස්ථාවේදියි මේබව කියාසිටියේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනහමුවට වැඩම කර සිටී මහ සංඝරත්නය ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කර ඔහුට සෙත් ප්‍රාර්ථනා කළ බවයි.

පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අගය කළ පෙර පාසල් ගුරුවරියන් ප්‍රකාශ කර ඇත්තේ එය දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ගත් දැවැන්ත පියවරක් බවයි.

නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි සිසුන් පිරිසක් කළ ඉල්ලීම වහා ඉටුකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාපතිවරයාට දන්වා තිබෙනවා.

මහව සති පොළ භූමියේ පැවති ජන හමුවකට ද ජනාධිපතිවරයා එක්වුණා.

එහිදී ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන ප්‍රධාන ගැටළුවක් වන වන අලි තර්ජනයට ස්ථිර විසදුමක් දීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබෙනවා.

මහව මංසන්ධියේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, සංස්කෘතික චතුරශ්‍රයේ ඉදිකිරීම්, ඉඩම් සහ ජල ගැටළු පිළිබඳව ද ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ පාසල් දරුවෙක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග ලෙස මුදල් කැටයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි.

ගල්ගමුව යූ.බී. වන්නිනායක ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වුණා.

වන අලි තර්ජනය, ගල්ගමුව රෝහලේ අඩු පාඩු සහ බස් රථ හිඟය වැනි ගැටළු හේතුවෙන් ගම්මාන කිහිපයක ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබදව මෙහිදී ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා ෴

***************************************

විදෙස්ගත ශ්‍රමිකයන් රවටා රුපියල් 500,000 ක මුදල් වංචා කළ 5 ක් අත්අඩංගුවට

(27.07.2020 – 07:10 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගත ශ්‍රමිකයන්ට සහන පොලියට ණය ලබාදෙන බව පවසා රුපියල් 500,000 ක මුදල් වංචා කළ සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *