සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු හේතුව !

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

01 • සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු හේතුව ! (විඩියෝ)

02 • ආගම වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති වෙන්න.. සහරාන් සිසුන්ට කියලා… වරදක් කළ සිසුවකු පොහොර බෑගයක දමා ගසක එල්ලා ගහලා

03 • රිෂාඩ් බදියුදීන් රහස් පොලීසියෙන් පිටව යයි

04 • අගමැති රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී

05 • ලීසිං ආයතනවලට පොලීසියෙන් දැනුම්දීමක් (විඩියෝ)

06 • තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම් අවසන්

07 • දක්ෂිණ අධිවේගයේ අනතුරක් (විඩියෝ)

08 • මට ඒ උතුරේ ජනතාව හදවතින්ම දැක්වුවක් ප්‍රතිචාර මිස නාට්‍යයක් නොවෙයි – විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු (විඩියෝ)

09 • අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගේන්න සිංගප්පූරු නීතියෙන් බාධා

10 • නේෂන් ට්‍රස්ට් බැංකුව ජනපති නියෝග නොතකා ක්‍රෙඩිට්කාඩ් වලට දඩ පොලී අයකරලා – කොරෝනා කාලයේ බිල්පතක්වත් යවා නැති බවට චෝදනා

+++++++++++++++++++++++++++++++++++

(01) සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු හේතුව !

(20.06.2020 – 13:37 +0530 – sinhala.adaderana.lk)

අන්තවාදී ගැටුම් සම්බන්ධයෙන් සහරාන් හෂීම්, ඔහුගේ සොහොයුරු මොහොමඩ් රිල්වාන් ඇතුළු සිවුදෙනෙකු (04) වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබියදී කාත්තන්කුඩි පොලීසිය විසින් එය නොසලකාහැර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණි.

ඒ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ එවක ස්ථානාධිපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

කොමිසම හමුවේ ඊයේ (19) රාත්‍රියේ සාක්ෂි ලබා දුන්නේ 2017 වසරේ අගෝස්තු සිට 2020 ජනවාරි දක්වා කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රභාත් කස්තුරිආරච්චි මහතායි.

2017 මාර්තු 10 වන දින කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ දී සහරාන් හෂීම් සහ රාවුෆ් මවුලවී යන ජාතික තව්හිද් ජමාත් සහ සුන්නතුල් වල් ජමාත් යන සංවිධාන අතර ගැටුමක් ඇතිව තිබූ බවත්, කඩු කිණිසි සහ පෙට්‍රල් බෝම්බ යොදා ගත් අදාල ගැටුමෙන් පසු සහරාන් හෂීම්, මොහොමඩ් රිල්වාන්, ආමි මොහොමඩ්, යූසුෆ් අන්වර් යන පුද්ගලයන් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

තමන් සේවයට වාර්තා කරන විටත් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුවක් පැවතියත් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සහරාන් ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව ද සාක්ෂිකරු සඳහන් කළේය.

එහිදී කොමිසම විමසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් ලබා නොගත්තේ මන්ද යන්නයි.

සාක්ෂිකරු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව නොලැබී තිබූ නිසා පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම වරෙන්තු ලබාගැනීමට නොහැකි වූ බවයි.

ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කළේදැයි කොමිසම විමසීය.

ඒ පිළිබඳ මතකයක් තමන්ට නැති බව සාක්ෂිකරු සඳහන් කළේය.

කෙසේවෙතත් අධිකරණ වාර්තා පිරික්සූ ජනාධිපති කොමිසම එහිදී පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ රස පරීක්ෂක වාර්තාව 2018 වසරේ ජනවාරී මාසයේ 30 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිකුත් වී තිබූ බව සාක්ෂිකරු නොදැන සිටියේද යන්නයි.

තමන් ඒ ගැන නොදන්නා බව පැවසූ ඔහු කියා සිටියේ ඒ නිසා වරෙන්තු ලබා ගැනීමක් සිදු නොකළ බවය.

කොමිසම එහිදී පෙන්වා දුන්නේ, සාක්ෂිකරු පවසන අන්දමින් රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් නොසිට සහරාන් ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය තරම් කරුණු අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවේ අන්තර්ගත බවය.

ඒ අනුව,

  1. මාරක ආයුධ ඇතිව නීති විරෝධී රැස්වීමකට සහභාගී වීම
  2. මාරක ආයූධ ඇතිව කැරලි ගැසීම
  3. කැරලි ගැසීමේ අවස්ථාව මැඩපැවැත්වීමේදී රජයේ නිලධාරියෙකුට බාධා කිරීම
  4. ස්වෙච්චාවෙන්ම තුවාල සිදුකිරීම
  5. අන්තරායක ආයුධ හා උපක්‍රම භාවිත කරමින් තුවාල කිරීම

යන වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි එලෙස බී-වාර්තාවේ අන්තර්ගත බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසමට අවධාරණය කළේය.

එමෙන්ම මේ සම්බන්ධව එවක පරීක්ෂණය සිදු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලක මහතාට සහරාන් විසින් මුහුණු පොතෙන් මරණ තර්ජන එල්ල කර ඇති බවද කොමිසම විසින් එවක ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියේය.

එහිදී කොමිසම විමසුවේ මෙම කරුණු කෙරෙහි අවධානය යොමු නොවුණේ නම් අවම වශයෙන් සැකකරුවන් පලා ගොස් සිටියදී සහරාන් හෂීම්ගේ පියා හෝ පවුලේ අයගෙන් ඔවුන් පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගත්තේද යන්නයි.

සාක්ෂිකරු එහිදී “නැත” ලෙස පිළිතුරු දුන්නේය.

එවිට කොමිසම ප්‍රශ්න කළේ සහරාන් ඇතුලු පිරිස 2018 වසරේදී වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි ඇති බව දැන් ඔබ පිළිගන්නේද යන්නයි.

සාක්ෂි ඇති බව ඔහු එහිදී පිළිගනු ලැබුවේය.

එසේනම් මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි නොමැති බවට ප්‍රකාශයක් කළේ මන්දැයි කොමිසම එහිදි ප්‍රශ්න කිරිමේදි එම ප්‍රකාශය වැරදි බව කොම්සම හමුවේ සාක්ෂිකරු පිළිගනු ලැබීය.

එසේ නම් ඔබ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම නඩුවට උනන්දුවක් නොදැක්වූයේදැයි කොමිසම විමසීය.

ඇතැම් ප්‍රතිපාදන ක්‍රියාත්මක නොකළ බව සාක්ෂිකරු එහිදී පිළිගත්තේය.

ඔබේ රාජකාරිය ඔබ හරියාකාරයෙන් ඉෂ්ඨ කර නැති බව පිළිගන්නේදැයි කොමිසම යලි විමසු අවස්ථාවේ සාක්ෂිකරු නිහඩව සිටියේය.

ඔබ විසින් සාක්ෂි තිබියදී සහරාන් හෂීම් ඇතුලු පිරිස අත්අඩංගුවට ගත්තේ නම් පසුගිය වසරේ පාස්කු ඉරුදින අහිංසක ජීවිත රැසකට සිදුවූ හානිය සිදු නොවනු ඇතැයි තමන්ට පෙනී යන්නේද පිළිබද කොමිසම මෙහිදී විමසු අතර සාක්ෂිකරු එහිදි ප්‍රකාශ කළේ අධිකරණය ඔස්සේ ගත හැකි පියවර තමන් ගත් බවයි.

සහරාන් හෂීම්ගේ සහෝදරයකු වූ රිල්වාන් හෂීම් රැඳී සිටි ඔල්ලිකුලම් හි ඉඩමකින් පාස්කු ප්‍රහාරයෙන් පසු යම් කිසිවක් සොයාගැනීමට හැකිවූයේදැයි කොමිසම විමසීය.

එම ඉඩමේ වල දමා තිබූ චීනයෙන් ගෙන්වන ලද සහ මෙරට නිෂ්පාදිත කඩු තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගත් අතර එම කඩු පාස්කු ප්‍රාහාරයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හා පල්ලිවලින් හමුවූ කඩු හා සැසදීමේදී සමාන බවද සාක්ෂිකරු කොමිසමට අනාවරණය කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

(02) ආගම වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති වෙන්න.. සහරාන් සිසුන්ට කියලා… වරදක් කළ සිසුවකු පොහොර බෑගයක දමා ගසක එල්ලා ගහලා

(20.06.2020 – 04:36 +0530 – lankaleadnews.com)

පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සැලසුම් කළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට නායකත්වය දුන් සහරාන් මොහොමඞ් හසිම් 2019 ජනවාරි මාසයේ දිනක පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලට ගොස් දේශනයක් පවත්වා ඔහු පවසන ලෙස කටයුතු කළහොත් එහි ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල්වලට උදව් උපකාර කරන බව පවසා ඔහුගේ ආගම වෙනුවෙන් ජීවිතය පූජා කිරීම හෝ සිදුකළ යුතු බව ද පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට ඊයේ (19 දා)පැවසීය.

සිය ආගම බේරා ගැනීම සඳහා සටන් කිරීමට ධෛර්යය ඇත්තේ කාටදැයි එහිදී සිසුන්ගෙන් විමසා ඇති බවත් සටන් කිරීමට කැමති බව පැවසූ සිසුන්ව රඳවාගෙන සෙසු පිරිස බැහැරට යවා වැඩිදුර දේශන පවත්වා ඇති බවටත් සිසුන් පිරිසක් ලබාදුන් ප‍්‍රකාශ අනුව හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට කීවේය.

පසු දිනක හෙලිකොප්ටරයකින් එම විදුහලට පැමිණ ඇති ඊශා හාජ්ජියාර් නමැති අය ඇතුළු අරාබි ජාතිකයන් සිවුදෙනකු සිසුන් සියලූ දෙනාට රුපියල් 3000 බැගින් ලබාදී එහි විදුහල්පතිවරයාට අරාබි මුදල් තොගයක් ලබා දී ඇති බවට ද හෙළි වී ඇතැයි අධිකරණයට පැවසීය.

එම පාසලේදී සිංහල භාෂාවෙන් කතා කිරීම තහනම් වූ බවත්, එසේ සිංහල භාෂාවෙන් කතා කළහොත් පහර දෙන බවටත් සිසුන් ලබාදුන් ප‍්‍රකාශ අනුව පැහැදිලි වන්නේ යැයි සිය විමර්ශන වාර්තාව මගින් පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රිකාස් මවුලවිවරයා විසින් එවැනි වරදක් කළ තමා පොහොර බෑගයකට දමා ගසක එල්ලා පහර දුන් බව එක් සිසුවකු ප‍්‍රකාශ ලබා දී ඇතැයි ද අධිකරණයට සිය විමර්ශන වාර්තාව මගින් දැන්වීය.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන සහරාන් නමැත්තාගේ සොහොයුරකු වන මොහොමඩ් රිල්වාන් යන අය ගිනි අවියක් සහ බෝම්බයක් ගෙනවිත් එහි කොටස් ගලවා පෙන්වූ බවත්, එහි ඇති දේවස්ථානයේ පහල තැන වළවල් හාරා හමුදා පුහුණුවක් වැනි පුහුණුවක් ඔවුනට ලබාදුන් බවටත් එකී සිසුන් ප‍්‍රකාශ ලබා දී ඇතැයි ද එහිදී අධිකරණයට පැවසීය.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන සහරාන් නමැත්තාට අමතරව ඉල්හාම් මොහොමඩ්, මොහොමඩ් ඉබ‍්‍රාහිම්, මොහොමඩ් ජිෆ්රි පාතිමා, නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහොමඩ් අසාම්, මොහොමඩ් මුබාරක් ඇතුළු පිරිසක් එම විදුහලට පැමිණ වැඩමුළු දේශන හා පුහුණු වැඩසටහන් පවත්වා ඇති බව ද විමර්ශන නිලධාරිහු එහිදී අධිකරණයට පැවසූහ ෴

***************************************

(03) රිෂාඩ් බදියුදීන් රහස් පොලීසියෙන් පිටව යයි

(20.06.2020 – 16:44 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අද (20) පස්වරුවේ ඉන් පිටව ගියා.

ඔහු අද (20) දිනයේ කැඳවා තිබුණේ 2017 වසරේ ලංකා සතොස වෙත සහල් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

හිටපු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (20) පෙරවරු 11:30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, ඔහු ඉන් පිටව ගියේ පස්වරු 04:30 ට පමණයි ෴

***************************************

(04) අගමැති රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී

(20.06.2020 – 17:03 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් රුවන්වැලි සෑ රදුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුවයි අගමැතිවරයා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශීර්වාද ලබාගත්තේ.

අනතුරුව ඔහු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ද බැහැදැක ආශීර්වාද ලබාගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියාසිටියේ ෴

***************************************

(05) ලීසිං ආයතනවලට පොලීසියෙන් දැනුම්දීමක්

(20.06.2020 – 17:33 +0530 – sinhala.adaderana.lk)

රජයෙන් ලබාදුන් මාස 06 ක සහන කාලය අවසන් වනතෙක් කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකි බව පොලීසිය අවධාරණය කරයි.

අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමින් මේ බව සඳහන් කළේය.

බස්නාහිර පළාතේ ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී ඊයේ (19) පැවැත්වුණි.

ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ අදාළ නීති කඩකරන මූල්‍ය ආයතනවලට එරෙහිව පොලිස් ආඥා පණත යටතේ නඩු පවරන බවයි.

***************************************

(06) තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීම් අවසන්

(20.06.2020 – 12:13 +0530 – sinhala.adaderana.lk)

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද දායකයින්ගේ ලැයිස්තු සහතික කිරීමේ කටයුතු අවසන් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

පසුගිය 18 වනදා එම කටයුතු අවසන් කිරීමට පියවර ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.

මේ අතර අගෝස්තු 5 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ජුනි 30 වනදා, ජුලි 01 වනදා සහ 02 වනදා සිදු කිරීමට නියමිතය.

මෙවර මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්දය සලකුණු කිරීම ජූලි මස 14, 15, 16 සහ 17 යන දිනවලදී සිදු කෙරෙයි.

රාජ්‍ය ආයතනවල සේවකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට ජුලි මස 14 සහ 15 යන දෙදින වෙන් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල, පොලීසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ජුලි මස 16 සහ 17 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම දිනවලදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සදහා ජූලි මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය භාවිත කිරීමේ පහසුකම සලසා දී තිබේ.

මේ අතර එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි භාර ගැනීමට සහ පැමිණිලි විමර්ශනය සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ ෴

***************************************

(07) දක්ෂිණ අධිවේගයේ අනතුරක්

(20.06.2020 – 09:25 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හිමදූව – පින්නදුව අතර ප්‍රදේශයේදී රථ වාහන 3 ක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මොටර් රථ දෙකක් සහ කැබ් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි.

මාතර සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක පිටුපස ගැටී එම මෝටර් රථය ඉදිරියෙන් ගමන් කළ තවත් කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියෙන් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට ද හානි සිදුවී ඇති අතර අක්මීමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

***************************************

(08) මට ඒ උතුරේ ජනතාව හදවතින්ම දැක්වුවක් ප්‍රතිචාර මිස නාට්‍යයක් නොවෙයි – විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු

(20.06.2020 – 15:20 +0530 – lankaleadnews.com)

වන්නියේ ජනතාව තමන්ට දැක්වූ ප්‍රතිචාරය ආශීර්වාදයක් මෙන්ම ප්‍රශ්න රැසක ආරම්භයක් වූ බව විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පවසයි.

යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සංවාදයකට එක්වෙමින් රත්නප්‍රිය මහතා පවසා සිටියේ දෙමළ ජනතාව දැක්වූ ඒ ප්‍රතිචාරය කලින් සැලසුම් කළ නාට්‍යක් හෝ සංදර්ශනයක් නොව බවත් ඔවුන් හදවතින්ම දැක්වූ ප්‍රතිචාරයක් බවත්ය.

උතුරේ වැසියන් වෙනුවෙන් තම වගකීම හරියටම ඉටු කළ නිසා ඔවුන් එවැනි ප්‍රතිචාරයක් දැක්වුයේ යයිද ඔහු අවධාරණය කර සිටියේය.

විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා එළඹෙන මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණු අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට නියමිතය.

සම්පූර්ණ වීඩියෝව :

***************************************

(09) අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගේන්න සිංගප්පූරු නීතියෙන් බාධා

(20.06.2020 – 12:32 +0530 – lankaleadnews.com)

බැඳුම්කර වංචාවේ මහ මොළකරු ලෙස සැලකෙන හිටපු බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හෙවත් හර්ජාන් ඇලෙක්සැන්ඩර් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය හරස් වී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මේ බව සිංගප්පූරුවේ ස්වදේශ අමාත්‍යංශය නිල නොවන වශයෙන් රජයේ ඉහළම ප්‍රධානියකුට දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

දෙරට අතර අපරාධයකට සම්බන්ධ පුද්ගලයන් හුවමාරැවකට අදාළ ගිවිසුමක් නොමැත. එසේම අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නිත්‍ය පුරවැසියෙකි.

එරට පුරවැසියකු මෙරටදී සිදුකළ අපරාධයකට අදාළ පියවර ගැනීම දුෂ්කර තත්ත්වයට පත්ව ඇත්තේ ගිවිසුම්ගත බැඳීමක් නොමැති වීමෙනි. එම නිසා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය නිති සම්ප්‍රදායන් අනුව අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ විධිවිධාන තිබේදැයි දැන් දෙරට ආණ්ඩු සොයා බලමින් සිටී.

කෙසේවෙතත් අර්ජුන මහේන්ද්‍රන් සිය නම වෙනස් කර ගැනීම අපරාධ චෝදනාවෙන් ගැලවීමට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැතැයි ද සඳහන් වෙයි ෴

***************************************

(10) නේෂන් ට්‍රස්ට් බැංකුව ජනපති නියෝග නොතකා ක්‍රෙඩිට්කාඩ් වලට දඩ පොලී අයකරලා – කොරෝනා කාලයේ බිල්පතක්වත් යවා නැති බවට චෝදනා

(20.06.2020 – 17:04 +0530 – lankaleadnews.com)

මෙරට ප්‍රධානපෙලේ පුද්ගලික බැංකුවක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පසුගිය කොවිඩ් ලොක්ඩවුන් කාලයේ තම ක්‍රෙඩිට් කාඩ් පත් ගනුදෙනුකරුවන් සඳහා කිසිදු බිල්පතක් යවා නැතත් දඩ පොලී අයකර තිබේ.

එහි ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට එම කාඩ් පත් සඳහා මාසික බිල්පත් ලබාදී නොමැති අතර අඩුම තරමින් දුරකථන ඇමතුමකින් වත් ගෙවීමට ඇති මුදල් සම්බන්ධයෙන් දැනුවත් කර නොමැත.

එසේම බොහෝ කාලයක් නේෂන් ට්‍රස්ට් බැංකු ශාඛා වසා දමා තිබු අතර විවෘත කර තිබු අවස්ථාවල පවා ශාඛා විවෘත වුනේ කෙටි කාල සීමාවකට පමණි. ජනාධිපතිවරයා හා රජය අදාළ සහන ලබා දෙන ලෙස දිගින් දිගටම දැනුම්දී තිබියදීත් මෙසේ දඩ පොලී අයකිරීම දැඩි අසාධාරණයක් බව එහි ගනුදෙනුකරුවෝ පවසති.

ශ්‍රී ලංකා මහා බැංකුවේ පුද්ගලික බැංකු අධීක්ෂණය සඳහා වන කොට්ටාශය මෙවැනි අසාධාරණ කරුණු සම්බන්ධයෙන් පුද්ගලික බැංකුවලට එරෙහිව පියවර නොගැනීම මීට හේතුවී තිබේ. ශ්‍රීලංකා මහා බැංකුවේ ඇතැම් ඉහල නිලධාරීන් පුද්ගලික බැංකු වලින් මාසික වැටුප් , දීමනා හා වරප්‍රසාද ලබන බවට මේ වන විට චෝදනා එල්ලවී තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *