යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන්නා; අගතියට පත් සියලු පිරිස්වලට යුක්තිය ඉටු කරමු – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

(19.05.2020 – sinhala.news.lk)

= යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරය, දඩයමට හා අවමානයට ලක් කළ ආකාරය කිසිදා අමතක නැත-අගතියට පත් සියලු පිරිස්වලට යුක්තිය ඉටු කරමු =

යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් අප කිසිසේත්ම අමතක කර නොමැති බවත් ඒ අගතියට පත් සියලු පිරිස් වලට යුක්තිය ඉටු කරන බවට අපි නැවතත් ප්‍රතිඥා දෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදට (19) යෙදී තිබෙන රණවිරු දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

= මාධ්‍ය නිවේදනය =

කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය අපි මැයි 19 වන දා සමරන්නෙමු. එය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොව ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කරනු ලැබූ සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. කොටි සංවිධානයේ පරාජය නිසා දෙමළ ජනතාවටද දැන් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇත. දෙමළ ළමුන් දැන් කොටි සංවිධානය විසින් පැහැරගෙන යන්නේ නැත. දෙමළ දේශපාලනඥයින් කොටි ඝාතකයන්ට බියෙන් ජීවත් වන්නේ නැත. කොටි සංවිධානය පරාජය කිරීම තුළින් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවතත් තහවුරු වී ඇත.

කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මුළු ලෝකයම මවිත කළ ඒ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අද කොවිඩ්-19 උවදුරට එරෙහිව සෞඛ්‍ය අංශත් සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී සිටි. මේ අවස්ථාවේ සියලුම කරුණු වලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 සටනින්ද ජයග්‍රහණය කරමින් සිටින බවයි. මහජනතාව අතර රෝගය පැතිරීම වැලැක්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිදුකරන පෙරමුණු බළඇණි කාර්යභාරය, කොවිඩ්-19 රෝගය මේ ආකාරයට පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වලට අතිමහත් පිටිවහලක් වූ බව අවිවාදාත්මකය.

මෙයින් නැවත වතාවක් තහවුරුවන කාරණය වන්නේ ත්‍රස්තවාදයක්, ගංවතුරක්, හෝ වසංගතයක් වේවා, සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරකිමින් පෙරමුණේ සිටින බවයි. මේ නිසා, අපේ සමාජය තුළ ‘සිවිල්’ හා ‘මිලිටරි’ වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගනිමින් සිටින දුෂ්ඨ උත්සාහය මම හෙලා දකිමි. කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියකු පත් කළහොත් එය ‘මිලිටරිකරණයක්’ හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සාමාජිකයෙකු නොවේ. එදා සිටි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්වී සිටි. එමනිසා අපේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සාමාජිකයන් අනිවාර්යෙන්ම ආණ්ඩුව තුළ විවිධ තනතුරු දරණු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිටින් පැමිණි සියලු අභියෝග පරාජය කොට මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්දය මත පදනම් වූ පරමාධිපත්‍ය බලය රැක දීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඓතිහාසිකව කර තිබෙන කාර්යභාරයත් අපි මෙහිදී සිහිපත් කළ යුතුය. මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් අප කිසිසේත්ම අමතක කර නැත. ඒ අගතියට පත් සියලු පිරිස් වලට යුක්තිය ඉටු කරන බවට අපි නැවතත් ප්‍රතිඥා දෙමු.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතුය – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

(19.05.2020 – sinhala.news.lk)

දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රණවිරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කරයි.

= රණවිරු දින පණිවිඩය =

බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදා කළ විරෝදාර රණවිරුවනට කෘතඥතාව පුද කෙරෙන රණවිරු දිනය නිමිත්තෙන් මේ සටහන තබනුයේ සතුට සහ අභිමානය පිරි සිතැතිව ය.

2009 මැයි මස 19 වැනිදා ජයග්‍රහණයෙන් අවසන් වූ සටන විසින් නියෝජනය කෙරෙන, සියලු ජන කොටස්වල බලාපොරොත්තු යථාර්තයක් බවට පත්කිරීමට හැකිවීම රණවිරුවා උදෙසා කළ හැකි මහඟුතම උපහාරයයි. බෙදුම්වාදී ත්‍රස්තවාදයට අත්කර දුන් පරාජය දේශයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අපේක්ෂාවන්ගේ සංකේතයකි. එකී අභිලාෂයන් සාක්ෂාත් කරගත් පරිසරයක මෙවර රණවිරු සැමරුම සලකුණු කිරීමට හැකිවීම ගැන මම අතිශය සතුටට පත්වෙමි.

පසුගිය සමයේ රටේ ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට උද්ගත වූ තර්ජන හමුවේ මව්බිමට ඇළුම් කරන සමස්ත ජනතාවම කම්පාවට සහ වික්ෂිප්තභාවයට පත්ව සිටියහ. ලොව විනයගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් අපේ සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ අභිමානයට සහ ගෞරවයට හානිකර බොහෝ දේ ඒ වකවානුවේදී සිදුවිය. ඉන් සංවේගයට පත් ජනතාවගේ අපේක්ෂාව වූයේ අවනීතිය වෙනුවට නීතියත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණය වෙනුවට සාධාරණයත් තහවුරු කොට රණවිරුවා කළ කැපකිරීම්වලට ඔවුන්ට නිසි ගෞරවය අත්කර දීමය.

මේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වීමට අපට හැකිවිය. දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතියක් ලෙස අප එක්ව නැගී සිටිය යුතුය. ශක්තිමත් ජාතික ආර්ථියක් ගොඩනගන අතර රටේ ප්‍රතිලාභය පෙරටු කොට බාහිර ලෝකය සමග බද්ධ වෙමින් ඉලක්ක ජයගත යුතුව තිබේ. කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද අප කිසිවිටෙකත් පසුබසින්නේ නැත. ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ. රට දෙකඩ වීම නතර කළ රණවිරුවාට සහ ඔවුනට උපරිම සහයෝගය දුන් පුරවැසියාට කළ හැකි ඉහළම ගෞරවය එය බව මම තරයේ අදහමි.

මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සහ අනේකවිධ පරිත්‍යාග කළ රණවිරු ප්‍රජාවට මගේ ප්‍රණාමය පුද කරමි.

ගෝඨාභය රාජපක්ෂ‍

2020 මැයි මස 19 වන දින

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

විජයග්‍රහණයට වසර 11 යි

(18.05.2020 – sinhala.news.lk)

අදින් වසර ඒකොළහකට පෙර හරියටම අද වගේ දවසක මේ පුංචි රටේ මිනිස්සු සතුටු කදුළු වැගිරුවා. ඔල්වරසන් නැගුවා. අත්පුඩි ගැහුවා. හැම තැනකම රතිඥ්ඥා පත්තු කළා. ගමක් නගරයක් ගානේ කිරිබත් උයන් කාලා හැමෝම සතුට බෙදාගත්තා. මනුස්සකම් ගුණදහම් හදුනන මේ වගේ රටක මලගමක් වෙනුවෙන් කිරිබත් ඉවුවා නම් ඒ 2009 වසරේ අද වගේ දවසකයි.

ඒ වසර තිහකට ආසන්න කාලයක් අපරට පීචාවට පත්කළ දරුණු ත්‍රස්තවාදයේ මළගම වෙනුවෙන්. ඊළාම් සිහිනය වෙනුවෙන් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකර අසරණ මිනිසුන්ගේ ජීවිත පිපාසිතව මෙන් ඝාතනය කළ ම්ලේච්ඡ ඒල් ටී ටී ඊ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයට පත් කරමින් අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගන්නේ මීට ඒකොළොස් වසරකට පෙර අද වැනි දිනකයි.

ඒල් ටී ටී ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඒකම අරමුණ වූයේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමයි. ඔහුට කිසි විටෙකත් සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව සමග සමගියෙන් ජීවත් වීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. ඊළාම් යුද්ධයේ ආරම්භය ඒවකට යාපනයේ නගරාධිපතිවරයාව සිටි දමිළ ජාතික ඇල්ප්‍රඩ් දොරේ අප්පා මහතාගේ ඝාතනයත් සමග 1975 වසරේ ජූලි 25 වනදා සිදුවිය. මෙම සිදුවීම ලෝකයෙහිම පිළිකුළට භාජනය වූ අතර ඒය දමිළ ජනතාව ලොවටම අප්‍රිය කරවීමට සිදුකරන ලද්දකි. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීම, ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනයට සැලසුම් කිරීම මෙලෙස ඇරඹි ඊළාම් ත්‍රස්තවාදයේ තවත් පියවරයන් විය. ඒමෙන්ම කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයේ යාඥා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් 173 ක් ඝාතනය කෙරුණි. සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කරගනිමින් සිදුකරන ලද ඝාතන මෙන්ම, බෝම්බ ප්‍රහාර ප්‍රමාණයද අතිවිශාලය.

ඒ අතර පිටකොටුවේ, මරදානේ මෙන්ම නුගේගොඩ පිපිරවූ බෝම්බ බොහෝ දෙනාගේ මතකයේ නොමැකී තැන්පත්ව ඇත. අහිංසක ජනතාව ඉලක්ක කරගනිමින් ඒදා බස්රථ, දුම්රිය ආදියෙහිද බෝම්බ පිපිරුණි. තම දරුවන් පාසැල් සහ උපකාරක පන්ති ගොස් නැවත නිවෙස් වට පැමිණෙන තෙක් මග බලා සිටිනා දෙමාපියන්ගේ මෙන්ම දෙමාපියන් රැකියාවලට ගොස් පැමිණෙන තෙක් බලා සිටිනා දරුවන්ගේද සිත්තුළ ඒදා ඇවිළෙන්නට ඇත්තේ ඒක සමාන වූ භීතියේ ගිනිදැල්ය. මේ අතර යාල්දේවී දුම්රිය කොකාවිල් හිදී බැරල් බෝම්බ 11 ක් අටවා පුපුරවා හරිමින් 34 දෙනෙකු ඝාතනය කිරීම, වේයන්ගොඩදී දුම්රිය මැදිරියක් පුපුරවා හැරීම, අලුත්ගම කාර්යාල දුම්රියක බෝම්බ අටවා 75 දෙනෙකු ඝාතනය කිරීම ආදී මහ පොළොව නුහුලන අපරාධ රැසක් මෙම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය විසින් සිදුකෙරුණි. ඒවකට මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයාට විරුද්ධව කතාකිරීමට දමිළ ජාතිකයන් පවා බිය වූයේ ඔහුගේ ඒකම දඩුවම මරණය වන නිසාවෙනි. ඒහෙත් අපගේ ආරක්ෂක හමුදාවේ ක්‍රියා කලාපය මීට හාත්පසින්ම වෙනස් විය.

ඒනම් මානුෂීය ගුණාංග වලින් අනූන වූ මානුෂීය මෙහෙයුම පිළිබදව අවසන් සටනේදී මුළු ලෝකයම හමුවේ ප්‍රත්‍යක්ෂ විය. උතුරේදී ත්‍රස්තවාදී පාලන ප්‍රදේශ වලින් පැන ජීවිතය යදිමින් ඒන දමිළ ජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව මානුෂීයව පුදසත්කාර කිරීමට අපගේ හමුදාව නොපසුබටව ඉදිරිපත් විය. තමන්ගේ බත්පත පුදමින් ඔවුන්ගේ කුසගිනි නිවන්නටත්, තම දිවි පරදුවට තබමින් ඔවුන් හට ප්‍රතිකාර කරන්නටත් අපගේ විරුවන් මැළි නොවීය.

මෙම ත්‍රස්ත සටන් ඇවිළෙන සමයෙහි උතුරේ පමණක් නොව රටෙහි සෑම තැනකටම පාහේ ඒම ඇවිළෙන සටන් ගින්නෙහි රස්නය හොදහැටි දැනුණි. රටේ අග නගරය වන කොළඹටද ඒළෙසම යුධගිනි දැල්ලෙහි සැර දැනුණි. ඒදා විටෙක රාත්‍රියෙහි මුළු කොළඹම විදුලිය විසන්ධි වන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන්යානයක් කොළඹ අහස ආක්‍රමණය කිරීම නිසාය. ඒවිට කලුවර වූ මුළු කොළඹ අහස සිසාරා සැනින් සුපරීක්ෂාකාරී ඒළි (සර්ච් ලයිට්) දිවෙයි. තවත් මොහොතකින් රක්ත වර්ණ ඒළි විහිදුවමින් ක්‍රියාකාරී වන්නේ ගුවන් ආරක්ෂක පද්ධතියයි. ඒලෙස විහිදුණු වෙඩි උණ්ඩ වල කොපු පසුදා අලුයම කොළඹ පොළොවෙහි දර්ශනය වෙයි. උතුරේ අසරණ ජනතාවගේ සිතෙහි උපදින භීතියට සමාන හැගීමක් අගනුවර වැසියන්ගේද සිත්හි පැළපදියම් වන්නේ ඒකම රටක වැසියන්ගේ සමානාත්මතාවය පසක් කරමිනි.

ත්‍රස්තවාදීන් සැම විටම තම පළිහ කරගත්තේ සාමාන්‍ය ජනතාවය. ඒ හේතුවෙන් ඔවුන් බොහෝ විට සිංහල හා මුස්ලිම් ගම්මාන ඉලක්ක කර තම ප්‍රහාර ඒල්ල කරන ලදී. සිව්වන ඊළාම් යුද්ධයට මං පාදාගත් ත්‍රස්තවාදීන් ජනයා වෙත බත සපයන ගොයම් වනසාලනු වස් 2006 වසරේ ජූනි 21 වනදා මාවිල් ආරු සොරොව්ව වසා දැමීය. මේ අවස්ථාවේ මානුෂීය මෙහෙයුමක් ඇරඹූ අපගේ වීරෝධාර රණවිරුවන් අගෝස්තු 08 වනදා මාවිල් ආරුව ත්‍රස්තවාදීන්ගෙන් මුදාගන්නා ලදී. අගෝස්තු 15 වන විට මාවිල් ආරු ජලාශයම අත්පත් කරගත් අපගේ හමුදාව අහිංසක ජනතාවගේ ජල මාර්ගය යළි විවෘත කරන ලදී.

2007 වසරේදී කොටි ත්‍රස්තවාදීන්ගේ බලය නැගෙනහිරින් ගිලිහී යාමත් සමග ප්‍රභාකරන් වහසි බස් දොඩන්නට වූයේ ශ්‍රී ලංකා හමුදාවට වන්නියට ඇතුළු වීමට කිසිසේත් ඉඩ නොදෙන බවටයි. අලිමංකඩ හා මුලතිවු පරාජයන් මකත නම් ශ්‍රී ලංකා හමුදාව වන්නිය හෝ උතුර දෙසවත් නොබලනු ඇතැයි ඔහු බීබීසී ගුවන්විදුලියට ප්‍රකාශයක් ලබාදී තිබුණි. ඒ සදහා උඩගෙඩි දෙන්නට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ඇතැම් රාජ්‍යයන් ද ඇතැම් දේශපාලන නායකයෝද කටයුතු කළහ.

නැගෙනහිර මෙහෙයුම් වලින් උද්දාමයට පත් හමුදා නිලධාරීන් මෙන්ම හමුදා භටයන් සියල්ලන්ම උතුර හා වන්නිය දෙසට හැරීමට කටයුතු කලේ ඒම ධෛර්යයත් සමගය. ඒ අනුව නැගෙනහිර මෙහෙයුම සිදුවන විටදීම වන්නිය හා උතුර මුදාගැනීමටද සේනාංක කිහිපයක් යෙදවීමට කටයුතු කෙරුණි. ඒවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම ඒවකට ජනාධිපතිව සිටි වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්, නිසි මගපෙන්වීමෙන් සහ ඒඩිතර තීරණ හමුවේ සටනේ ජයග්‍රහණ ශක්තිය තව තවත් තහවුරු විය.

ත්‍රිවිධ හමුදාපතිවරුන්, බ්‍රිගේඩියර් වරුන්, සේනාංක ප්‍රධානීන් මෙන්ම වීරෝධාර රණවිරුවන් මහා සටනේ පෙරගමන්කරුවන් ලෙස ජයග්‍රහණය කරා යාමට යෝධ බල යෝධ ශක්තියක් සැපයීය. මෙලෙස දිගින් දිගටම මෙහෙයුම් දියත් කරමින් අපගේ ඒඩිතර හමුදාවෝ නොපසුබටව ඉදිරියටම ගියහ. අවසන් සටනේදී මැයි මස 10 වෙනිදායින් පසුව දරුණු සටන් ඇවිළුණු අතර 2009 වසරේ මැයි මස 18 දින සවස වන විට නඩේෂන්, ඉලංගෝ හා රමේෂ් වැනි ඉහළ පෙලේ කොටි නායකයන් ඇතුළු කොටි සාමාජිකයන් 106 කගේ මළසිරුරු විශේෂ බලකාය විසින් සොයා ගැනුණි. නන්දිකඩාල් කලපුව අසල දියත් කෙරුණු අවසන් සටනේදී කොටි ත්‍රස්තයන්ගේ මළසිරුරු 52 ක් හමුවූ අතර කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුරද ඒහි තිබී හමු විය. ඒත් සමගම නිමිහිමි නැති සතුටකින් පිනාගිය සොල්දාදුවන් තම අතැති තුවක්කු වලින් අහසට වෙඩි වරුසා තබන්නට විය. තිස් වසරක් කුරිරු යුද්ධයක නියැලුණු ඒ වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේ දී ජීවිතක්ෂයට පත් කරමින් තිස් වසරක කුරිරු ලේ වැගිරීම අවසන් විය.

කරුණා අම්මාන් ඒම ස්ථානයට පැමිණීමෙන් පසු ඒහිදී ප්‍රභාකරන්ගේ සිරුර නිසි පරිදි හදුනාගැනුණි. තිස් වසරකට ආසන්න ම්ලේච්ඡ ත්‍රස්තවාදයට ඒළෙස තිත තබන්නට මේ පුංචි රටෙහි නිසි මාර්ගෝපදේශකත්වයකින් පොහොසත් අපේ අතිදක්ෂ හමුදාවන්ට එදා එලෙස හැකියාව ලැබුණි.

අද ලෝකයේ රටවල් බොහෝමයක් වෙලාගෙන සිටිනා කෝවිඩ් වසංගත ත්‍රස්තවාදය හමුවේද අප රට අන් බලවත් රටවල් බොහෝමයක් පරදා ඉදිරියෙන් සිටින්නේ අප රටෙහි නිසි මාර්ගෝපදේශකත්වය සහිත පාලනාධිකාරියත්, සෞඛ්‍ය අංශ සහ වීරෝධාර ත්‍රිවිධ හමුධාවේ සංවිධාන ශක්තියෙන් යුතු බුද්ධිමත් ක්‍රියා කලාපය හේතුවෙනි.

වසර තිහකට ආසන්න යුද්ධයෙන් දිවිපිදූ අහිංසක ජනතාව, වීරෝධාර රණවිරුවන් මෙන්ම ආබාධිත වූ විරුවන් බොහෝමයි. ඔවුන් ඔවුන්ගේ වටිනා ජීවිත මෙන්ම ශරීරාංග පූජා කලේ අප සැම සහ රට වෙනුවෙන් බව අදටත් අපි හැමෝටම මතකයි. ඒ නිසාම ඒලෙස දිවිපිදූ විරුවන් සමරනු වස් මැයි මස 18 සහ 19 යන දෙදිනම වෙන්වූයේ විජයග්‍රහණයත් සමගයි. එම විරුවන්ට පින්දී උපහාර කිරීම වෙනුවෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය ඉදිවී තිබෙනවා. ඒහි තාප්පය වටේටම දිස්වෙන නාමයන් සියල්ල කියාපාන්නේ මවුබිම වෙනුවෙන් දිවිපිදූ වීරපුතුන් පිළිබදවයි. ඒහි අම්මාවරුන්, බිරින්දෑවරුන්, දරුවන්, ආදරවන්තියන් ආදීන්ගේ කදුළු වලින් ලියවී ඇති, රට බේරාගනු වස් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ නාමයන් ලක්මවගේ හදවතෙහි සැමදා රණින් සනිටුහන්වී පවතිනවා ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

යුධ හමුදාවේ නිලධාරීන් 177 කට උසස් වීම් – ආන්දෝලනයට ලක් වූ බ්‍රිගේඩියර් ප්‍රියංක මේජර් ජෙනරාල් තනතුරට

(19.05.2020 – 12:31 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවේ නිලධාරින් 177 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උසස් කර තිබෙනවා.

යුද්ධය අවසන් කර වසර 11 ක් සපිරීම නිමිත්තෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව මෙම උසස් වීම් ලබාදී ඇති බවයි යුද හමුදාව සදහන් කළේ.

නව මේජර් ජනරාල්වරුන් 5 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බලකායේ බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු, ලුතිනන් කර්නල්වරුන් 39 දෙනෙකු, මේජර් නිලයන් සදහා 69 ක් හා ලුතිනන් නිලය සදහා 60 දෙනෙකු මෙලෙස උසස් කර ඇති බවයි යුද හමුදාව නිවේදනය කළේ.

මෙලෙස මේජර් ජනරාල් නිලයට උසස් වීම් ලැබූ නිලධාරින් අතරට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාද ඇතුළත්.

2018 වසරේ නිදහස් දිනයදා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයකදී තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වුණා.

පසුව පැවති නඩු විභාගයේදී වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඔහුව වරදකරු බවට පත් කළ අතර, නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම අධිකරණය නියෝග කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගෙන් දඩයක් ලෙස ස්ටර්ලිං පවුම් 2400 ක් අය කර නඩුව අවසන් කරන ලෙසයි.

මේ අතර, 11 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද (19) පස්වරු 4 ට පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම උත්සවයට සමගාමීව යුද හමුදාවේ සෙසු නිලයන් 14,617 දෙනෙකුට ද උසස් වීම් ලබාදීමටයි තීරණය කර ඇත්තේ ෴

+++++++++++++++++++++++++++++++++++

‘ජාතික රණවිරු අනුස්මරණ දින’ රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සමරනු වස් සියල්ල සුදානම්

(19.05.2020 – sinhala.news.lk)

යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කොට රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය (මැයි 19) අද බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

එම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් , ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.

සෞඛ්‍ය අංශයන් ලබාදී ඇති උපදෙස් සඳහා මුල්තැනක් ලබාදෙමින් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙම 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය පස්වරු 4.00 ට ආරම්භ වන අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි වේ. තවද මෙම ජාතික උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද සහභාගිවීමට නියමිතය.

වර්ෂ 2009 මැයි මසින් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1160), ගුවන් හමුදාවේ (443) සහ පොලිසියේ (2598) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (456) දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කරනු ලැබේ. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයෙන් අනතුරුව විරෝදාර රණවිරුවන්ගේ නිර්භිතකම සඳහා වූ රණවිරුවන් සිහිකිරීමේ පාඨය කියවීමෙන් පසුව ආගමික වතාවත් සිදු කිරිමට නියමිතය.

මෙහිදී ‘රණබෙර’ වාදනය කරනු ලබන අතර ගුවනින් සිදුකරනු ලබන පුෂ්පෝපහාර මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති සහ නාවික හා ගුවන් හමුදාධිපතිතවරුන්, පොලිස්පතිතුමන් සහ අනෙකුත් විශේෂ ආරාධිතයින් මෙන්ම දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන් රණවිරු ස්මාරකය පාමුල මල් කළඹන් තබා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීමට නියමිතය.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන්වීමට නියමිතය ෴

+++++++++++++++++++++++++++++++++++

11 වැනි කෘතගුණ පුජාව – විශේෂ සමරු දෙසුම – ආචාර්ය සරත් වීරසේකර

+++++++++++++++++++++++++++++++++++

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ අන්තිම දින 7 ගෙවුණු හැටි

(19.05.2020 – aruna.lk)

තිස් වසරක් තිස්සේ ඊළාම් රාජ්‍යයක් ගැන සිහින මැවූ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසන් සතියේ කොටු වී සිටියේ මීටර් අටසියයකට අඩු භූමියකය. ඒ වීරෝදාර රණවිරුවන් ඇස්, ඉස්, මස්, ලේ දන්දෙමින් කළ කැපකිරීම නිසාය. වර්ග කිලෝමීටර් දහතුන් දාහක් පුරා පැතිරී තිබූ කොටින්ගේ ඊළාම් රාජ්‍යයේ කිසිදු නිජබිමක් ඒ වන විටත් ඉතිරි වී නොතිබිණි. කොටි ත්‍රස්තයන් මාවිල්ආරුව වසා දැමූ නිසා 2006 අගෝස්තු 01 දා ඇරඹි සිව්වන ඊළාම් යුද්ධයේ අවසන් සතිය තීරණාත්මක විය.

කොටි නායකයා ඇතුළු පිරිස මුත්තියන් කච්චුකුලම් හරහා මුලතිව් කැලෑවට පැන ගන්නා ‘ඇන්කර් වන්’ නමැති කොටි මෙහෙයුම සැලසුම් කරන්නේ මේ අතරය. කොටි ඔත්තු අංශ නායක පොට්ටු අම්මාන්, මුහුදු කොටි නායක සුසෙයි, ප්‍රභාකරන් පුත් චාල්ස් ඇන්තනි ඇතුළු කණ්ඩායම ඇන්කර් වන් මෙහෙයුම සැලසුම් කළහ. අවසන් සතිය වන විට බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාංකයටත්, මේජර් ජනරාල් කමල් ගුණරත්න 53 සේනාංකයටත්, බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා 59 වැනි සේනාංකයටත් අණ දුන්හ. කර්නල් අතුල කොඩිප්පිලි යටතේ වූ විශේෂ බළකා බළ සේනාවත්, කර්නල් රැල්ෆ් නුරේරා යටතේ වූ කමාන්ඩෝ බළ සේනාවත් අවසන් කොටි බළකොටුව වට කර තිබිණි.

2009 මැයි 17 දා අලුයම 2.20 ට කොටි ත්‍රස්තයන් හමුදා ආරක්ෂක වළල්ල බිඳ ගෙන මුලතිව් පනින මෙහෙයුම දියත් කළහ. දරුණු වෙඩි වරුසාවලින් කළපු තීරයම ගිනියම් විය. හමුදා සෙබළුන්ගේ වෙඩි වරුසා මැද කළපුවම ත්‍රස්තයන්ගේ ලෙයින් රත් පැහැ වන්නට ගත වූයේ සුළු මොහොතකි. එදින අලුයම 5.20 වන විට සමස්ත කොටි මෙහෙයුමම කණපිට හරවනු ලැබුවේ සෙබළුන්ගේ දැඩි චිත්ත ධෛර්යයෙනි. මුළු කළපු තීරයම කොටි මළ මිනීවලින් පිරී ගොසින්ය. මුලතිව් කැලෑවට පනින කොටින්ගේ ඇන්කර් වන් මෙහෙයුම පරජයට පත් කරමින් කොටි නායකයන් අවසන් හෝරාව කරා රැගෙන යන්නට භට පිරිස් කළ කැපකිරීම අතිමහත්ය.

“ඇත්තටම මැයි 17 වැනිදා හැන්දෑව වන විට එල්.ටී.ටී.ඊ.ය කුඩා කොටසකට කොටු කරන්නට අපට හැකිවුණා. මගේ නායකත්වය යටතේ 58 වන සේනාංකයත්, මේජර් ජනරාල් කමල් ගුණරත්න යටතේ 53 වන සේනාංකයත් මෙම ප්‍රදේශය වටකර ගත්තා. මැයි 17 දා රෑ තීරණාත්මක වුණා යැයි වසර එකොළහකට පෙර වූ බිහිසුණු සටනේ මතකය ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අනාවරණය කළේය.

මන්නාරම සහල්නැලියේ සිට 58 වන සේනාංකය ඇරඹූ කොටි බළකොටු මුදා ගන්නා තීරණාත්මක ගමන අවසන් මොහොත දක්වා ක්‍රියාත්මක වුණා. අපි ඒ වන විටත් කිලෝමීටර් 208 ක් මුදා ගනිමින් ඉදිරියට ගියා. වන්නි මානුෂීය මෙහෙයුමේ වැඩිම දුර ගිය සේනාංකය 58 වන සේනාංකයට අවසන් සටනේ භාරදූර මෙහෙවරක් ඉටු කරනනට සිදුවුණා. ත්‍රස්තවාදීන් හමුදා ආරක්ෂක වළලු බිඳගෙන හෝ පැනයාමේ අවදානමක් ගැන අපි දැන ගත්තා. ඒ අනුව පළමු ආරක්ෂක වළල්ලට අමතරව තවත් ආරක්ෂක වළලු තුනක් පසු පසිනුත් දැම්මා. එක ලයින් එකකන් කැඩුණොත් අනෙක් ලයින් එක කඩන්න බැරි වෙන්න අපි උපක්‍රම යෙදෙව්වා. මේ වන විට එල්.ටී.ටී.ඊ.යේ. ඉතිරිව සිටි ප්‍රබලම නායකයන් නන්දිකඩාල් කළපුවේ අවසන් මෙහෙයුම සකස් කරමින් හුන්හ. කොටි ත්‍රස්තයන් මැයි 17 දා පස්වරුවේ හමුදා ආරක්ෂක වළල්ල බිඳගෙන යාමට සැලසුම් කරන බවට අනාවරණය වන්නේ මේ අතරය. මුලතිව්, වච්චුවාකල් දෙසින් සිවිල් වැසියන් සමග හමුදා පාලන ප්‍රදේශයට ආ කොටි බුද්ධි අංශ ප්‍රබලයකුගෙන් මේ බව හෙළි විය.

වහාම හමුදා බළ ඇණි සීරුවෙන් තබන්නට යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා නියෝග කළේය. එය නිදි නොමැති රැයක් විය.

කරෙයිමුල්ල වයික්කාල්හි සිවිල් වැසියන්ට පැමිණෙන්නට තිබූ හමුදා බාධකය දෙසට අඳුරේම පිරිසක් ඇදී ආහ. සිවිල් වැසියන් සේ පැමිණ හමුදා ආරක්ෂක වළල්ල බිඳ දැමීම කොටි ප්‍රබලයන්ගේ අවසන් සැලසුමය.

මේ වන විටත් කොටින්ගේ ජාත්‍යන්තර නායක කුමරන් පද්මනාදන් ඇතුළු පිරිස් ජාත්‍යන්තර මැදිහත්වීමකින් කොටි නායකයන් බේරා ගන්නා සැලසුමක්ද ක්‍රියාත්මක කරමින් සිටියහ. ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඉදිරියට තැබූ පය ආපස්සට ගන්නට සේනාධි නායකයා වූ ජනපති මහින්ද රාජපක්ෂත්, ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂත් කිසි විටෙක සූදානම් වූයේ නැත. ත්‍රස්තවාදය පරාජය කර සමස්ත භූමියම මුදා ගන්නට හමුදාපතිවරුන්ට නොසැලෙන නායකයෙක් ලැබුණේය.

මේ සියලු කාරණා සිදුවෙද්දී ගැමුණු රෙජිමේන්තුවේ කපිතාන් අබේරත්නට සැක කටයුතු දෙයක් නිරීක්ෂණය විය. ඒ වන විට වේලාව මැයි 17 දා රාත්‍රී 11.00 ට පමණ විය. කරෙයිමුල්ලවයික්කාල්හි සිවිල් වැසියන්ට පැමිණෙන්නට තිබූ පිවිසුමේ ආරක්ෂාව පැවරුණේ කපිතාන්වරයාටය. සියයට අධික පිරිසක් හමුදා ආරක්ෂක වළල්ල දෙසට එනු දුටු එම නිලධාරියා වහාම ක්‍රියාත්මක විය. රාත්‍රී කාලයට මෙහි ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව එම නිලධාරියා දෙමළෙන් කියා සිටියේය. එය ඉදිරියේ වූ දූපත් කැල්ලේ එළිවනතුරු රැඳී සිටින්නැයි ඔහු දැන්වීය. සිදුවන දෑ කපිතාන්වරයා 17 වන ගැමුණු රෙජිමේන්තු අණදෙන නිලධාරියා ලුතිනන් කර්නල් කීර්ති කෝට්ටවත්ත වෙත පණිවුඩ හුවමාරු මගින් දන්වන්නටද අමතක නොකළේය. කර්නල් ජී.වී. රවිප්‍රිය යටතේ වූ කාර්ය සාධක බළකායට අයත් 681 බළ සේනාවට මෙම ප්‍රදේශයේ ආරක්ෂාව පැවරිණි. මේජර් ජනරාල් කමල් ගුණරත්නට 53 වන සේනාංකය මෙන්ම මෙම කාර්ය සාධක බළකාය අධීක්ෂණය කිරීමට පැවරී තිබුණේය.

පැය ගණනක නිහැඬියාවකින් පසුව යළිත් සිවිල් වැසියන් අතරේ සැඟවී ආ කොටි ත්‍රස්තයන් හමුදා ආරක්ෂක වළල්ල දෙසට එන්නට උත්සාහ ගත්හ. මේ වන විට පසුදිනට (මැයි 18) එළිවෙමින් තිබිණි. වේලාව අලුයම 2.45 ට පමණය. එන්න එන්නම හමුදා අණ නොතකා කලබල කරමින් මෙම පිරිස් ඉදිරියට එන්නට වූහ.

අණ දෙන නිලධාරීන්ගෙන් උපදෙස් ගත් කපිතාන් අබේරත්න අවවාදාත්මක වෙඩි කිහිපයක් අහසට තැබුවා පමණි ඒ වන විට වේලාව අලුයම 3.20 පමණ විය. හමුදාව තමන් හඳුනාගෙන වෙඩි තබන බව සැක කළ කොටි ත්‍රස්තයන් මුළු හමුදා ආරක්ෂක වළල්ලටම පහර දෙන්නට වූහ.

සතුරු ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සිටි භට පිරිස් නොබියව සතුරු ප්‍රහාරයට මුහුණ දුන්හ. සතුරා වෙත දරුණු ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කරමින් ආරක්ෂක වළල්ල රැක ගන්නට ඔවුහු දිවි හිමියෙන් සටන් කළහ. කොටි ත්‍රස්තයන්ගේ ජ්‍යෙෂ්ඨතම සටන් සාමාජිකයන් සියයක් පමණ හමුදා බංකර් දෙකක් වට කර පහර දුන්හ. ලුතිනන් උදයපාල යටතේ වූ බ්‍රාවෝ කණ්ඩායම එම බංකර් දෙක රැක ගන්නට උපරිම වෙර ගත්හ. එහිදී සෙබළුන් අට දෙනකු පමණ තුවාල ලැබීමත් සමග ඇති වූ හිඩැසින් කොටි කණ්ඩායමක් ඇතුළට පැන ගත්හ. ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි, ප්‍රභාකරන්ගේ ආරක්ෂව භාර රාධා රෙජිමේන්තු නායක රත්නම් මාස්ටර්ද ඒ අතර වූහ. පහළොස් දෙනකුගේ පමණ කොටි කණ්ඩායමක් එම හිඩැසින් හමුදා පාලන ප්‍රදේශයට රිංගා ගත්හ. මේ වන විටත් ආරක්ෂක වළලුවල දරුණු සටන් ඇවිළී ගියේය. හමුදා ආරක්ෂක වළල්ල තුන්පලකින් කඩා ගෙන ඇතුළු වීම කොටි නායකයන්ගේ සැලැස්ම විය. යුද හමුදාපතිවරයා මේ වන විටත් කමාන්ඩෝ බළ සේනාවද සහායට කැඳවා තිබිණි. පළමු ආරක්ෂක වළල්ල බිඳ ගෙන ඇතුළට රිංගූ ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇතුළු කණ්ඩායම දෙවැනි ආරක්ෂක වළල්ලේ එක් තැනකදී හමුදා භටපිරිස්වලට කොටු වූහ. චාල්ස් ඇන්තනි ඇතුළු කණ්ඩායම හමුදා ප්‍රහාරයෙන් මරු දකින්නේ එක් කොටි සැලසුමක් දියාරු කරමිනි. තුවාල ලද සෙබළකු රැගෙන ගිය 682 බළ සේනාවට අයත් ගිලන් රථයකට අතර මගදී වෙඩි තබා එය ත්‍රස්තයන් පැහැර ගත්හ. එහිදී සෙබළා හා රියැදුරු සෙබළ සඳරුවන් වෙඩි ප්‍රහාර මැද කැලෑවකට පැන දිවි බේරාගත්හ.

ගිලන් රථයෙන් පැන ගිය කොටින්ට කමාන්ඩෝ භට පිරිස් අතරමගදී පහර දුන්හ. එම ප්‍රහාරයෙන් ගිලන්රථයේ ගිය කොටින්ගේ මළ සිරුරු ගිනි ගනිද්දී කොටි මනෝමූල මෙහෙයුමක් දියත් කළහ. කොටි නායක ප්‍රභාකරන් ​රථයෙන් පැන යන විට එල්ල වූ ප්‍රහාරයෙන් පිලිස්සී මියගිය බව අඟවන්නට මෙම මනෝ මෙහෙයුම ක්‍රියාත්මක විය. එය දකුණේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලටද ලැව් ගින්නක් සේ පැතිර ගියේය.

චාල්ස් ඇන්තනි මියගිය බව දැනගත් කොටි නායකයා කඩොලාන ප්‍රදේශයට පැන ගත්තේ ගැටුම් අතරේය.

මේ වන විටත් මුහුදු කොටි නායක සුසෙයි, සන්නද්ධ නායක ජෙයම් ඇතුළු කණ්ඩායමක් හමුදාවේ අවධානය තමන් වෙත යොමු කරවන මෙහෙයුමක් අරඹා තිබිණි. මුහුදු වෙරළ ​නිදහස් ​කොටසක් අල්ලා මුහුදෙන් පලායාම මොවුන්ගේ ඉලක්කය විය. කමාන්ඩෝ හා විශේෂ බළකා භටපිරිස් තම අභිමානය පෙන්වමින් කොටින්ගේ ප්‍රබලම සටන් කරුවන් හඹා ගොස් ඉලක්ක පිට ඉලක්ක ලබාගත්හ. හමුදාවේ වෙඩි බලයට මුහුණ දිය නොහැකි වූ කොටි ත්‍රස්තයන් මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක්ද දියත් කළහ.

“මේ සටනේදී මරාගෙන මැරෙන ප්‍රහාර අටක් විතර එල්ල වුණා. ඉන් හතක්ම මිස් වෙලා ගියා. ත්‍රස්තයන්ගේ හයසියයක් විතර සටනට ආවා. අපි සැලසුම් සහගත ලෙස ආරක්ෂක වළලු යොදවපු නිසා ඒවායෙන් මිදී පලායාම සතුරාට අපහසු වුණා. අපේ සෙබළු දිවිහිමියෙන්ම එම සටන කළ නිසා ත්‍රස්තයන් පරාජය කරා රැගෙන ගියා.” අවසන් සටන ගැන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එසේ කියන්නේය.

මැයි 18 දා සවස් වන විට භූමියේ ඇති වූ දරුණුම සටන් සිදුවෙමින් තිබිණි. කොටින්ගේ සන්නද්ධ නායකයන් වූ රමේෂ්, පුලිතේවන්, ඉලංතේ, නඩේසන් ඇතුළු කොටි එකසිය හයකගේ මළ සිරුරරු විශේෂ බළකායට හමුවිය. කමාන්ඩෝ බළ සේනාව තවත් කොටි ප්‍රබලයන්ගේ මළ සිරුරු හැත්තෑවක් පමණ සොයාගත්හ. පාබල භටපිරිස්ද ඇතුළුව කමාන්ඩෝ, විශේෂ බළකා එක්ව කළ සමස්ත සටනේදීම ත්‍රස්තවාදීන් හාරසියයකගේ පමණ මළ මිනී තැන තැන වැටී තිබුණේය. කළපු තීරවල තවත් කොටි ත්‍රස්තයන් මැරී වැටී සිටියහ. කොටි නායක ප්‍රභාකරන් හා සමාන සිරුරක් මේ අතර තිබී හමුවූ අතර එය තහවුරු කර ගැනීමට බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක විය. ඒ වන විටත් ප්‍රභාගේ මළ සිරුර හමුනොවීම ඊට හේතුව විය. අවසානයේ එයද මාදවන් මාස්ටර් නමැති ත්‍රස්ත නායකයාගේ බව තහවුරු විය. කොටි නායක ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍යයේ අවසන් කොටසක් විශේෂ බළකාය විසින් මැයි 18 දා පස්වරුවේ අල්ලාගෙන අවසන් විය. කොටි ත්‍රස්තවාදයෙන් සමස්ත භූමියම අල්ලාගෙන අවසන් බවට යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය. මැයි 18 දා පස්වරුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ , ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී ත්‍රස්තවාදයෙන් මුළු රටම බේරාගත් බවට නිල වශයෙන් දැනුම් දුන්නේය.

සමස්ත භූමියම මුදා ගත් බවට ජනාධිපතිවරයාට නිල වශයෙන් දන්වා යුද ජයග්‍රහණය රටටම සමරන්නට පණිවුඩය ගෙන ගියේය. රටම රතිඤ්ඤා හඬින් වෙළී යද්දී ජාති භේදයකින් තොරව සියලු දෙනා සිංහ ධජ රැගෙන වීදි බැස ජයඝෝෂා නගන්නට වූහ.

සමස්ත භූමියම හමුදා පාලනයට නතුවෙද්දී කොටි නායක ප්‍රභාකරන් සිය ආරක්ෂකයන් විසි හතර දෙනකු සමග නන්දිකඩාල් කළපුවේ දූපත් හයෙන් එකකට රහසින්ම ඇතුළු වී සිටියහ. එය කඩොලාන කොටසකි. ජාත්‍යන්තර නායකයන් සමග සැටලයිට් දුරකථන ඔස්සේ කතා කරමින් අවසන් මොහොතේ හෝ ජීවිතය රැක ගන්නට ප්‍රභාකරන් උත්සාහ ගත්හ. මැයි 18 දා අලුයම කඩොලාන මැද වූ ආරුවකට බැස ජලයේ සැඟවී සිටි කොටි නායකයාගේ අවසන් ඉරණමත් තීන්දු කරන මෙහෙයුම ඇරඹිණි. කොටි නායක ප්‍රභාකරන්ගේ සිරුර හමු නොවූයෙන් හමුදා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක විය.

මැයි 18 දා රාත්‍රියේ සිට අවසන් සටනේ මෙහෙයුම් මැදිරියට සේනාංකාධිපතිවරු එක්ව සිටියහ. මේජර් ජනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා, බ්‍රිගේඩියර් චාගී ගාල්ලගේ ඒ අතර වූහ. කර්නල් අතුල කොඩිප්පිලි, කර්නල් රැල්ෆ් නුගේරා ඇතුළු බළ සේනාධිපතිවරුන්ද එක් වූහ.

කමාන්ඩෝ බළකාය යොදවා කළපු තීරයේ අඟලක් නෑර හසුවන්නට ප්‍රහාර මාලාවක් දියත් කළේ ඉතිරි වූ කොටි කණ්ඩායම් සිටී නම් එයත් අවසන් කරන අරමුණෙන්නය. කළපු තීරයේ සැඟවී සිටි කොටි රැසකට වග කියන්නට එම මෙහෙයුමත් ඉවහල් විය. මැයි 19 දා අලුයම වෙද්දී ප්‍රදේශයම යළි සෝදිසි කිරීම ලුතිනන් කර්නල් රෝහිත අලුවිහාරේ යටතේ වූ 4 වන විජයබා රෙජිමේන්තුවට පැවරිණි.

​මේජර් ​ජනරාල් කමල් ගුණරත්නගේ අධීක්ෂණය යටතේ කර්නල් විජිත රවිප්‍රියගේ කාර්ය සාධක බළකායට අයත් භටපිරිස් යෙදවීමට බළ සේනාධිපති ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ පියවර ගත්තේය. හතර වන විජයබා රෙජිමේන්තුවේ සැරයන් මුතුබණ්ඩා හා සැරයන් විජේසිංහගේ කණ්ඩායම් එළිය වැටෙද්දීම අත්බෝම්බ ගසමින් වෙඩි තබමින් කළපු තීරය සෝදිසි කරමින් ඉදිරියට ඇදෙන්නට වූහ.

එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මැයි 19 දා උදෑසන 10.45 ට කොටින්ගේ කැලෑ ඇඳුමක් සහිතව ආරක්ෂකයන් සමග මැරී වැටි සිටි කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුරද හමු විය. මොළය පසාරු කරගෙන ගිය වෙඩි ප්‍රහාරයකින් ප්‍රභාකරන් මියගොස් තිබිණි. වීරෝධාර හමුදාව අතින් ඊළාම් ඉතිහාසය මකා දමමින් ඉඳුරු කොටි ත්‍රස්තවාදියා මියැ දෙන විටත් ඊළාම් රාජ්‍යයේ සමස්ත බළකොටු සියල්ල මුදාගත් බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ජාතිය අමතා පවසමින් සිටියේය.

මේ වන විටත් දහස් ගණනින් සෙබළුන් හා නිලධාරීන් නන්දිකඩාල් කළපුවට පැමිණ තම අත්වල වූ ගිනි අවි අහසට දිගු කරමින් විජයග්‍රහණය සැමරූහ. තිස් වසරක ශාපලත් යුද්ධයට නායකත්වය දුන් ම්ලේච්ඡ ත්‍රස්ත නායකයාගේ සිරුර කොටි නිල ඇඳුමින් තබන්නට ඉඩ නො‌දෙන්නැයි යුද හමුදාපතිවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ බ්‍රිගේඩියර් චානී ගාල්ලගේය.

යුද උද්දාමයෙන් සෙබළුන් ඉපිල්ලෙද්දී කොටි නායක ප්‍රභාගේ සිරුර තම කැබ් රථයට දමාගෙන අත්හැර දමා තිබූ කඳවුරකට ගොස් එහි වූ රෙදි කඩකින් අමුඩයක් අන්දවා යළිත් කළපුවට ගෙනවිත් දමන්නට බ්‍රිගේඩියර් ගාල්ලගේ පියවර ගත්තේය. ප්‍රභාකරන් ඇතුළු රටට සාපයක් වූ කොටි නායකයන්ගේ මළ සිරුරු පුළුස්සා අළු මහ මුහුදට විසි කර දැමිණි. අදට එකොළොස් වසරකට පෙර මෙවැනි විජයග්‍රහණයක් ලැබුවේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය එකාවන්ව රට වෙනුවෙන් කළ මෙහෙවර නිසාය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

+++++++++++++++++++++++++++++++++++

Daya Master and Geroge Master
Karuna Amman and Daya Master
LTTE Leaders
Charles Anthony
Prabakaran and Family
Prabakaran and Family

Thiruvenkadam Velupillai Prabhakaran the leader of the Liberation Tigers of Tamil Eelam (LTTE) :

Born : 26 November 1954 in Valvettithurai, Sri Lanka
Died : 18 May 2009 (aged 54) in Mullaitivu, Sri Lanka
Spouse : Mathivathani Erambu (1984–2009)
Children :
Charles Anthony (1989–2009)
Duvaraga (1986–2009)
Balachandran (1997–2009)

+++++++++++++++++++++++++++++++++++

ප‍්‍රභාගේ මරණය යළි කියැවීම – චතුර පමුණුව

(19.05.2020 – divaina.com)

1987 ජුලි මාසයේදී කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හාර්දීප් සිං පූරී යාපනයේ දී ප‍්‍රභාකරන් හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ඔහුට ආරාධනයක් ලැබිණි. ප‍්‍රභාකරන් එම ඉල්ලීමට එකඟ විය. එහෙත් ඔහුට ඉල්ලීම් කිහිපයක් ඉන්දීය රජයට ඉදිරිපත් කිරීමට තිබිණි. ඉන්දියාව බලා යන ගමනේ දී තම දේශපාලන සහායකයන් වන යෝගි හා තිලීපන්ට අතිරේකව කායාරක්ෂක භටයන් දෙදෙනකුන් හෝ තිදෙනකුන් කැටුව යාමට ඔහුට වුවමනා විය.

මදුරාසියේ දී බාලසිංහම් තමන් හා එක්වීම ද ප‍්‍රභාට අවශ්‍ය විය. ඔහුට තම බිරිඳ හා දරුවන් දෙදෙනා මදුරාසියට කැටුව යාමට ද වුවමනා විය. එහිදී තමන්ගේ දෙමාපියන් දැක බලා ගැනීමට තම බිරිඳට හා දරුවන්ට අවස්ථාව සලසා දීමට ප‍්‍රභාකරන් බලාපොරොත්තු විය. නවදිල්ලිය බලායාමට කලින් තමිල්නාඩු මහ ඇමැති එම්.ජී.ආර්. බැහැදැකීමට තමන්ට වුවමනා බවද ඔහු කියා සිටියේය. ඉන්දීය රජය මේ ඉල්ලීමවලට එකඟ වූ අතර කොළඹ ආණ්ඩුවේ අවසරය ඇතිව ඉන්දියානු හෙලිකොප්ටර් යානා දෙකක් යාපනය බලා පියාසර කිරීමට පියවර ගනු ලැබිණි.

ඉන්දියාවට ගොඩබට පසුව මදුරාසි ගුවන් තොටුපොළෙහි වූ ඉන්දියානු ගුවන් සේවයේ මගී විවේකාගාරය තුළ ප‍්‍රභාකරන් විනෝදකාමී විලාසයකින් පසු වනු දක්නට ලැබිණි. එහිදී හාර්දීප් සිං පූරී හා ඔහු එක්ව දිවා ආහාර ගැනීමට ගියහ. කොටි නායකයා ඔහු කැමති දෙයක් ඇණවුම් කරතැයි සිතමින් පූරි තමන්ට කුකුල් මස් ව්‍යංජනයක් සමඟ බත් ගෙන එන ලෙස දැනුම් දුනි. තිරිඟු වලින් සාදනු ලබන උතුරු ඉන්දියානු පැතලි පාන් විශේෂයක් වන චපාතිවලට තමන් වඩා කැමති යයි ප‍්‍රභාකරන් පැවසීය. “මම බත් කන්නෙ නැත්තේ කොකා ගස්සන ඇඟිල්ලට ඒක නරක විදිහට බලපාන නිසායි.” ඔහු මැඩගත් සිනවකින් යුතුව පැවසීය. ජේ.එන්. ඩික්සිත් මහතා ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සමයේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා හාර්දීප් සිං පූරි වර්තමාන නරේන්දා මෝදි රජයේ ඇමැතිවරයෙකි.

ඉහත කරුණු අඩංගුවන්නේ ‘ප‍්‍රභාකරන් – දුරවබෝධ මනසක ඇතුළාන්තය’ යන කෘතියේය. එදා කොකා ගස්සන ඇඟිල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් චපාති අහාරයට ගත් මේ ත‍්‍රස්ත නායකයා අවසානයේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ ජීවිතයත් බිලිගත්තේය. ලංකාවේ ප‍්‍රශ්නයට මැදිහත් වී ඉන්දියාව හොද පාඩමක් ඉගෙන ගත්තේය. මෙරටට ඉන්දීය හමුදා ගොඩබස්වා සිදුවුයේ මහත් විපතකි. ඉන්දීය සෙබළුන් 1200 ක් මරණයට පත්වූ නිසාම මේ මෙහෙයුම් හදුන්වන්නේ ඉන්දියාවේ වියට්නාම අත්දැකීම ලෙසය.

අතීත මතක කෙසේ වෙතත් හරියටම මීට වසර 11 කට පෙර ප‍්‍රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපු තීරයේදී හමුවිය. රට විනාශ කළ ත‍්‍රස්ත නායකයා ලංකා හමුදාවේ විජයබා බල ඇණියේ සෙබළෙකුගේ වෙඩි ප‍්‍රහාරයට ගොදුරුව අවසන් ගමන් ගොස් තිබිණි. මහා වීරත්වයට පත්කර සිටි කොටි නායක ප‍්‍රභා කිසි විටක සිය ග්ලොග් පිස්‌තෝලයෙන් වෙඩිතබාගෙන සියදිවි නසාගන්නේ නැත. ළමා සොල්දාදුවන්ට පවා සයනයිඞ් පැළඳි මේ ඊනියා ත‍්‍රස්‌ත නායකයා සිය සයනයිඞ් කරල හපා කෑවේ ද නැත. ප‍්‍රභාකරන්ට සිය මරණීය උණ්‌ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය.

ඇත්තෙන්ම වෙඩිවදින අවස්‌ථාවේ ප‍්‍රභාකරන් සිටියේ සිය සුපුරුදු කොටි ඇඳුමින් සැරසී නම් නොවේ. මැයි 17 වැනිදා වනවිට නන්දිකඩාල් කලපුව තුළ කණ්‌ඩායම් තුනක්‌ ලෙසට එල්.ටී.ටී.ඊ. නායකයෝ ස්‌ථානගත වී සිටියහ. බාබු හා සුසෙයි එක්‌ කණ්‌ඩායමක්‌ ලෙසත් පොට්‌ටු අම්මාන් ඇතුළු පිරිස තවත් කණ්‌ඩායමක්‌ ලෙසත් ප‍්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්‌ඩායමක්‌ ලෙසත් කලපුව අවට ස්‌ථානගත වී සිටියහ. එහෙත් ප‍්‍රභාකරන්ගේ පණ සුන් සිරුර හමුවූයේ 19 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබියදීය. ප‍්‍රභාකරන්ගේ බිරිඳ මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකිවිය. චාල්ස්‌ ඇන්තනීගේ දේහයත් මැයි 17 වනවිටම සොයාගෙන තිබිණි. හිට්‌ලර්ගේ මරණය සේම ප‍්‍රභාකරන්ගේ මරණය ද විශ්වාස නොකරන පිරිසක්‌ කොටි හිතවාදීන් අතර විය. ඒ 2009 මැයි මාසයේදී ය. නමුත් දැන් නම් එවන් කණ්‌ඩායම් ගැන අසන්නට නොලැබේ.

ප‍්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ ආදරයට ඔහු හැඳින්වූයේ තම්බි (මල්ලි) යන සුරතල් නමිනි. ළමාවියේ ප‍්‍රභාකරන්ගේ ප‍්‍රියතම ක‍්‍රීඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදීමය. එහෙත් ඔහු ක‍්‍රීඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා ක‍්‍රියාදාම චිත‍්‍රපට නැරඹීමට යොමු වූයේය. කුඩා අවධියේ පටන් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපොල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුළමින් තිබූ අතර කථාබහ කරන විට නිරතුරුව අවට බලමින් විමසිලිමත් ලෙස කථා කළේය.

කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනය. යාපන දිස්ත‍්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40 ක් 50 ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේස්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප‍්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට (33) පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැගිටින ලෙස විනාශයට පත්විය.

මීට වසර 15 කට පෙර එනම් 2005 වසරේ නොවැම්බරයේදී කොටි නායක ප‍‍්‍රභාකරන් සිය 51 වැනි උපන් දිනය සමරුවේ නිරාහාරවය. එය ආගමික විශ්වාසයක් මත සිදු කළා ද එසේ නොවේ නම් සිය මියගිය සටන් සගයන් සිහි කිරීම වෙනුවෙන් සිදු කළ උපහාරයක් දැයි අපි නොදනිමු. ඒ ගැන නිවැරදිව කියන්න දන්නා කිසිවෙක් වර්තමානයේ ජීවතුන් අතර ද නැත. කෙසේ නමුත් ඒ කාලයේදී ප‍‍්‍රභාකරන් වන්නි කැලයේ සැඟවී සිටිමින් සිදුකරන මහා විරු ප‍‍්‍රකාශය ගැන නම් උතුර පමණක් නොව දකුණේ ජනතාව ද අවධානය යොමු කළේ එය රටේ පමණක් නොව තමන්ගේ මනුෂ්‍ය ජීවිතයට කෙළින්ම බලපාන බැවිනි. මේ ත‍‍්‍රස්ත නායකයා රටේ කොතැනක කවර වෙලාවක කවර විනාශයක් සිදු කරයිද නැද්ද යන්න පිළිබඳ විශ්වාසයක් නැති නිසා මහවිරු ප‍‍්‍රකාශයෙන් කියන්නේ කුමක්දැයි යන්න දැනගැනීම වැදගත් විය.

2005 මහවිරු ප‍‍්‍රකාශය සිදු කරමින් ප‍‍්‍රභාකරන් සිංහලයන්ගේ මහාවංශ මානසිකත්වය නිග‍‍්‍රහයට ලක් කළේය. සිංහලයන්, ශ‍‍්‍රී ලංකාව තමන්ට පමණක් වෙන්කර ගැනීම මේ දෙමළ නාසිවාදී ත‍‍්‍රස්ත නායකයාගේ දැඩි විවේචනයට ලක් විය. 2006 මහවිරු ප‍‍්‍රකාශය සිදුකරමින් ප‍‍්‍රභාකරන් පැවසුවේ කුමක්ද? තමන්ට ඊළම පිහිටුවීම හැර අන් විකල්පයක් නොමැති බවයි. එදා ඊළම පිහිටුවනවා යැයි ප‍‍්‍රභාකරන් වහසි බස් දෙඩුවේ දකුණේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නටය. ප‍‍්‍රභාකරන්ගේ ඊළාම් ප‍‍්‍රකාශ උපුටා දක්වමින් දකුණේ ඊනියා කොටි ඒජන්තයෝ ද සිංහල ජනයා බිත්තියට හේත්තු කරන්නට උත්සාහ ගත්හ. යුද්ධයෙන් කොටි පැරදිය නොහැකි බවට මරහඬ තලන්නට වුහ. 2008 නොවැම්බර් මාසයේදී ප‍‍්‍රභාකරන් සිය අවසන් මහවිරු ප‍‍්‍රකාශය සිදුකරමින් සඳහන් කර සිටියේ කුමක්ද? කිළිනොච්චියට ඇතුළුවීම රාජපක්ෂ ආණ්ඩුවේ දවල් හීනයක්ම පමණක් වන බවයි. නමුත් එම ප‍‍්‍රකාශයෙන් දින 140 කට පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජයග‍‍්‍රාහී විලාසයෙන් කිළිනොච්චියේ සංචාරය කරනු දක්නට ලැබිණි. එවිට ප‍‍්‍රභාකරන් පුදුමාතලන්වල සැඟවී සිටියේය. දෙමළ ජනතාව ලක්ෂ ගණනින් හමුදාව දෙසට පැමිණෙමින් සිටියේ මීට වසර 11 කට පෙර අපේ‍‍්‍රල් මාසයේ දෙවැනි සතියේදීය.

පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ ත‍්‍රස්ත යුද්ධය වසර 33 ක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක‍්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාත්මකම ප‍්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු – නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහණයෙන් 48% ක් වැනි ප‍්‍රමාණයකි. කොටි නායකයා සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ක‍්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම තම අනුගාමිකයින්ට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිදිය.

මේ වසර තිහක ඛේදය නිසා බොහෝ දේ විනාශ වූයේ සිංහලයන්ටත් වඩා දෙමළ ජනතාවට බව පැහැදිලි කරුණකි. එය එල්ටීටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිලිනී ජෙයකුමාරන් විසින් රචිත ස්වයංචරිතාපදානයේ සිංහල පරිවර්තනය ‘තියුණු අසිපතක සෙවණ යට’ කියැවීමේදී පැහැදිලිව හෙළිවේ. කොටි සංවිධානය දෙමළ සමාජයේ විමුක්ති සගයා නොවූ බවට ද කරුණු රැසක් ‘තියුණු අසිපතක සෙවණ යට’ කෘතියේ ලියැවී ඇත. තමිලිනී පෙන්වා දී ඇති පරිදි සැබෑ කැමැත්තෙන් සංවිධානයට එක් වී ඇත්තේ ඉතාමත් සුළු කොටසක් පමණි. කොටි සංවිධානයට ළමුන් බඳවාගැනීමේ ක‍්‍රියාවලිය ඉතා ගැඹුරින් සමාජය තුළින් ප‍‍්‍රශ්න කෙරෙන අවස්ථාවක් ප‍‍්‍රායෝගික සිදුවීමක් ඔස්සේ ඇය සිය ග‍‍්‍රන්ථයේ දක්වා ඇත. මෙය හද කකියවන සුලු පුවතකි. එයින්ම දෙමළ ජනයා ප‍‍්‍රභාකරන් නිසා කොතරම් පීඩනයට ලක්වූ බව පැහැදිලි නොවන්නේද? ඊළම සමග ප‍්‍රභාකරන් මියයෑම දෙමළ ජනයාට සැබවින්ම සහනයක් නොවන්නේ යැයි පවසන්නේ කවරකුද? මේ එම උපුටා දැක්වීමය.

‘උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යාවක් පුහුණුව සඳහා යොමුකර තිබුණි. දිනක් ඇයගේ පියා කඳවුරට පැමිණියේ ය. ඔහු වෙනත් මවුපියන් මෙන් සටන්කාමීන්ට බැණවැදීමක් හෝ තම දියණිය ඉල්ලා ආඬා වැළපීමක් හෝ කළේ නැත. දෙපා අක‍්‍රිය ඔහු පැමිණ සිටියේ රෝද පුටුවක උපකාරයෙනි. ව්‍යාපාරය වෙනුවෙන් ඔහු සමඟ කතා කළ යුතු වන්නේ මාය.

“නංගියේ මං අන්ත දුප්පත් හිඟන්නෙක්. හම්බවෙන කුලියක් මලියක් කරලා ලැබෙන තුට්ටු දෙක එකතු කරලා තමයි මගේ කෙල්ලට ඉගැන්නුවේ. දුව අරගලයට එකතු වුණ එක ගැන මගේ දුකක් නෑ. ගමේ රටේ සිද්ධ වෙන දේනේ ඒක. ඒ වුණත් දුවේ හෙට පිටරටවල්වල ඉඳන් දොස්තරලා ඉංජිනියර්ස්ලා වෙලා ඉගෙනගන්න අය මෙහෙට එනකොට රට වෙනුවෙන් සටන් කරපු මගේ දුවයි, අපේ පවුලයි ඒ අය ඉස්සරහ ඉගෙන ගත්තේ නැති හිඟන්නො හැටියටනෙ ඉන්න වෙන්නේ.” (32 පිටුව)

– චතුර පමුණුව

+++++++++++++++++++++++++++++++++++

අදත් සුවිශේෂී දිනයකි

(19.05.2020 – divaina.com – කතුවැකිය)

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු පැසිස්ට්වාදී ත‍්‍රස්තවාදී කල්ලිය පරාජය කර ඊයේට (18 වැනිදාට) වසර එකොළහක් සැපිරිණි. එහෙත් තිස් වසරක් තිස්සේ අප රට වෙලාගෙන තිබූ යුද්ධය නිමා කර රටට ස්ථිර වශයෙන්ම සාමය තහවුරු වූයේ අද (19 වැනිදා) වැනි දිනකය. ඊට හේතුව වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට නායකත්වය ලබා දුන් වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ප‍්‍රාණය නිරුද්ද වූ මළ සිරුර නන්දිකඩාල් කලපුවෙන් හමුවීමයි.

මීට අවුරුදු එකොළහකට පෙර සිදුවූ එම සිද්ධියත් සමග මුළු රටම රතිඤ්ඤා හඬින් ගිඟුම් දුන්නේය. ජාතික ධජ රැගෙන පුරවැසියෝ පී‍්‍රති ඝෝෂා කළහ. හන්දියක් හන්දියක් ගානේ කිරිබත් පිසූහ. රට එකම මඟුල් ගෙයක් බවට පත්විණි. කෙනකු මළ විට පී‍්‍රති ඝෝෂා, සැණකෙළි සිරියෙන් හැසිරීම අප රටේ සංස්කෘතියට උරුම වූවක් නොවේ. එහෙත් ප‍්‍රභාකරන්ගේ මරණය අසා අප රටේ ජනතාව සතුටු වූයේ, උද්දාමයට පත් වූයේ ඔහු විසින් ශී‍්‍ර ලාංකේය ජන සමාජයට එල්ල කර තිබූ පීඩනය කෙතරම් ද යන්න පසක් කරමිනි. එදවස අප රට සොහොන් පිටියක් බවට පත්ව තිබිණි. අප රටේ ආර්ථික මර්මස්ථානවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කරමින්, බස් රථවල බෝම්බ පුපුරවා හරිමින් ප‍්‍රභාකරන් අප සමාජය මත විශාල භීතියක් නිර්මාණය කර තිබිණි. එදවස රැකියාවට පිටත් වූ සැමියන් යළි නිවෙස් බලා එනතුරු බිරින්දෑවරුන් සිටියේ හිතේ ගින්දරෙනි. උදෑසන නිවසෙන් පිටත් වූ තම දරුවන් යළි නිවෙස් කරා එනතුරු දෙමාපියන් සිටියේ සුසුම්ලමිනි. එකම පවුලේ කිහිපදෙනෙක් පොදු ප‍්‍රවාහන සේවාවල වෙන් වෙන්ව ගමන් කළේ මරණයේ සෙවණැලි සැම අතම විහිදී තිබූ නිසාවෙනි.

එදවස මායිම් ගම්මාන යැයි හඳුන්වන ගම්මාන ද තිබිණි. එම ගම්වල ජීවත් වූ අහිංසක ගම්වැසියන් ඝාතනය කළ ප‍්‍රභාකරන්ගේ සගයන් කිරිකැටි දරුවන් ගස්වල ගසා දමමින් මරා දමනු ලැබූහ. ජයශී‍්‍ර මහා බෝධින් වහන්සේ අභියස පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන් වෙඩි තබා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළහ. අරන්තලාවේදී භික්ෂූන් ඝාතනය කළහ. එපමණක් නොව අප රටේ දේශපාලනඥයෝ ද ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයට ගොදුරු වූහ. දෙමළ ජනතාවට විමුක්තිය ලබාදීම සඳහා අරගල කරනවා කීවද ප‍්‍රභාකරන් විසින් කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම රාජ්‍යතාන්ති‍්‍රකයකු වූ ලක්‍ෂ්මන් කදීර්ගාමර් මහතාව ඝාතනය කරනු ලැබීය.

අප ඉහතින් සඳහන් කළේ මිනීමරු එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කළ පාපකාරී කි‍්‍රයාවන් කිහිපයක් පමණි. මෙම සංවිධානය විසින් සිදු කළ මෙවැනි කි‍්‍රයාවන් සියල්ල පෙළගැස්වීමට ගියහොත් එය දිගු සටහනක් වනු ඇත.

එල්.ටී.ටී.ඊ. ය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවට ඇතැම් බටහිර රටවල්, මෙරට සමහර දේශපාලනඥයන් මෙන්ම සමහර රාජ්‍ය නොවන සංවිධානද මත පළකර තිබිණි. එහෙත් ‘දිවයින’ එදා පෙන්වා දුන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමකින් තොරව රටට සාමය උදා නොවන බවයි. ඒ අවස්ථාවේදී මාක්ස්වාදීන් යැයි කියා ගන්නා සමහර රතු කමිසකාරයෝ අපට ජාතිවාදී ලේබලය ඇළවීමට උත්සහ කළහ. එහෙත් කාලය විසින් ඊට පිළිතුරු ලබාදී ඇත.

රටට මෙම ජයග‍්‍රහණය අත්පත් කර දීම සඳහා අප රටේ වීරෝදාර රණවිරුවෝ දහස් ගණනක් සිය ජීවිත පුද කළහ. තවත් දහස් ගණනක් ආබාධිත රණවිරුවෝ බවට පත් වූහ. එසේම සතුරන් ඉලක්ක කර ගැනීම සඳහා බුද්ධි නිලධාරීහු ද සිය මෙහෙවර අති විශිෂ්ට ලෙස සිදු කළහ. රණවිරුවන් යුද බිමට යද්දී පොලිස් නිලධාරීහු රටේ ආරක්‍ෂාව තර කළහ. එසේම එවකට ජනපතිව සිටි සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙන්ම ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිසි දේශපාලන තීන්දු සහ සැලසුම් කි‍්‍රයාත්මක කරමින් මෙම ජයග‍්‍රහණයට අවශ්‍ය පසුබිම සකස් කළහ. මෙම ජයග‍්‍රහණයට කැප වුණු සියලු දෙනාට ජාතියේ ප‍්‍රණාමය හිමිවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *