මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 981 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 981 දක්වා ඉහළට

• ඇඳිරිනීතිය නොතැකූ ජල උද්ඝෝෂණය (විඩියෝ)

• ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළට (විඩියෝ)

• අරණායක සාමසර ඛේදවාචකයට අදට සිව් වසරක් (විඩියෝ)

• ඩෙංගු ගැනත් අවධානය යොමු කරන්න – සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලයි

• හිටපු මන්ත්‍රී රාජිත, බන්ධනාගාර ගත කිරීම ගැන පක්ෂ, විපක්ෂ දේශපාලනඥයින් අදහස් පලකරයි (විඩියෝ)

• හිටපු අමාත්‍ය මංගලගේ ප්‍රකාශය ගැන අදත් විවිද අදහස් (විඩියෝ)

• කොවිඩ් 19 වසංගතය හමුවේ ETI තැන්පත්කරුවන්ගේ මුදල් ලබාදීම පැහැර හැරීමේ සැලසුමක් (විඩියෝ)

• පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියයි (විඩියෝ)

• පොලිස් ලොක්කෙක්ගෙන් පාස්කු කොමිසමට විශේෂ හෙළිදරව්වක් (විඩියෝ)

• යුද හමුදාවේ නිලයන් 14,617 කට උසස්වීම්

• මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් හෝමාගම – දියගම ප්‍රදේශයේ ඇරඹීමට සූදානම්

• ‘දෙමළ ඊලාම් සයිබර් ආම්’ නම් සංවිධානයෙන් හිරුට සයිබර් ප්‍රහාරයක් (විඩියෝ)

• කුවේට් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් හෙට (19) යළි දිවයිනට

• මානුෂීය මෙහෙයුම් ක්‍රියාන්විතයේ ගුවන් හමුදාව සිදුකළ කාර්ය භාරය හිටපු ගුවන් හමුදාපති යළි සිහිපත් කරයි (විඩියෝ)

• නිවසකට සහ කඩ පෙළකට හානි කරමින් නතර වූ කන්ටේනර් රථය (විඩියෝ)

• ගුවන්තොටුපළේ සේවා සපයන ආයතනවලින් මාස 03 ක කුලීය අය නොකරන්න තීරණයක්

• විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම් මැයි 20 සිට යළිත්

+++++++++++++++++++++++++++++++++++

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 981 දක්වා ඉහළට

(17.05.2020 – 23:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් නව කොවිඩ් 19 ආසාදිතයින් 11 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

අද (17) දිනයේ මේවන විට වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 21 ක්.

මේ අතර මෙරටින් මෙතෙක් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් 434 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ සංඛ්‍යාව 538 ක්.

මෙරටින් මරණ 09 ක් ද වාර්ථාවුනා ෴

***************************************

ඇඳිරිනීතිය නොතැකූ ජල උද්ඝෝෂණය

(17.05.2020 – 23:03 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට සියඹලාගස්විල ජල ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ තම පරිභෝජනය සඳහා පානීය ජලය නොලැබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

දිවයින පුරා ක්‍රියාත්මක කල ඇඳිරිනීතිය මධ්‍යයේ වුවත් ප්‍රදේශවාසීන් ජල ටැංකි මතට නැඟ සිය විරෝධතාව පල කලා.

සියඹලාගස්විල – පස්පියුම් ජල ව්‍යාපෘතිය ඉදිකළේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5 ක පවුල් 2200 කට සෙත සලසන අරමුණින්.

නමුත් මාස 3 ක සිට එම ජනතාවට නිසි ලෙස පානීය ජලය ලැබෙන්නේ නැහැ.

රටපුරා ඇඳිරිනීතිය පැවතුණත්, ප්‍රදේශවාසීන් මේ අවනඩුව සම්බන්ධයෙන් අද (17) මෙලෙස හඬ නැගුවේ ජලය සියලුදෙනාගේම මූලික අවශ්‍යතාවයක් වන බැවින්.

***************************************

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළට

(17.05.2020 – 22:31 +0530 – hirunews.lk/sinhala)

ලංකා IOC සමාගම මගින් අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අද (17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ඔල්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142 ක් වනවා.

ලංකා IOC සමාගමේ අලෙවි කළමනාකරු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පැවසුවේ සෙසු ඉන්ධනවල මිල ගණන් වෙනස් නොවන බවයි.

***************************************

අරණායක සාමසර ඛේදවාචකයට අදට සිව් වසරක්

(17.05.2020 – 22:25 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 131 දෙනෙකුට ජීවත අහිමි වූ අරණායක සාමසර කන්ද නායක ගොස් අදට සිව් (04) වසරක්.

මේ වසර 04 කට පෙර නායයාමට ලක්වූ සාමසර කන්ද අද දිස්වන ආකාරයයි.

සිය සමීපතමයන් අහිමිව කල් ගෙවන ගම්වැසියන් ඒ අමිහිරි මතකය ආවර්ජනය කළේ මෙලෙසින්.

***************************************

ඩෙංගු ගැනත් අවධානය යොමු කරන්න – සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලයි

(17.05.2020 – 21:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව ඩෙංගු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කළ යුතු කාලය එළඹ ඇතැයි ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

දැනට වර්ෂාවත් සමඟ ඩෙංගු පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා කියා සිටියේ.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් හමුවී ඇති බව දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 63 දෙනෙකු වාර්තා වී ඇති බවයි. මීට අමතරව පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු (02) ඩෙංගු හේතුවෙන් ජීවිතක්ෂයට ද පත්වී තිබෙනවා.

එමෙන්ම, පසුගිය කාලසීමාව තුළ ඇඳිරි නීතියත් සමඟ ව්‍යාපාරික ස්ථාන සහ අනෙකුත් සේවා කටයුතු නතර කර දැමීම හේතුවෙන් ඩෙංගු වැඩි වී ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්, ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා විය හැකි බැවින් ඒ පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා ප්‍රකාශ කළේ ෴

***************************************

හිටපු මන්ත්‍රී රාජිත, බන්ධනාගාර ගත කිරීම ගැන පක්ෂ, විපක්ෂ දේශපාලනඥයින් අදහස් පලකරයි

(17.05.2020 – 20:27 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

හිටපු අමාත්‍ය මංගලගේ ප්‍රකාශය ගැන අදත් විවිද අදහස්

(17.05.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මහා සංඝරත්නයට අපහාස වන අයුරින් හිටපු අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පූජ්‍ය පක්ෂය ඇතුළු දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

කොවිඩ් 19 වසංගතය හමුවේ ETI තැන්පත්කරුවන්ගේ මුදල් ලබාදීම පැහැර හැරීමේ සැලසුමක්

(17.05.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ ETI තැන්පත්කරුවන්ගේ මුදල් ලබාදීම පැහැර හැරීමේ සැලසුමක් පිළිබඳව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය හෙළිකළා.

අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයන් මේ බව සඳහන් කළා.

***************************************

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියයි

(17.05.2020 – 19:40 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට පෙර කාත්තන්කුඩි පොලිසියට ලැබුණු ඇතැම් හෝඩුවාවන්ට අනුව ක්‍රියාත්මක වූවානම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කළා.

+++++++++++++++++++++++++++++++++++

පොලිස් ලොක්කෙක්ගෙන් පාස්කු කොමිසමට විශේෂ හෙළිදරව්වක්

(17.05.2020 – 19:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට ආසන්න දිනකදී කාන්තන්කුඩි ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි පුපුරුවා හැරීමේ සිද්ධිය යම් අපරාධයක පෙරහුරුවක් බව එවක පොලිස්පතිවරයා වෙත කරුණු වාර්තා කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබදව සොයන ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යාංශයේ උසස් නිලධාරියෙකු එම කොමිසම හමුවේ ඊයේ (16) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී වැඩිදුරටත් හෙළිදරව් වූයේ සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර සිටම පොලිස්පතිවරයාට කරුණු වාර්තා කර තිබූ බවයි.

ජනාධිපති කොමිසම එහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේ ද යන්නයි. ඒ පිළිබදව තමන් දැනුවත්ව නොසිටි බව සාක්ෂිකරු ප්‍රකාශ කළා.

ප්‍රහාරයට පෙර තොරතුරු ලැබුණේ නම් එය වළක්වා ගත හැකිව තිබුණේ දැයි කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේදී කාන්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හැරීමේ සිද්ධිය ගැන ඔහු කරුණු අනාවරණ කළා.

පසුගිය වසරේ අප්‍රේල් මස 17 වන දා කාන්තන්කුඩි ප්‍රදේශයේ ඉඩමක යතුරුපැදියක් පුපුරුවා හැර ඇති බවට අදාළ ඉඩමේ හිමිකරු පැමිණිලි කර තිබූ බව ද එම සාක්ෂිකරු කියා සිටියා.

අස්ථානගත වූ හැඳුනුම්පතක් උපයෝගී කර ගනිමින් එම යතුරුපැදිය මිලදී ගෙන තිබුණේ සහරාන් කල්ලිය විසින් බවත්, අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සියළු කරුණු සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශය පසුගිය වසරේ අප්‍රේල් මස 19 වන දා දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කිරීමට පියවර ගත් බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.

නමුත් පොලිස්පතිවරයා ඒ පිළිබදව ප්‍රතිචාර දැක්වූයේ පාස්කු ප්‍රහාරය සිදුවූ පසුගිය අප්‍රේල් මස 21 වන දායි. මීට අමතරව කාන්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් පැවැත්වූ අන්තවාදී දේශන සහ ඇති වූ විවිධ ගැටුම් සම්බන්ධයෙන් ද අවස්ථා රැසකදී පූජිත් ජයසුන්දර දැනුවත් කළ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේ.

***************************************

යුද හමුදාවේ නිලයන් 14,617 කට උසස්වීම්

(17.05.2020 – 21:31 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදයට එරෙහි සටන විජයග්‍රහණය කළ 11 වන සැමරුම සනිටුහන් කරන ජාතික රණවිරු අනුස්මරණ දින නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලයන් 14,617 ක් උසස් කර තිබෙන, බව යුද හමුදා මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

‘ජාතික රණවිරු අනුස්මරණ දින’ රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සමරනු වස් සියල්ල සුදානම් කර ඇති බවද යුද හමුදාව පවසනවා.

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව තිබෙනවා.

රටේ භෞමික අඛණ්ඩතාවය සහ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමේදී මෙන්ම ජන ජීවිතයට තර්ජනයක් එල්ලවන ස්වාභාවික විපත්, ත්‍රස්තවාදී තර්ජන, ගෝලීය වසංගත වැනි ව්‍යසනයන් හිදී යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලැබූ පරාර්ථකාමී සහ නොයෙකුත් කැපකිරීම් සඳහා වටිනාකමක් ලබාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධ හමුදාවේ සෙසුනිලයින් දිරීගන්වමින් මෙලෙස උසස්වීම් සිදුකරනු ලබනවා.

ඒ අනුව, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් ලබාදුන් උපදෙස් වලට අනුවකූලව යුද්ධ හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය මහතාගේ මඟපෙන්වීමෙන් යුත් පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව යුද්ධ හමුදා ඉතිහාසයේ එක් දිනයක් තුළ ලබාදුන් වැඩිම උසස්වීම් ප්‍රමාණය 2020 මැයි මස 18 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තුහි සෙසුනිලයන් වෙත ලබාදී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍යවරයා , බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆිලිට් (Admiral of the Fleet), ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිවරයා , නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතව ඇති බවද යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදුණු 70 වන යුද්ධ හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් නිලධාරීන් 210 ක් ඇතුළු තවත් සෙසු නිලයින් 7210 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වත්මන් යුද්ධ යුද හමුදාපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කරනු ලැබූ බැව්ද සිහිපත් කල යුතුයි.

සෞඛ්‍ය අංශයන් ලබාදී ඇති උපදෙස් සඳහා මුල්තැනක් ලබාදෙමින් රණවිරු සේවා අධිකාරිය විසින් මෙම සැමරුම සංවිධානය කරනවා.

2009 මැයි මසින් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1160), ගුවන් හමුදාවේ (443) සහ පොලිසියේ (2598) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (456) දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කරනු ඇති.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයෙන් අනතුරුව විරෝදාර රණවිරුවන්ගේ නිර්භිතකම සඳහා වූ රණවිරුවන් සිහිකිරීමේ පාඨය කියවීමෙන් පසුව ආගමික වතාවත් සිදු කිරිමට නියමිතයි.

මෙහිදී ‘රණබෙර’ වාදනය කරනු ලබන අතර ගුවනින් සිදුකරනු ලබන පුෂ්පෝපහාර මධ්‍යයේ විශේෂ ආරාධිතයින් මෙන්ම දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ළඟම ඥාතීන් රණවිරු ස්මාරකය පාමුල මල් කළඹන් තබා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීමට නියමිතව තිබෙනවා.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන්වීමට නියමිත බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

***************************************

මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් හෝමාගම – දියගම ප්‍රදේශයේ ඇරඹීමට සූදානම්

(18.05.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව රජය පවසනවා.

හෝමාගම – දියගම ප්‍රදේශයේ අක්කර 26 ක භූමි ප්‍රමාණයක ඉදිකිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගණයේ පළමු අදියර යටතේ තරග නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සැළසීමටත් දෙවන අදියර යටතේ විසි දහසකට (20,000) ආසන පහසුකම් සැළසීමටත් නියමිතයි.

ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ ස්ථානීය නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (17) අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, නාගරික සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්වුණා.

***************************************

‘දෙමළ ඊලාම් සයිබර් ආම්’ නම් සංවිධානයෙන් හිරුට සයිබර් ප්‍රහාරයක්

(18.05.2020 – 10:13 +0530 – hirunews.lk/sinhala)

විජයග්‍රහණ සැමරුම ඉලක්ක කර ගනිමින්, එල්. ටී. ටී. ඊ. හිතවාදී ‘දෙමළ ඊලාම් සයිබර් ආම්’ නම් සංවිධානයක් මගින්, මෙරට වැඩිම පරිශීලකයන් පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය වන, hirunews.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අද (18) උදෑසන අදාළ සයිබර් ප්‍රහාරය hirunews.lk වෙබ් අඩවිය ඉලක්ක කර එල්ල කර ඇති බවයි ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශය සඳහන් කළේ.

බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී මැයි 19 වනදා පැවැත්වෙන, 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුමේදී, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ සියලු රණවිරුවන්ට උපහාර පිදීමට නියමිතයි.

යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කර,රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීම එහිදී සිදු කෙරෙනවා.

***************************************

කුවේට් හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් හෙට (19) යළි දිවයිනට

(18.05.2020 – 10:22 +0530 – hirunews.lk/sinhala)

කුවේට් හි රැකියා සඳහා ගොස් විවිධ අපහසුතාවලට ලක්වූ 448 දෙනෙකු හෙට (19) යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම පිරිස කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති අතර, කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් ඔවුන් මෙලෙස පැමිණෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ඔවුන්ගෙන් 65 දෙනෙකු කුවේට් හි රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි අය වනවා.

එසේම 383 දෙනෙකු වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී එරට රජය විසින් ලබාදුන් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්.

දිවයිනට පැමිණි පසු මෙම පිරිස යුද හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

මානුෂීය මෙහෙයුම් ක්‍රියාන්විතයේ ගුවන් හමුදාව සිදුකළ කාර්ය භාරය හිටපු ගුවන් හමුදාපති යළි සිහිපත් කරයි

(18.05.2020 – 10:52 +0530 – hirunews.lk/sinhala)

මානුෂීය මෙහෙයුම් ක්‍රියාන්විතයේ ගුවන් හමුදාව සිදුකළ කාර්ය භාරය සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා අද (18) යළි සිහිපත් කළා.

ඒ අද (18) උදෑසන හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩ සටහනට එක්වෙමින්.

***************************************

නිවසකට සහ කඩ පෙළකට හානි කරමින් නතර වූ කන්ටේනර් රථය

(18.05.2020 – 11:42 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පන්නල, ඇලවේල්ල ප්‍රදේශයේ දී සිමෙන්ති ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අද (18) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථයකට මාර්ගයෙන් ඉඩදීමට යාමේදී කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ නිවසකට සහ කඩ පෙළකට හානි කරමින් ධාවනය වී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සිමෙන්ති ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක්.

***************************************

ගුවන්තොටුපළේ සේවා සපයන ආයතනවලින් මාස 03 ක කුලීය අය නොකරන්න තීරණයක්

(18.05.2020 – 11:56 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන්තොටුපළ වසා දැමීම නිසා තීරු බදු සාප්පු ඇතුළු ගුවන් තොටුපළ සේවා සපයන ආයතනවලින් මාස 03 ක මාසික කුලිය අය නොකිරීමට තීරණය කර ඇත.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මෙම තීරණයට එළඹ තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ සේවා සපයනු ලබන ආයතන හා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා (15) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට ප්‍රකාශයට පත් කෙරිණ.

මේ අනුව පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේ ඇති තීරු බදු රහිත සාප්පු, සේවා ආයතන හා සංචාරක සේවා කුටි වලින් මාස 03 ක කාලයක් මාසික කුලිය අය නොකෙරන අතර එය 2020 මාර්තු 19 සිට මාස 03 ක කාලයකට වලංගුවේ.

ඊට අමතරව ගුවන් තොටුපළ තුළ සිය සේවා කුටි පවත්වා ගෙන යනු ලබන ගුවන් සමාගම්වලින් 2020 අප්‍රේල් මාසයේ සිට මාස 03 ක කාලයක් සදහා මාසික ගාස්තු අය නොකෙරේ.

මීට අමතරව ගුවන්තොටුපළ භාණ්ඩ ගබඩා කර තැබීමේ (Cargo) පහසුකම් ලබා ගන්නා ආයතනවලින් අප්‍රේල් මාසයේ සිට මාස 03 ක කාලයක් සදහා ඔවුන්ගේ මාසික ගාස්තුවෙන් 50% ක් පමණක් අය කිරීමට ද තීරණය කර තිබේ.

රත්මලාන ගුවන් තොටුපළේ ගුවන් යානා අංගනයේ ගුවන් යානා නතර කර තැබිමේ ගාස්තු ද 2020 මාර්තු 19 සිට මාස 03 ක කාලයක් සදහා අය නොකිරිමට ද තීරණය කර තිබේ.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මාස 03 ක කාලයෙන් පසුව මෙම සහන තවදුරටත් ලබා දෙනවද නැද්ද යන්න පිළිබද ව නැවත සලකා බලන බවයි.

මේ වන විට කටුනායක ගුවන් තොටුපළ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වුව ද සංචාරක, ගුවන් සේවා වැනි ක්ෂේත්‍ර යථා තත්ත්වයට පත් වීම සඳහා තවත් කාලයක් ගතවනු ඇත.

මේ නිසා මෙම සහන සම්බන්ධයෙන් ජුනි මාසයේ දී නැවත සලකා බැලීමට සිදුවනු ඇති බව ඇමතිවරයාගේ අදහසයි ෴

***************************************

විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම් මැයි 20 සිට යළිත්

(18.05.2020 – 11:14 +0530 – sinhala.adaderana.lk)

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචිකර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කටයුතු 2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙහි ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙනු ඇත.

කොරෝනා වෛයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ලියාපදිංචි කිරිම තාවකාලිකව අත්හිටුවන ලැබීය.

මේ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී ආරම්භ කර ඇති බැවින් රැකියා සඳහා ලියාපදංචිය කිරිම් ද එම ස්ථානවලදී සිදුකෙරෙයි.

එහිදී විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත තම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුවන අය ලියාපදිංචියේදී ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

රැකියා සඳහා කාර්යාංශයේ ලියාපදිංවි වීමට අවශ්‍ය මූලික ලියවිලිවලට අමතරව. දකුණු කොරියාව, ජපානය, කැනඩාව, ජර්මනිය යන රටවල සේවා යෝජකයන් විසින් තමන් ලබා ගන්නා ශ්‍රී ලාංකිකයන් එම රටේ දී, නිරෝධායනයට ලක් කරන බවට නිකුත්කල සහතික කිරිමේ ලිපිය ද ලියාපදිංචි කිරිම සඳහා අවශ්‍ය වෙයි.

විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වේ.

මැදපෙරදිග හා සෙසු රටවලට විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිම් ඉදිරියේදි ආරම්භ කිරිමටද නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *