COVID-19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනපති බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• COVID-19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනපති බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

• නිවසේ සුරතලයට ඇතිකරන බළලුන්ගෙන් කොරෝනා සම්ප්‍රේෂණය වනවා ද ?

• රුපියල් කෝටි 225 හෙරොයින් මහබාගෙන් අල්ලයි – සැකකරුවන් සිව් දෙනෙකුත් (04) අත්අඩංගුවට (විඩියෝ)

• පේදුරුතුඩුවේදී අණ නොකතා ධාවනය කළ යතුරුපැදියකට යුද හමුදාවෙන් වෙඩි

• කොළඹ, ගම්පහ ත්‍රි රෝද රථ ධාවනය App සමාගම්වලට පමණක්ද ? (විඩියෝ)

• රුපියල් 5000 සේ දීමනාවේ ගැටළු ගැන විගනකාධිපති දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

• දරුවන් පාසලට කැඳවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් රජය ලබාදීමට සුදානම් (විඩියෝ)

• මේ වනවිට කොරෝනා රෝගීන් සමාජය තුළින් වාර්තාවීමක් නෑ

• දුම්රිය ගමන් වාර සඳුදා සිට වැඩි කෙරේ

• මංගල උත්සව පැවැත්වීමට බලා සිටි සැමට විශේෂ දැනුම්දීමක් (විඩියෝ)

• කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරයි

+++++++++++++++++++++++++++++++++++

COVID-19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනපති බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

(14.05.2020 – biz.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ හමුවක් අද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. එහිදී COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ. එසේම වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන නොයා යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනක් පහතින් දැක්වේ :

“පශ්චාත් කොරෝනා සමයේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය උදෙසා සම්පාදිත වැඩසටහනට බැංකු ක්ෂේත්‍රය හවුල් කර ගැනීම සහ එහිදී බැංකු ක්ෂේත්‍රයට මතුව ඇති ගැටළු සාකච්ඡා කිරීම පිණිස මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රමුඛ නියෝජ්‍ය අධිපතිවරු, රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ බැංකු සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී COVID-19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි මම බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටියෙමි.

කොරෝනා වෛරසය පාලනය කිරීමට අපට හැකිවූ අතර දැන් තිබෙන ලොකුම අභියෝගය කඩා වැටුණු ආර්ථිකය ගොඩගැනීමයි.ඇඟළුම් කර්මාන්තය යථා තත්වයට පත්වන්නට තව බොහෝ කාලයක් ගතවනු ඇත. සංචාරක ව්‍යාපාරයේ සිදුව ඇති බරපතළ පසුබැස්ම අහිමි වූ ආදායම සහ රැකියා සංඛ්‍යාව ඉතා විශාලය. පැරණි ආනයන ක්‍රමය තවදුරටත් ගෙන යනු වෙනුවට අප නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුය. ඒ සඳහා සක්‍රීය ලෙස දායකවීමට බැංකු ක්ෂේත්‍රයට හැකි බව මම ඔවුනට පෙන්වා දුන්නෙමි.

කොරෝනා උවදුර ජය ගැනීම සඳහා සෞඛ්‍ය අංශය ඇතුළු පාලන තන්ත්‍රයේ සෑම පාර්ශ්වයක්ම මහත් කැපවීමෙන් වැඩකළ අතර මම බැංකු ක්ෂේත්‍රයෙන්ද එවැනිම දායකත්වයක් අපේක්ෂා කරමි.

දැන් ප්‍රමුඛතම අවශ්‍යතාව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර රැසක් පවතී. තේ වගාව ඇතුළු වැවිලි කර්මාන්තය, කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන, නිවාස සහ වෙනත් ඉදිකිරීම් කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන වටිනාකම එකතු කළ කුරුඳු, ගම්මිරිස් වැනි බෝග වර්ග ඉන් කිහිපයකි. මේ ක්ෂේත්‍රවල ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා පහසු කොන්දේසි යටතේ ණය සපයන්නැයි මම බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටියෙමි.

වාහන සහ ප්ලාස්ටික භාණ්ඩ ආදිය ආනයනය සඳහා ණය දී පහසුවෙන් ලාභ උපයා ගැනීමේ රටාව තවදුරටත් පවත්වාගෙන නොයා යුතුයි.වැඩිපුර ණය සම්පාදනය කළ යුත්තේ අලුතින් හඳුනාගත් ප්‍රමුඛතා සඳහා වන අතර එසේ නොමැතිව ජනතාවටත්, ව්‍යාපාරිකයන්ටත් පැවැත්මක් නැත. ගොවීන් වැඩි පොළියට වෙළෙඳුන්ගෙන් ණය ගත් විට ඔවුන් වෙළෙඳුන්ගේ ග්‍රහණයට සහ සූරාකෑමට ලක් වේ. එය හැම අතින්ම හානිකරය. මහ ව්‍යාපාරිකයින්ට සේම සුළු ව්‍යාපාරිකයන්ට සහ ගොවීන්ටත් බැංකු උදව් කළයුතුයි. එමෙන්ම ණය දුන් පසු ඉන් ප්‍රයෝජන ගන්නා ආකාරය නිරතුරුව විමර්ශනය කිරීම ඉතා වැදගත්‍ වේ. අතීතයේ දී බැංකුවලින් ණය ගෙන නොගෙවා පැහැර හැර ඇති වැඩිදෙනා දුප්පතුන් නොව ධනවතුන් බව මා ඔවුන්ට පෙන්වා දුන් අතර මධ්‍යම පාන්තිකයන් උදෙසා නිවාස ඉදිකොට සහන මිලට ඒවා බෙදාදීමට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් බව මම සිහිපත් කළෙමි. එමෙන්ම මධ්‍යම පාන්තිකයනට අඩු පොළීයට ණය දීමේ වැදගත්කම මම ඔවුන්ට අවධාරණය කළෙමි.

සාකච්ඡාවට සහභාගී වූ බැංකු නියෝජිතයෝ ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය පළ කළහ. ඔවුන් බැංකු ක්ෂේත්‍රය මුහුණපාන ගැටලු කිහිපයක් ඉදිරිපත් කළ අතර, මහ බැංකුව සමග සාකච්ඡා කොට ඒවා නිරාකරණය කර ගැනීමට එකඟත්වය පළ විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියහ.”

+++++++++++++++++++++++++++++++++++

නිවසේ සුරතලයට ඇතිකරන බළලුන්ගෙන් කොරෝනා සම්ප්‍රේෂණය වනවා ද ?

(15.05.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

බළලුන් මගින් කොවිඩ්-19 වෛරසය එක් පුද්ගලයෙකු වෙතින් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය විය හැකි ද යන්න පිළිබදව පර්යේෂකයන් පිරිසක් සොයා බලා තිබෙනවා.

ඇමරිකානු විස්කොන්සින් – මැඩිසන් සරසවියේ සහ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් ඒකාබද්ධව සිදුකළ එම පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ එලෙස බළලුන්ගෙන් වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවයි.

විශේෂයෙන් බළලුන්ගේ නාස් කුහරයෙන් මෙලෙස වෛරසය නිකුත් වීමේ හැකියාවක් පවතින අතර, එය සම්ප්‍රේෂණය වීමට එම සතුන් සමඟ සමීප ස්පර්ශය බලපාන බවයි පර්යේෂණය සිදුකළ එක් වෛද්‍යවරයෙකු සඳහන් කළේ.

පසුගිය අප්‍රේල් මාසයේදී බළලුන්ට කොවිඩ්19 ආසාදනය වීමේ සිද්ධීන් චීන පර්යේෂකයන් ද වාර්තා කර තිබූ අතර, ඇමරිකානු නිව්යෝක් ප්‍රාන්තයෙන් ද ගෘහස්ත බළලුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වූ බව අනාවරණ කෙරුණා.

නිව්යෝක් බ්‍රෝන්ස්ක් සත්වෝද්‍යානයේ සිටි බළල් ගණයේ දැවැන්තයන් වූ කොටින් සහ සිංහයන් 8 දෙනෙකුට ද කොවිඩ්-19 ආසාදනය වූ බව වාර්තා වුණා ෴

***************************************

රුපියල් කෝටි 225 හෙරොයින් මහබාගෙන් අල්ලයි – සැකකරුවන් සිව් දෙනෙකුත් (04) අත්අඩංගුවට

(15.05.2020 – 11:15 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 225 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 226 කට ආසන්න ප්‍රමාණයක් මහබාගේ – වැලිසර – නුගේවත්ත ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිය භාරයට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිදුකළ වැටලීමකදී කිලෝ 10 යේ සහල් මළුවල සඟවා තිබූ මෙම හෙරොයින් සොයාගෙන ඇති අතර, සැකකරුවන් 04 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ජාවාරම සඳහා උපයෝගී කර ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 24, 30, 50 සහ 55 වයස්වල පසුවන වැලිසර සහ හෝමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

පේදුරුතුඩුවේදී අණ නොකතා ධාවනය කළ යතුරුපැදියකට යුද හමුදාවෙන් වෙඩි

(15.05.2020 – 10:51 +0530 – hirunews.lk/sinhala)

පේදුරුතුඩුව – මන්දිගායි ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට යුද හමුදාව වෙඩි තබා තිබෙනවා.

ඊයේ (14) රාත්‍රී 11:45 ට පමණ යතුරුපැදිකරුවෙකු මෙම මාර්ග බාධකය පසුකරගෙන යන අතරතුර යුද හමුදා සෙබලෙකුට ගලකින් පහර දී ඇති බව සඳහන්.

පසුව එම යතුරුපැදිය පළාගොස් ඇති අතර, ඊට පසුපසින් පැමිණි යතුරුපැදිය ද යුද හමුදා සෙබලුන්ගේ අණ නොතකා ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යුද හමුදා සෙබලෙකු විසින් වෙඩි තබා ඇති අතර, යතුරුපැදිකරු තුවාල ලබා පේදුරුතුඩුව – මන්දිගායි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර, ගල් ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ යුද හමුදා සෙබලා පලාලි රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ෴

***************************************

කොළඹ, ගම්පහ ත්‍රි රෝද රථ ධාවනය App සමාගම්වලට පමණක්ද ?

(15.05.2020 – 10:39 +0530 – hirunews.lk/sinhala)

ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ත්‍රිරෝද රථ ධාවනය සහ සාමාන්‍ය ජන ජීවිතය කරගෙනයාමට රජය විසින් අවසර ලබා දුන්නද එසේ මගී ප්‍රවාහනයට පැමිණෙන ත්‍රිරෝද රථ රියදුරන් සවස් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බව ත්‍රි රෝද රථ සංගම් පවසනවා.

APP සමාගම්වල රියදුරන්ට පමණක් අදාළ අවසරය හිමිවන බව පොලිසිය සඳහන් කරන බවයි එම සංගම් චෝදනා කරන්නේ.

කොරෝනා යනු දැඩි අවදානම් සහගත රෝගයක් බව තමන් දන්නා බව පැවසු ඔවුන්, APP සමාගම්වල ත්‍රිරෝද රථ රියදුරන්ට එහි බලපෑමක් නැද්ද යන්න තමන්ට ප්‍රශ්නයක් බවත් කියා සිටිනවා.

+++++++++++++++++++++++++++++++++++

රුපියල් 5000 සේ දීමනාවේ ගැටළු ගැන විගනකාධිපති දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

(15.05.2020 – 09:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ ජීවනෝපාය අහිමි වූ පිරිස් සඳහා ලබාදෙන රුපියල් 5000 සේ දීමනාවේ ගැටළු සම්බන්ධයෙන් විගනකාධිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විගනකාධිපති ඩබ්ලිව්.පී. චූලානන්ද වික්‍රමරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම දීමනාව ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාවට හැකි බවයි.

ඒ සඳහා විගනකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ප්‍රදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් අදාළ නිලධාරීන් වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මේ අතර, රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ දෙවන අදියර එළඹෙන සතියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමේදී ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා මෙම දීමනාව මැයි මාසය සඳහා ද ලබාදීමට ජනාධිපති කාර්ය සාධක බලකාය පසුගිය දා තීරණය කළා ෴

+++++++++++++++++++++++++++++++++++

දරුවන් පාසලට කැඳවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් රජය ලබාදීමට සුදානම්

(15.05.2020 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික වශයෙන් කොතරම් අසීරු තත්ත්වයක සිටියත්, දෙමවුපියන්ට බරක් නොවී දරුවන් පාසලට කැඳවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් රජය විසින් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ (14) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

මේ වනවිට කොරෝනා රෝගීන් සමාජය තුළින් වාර්තාවීමක් නෑ

(15.05.2020 – 08:20 +0530 – hirunews.lk/sinhala)

දැනට මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 925 දෙනෙකු වාර්තා වන අතර, සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 445 ක් වනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් රෝගීන් 471 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට කොරෝනා රෝගීන් සමාජය තුළින් වාර්තාවීමක් සිදුනොවන බවයි.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ ගුවන් මගීන් 157 දෙනෙකු රැගෙන ජපානය වෙත ඊයේ (14) රාත්‍රියේ සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ආරම්භ කළා.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 454 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලෙන් ජපානයේ නරීටා ගුවන් තොටුපල බලා පිටත්ව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් සහ මුහුදු මගින් තැපැල් සේවාව ආරම්භ කර තිබෙනවා.

විදෙස්ගතව සිටින පුද්ගලයින්ට අවශ්‍ය ලිපි සහ භාණ්ඩ යොමු කිරීමට නොහැකිව අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක යම් සහනදායී විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙලෙස යළිත් විදෙස් තැපැල් සේවය ආරම්භ කළ බවයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

දුම්රිය ගමන් වාර සඳුදා සිට වැඩි කෙරේ

(15.05.2020 – 08:10 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන්වාර විස්ස ලබන සඳුඳා සිට තවදුරටත් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි සතිය සඳහා දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

දුම්රියේ ගමන් කිරීම සඳහා විශේෂ අවසර පත්‍ර ඉල්ලා 11,500 කට අධික පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමුකර තිබෙනවා.

මේ අතර, රාජකාරී සඳහා පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා අදත් දිවයින පුරා බස් රථ 3,338 ක් යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා ප්‍රකාශ කළේ.

බස් රථ තුළ මගීන් ගමන් කිරීමේදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සම්බන්ධව හා සිදුවිය හැකි බලපෑම පිළිබඳව විද්‍යාත්මක කරුණු ආශ්‍රයෙන් පැහැදිලි කිරීමක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ විද්වතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරන ආචාර්යවරුන් කිහිප දෙනෙකු විසින් ඒ සම්බන්ධයෙන් සකස් කළ පර්යේෂණ වාර්තාවක් විෂය භාර අමාත්‍යවරයාට ලබාදී ඇති බව සඳහන්.

එහිදී හෙලිදරව් වී ඇත්තේ බස් රථයේ ගමන් කරන විට ජනෙල් විවෘතව තබන හෙයින් බස් රථය තුළට ගමන් කරන සුළං ධාරාවන් හි වැඩිම බලපෑමක් පවතින්නේ පසුපස ආසනවලට බවයි.

එමෙන්ම, පසුපස කොටසේ සිට සුළං ධාරාවන් සුලියක් සේ කැරකෙමින් බස් රථයේ ඉදිරිපසට හමා ඒමක් සිදුවනවා.

එම නිසා බස් රථය තුළ ගමන් කරන කොරෝනා ආසාදිතයෙක් වෙතින් නිකුත් වන කිවිසුමක් තුළින් සමස්ත බස් රථයේම ගමන් කරන මගීන් වෙත බලපෑමක් එල්ල විය හැකි බව වායු දහරා ගමන් කිරීමේ ස්වභාවය අධ්‍යයනය කිරීම තුළින් පැහැදිලි වී ඇති කරුණක්.

මීට අමතරව බස් කොන්දොස්තරවරයා අතිශයින්ම අවදානම් තත්ත්වයට මේ නිසා පත්වන හෙයින් ඔහු ආරක්ෂා වීම බස් රථය තුළ ගමන් කරන මගීන්ගේ නිත්‍ය ආරක්ෂාවට හේතුවක්.

මීට අමතරව බස් රථයක් තුළ සිටගෙන යෑම කොරෝනා වෛරසයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම පර්යේෂණයෙන් අනාවරණ වී ඇති බවයි මගී කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

මංගල උත්සව පැවැත්වීමට බලා සිටි සැමට විශේෂ දැනුම්දීමක්

(15.05.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

මංගල උත්සව පැවැත්වීම සඳහා කොන්දේසි සහිතව අවසරය හිමිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ උත්සව ශාලාවේ පුද්ගල ධාරිතාවයෙන් හරි අඩකට සහභාගී කරවගනිමින් එම උත්සව සනීපාරක්ෂක ක්‍රම භාවිත කරමින් පැවැත්විය හැකිබවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් විවාහ උත්සව පැවැත්වීමට අදාළ රෙගුලාසි ඉදිරි දින කිහිපය තුළ නිකුත්කෙරෙන බවද ඔහු කියා සිටියා.

මීට අමතරව වෙනත් සමාජමය අවස්ථා පැවැත්වීම සඳහා වන රෙගුලාසි ද ඉදිරියේදී නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරයි

(15.05.2020 – 15:29 +0530 – lankadeepa.lk)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන්නක් බැවින් එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ නියෝගයක් මැතිවරණ කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත.

මැතිවරණ කොමිසමේ ලේකම් හේ.මු.නි.දි.හේරත් මහතා විසින් අදාළ නියෝගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා යවා ඇත.

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට ලබාදී ඇති ස්ථාන මාරුව සිදු කර ඇත්තේ මැතිවරණ කාල සීමාවක් තුළ බැවින් සහ මැතිවරණ කොමිසමේ චක්‍රලේඛ වලට පටහැනිව බැවින් මැතිවරණ කාලසීමාව නිමවන තෙක් එම ස්ථාන මාරුව අත්හිටුවීමට කටයුතු කර ඒ බව මැතිවරණ කොමිසන් සභාව වෙත වාර්තා කරන ලෙස මැතිවරණ කොමිසමේ ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර ඇත .

කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකරන බවට කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පසුගිය 6 වන දින සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබේ .

වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එම ස්ථාන මාරුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය 12 වන දින නැවත වරක් අදාළ ස්ථාන මාරුව පිළිගන්නා ලෙස වෛද්‍ය වීරබණ්ඩාර මහතාට දන්වා එවා තිබුණි .

එම ස්ථාන මාරුව පිළි නොගත් රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මැතිවරණ කොමිසන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරන ලද ස්ථාන මාරුව අවලංගු කර තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *