කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා ඉහළට

• COVID-19 ආසාදනය වු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 226 ක්

• කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට සියළු පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි

• කොලඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරිමට හේතුව

• විදෙස් රටවල සිට පැමිණි සියලුම සිසුන් නිරෝධායනයට (විඩියෝ)

• කොවිඩ් ආසාදනය වී, ශ්‍රී ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් 27 ක් බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට

• COVID 19 ආසාදනයෙන් ලොවපුරා 218,000 කට අධික පිරිසක් මරුට

• පැය 24 ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 554 ක් අත්අඩංගුවට

• ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තබයි (විඩියෝ)

• පෙට්ස්කෑන් යන්ත්‍රයට යොදාගන්නා ඖෂධය ශ්‍රී ලංකාවේ නිපදවීමට පියවර

• ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට අදත් (29) විශේෂ ගුවන් වාරයක් (විඩියෝ)

• නවදිල්ලි නුවර සිර වී සිටි සිසුන් 143 ක් රැගෙන ශ්‍රීලන්කන් විශේෂ ගුවන් යානය කටුනායකට

• තැපැල් කාර්යාල යළි විවෘත කරයි

• රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි කරන පිරිසට පමණක් ප්‍රවාහන පහසුකම් ලබා දීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණයක්

• කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය වන තෙක් අක්ෂි රෝහලේ ප්‍රතිකාර, හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවාවලට පමණක් සීමා වෙයි

• ඉදිරියේදී ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් !

• ලෙඩ රෝග 200 ක් හඳුනාගත හැකි මෙරට නිෂ්පාදිත රොබෝ යන්ත්‍රය (විඩියෝ)

• වතුර බාල්දියකට වැටී දෙහැවිදිරි පිරිමි දරුවා ජීවිතක්ෂයට

• වෙන්වු එජාප නැවත එකතු කර ගන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ – හිටපු අමාත්‍ය එස් බී දිසානායක (විඩියෝ)

• පාස්කු ප්‍රහාරයට පුත්තලමේ සංවිධානයක සම්බන්ධයක් (විඩියෝ)

• සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් නිවේදනය අවලංගු කෙරේ

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා ඉහළට

(29.04.2020 – 14:10 +0530 – sinhala.adaderana.lk)

අද දිනයේ (29) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් (03) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය (29) වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 481 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙරට තුළ මේ වන විට කොවිඩ් මරණ 07 ක් සිදුව තිබේ ෴

+++++++++++++++++++++

COVID-19 ආසාදනය වු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 226 ක්

(29.04.2020 – 17:42 +0530 – sinhala.adaderana.lk)

මේ දක්වා කොවිඩ්-19 ආසාදනය වී ඇති නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 226 ක් බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවයි.

ඔවුන්ගෙන් 147 ක් වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සිටි පිරිස්වන අතර ඉතිරි 79 දෙනා නිවාඩු ලබා සිටි සාමාජිකයින් බව ඒ මහතා පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට සියළු පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි

(29.04.2020 – 15:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට සියළු පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ නාවික හමුදා සෙබළුන් අතර සිටිය හැකි බවට සැක කෙරෙන ආසාදිතයන් සොයා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.

එමෙන්ම නාවික හමුදා සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් මෙන්ම ඔවුන් ආගිය ස්ථානවල සිටි හිතවතුන් ඇතුළු පිරිස් ආසාදිතයන් බවට පත්වනු ඇතැයි යන සැකය මේ වන විට මතුවී ඇතැයි ද අනිල් ජාසිංහ මහතා අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

එබැවින් එම ස්පර්ශකයින් පිළිබඳ සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම බුද්ධි අංශය ද දැඩි විමසිල්ලෙන් පසුවන බව ඔහු සඳහන් කළා.

මේ වන විට මතුවී තිබෙන කොවිඩ්-19 පොකුරු (Clusters) තවදුරටත් විශාල වශයෙන් වර්ධනය නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.

ආසාදිතයන් බවට පත්විය හැකි බවට අවදානමක් ඇති හේතු සහිතව හඳුනා ගන්නා සියලුදෙනා නිරෝධායනයට ලක්කර තිබෙනවා.

එහෙත් තවදුරටත් මෙම පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අළුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳ මේ මොහොතේ අනාවැකි පළකළ නොහැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කළේ.

කෙසේවෙතත් වෛරස් ව්‍යාප්තිය පාලනයට ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් නිවැරදිව මහජනතාව විසින් පිළිපැදීම බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොලඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරිමට හේතුව

(29.04.2020 – 16:48 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් මේ වන විට කොලඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට පත් කිරිමට සිදුව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම ප්‍රදේශවලින් වාර්තා වන සිද්ධින් සංසදනය කිරිමේදී එම සිද්ධින් වල එකි නෙකට සබඳතාවක් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

‘ටී.වී දෙරණ’ ඔස්සේ විකාශය වූ ‘දෙරණ අරුණ’ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සදහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

විදෙස් රටවල සිට පැමිණි සියලුම සිසුන් නිරෝධායනයට

(29.04.2020 – 16:06 +0530 – sinhala.adaderana.lk)

පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලයේ රැඳී සිට, යළි මෙරටට පැමිණීමට අවශ්‍ය බව පැවසූ සියලු ශ්‍රී ලාංකික සිසුන් මේ වනවිට මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර අවසන් බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

අද (29) පෙරවරුවේ ‘අද දෙරණ බිග් ෆෝකස්’ සංවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

කොවිඩ් ආසාදනය වී, ශ්‍රී ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් 27 ක් බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට

(29.04.2020 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ලොව සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට තිස් එක්ලක්ෂ 49,108 ක් වනවා.

මේ වනවිට ලොව පුරා මරණ දෙලක්ෂ 18,385 ක් වාර්තා වන අතර රෝගය ආසාදනය වී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව නව ලක්ෂ 62,763 ක්.

මේ අතර, වෛරසය වැළදීමෙන් ශ්‍රී ලාංකිකයින් සහ මෙරට සම්භවයක් සහිත පුද්ගලයින් 27 දෙනෙකු බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට හිරු වාර්තාකරු ජනක අලහප්පෙරුම මහතා පවසනවා.

මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් 161,145 ක් මේ වන විට වාර්තා වන අතර එරට පුද්ගලයින් 21,678 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

COVID 19 ආසාදනයෙන් ලොවපුරා 218,000 කට අධික පිරිසක් මරුට

(29.04.2020 – 15:27 +0530 – sinhala.adaderana.lk)

ගෝලීය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන අද (29) වනවිට තිස් එක්ලක්ෂ තිස් අට දහස (31,38,000) ඉක්මවා තිබේ.

වාර්තාවන ගෝලීය මරණ සංඛ්‍යාව දෙලක්ෂ දහඅට දහසකට (2,18,000) අධිකයි.

මේ අතර ඊයේ (28) දිනයේදී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාර්තාවී ඇති අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන අද (29) වන විට දැක්වෙන්නේ දස ලක්ෂ තිස් පන්දහස් හත්සිය හැට පහක් (10,35,765) ලෙසයි.

ඊයේ දිනය (28) තුළදී එරටින් වාර්තාවූ මරණ 2,470 සමග සමස්ත මරණ සංඛ්‍යාව 59,266 දක්වා ඉහළ ගියේය.

පසුගිය දින 18 තුළදී අමෙරිකාවේ ආසාදිතයන් ගණන දෙගුණ වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සමස්ත ආසාදිතයන්ගෙන් සියයට 30 ක්ම වාර්තා වන්නේ නිව් යෝර්ක් ප්‍රාන්තයෙන්.

ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවූ ලොව පළමු මෙන්ම එකම රට බවට පත්වී ඇති පසුබිමක අමෙරිකාවේ ආර්ථිකය යළි විවෘත කිරීම සඳහා ජාතික හා ප්‍රාන්ත නායකයන් දරන උත්සහය ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව තිබේ.

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (28) දිනයේදී 201,505 දක්වා ඉහළ යෑමත් සමග ඉතාලිය ආසාදිතයන් දෙලක්ෂයේ සීමාව පසුකළ තුන්වැනි රට බවට පත් විය. ඊයේ (28) දිනයේදී වාර්තා වූ කොවිඩ් මරණ 382 ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 27,359 ක්.

ස්පාඤ්ඤයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 23,822 දක්වා ඉහළ දමමින් ඊයේ (28) අලුතින් මරණ 301 ක් වාර්තා විය. සමස්ත ආසාදිතයන් ගණන 232,128 ක්.

ප්‍රංශයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 23,660 දක්වා ඉහළ දමමින් ඊයේ එරටින් මරණ 367 ක් වාර්තා විය.

එක්සත් රාජධානියෙන් ගත වූ පැය 24 තුළදී කොවිඩ් මරණ 586 ක් වාර්තා වී තිබේ. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 21,678 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයේ කොවිඩ් වෛරස ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ (28) දිනයේදී මරණ 520 ක් වාර්තා විය. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 5063 දක්වා ඉහළ යන අතර හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 72,800කට අධිකයි. එරට ආසාදිතයන් ගණනද ඊයේ (28) දිනය තුළදී 6398 කින් ඉහළ ගොස් තිබුණි.

රුසියාවෙන්ද ඊයේ (28) දිනය තුළදී ආසාදිතයන් 6411 ක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් ගණන 93,558 දක්වා ඉහළ දමමින්. එරටින් කොවිඩ් මරණ 867 ක්ද වාර්තා වී තිබේ. මෙවන් පසුබිමක් තුළ වැඩ නොකරන කාලසීමාව මැයි 11 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබුණි.

ඉන්දියාවෙන් ඊයේ (28) දිනයේදී කොවිඩ් මරණ 69 ක් වාර්තා වූ අතර ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 1008 දක්වා ඉහළ ගියේය. හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 31,360 ක්.

මේ අතර චීනයෙන් ගෙන්වන ලද කොවිඩ් පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාව අඩු මට්ටමක පවතින බව පවසමින් එම පරීක්ෂණ කට්ටල භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කළේය.

ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් චීනය පවසන්නේ ඉන්දියාවෙන් එල්ලවන චෝදනාව වගකීම් විරහිත බවයි.

සිංගප්පූරුවෙන් ඊයේ (28) හඳුනාගත් ආසාදිතයන් 528 සමග සමස්ත ආසාදිතයන් ගණන 14,951 දක්වා ඉහළ ගියේය. වාර්තා වන මරණ සංඛ්‍යාව 14 ක්. කෙසේ වෙතත් කොවිඩ් වෛරස ආසාදිත සංක්‍රමණික සේවකයන් සංඛ්‍යාව නිල වාර්තාවල දැක්වෙන සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගනු ඇති බව එරට බලධාරීන් පවසයි.

වසංගතය සීඝ්‍රයෙන් රට තුළ පැතිර යාම ආරම්භ වීමත් සමග පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර, රෝග ලක්ෂණ සහිත බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ නේවාසිකාගාර තුළම හුදෙකළා කර ඇති නමුත් ඔවුන් අතර සිටින ආසාදිතයන් නිල ආසාදිත ලැයිස්තුවට ඇතුළත් කර නොතිබීම ඊට හේතුවයි.

වෛරසය මුල් වරට හඳුනාගත් චීනයෙන් ඊයේ (28) දිනයේදී නව ආසාදිතයන් විසි දෙදෙනෙක් (22) හඳුනාගෙන තිබුණි.

මේ අතර කොවිඩ් වෛරස වසංගතය හේතුවෙන් මාස දෙකක පමණ කාලයකට කල්දැමීමට සිදුව තිබූ චීන පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිවාරය බීජිං නගරයේදී මැයි 22 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

කොවිඩ් වෛරස වසංගතයත් සමග ළමුන්ට සාමාන්‍ය ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම මගහැරීම නිසා දකුණු ආසියාතික රටවල්වලට තවත් මහජන සෞඛ්‍ය අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ජගත් සංවිධානය අනතුරු අඟවයි.

රටවල් අකර්මණ්‍ය කිරීමෙන් දකුණු ආසියාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බලපෑම් එල්ලවී ඇති පසුබිමක බොහෝ මව්පියන්, තම දරුවන් එන්නත් ලබාදීම සඳහා වෛද්‍යවරුන් වෙත රැගෙන යෑමෙන් වැළකී සිටින බවද එම සංවිධානය පෙන්වා දෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

පැය 24 ක් තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 554 ක් අත්අඩංගුවට

(29.04.2020 – 15:22 +0530 – sinhala.adaderana.lk)

අද (29) උදෑසන 6 න් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර වාහන 159 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 41,557 ක් වන අතර සමස්ත වාහන ගණන 10,719 ක්.

මේ අතර වැල්ලම්පිටිය විජය විමලරත්න මාවතේ කුලී පදනම මත ලබාගත් නිවසක අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවියේ නිරත වූ 22 හැවිරිදි තරුණයෙකු කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණි.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 12 ක පමණ අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂයක මත්පෙති හමුවිය.

මේ අතර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිට පැහැර ගන්නා ලද එළ ගවයින් තිදෙනෙකු මස් පිණිස සුඛෝපභෝගී රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් සිව්දෙනෙකු තංගල්ල පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් සහ හුංගම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේදී අදාළ රථය නවත්වන ලෙස අණ කර තිබුණත් ඔවුන් පලාගොස් තිබූ අතර පසුව කොටවාය ප්‍රදේශයේ නිවසක තිබියදී රථය හා සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට පත්විය.

+++++++++++++++++++++

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තබයි

(29.04.2020 – 14:48 +0530 – sinhala.adaderana.lk)

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය අද (29) තාවකාලිකව ලිහිල් කෙරුණත් නගර කිහිපයකම වෙළෙඳසැල් විවෘත නොකිරීමට වෙළෙඳ සංගම් පියවර ගෙන තිබේ.

ඒ,කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු අදාළ නගරවල සංචාරය කර ඇතැයි තොරතුරු වාර්තා වීම හේතුවෙන්

මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන කාලය අත්‍යවශ්‍යම සේවා සපයාගැනීමට හැර වෙනත් කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක 04 හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අද (29) අලුයම 5 ට තාවකාලිකව ඉවත් කෙරුණි.

අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය ගත් තීරණය අනුව අද (29) සහ හෙට (30) දිනයේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළෙඳසල් වසා තිබූ‍ණේය.

ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙන්නේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන්.‍

නාවලපිටිය නගරයේද වෙළෙඳසල් වසා දැමීමට එම වෙළෙඳ සංගමය අද (29) පියවර ගත්තේය.

ඒ වෛරසය ආසාදිත පුද්ගලයෙකු නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගයි.

ආසාදිතයෙකු කුලියාපිටිය නගරයේ ස්ථාන කිහිපයක සංචාරය කර තිබීම හේතුවෙන් කුලියාපිටිය නගරයේ වෙළෙඳසල්ද අද (29) සිට සඳුදා (04) දක්වා වසා තැබීමට තටයුතු කර ඇත.

ඒ,වෙළෙඳ සංගමයේ නියෝජිතයින් සහ කුලියාපිටිය නගර සභාව එක්ව ගනු ලැබූ තීරණයකට අනුවයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 04 හි ඇඳිරි නීතිය මැයි 04 වනදා අලුයම 05:00 දක්වා අඛණ්ඩව බලපැවැත්වේ.

මාර්ගයේ ගමන් කරන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වයන් පරික්ෂා කිරීම ආරක්ෂක අංශ විසින් සිදුකරන අයුරුයි මේ.

+++++++++++++++++++++++++++++++++++

පෙට්ස්කෑන් යන්ත්‍රයට යොදාගන්නා ඖෂධය ශ්‍රී ලංකාවේ නිපදවීමට පියවර

(29.04.2020 – 13:28 +0530 – sinhala.adaderana.lk)

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට යොදා ගන්නා PETSCAN යන්ත්‍ර සඳහා භාවිතා කරන විකිරණශිලිත්වය භාවිතා කරන FDG – FLUORODEOXYGLUCOSE ඖෂධය ශ්‍රී ලංකාවේම නිපදවීමට අවශ්‍ය තාක්ෂණය තම ආයතනය සතුව පවතින බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජි. රෝසා මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දි තිබේ.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය යනු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි.

ශ්‍රී ලංකාවේම නිපදවිය හැකි එහෙත් ඒ සඳහා පියවර නොගෙන අප රටේ විදේශ විනිමය විශාල මුදලක් විදේශ රටවලට ඇදී යාම නැවැත්වීම සඳහා සෑම අමාත්‍යාංශයක්ම නව නිපැයුම් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට දී ඇති උපදෙස් පරිදි විදුලිබල අමාත්‍යාංශයට අයත් සෑම ආයතනයක්ම එතුමාගේ ඉල්ලීම අනුව පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙම FDG – FLUORODEOXYGLUCOSE ඖෂධය දැනට ඉන්දියාවෙන් ආනයනය කරන විශාල මුදලක් වැය වන ඖෂධයකි. එහි එක් මාත්‍රාවක් රුපියල් 65,000 ක් පමණ වේ.

එම ඖෂධය අර්ධ ආයු කාලය කුඩා (පැය දෙකයි) වේ.

එබැවින් ආනයනයේ දී ගත වන කාලය අනුව ඖෂධයේ ආයු කාලය ක්ෂයවීම සිදු වේ.

එමනිසා ප්‍රයෝජනයට ගත හැකි කාලය ක්ෂය වන බැවින් ඖෂධයේ සක්‍රියතාව හීනවන නිසා අප රටට විශාල අලාභයක් සිදුවේ.

මෙම කාරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් මෙම ඖෂධය තුළ අන්තර්ගත වන විකිරණශීලි ද්‍රව්‍ය නිපදවා ගැනීමට අවශ්‍ය වන CYCLOTRON උපකරණය අප රටේම නිපදවීමට තීරණය කර ඇත.

ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල ආසන්නයෙන් පර්චස් 25 ක ඉඩමක් අදාල නිෂ්පාදන ඒකකය පිහිටුවීම සඳහා ලබා දීම අපේක්ෂා රෝහල් බලධාරින්ගෙන් කළ ඉල්ලීම පරිදි ඒ සඳහා මේ වනවිට ඒකඟත්වය පළ කර තිබේ.

එමෙන්ම අන්තර් ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මේ සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික සහාය ලබා දීමට එකඟත්වය පළ කර ඇති අතර FDG – FLUORODEOXYGLUCOSE ඖෂධය නිපදවීමට අවශ්‍ය යන්ත්‍රය මිල දී ගැනීමට රුපියල් බිලියනයක් පමණ වැය වන බැවින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර එම මුදල සොයා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙම ඖෂධය අප රටේ නිපදවීම මගින් දැනට සතියකට වරක් පමණක් ක්‍රියාත්මක කෙරෙන පෙට්ස්කැන් යන්ත්‍ර අඛණ්ඩවම රෝගි සත්කාර සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙන බව මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතා පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට අදත් (29) විශේෂ ගුවන් වාරයක්

(29.04.2020 – 13:06 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් වාරයක් අද (29) දින ක්‍රියාත්මක වේ.

ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1195 දරණ ගුවන් යානය අද (29) උදෑසන 09:05 ට ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි ‘අද දෙරණ’ ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේය.

ඉන්දීයාවේ නවදිල්ලි නුවර ආශ්‍රිත ප්‍රදේශවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 143 දෙනෙකු රැගෙන ඒම සදහා මෙම විශේෂ ගුවන් යානය පිටව ගොස් ඇති බව සදහන්.

මේ සදහා ගුවන් යානයේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු පමණක් සහභාගී වී තිබේ.

එම ශ්‍රී ලාංකිකයින් පිරිස රැගෙන අදාළ ගුවන් යානය යළි පස්වරු 05:00ට මෙරට පැමිණිමට නියමිතයි.

+++++++++++++++++++++

නවදිල්ලි නුවර සිර වී සිටි සිසුන් 143 ක් රැගෙන ශ්‍රීලන්කන් විශේෂ ගුවන් යානය කටුනායකට

(29.04.2020 – 17:15 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නවදිල්ලි නුවර සිරවි වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 1196 දරන මෙම විශේෂ ගුවන් යානය අද (29) දහවල් 01:40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවරින් පිටත්වී තිබූ අතර, එම ගුවන් යානය සවස 04:35 ට කටුනායක ගුවන් තොටුපළ පැමිණ තිබේ.

පසුව මෙම සිසුන් විශබීජ හරණය කිරීමෙන් අනතුරුව, නීරෝධායන කටයුතු සදහා ශ්‍රී යුධ හමුදා බස් රථ මගින් එම මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙම ගුවන් යානය පැමිණීමත් සමග ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටියදී මෙරටට පැමිණීමට නොහැකිව සිටි සිසුන් මෙරටට ගෙන ඒමේ පළමු අදියර අවසන් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසා තිබේ.

මේ වන විට, රටවල් 04 කින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා මගින්, ශ්‍රී ලාංකික සිසුන් 946 ක් යළි මෙරටට රැගෙන පැමිණ තිබේ.

ඒ අතරින් ඉන්දියාවේ ගුවන් තොටුපළ 05 ක සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 05 ක් මගින් ශ්‍රී ලාංකික සිසුන් 684 ක් මෙරටට ගෙනැවිත් තිබුණි.

ඉන්දියාවේ අමිර්තසාර්, මුම්බායි, කොයිම්බතූර්, බැංගලෝර් සහ නවදිල්ලි එම ගුවන් තොටුපළ 05 යි.

ඊට අමතරව 21 දින පකිස්තානයේ කරච්චි සහ ලාහෝර් සිට සිසුන් 113 ක් ද, 24 දින නේපාලයේ කත්මණ්ඩු සිට සිසුන් 76 ක් ද, බංග්ලාදේශයේ ඩකා සිට සිසුන් 73 ක් 27 දිනත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 03 ක් මගින් මුළු සිසුන් 262 ක් මෙරටට ගෙනැවිත් තිබේ.

මෙම සියලුම ගුවන් මගීන් මේ වනවිට ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් පවත්වා ගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථාන වල නීරෝධායනය සදහා යොමු කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

තැපැල් කාර්යාල යළි විවෘත කරයි

(29.04.2020 – 12:53 +0530 – sinhala.adaderana.lk)

COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

ඒ අනුව 2020 මැයි මසට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුළුවල දී ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීමටත්, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු සිදු කිරීමටත් දේශීය ‍තැපෑල සඳහා ලිපි සහ තැපැල් භාණ්ඩ බාර දීමටත් මේ දින සිට මහජනතාවට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.

සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව නිසි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි කරන පිරිසට පමණක් ප්‍රවාහන පහසුකම් ලබා දීමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණයක්

(29.04.2020 – 10:38 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු සදහා ගමන් කරන පුද්ගලයින්ට පමණක් ප්‍රවාහන පහසුකම් සලසාදිමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රවාහන කටයුතු සදහා මෙම පාර්ශව දෙක සදහා පමණක් ලංගම බස් රථ යෙදවිමට තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර වෛරසය පැතිරීම අවම කිරීම සඳහා සාමාන්‍ය ජනතාවගේ සහාය අපේක්ෂාකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය වන තෙක් අක්ෂි රෝහලේ ප්‍රතිකාර, හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවාවලට පමණක් සීමා වෙයි

(29.04.2020 – 17:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය වන තෙක් ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි සායන සඳහා පැමිණීමට සහ ඖෂධ ලබාගැනීම පිළිබඳ දැනගැනීමට 011 269 3911 යන දුරකථන අංකය හඳුන්වාදී ඇති බවයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය යූ.සී. කුමාරතිලක මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++++++++++++++++

ඉදිරියේදී ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් !

(29.04.2020 – 16:50 +0530 – hirunews.lk/sinhala)

වර්ෂා සමය ඉදිරියේදී ආරම්භවීමත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඒ අනුව ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් අවධානමක් පවතින බැවින් ඒ සඳහා පෙර සූදානමකින් සිටිය යුතු බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරනය කරනවා.

ඩෙංගු මර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව ජාතික ඩෙංගු මර්ධන ඒ්කකයේ නිළධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ අද (29) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මේ බව පවසා සිටියා.

නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල පසුගිය වසර පුරාවට ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කර තිබුණා.

රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසරේ මැයි, ජූලි යන මාස අතර සහ වසර අග ඔක්තෝබර් සිට ජනවාරි දක්වා ඊසාන දිග මෝසම් වැසි සමය තුල වාර්තා වී ඇති බව පසුගිය සංඛ්‍යා ලේඛන පිරික්සිමේදී අනාවරණය වන බවද අමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නා.

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්ධන කටයුතු පිළිබදව අවදානය ගිලිහී ගියහොත් රටතුළ ඉතා ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගතවීමට ඉඩඇති බව මෙම සාකච්ඡාවේදී සාකච්ඡාවට බදුන්වී තිබෙනවා.

පසුගිය වසරේ සංඛ්‍යා ලේඛණ පරීක්ෂා කිරීමේදී ලක්ෂයකට ආසන්න පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවත් ඒ හේතුවෙන් මෙය මර්ධනය කිරීම සදහා ක්ෂණික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරිය නිළධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදුන්නා ෴

***************************************

ලෙඩ රෝග 200 ක් හඳුනාගත හැකි මෙරට නිෂ්පාදිත රොබෝ යන්ත්‍රය

(29.04.2020 – 17:57 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදනය කරන ලද වෛද්‍ය සහයක රොබෝ යන්ත්‍රයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (29) පිළිගන්වනු ලැබුවා.

Nextbots ලෙස නම් කර ඇති මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කර ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන පමුදිත ප්‍රේමචන්ද්‍ර මහතා විසින්.

මෙම රොබෝ යන්ත්‍රයට ලෙඩ රෝග 200 ක් හඳුනා ගැනීමට සහ ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාදීමේ හැකියාවද පවතිනවා.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මඟින් ප්‍රතිචාර දැක්වීමේ තාක්ෂණය ද මෙම රොබෝ යන්ත්‍රය සතුයි.

මෙම රොබෝ යන්ත්‍රය තවදුරටත් වැඩි දියුණුකර ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහයට යොදවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

***************************************

වතුර බාල්දියකට වැටී දෙහැවිදිරි පිරිමි දරුවා ජීවිතක්ෂයට

(29.04.2020 – 06:36 +0530 – sinhala.adaderana.lk)

කොක්කඩිචෝලය පොලිස් වසමේ පංවෙන,උන්නච්චිය ප්‍රදේශයේ දී සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 2 ක කුඩා දරුවෙක් වතුර බාල්දියකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (28) දහවල් 12 ත් 4 ත් අතර කාලයේ දි මෙම සිදුව ඇතැයි පොලීසිය පවසයි.

දරුවාගේ හිස කොටස පහතට සිටින සේ වැටීම හේතුවෙන් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇතැයි කොක්කඩිචෝලය පොලීසිය පොලීසියට ලද තොරතුරු මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 2 ක් වු පාසල පාර, පංවෙන, උන්නච්චිය, කොක්කඩිචෝලය යන ලිපිනයේ පදිංචි පිරිමි දරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලට රැගෙන ගොස් තිබේ.

අද (29) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

කොක්කඩිචෝලය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි ෴

***************************************

වෙන්වු එජාප නැවත එකතු කර ගන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ – හිටපු අමාත්‍ය එස් බී දිසානායක

(29.04.2020 – 16:13 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ උවමනාව පිටුපස ක්‍රියාත්මක වන්නේ කණ්ඩායම් දෙකකට වෙන්වී සිටින එක්සත් ජාතික පක්ෂය නැවත එකතු කර ගැනීමේ ප්‍රයත්නයක් බව හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා,

“ලෝකයේ මිනිස් ජීවිත විශාල වශයෙන් බිලි ගනිද්දී කුඩා රටක් හැටියට ශ්‍රී ලංකාව එය පාලනය අතින් ඉතා ඉදිරියෙන් සිටිනවා. එහි ගෞරවය ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, සෞඛ්‍ය අංශයට, ආරක්ෂක අංශයට හා රජයේ සියලු ආයතනය වලට හිමි විය යුතුයි.

අද ලෝක ආර්ථීකය විශාල වශයෙන් බිඳවැටෙන තත්වයකට පත්ව තිබේන්නේ. මෙරට අවුරුදු 30 ක් පුරාවට පැවති අභ්‍යන්තර යුද්ධය තුරන් කරපු නායකත්වයයි අද රටේ නායකත්වය හොබවන්නේ.

මේ මොහොතේ පෙර පැවති පසුගිය ආණ්ඩුව පැවතුණානම් අද රටට කුමක් වෙයිද? විපක්ෂ පක්ෂ විසින් කළ යුත්තේ මෙම කටයුත්තට ආශීර්වාද කිරීම මිසක් විවේචන කිරීම නොවේ.

එදා පසුගිය රජය විසින් ගෙවීම් කළ යුතුව තිබු ගෙවීම් කිරීමටයි පරිපූරක ඇස්තමේන්තුව ගෙනාවේ. නමුත් නැවත කැඳවන්න කියන කිසිවෙක් එයට සහය දැක්වුයේ නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 පැවත්වන්නට නියම කළත් පවත්නා තත්වය හමුවේ නැවත කල් දැමීමට හැකියි. ඒ සියලු තීරණ මැතිවරණ කොමිසම විසින් එහි බලතල අනුව කටයුතු කරයි.

අද විපක්ෂය මැතිවරණ භීතියකට පත්වෙලා. අපට අවශ්‍ය මැතිවරණයකට වඩා මේ තත්වය පාලනය කිරීමට බව කිව යුතුයි. රටේ නිෂ්පාදනය කටයුතු අඩාල වෙලා, සංචාරක කටයුතු අඩපණ වෙලා. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් පවා අද කප්පාදු කරලා. අද රටේ සිටින කිසිවෙක්ට ගෙවීම් සඳහා මුදල් නැහැ.

මේ තත්වය යටතේ රජය රු 5000 ක දීමනාවක් පවුල් 7,407,586 පමණ ලබා දෙන්නට කටයුතු කළා. රජය විසින් ගොවින්ගේ බෝග මිලදී ගැනීමට කටයුතු කර තිබේනවා. රජයට එන මුදල් එහා මෙහා යන බව අද බොහෝ දෙනාගේ කතා බහට ලක්වී තිඛෙනවා. එසේ වන්නේ නැහැ ලැඛෙන සියලු මුදල් යම්කිසි ක්‍රමවේදයකට අනුවයි සිදුවන්නේ. ඒ ගැන මුදල් ඇමති රවීකරුණානායක මහතාගෙන් ඇහුවත් කියයි.”

***************************************

පාස්කු ප්‍රහාරයට පුත්තලමේ සංවිධානයක සම්බන්ධයක්

(29.04.2020 – 16:34 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධව සාම්පූර් ප්‍රදේශයෙන් සොයාගත් ස්ථානයේ අවි පුහුණුව ලබාදී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ප්‍රහාරවලට අදාළව පුත්තලම ප්‍රදේශයේ සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, සහරාන් ඇතුළු ප්‍රහාරකයන් එම සංවිධානයේ දේශන සඳහා හා වීඩියෝ දර්ශන පෙන්වීම සඳහා සහභාගී වී ඇතැයි ද ඔහු පැවසුවා.

දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ද මීට සම්බන්ධ බවට පරීක්ෂණ අනුව හෙළි වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

***************************************

සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ගැසට් නිවේදනය අවලංගු කෙරේ

(29.04.2020 – 15:57 +0530 – hirunews.lk/sinhala)

සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

අදාළ ගැසට් නිවේදනය මගින් සුදු සීනි කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල නියම කර තිබුනේ රුපියල් 105 ක් ලෙසටයි.

තොග මිල රුපියල් 100 ක් ලෙසට එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබුනා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *