කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් වෙයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් වෙයි

• ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෙබ් අඩවිය එළි දකී

• වෛද්‍ය අධීක්ෂණය යටතේ 455 ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි

• ඇදිරි නීතිය ඉවත් කළත් බොහෝ ප්‍රදේශවල තවමත් ව්‍යාපාරික ස්ථාන වසා තැබෙයි (විඩියෝ)

• ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (28) උදෑසන දුම්රිය ගමන් වාර 05 ක්

• COVID-19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 871 ක් දක්වා ඉහළට

• විපක්ෂ නියෝජිතයින් ජනපතිගෙන් කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂයෙන් ඉවතට (විඩියෝ)

• ලොව කොරෝනා ආසාදිතයන් ගණන මිලියන ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

• ප්‍රාදේශීය පාලන ව්‍යුහය තුළ සිටින සියලු මාණ්ඩලික නොවන නිලධාරීන්ටත් පන්දහසේ දීමනාව (විඩියෝ)

• ඇඳිරි නීතිය තාවකාලිකව ලිහිල් කෙරුණත් ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක්

• නිහඬ වූ ‘ශ්‍රී ලංකන් දඬු මොනරු’ (විඩියෝ)

• COVID 19 ආසාදනය වු නාවික සෙබළුන් ඇසුරු කළ සියලුදෙනා නිරෝධායනයට

• පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි සහ කාදිනල් හිමිපාණන් සමඟ ජනපති අදහස් හුවමාරුවක (විඩියෝ)

• අධ්‍යාපන ඇමතිගෙන් විභාගවලට මුහුණදීමට සිටින දරුවන්ට පොරොන්දුවක් (විඩියෝ)

• සුමන්දිරන්ගේ ඇඳිරි නීති කථාවට පොලීසිය කරුණු දක්වයි (විඩියෝ)

• සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට පියවර (විඩියෝ)

• නිසි වාතාශ්‍රය නොමැති කාමරවල කොරෝනා වෛරසය රැදී තිබිය හැකි බවට මතයක්

• සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක්

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් වෙයි

(28.04.2020 – 22:48 +0530 – sinhala.adaderana.lk)

අද (28) රාත්‍රී 10:30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු (08) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය (28) වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව අද දිනය (28) තුළ කෙරෝනා ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී තිබේ.

අද (28) සවස හඳුනා ගත් ආසාදිතයින් අට (08) දෙනාගෙන් 05 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන අතර අනෙක් තිදෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු අද (28) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අයි.ඩී.එච්., වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 478 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.

මෙරට තුළ මේ වන විට කොවිඩ් මරණ 07 ක් සිදුව තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෙබ් අඩවිය එළි දකී

(28.04.2020 – 15:58 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන https://covid19.gov.lk/ වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත් කිරීම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා මහතා විසින් ඊයේ (27) වැනි දින සිදු කෙරිණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබයි.

මූලිකව කොවිඩ්-19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එකම වේදිකාවකට ගැනීමේ අරමුණින් එළි දක්වන ලද මෙම වෙබ් අඩවිය මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID-19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මඟින් ලැබෙන තොරතුරු‍ අන්තර්ගත කරනු ලැබේ.

COVID-19 පැතිරීයාම වැළැක්වීමට අදාළ සියලු තොරතුරු සහ ක්‍රියාකාරකම්, සොයා ගැනීම් සම්බන්ධ තොරතුරු කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම වෙබ් අඩිවිය ක්‍රියාත්මක වන අතර දේශීය හා ගෝලීය වශයෙන් නවතම යාවත්කාලීන කිරීම් සමඟ නිවැරදි තොරතුරු බාධාවකින් තොරව ජනතාවට ලබාගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර තිබේ.

තවද, මෙම වසංගත තත්ත්වය තුළ මෙම වෙබ් අඩවිය සෞඛ්‍යයට අදාළ සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා නොවන අතර ආර්ථිකය, ආනයන හා අපනයන, සංචාරක, ප්‍රවාහන, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, සමාජ සුබසාධනය, නීතිය හා සාමය, ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි තොරතුරුවලින් ද සමන්විතය ෴

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය අධීක්ෂණය යටතේ 455 ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි

(28.04.2020 – 14:37 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 455 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 588 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ආසාදිතයින් 134 දෙනෙකු පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අතර ඊයේ (27) දිනය තුළ පමණක් ආසාදිතයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව මෙතෙක් මෙරටින් දෛනිකව හදුනාගත් වැඩිම ආසාදිතයින් පිරිස බව සදහන්.

මීට අමතරව කොවිඩ් නයිටීන් වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් ගණන 180 ක් බවයි වාර්තා වන්නේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් හදුනාගැනීමේ පි.සි.ආර්. පරික්ෂණ 1400 ක් ඊයේ (27) දිනය තුළ පමණක් සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මෙරට දිනකදි සිදුකළ වැඩිම පි.සි.ආර්. පරික්ෂණ සංඛ්‍යාව මෙය වන බවයි.

මේ වන විට මධ්‍යස්ථාන 16 ක පි.සි.ආර්. පරික්ෂණ කටයුතු සිදුකරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය ෴

+++++++++++++++++++++++++++++++++++

ඇදිරි නීතිය ඉවත් කළත් බොහෝ ප්‍රදේශවල තවමත් ව්‍යාපාරික ස්ථාන වසා තැබෙයි

(28.04.2020 – 14:30 +0530 – sinhala.adaderana.lk)

ඇදිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවල සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත්ව තිබුණ ද බොහෝ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ඇදිරි නීතිය අද (28) උදෑසන 05:00 ට ඉවත් කෙරුණි.

කෙසේවෙතත් මෙම දිස්ත්‍රික්ක සදහා ද අද (28) රාත්‍රි 08:00 සිට හෙට (29) අළුයම 05:00 දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර ඒ ආකාරයෙන් ලබන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව තම දෛනික කටයුතු සිදු කර ගැනිම සදහා ප්‍රධාන නගරවලට පැමිණි අතර ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනු ලැබූ උපදෙස් අනුගමනය කර තිබු බව ‘අද දෙරණ’ වාර්තාකරුවන් සදහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (28) උදෑසන දුම්රිය ගමන් වාර 05 ක්

(28.04.2020 – 14:25 +0530 – sinhala.adaderana.lk)

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (28) උදෑසන දුම්රිය ගමන් වාර 05 ක් ක්‍රියාත්මකකර තිබේ.

ඒ අනුව මාතර – ගාල්ල, ගාල්ල – ඉදුරුව, බෙලිඅත්ත – ඉදුරුව, මහව – පොල්ගහවෙල සහ පොල්ගහවෙල – මහව යන දුම්රිය ස්ථාන අතර මෙම දුම්රියන් ධාවනය කෙරෙණු බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මෙම මගී දුම්රිය 05 තුළ රාජ්‍ය සේවකයින් පමණක් ගමන් කර ඇති අතර ගමන් කර ඇති සමස්ත මගීන් ගණන 352 ක් බව වාර්තා වන්නේය.

බෙලිඅත්ත – ඉදුරුව අතර ධාවනය කළ දුම්රියේ මින් වැඩිම මගීන් සංඛ්‍යාවක් ගමන් කර ඇති අතර එම සංඛ්‍යාව 211 ක් වේ.

ගාල්ල – මාතර දුම්රියේ මගීන් 81 දෙනෙකු, මහව පොල්ගහවෙල දුම්රියේ මගීන් 23 දෙනෙකු, ගාල්ල – ඉදුරුව දුම්රියේ මගීන් 22 දෙනෙකු සහ පොල්ගහවෙල – මහව දුම්රියේ මගීන් 15 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන්.

මීට අමතරව මාතලේ – මහනුවර, නාවලපිටිය – මහනුවර සහ මහනුවර – පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන අතර දුම්රිය තුනක් ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණ ද මගීන් නොමැති වීම හේතුවෙන් එය අවලංගු කිරිමට පියවර ගෙන තිබේ.

මේ අතර අද (28) දිනයේ ඉන්ධන ප්‍රවාහන දුම්රිය 04 ක් කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට අනුරාධපුර, පේරාදෙනිය සහ කටුනායක දක්වා ධාවනය කෙරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

COVID-19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 871 ක් දක්වා ඉහළට

(28.04.2020 – 19:36 +0530 – sinhala.adaderana.lk)

ලංකා විදුලි පෞද්ගලික සමාගම පරිත්‍යාග කළ රුපියල් මිලියන 05ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අද (28) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ.

රාජ්‍ය නොවන සංවිධාන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. ගුණරත්න මහතා සිය වැටුප සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කළේය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 871 ඉක්මවයි.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ.

දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන.

දුරකථන අංක 011 235 4479 / 011 235 4354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැන ගැනීමට හැක ෴

මේ අතර කොවිඩ් නයින්ටීන් මෙහෙයුම සඳහා මයික්‍රො කාර් ලිමිටඩ් ආයතනය විසින් රුපියල් ලක්ෂ 90 පමණ වටිනා බස් රථයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දි තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

විපක්ෂ නියෝජිතයින් ජනපතිගෙන් කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂයෙන් ඉවතට

(28.04.2020 – 22:41 +0530 – sinhala.adaderana.lk)

විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂයේ නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම අද (28) ආණ්ඩු පක්ෂ නියෝජිතයින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු ද අදහස් පළ කළේය.

මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා විපක්ෂයේ සහය ලබාදීම සඳහා අද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හමුවිය.

+++++++++++++++++++++++++++++++++++

ලොව කොරෝනා ආසාදිතයන් ගණන මිලියන ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

(28.04.2020 – 10:32 +0530 – sinhala.adaderana.lk)

ලොව කොවිඩ් ආසාදිතයන් ගණන මිලියනය ඉක්මවූ පළමු රට බවට අද (28) අමෙරිකාව පත්විය.

වෛරසයෙන් අද (28) වන විට ලොව පුරා මරණ 211,788 ක් වාර්තාවී තිබේ.

මේ අතර ඉන්දුනීසියාවේ කොවිඩ්-19 රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 2,200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට දත්ත විශේලේෂණයේදී පෙනීයන්නේ යැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ලවූ රට වන අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන අද (28) මිලියනය ඉක්මවා ගියේය.

ඒ අනුව ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

එරට මරණ සංඛ්‍යාව 56,796 ක්.

ගෙවුණු පැය 24 තුළදී අමෙරිකාවේ අලුතින් කොවිඩ් මරණ 1,3‍84 ක් වාර්තාවී තිබුණි.

මෙවන් පසුබිමක් තුළ 2020 ජනාධිපතිවරණයේ මූලික ඡන්ද විමසීම අවලංගු කිරීමට නිව් යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

අද (28) වන විට අමෙරිකාවෙන් ආසාදිතයන් 1,010,507 ක් , ස්පාඤ්ඤයෙන් 229,422 ක් , ඉතාලියෙන් 199,414 ක් , ප්‍රංශයෙන් 165,842 ක් , ජර්මනියෙන් 158,758 ක් සහ එක්සත් රාජධානියෙන් 157,149 ක් හඳුනා ගෙන ඇත.

වෛරසයෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑමක් එල්ලවූ රට වන ඉතාලියේ ඊයේ (27) වාර්තා වූ මරණ 333 ත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 26,977 දක්වා ඉහළ ගියේය.

ස්පාඤ්ඤයේ සමස්ත මරණ සංඛ්‍යාව 23,521 දක්වා ඉහළ දමමින් ඊයේ (27) දිනයේදී මරණ 331 ක් වාර්තා වී තිබුණි.

ප්‍රංශයෙන් ඊයේ (27) දිනයේදී කොවිඩ් නයින්ටීන් මරණ 437 ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 23,293 දක්වා ඉහළ නංවමින්.

සති හතරකට පසුව එක්සත් රාජධානියේ අඩුම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ (27) මරණ 360 ක් වාර්තා වී තිබුණි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව 21,092 ක්.

මේ අතර උණ, උදරයේ අපහසුතා වැනි රෝගී ලක්ෂණ සහිත ළමුන් කිහිප දෙනෙකු එක්සත් රාජධානියේ මියගොස් ඇති අතර එම රෝගී තත්ත්වය කොවිඩ් 19 වෛරස ආසාදනයට සම්බන්ධ බවට වෛද්‍යවරුන් සැක පළ කරයි.

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මේ වන විට රුසියාවටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

එරටින් හමුවන අසූ හත්දහසකට (87,000) වැඩි ආසාදිතයන් පිරිස අතර හමුදා සාමාජිකයන් දෙදහස් අනූවක්ද (2,090) සිටින බව විදෙස් වාර්තා පවසයි.

අසල්වැසි ඉන්දියාවෙන් ගෙවුණු පැය විසි හතරේදී කොවිඩ් මරණ 62 ක් වාර්තාවී තිබේ.

ඒ සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 939 දක්වා ඉහළ යන අතර හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 29,451 ක්.

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්දයෙන් ජනතාව දැනුවත් කිරීමට දිල්ලි පොලිසිය වෙස් ගැන්වූ පුද්ගලයන් යොදාගෙන තිබූණි.

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ආන්ද්‍රා ප්‍රාන්තය සමග පවතින දේශ සීමාව වසාදැමීම සඳහා ඒ හරහා අඩි 5 ක් උසැති තාප්පයක් ඉදි කිරීමට තමිල්නාඩු ප්‍රාන්තයේ බලධාරීන් පියවර ගෙන තිබේ.

මුල් අවස්ථාවේදී වෛරස ව්‍යාප්තිය හොඳින් පාලනය කරගෙන සිටි නමුත් මේ වන විට එය පාලනයෙන් ගිලිහී ගොස් ඇති සිංගප්පූරුවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් ගණන අද වන විට 14,951 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27) වාර්තා වූ එරට කොවිඩ් මරණ දෙක සමග සමස්ත මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගියේය.

ඉන්දුනීසියාවේ කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 2,200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට දත්ත විශේලේෂණයේදී පෙනීයන්නේ යැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.

කෙසේ නමුත් එම පිරිස වෛරසයෙන් මියගිය අය ලෙසට වාර්තාවලට එක්කර නැහැ.

කෙසේ වෙතත් වෛරසය මුල්වරට හඳුනාගත් චීනයෙන් ඊයේ (27) වාර්තා වුණේ ආසාදිතයන් හය දෙනෙක් (06) පමණයි.

ඉදිරියේදී කොවිඩ් වෛරසය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය හැකි බවට අනුමාන කෙරෙන අප්‍රිකා මහද්වීපයේ සමස්ත ආසාදිතයන් ගණන 33,273 ක්.

අප්‍රිකාවෙන් මරණ 1,467 ක්ද වාර්තා වී තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++

ප්‍රාදේශීය පාලන ව්‍යුහය තුළ සිටින සියලු මාණ්ඩලික නොවන නිලධාරීන්ටත් පන්දහසේ දීමනාව

(28.04.2020 – 22:05 +0530 – sinhala.adaderana.lk)

ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ ප්‍රාදේශීය පාලන ව්‍යුහය තුළ සිටින සියලු මාණ්ඩලික නොවන නිලධාරීන්ටද රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් හෙට (29) ඉදිරිපත් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දඹුල්ලේදී අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර වෛරස ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් දින ගණනක් තිස්සේ වසා තැබුණු පිටකොටුව මැනිං වෙළෙඳපොළ හෙට තොග වෙළෙඳාම් සඳහා යළි විවෘත කෙරෙයි.

වෛරස ව්‍යාප්තවීමේ අවදානම නිසා පසුගිය 17 වැනිදා වසා දැමුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට යළි විවෘත කරයි.

ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ දැඩි ඉල්ලීම මත එය විවෘත කෙරෙන්නේ තොග වෙළෙඳාම් සඳහා පමණයි.

ඒ අනුව අද (28) පෙරවරුවේ එම වෙළෙඳ සංකීර්ණය විෂබීජහරණයට ලක්කෙරුණි.

ඒ සඳහා භාවිත කෙරුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ තාක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිර්මාණය කෙරුණු නව උපකරණයක්.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ පමා කර තිබූ බිළිඳු ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීමේ සායන යළි ආරම්භ කර තිබේ.

මේ අතර රාජ්‍ය ආයතන සහ තවත් පොදු ස්ථාන රැසක්ම අද (28) විෂබීජහරයට ලක් කෙරුණි.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නවීකරණය කෙරුණු දැඩි සත්කාර ඒකකය හා නව අණුක ජීව රසායනාගාරය අද (28) විවෘත කෙරුණි. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේ වැඩසටහන් අතරතුර ඇතිවූ නොසන්සුන්තා පිළිබඳ ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

දීමනාව ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත රැස්වූ පානදුර බටහිර මානමල්ල කොට්ඨාසයේ ජනතාව චෝදනා කළේ මෙම වැඩපිළිවෙළ දේශපාලනීකරණය වී ඇති බවයි.

මේ අතර ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ බලපෑම් නිසා තමන්ට රුපියල් පන්දහසේ දීමනාම අහිමිව ඇති බවට හිඟුරක්ගොඩ උල්කටුපොත ග්‍රාමසේවා වසමේ පිරිසක් චෝදනා කරයි.

එම ග්‍රාමසේවා වසමේ 98 දෙනෙකුට දීමනාව ලැබී නොමැති අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරියා ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්විය.

රුපියල් පන්දහසේ දීමනා අයදුම්පත්‍රය මුදලට අලෙවි කළ බවට කඳාන ආඬියාකන්ද ප්‍රදේශයෙන් ඊයේ (27) වාර්තා වූ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

කාන්තාවක් රුපියල් 20 ක මුදලට එම අයදුම්පත් අලෙවිකළ බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් ‘අද දෙරණ’ ඊයේ (27) රට හමුවේ අනාවරණ කළේය.

එමෙන්ම පොහොර ලබා ගැනීමට නොහැකිව බිබිල ප්‍රදේශයේ ගොවි ජනතාව අපහසුතාවට පත් විය.

යුද හමුදාව හරහා දිවයින පුරා පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද තමන් පොහොර නොමැතිව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ඔවුන් පවසයි.

මේ අතර නිසි සෞඛ්‍යාරාක්ෂිත පහසුකම් නොමැති බව පවසමින් දක්ෂිණ අධිවේගි මාර්ගයේ මුදල් අයකැමියන් රැසක් අද (28) සේවයෙන් ඉවත් වී තිබේ.

අධිවේගයේ රථවාහන පිළිබඳ වාර්තා කරගැනීම් පොලිසිය විසින් සිදු කෙරුණි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු අධිකරණ මැයි 10 වැනිදා තෙක් වසා තබන ලෙස කුරුණෑගල නීතිඥ සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය ධාවනයේ කිසිදු ක්‍රමවත් බවක් නැතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරයි.

දැනට රජය සතුව පවතින වගා නොකල ඉඩම් තරුණ ගොවි ජනතාවට බදු ක්‍රමයට ලබා දීමටත් කාබනික පොහොර භාවිතය වැඩි කිරීම අරමුණු කරගෙන මෙරට තිබෙන සම්පත් උපරිම ප්‍රයෝජනයට ලක් කිරීමටත් කටයුතු කර ඇති බව මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

දැනට ආරම්භ කර ඇති සෞභාග්‍යා ජාතික ආහාර නිශ්පාදන වැඩසටහයේ සමාලෝචනසාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති එම සාකච්ඡාවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් ලේකම්වරුන් පළාත් කෘෂිකර්ම ලේකම්වරුන් ඇතුලු පාර්ශ්වය රැසක් එක්ව සිටියේය.

ගම්පහ දොම්පෙ දෙමළගම ග්‍රාමසේවා වසමේ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව විධිමත්ව ලබානොදෙන බවට චෝදනා කරමින් අද (28) එම ජනතාව ග්‍රාම නිලධාරී කාර්යාලය අසලට රැස්ව තිබුණි.

මේ අතර කොවිඩ් නයින්ටීන් මැඩපැවැත්වීමේ මෙහෙයුම ක්‍රියාත්මක කාලය පුරා නාවික හමුදාවට අවශ්‍ය වන පෞද්ගලික ආරක්ෂණ කට්ටල නාවික හමුදා සාමාජිකයන්ට ප්‍රදානය කිරීමට ‘දෙරණ මාධ්‍ය ජාලය’ සහ ‘මනුසත් දෙරණ’ එක්ව පියවර ගෙන තිබේ.

‘දෙරණ මාධ්‍ය ජාලයේ’ සභාපති දිලිත් ජයවීර මහතා විසින් නාවික හමුදාපතිවරයා වෙත එහි පළමු තොගය සංකේතාත්මකව ප්‍රදානය කිරීම අද සිදු කෙරුණි.

+++++++++++++++++++++++++++++++++++

ඇඳිරි නීතිය තාවකාලිකව ලිහිල් කෙරුණත් ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක්

(28.04.2020 – 21:50 +0530 – sinhala.adaderana.lk)

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය අද (28) තාවකාලිකව ලිහිල් කෙරුණත් ප්‍රධාන නගර කිහිපයකම වෙළෙඳසල් විවෘත නොකිරීමට වෙළෙඳ සංගම් පියවර ගෙන තිබුණි.

ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන කාලය අත්‍යවශ්‍යම සේවා සපයාගැනීමට හැර වෙනත් කටයුතු සඳහා යොදා නොගන්නා ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක 04 හැර සෙසු දිස්ත්‍රික්ක 21 ඇඳිරි නීතිය අද (28) අලුයම 5 ට තාවකාලිකව ඉවත් කෙරුණත් ‘අද දෙරණ’ ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ ජනතාව නගර වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි.

ඇඳිරි නීතිය ලිහිල් කෙරුණත් අනුරාධපුර,වව්නියාව හා මොණරාගල යන නගරවල වෙළෙඳසල් විවෘත නොකිරීමට අදාළ වෙළෙඳ සංගම් පියවර ගෙන තිබුණි.

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා ජනතාව දුරස්ථභාවය පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් එක් රැස්ව සිටි අතර ඔවුන්ට අවවාද කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදු විය.

බණ්ඩාරවෙල නගරයට පැමිණි ජනතාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබුණි.

සෞඛ්‍ය උපදෙස් නොසලකා පොදු ප්‍රවාහන සේවාවන්හි මගීන් සාමාන්‍ය ආකාරයෙන්ම රැගෙන යන ආකාරය අද (28) හැටන් බස්නැවතුම්පොළේදී දැකගත හැකි විය.

ඇඳිරි නීතිය ලිහිල් කෙරෙන අවස්ථාවන්හිදී අත්‍යවශ්‍ය සේවා හැර ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා නිවසින් බැහැරව යාමට ජාතික හැඳුනුම්පතෙහි අවසාන අංකය අනුව අවස්ථාව ලබාදී තිබුණත් ඇතැම් පිරිස් ඒ පිළිබඳව තැකීමක් සිදුකර තිබුණේ නැත.

ඇඳිරිනීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසාන අංකය ලෙස 05 සහ 06 සඳහන්ව ඇත්නම් ඔවුන්ට හෙට (29) දිනයේ අත්‍යවශ්‍ය සේවා සපයාගැනීම සඳහා නිවසින් බැහැරට යාමට ඉඩ සැලසේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 04 හි ඇඳිරි නීතිය මැයි 04 වනදා අලුයම 05:00 දක්වා අඛණ්ඩව බලපැවැත් වේ.

ඇඳිරි නීති බලපත්‍ර හා හැඳුනුම්පත් පරික්ෂා කිරීමේදී ආරක්ෂක අංශ නිලධාරීන් හා මහජනතාව අතර දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා ඇඳිරි නීති බලපත්‍රය හෝ හැඳුනුම්පත සිය අතේම තබාගනිමින් මුහුණට මුහුණ සම්මුඛ නොවන ලෙස එය ඉදිරිපත් කරන ලෙස පොලිස් මුලස්ථානය ජනතාවට දැනුම් දෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

නිහඬ වූ ‘ශ්‍රී ලංකන් දඬු මොනරු’

(28.04.2020 – 21:25 +0530 – sinhala.adaderana.lk)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම, අන්තර් හුවමාරුව හැරුණු කොට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සියලු මගී ප්‍රවාහන කටයුතු මේ වන විට අත්හිටුවා තිබේ.

ඒ අනුව අකර්මන්‍ය වී ඇති ගුවන්තොටුපලේ අත්‍යවශ්‍ය සේවා පමණක් සිදුවන ආකාරය පිලිබඳ ‘අද දෙරණ’ විමසා බැලුවේය.

මෙරට ප්‍රධානතම මෙන්ම විශාලතම මගී සහ භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලයි.

නිරන්තරයෙන් දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී පැවතුනු මේ ස්ථානය කොවිඩ් නයින්ටීන් වෛරසයේ බලපෑම හේතුවෙන් වසා දැමුණු පසුව අද වන විට එය පාළු ස්වභාවක් ගෙන ඇති අයුරු දක්නට ලැබේ.

කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන කටයුතු තවමත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතියි.

කොවිඩ් 19 අභියෝගය පහවගිය පසුව ශ්‍රී ලංකන් ගුවන්සේවය නැවතත් සිය ජාතික කර්ත්‍යවය වෙනුවෙන් සුපුරුදු පියාසැරියට එක්වනු ඇති.

+++++++++++++++++++++++++++++++++++

COVID 19 ආසාදනය වු නාවික සෙබළුන් ඇසුරු කළ සියලුදෙනා නිරෝධායනයට

(28.04.2020 – 21:09 +0530 – sinhala.adaderana.lk)

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර පසුව නිවාඩු ලබා පදවිය, ශ්‍රී පුර ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණි තවත් නාවික භටයෙකුටද රෝග ලක්ෂණ පහළ වීම නිසා ඔහුව PCR පරික්ෂණයට ලක්කර තිබේ.

එහි වාර්තාවට අනුව ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක් බව තහවුරුවීම නිසා රෝහල්ගත කෙරුණු අතර එම සෙබළා ළඟින් ඇසුරු කළ නිවාස පහක පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනයටත් පියවර ගැනුණි.

එමෙන්ම එප්පාවල ප්‍රදේශයෙන් පසුගියදා හමු වූ නාවික සෙබලා කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වීමෙන් පසු ඔහු ගමන් කර තිබූ එප්පාවල නගරය තුළ සේවා කටයුතු අද (28) සිට දින දෙකක කාලයක් අත්හිටුවා තැබීමට ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

මීට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නිරතව සිට පසුව නාවලපිටිය පිහිටි සිය නිවෙස් වෙත ගිය නාවික සෙබලුන් දෙදෙනා කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු කරගැනීමෙන් පසු ඔවුන් පදිංචිව සිටි දෙකිඳඅලුත්ගම සහ ගොන්දෙන්නාව යන ගම්මාන වල පදිංචි පවුල් 8 කට අයත් 34 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත අද (28) රැගෙන යනු ලැබුවේය.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර පසුව නිවාඩුවට තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණි නාවික සෙබලාටද කොවිඩ් වැලදී ඇතැයි ඊයේ (27) පස්වරුවේ තහවුරු වීමෙන් පසුව ඔහුව IDH රෝහලට ඇතුලත් කරනු ලැබුවේය.

ආසාදිත සෙබළාගේ පවුලේ සාමාජිකයින් තිදෙනා නිවස තුලදීම ස්වයං නිරෝධායනය ලක්කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේය.

පවතින තත්වය යටතේ අද (28) පෙරවරුවේ තංගල්ල නගරයට පැමිණි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමුඛ නිලධාරීන් වෙළදසැල් වසා දමන්නැයි නියෝග කළත් ඇතැම් සිල්ලර වෙළදුන් එම උපදෙස් නොතකා භාණ්ඩ අලෙවි කළ ආකාරයද දක්නට ලැබුණි.

කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු කරගත් වැලිසර නාවික හමුදාවේ සෙබලුන් සිව්දෙනෙකු වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති රෝහල්වල සායනික අපද්‍රව්‍ය ආරක්ෂිතව දහනය කරන ආයතනයකට අනියුක්තව රාජකාරිවල නිරතව සිට තිබේ.

ඒ අනුව එහි සේවය කරන 65 දෙනෙකු මෙන්ම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 5 දෙනෙකුගේ ජෛව සාම්පල වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අද (28) ලබාගනු ලැබුවේය.

මේ අතර රාජකාරී අවසන් කර නිවාඩු පැමිණ සිටි සූරියවැව ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළකු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වීම නිසා අද (28) උදෑසන සිට සූරියවැව, වීරීයගම සහ රන්මුදුවැව ග්‍රාම සේවා වසම් දෙක හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මේ හේතුවෙන් අද ඇඳිරී නීති ලිහිල් කර තිබුණත් සූරියවැව නගරයේ ඇති සියලු වෙලදසැල් අද වසා දමා තිබුණි.

අනුරාධපුර, සාලියපුර තෙප්පන්කුලම ගම්මානයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ (27) තහවුරු කරගැනීමෙන් පසුව තෙප්පන්කුලම ගම්මානය සහ ඔහු සංචාරය කර තිබූ පානියංකඩවල ගම්මානයද අද (28) උදෑසන සිට හුදකලා කරනු ලැබුවේය.

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා කිරීමටද පියවර ගැනුණි.

ඒ එහි පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මවට සහ ඊට යාබද නිවසේ සිටි 4 හැවිරිදි කුඩා දරුවෙකුටද වෛරසය වැලදී ඇතැයි PCR පරීක්ෂන මගින් තහවුරු වීමෙන් පසුවයි.

අදාල ආසාදිතයා ඉකුත් මාර්තු 15 වැනිදා මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකු වන අතර ඔහු ස්වයං නිරෝධායනයට ලක්ව තිබේ.

ඉන් පසු ඔහු වෙනත් අසනීප තත්වයක් වෙනුවෙන් ශල්‍ය කර්මයක් සිදුකිරීමට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු වූ අවස්ථාවේ පසුගිය අප්‍රේල් 25 වැනිදා සිදු කළ PCR පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දේහාන් විතානගේ මහතා සඳහන් කළේය.

මෙලෙස ඔහු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ දින 14 ක ස්වයං නිරෝදායන කාලය නිමා කර දින 27 කට පමණ පසුවයි.

ඒ අනුව ඔහු මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනයි.

එම ආසාදිතයාට ශල්‍ය කර්මය සිදු කළ වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කර ඇති අතර අදාල ශල්‍යාගාරයද වසා දමා තිබේ.

ඔවුන් ඇසුරු කළ තවත් පුද්ගලයින් 34 දෙනෙකුගේ ජෛව සාම්පල ලබාගැනීම අද (28) උදෑසන සිදු විය.

එහි පවුල් 8 කට අයත් පුද්ගලයින් 29 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

මේ අතර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ආසාදිතයෙක් ඇසුරු කර ටොරින්ටන් මාවතේ 60 වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුටද එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි පවුල් 12 කට අයත් 31 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර අදාල ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් 37 දෙනකු අද PCR පරික්ෂණයට ලක්කෙරුණි.

කොළඹ මහ නගර සභාවේ සේවකයෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු කරගැනීමෙන් පසු ඔහුගේ පවුලේ 5 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.

+++++++++++++++++++++++++++++++++++

පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි සහ කාදිනල් හිමිපාණන් සමඟ ජනපති අදහස් හුවමාරුවක

(28.04.2020 – 19:10 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය.

කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කළහ.

වසංගතය ඉක්මණින් පාලනය කිරීමට හැකිවනු ඇතැයි ආගමික නායකයෝ දෙනම විශ්වාසය පළ කළ අතර නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

ළග එන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරත වන්නැයි බෞද්ධ සැදැහැවතුනට දැනුම් දෙන බව මහා නා හිමියෝ කීහ. ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන විමසීමක් කළ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ අපරාධය පිටුපස සිටින්නේ කවුදැයි හඳුනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පිරිසක් මරණයට පත්වීමෙන් ඔබ්බට ගිය අරමුණු තිබෙන බව සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මහතා ඒ අරමුණු පසුපස සිටින අය හඳුනා ගැනීම රජයේ ප්‍රයත්නය බව කීය.

නාස්තිකාරී සහ වෛරය අවුළුවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටාවක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවකැයි කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේ ද අවධානය යොමු වී ඇතැයි ජනාධිපතිතුවරයා පැවසීය.

කෘෂි භෝග වගා කරන ප්‍රදේශවල වැව් සහ වාරිමාර්ග සමහරක් පරිහානියට ගොස් ඇතැයි පූජ්‍ය ධම්මාලංකාර මහ නා හිමිපාණන් සඳහන් කළ අතර, ඒවා පිළිසකර කිරීමට ලබන අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

අධ්‍යාපන ඇමතිගෙන් විභාගවලට මුහුණදීමට සිටින දරුවන්ට පොරොන්දුවක්

(28.04.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉදිරි විභාගවලට මුහුණදීමට සිටින දරුවන්ට කිසි ලෙසකින් හෝ ආසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළා.

ඔහු මේ බව සඳහන් කළේ, හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++

සුමන්දිරන්ගේ ඇඳිරි නීති කථාවට පොලීසිය කරුණු දක්වයි

(28.04.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ඇප ලබා දුන් පසුගිය 20 වනදා ඇඳිරි නීතිය පැනවීම නීති විරෝධී බවට, අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර නැතැයි නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් අද (28) දැනුම් දුන්නා.

ඒ එදින මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් පොලිස් ඇඳිරි නීතිය පැනවීම නීත්‍යානුකූල නොවන බවට මාධ්‍යයේ ඉදිරියේ සිදුකළ ප්‍රකාශයට, අදාළව කරුණු දැක්වීමට පොලීසිය අධිකරණය හමුවේ ගොනුකළ මෝසමක් අද (28) කැදවූ අවස්ථාවේදීයි.

පොලීසිය ගොනුකරනු ලැබූ මෝසමට අදාළව කරුණු දැක්වීමට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර සහ නුගේගොඩ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නෙවිල් ද සිල්වා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් කියා සිටියේ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට ඇප ලබාදී ඇත්තේ ඇප පනතේ ප්‍රතිපාදන සලකා බැලීමෙන් මිස ඇඳිරි නීති තත්ත්වය නීතිවිරෝධී බවට වන පදනමකින් නොවන බවයි.

එසේනම්, වැඩිදුර කරුණු දැක්වීමක් අනවශ්‍ය බව එහිදී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා සිටියා.

කෙසේ වෙතත්, මෙම නඩුව යළි සැප්තැම්බර් 29 වනදාට විභාග කිරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් නියෝග කළේ.

+++++++++++++++++++++++++++++++++++

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට පියවර

(28.04.2020 – 16:33 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සහිත පාසල් ලේඛන ඔන්ලයින් (online) ක්‍රමයට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ දැනට උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගනිමිනුයි අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව සියළු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ඊට අදාල පරිශීලක පද (USER NAME) හා මුරපද (PASSWORD) ලබාදීමේ සමාරම්භක අවස්ථාව අද (28) සිදු කෙරුණේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්.

රට තුළ උද්ගතව ඇති වත්මන් තත්වය හමුවේ පවත්නා සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දෙමින්, මෙම විභාග ප්‍රතිඵල දරුවන් වෙත ලබාදීමට උත්සුක වූ විභාග දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයටත් ඊට නායකත්වය ලබාදුන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සියලු නිලධාරීන්ටත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සිය කෘතවේදීත්වය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://doenets.lk/ වෙත පිවිසීමෙන් සිසුන්ට තම ප්‍රතිඵල පෞද්ගලිකව ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, සියලු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මීට පෙර අවස්ථාවලදී තැපැල් මගින් ලැබුණු පාසල් විභාග ප්‍රතිඵල ලේඛන අද සිට ඉහත වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ අවස්ථාව හිමිවනවා.

+++++++++++++++++++++++++++++++++++

නිසි වාතාශ්‍රය නොමැති කාමරවල කොරෝනා වෛරසය රැදී තිබිය හැකි බවට මතයක්

(28.04.2020 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නිසි වාතාශ්‍රය නොමැති තදබදයෙන් යුත් ස්ථානවල හෝ කාමරවල වාතයේ රැදී තිබිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එම වෛරසය වාතයේ රැදී ඇති ‘ඒරොසොල්’ හෙවත්, කුඩා අංශු මගින් පැතිරිය හැකි බවයි චීනයේ – වූහාන් නුවර රෝහල් දෙකක සිදුකළ එම පරීක්ෂණයේදි අනාවරණ වී ඇත්තේ.

වෛරසයේ ප්‍රවේණිමය කොටස් එම රෝහල් වැසිකිලිවල සහ විශාල පිරිසක් රැදී සිටින අභ්‍යන්තර පරිශ්‍රයන්හි මෙන්ම, වෛද්‍ය කාර්ය මණ්ඩල සිය ආරක්ෂිත ඇඟලූම් මාරු කරන කාමරවලද රැදී තිබීම විශේෂත්වයක්.

කෙසේ නමුත්, වාතයේ රැදී ඇති, අංශු මගින් වෛරසය ආසාදනය වන්නේද යන්න එම අධ්‍යයනය මගින් මෙතෙක් තහවුරු කර නැහැ ෴

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක්

(28.04.2020 – 14:52 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුවේදී තීරණය කර තිබෙනවා.

මෙහිදී ඇදිරිනීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කවල රෝහල්වලට පැමිණෙන රෝගීන් හට සළසන සුව සේවා සත්කාරක සේවාවන්, නිසි අයුරින් සැළසීමටත්, පවතින අවධානම හමුවේ ප්‍රතිකාර සේවාවන් සිදු කරන වෛද්‍යවරුන් ඇතුලු සියලුම රෝහල් කාර්ය මණ්ඩලයේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කාර්ය මණ්ඩලය සීමා කොට එම සීමා කරන ලද කාර්ය මණ්ඩලය තුලින් උපරිම සුව සේවා සත්කාරයන් සිදු කිරීමේ ක්‍රමවේදයන් පිළිබදවත්, එම සුව සේවා සත්කාර සිදු කරන රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇගලුම් හා අනෙකුත් උපකරණ ලබාදීම පිළිබදව ද විශේෂ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

COVID-19 මර්දන වැඩපිළිවෙලේ දී ප්‍රාදේශීය මට්ටමින් විශාල කාර්යභාරයක් ඉටු කරන සෞඛ්‍ය නිලධාරි කාර්යාලවලට අවශ්‍ය අමතර වාහන කඩිනමින් ලබාදීමටත්, දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය තවත් ඉහළනැංවීමටත්, PCR පරීක්ෂණ කටයුතු සදහා අවශ්‍ය වෛද්‍ය උපාංග ලබාගැනීම සදහා ආසියානු සංර්ධන බැංකුවේ හා ලෝක බැංකු ව්‍යාපෘතිවලින් මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම පිළිබදවසාකච්ඡා කර තිබෙනවා.

කොවිඩ් 19 මර්ධනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද ක්‍රියාකාරි ඒකකයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැදවා සාකච්ජා කොට අවශ්‍ය උපදෙස් ලබාදීමටද එම වැඩපිළිවෙලේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට ද මෙහිදී සාකච්චා කර තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් එය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුව අද රැස් වූ අවස්ථාවේදී මෙම තීරණවලට එළඹ තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *