තවත් තුන්දෙනෙකු (03) අලුතින් හඳුනා ගනී – මෙරට කොරෝනා ආසාදිතයන් 120 දක්වා ඉහළට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• තවත් තුන්දෙනෙකු (03) අලුතින් හඳුනා ගනී – මෙරට කොරෝනා ආසාදිතයන් 120 දක්වා ඉහළට

• කොරෝනා ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා පිටව යයි

• අත්‍යාවශ්‍ය භාණ්ඩ සැඟවුවහොත් මාස හයක සිර දඬුවම්

• රජයේ අනුමත, ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ සේවාවන්

• ජනතාව අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතුයි – රජයෙන් නිවේදනයක්

• නිරෝධායනය අවසන් කරමින් අදත් 132 ක් නිවෙස් වෙත

• අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වන්න දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරයි

• ජාතික ගුවන් සේවය චීනයේ සිට වෛද්‍ය ආධාර රැගෙන එයි

• ජපානය සොයාගත් පෙත්ත වෛද්‍ය විශේෂඥයින්ගේ අධ්‍යයනයෙන් පසු රෝගීන්ට

• සෞඛ්‍ය අමාත්‍යවරිය සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්

• ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ දියණියක් ලෙස පෙනී සිටි කතක් ඕස්ට්‍රේලියාවේ දී ඩොලර් මිලියන 29 ක් වංචා කරයි

+++++++++++++++++++++++++++++++++++

තවත් තුන්දෙනෙකු (03) අලුතින් හඳුනා ගනී – මෙරට කොරෝනා ආසාදිතයන් 120 දක්වා ඉහළට

(30.03.2020 – 09:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, නව ආසාදිතයන් තුන්දෙනෙකු අද හඳුනාගැනීමත් සමඟයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 117 දෙනෙකු පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය අද (30) පෙරවරු 10 ට නිකුත් කළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම වෛරසය ආසාදනය වූ 120 දෙනා අතරින් රෝගීන් 11 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර විදේශයන් හි සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 132 ක් නිරෝධායන කටයුතු අවසන් කර අද (30) නිවෙස් බලා පිටත්ව ගියා.

ඉන් 73 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පිටව ගොස් ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

එමෙන්ම තවත් 59 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට දින 14 ක නිරෝධායන කාලය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ ප්‍රංශය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණි මාතර, කොළඹ, බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්. එම පිරිස අතර ස්වාමීන් වහන්සේ නමක්ද සිටිනවා ෴

+++++++++++++++++++++++++++++++++++

කොරෝනා ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා පිටව යයි

(30.03.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනය වූ 120 දෙනා අතරින් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

අද (30) දිනයේ සුවය ලබා පිටව ගිය සිව් දෙනා අතර කාන්තාවක් ද සිටිනවා.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 114 දෙනෙකු පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා ෴

+++++++++++++++++++++

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහත වැටී තිබෙනවා.

ඒ අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වන්නේ රුපියල් 192 යි ශත 50 ක් ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++

අත්‍යාවශ්‍ය භාණ්ඩ සැඟවුවහොත් මාස හයක සිර දඬුවම්

(30.03.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ රට තුළ ක්‍රියාත්මක කළ ඇඳිරි නීතියත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාව වෙතට බෙදාහැරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.

ලංකා සතොස සහ සුපිරි වෙළඳසැල් ඔස්සේ භාණ්ඩ බෙදාහැරීම සිදුකරනු ලබන අතර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ ඖෂධ වර්ග රෝගීන් වෙත බෙදාහැරීමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ලංකා සතොස ඔස්සේ කුඩා ලොරි රථ මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදෙන අතර, පෞද්ගලික බෙදාහැරීමේ සමාගම් සමඟ එක්ව සුපිරි වෙළඳසැල් අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත බෙදාහරිනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සඟවනු ලබන වෙළඳුන්ට එරෙහිව මාස 06 සිරදඬුවම් නියම කළ හැකි බව පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

තම අධිකාරියට ලැබෙන පැමිණිලි ඔස්සේ අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග සඟවා තැබීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි ලැබෙන අතර, දෛනිකව ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ගොවීන් විසින් රැගෙනවිත් තිබුණත් ඒවා මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා.

එමෙන්ම කොළඹ මැනිං වෙළඳපොලේද එළවළු තොග වැඩි වශයෙන් පැමිණියත් ගැනුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් තොග වැඩි වශයෙන් පවතින බවයි කොළඹ මැනිං වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ඖෂධ බෙදාහැරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පමණක් නොව අනෙකුත් පෞද්ගලික ඖෂධ සැල්වලට ද සිදුකළ හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පෞද්ගලික අලෙවිසැල්වල හිමියන්ට ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකි බවයි. මේ වනවිට එම වැඩපිළිවෙල සඳහා දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 3,000 ක් සම්බන්ධවී සිටිනවා.

ජනතාවට ඖෂධසැල් වෙත ගොස් අදාළ ඖෂධ වට්ටෝරුව ලබාගැනීමට හැකියාවක් නොමැති අතර, එය සිය නිවසට තැපැල් මගින් ලබා දීමට සළස්වන බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තවදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++

රජයේ අනුමත, ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ සේවාවන්

https://archaeology.lk/pharmacylocator/

+++++++++++++++++++++

වට්ස්ඇප් – වයිබර් නැති අයට PHI හරහා ඖෂධ

(30.03.2020 – 20:24 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය ඔසුසැල් වලට වයිබර් හා වට්ස්ඇප් හරහා ලැබෙන ඇනවුම් සදහා ඖෂධ නිකුත් කිරීම තැපැල් දෙපාර්තමේන්තුව හරහා මේ වනවිටත් අඛණ්ඩව සිදුකරයි.

ඒ පිළිබද තොරතුරු නිරික්ෂණය කිරීම සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) පෙරවරුවේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණියේය.

මේ අතර ඖෂධ නිවෙස් වලටම බෙදාහැරීමේ වැඩසටහන යටතේ තංගල්ල මූලික රෝහලේ සායනිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ ඊයේ (29) නිවෙස් වලටම ගොස් ලබාදීමට එම රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගත්තේ ජංගම රථයක්ද යොද ගනිමින්ය.

මේ අතර කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වූ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත සායනික ප්‍රතිකාර වලට පැමිණෙන ජනතාවගේ ඖෂධ තැපැල් මගින් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් බෙදාහැරීම අද (30) දිනයේදී ආරම්භ කරනු ලැබුවේය.

+++++++++++++++++++++++++++++++++++

ජනතාව අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතුයි – රජයෙන් නිවේදනයක්

(30.03.2020 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ජනජීවිතය අපහසුතාවට පත්කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගතයුතු බව රජය දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ ලැබෙන සියලු දත්ත විශ්ලේෂනය කර ඇඳිරි නීතිය පැනවීම, එය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරාගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින් බවයි.

යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියේ වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධන බලකාය වෙත යොමුකළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා ෴

+++++++++++++++++++++++++++++++++++

නිරෝධායනය අවසන් කරමින් අදත් 132 ක් නිවෙස් වෙත

(30.03.2020 – 10:28 +0530 – hirunews.lk/sinhala)

විදේශයන් හි සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 132 කු නිරෝධායන කටයුතු අවසන් කර අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන් 73 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පිටව ගොස් ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

එමෙන්ම තවත් 59 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට දින 14 ක නිරෝධායන කාලය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ ප්‍රංශය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණි මාතර, කොළඹ, බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්.

එම පිරිස අතර ස්වාමීන් වහන්සේ නමක්ද සිටිනවා ෴

+++++++++++++++++++++++++++++++++++

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වන්න දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරයි

(30.03.2020 – 13:44 +0530 – sinhala.adaderana.lk)

පවතින තත්ත්වය යටතේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පැවරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

එමෙන්ම ඖෂධ නිවෙස් වලටම බෙදාහැරීමේ වැඩසටහන යටතේ ප්‍රදේශ කිහිපයක රෝගී ජනතාව වෙත ඖෂධ ගෙන ගොස් භාරදීමද මේවනවිට ක්‍රියාත්මකයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින තත්වය යටතේ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත බලය පවරන බවයි.

එමෙන්ම ඒ ඒ දිස්ත්‍රික්කයේ සේවාවන් සැපයීමට විධායක මට්ටමේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් සහායක නිලධාරී කණ්ඩායමක් පත්කර ගන්නා ලෙසත් , ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සෑම නිවසකටම බෙදාහැරීම සදහා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරික ආයතන මෙන්ම සුපිරි වෙළදසැල් වල ජංගම සේවාවන් සංවිධානය කරන ලෙසත් එහි සඳහන්ය.

අත්‍යාවශ්‍ය සේවාවන්ට සහභාගි වන තොග සහ සිල්ලර වෙළෙන්දන් හට අවශ්‍ය ඇඳිරි නීති බලපත්‍ර ලබාදීමට අදාල පොලිස් ස්ථාන වෙත නිර්දේශ කරන බවද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා‍ සිය නිවේදනයෙන් පවසයි.

පසුගිය දිනවල පැවති එළවලු මිල ගණන් සැසදීමේදී අද පාලන මිලටත් වඩා එළවලු මිළ අඩුවී ඇති බැවින් තමන්ට කිසිදු ලාභයක් නොමැති බව වෙළෙදුන් පවසයි.

එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ මාළු මිල ගණන්ද අද (30) සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබුණි ෴

+++++++++++++++++++++++++++++++++++

ජාතික ගුවන් සේවය චීනයේ සිට වෛද්‍ය ආධාර රැගෙන එයි

(30.03.2020 – 13:33 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රීලංකන් ගුවන් සේවය, ජාතික මෙහෙවරක් ඉටුකරමින් සහ රජයේ ආරාධනය නැවත පිළිගනිමින්, ඊයේ (29) චීනයේ ෂැංහයි සිට වෛද්‍ය ආධාර තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ගුවන් සේවා සත්කාරය ලබාදෙන ලදී.

මෙම භාණ්ඩ තොගය චීනයේ ශ්‍රී ලංකා ප්‍රජාවවිසින් ගුවැන්ෂු සහ ෂැංහයි හි ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙත සිදු කරන ලද පරිත්‍යාගයකි.

මේ සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පහසුකම් සපයන ලදී.

මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම්, ඇස් කණ්ණාඩි, මුහුණු ආරක්ෂණ ආවරණ, නෙබියුලයිසර්, ස්පන්දන ඔක්සිමීටර, උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර වැනි අත්‍යවශ්‍ය වෛද්‍ය භාණ්ඩ මෙම තොගයේ අඩංගු වූ අතර ඒවා වෛද්‍ය ප්‍රතිකාරසඳහා රජයේ රෝහල්වල බෙදා හැරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ට භාර දෙනු ඇත.

COVID19 වසංගතයට එරෙහි රටක්ලෙස සටන් වදින මොහොතක ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා සේවය කරයි.

මෙම වෛයිරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී යාමේසිටම, ශ්‍රීලංකන්ගුවන් සේවය ශ්‍රී ලාංකිකයන්ට නිවෙස් කරා පැමිණීමට පසුකම් සැලසීමේ දී වැදගත්කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.

පසුගියදා ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 829 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ සහයෝගීතාව සහ උපදෙස් පරදි ආපසු ගෙන්වා ගැනීමට සහ චීනයේ වූහාන් නගරයේ සිටිපිරිස ගෙන්වා ගැනීමට ද ගුවන් සේවා පහසුකම් සලසමින් ශ්‍රීලංකන් ගුවන් සේවය ජාතික මෙහෙවරක් ඉටු කරන ලදී.

මෙම අවස්ථාවේ දී ජාතික මෙහෙවරක් ඉටු කිරීම පිළිබඳව ශ්‍රීලංකන්ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය සහ කළමනාකාරිත්වය ඉමහත් ආඩම්බරයට පත්වන අතර COVID19 වසංගතයට එරෙහිව සටන්කරන මොහොතක රටේ සාමූහික ප්‍රයත්නය සඳහා ආධාර අවශ්‍ය වන ඕනෑම ස්ථානයට ගුවන් සේවයඅඛණ්ඩව ළඟා වීමට සූදානමින් සිටියි ෴

+++++++++++++++++++++++++++++++++++

ජපානය සොයාගත් පෙත්ත වෛද්‍ය විශේෂඥයින්ගේ අධ්‍යයනයෙන් පසු රෝගීන්ට

(30.03.2020 – 12:58 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරසයේ සංකූලතා අවම කිරීම සඳහා භාවිත කළ හැකි ජපාන ඖෂධය මෙරට වෛද්‍ය විශේෂඥයින් විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රෝගීන් සඳහා භාවිත කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ කරනු ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මෙම කොවිඩ් නයින්ටීන් වෛරසය වැළැක්වීම සඳහා ප්‍රයෝජනවත් වන කිසිදු ඖෂධයක් මේ දක්වා සොයාගෙන නොමැති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

සෞඛ්‍ය අමාත්‍යවරිය සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්

(30.03.2020 – 11:30 +0530 – sinhala.adaderana.lk)

දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සහ දැනට එම කාර්යයන් වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබදව සොයාබැලීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පවත්වන ලදි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු වෘත්තීය සමිති 20 කට පමණ ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු විධායක කමිටුව විසින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ගත යුතු විශේෂීත යෝජිනා කිහිපයක් පිළිබද සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කළාය.

ඉන් අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුලු විධායක කමිටුව විසින් දැනට රෝහල්වල සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමු කළේය.

ඒ අනුව එම ගැටලු ක්ෂණිකව නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබාදෙන ලදි.

මෙම සාකච්ඡාවන් දෙක සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවැති අතර, අනෙකුත් සියලු වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාව නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී වෘත්තීය සමිති නායකයින් පෙන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගෙනයන වැඩපිළිවෙලට සියලුම වෘත්තීය සිමිති ඒකාබද්ධව කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බවයි.

මෙහිදී ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබෙන ප්‍රවාහන පහසුකම් සහ අහාරපාන සහ නවාතැන් පහසුකම් උපරිම වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලද අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන බව ද අමාත්‍යතුමිය විසින් සියළු වෘත්තීය සමිති නියෝජිතයින් වෙත ප්‍රකාශ කරමින් කොරෝනා වෛරසය මර්දන වැඩසටහන සදහා ලබාදෙන සහයෝගයට සිය ස්තූතිය පළ කරන ලදි ෴

***************************************

ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ දියණියක් ලෙස පෙනී සිටි කතක් ඕස්ට්‍රේලියාවේ දී ඩොලර් මිලියන 29 ක් වංචා කරයි

(30.03.2020 – 10:19 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරියෙකුගේ දියණිය ලෙස පෙනී සිටි කතක් ඕස්ට්‍රේලියාවේ දී ඩොලර් මිලියන 29 ක මුදල් වංචාවක් සිදු කර ඇතැයි එරට පොලීසිය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ දරුවන් තිදෙ‍නෙකුගේ මවක් ලෙස පෙනී සිට ඇති මෙම කාන්තාව ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ දියණිය ලෙස තමාව හඳුන්වා දී තිබේ.

ඇය පිළිබඳ තොරතුරු මාධ්‍යයට හෙළි කළ නොහැකි බවත් පවසන එරට පොලීසිය ඇයට චෝදනා රැසක් එල්ල වී ඇතැයි ද සඳහන් කරයි.

ධම්මික පෙරේරාගේ වත්කම ඩොලර් මිලියන 550 ක් පමණ වන බවත් වාර්තා කරනු ලබන විදෙස් මාධ්‍ය ඔහු සමඟ එකට සිටින ඡායාරූප පවා මෙම කාන්තාව ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි වාර්තා කරයි.

ඇය ධම්මික පෙරේරා සමඟ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ කර ඇති අතර, එමඟින් අයෝජකයින් සමඟ ගනුදෙනු සඳහා එය පිටුවහලක් කර ගෙන ඇතැයිද වි‍දෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කාන්තාවට බැංකු ගිණුම් 140 ක් පමණ ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි සඳහන් කරනු ලබන ‍එරට පොලීසිය, එක් අයෝජ‍කයෙකුගෙන් ලබා ගන්නා මුදල් තවත් අයෙකුට පොලියට ලබා දී ඇතැයිද සඳහන් කරයි.

මෙම කාන්තාව තමා ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව සමාජයට පෙන්වා ඇතැයි ද වාර්තා කරන විදෙස් මාධ්‍ය “ග්‍රෑන්ඩ් සුපර් රිච්” නමින් හඳුන්වනු ලබන ඇයගේ ආයෝජන සමාගමක් හරහා මෙම මුල්‍ය වංචාවන් සිදු කර ඇතැයි ද වාර්තා කරයි.

ඇයගේ මෙම හැසිරීම හමුවේ බොහෝ අයෝජකයින් මුදල් මෙම සමාගමට යොදවා ඇති නමුත් එම මුදල් මෙම කාන්තාව විසින් වංචා කර තිබීම ඇයට ඇති ප්‍රධානතම චෝදනාවයි.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 21 වන දින ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයට ඇති මුල්‍ය වංචා චෝදනා මෙන්ම සියලු‍ චෝදනා සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන සිදු කරමින් පවතින බවත් වාර්තා වෙයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *