ඩීල් ඇත්තේ නීතිපති සහ පොලීසිය අතරයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඩීල් ඇත්තේ නීතිපති සහ පොලීසිය අතරයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න (විඩියෝ)

• රාජිත රෝහල් ගත වූ හැටි අධිකරණයේදී හෙළිවේ – පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයාට එරෙහිවත් පැමිණිලි (විඩියෝ)

• රාජිතට නැවතත් අධිකරණයට එන්න වෙයිද?

• වසර පහක් තිස්සේ නඩු ෆයිල් දහදාහක් සීඅයිඩී හමස් පෙට්ටියේ

• වේරහැර RMV කාර්යාලය අසල සිට අල්ලස් ඉල්ලූ 6 ක් පොලිස් දැලේ

• සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීම පිළිබඳ ජනපතිගේ අවධානය

• උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි (විඩියෝ)

• උණුවතුර බෝතලයක් ඇඟට පෙරළී අවුරුද්දක් වයසැති බිළිඳෙකු මියයයි

• හිටපු අමාත්‍ය රිෂාඩ්ගෙන් CID යට පැය 3 ක ප්‍රකාශයක්

• ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියාට ඇප (විඩියෝ)

• මධුෂ්ගේ අනියම් බිරිඳගෙන් CID යට ප්‍රකාශයක්

• ශ්‍රී ලාංකික තරුණයින් මෙරටට ගෙන්වාගැනීමට අවධානය

• විදුලි සැර වැදී මාතලේ එකම පවුලේ තිදෙනෙකු මියයෑමේ සිද්ධියට දෙදෙනෙකු අල්ලයි

• බස් රථවල සද්ද ගැන 1955 ට කියන්න

• මේ වසරේ ජලභීතිකා මරණ 26 ක්

• පැවති රජයට ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා (විඩියෝ)

• ඉදිරියේදී අපරාධකරුවන් රාජිතව ආදර්ශයට ගන්න පුළුවන් – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන (විඩියෝ)

• කැලණියේ පන්සලක පිංකැටය කඩපු හැටි – CCTV දර්ශන සහිතයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ඩීල් ඇත්තේ නීතිපති සහ පොලීසිය අතරයි – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

(30.12.2019 – 20:38 +0530 – hirunews.lk/sinhala)

ඩීල් ඇත්තේ ආණ්ඩුව සහ විපක්ෂය අතර නොව, නීතිපති සහ පොලීසිය අතර බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

කොළඹ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.

***************************************

රාජිත රෝහල් ගත වූ හැටි අධිකරණයේදී හෙළිවේ – පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයාට එරෙහිවත් පැමිණිලි

(30.12.2019 – 19:07 +0530 – hirunews.lk/sinhala)

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ දින දෙකකට ආසන්න කාලයක් සොයා ගත නොහැකිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇත්තේ අවුකන්නාඩියක් සහ හිස්වැස්මක් පැළඳගෙන බවට අද (30) අනාවරණ වුණා.

ඒ මීට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී සැකකාර මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හල මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් බලපැවැත්වෙන බවයි.

අද (30) දිනයේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියමව රෝහල් ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරින්ගෙන් ප්‍රශ්න කලේ නඩුවේ තෙවන සැකකරු රාජිත සේනාරත්න අද අධිකරණයට ඉදිරිපත් කරන්නේ ද යන්නයි.

සැකකරු කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුණ ද, ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් ඒ සඳහා ඉඩ ලබාදී නොමැති බව එහිදී බන්ධනාගාර නිලධාරින් ප්‍රකාශ කළා.

මෙහිදි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී තිබියදීත්, පැය 48 ක පමණ කාලයක් සැකකරු පිළිබඳව විමර්ශන නිලධාරින්ට කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවූ බවයි.

එහෙත්, පසුගිය 26 වනදා පස්වරුවේ අවු කන්නාඩියක් සහ හිස්වැසුමක් පැළඳ මන්ත්‍රීවරයා ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බවයි ඔහු කියා සිටියේ.

මොහොමඩ් මුබාරක් නමැති විශේෂඥ වෛද්‍යවරයෙකු සැකකරුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට තරම්, බරපතල රෝගී තත්ත්වයක් නොමැති බව පැවසීමෙන් පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරින් භාරයේ තැබූ බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නා.

එතැන් සිට නඩුව විභාගයට ගන්නා මෙම අවස්ථාව දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් අවස්ථාවක් ලබාදී නොමැති බවයි ඔහු කියා සිටියේ.

නීතිය ක්‍රියාත්මක වීම, අපගමනයකට ලක් කිරීමට වෛද්‍ය වෘත්තීය අවභාවිත කරමින් ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් කුමන්ත්‍රණයක නිරත වන බව ද, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී චෝදනා කළා.

ඔහු එහිදී ප්‍රශ්න කළේ 26 වන දින සැකකරු රෝහල් ගත වීමෙන් පසු දින 3 ක් තුළ ඔහු සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රතිකාර කවරේද යන්න සහ ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ මන්ද යන්නයි.

අධිකරණ ක්‍රියාවලිය, අපගමනයකට ලක් කිරීමට උත්සාහ දරමින් හිපොක්‍රටික් වෛද්‍ය දිවුරුම් ප්‍රතිඥාව අවභාවිතයට ලක් කරන ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි පුද්ගලයින් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 ක මුදලක් දුන් බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි පසුගිය සිකුරාදා සිට පදිංචි නිවසින් අතුරුදන්ව ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබාදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේ.

එසේම, ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණි නඩුවේ පළමු සහ දෙවැනි සැකකරුවන් අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා ඇති අවස්ථාවක ඔවුන් සම්බන්ධයෙන් නව චෝදනා ගොනු කිරීමක් සිදුකරන තෙක් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට ඇප ලබා නොදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර සඳහන් කළේ තම පාර්ශවයෙන් ඇප ඉල්ලා සිටීමට පෙර පැමිණිල්ල ඊට විරුද්ධ වීම නෛතික වශයෙන් දෝෂ සහගත බවයි.

එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඇප දීමට විරුද්ධවීම, දෝෂ සහගත නොවන බව ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කියා සිටියා.

මෙහිදී ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ නිදහස භාවිත කර තම සේවාදායකයා තමන් වෙත පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුව මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් පැවසූ කරුණු වල වගකීම තම සේවාදායකයාට භාර ගත නොහැකි බවයි.

එසේම, පසුගිය 25 වනදා තමා කතානායකවරයාට, ඇමතුමක් දුන් අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද දිනය වනතෙක්, අත්අඩංගුවට නොගන්නා බවට වැඩබලන පොලිස්පතිවරයා, කතානායකවරයා දැනුවත් කර තිබූ බව දැනගත් බව ද, ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ මන්ත්‍රීවරයාව එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සඳහා යොමුකරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අතර, ඒ සඳහා ලංකා රෝහලේ පහසුකම් නොමැති බැවින් ඔහුව නවලෝක රෝහලට රැගෙන යා යුතු බවත්, ජනාධිපති නීතිඥවරයා මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නා.

දේශපාලන කරුණක් මත තම සේවාදායකයාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුට විරුද්ධව ගොනුකර ඇති සෑම චෝදනාවක්ම ඇප දිය හැකි චෝදනා බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇප ලබාදෙන ලෙසයි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර ඉල්ලා සිටියේ.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පළමුව කියා සිටියේ මොහොමඩ් රූමි නමැත්තා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිය ද ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවේ සඳහනක් නොමැති බැවින් වරෙන්තු නිකුත් කළ නොහැකි බවයි.

එහෙත්, අධිකරණ අවසරයකින් තොරව විදෙස් ගත වීම තහනම් කරමින් ඔහුට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළා.

අනතුරුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ ඇප ඉල්ලීම පිළිබඳව අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඇප දීමේදී මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුගමනය කර ඇති අවිධිමත් ක්‍රියාපටිපාටිය කෙරෙහි තමන් දැඩි අවධානය යොමුකරන බවයි.

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් පළමු සහ දෙවන සැකකරුවන් මිනීමැරීම් සහ කොල්ලකෑම් යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබුණ ද, පසුගිය නඩු වාරයේදී අධිකරණය විමසනතුරු සැකකරුවන්ට විරුද්ධව එම චෝදනා ඔප්පු වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී නොතිබුණු බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

එවැනි වාතාවරණයක් තුළ මුල් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයන්ට අදාළවම ආධාර අනුබලදීම යටතේ තෙවන සැකකාර මන්ත්‍රීවරයාව අධිකරණයට ඉදිරිපත් කිරීම බරපතල නීතිමය පරස්පරතාවයක් මතු කරන්නක් බවයි ඇය පෙන්වා දුන්නේ.

ප්‍රතිවාදී අපේක්ෂකයාට විරුද්ධව ජනාධිපතිවරණ සමයේ අසත්‍යය පැතිරවීම බරපතල වරදක් නොවන බවට තමන් නිගමනය නොකළ ද, පළමු හා දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් ගෙන ගිය නීති කෘත්‍යයටම තෙවන සැකකරු ඉදිරිපත් කිරීම විධිමත් නොවන බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට එරෙහිව ගොනුකර ඇති චෝදනාවට ඇප ලබාදීමේ හැකියාව තම අධිකරණයට පවතින බවයි සඳහන් කළේ.

ඒ අනුව, සැකකරුවෙකුට විරුද්ධව රීතිය ඇප දීම වන හෙයින් සහ එහි ව්‍යතිරේඛය ඇප ලබා නොදීම හෙයින් මන්ත්‍රීවරයාට ඇපනොදීමට තරම් බරපතල කරුණක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති නිසා ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.

එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට පනවා ඇති විදෙස් ගමන් තහනම එලෙසම බලපැවැත්වෙන බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, බන්ධනාගාර නිලධාරින්ට දැනුම් දුන්නේ සැකකරු මෙම අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කර නොමැති නිසා, ඇප කොන්දේසි සපිරීම පිළිබඳව සැකකරුගෙන් රෝහලේදී අත්සන් ලබා ගන්නා ලෙසයි.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ දක්වා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී නොමැති නිසා, ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බව දැනුම් දුන්නා.

ඊට අවධානය යොමුකළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට නියෝග කළේ නේවාසික ප්‍රතිකාර ලබා අවසන් වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

මේ අතර, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා වෛද්‍යආචාර ධර්ම කඩ කර ඇත්ද යන්න සොයා බලන ලෙස ඉල්ලා පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිල්ලක් යොමු කළා.

+++++++++++++++++++++++++++++++++++

ඇප ලැබුණත් රාජිත තවමත් රෝහලේ

(30.12.2019 – 19:24 +0530 – sinhala.adaderana.lk)

සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබුවේය.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා තවමත් රැඳී සිටින්නේ නාරාහෙන්පිට ලංකා පෞද්ගලික රෝහලෙයි.

මේ අතර සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට මුල්‍යඅනුග්‍රහය දැක්වූ බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් අධිකරණය අද නියෝග කළේය.

සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඒ මහතා අසනීප බව පවසමින් කොළඹ ලංකා පෞද්ගලික රෝහලට ඇතුළත්වුණි.

ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 27 වැනිදා ඒ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේය.

රාජිත සේනාරත්න මහතා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහු තවදුරටත් කොළඹ ලංකා පෞද්ගලික රෝහලෙහි බන්ධනාගාර නිලධාරින් භාරයේ රැඳී සිටියේය.

අද උදෑසන බන්ධනාගාර නිලධාරින් එම රෝහලට පැමිණ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ වෛද්‍ය වාර්තාවක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාද ඔහුගේ සුවදුක් විමසිම සඳහා රෝහල වෙත පැමිණියේය.

කෙසේවෙතත් බන්ධනාගාර නිලධාරින් භාරයේ සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අද කොළඹ මහේස්ත්‍රතාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එසේවුවද ඔහුට අදාළ නීතී කෘත්‍ය අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට සුදුසු සෞඛ්‍ය තත්වයකින් නොසිටින බවට වෛද්‍ය වාර්තා ලැබී ඇති බවයි.

මේ අතර නාරාහේන්පිට ලංකා රෝහලේදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මේ වනතෙක් ප්‍රකාශයක් සටහන් කරගැනීමට පවා ලංකා රෝහලේ වෛද්‍යවරුන් ඉඩ ලබාදී නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඊයේ බන්ධනාගාර වෛද්‍යවරයෙක් ලංකා රෝහල වෙත ගොස් තිබූ බවද සැකකරුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අසාධ්‍ය තත්වයක් අනාවරණ නොවන අතර ලංකා රෝහලේ වෛද්‍යවරුන් අධිකරණ ක්‍රියාදාමය අඩපණ කිරීමට තුමන්ත්‍රණය කරමින් සිටින බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවේය.

එමෙන්ම අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවෙක් වන ඔහුට පසුගිය දින තුන මුළුල්ලේ සිදුකළ ප්‍රතිකාර මොනවාද යන්න අනාවරණය කරගැනීම සඳහා ලංකා රෝහලෙන් වෛද්‍ය ලේඛන කැඳවන ලෙසත් රාජිත සේනාරත්න මහතා අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් එහිදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ ලංකා රෝහලට ගොස් ඇති බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රෝහලේ වෛද්‍යවරු භිතියට පත්කර සැකකරු බන්ධනාගාර රෝහලට රැගෙන යාමට උත්සහ කර ඇති බවයි.

තම සේවාදායකයාට රජයේ රෝහල් ගැන කිසිදු විශ්වාසයක් නොමැති අතර ඔහු ලංකා රෝහපේ හෘද රෝල ඒකකයේ වෛද්‍ය මුබාරක් මහතාගේ අධීක්ෂණය යටතේ සිටිය යුතු බවද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම මෙම විමර්ශනයට අදාළව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට එල්ල කර ඇති චෝදනාවලට කිසිදු පදනමක් නොමැති අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ කිසිදු අපේක්ෂකයෙක් මෙම මාධ්‍ය හමුවෙන් තමා අගතියට පත්වූ බව පැමිණිලි කර නොමැති බවද ජනාධිපති නීතීඥ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ කරුණු සියල්ල සළකා බලා තම සේවාදායකයාට ඕනෑම කොන්දේසියක් මත ඇප නියම කරන ලෙසයි.

කෙසේවෙතත් දෙපාර්ශ්වයේම කරුණු සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළ මුලින් අත්අඩංගුවට ගත් මාධ්‍ය හමුවට සහභාගී වූ පළමු සහ දෙවන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ මීනිමැරීම, මංකොල්ලකෑම සහ පැහැරගැනීම ඇතුළු චෝදනාවලට වන බවයි.

තුන්වන සැකකරුවන රාජිත සේනාරත්න දණ්ඩ නීතී සංග්‍රහය යටතේ වන වැරදි වන අධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය මෙන්ම අධිකරණ කටයුත්තකදී ප්‍රයෝජනයට ගතහැකි වන ලෙස අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා යටතේ ඉදිරිපත් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

පළමු සහ දෙවන සැකකරුවන් අත්අඩංගුවට ගත් නීතී කෘත්‍යටම තුන්වන සැකකරුව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනාවලට අත්අඩංගුවට ගැනීම බරපතල පරස්පර තත්වයක් වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

මාධ්‍ය හමුවේදී චෝදනා ඉදිරිපත් කළ පළමු සහ දෙවන සැකකරුවන් මුළුමනින්ම අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇති බව දැන් විමර්ශන නිලධාරීන්ගේ ස්ථාවරය වන්නේ නම් තවදුරටත් එම සැකකරුවන්ට මුල් චෝදනා වන මිනීමැරීම සහ මංකොල්ලකෑම ඇතුළු චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට සඳහන් නොකළ බවත් සිදුවීමක සැබෑ පසුබිම විමර්ශකයාගේ මනසේ පමණක් තබාගෙන අධිකරණයකට සැබෑ නීතී තත්වය පැහැදිළි කිරීමෙන් තොරව කටයුතු කිරීම අවිධිමත් ක්‍රියාවක් බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.

එම නිසා තුන්වන සැකකාර රාජිත සේනාරත්න මහතා සැකකරුවෙක් ලෙස නම් කිරීමේ පටිපාටිය දෝශසහගත වන බවත් සැකකරු අපේක්ෂිත ඇප අයැදුම්ක්ද ඉදිරිපත් කර තිබූ පසුබිමක ඔහු අධිකරණය මඟහැර සිටිනු බවට තහවුරු වන කරුණු ඉදිරිපත් වී නොමැති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර සිටියාය.

එමෙන්ම සැකකරු සම්බන්ධයෙන් වෙනත් අධිකරණයක නඩු නොපවතින තත්වය සැලකිල්ලට ගෙන සහ සැකකරුගේ ක්‍රියාවෙන් අගතියට පත්වූ බව පැවැත්වෙන පුද්ගලයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති හෙයින් ඇප ලබා දීම සම්බන්ධයෙන් මහජන කැළඹීමක් සිදුවෙතැයි නිර්ණය කළ නොහැකි නිසා සැකකාර රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළාය.

ඒ අනුව රාජිත සේනාරත්න මහතාට ඇප හිමිවූයේ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත වූ අතර ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කළ අධිකරණය විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරයට පත්කිරීමට නියෝග කළේය.

ඔහු ගේ ඇප බැඳුම්කරය රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේ රෝහලේදී අත්සන් කිරීමටද අධිකරණය නියෝග කර සිටියේය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙනුත් නීතීඥ ගුනරත්න වන්නිනායක මහතා කරුණු පැහැදිලි කළේය.

අධිකරණයේ නියෝගය අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය අද පස්වරුවේ කොළඹ ලංකා පෞද්ගලික රෝහලට පැමිණ ඇපකරයට අත්සන් ලබා ගත්තේය.

රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද අද පස්වරුවේ පැමිණියේය.

+++++++++++++++++++++++++++++++++++

රාජිතට නැවතත් අධිකරණයට එන්න වෙයිද?

(30.12.2019 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මීට ටික වෙලාවකට පෙර ඇප මත මුදා හැරුණු හිටපු අමාත්‍යය රාජිත සේනාරත්නට එරහිව ඇති වෙනත් පැමිණිලිවලට අදාළව සිදුකරන පරීක්ෂණ කඩිනම් කිරීමට රජයට බල කිරිම සදහා සිවිල් සංවිධානා ඇතුළු තවත් සංවිධාන කිහිපයක් සුදානම් වන බව හිරුට වාර්තාවනවා.

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී සිදුව ඇති බව කියන අක්‍රමිකතා, බාල ඖෂධ ආනයනය, ඇතුලු රාජිත සේනාරත්නට එරහිව ඇති වෙනත් පැමිණිලි රැසක් සම්බන්ධයෙන් ඇතම් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු, සිවිල් සංවිධාන මෙලෙස හඬ අවදි කිරීමට සුදානම් වනවා.

යම් ආකාරයකින් රාජිත සේනාරත්නට එරහිව ඇති වෙනත් පැමිණිලිවලට අදාළව සිදුකරන පරීක්ෂණ ප්‍රමාද වීමක් හෝ යට ගැසීමක් සිදු උවහොත් මහ මග උද්ඝෝෂණ පැවත් වීමටද එම සංවිධාන සුදානම් වන බවයි වාර්තාවන්නේ.

රාජිත සේනාරත්නට ඇප හිමි වුයේ ඔහු, රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කිරීමෙන් පසු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔහුට ඇප නියම කළේ.

මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප බැඳුම්කර ඔහු ප්‍රතිකාර ලබන රෝහලට ගොස් අත්සන් කර ගන්නා ලෙසටද නියෝග කළා.

නඩුව කැදවූ අවස්ථාවේදී මොහුට ඇප ලබාදීමට නීතිපතිවරයා සිය විරෝධය එල්ල කර අතර කෙසේ වෙතත් මන්ත්‍රීවරයාට එල්ල කර ඇති චෝදනා 03 ඇප ලබා දිය නොහැකි වැරදි නොවන බවට නිගමනය කළ විනිසුරුවරිය මන්ත්‍රීවරයාට ඇප නියම කළා.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අද (30) දිනය දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙසයි නියෝග කලේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම සදහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක පසුගිය සෙනසුරාදා අදාල පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර ඇය නිර්දේශ කර තිබුණේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ අවසරය ලැබේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහල වෙත මාරු කළ හැකි බවටයි.

ඒ අනුවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා බන්ධනාගාර ගිලන් රථය නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල් භූමියට ඊයේ (29) පැමිණ තිබුණේ. කෙසේ වෙතත්, ලංකා රෝහලේ වෛද්‍යවරුන්ගේ අවසරය නොලැබීම නිසා පැය 4 කට වැඩි කාලයක් එහි රදවා තිබූ ගිලන් රථය සහ පැමිණි නිලධාරින් පසුව පිටව ගියා.

මේ අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද (30) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම සහ ගොතන ලද සාවාද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා මතයි. පසුව ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

+++++++++++++++++++++++++++++++++++

දූෂණ චෝදනා ගැන රාජිතට එරෙහිව නඩු පැවරිය යුතුයි – GMOA

(30.12.2019 – 22:43 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව පවතින දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් වහාම නඩු පැවරිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි අවධියේ ඖෂධ මිලදී ගැනීමේ දී සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත අද පැමිණියේය.

අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසය.

“සමහරක් පිරිස් බියට පත්වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සෞඛ්‍ය ලේකම් ලෙස පත්වුවහොත් ජනතාවගෙන් මුදල් ගසා කෑ චූදිතයින් හෙළිවුවහොත් සමහර අයගේ ඩබල් ගේම් හෙළිවෙනවා.”

අදාළ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හිමියන් මේ බව පැවසීය.

“එතුමා සෞඛ්‍ය ඇමති කාලයේ අපිට උදව් නොකළාට. 86 සටනේ අපිට උදව් කළා. මම එතුමා රෝගියෙකු ලෙස බැලීමට ගියේ. මම පිරිත් කියලා සෙත් පැතුවා.

රාජිතයි මා අතර ඩීල් නැහැ. එතුමා කළ විපාක පල දෙයි. දේශපාලන වේදිකාවේ වීරයෙකු ලෙස කතා කළාට
මුලින් තිබුණු වීරත්වය දැන් පසු බැහැලා.”

***************************************

වසර පහක් තිස්සේ නඩු ෆයිල් දහදාහක් සීඅයිඩී හමස් පෙට්ටියේ

(29.12.2019 – 18:15 +0530 – lankaleadnews.com)

බිහිසුණු අපරාධ මෙන්ම පාතාල ක‍්‍රියාකාරකම් සහ ත‍්‍රස්ත ක‍්‍රියා ඇතුළු මිනීමැරුම් සිද්ධීන් සම්බන්ධ ලිපිගොනු 10,000 කට වඩා රහස් පොලිසියේ ගොඩගැසී ඇතත් ගත වූ වසර පහ තුළ පරීක්‍ෂණ පවත්වා ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ හිටපු ආරක්‍ෂක ප‍්‍රධානීන්ට චෝදනා එල්ල වූ සිද්ධීන් ගැන පමණක් බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධව සිදු කර ඇති පරීක්‍ෂණවලට අදාළ තොරතුරු රහස් පොලිසිය හිටපු ඇමැතිවරුන් දෙදෙනකුට සතිපතා ලබාදී ඇතැයි ද හෙළි වී තිබේ.

එසේම අපරාධ සිද්ධීන්වලට සම්බන්ධ 200 ක් පමණ වූ අපරාධකරුවන් මෙරටින් පැනගොස් ඇති අතර ඔවුන් ගැන සෙවීමට ද රහස් පොලිසිය අවධානය යොමු කර නැත.

පසුගිය රජයේ හිටපු ඇමැතිවරුන් දෙදෙනාගේ උපදෙස් මත වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු හමුදා ප‍්‍රධානින් සිරගත කිරීමේ මෙහෙයුමට රහස් පොලිසිය මුල් තැන දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කළේය ෴

***************************************

වේරහැර RMV කාර්යාලය අසල සිට අල්ලස් ඉල්ලූ 6 ක් පොලිස් දැලේ

(30.12.2019 – 20:51 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර RMV කාර්යාලය අවට සිටිමින් රුපියල් 10,000 ක් දක්වා අල්ලස් මුදල් ගන්නා අතරමැදිකරුවන් 6 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීම පිළිබඳ ජනපතිගේ අවධානය

(30.12.2019 – 18:59 +0530 – hirunews.lk/sinhala)

සියලු පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව, ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලු පුද්ගල දත්ත ඒ යටතේ එක් මධ්‍යස්ථානයකට රැස් කෙරෙනු ඇති.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවුණා.

එමගින් කාලය, ශ්‍රමය සහ මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව, සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණය වීම ද වළක්වා ගැනීමේ හැකියාව පවතින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිලධාරින්ට පෙන්වා දුන්නේ.

+++++++++++++++++++++++++++++++++++

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

(30.12.2019 – 15:25 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (30) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුම්රු දුන්නා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියෙකු වන ඇය, යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර වව්නියාව සහ මඩකලපු දිසාපතිවරිය ලෙස කටයුතු කර තිබෙනවා.

පසුව, රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත් කෙරුණ් වත්මන් රජය යටතේයි.

මේ අනුව, පළාත් නවය සඳහාම නව ආණ්ඩුකාරවරුන් පත් කර අවසන්.

***************************************

උණුවතුර බෝතලයක් ඇඟට පෙරළී අවුරුද්දක් වයසැති බිළිඳෙකු මියයයි

(30.12.2019 – 15:10 +0530 – hirunews.lk/sinhala)

යාපනය – කීරිමලෙයි ප්‍රදේශයේදී උණුවතුර බෝතලයක් ඇඟට පෙරළී දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ වයස අවුරුද්දක් පමණ වන බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව විසින් කිරි සෑදීමට වතුර උණුකොට එය දරුවා රඳවා සිටි කාමරයේ මේසය මත තබා ඉවතට ගිය අවස්ථාවේදී දරුවා මේසයට දමා තිබූ ඉටිරෙද්ද ඇදීම හේතුවෙන් උණුවතුර බෝතලය දරුවාගේ ඇඟමතට වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ දරුවා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා ෴

***************************************

හිටපු අමාත්‍ය රිෂාඩ්ගෙන් CID යට පැය 3 ක ප්‍රකාශයක්

(30.12.2019 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අද (30) උදෑසන 10 ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.

පැය 3 යි විනාඩි විස්සක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පස්වරු 01:20 ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා ෴

***************************************

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියාට ඇප

(30.12.2019 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසූ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්, දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (30) නියම කළා.

ඒ අනුව, අදාල සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු අතර, ඇයට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් බලාත්මක වනු ඇති.

නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ එම සිදුවීමට අදාළව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති ආරක්ෂිත කැමරා දර්ශන 15 ක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකිරීමට නියමිත බවයි.

එමෙන්ම, සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සැමියාගේ සහ දරුවාගේ පාසල් ගුරුවරියකගේ දුරකථන දත්ත පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නියෝග කලේ අදාළ පෞද්ගලික දුරකථන සමාගමට ඊට අදාළ දත්ත වාර්තා විමර්ශන නිලධාරින් වෙත ලබාදෙන ලෙසයි.

එමෙන්ම, මෙහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතුවලට අවශ්‍යව තිබෙන සැකකාරිය විසින් භාවිත කළ ඇයගේ සැමියාගේ නමින් ලියාපදිංචි කර තිබූ ජංගම දුරකථනයක් තවමත් විමර්ශන නිලධාරින් වෙත ලබාදීමට සැකකාරිය කටයුතු කර නොමැති බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා දැනුම් දුන්නා.

එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම එම ජංගම දුරකථනය ඉදිරියේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කරන බව අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළව සාක්ෂිකරුවන් 45 දෙනෙකුගෙන් මේ වනවිට සාක්ෂි සටහන් කරගෙන ඇති බව ද, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.

එසේම, සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ ශාරීරික සෞඛ්‍ය පරික්ෂණයේදී ඇගේ ශරීරයේ කිසිදු ස්ථානයක තුවාලයක් තිබූ බවට, අනාවරණ වී නොමැති බවත්, ඇය පිළිබඳව සිදුකරන ලද මානසික සෞඛ්‍ය පරීක්ෂණයේදී මෙම නඩු කටයුත්තට බාධාවක් වන කිසිදු මානසික රෝගී තත්ත්වයක් ඇයට නොමැති බව අනාවරණ වී ඇති බවත්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පැහැර ගෙන යාමේ සිද්ධිය ගොතන ලද කතාවක් බවට කරුණු තහවුරු වී ඇති බැවින් ඉදිරියේදී සැකකාරියට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියා.

සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ මව සහ දරුවන් තිදෙනා මීට දින දෙකකට ඉහතදී, ස්විස්ටර්ලන්තය කරා ගොස් ඇති බව අධිකරණයට වාර්තා කළ අධිනීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම තැනැත්තිය ඇප ලබා යළි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට ගොස් දේශපාලන රැකවරණයක් ලබා ගතහොත් මෙම නඩුව පවත්වා ගෙන යාමට බාධා එල්ල විය හැකි බවයි.

මෙහිදී සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායිකාවගේ මව සහ දරුවන් තිදෙනා ස්විස්ටර්ලන්තයට ගියේයැයි නීතිපති දෙපාර්තමේන්තුව පැවසුව ද ඔවුන් විදේශ ගතවූයේ නිවාඩුවක් සඳහා සිංගප්පූරුවට බවයි.

මෙහිදි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාගෙන් විමසා සිටියේ සැකකාරියේ මව සහ දරුවන් තුන්දෙනා ස්විස්ටර්ලන්තයට ගියේයැයි සඳහන් කළ තොරතුරු කෙසේ ලැබුණේ ද යන්නයි.

ඒ පිලිබඳව කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ශාඛාව මෙම තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුවත් කර ඇති බවයි.

ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා නඩු විභාගය අතරතුර නැවත වරක් සඳහන් කර සිටියේ අදාළ මව සහ දරුවන් තුන්දෙනා සිංගප්පූරුවට ගොස් ඉන් අනතුරුව ස්විස්ටර්ලන්තය බලා යාමට ප්‍රවේශපත්‍ර වෙන් කර ගත් බවක් තමන්ට දැන ගැනීමට ලැබුණු බවයි.

කෙසේ වෙතත්, මෙහිදී ගානියා බැනිස්ටර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ එම දරුවන්ගේ නව පාසල් වාරය ආරම්භයේ අධ්‍යයන කටයුතු සඳහා මෙරටට පැමිණීමට නියමිත බැවින් ඉන් අනතුරුව ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවයි.

දරුවන් පාසල් යැවීම මවගේ අවශ්‍යතාවක් වන බැවින් මෙම අවස්ථාවේ සැකකාර කාන්තාවට ඇප ලබා දෙන ලෙස ඇයගේ නීතිඥයින් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා.

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය, සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගෙන් ප්‍රශ්න කිහිපයක් විමසනු ලැබුවා.

ඒ මෙම නඩුව සම්බන්ධයෙන් ඇප ලබා දුනහොත් සැකකාර කාන්තාව පදිංචිවීමට අපේක්ෂා කරන්නේ කුමන ප්‍රදේශය ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සැකකාරිය සඳහන් කළේ අංක 141 / 01 / 02 වයිට්පාර්ක් රෙසිඩන්ස්, මාලිගාවත්ත පාර, කොළඹ 10 යන ලිපිනයේ තමන් පදිංචි වන බවයි.

එසේම සැකකාර කාන්තාව මෙරට පුරවැසියෙක් ද යන්න මහේස්ත්‍රාත්වරිය ඇගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් කියා සිටියේ තමන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවයි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය, සැකකාර ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත සහ දැඩි ඇප කොන්දේසි කිහිපයක් මත මුදා හැරීමට නියම කළා.

එසේම මෙම සිදුවීමට අදාළ නඩුවේ වැඩිදුර විමර්ශනයන්හි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා ජනවාරි මස 9 වනදින නඩුව යළි කැඳවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියම කළා.

***************************************

මධුෂ්ගේ අනියම් බිරිඳගෙන් CID යට ප්‍රකාශයක්

(30.12.2019 – 12:52 +0530 – hirunews.lk/sinhala)

පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලු පිරිසක් අත්අඩංගුවට පත්වූ ඩුබායි සාදය සංවිධාන කළ ඔහුගේ අනියම් බිරිඳගෙන් ඉදිරි දින කිහිපය තුළ තවත් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඊයේ (29) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ බව කියන මෙම කාන්තාව පසුව කොළඹ පිහිටි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ මූලස්ථානය වෙත රැගෙනවිත් ප්‍රශ්න කරනු ලැබුවා.

ඉන් අනතුරුව රාත්‍රී 8 ට පමණ ඇය මුදාහැර ඇති බවයි වාර්තාවන්නේ.

මෙම කාන්තාව දිවයිනට ගෙන්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා එහි පිටත්ව ගොස් තිබුණා.

මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී එරට පොලීසියට කොටුවූ අවස්ථාවේ මෙම කාන්තාවද අත්අඩංගුවට පත්වුණා. ඇය තවත් පාතාල නායකයෙකු ව සිටි කළු අජිත් නැමැත්තාගේ බිරිඳ බවයි එම කාලසීමාව තුළ පරීක්ෂණ මෙහෙයවූ මෙරට බලධාරීන් අනාවරණ කරගත්තේ.

අත්අඩංගුවට පත්වූයේ මාකඳුරේ මධුෂ් විසින් මෙම කාන්තාවගේ දියණියගේ උපන්දිනය වෙනුවෙන් සංවිධාන කර තිබූ සාදයේදියි.

පාතාල නායක මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු රැඳවුම් නියෝග මත තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කරමින් සිටිනවා ෴

***************************************

ශ්‍රී ලාංකික තරුණයින් මෙරටට ගෙන්වාගැනීමට අවධානය

(30.12.2019 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි අධිකරණයක් මගින් දඩුවම් නියමවූ ශ්‍රී ලාංකික තරුණයන් තුන්දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.

අදාළ දඩුවම් ලිහිල් කරගැනීම සඳහා ඩුබායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, එරට බන්ධනාගාර බලධාරීන් සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමට ඡායාරූප එක් කළ බවට පසුගිය මැයි මාසයේ දිනක ඩුබායි පොලීසිය මගින් අදාළ ශ්‍රී ලාංකික තරුණයින් තුන්දෙනා අත්අඩංගුවට ගෙන පසුගිය 22 වනදා දක්වා පොලීසිය භාරයේ රඳවාගෙන තිබුණා.

ඔවුන්ට එරෙහි නඩුවේ තීන්දුව පසුගිය 22 වනදා ලබාදුන් ඩුබායි අධිකරණය නියම කළේ ඩුබායි ඩිරාම් ලක්ෂ 5 ක දඩ මුදලක් ගෙවන ලෙසයි.

එය ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට අධිකයි. එමෙන්ම ඔවුන් පිටුවහල් කිරීමටද අධිකරණය නියෝග කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් අදාළ දඩ මුදල ගෙවීමට නොහැකිවීම නිසා තරුණයන් තුන්දෙනාට වසර තුනහමාරක සිර දඬුවම් නියම කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර සිර දඩුවම් නියමව සිටින තරුණයන් තුන්දෙනා බේරාගැනීමට මැදිහත් වන්නැයි එම තරුණයන්ගේ පවුල්වල ඥාතීන් රජයෙන් ඉල්ලීමක් කළා ෴

***************************************

විදුලි සැර වැදී මාතලේ එකම පවුලේ තිදෙනෙකු මියයෑමේ සිද්ධියට දෙදෙනෙකු අල්ලයි

(30.12.2019 – 12:33 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – උකුවෙල – ගුරලවෙල ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලී එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඌරන් දඩයම් කිරීම සඳහා සැකකරුවන් මෙම විදුලි රැහැන ඇද තබන්නට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ.

අනවසර විදුලි රැහැනක පැටලීමෙන් එකම පවුලේ මව, පියා සහ ලේලිය මියගොස් සිටියේ ඊයේ (29) රාත්‍රියේයි.

සිද්ධියෙන් මියගිය පියාගේ වයස අවුරුදු 63 ක් වන අතර මව 53 වන වියේ පසුවනවා. ලේලියගේ වයස අවුරුදු 30 ක්.

ඇයට අවුරුදු එකහමාරක් සහ එකක් වයසැති දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.

පියා ඊයේ (29) රාත්‍රියේ රා මැදීම සඳහා ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා බිරිඳ, දියණිය සහ ලේලිය ගොස් තිබුණා.

එම අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරිඳට විදුලි සැර වැදී ඇති අතර ඇය බේරා ගැනීමට ලේලිය උත්සාහ කළ අවස්ථාවේ ඇයටද විදුලි සැර වැදී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධියෙන් දියණියට හානියක් සිදුව නැහැ. මියගිය පියාට පුතුන් දෙදෙනෙකු ද වන අතර ඔවුන් යුද හමුදාවේ සේවය කරනවා ෴

***************************************

බස් රථවල සද්ද ගැන 1955 ට කියන්න

(30.12.2019 – 12:26 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථවල ජනතාවට හිංසාවන අයුරින් ඝෝෂාකාරී ලෙස ගීත හා වීඩියෝ පට වාදනය කරන්නේ නම් 1955 ක්‍ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

ජනවාරි 1 වනදා සිට පෞද්ගලික බස් රථවල ඝෝෂාකාරී සංගීත ප්‍රචාරණය තහනම් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඝෝෂාකාරී ගීත වාදනය වෙනුවට සුබාවිත ගීත දහසක් ඇතුළත් සංයුක්ත තැටි බස් රථවලට බෙදාහැරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය දැනුම් දුනනේ.

එමෙන්ම පෞද්ගලික හෝ ලංගම බස් රථ මන්දගාමිව ධාවනය කරන්නේ නම් හෝ රියදුරන්ගේ සහ රිය සහයකයන්ගේ අවිනීත, නීතිවිරෝධි හැසිරීම පිළිබඳවද තොරතුරු මෙම ක්‍ෂණික දුරකථන අංකයට ලබා දිය හැකියි.

මේ අතර ලංගම ඩිපෝවල සිදුවන වංචා හා දූෂණ වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි ශ්‍රීලංගම සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ ෴

***************************************

මේ වසරේ ජලභීතිකා මරණ 26 ක්

(30.12.2019 – 11:02 +0530 – hirunews.lk/sinhala)

මේ වසර තුළ ජලභීතිකා රෝගය හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ එල්.ඩී.කිත්සිරි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් සභාව එක්ව රත්නපුර නගරයේ පැවති ජලභීතිකා මර්දන වැඩසටහනකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව තුළ සුනඛයන් ලක්ෂ 30 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, මේ වසරේදී පමණක් සුනඛයන් සපාකෑමට ලක්වූ දෙලක්ෂ පනස් දහසකට ජලභීතිකා එන්නත ලබාදී තිබෙනවා.

ඒ සඳහා වැයවූ මුදල රුපියල් ලක්ෂ 3500 ක් ෴

***************************************

පැවති රජයට ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා

(29.12.2019 – 19:02 +0530 – hirunews.lk/sinhala)

පැවති රජය ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් ආරක්ෂා කරමින් තම ගැටලුවලට විසඳුමක් ලබා නොදුන් බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය චෝදනා කරනවා.

කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති මහත්මිය මේ බව සඳහන් කළා.

***************************************

ඉදිරියේදී අපරාධකරුවන් රාජිතව ආදර්ශයට ගන්න පුළුවන් – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

(30.12.2019 – 17:32 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා රෝහල් ගත වී සිටිම තුලින් සමාජයට වැරදි ආදර්ශයක් ලබා දෙන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

බරපතල අපරාධ කරුවන්ද ඉදිරියේදි ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ රාජිත මන්ත්‍රීවරයා ආදර්ශයට ගනිමින් රෝහල් ගත වුවහොත් රට තුල නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසු වන බවද අමාත්‍යරයා ප්‍රකාශ කළේය.

එම නිසා නීතිය සැමට සමව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍යවරයා ලෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසුවේ අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“ඊයේ (29) දිනයේ අපි දුටුවා රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සිදු කරන චිත්‍රපටියේ ප්‍රතිඵල ඔහු විසින්ම නෙලා ගන්න අවස්ථාව.

ඔහුව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරලා අත්අඩංගුවට ගන්න තිබියදි මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පුද්ගලික රෝහලක හෘදයාබාධයකින් පෙළි සිටින බවක් පෙන්වන විට එජාපයේ දේශපාලන නායකයින් කියනවා මේක දේශපාලන දඩයමක් කියලා.

දැන් ජනතාව බලනවා මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමති රෝගි‍යෙක්නේ කියලා. මෙයාට සෞඛ්‍ය ඇමතිකම නොවෙයි වනිතා කටයුතු ඇමතිකමවත් දෙන්න හොඳ නැහැ. සියලු රෝග වැළඳුණු කෙනෙක් වෙලා ඔහු. රාජිත සේනාරත්න මෙහෙම රෝගියෙක් නම් මේ රටේ සෞඛ්‍ය කොහොම තියෙන්න ඇතිද.

මේක ආදර්ශයක් ලබාදෙනවා රටට බරපතල ඝනයේ අපරාධ කරපු අයට බේරෙන්න තියෙන හොඳම අවස්ථාව තමයි පුද්ගලික රෝහලකට ඇතුළත් වීම කියලා.

අපි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ විදිහට නීතිය ක්‍රියාත්මක වුණොත් රටේ බරපතළ ඝණයේ අපරාධ සිදු කළ පුද්ගලයින් ගිහින් පුද්ගලික රෝහල් වල නවතියි.

අපිව ජනාධිපති කොමිෂන් සභා වලට ගෙනාවා. අධිකරණයට ගෙන ගියා. හැබැයි අපි ඒවාට මුහුණ දුන්නා. මේ දැන් ඔහුට තියෙන්නේ සිල්ලර දෙයක්. තව තොග වැඩ ගොඩක් තිබෙනවා මෙයාගේ. තව නම් ලැයිස්තුවක් තිබෙනවා මේ අයගේ. ඒවත් දේශපාලන දඩයම්ද කියලා බලන්න.

තමන් කරපු වැරදි වලින් නිවැරදි වෙන්න බැහැ. අධිකරණය නොමඟ යවන්න කටයුතු කරන මේ වගේ මන්ත්‍රීවරු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මේ වගේ දේශපාලන අනාතයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා.

ඒ වගේම තමයි සුමන්තිරන් මන්ත්‍රීවරයාට දැන් පුදුම ඇ‍ඟේ අමාරුවක් තියෙන්නේ එජාප ආණ්ඩුව ගෙදර ගිය දවසේ ඉඳන්. මොකද ඔවුන්ගේ හිතේ තිබුණේ වෙනම ඊළාම් රාජ්‍යයක් බිහිකරගන්න. උතුරු- නැගෙනහිර ඒකට එකතු කරගන්න තිබුණ හොඳම ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව.

දැන් කොන්ද කෙලින් තියෙන ජනාධිපතිවරයෙක් ඉන්න නිසා මුළු රටටම තියෙන්නේ එක නීතියක්. ජාතිවාදයක් උඩගන්න හදන්නේ ඒ නිසයි. ඒකට ලේසිම ක්‍රමය තමයි ජාතික ගීය අපේ භාෂාවෙන් කියන්න ඕන කියලා.

එල්.ටී.ටී.ඊ එක තිබුණ කාලේ මේ අය කොහේද හිටියේ. සුමන්තිරන්ලා දැන් නැවත බලනවා ජාතිවාදි මානසිකත්වයක් ඇති කරන්න.

බොහොම පැහැදිලිව අපි කියනවා කවුරු වුණත් කමක් නැහැ ත්‍රස්තවාදි ජාතිවාදි කැරැලි ඇති කරන අයට විරුද්ධව කටයුතු කරන්න කියලා.

19 වෙනි සංශෝධනයෙන් මේ රටට වෙලා තිබෙන නස්පැත්තිය ඉවත් කරනන් අපි රජයක් හැටියට කටයුතු කරනවා. “

***************************************

කැලණියේ පන්සලක පිංකැටය කඩපු හැටි – CCTV දර්ශන සහිතයි

(29.12.2019 – 17:32 +0530 – sinhala.adaderana.lk)

කැලණිය ගල්බොරැල්ල ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ පිංකැටය අද (29) අලුයම 1 යි 30 ට පමණ පුද්ගලයෙකු විසින් කඩන අයුරු සී සී ටී වී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

වන්දනාවේ යන බැතිමතුන් පිංකැටය තුළට පඬුරු එක් කරන අයුරුත් අදාළ පුද්ගලයා එම මුදල් සොරකම් කරන අයුරුත් එහි සටහන්ව තිබුණි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *