නිශාන්ත සිල්වා කන්දප්පාට රට පනින්න ස්විස් තානාපති කාර්යාලයෙන් සහාය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• නිශාන්ත සිල්වා කන්දප්පාට රට පනින්න ස්විස් තානාපති කාර්යාලයෙන් සහාය

• ස්වීස් තානාපති කාර්යාල සිද්ධිය නාටකයක් බව ඇමති විමල් කියයි (විඩියෝ)

• මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති කීවා – එම රෝහලේ අධ්‍යක්ෂක

• හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතේ

• මහ සඟරුවන යාචකයින්ට උපමා කළ නිර්මාල් රංජිත්ට බෞද්ධ විරෝධය

• ලාබයි ! ලාබයි ! ජේවීපී ඇපල් සීයට තුනයි !

• ගණිකා වෘත්තියේ යෙදෙද්දී ෂර්මි කුමා ඇතුළු වෙසඟනුන් පිරිසක් අත්අඩංගුවට.. (විඩියෝ)

• ජනාධිපති ආර්යාවගේ වාහනයට පොලිසිය දඩ ගසයි.. වරද පිලිගෙන දඩය ගෙවන්නැයි ජනපති දන්වයි..

• 13 ක‍්‍රියාත්මක කරන්න බහුතතර සිංහලයන්ගේ අනුමැතිය ඕනෑ.. වටවංගු නෑ.. ජනපති ඉන්දියාවේදී කෙලින්ම කියයි.. (විඩියෝ)

• “මම ඉස්කෝලේ ගියේ හයේ පන්තියට විතරයි” ඇමැතිධුරයේ වැඩභාරගනිමින් විමලවීර දිසානායක මහතා සිය ජීවිත කතාව දිගහරිමින් සිදු කල සංවේදී කතාව (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

නිශාන්ත සිල්වා කන්දප්පාට රට පනින්න ස්විස් තානාපති කාර්යාලයෙන් සහාය

(01.12.2019 – aruna.lk)

බුද්ධි අංශ නිලධාරීන් පාවා දුන්නැයි චෝදනා රාජපක්ෂ පවුලේ අයට විරුද්ධව සාක්ෂි දෙන්නැයි බලපෑම් කරලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කන්දප්පා කටුනායක ගුවන්තොටුපොළට ඉකුත් 24 දා දහවලේ පැමිණියේය. ඔහුගේ පැමිණීම ගුවන්තොටුපොළේ නිලධාරීන්ට අමුත්තක් නොවීය. ඒ ගුවන්තොටුපොළේ රාජකාරි කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි අංශය මෙන්ම ආගමන විගමන නිලධාරීන් ඔහු කවුදැයි හොඳටම දන්නා නිසාය.

නිශාන්ත සිල්වා කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේ රාජකාරි වැඩකට නොවන බව නිලධාරීන්ට තේරුණේ ඔහු විදෙස්ගත වීමට සිය N 6869850 දරන ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරීන්ට දිගු කළ විටය. ඔහු සමග ඔහුගේ දරු පවුලත් එහි විය. ඔහු එදින දවල් 12:05 ට ස්විස්ටර්ලන්තයේ සූරිච් බලා යන අංක WK 0065 ගුවන් යානාවට ගොඩවන බව ඒ වන විටත් ගුවන්තොටුපොළ බලධාරීන් දැනගෙන සිටියහ. එහෙත් ඔවුන්ට අමුත්තක් නොවීය. ශ්‍රීලාංකේය පුරවැසියකු විදෙස් ගත වීම ගුවන්තොටුපොළ බලධාරීන් නතර කරන්නේ ඒ ගැන අධිකරණය මගින් ආගමන විගමන පාලකට ලිඛිත නියෝගයක් දී ඇති නම් පමණි. එහෙත් එවැනි නියෝගයක් නිශාන්ත ද සිල්වා කන්දප්පා එරෙහිව නොවීය. ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත්ව ඔහු ස්විස්ටර්ලන්තය බලා ගියේය. පොලිස් දෙපාර්තමේන්තුව ගිනි ගත්තේ ඔහු ස්විස්ටර්ලන්තයට ගොඩ බෑ විටය. නිශාන්ත ද සිල්වා කන්දප්පා විදෙස් ගත වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන නොවේ. හැරත් ඔහු එහි ගොස් ඇත්තේ තමන්ට ඇති තර්ජන ගැන පවසා දේශපාලන රැකවරණ ගනිමිනි.

නිශාන්ත සිල්වා නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු අධිකරණයට රැගෙන යමින්

ස්විස්ටර්ලන්තයට පනින්නට පෙර නිශාන්ත සිල්වා කන්දප්පා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුවට සේවා මාරුවක් ලැබ තිබුණි. ඔහු පමණක් නොව ඉකුත් ආණ්ඩුවට ඕනෑ විදියට පරීක්ෂණ කළ බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරටද ගාල්ලට හදිසි ස්ථාන මාරුවක් ලැබුණේය.

ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී බී. තිසේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට යන තුන්කට්ටුවට මෙම චෝදනා එල්ල වී තිබුණි. එබැවින් වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසම ඔවුන්ගේ ස්ථාන මාරුවීම්වලට අවසර ගත්තේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර තනතුරට පත් කෙරු‍ණේ බ්‍රහස්පතින්දා (21) ය. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් දැරූ තනතුරකට මෙම නිලධාරීයා පත් කිරීම සමාජයේ කතාබහට ලක්විය.

​ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර දක්ෂ රහස් පොලිස් විමර්ශන නිලධාරියකු බවට කියන්නට අටුවා ටීකා අවශ්‍ය නැත. නමුත් දේශපාලන වුවමනාකම් මත ඔවුන් පසුගිය සමයේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හා බුද්ධි අංශ නිලධාරීන්ව අපහසුතාවට පත් කරමින් විමර්ශන මෙහෙය වූ බව චෝදනා එල්ල විය.

රහස් පොලිසියේ බුද්ධි අංශ දඩයමේ විමර්ශන පිටස්තර බලවේගයකට වුවමනා පරිදි වූ බවට රහස් පොලිසියෙන්ම සාක්ෂි ඇත්තේය. මෙම විමර්ශන සිදුවෙද්දී සෑම දිනකම අරලියගහ මන්දිරයේ සිට ලැප්ටොප් පරිගණකයක් රැගෙන ආ පුද්ගලයකු ගැනද හෙළිවන්නේය. ඇමෙරිකාවේ පුරවැසිභාවයත් හිමි බව කියන මේ පුද්ගලයා බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලදී රහස් පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් තොරතුරු දත්ත ගබඩා කළ බව සඳහන්ය. ප්‍රකාශ ලබාදීම සඳහා හතරවන තට්ටුවට කැඳවන බුද්ධි නිලධාරීන්ගේ ජංගම දුරකථන ගේට්ටුවට භාරදී පැමිණි පසුව ඒවා හොර රහසේ උඩු මහලට ගෙන්වා ඒවායේ ඇති සියලු දත්ත පරිගණකවලට මෘදුකාංග මගින් පිටපත් කරන්නේද මොහු බව පැවසේ.

සියලු ප්‍රකාශ හා දුරකථන දත්ත ගබඩා කරගත් මොහු දිනපතා විමර්ශනවලට අදාළ තොරතුරුද දුන් බව කියවුණේය.

මෙවැනි කුමන්ත්‍රණ සිදුකළ ආකාරය, නව රජය පත්වීමත් සමග, ඔවුන් සමගම සිටි නිලධාරීන් පිටතට හෙළි කරන්නට වීමත් සමග නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු නිලධාරීන් රටින් පනින කුමන්ත්‍රණයට සූදානම් වූහ. ඒ අනුව නිශාන්ත සිල්වා කන්දප්පා රහස් පොලිසියෙන් දුන් රාජකාරි පිස්තෝලය මෙන්ම ආරක්ෂකයන් දෙදෙනා හා ජීප් රථයද සිකුරාදාම රහස් ​පොලිසියට භාරදී නිවාඩු අනුමත කරගෙන තිබේ. ඔහුට නිවාඩු අනුමත කරදී පිස්තෝල භාරගනිද්දී ඔහු මීළඟට සූදානම් වන්නේ කුමකටද යන්න අපරාධ විමර්ශනයේ ප්‍රවීණයන් වන රහස් පොලිසියේ නිලධාරීන්ට නොතේරුණා සේ සිටියේ වෙන කිසිවක් නිසා නොව ලැදියාවත් සමග ගැටීමක් ඔවුන්ට ඇති නිසා බව පෙනේ. මේ අතරේ නිශාන්ත සිල්වා කන්දප්පා ඇතුළු කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කෙරෙන බී වාර්තා ඇතුළු රහස්‍ය ලේඛන සියල්ල පිටපත් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එළියට ගිය බව පැවසේ. ඒ තොරතුරු අතරේ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට එරෙහිව පවරා ඇති නඩුවල තොරතුරු ඇතුළත් බව සඳහන්ය.

සියලු දෙනාගේ ඇස් කන් ඇරුණේ ඉරිදා දහවල් 12:05 ට ස්විස්ටර්ලන්තයේ සුරිච් බලා පිටත් වූ WK 0065 දරන ගුවන් යානයෙන් නිශාන්ත සිල්වා කන්දප්පා බිරිඳ හා දරු තිදෙනා සමග රටින් පැනගත් බව දැනගනිද්දීය. මේ පිළිබඳව ආරක්ෂක ​අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ගෙන් විමසන විටත් ඒ ගැන වැඩබලන පොලිස්පතිවරයා දැන නොසිටි බව පැවසේ.

නිශාන්ත සිල්වා කන්දප්පාට කටුනායක ගුවන් තොටුපොළට යෑමට රාජ්‍ය තාන්ත්‍රික සහායක් ලද බව කියවෙන්නේය. තානාපති අංශයේ වාහනයකින් ඔහු ඇතුළු පවුලේ අය කටුනායකට ගිය බවටද සඳහන්ය.

මේ සියල්ල හෙළි කරගත හැක්කේ කටුනායක ගුවන් තොටුපොළේ සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණය කිරීමෙන්ය. ජාතික ආරක්ෂාව තකා ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස රාජකාරි කළ සමයේ කටුනායක ගුවන් තොටුපොළේ පැය විසිහතර පුරා අවදියෙන් සිටින සීසීටීවී දර්ශන නිරීක්ෂණය කරන්නට ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබුණි. එහෙත් එම ඒකකය යහපාලන රජය ආ විගස විසුරුවා හැරියේ ගුවන් තොටුපොළ ආරක්ෂාව ගැනවත් නොසිතාය. කෙසේ නමුදු ගුවන්තොටුපොළේ සීසීටීවී දත්ත මගින් නිශාන්ත සිල්වා කන්දප්පා ගුවන්තොටුපොළට රැගෙන ආ අයගේ සිට සියල්ල සොයාගන්නට හැකියාව තවමත් ඇත.

නිශාන්ත සිල්වා කන්දප්පාට රටින් පනින්නට ස්විස් තානාපති කාර්යාලයේ මැදිහත්වීමක් සිදුවූ බවට සනාථ කළ හැකි සාධක දැන් එළිවෙමින් ඇත. රජයේ නිලධාරියකුට රටින් පිටවීමට තානාපති කාර්යාලයකින් වීසා අයැදුම් කිරීමේදී නිවාඩු අනුමත කර තිබිය යුතුය. පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය මත එම නිවාඩු ලබා සිටිය යුතුය.

ස්විස් තානාපති කාර්යාලය මේ සියලු දේ පසුපස සිටි බවට පැහැදිලි වන්නේ නිශාන්ත සිල්වාට රට පැනීමට පහසුකම් සලසා දුන් පසුව ශ්‍රී ලංකා රජයට ගෙන ආ චෝදනාව නිසාය. ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක නාඳුනන කණ්ඩායමක් රඳවාගෙන තර්ජනය කළ බවට වෙබ් අඩවියක වාර්තා පදනම් කරගෙන ස්විස් තානාපති කාර්යාලය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය.

​මේ අනුව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය රහස් පොලිසියට විමර්ශන භාරදුන්නද පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීන් මෙම බ්‍රහස්පතින්දා (28) ස්විස් තානාපති කාර්යාලයට ගියද කිසිදු ​තොරතුරක් හෝ පැමිණිල්ලක් ලබා නොදී පරීක්ෂණවලින් ලිස්සා යමින් තිබුණේය.

ස්විස් තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ජිනීවා මීළඟ මානව හිමිකම් සමුළුව හමුවේ රටේ බුද්ධි අංශ පාවාදෙන අලුත් කොන්ත්‍රාත්තුවක් සඳහා එඩ්‍රියන් නිශාන්ත සිල්වා කන්දප්පා රටින් පැන්නූ බවටද චෝදනාවක් එල්ල වී තිබේ.

+++++++++++++++++++++

කවුද මේ නිශාන්ත සිල්වා

නිශාන්ත සිල්වා යනුවෙන් ප්‍රකට වුවද ඔහුගේ සම්පූර්ණ නම ‘ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා කන්දප්පා’ය. ඔහු උපන්නේ 1971 දීය. ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවකු වන ඔහුගේ පියා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු සැරයන් මේජර්වරයෙකි. මව අංගොඩ පදිංචිකාරියකි. නිශාන්තගේ පවුලේ කීප දෙනෙක්ම යුද හමුදා සේවයේ නිරත වී ඇත.

කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ආදි සිසුවකු වන ඔහු 1993 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් විය. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සේවා මාරුවක් ලැබෙන්නේ 1997 දීය. එතැන් සිට මේ දක්වා ඔහු රාජකාරී කළේ එහිය. ශ්‍රී ලංකා දැඩි ආන්දෝලනයට ලක් වූ අපරාධ රැසක සහය විමර්ශන නිලධාරියා ලෙස රාජකාරි කර ඇත්තේ නිශාන්ත සිල්වාය. දෙස් විදෙස් ආන්දෝලනයට ලක් වූ යාපනය විද්‍යා නමැති පාසල් ශිෂ්‍යාවගේ ඝාතනය පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය, සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ‘ද නේෂන්’ පුවත්පතේ සම කර්තෘ කීත් නෙයාර්ට පහර දීම, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, දෙමළ තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීම ඇතුළු නඩු කීපයක විමර්ශන නිලධාරියා වූයේ ඔහුය. මේ නඩු රැසක සැකකරුවන් ලෙස නිශාන්ත සිල්වා විසින් අත්අඩංගුවට ගනු ලැබුණේ යුද හා නාවික හමුදා බුද්ධි අංශයේ පිරිසකි. නිශාන්ත සිල්වා එම සැකකරුවන්ට විවිධ බලපෑම් කරමින් මෙම අපරාධවලට අණ දුන්නේ එකල ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වූ ගෝඨාභෙය රාජපක්ෂ මහතා බවට සාක්ෂි දෙන ලෙස තර්ජනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

ත්‍රිවිධ හමුදාවේ සක්‍රිය සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතමයා වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, සිව්වන ඊළාම් යුද්ධය සමයේ බුද්ධි අධ්‍යක්ෂව සිටි මේජර් ජනරාල් අමල් කරුණාසේකර, සන්නද්ධ බුද්ධි බළකා අණදෙන නිලධාරීන් වූ ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, මේජර් එරත්න පීරිස්, ඇතුළු නිලධාරින් හා බුද්ධි අංශ සාමාජිකයන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලවා යහපාලන රජය ඇරඹූ රණවිරු දඩයමෙන් බව චෝදනා එල්ල විය.

එල්ටීටීඊයට එරෙහිව නැගෙනහිර බුද්ධි මෙහෙයුම් කළ හා නැවත එල්ටීටීඊයට නැගිටීමට ඉඩ නොදෙමින් බුද්ධි මෙහෙයුම් වෙනුවෙන් රාජකාරී කළ ගිරිතලේ බුද්ධි අංශ කඳවුරට සීල් තැබුවේත්, රහස් පොලිසියේ මේ කියන පිරිස ඇරඹූ බුද්ධි අංශ දඩයමෙනි.

සෑම නිලධාරියකුගෙන්ම ප්‍රශ්න කිරීමේදී නිශාන්ත කන්දප්පා යෝජනා කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම හෙළි කරන්නේ නම් රජයේ සාක්ෂිකරුවකු බවට පත්කර යුරෝපයට යාමට අවස්ථාව ලබාදෙන බවය.

වසීම් තාජුඩීන් නඩුවේ පරීක්ෂණ මෙහෙයවූ නාරාහේන්පිට හිටපු අපරාධ අංශ ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා මෙම සතියේ කළ හෙළිදරව්ව ඊට කදිම නිදසුනකි. රාජපක්ෂ පවුලේ අය සම්බන්ධ බවට සාක්ෂි දෙන ලෙස පොලිස් විමර්ශන පැවැත් වූ නිලධාරියාට බලකරමින් එයට එකඟ වන්නේ නම් තමා කැනඩාවට යවන්නටද යෝජනා කර තිබුණු බව සුමිත් පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය.

මෙම සිද්ධියට රාජපක්ෂ පවුලේ අය සම්බන්ධ බවට පවසන ලෙස තමාට තර්ජනය කළ බවත්, එය කළොත් තමා සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස් කරන බවට ශානි අබේසේකර යෝජනා කළ බවත් ඔහු කීවේය. එහෙත් ඊට තමා එකඟ නොවූ බැවින් තමාට දසවද දී අත්අඩංගුවට ගත් බවද ඔහු කීවේය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ මූලික විමර්ශනය කළ එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිව සිටි උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාලට අත් වූයේද මෙම ඉරණමය. ඔහු ලවා පරීක්ෂණ උඩු යටිකුරු කර සාක්ෂියක් ගැනීමට කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ තැන රහස් පොලිස් තුන්කට්ටුව ඔහුවත් හිරේ දැම්මේය.

රහස් පොලිසිය කළ මෙම අමුතු විමර්ශනවලදී – පරීක්ෂණවලදී නම් සඳහන් වූ ඇතැම් නිලධාරින් රජයේ සාක්ෂිකරුවන් කර ඔවුන් ලවා රාජපක්ෂවරුන් පැටලවීම එකම අරමුණ බව දැන් පැහැදිලිය. සාක්ෂිකරුවන් කැනඩාව, ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව ඇතුළු රටවලට යැවීමට යෝජනා කළ රහස් පොලිස් නිලධාරින් ක්‍රියාත්මක කළේත් යහපාලන ආණ්ඩුවේ විදෙස් කොන්ත්‍රාත්තුවක් බව දැන් පැහැදිලිය.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

+++++++++++++++++++++++++++++++++++

ස්වීස් තානාපති කාර්යාල සිද්ධිය නාටකයක් බව ඇමති විමල් කියයි

(01.12.2019 – 12:00 +0530 – lankaleadnews.com)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක් වූ බව කියන සිද්ධිය රජය අපකීර්තියට ලක් කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පරවාහැර චන්දරතන හිමිපාණන්ගේ 65 වන චන්ම දිනය නිමිත්තෙන් සම්පාදනය කළ ‘සඳ මිණි නැණ’ ශාස්ත්‍රිය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.

මිනුවන්ගොඩ පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේ පැවති මෙම උත්සවයට බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය, භික්ෂූන්වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

***************************************

මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති කීවා – එම රෝහලේ අධ්‍යක්ෂක

(01.12.2019 – 11:11 +0530 – lankadeepa.lk)

‘මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා’ යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලංකාදීපයට අද (01) පැවැසීය.

සෑම සතියකට වරක්ම රෝහලේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 30 ක ලැයිස්තුවක් වෛද්‍ය සැපයුම් අංශයට යැවීම පිළිබදව උරණ වූ හිටපු අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබාදුන්නද, නව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවේ හිඟ බෙහෙත් පිළිබඳව තමාට වහාම දැනුම්දෙන්නැයි උපදෙස් ලබාදී ඇති බව යැයිද අධ්‍යක්ෂකවරයා කීය.

මේ වනවිටත් රෝහලේ පවතින ඖෂධ හිඟයට නව සෞඛ්‍ය ඇමැතිවරියගෙන් යටහපත් ප්‍රතිචාර ලැබී ඇතැයිද ඒ අනුව රෝගීන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ පිටතින් මිලදීගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

රෝහලේ වසර 19 ක සේවා කාලයක් සපුරා ඇති තමන් මැතිවරණය සමයේ මාරුකර යැවීමට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබුණද, රාජ්‍ය සේවා කොමිසම වෙත අභියානයක් ඉදිරිපත් කර එය වළක්වා ගත් බවද ඔහු කීවේය.

හිටපු අමාත්‍යවරයාගේ ඖෂධ වංචාවක් පිළිබඳව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීම මෙම ස්ථාන මාරුවට හේතුව බවද හෙතෙම කීය ෴

***************************************

හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතේ

(01.12.2019 – 16:56 +0530 – lankadeepa.lk)

‘සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ’ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා අරලියගහ මන්දිරයට පැමිණියේය. එම ලිපිගොනු කට්ටලය වුවමනාවෙන්ම එහි තබා ගියේද නැතහොත් අමතකව ගියේද යන ප්‍රශ්නය පැන නැගී තිබේ.

එම ලිපිගොනුවල ඇති කරුණුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් සැකයක් නැතැයි ද ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු හතරහමාරක් අරලියගහ මන්දිරයේ සිටියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු පසුගිය අඟහරුවාදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැති අතර බදාදා මහා සංඝ රත්නයට දානයක් ද පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසු පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූ සේවකයන්ට එම ලිපිගොනු හමු වී තිබෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එය අමතක වූවාදැයි ප්‍රශ්නයක් ඇති වී තිබේ. එම ලිපිගොනු පිළිවෙළට ඇසුරුම් කර තිබූ බව ද වාර්තා වේ.

ඇතැම් අමාත්‍යවරුන් කරන ලද ගනුදෙනු, ඇතැම් අය මුල් වූ හෝ සම්බන්ධ වූ හෝ සහ ඇතැම් අය ප්‍රවර්ධනය කරන ලද හෝ ගනුදෙනු සම්බන්ධ තොරතුරු එම ලිපිගොනුවල තිබී ඇත. එහි සෑම අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ම ලිපිගොනු තිබී ඇතැයි ද වාර්තා වේ.

උදාහරණයකට ටෙන්ඩර් ගිවිසුම් සම්බන්ධයෙන් නම් ඊට අදාළ දේශීය පාර්ශව, ඔවුන්ගේ ලිපින, දුරකතන අංක ආදිය එම ලිපිගොනුවල තිබී ඇතැයි ද සන්ඩේ ටයිම්ස් පුවත් වර්තාවේ දැක්වේ.

එමෙන්ම ටෙන්ඩර්වල මිල ගණන් පිළිබඳ තොරතුරු ද එහි තිබී ඇත.

මෙම ලිපිගොනු සකස් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද දැනගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන්නේ කුමක්දැයි පිළිබඳව ද මේ වනවිට ප්‍රශ්නයක් ඇති වී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ ලිපිගොනු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අදාළ පියවර ගැනීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි ෴

***************************************

මහ සඟරුවන යාචකයින්ට උපමා කළ නිර්මාල් රංජිත්ට බෞද්ධ විරෝධය

(01.12.2019 – 10:48 +0530 – lankaleadnews.com)

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් භික්ෂූන් වහන්සේලාට අපහාස වන අන්දමට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ කතාබහට ලක්ව තිබෙනවා.

ප්‍රසිද්ධ ස්ථාන වල සිඟමන් යදින පුද්ගලයින් ඉවත් කිරීමට රජය ගත් තීරණය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙමින් තිබෙන මොහොතක ඔහු සිය ෆෙස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ‘භික්ඛු’ යන්නෙහි තේරුම සිඟමනින් ජීවත් වන්නා බවත්, ඔවුන්ට සිදුකළ යුත්තේ කුමක්ද යන්න බවත්ය.

කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේලා යනු යාචකයින් හා සමකළ හැකි පිරිසක් නොව උතුම් වූ ත්‍රිවිධ රත්නය නියෝජනය කරන බෞද්ධයාගේ ගෞරවයට ලක්වන පිරිසක් බව කිව යුතුය. එසේම ‘භික්ඛු’ යනුවෙන් හැඳින්වෙන්නේ සසර භය දක්නා වූ, සුළුව වෙසෙන්නාවූ ද ශික්ෂාවෙන් යැපෙන්නා වූ ද අයෙකු බවයි බුදු දහමේ සඳහන් වන්නේ.

මීට පෙරද මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ නිර්මාල් දේවසිරි නිරාගමික වාදය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන අතර ඔහු පසුගිය යහපාලන රජය බලයට ගෙනඒම සඳහා කැපවී ක්‍රියා කළ අයෙකුද වනවා.

එසේම පසුගිය සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට විශාල දුෂ්කරතා, නින්දා, අපහාස විඳින්නට සිදු වූ බව සියළු දෙනාම හොඳින්ම දන්නා කරුණකි. එවැනි පසුබිමක ඒ වෙනුවෙන් හඬන් නොනැඟූ බොහෝ පිරිස් මේ වන විට මෙවැනි ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාට අපහස කිරීම දැක ගත හැකිය.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ මෙම ප‍්‍රකාශයට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ‘සිංහල රාවය ජාතික සංවිධානයේ’ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප‍්‍රකාශ පවසති ෴

***************************************

ලාබයි ! ලාබයි ! ජේවීපී ඇපල් සීයට තුනයි !

(02.12.2019 – 06:21 +0530 – lankacnews.com)

JVP ඇපල්.. සීයට 3යි… පිටකොටුවේ වෙළෙන්දෝ ජවිපෙ අල්ලා පොලවේ ගසති.

ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ සජිත් ප්‍රේමදාස පමණක් නොව මෙරටට හතුරුකම් කළ සියලු විජාතික බලවේග බව මහාචාර්ය චන්න ජයසුමන මහතා මොරටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන බලමණ්ඩලය අමතමින් පැවසීය.

ගියවර ජනාධිපතිවරණයේදී ‘අන්න නයා ; පොල්ල මෙතන’ ප්‍රතිපත්තියේ සිට රටට සිදුවූ විනාශයට තමන් සම්බන්ධ නැතිබව ඇඟවීමට උත්සාහ දැරුවද මෙවර ජනතාව පොල්ල අතට ගෙන JVP ට ඇතිපදමේ පාඩමක් උගන්වා ඇති බව ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජයසුමන මහතා,

“අද ජවිපෙ රටක් ඉස්සරහ විහිළුකාරයෝ වෙලා. කොටින්ම පිටකොටුවේ 100 ට 3 ක් තියෙන ඇපල් අද විකුණන්නේ ‘JVP ඇපල්’ කියල. ‘සීයට තුනයි..සීයට තුනයි..JVP, JVP’ කිව්වම ඇපල් ටික ඉක්මනට විකිනෙනවලු.

ඒ වගේම තමයි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අශීලාචාර විදිහට බලය තියා ගෙන ඉන්න, නවක වධය මෙහෙයවන ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට’ ලංකාවෙන්ම ලැබුනේ ජන්ද 8000. අඩුම ගානේ පහුගිය වසර කිහිපයේ උද්ඝෝෂණවලට ආපු විශ්වවිද්‍යාල ළමයි ටිකවත් ජන්දේ දීල නැහැ. ඒ වුනාට ජනමාධ්‍යවල මේ පිස්සන්ට ජන්ද බලයට සමානුපාතික නැති අවස්ථාවක් ලැබිල තියෙනවා. මේවත් අප නිවැරදි කරන්න ඕන. සිංහලකමට විරුද්ධ වෙලා, ආගමික නායකයන්ට අපහාස කරලා අද මේ රටේ දේශපාලනේ කරන්න බැරි බව මේ කවුරුත් තේරුම් ගන්න ඕනා.

ඒ වගේම පසුගිය දශක දෙකක කාලය තුළ ‘ජාතික එකාග්‍රතාවය’, ‘ජාතිය ගොඩනැගීම’ නමින් දියත්වුන වැඩසටහන් අසාර්ථකයි කියල අප පිළිගන්න ඕන. සිංහල ජාතිය සමග දේශපාලනිකව ඒකාග්‍ර වෙන්න දෙමළ, මුස්ලිම් ජනකොටස්වලට පුළුවන් වෙලා නැහැ. මේ සඳහා සුදුසු විසදුම් ඉක්මනින්ම අප සොයා ගන්න ඕනා. නැතිනම් දෙමළ, මුස්ලිම් ජනතාව හැමදාම ජාතිවාදී දේශපාලඥයන් කිහිප දෙනකුගේ ගොදුරු වෙනවා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය G L පීරිස්, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– මොරටුවේ කේ. එල්. වසන්ත

***************************************

ගණිකා වෘත්තියේ යෙදෙද්දී ෂර්මි කුමා ඇතුළු වෙසඟනුන් පිරිසක් අත්අඩංගුවට..

(02.12.2019 – 03:26 +0530 – lankacnews.com ඇසුරෙන්)

අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝ මුදාහැර ඇති ෂර්මි කුමා නම් වෙසඟන ඇතුළු වල් ගෑණු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන ඒකකය විසින් ඇය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හා ගණිකා වෘත්තියේ යෙදීම චෝදනා මතයි.

වත්තල ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයිද සඳහන්ය.

මෙහිදී කාන්තාවන් අලෙවි කර ඇත්තේ රුපියල් තිස්දාහකට වඩා වැඩි මුදලකටයි ෴

+++++++++++++++++++++

සමාජ ජාලාවල කට මැත දෙඩූ ශම්මි කුමාර්ට පොට වැරදුණු හැටි

(07.12.2019 – mawbima.lk)

ලොව ඉපැරැණිම වෘත්තියක් ලෙස සැලකෙන්නේ ලිංගික ශ්‍රමික වෘත්තියයි. එසේත් නැති නම් ගණිකා වෘත්තියයි. ක්‍රි.පූ. 6 වැනි සියවසේ බුදුන් වැඩ විසූ කාලයේද අම්බපාලි වැනි ප්‍රසිද්ධ ලිංගික ශ්‍රමික කාන්තාවන් භාරතයේ විසූ බව අපි අසා ඇත්තෙමු. අවසානයේ අම්බපාලි බුදුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවිකාවක් වූ අතර ඇය ආර්ය රහත් ඵලයට ද පත්වූවාය.

ලිංගික ශ්‍රමික වෘත්තිය අප රටේ නීතියට අනුව තහනම්ය. 2014 වසරට අප මතකය ගෙන ගියහොත් අපට රත්නපුරයේ සිටි ලිංගික ශ්‍රමික කාන්තාවන් ගැන මතකයට නැඟෙයි. ‘රත්නපුර බට්ටි’ නමැති නාමයෙන් හැඳින්වූ ඇය එකල මහත් ආන්දෝලනයට තුඩු දුන් චරිතයක් වූයේ ඇයට සිදුවූ අසාධාරණයක් නිසාය.

රත්නපුර නගරයේදී දෙනෝ දහසක් බලාගෙන සිටියදී බට්ටි පොලිස් නිලධාරියකුගේ අමානුෂික ප්‍රහාරයකට ලක්වූවාය. ඇයට සිදුවන අමානුෂික පහරදීම සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ එකල ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වූවාය. අවසානයේ පොලිස් නිලධාරියාට එරෙහිව නීතියද ක්‍රියාත්මක වූ අතර බට්ටි විසින් තමාගේ මානව අයිතිවාසිකම් කඩ වූ බවට ගොනු කළ නඩුවෙන්ද ඇය ජය ගත්තාය. ඇයට රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙස පොලිස් නිලධාරියාට එම නඩුව හරහා නියම විය.

ඒ 2014 කතාවකි.

ඉකුත් සතියේද ලිංගික ශ්‍රමික කාන්තාවක් පොලිස් අත්අඩංගුවට පත්වීමේ පුවතක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ළැව් ගින්නක් සේ පැතිරී ගියේය. ඇයට අත්අඩංගුවට පත් වීම සහ රක්‍ෂිත බන්ධනාගාර ගත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පැතිරෙන්නට විය.

පිරිසක් ඇයව විවේචනය කරද්දී තවත් පිරිසක් ඇයට අනුකම්පා කළහ. ඇයව මේ තරම් ජනප්‍රිය වූයේ සමාජ මාධ්‍ය හරහාය. ඇය යූටියුබ් හරහා කර ඇති ප්‍රකාශ නිසා ඇය සිය ජනප්‍රියත්වය ලබා ගත්තාය. කුණුහරුපයක් දෙකක් කියා තම අඟපසඟ පෙන්වා ඇය එම ජනප්‍රියත්වය ලබාගත්තාය. ඇයගේ එම ජනප්‍රියත්වය තවත් වර්ධනය කිරීමට ඇතැම් යූටියුබ් චැනල් හිමිකරුවෝ ක්‍රියා කළහ. ඒ අතර තාරුණ්‍යයේ ජනප්‍රිය ගායකයකු ද සිටින බව සමාජ මාධ්‍ය පරිහරණය කරන පිරිස දනිති.

ලිංගික ශ්‍රමික වෘත්තිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය හරහා කතා කළ ඇය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර ඒකකය දැනුවත් කර තිබිණි.

එම ඒකකයේ නිලධාරීහු ශම්මි කුමාර් යන අය යූටියුබ් වෙත මුදාහැරි වීඩියෝ පට එකිනෙක අධ්‍යයනය කිරීම සඳහා කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මීට අදාළ නෛතික උපදෙස් ලබාගැනීම සඳහා එම වාර්තාව නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත යොමු කළේය.

ලිංගික ශ්‍රමික කටයුත්ත සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් ඒ සඳහා සේවා දායකයන් ආකර්ෂණය කර ගැනීමේ ඇයගේ උත්සාහය පිළිබඳව අධ්‍යයනය කළ පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් ඇය සත්‍ය වශයෙන්ම ලිංගික ශ්‍රමික කාන්තාවක් දැයි පරික්‍ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීහු ඇයව අත්අඩංගුවට ගැනීමට සතියකට පෙර වත්තල, හැඳල පාරේ පිහිටි ඇයගේ රූපලාවණ්‍යාගාරයට පිටත්ව ගියහ.

සම්බාහනයක් කර ගැනීමට වේලාවක් වෙන් කර ගත් පොලිස් උපාය දූතයකු මැණික් ව්‍යාපාරිකයකු ලෙස රඟපාමින් රූපලාවණ්‍යාගාරය තුළ සිදුවන සියලු කටයුතු අධ්‍යයනය කළේය.

රූපලාවණ්‍ය කටයුතුවලට මුවාවෙමින් ඇය ලිංගික ශ්‍රමික සේවාවක් එහි පවත්වාගෙන යන බවට පොලිස් උපාය දූතයාට නිරීක්‍ෂණය විය. ඇයගේ සම්බාහන කටයුතු රුපියල් පන්දහසේ සිට සිදුවේ. ඒ අතර රුපියල් හත් දහසට මත්ස්‍ය සම්බාහනයක්ද රූපලාවණ්‍යාගාරය තුළ වේ. ඇය විසින් සිදුකරන උපරිම සම්බාහනයේ මිල රුපියල් නව දහසකි.

සම්බාහන කටයුත්ත සඳහා ඇයට ඇමතුමක් ලබා දී ප්‍රථමයෙන් දවසක් සහ වේලාවක් ලබා ගත යුතුය. ඇයගේ ජංගම දුරකථන අංකය ඇය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබුණාය.

පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් ඇය ලිංගික ශ්‍රමික කාන්තාවක් බව අනාවරණය වීමත් සමඟ ඇයව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සැලසුම් කළේය.

පොලිස් උපාය දූතයා ලබා දුන් තොරතුරු වලින් හෙළි වූයේ ශම්මි කුමාර් නමැත්තිය ලිංගික ශ්‍රමය ලබාදීම සඳහා එක් සේවාදායකයකුගෙන් රුපියල් තිස් දහසක මුදලක් අය කර ගන්නා බවය. ඇය නොමැතිව වෙනත් සුරූපී තරුණියක් වුවද සම්බන්ධ කර දීමට හැකි බවත් ඇය පොලිස් උපාය දූතයාට පවසා තිබුණාය. ලිංගික ශ්‍රමය රූපලාවණ්‍යාගාරය තුළ ලබා නොදෙන බවත් ඒ සඳහා ඇය තෝරා ගන්නා වත්තල, කිරිබත්ගොඩ හා වැල්ලවත්ත ප්‍රදේශවල පිහිටි ඇය හඳුනන වායු සමනය කළ සුපිරි හෝටල් කාමරයක් ගත යුතු බවත් ඇය පොලිස් උපාය දූතයා වෙත පවසා තිබුණාය. හෝටල් කාමරයක් වෙන් කරවා ගැනීම සඳහා සේවා දායකයාට රුපියල් තිස්දහසට අමතර තවත් රුපියල් පහළොස් දහසක් ඇය විසින් ලබා ගනී.

පොලිස් උපාය දූතයා ශම්මි කුමාර්ට ඇමතුමක් ගත්තේය. තමන් මාතර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයා බවත් තමාට සහ තමාගේ තවත් ව්‍යාපාරිකයකුට රූමත් තරුණියන් දෙදෙනකුගේ පහස ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු ශම්මි කුමාර්ට පැවැසුවේය.

සේවා දායකයාට ගරු සරු ලෙස කතා කළ ශම්මි කුමාර් මැණික් ව්‍යාපාරික වෙසින් සිටින පොලිස් උපාය දූතයාගෙන් සේවය අවශ්‍ය දිනය හා වේලාව විමසා සිටියාය.

වලාන දූෂණ මර්දන ඒකකය පෙර සිටම සැලසුම් කර ගෙන සිටියේ මෙම වැටලීම දෙසැම්බර් පළමු වැනි දිනම සිදුකිරීමය. මන්ද එදින ලෝක ඒඩ්ස් දිනය නිසාය.

දෙසැම්බර් පළමු දින පෙරවරු 10.00 ට තමා සහ තමාගේ මිතුරා වත්තල පිහිටි ශම්මි කුමාර්ගේ රූපලාවණ්‍යාගාරයට පැමිණෙන බවට පොලිස් උපාය දූතයා පොරොන්දු විය.

රූපලාවණ්‍යාගාරය පරික්‍ෂා කිරීමේ සෝදිසි වරෙන්තුවක් ද ගත් පොලිස් කණ්ඩායම ඉකුත් දෙසැම්බර් පළමු වැනි දින පොලිස් කණ්ඩායම් දෙකක් ලෙස බෙදී වත්තල, හැඳල පිහිටි ශම්මි කුමාර්ගේ රූපලාවණ්‍යාගාරය වෙත පිටත්ව ගියහ.

මැණික් ව්‍යාපාරිකයන් ලෙස හැඳින්වූ ඔවුහු සුඛෝපභෝගී ජීප් රථයක ධානපතීන් සේ රූපලාවණ්‍යාගාරයට පැමිණියහ. එලෙස සුඛෝපභෝගී රථයක් ද භාවිත කරනු ලැබුවේ ශම්මි කුමාර්ට සැක නොසිතන ලෙසටය.

“ගුඩ් මෝර්නිං සර්….” ඇය මැණික් ව්‍යාපාරික වෙස් ගත් පොලිස් උපාය දූතයන් දෙදෙනාම පිළිගත්තාය.

“සර්…. මේ ඉන්නේ දෙන්නා. සේවය සැපයීම සඳහා කැඳවා සිටි 22 හා 35 හැවිරිදි තරුණියන් දෙදෙනාව ඇය හඳුන්වා දුන්නාය.

සැලසුම් කළ පරිදි පොලිස් උපාය දූතයෝ දෙදෙනාම එක් කාන්තාවකට කැමැත්ත ප්‍රකාශ කර අනෙක් තරුණියව ප්‍රතික්‍ෂේප කළහ.

ඊට ශම්මි කුමාර් අකැමැති වුවත් උපාය දූතයන්ගේ දැඩි ඉල්ලීම පරිදි 22 හැවිරිදි තරුණියගේ පහස ලබා ගැනීම සඳහා ඔවුන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් අවස්ථාවන් දෙකක් ලබා දීමට ඇය එකඟ වූවාය.

උපාය දූතයන් සූක්‍ෂ්ම ලෙස තරුණියව රූපලාවණ්‍යාගාරය තුළ තබා ගැනීම සඳහා ශම්මිගෙන් අවසර ගනු ලැබීය.

ඒ අනුව එක් උපාය දූතයකු තරුණිය රැගෙන කාමරයකට ගිය අතර ඇය විසින් ඔහුට උපත් පාලන කොපු දෙකක්ද ලබා දුන්නාය.

පොලිස් උපායදුතයා විසින් රහසිගතව රූපලාවණ්‍යාගාරයෙන් පිටත සිටින අනෙක් කණ්ඩායමට වැටලීම සිදුකරන ලෙසට සංඥාව ලබා දුන්නේය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුව පෙන්වමින් ශම්මි කුමාර් සහ සෙසු තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.

එක් තරුණියක සේවාදායකයකු හට ලබාදීම සඳහා ශම්මි කුමාර් එක් සේවාදායකුගෙන් රුපියල් විසිදහසක මුදලක් ලබා ගත්තාය. නමුත් පොලිස් උපාය දූතයන්ට ඇය පවසා ඇත්තේ තමා ඒ වෙනුවෙන් විසිදහසක මුදලක් ලබා නොගත් බවට අනෙත් තරුණියට නොහඟවන ලෙසටය. ලිංගික ශ්‍රමික කටයුත්ත සිදුකරන තරුණියට රුපියල් දස දහසක මුදල තමා විසින්ම ලබා දෙන ලෙසටද ඇය උපාය දූතයන්ට පෙර දැනුම් දී තිබුණේය.

ලිංගික ශ්‍රමික තරුණියන්ගේද ශ්‍රමය සූරාකමින් ශම්මි කුමාර් ඔවුන්ගෙන් වැඩි මුදලක් හරි හම්බ කර ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රමේෂ් ශම්මි කුමාර් යන මෙම කාන්තාව 34 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය දැන් ජීවත්ව සිටින්නේ වත්තල, හැඳල, ඕලන්දගම ප්‍රදේශයේය. ඇය විවාහකය. නමුත් ඇයගේ ස්වාමිපුරුෂයා ඇයව අතහැර දමා ගොස්ය. ඇයට අට හැවිරිදි දියණියක සිටී. දැන් ඇයගේ රස්සාව මෙයය.

සැකකාර ශම්මි කුමාර් සහ සෙසු තරුණියන් දෙදෙනාද අත්අඩංගුවට ගත් අතර සැකකාරියන් තිදෙනා ඉදිරි විමර්ශන සඳහා වත්තල පොලිසියට භාර කෙරිණි.

ලිංගික ශ්‍රමික මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කිරීමේ චෝදනා මත පොලිස් උපාය දූතයන් ලබා දුන් රුපියල් විසිදහස සමඟ අත්අඩංගුවට ගත් ඇයගේ ජංගම දුරකථන දෙකද ඉදිරි විමර්ශන සඳහා පොලිස් භාරයට ගැනුණි.

සැකකාරියන් තිදෙනාම අත්අඩංගුවට ගත් පසු දින, එනම් ඉකුත් 02 වැනි දින වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී නියම වූයේ සැකකාරියන් තිදෙනා දෙසැම්බර් මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමය.

සමාජ මාධ්‍ය යනු නිදහස් චින්තනයකින් යුතුව පරිහරණය කිරීම සඳහා ඇති අවකාශයකි. මෙම අවකාශයේ සැරි සැරීමේදී ස්වයං නියාමනයකින් යුතුව කටයුතු කළ යුතුය. මන්ද සමාජ මාධ්‍ය වයස් භේදයකින් තොරව භාවිත කරන නිසාය. ප්‍රසිද්ධියේ තමන් ලිංගික ශ්‍රමික කාන්තාවක් යැයි පවසමින් පුරාජේරු ගැසූ ශම්මි කුමාර්ට අවසානයේ සිදු වූයේ දින කිහිපයකට හෝ හිරබත් කෑමටය.

මහජනතාවගෙන් එල්ල වූ අසීමිත විරෝධය නිසා ශම්මිව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම භාර වූයේ වලාන දූෂණ මර්දන ඒකකයටය.

ජනප්‍රියතාවට හොඳක් නරකක් නැත. සමහරු හොඳ වැඩ කර ජනප්‍රිය වෙති. තවත් සමහරු නරක වැඩ කර ජනප්‍රිය වෙති. බුද්ධිමත් විය යුත්තේ සමාජය පමණි.

තවදුරටත් මෙරට ශම්මි කුමාරන්ලා බිහි වීම වැළැක්වීම සඳහා පොලිස් නෙත දැල් වී තිබේ ෴

***************************************

ජනාධිපති ආර්යාවගේ වාහනයට පොලිසිය දඩ ගසයි.. වරද පිලිගෙන දඩය ගෙවන්නැයි ජනපති දන්වයි..

(01.12.2019 – 22:32 +0530 – lankacnews.com)

ජනාධිපති ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය ගමන්ගත් වාහනය රථවාහන පොලිසියට හසු වීම හේතුවෙන් දඩ ගෙවීමට සිදුවී තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ අයෝමා රාජපක්ෂ මහත්මිය අනුරාධපුරයේ පූජා ස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේදීය.

පෙර ගමන් ආරක්‍ෂක රථද නොමැතිවව වාහනය පැදවූ රියැදුරු අතින් මාර්ග නීතියක් කඩ වීම හේතුවෙන් පොලිසිය විසින් වාහනය නතර කර තිබිණි.

රියැදුරු වහාම අයෝමා රාජපක්ෂ මහත්මිය ගෙන් විමසා ඇත්තේ කළ යුත්තේ කුමක්ද යනුවෙනි.

කිසිදු කලබලයක් ඇති නොකරගන්නා ලෙසත්, තමන් වාහනය ඇතුළේ සිටින බව නොපවසා වරද පිලිගෙන දඩ කොළය ලියාගෙන පැමිණෙන ලෙසත් ඇය දන්වා ඇත.

චාරිකාවක් ගොස් නැවත නිවසට පැමිණි අයෝමා රාජපක්ෂ මහත්මිය ජනාධිපතිවරයාට මේ බව දැනුම් දී ඇත.

ඔහු උපදෙස් දී තිබුණේ දඩය ගෙවා දමා රියදුරු බලපත්‍රය ලබා ගන්නැයි රියදුරුට දන්වන ලෙසයි ෴

***************************************

13 ක‍්‍රියාත්මක කරන්න බහුතතර සිංහලයන්ගේ අනුමැතිය ඕනෑ.. වටවංගු නෑ.. ජනපති ඉන්දියාවේදී කෙලින්ම කියයි..

(02.12.2019 – 10:00 +0530 – lankacnews.com)

13 වන සංශෝධනය ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලකයින්ට අවශ්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් නැති බව ජනාධිපති ගෝටභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ඒ සදහා බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත අවශ්‍ය යයිද ඒ මහතා සදහන් කලේ සිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

දෙමළ දේශපාලඥයින් මෙම සත්‍ය තේරුම් ගත යුතු යයිද ඒ මහතා සදහන් කලේය.

13 වන සංශෝධනය දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක් බවත් එහි ක‍්‍රියාත්මක කල හැති කොටස් දැනටමත් ක‍්‍රියාත්මක බවත් පොලිස් බල තල ලබා දීමේ ගැටළුවක් ඇති බවත් පවසන ජනාධිපතිවරයා මෙම සංශෝධණයට විකල්ප ගැන සාකච්චා කිරීමට සූදානම් බවත් පවසා ඇත.

දෙමල දේශපාලඥයක් නිදහස ලැබුන දින සිට යථාර්ථය තේරුම් නොගෙන කටයුතු කල බවත් සාමාන්‍ය දෙසල ජනතාවට උවමනා වී ඇත්තේ සියළු ජනතාව සමග සාමකාමීව ජීවත් වීමට යයිද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

https://www.facebook.com/janasatanatapanapowamu/videos/513889949199379/

+++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය ජනපතිට පූජ්‍ය රතන හිමිගෙන් හදිසි යෝජනා (01-12-2019)

***************************************

“මම ඉස්කෝලේ ගියේ හයේ පන්තියට විතරයි” ඇමැතිධුරයේ වැඩභාරගනිමින් විමලවීර දිසානායක මහතා සිය ජීවිත කතාව දිගහරිමින් සිදු කල සංවේදී කතාව (27-11-2019)

+++++++++++++++++++++++++++++++++++

Ada Derana 360 with Wimalaweera Dissanayake – 17-10-2016 (80 min.s)

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=tPh0G2DptbI
Mathaka pada – Gemunu Wanninayaka with Wimalaweera Disanayaka (25.04.2017)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *