මගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළයි – ජනපති ඉන්දීය මාධ්‍ය අමතමින් කියයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළයි – ජනපති ඉන්දීය මාධ්‍ය අමතමින් කියයි (විඩියෝ)

• ජනපති ඉන්දීය අගමැති මෝදි හමුවෙයි (විඩියෝ)

• ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක් (විඩියෝ)

• මුහුදු වැලි පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියෙන් පාඨලී චම්පික මිලියන 800 ක වංචාවක ? (විඩියෝ)

• ගුරු සහයකයින් 50,000 ක් බඳවා ගන්නවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන (විඩියෝ)

• ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට, තර්ජනය කළා යැයි කියන සිද්ධිය ගැන, රහස් පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය පූර්ණ විමර්ශනයක් අරඹයි

• ස්විස් නිලධාරිනියගේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි ඉදිරිපත් නොවීම ගැටලුවක් – අජිත් ප්‍රසන්න (විඩියෝ)

• මහබැංකු බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව 3 වනදා පාර්ලිමේන්තුවට

• ‘වෝටර්ස් එජ්’ හෝටලයේ මූල්‍ය අක්‍රමිකතා ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනපතිට සහ අගමැතිට ලිපියක් (විඩියෝ)

• රාජ්‍ය ආයතනවල, සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට, ඉල්ලා අස්වන්නැයි නියෝග

• ‘හිරු සී.අයි.ඒ.’ : මාවනැල්ලේ කුඹුරු, ගොඩ ඉඩම් වෙන හැටි (විඩියෝ)

• පූජ්‍ය මැඩිල්ලේ හිමියන්ගෙන් පැහැදිලි කිරීමක් (විඩියෝ)

• ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් චෝදනාවක් (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළයි – ජනපති ඉන්දීය මාධ්‍ය අමතමින් කියයි

(29.11.2019 – 13:08 +0530 – lankaleadnews.com)

තමාගේ බලාපොරොත්තු ඉතාමත් ඉහළ බවත් ඉන්දියාව සමග ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරිය ඉදිරිපිටදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

ඉන්දීය සංචාරයට එක්ව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීම වෙනුවෙන් හයිද්‍රාබාද් මන්දිරයේ පැවැති හමුදා උත්තමාචාරයෙන් පසු මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉන්දියාව සමග පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන බව සඳහන් කළ ජනපතිවරයා දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් එකට වැඩ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

+++++++++++++++++++++++++++++++++++

ජනපති ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

(29.11.2019 – 14:34 +0530 – lankaleadnews.com)

ඉන්දියාවේ සංචාරයක නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරියේදී සිදුවිය.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් කෙටි සටහනක තබන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ලැබීම සතුටක් බවයි.

එසේම ජනපතිවරයාගේ ඉන්දීය සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කාලය පරීක්ෂා කළ සබඳතාවලට සාක්ෂියක් බවත් එය දෙරටේ බැඳීම් ශක්තිමත් කිරීමට මෙන්ම හවුල්කාරිත්වයට ශක්තියක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

https://www.facebook.com/adaderana/videos/567802187392817/

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක්

(29.11.2019 – 15:22 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය ආධාරයක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එකඟ වී තිබේ.

මේ අතර එම මුදලින් ඩොලර් මිලියන 50 ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ලබා දී තිබේ.

සිය ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (29) දහවල් පැවැත්වුණි.

ඒ නවදිල්ලියේ පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන හයිද්‍රාබාද් හවුස්හිදීයි.

ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස ආරාධනා කළේය.

***************************************

මුහුදු වැලි පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියෙන් පාඨලී චම්පික මිලියන 800 ක වංචාවක ?

(29.11.2019 – 10:41 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සිටිය දී සුදු වෑන් යොදවා ජනතාව පැහැරගෙන ගොස් මරා කිඹුලන්ට කන්න දැමුවේ යයි හෙළිකරන ලද සුදුවෑන් රියදුරු සොයා පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවකදී අදාල ‘කිඹුලා ඩ‍්‍රයිවර්’ විසින් මේ බව හෙළි කරන ලද්දේ දැනට සති තුනකට පමණ පෙර ය.

රාජිත සේනාරත්න මහතා විසින් කැඳවාගෙන එනු ලැබූ තවත් පුද්ගලයෙක් විසින් හෙළි කරන ලද්දේ උතුරෙන් ප්‍රභාකරන්ගෙන් සොරා ගන්නා ලද ‘රත්තරන් ටොන් හත්දාහක ප්‍රමාණයක්’ කොළඹට ගෙන ආ බවත් ඒවාද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සොරකම් කරණ ලද ඒවා බවත්ය.

යම් හෙයකින් මෙම පුද්ගලයින් දෙදෙනා සොයා ගත නොහැකි වුවහොත් අදාළ වගකීම් සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයා වන හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා වහා කැඳවා ප්‍රශ්න කිරීමට ද නියමිතය.

එම මාධ්‍ය හමුව සම්බන්දයෙන් සංවිධාන කිහිපයක් විසින් ගොනු කරන ලද පැමිණිලි අනුව පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

***************************************

ගුරු සහයකයින් 50,000 ක් බඳවා ගන්නවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

(29.11.2019 – 13:01 +0530 – sinhala.adaderana.lk)

2020 වන විට සියලුම පාලස්වල ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ගුරු සහයකයින් 50,000 ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගම පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

***************************************

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියට, තර්ජනය කළා යැයි කියන සිද්ධිය ගැන, රහස් පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය පූර්ණ විමර්ශනයක් අරඹයි

(30.11.2019 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන සිද්ධිය රහස් පොලීසිය සමඟ එක්ව කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා පොලිස් සමීප රූප අවේශන කැමරා කොට්ඨාශය හෙවත් සී.සී.ටී.වී. අංශයේ සහය ද ලබා ගැනෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අදාළ තර්ජනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකර ඇති බවට මෙම නිලධාරිනිය ප්‍රකාශ කර ඇති නමුත්, එය විමර්ශකයින් නොමඟ යැවීම සඳහා සැකකරුවන් විසින් සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශයක් බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය සඳුදා, මෙරට ස්විට්සර්ලන්ත කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවුණා. ඉන් අනතුරුවයි අදාළ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මෙරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ.

ඒ අනුව මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පවත්වන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් පසුගිය සතිය වනවිට කථාබහක් ඇතිවූයේ දේශපාලන වුවමනා මත, මතභේදාත්මක ලෙස පරීක්ෂණ මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමඟ සේවය කළ, එම දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පලායාමත් සමඟයි.

එහිදී ඔහුට වීසා ලබාදීම සහ ස්විට්සර්ලන්තයට පලායාමට අනෙකුත් පහසුකම් සැළසීම සම්බන්ධයෙන් එම තානාපති කාර්යාලයේද නම සම්බන්ධ කරගනිමින් මාධ්‍ය වාර්තා පළවුණා.

බොහෝ වාර්තාවල සඳහන් වූයේ නිශාන්ත සිල්වාට මෙරටින් පලායාමට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සහය ලැබී ඇති බවටයි ෴

+++++++++++++++++++++++++++++++++++

ස්විස් නිලධාරිනියගේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි ඉදිරිපත් නොවීම ගැටලුවක් – අජිත් ප්‍රසන්න

(29.11.2019 – 21:37 +0530 – hirunews.lk/sinhala)

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බව ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය පවසනවා.

එම සංවිධානය කොළඹදී අද (29) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණ කළා.

***************************************

මහබැංකු බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව 3 වනදා පාර්ලිමේන්තුවට

(30.11.2019 – 07:04 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව සකස් කළ වෝහාරික විගණන වාර්තාව ලබන 3 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිටත් ඊට අදාළ වාර්තාව ඔහු වෙත ලැබී ඇති බවයි.

2015 පෙබරවාරි එකේ සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් අභ්‍යන්තර විමර්ශන වාර්තාවල අඩංගු කරුණු සලකා ශ්‍රී ලංකා මහබැංකුවේ විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි වාර්තාවක් සකස් කරන ලෙසට දැනුම්දී තිබුණා.

මේ සඳහා ජාත්‍යන්තර පළපුරුද්ද සහිත විගණන සමාගම් තෝරා ගනු ලැබූ අතර, එම කණ්ඩායම විදේශ සාමාජිකයන්ගෙන් සමන්විතයි ෴

***************************************

‘වෝටර්ස් එජ්’ හෝටලයේ මූල්‍ය අක්‍රමිකතා ගැන පරීක්ෂණයක් ඉල්ලා ජනපතිට සහ අගමැතිට ලිපියක්

(29.11.2019 – 21:49 +0530 – hirunews.lk/sinhala)

රජයට අයත් බත්තරමුල්ල – ‘වෝටර්ස් එජ්’ හෝටලයේ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා එහි සේවකයින් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ලිපියක් යොමුකර තිබෙනවා.

මේ අතර අදාල අක්‍රමිකතාව සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන හිටපු අමාත්‍යවරුන්ගේ ඥාතීන් සහ හිතවතුන්ට මසකට රුපියල් මිලියන 5 ක පමණ වැටුප් සහ දීමනා ලබාදෙමින් ආයතනයට දරාගත නොහැකි මට්ටමේ මූල්‍ය බරපැනක් පටවා ඇති බව සදහන් කරමින් අදාල ලිපිය ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.

මේ සදහා ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ චමත් ද සිල්වා මහතාද වගකිව යුතු බවයි ලිපියෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ආයතනයට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන්ද අදාල දූෂණ සම්බන්ධයෙන් කටයුතු කරනවා වෙනුවට සභාපතිවරයාගෙන් උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාගත් බවද ලිපියෙන් අනාවරණය කර තිබෙනවා.

මෙම ලිපිය මගින් එහි සේවකයන් ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ ‘වෝටර්ස් එජ්’ හෝටලයේ දියත් කළ ව්‍යාපෘතී සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මේ අතර අප කල විමසීමකදී විගණන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ ‘වෝටර්ස් එජ්’ හෝටලයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

‘සිංහලේ ජාතික සංවිධානය’ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා :

***************************************

රාජ්‍ය ආයතනවල, සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට, ඉල්ලා අස්වන්නැයි නියෝග

(29.11.2019 – 21:17 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා අමාත්‍යාංශ ලේකම්වරු වෙත දැනුම් දී තිබෙනවා.

චක්‍රලේඛයක් මගින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට මේ බව දැනුම් දී තිබෙනවා.

සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට ප්‍රවීන තැනැත්තන් පත් කරන මෙන් ජනාධිපතිවරයා විසින් පසුගියදා දැනුම් දී තිබුණා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ : මාවනැල්ලේ කුඹුරු, ගොඩ ඉඩම් වෙන හැටි

(29.11.2019 – 20:56 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල නගරය අවට පවතින කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කර ගත්තා.

පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ ව්‍යාපාරික හිතවතුන් පිරිසක් සිදුකරන මෙම නීති විරෝධී ක්‍රියාවලියට රාජ්‍ය නිලධාරීන් ද සෘජු දායකත්වය ලබාදී තිබෙනවා.

පසුගිය රජය සමයේ ආරම්භ කර ඇති කුඹුරු ඉඩම් ගොඩ ඉඩම් බවට පත් කර විකුණන මෙම ජාවාරම හරහා මේ වනවිටත් මාවනැල්ල නගරය අවට ඉඩම් රැසක් වෙන්දේසි කර අවසන්.

මෙම ජාවාරම සදහා බැමිණියවත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානයේ හිටපු උසස් නිලධාරියෙකු ඇතුළු සේවකයන් කිහිපදෙනෙකු සෘජුව සම්බන්ධ වී ඇති බවයි

මාවනැල්ල කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ජාවාරම සොයා ගිය ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම දැක ගත හැකිවුයේ මේ වනවිට මාවනැල්ල සුසාන භූමිය ඉදිරිපිට විශාල කුඹුරක්ද ජාවාරම්කරුවන් විසින් මේ වන විට ගොඩකරමින් පවතින බවයි.

***************************************

පූජ්‍ය මැඩිල්ලේ හිමියන්ගෙන් පැහැදිලි කිරීමක්

(29.11.2019 – 20:39 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ නීතිය ක්‍රියාත්මක කළ ආයතන කුමන ආකාරයෙන් නීතිය අවභාවිත කළාද යන්න එම ආයතනවල ප්‍රධානීන් සිදුකරන පාපොච්චාරණවලින් පැහැදිලිවන බව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

කොළඹදී අද (29) පස්වරුවේ පැවති සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

***************************************

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානයෙන් චෝදනාවක්

(29.11.2019 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළද මෙතෙක් එම පැමිණිලි විභාග කර නොමැති බවට ‘ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය’ චෝදනා කරනවා.

කොළඹදී අද (29) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් චෝදනා කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හරහා මෙම ගැටලුවටද දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *