ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

• අපි විරුද්ධ වුනේ ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයටයි. දැන් ප්‍රබුද්ධ සාකඡ්චාවකට යමු. පූජ්‍ය ඥානසාර හිමි පවසති (විඩියෝ)

• සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

• ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ (ඔඩියෝ)

• මාධ්‍යවේදීන්ට ආණ්ඩුවෙන් සහතිකයක් (ඔඩියෝ)

• මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට (28) ජල කප්පාදුවක්

• විල්පත්තු වනෝද්‍යානයේ නව මායිම් ප්‍රකාශයට පත් කිරීමේ තීරණයට පරිසර සංවිධානවල විරෝධය (විඩියෝ)

• ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහිව පැමිණිල්ලක් (විඩියෝ)

• හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි – සිංහල රාවය සංවිධානය (විඩියෝ)

• රූමි මොහොමඩ් විදෙස් ගතවීමේ සූදානමක් පවතින බවට පැමිණිලි (විඩියෝ)

• යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයෙන් ශානි අබේසේකරට චෝදනා (විඩියෝ)

• මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණයට පාර්ලිමේන්තුවේ සහය පතයි

+++++++++++++++++++++++++++++++++++

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

(26.11.2019 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට ඊයේ (25) පත්කර තිබෙනවා.

දවස පුවත්පතේ උපකතෘවරයෙකු ලෙස මාධ්‍ය දිවියට පිවිසි ඔහු දශක 4 ක පමණ මාධ්‍ය අත්දැකීම් ලද අයෙක් වීම විශේෂත්වයක්.

මීට පෙර අවස්ථාවකද ජනාධිපති ප්‍රකාශක ධුරයේ කටයුතු කර ඇති ඔහු ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය ද හොබවා තිබෙනවා.

මීට අමතරව ඔහු කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද කලක් කටයුතු කළා ෴

***************************************

අපි විරුද්ධ වුනේ ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයටයි. දැන් ප්‍රබුද්ධ සාකඡ්චාවකට යමු. පූජ්‍ය ඥානසාර හිමි පවසති

(26.11.2019 – colombotoday.com)

නව ජනාධිපතිවරයකු ද පත්ව ඇති මොහොතේ තවදුරටත් මුස්ලිම් විරෝධය පැතිරවීමෙන් නැති අර්බුද මතුවිය හැකි නිසා දැන් අපගේ බෞද්ධකම පෙන්වමින්, විනය තුළ පිහිටා මුස්ලිම් සමාජය සමඟ ප්‍රබුද්ධ සාකච්ඡාවකට පිවිසිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසයි.

“නව ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා, ඒ ජනාධිපතිවරයා මුළු රටේම ජනාධිපතිවරයා. එතුමා ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙන අවස්ථාවෙදි ප්‍රකාශයක් කෙරුවා, මට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාගේම ජනාධිපතිවරයා හැටියට මම කටයුතු කරනවා කියලා.

ඉතිං මේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුත් එක්ක තවදුරටත් අනවශ්‍ය විරෝධයක් හදාගෙන, ඒ මිනිස්සු හෑල්ලුවට ලක් කරන්න යාමෙන් නැති ප්‍රශ්න නැති අර්බුද මතුකරගන්නයි මේ හදන්නෙ. අපි සංවිධානයක් විදියට මුස්ලිම් සමාජයත් එක්ක නොයෙක් ප්‍රශ්න ඇතිවුණා. හැබැයි අපි අදත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා, අපි විරුද්ධ වුණේ අපේ රටේ ජීවත් වෙන ස්වදේශික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සුන්ට නොවෙයි. ස්වදේශික මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවත් විනාශ කරමින් ගොඩනැඟුණු ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයට විතරයි අපි විරුද්ධ වුණේ.

දැන් අපේ බෞද්ධකම පෙන්නමු. දැන් අපේ විනය තුළ ඉඳගෙන ප්‍රබුද්ධ සාකච්ඡාවකට මේ මිනිස්සුන්ට කතා කරමු. දැන් අපි ඉන්නෙ ඒ පිළිවෙතේ. ඒනිසා අපට දැන් බනියි ඔන්න කුට්ටියක් හම්බවෙලා … ඔන්න … හරී …. අපට ඒක අදාළ නෑ” යනුවෙන් එහිමියන් සඳහන් කළා.

පූජ්‍ය ඥානසාර හිමි මේ බව පැවසුවේ වයඹ පළාත් ආණ්ඩුකාර එම්. ජේ. එම්. මුසම්මිල් මහතාට එරෙහිව තම සංවිධානයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර ඇති බවට අන්තර්ජාලයේ සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව පැවසීම සඳහා ඊයේ (25) කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමිනි.

සම්පුර්ණ මාධ්‍ය හමුව :

***************************************

සෞඛ්‍ය ලේකම්කමට හොදම සුදුස්සා වෛද්‍ය පාදෙණියයි… GMOA යෝජනා කරයි

(26.11.2019 – colombotoday.com)

සෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා සෞඛ්‍ය ලේකම් තනතුරට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන බවත් එම තනතුර ලැබුනහොත් එය සතුටින් භාරගන්නා බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය දියුණු කිරීමට තම පරිපාලන වෙනසක් ඇතිවිය යුතු බවත් එසේ නොමැතිව පරණ දූෂිතයින් සමග මෙම කටයුතු සිදුකල නොහැකි බවද අද (25 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය ෴

***************************************

ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ

(27.11.2019 – colombotoday.com)

ජනාධිපතිවරයාගේ නියෝග බවට පවසමින් ඇතැම් ආයතන සිදුකරන කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඒ, අදාළ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ජනතාවට විවිධ බලපෑම් එල්ල වී ඇති බවට වාර්තා පළවීමත් සමගයි. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ ආරම්භ වූ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

මෙම හමුවට ජනාධිපතිවරයා ද සහභාගී වුණා. එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර මහතා නෙත් නිවුස් වෙත අදහස් පළකළා.

එහිදී “කුණු අයින් කරන්න කියලා ගෙවල්වලට කරදරකාරී විදිහට කෙරෙනවා..සමහර වෙලාවට රෙදි වේලන්න දාලා තියෙන වැල් පොටවල් පවා අයින් කරන්න කියලා කියනවා…ඔන්න ඔය වගේ පැමිණිළි තිබුණා. ජනාධිපතිතුමා කිව්වේ ‘මං කිව්වයි කියලා පිළිගන්න එපා.. ඔය කට්ටියට මම කිව්වේ නැත්නම් ඒවට මැදිහත් වෙලා වලක්වන්න’ කියලා කිව්වා.” යනුවෙන් සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවූ බවයි මන්තී‍්‍රවරයා සඳහන් කළේ.

ඊයේ (26) පස්වරුවේ මෙම සාකච්ඡාව ආරම්භ වුණේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි. ඊට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා එක්ව සිටින පක්ෂ නායකයින් ද සහභාගී වුණා ෴

***************************************

මාධ්‍යවේදීන්ට ආණ්ඩුවෙන් සහතිකයක්

(26.11.2019 – nethnews.lk)

නිදහස් මාධ්‍යයට කිසිඳු තර්ජනයක් එල්ල වන කිසිඳු ක්‍රියාවක් වත්මන් ආණ්ඩුව විසින් සිදු නොකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස අද (26) දිනයේ වැඩභාර ගැනීමෙන් පසුවයි.

වත්මන් ආණ්ඩුව සැබෑ ලෙසම යහපාලනය ක්‍රියාවට නංවන ආණ්ඩුවක් බවට පත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ද එක්ව සිටියා.

මේ අතර, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (26) දිනයේ අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේදී සිය රාජකාරී ආරම්භ කළා.

අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

මේ අතර නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හෙට (27) දිවුරුම් දීමට නියමිතයි. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. පෙරවරු 09 ට එහි කටයුතු ආරම්භ වන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා.

ඉන් අනතුරුව නව අමාත්‍යංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඉකුත් සතියේ දිවුරුම් දුන්නා. නව අමාත්‍ය මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව අමාත්‍යවරුන් 16 දෙනෙකු අයත් ෴

***************************************

මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට (28) ජල කප්පාදුවක්

(27.11.2019 – 08:12 +0530 – hirunews.lk/sinhala)

පැය 28 ක කාලයක් සඳහා මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට (28) පෙරවරු 9 සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මහනුවර දකුණ බල ප්‍රදේශයට අයත් නිල්ලඹ ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනුයි මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ.

ඒ අනුව සිකුරාදා පස්වරු එක දක්වා උඩුනුවර, ගෙළිඔය, වැලිගල්ල, එගොඩ කළුගමුව, මෙගොඩ කළුගමුව, අඹකුඹුර, ගනේගොඩ, දවුලගල, හිද්දවුල සහ පිළිමතලාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ෴

***************************************

විල්පත්තු වනෝද්‍යානයේ නව මායිම් ප්‍රකාශයට පත් කිරීමේ තීරණයට පරිසර සංවිධානවල විරෝධය

(27.11.2019 – 07:37 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් කලාපයේ අනවසර පදිංචිකරුවන් සිටින ප්‍රදේශ අතහැර, වනෝද්‍යානයට නව මායිම් ප්‍රකාශයට පත් කිරීමට නීතිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පරිසර සංවිධාන විරෝධය පළ කරනවා.

අභියාචනාධිකරණයේදී පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබූ පෙත්සමක් පෙරේදා කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා නව මායිම් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප්‍රදේශ නීතිවිරෝධී ලෙස හෙළි පෙහෙළි කරමින් සිදුකරන නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණා.

එය කැඳවූ අවස්ථාවේදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහර ජයසිංහ මහතා අභියාචනාධිකරණයට දැනුම්දුන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් කලාපයේ අනවසර පදිංචිකරුවන් සිටින ප්‍රදේශය අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ප්‍රකාශයට පත් කිරීමට අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් පරිසරවේදින් ඊයේ (26) සිය විරෝධය පළ කළා.

***************************************

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු හිටපු අමාත්‍ය රිෂාඩ්ට එරෙහිව පැමිණිල්ලක්

(26.11.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජනාධිපතිවරණයේදී පුත්තලමේ පදිංචිව සිටි 12,500 කට ආසන්න පුද්ගලයින් පිරිසක් මන්නාරම ප්‍රදේශයේ ඡන්දය භාවිත කිරීම සඳහාවන ප්‍රවාහන වියදම් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 95 ක මුදලක් වැයකර ඇති බවට අප ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළිකළා.

ඒ සම්බන්ධයෙන් ‘සිංහලේ ජාතික සංවිධානය’ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ගොණුකළේ මෙම ක්‍රියාදාමය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරන බව ලොවට හඟවමින් විල්පත්තු අවට වනාන්තර කලාපය සුණු විසුණු කරන අයුරු ‘හිරු සී.අයි.ඒ.’ හරහා 2015 වසරේ සිට අප අනාවරණය කළා.

මූලික මිනිස් අවශ්‍යතා පවා සපුරා ගත නොහැකි වන අලි ගහන මෙම ප්‍රදේශයේ සිදුවන්නේ නැවත පදිංචි කිරීමක් නොව සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් ඉඩම් අල්ලා ගැනීමක් බවයි අපි සාක්ෂි සාධක සහිතව හෙළි කළේ.

මෙම ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයත් සමඟ විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිත කිරීම සම්බන්ධයෙන් පසුගිය රජය මගින් විශේෂ විගණනයක් සිදු කෙරුණා.

එහි වාර්තාවෙන්ද තහවුරු වුණේ අප පෙන්වා දුන් පරිදිම ඉඩම් නොමැති අවතැන් වූ පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොතිබුණු බවයි.

මෙවැනි පසුබිමක් තුළයි තවදුරටත් අවතැන් ජනතාව බව ලොවට හඟවමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙවර ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ 200 කට අධික ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් පුත්තලමේ ස්ථිර නිවාස ඇති පිරිසක් මන්නාරම ප්‍රදේශයට ඡන්දය භාවිත කිරීම සඳහා රැගෙන යන්නේ.

මන්නාරම දිස්ත්‍රික්කය යනු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ආසනයවන අතර ලංගම බස් රථවලට වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 95 කට අධිකයි.

‘හිරු සී.අයි.ඒ.’ හරහා සිදු කළ මෙම අනාවරණය සමඟ ‘සිංහලේ ජාතික සංවිධානය’ අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

***************************************

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි – සිංහල රාවය සංවිධානය

(26.11.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුන්දලම ප්‍රදේශයේදී සිවිල් වැසියන් සමඟ ගැටුමක් ඇතිකරගත් බවට ආරක්ෂික කැමරා දර්ශන ඔස්සේ සාක්ෂි තිබියදී ඔහුව අත්අඩංගුවට නොගන්නේ මන්දැයි සිංහල රාවය සංවිධානය ප්‍රශ්න කරනවා.

කළුතර ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කළා.

***************************************

රූමි මොහොමඩ් විදෙස් ගතවීමේ සූදානමක් පවතින බවට පැමිණිලි

(26.11.2019 – 20:04 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු වන දූෂණ චෝදනා එල්ල වී සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති රූමි මොහොමඩ් මහතා විදෙස් ගතවීමේ සූදානමක් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ශව දෙකකින් අද (26) පැමිණිලි දෙකක් ඉදිරිපත් වුණා.

මේ අතර පසුගිය රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිවිල් සංවිධාන නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා.

***************************************

යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානයෙන් ශානි අබේසේකරට චෝදනා

(26.11.2019 – 20:01 +0530 – hirunews.lk/sinhala)

මව්වරුන්ට වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා ආරක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කළ බව ‘යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංවිධානය’ චෝදනා කරනවා.

එම සංවිධානයේ නියෝජිතයන් මෙම චෝදනාව එල්ල කළේ අද (26) කුරුණෑගල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණයට පාර්ලිමේන්තුවේ සහය පතයි

(26.11.2019 – 19:03 +0530 – hirunews.lk/sinhala)

යම් අයුරකින් ජනාධිපතිවරයා ලබන මාර්තු 1 වනදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුකළ හොත් 2020 අප්‍රේල් මස අගදී හෝ මැයි මස මුල් සතියේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායකවරයාට දැනුම්දී තිබෙනවා.

ඒ, පසුගිය ජනාධිපතිවරණය පැවැත්වුණු ආකාරය පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පාර්ලිමේන්තුවේදි කථානායක කරූ ජයසූරිය ඊයේ (25) හමුවූ අවස්ථාවේදියි.

මේ අතර දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය වන රෙගුලාසි පාර්ලිමේන්තුවේදී හැකි ඉක්මණින් සම්මත කර දෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, කථානායක කරූ ජයසූරිය ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය වසරේ පැවති පළාත්පාලන මැතිවරණයේදී හඳුනාගත් අඩුපාඩු නිවැරදි කරගැනීම සඳහා වන නව සංශෝධන පළාත්පාලන පනතට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාමකාමී ලෙස පැවැත්වීම තහවුරු කිරීමට මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ සහය ලබාදෙන ලෙසද සභාපතිවරයා මෙහිදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා සඳහන් කර ඇත්තේ ඊට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුව මගින් ලබාදීමට සූදානම් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *