පාස්කු ප්‍රහාරයට ශානි අබේසේකර වගකිව යුතුයි – නීතිඥ අජිත් ප්‍රසන්න

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• පාස්කු ප්‍රහාරයට ශානි අබේසේකර වගකිව යුතුයි – නීතිඥ අජිත් ප්‍රසන්න (විඩියෝ)

• මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා කැදවමින් ජනපති අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

• රුසියානු ජනපති පුටින් ගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම් – කලාපීය ආරක්ෂාව තහවුරු කරන්නත් සහය

• ගිය ආණ්ඩුව හිතුවේ සිවුරට කිසි බලයක් නෑ කියලා – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි (විඩියෝ)

• හිමිවරු නිකාය භේදයෙන් තොරව එක්වූයේ මංගල හා රංජන් නිසා – පූජ්‍ය වල්පොල පියනන්ද හිමි (විඩියෝ)

• වත්මන් ආණ්ඩුව දේශපාලන පළිගැනිම් සිදු කරන්නේ නෑ – ඩලස් අලහප්පෙරුම (විඩියෝ)

• සිවුකොන නීතිය අකුරට.. උතුරේ කොටි අවතාර සැඟවෙයි.. මෙවර මහවිරු සමරු සද්ද නැතිව අකුලාගනී..

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයට ශානි අබේසේකර වගකිව යුතුයි – නීතිඥ අජිත් ප්‍රසන්න

(22.11.2019 – 19:18 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් ආණ්ඩුව සමයේ සිදුවූ රණවිරු දඩයම පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානය ඉල්ලා සිටියි.

එහි කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්මින් වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරීන්ට සිදුකළ අකටයුතුකම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා මේ බව පැවසීය.

“CID අධ්‍යක්ෂ ශානිව මාරු කරපු එක වැරදියිලු. තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීමේ නඩුවේදී කෝමදෝරු දසනායකට ඇප දෙන්න තිබියදී රජයේ අධිනීතිඥවරිය උසාවියට කියනවා CID අධ්‍යක්ෂ කුමන්ත්‍රණයක් ගැන කිව්වා ඒ නිසා ඇප දෙන්න එකඟ වෙන්න බැහැ කියලා..

කීත් නොයාර් සිද්ධියෙදී වුණ දේ… සැකකරු අත්අඩංගුවට ගත්තෙ නැහැ. ඒ වෙනුවට බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට ගත්තා.

උපාලි තෙන්නකොන් නඩුවත් පැටලුවා. එක්නැළිගොඩ හා ලසන්ත නඩුත් එහෙමයි. ඒ සැකකරුවන්ට කියලා ගෝඨාභයගේ නම කියන්නලු. ශානි කියන්නෙ දේශපාලනික පොලිස් නිලධාරියෙක්. බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගත් නිසා සමස්ත බුද්ධි නිලධාරීන් අකර්මන්‍ය වුණා. පාස්කු ප්‍රහාරයටත් ශානි අබේසේකර වගකිව යුතුයි.

ඒ නිසා ශානිව ගාල්ල DIG ළඟට දාලා බැහැ. වහාම ශානි අබේසේකරව අත්අඩංගුවට ගන්න. රණවිරු දඩයමට එරෙහිව ජනපති කොමිසමක් පත්කරන්න.”

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සිංහලේ සංවිධානය අද (22) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලක ප්‍රගතිය විමසීමට එම නීතිඥවරුන් අද (22) පැමිණ සිටියා.

+++++++++++++++++++++

22-11-2019

***************************************

මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා කැදවමින් ජනපති අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

(23.11.2019 – 08:06 +0530 – hirunews.lk/sinhala)

සියළු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුවයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25 හේම ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකි වනු ඇති.

හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මෙලෙස මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් දිවයිනේ ආරක්ෂාව උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදා කැදවීම සිදුකරනු ලබනවා.

මේ අතර, අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස ලබන 29 වන දා ඉන්දීය සංචාරයක් අරඹනවා.

ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එලෙස පළමු සංචාරය ලෙස ඉන්දියාවට පැමිණෙන්නැයි කළ ආරාධනය පිළිගනිමින්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් අනතුරුව දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා, අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ ආරාධනය පිළිගන්වනු ලැබුවා.

පසුව එම ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් බවයි ඉන්දීය විදේශ ලේකම්වරයා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉන්දීය සංචාරය සඳහා 8 දෙනෙකුගෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් ද එක්වීමට නියමිතයි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු එම කණ්ඩායමට ඇතුළත්.

ජනාධිපතිවරයා දෙසැම්බර් 1 වන දා දක්වා ඉන්දියාවේ රැදී සිටිනු ඇති ෴

***************************************

රුසියානු ජනපති පුටින් ගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම් – කලාපීය ආරක්ෂාව තහවුරු කරන්නත් සහය

(23.11.2019 – 07:37 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා, ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

සිය පණිවුඩය මගින් රුසියානු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ දෙරට අතර ද්වි පාර්ශවික සංවාදයක් සහ ඵලදායී සහයෝගීතාවක් ගොඩ නැගීමට හැකි වනු ඇති බවයි.

එමෙන්ම, කලාපීය ස්ථාවරභාවය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම් බව ද ජනපති පුටින් මහතා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා – රුසියානු සබඳතා සාම්ප්‍රදායිකව මිත්‍රශීලී ස්වභාවයකින් යුක්ත බව සිහිපත් කළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා, අභිනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම ශ්‍රී ලංකාවට සාර්ථකත්වය හා සශ්‍රීකත්වය උදාවේයැයි ප්‍රාර්ථනා කළා ෴

***************************************

ගිය ආණ්ඩුව හිතුවේ සිවුරට කිසි බලයක් නෑ කියලා – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

(23.11.2019 – 16:47 +0530 – sinhala.adaderana.lk)

මෙරව ජනාධිපතිවරණයේදි මහා සඟරුවනට ඇති බලය ඔප්පු කර පෙන්වූ බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

කොළඹ ඊයේ (22) පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සංවිධානයේ ප්‍රථම සභාපති සහ නිර්මාතෘ ආචාර්ය නාත් අමරකෝන් මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම් උත්සවය නිමිත්තෙන් ඒ මහතාගේ උඩුකය පිලිරුවක් නිරාව‍රණය කිරීම ඊයේ (22) සිදුකෙරුණි.

ඒ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සහ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ වත්මන් රජය පිළිබඳව ඉදිරියට විශාල බලාපොරොත්තු තබාගෙන සිටින බවත් එසේ නමුත් විරුද්ධ විය යුතු අවස්ථා වලදී ඊටද පසු බසින්නේ නැති බවයි.

මෙවර ජනාධිපතිවරණයේ දී සිවුරේ ඇති බලය පෙන්වීමට හැකිවු බවත් උන්වහන්සේ කියා සිටියේය.

***************************************

හිමිවරු නිකාය භේදයෙන් තොරව එක්වූයේ මංගල හා රංජන් නිසා – පූජ්‍ය වල්පොල පියනන්ද හිමි

(23.11.2019 – 14:07 +0530 – sinhala.adaderana.lk)

නිකාය බේදයකින් තොරව සියලු භික්ෂුන් වහන්සේලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වුයේ මංගල සමරවීර හා රංජන් රාමනායක යන මහත්වරුන් බුදු දහමට කළ නිග්‍රහ හේතුවෙන් බව අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදි ඡන්දය භාවිත කිරිම සඳහා විදෙස් ගතව සිට මෙරටට පැමිණි අය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ සංවිධාන කළ හමුවකදි උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

ඔවුන් සිදු කළ ප්‍රකාශ තුළින් සංඝයා වහන්සේලා බුදු සසුන වෙනුවෙන් ඒකරාශී වු බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

***************************************

වත්මන් ආණ්ඩුව දේශපාලන පළිගැනිම් සිදු කරන්නේ නෑ – ඩලස් අලහප්පෙරුම

(23.11.2019 – 09:40 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය අවෛරී පාලනයක් බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජයට කිසිවෙකු ගෙන් පලිගැනිමේ අදහස් නොමැති බවයි.

අමාත්‍යධුරයේ වැඩ භාරගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ අතර එස්.එම් චන්ද්‍රෙස්න මහතා ද පරිසර හා වනජිවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ භාරගැනිම ඊයේ (22) දිනයේ සිදු විය.

වැඩ භාරගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පවතින වනඅලි ගැටළුවට ස්ථිර විසදුමක් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බවයි.

***************************************

සිවුකොන නීතිය අකුරට.. උතුරේ කොටි අවතාර සැඟවෙයි.. මෙවර මහවිරු සමරු සද්ද නැතිව අකුලාගනී..

(23.11.2019 – 14:10 +0530 – lankacnews.com)

යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් සමරමින් වාර්ෂිකව උතුරේ පවත්වනු ලබන ‘මහ විරු සමරුව’ සදහා මෙවර සුදානමක් දක්නට නොමැති බව උතුරේ ආරංචි මාර්ග පවසයි.

වෙනදා ඒ සදහා කටයුතු සංවිධානය කරමින් සිටින දේශපාලඥයන් හෝ ඔහුගේ හිතවාදීන් මෙවර ඒ සඳහා කිසිඳු සූදානමක නැති බවද කලින් තිබූ සූදානමද අතහැර දමා ඇතැයි වාර්තා වෙයි.

පෙර වසරවල්වල මෙම සැමරුම සඳහා සූදානම් වන්නැයි උතුරේ සියළු ප‍්‍රදේශවල පෝස්ටර් අලවමින් ජනතාව දැනුවත් කරමු නමුදු මෙවර එවන් කටයුතුද දක්නට නොලැබෙයි.

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදී ඇත්තේ මේ මස 26 වනදා වන අතර ඒ නිමිත්තෙන් වසර කිහිපයක් පුරාම උතුරේ සැමරුම් පැවැත්වුණි.

වසර කිහිපයක් තිස්සේ පැවති එම උත්සව කටයුතු මෙවර නොපැවැත්වීම විශේෂ සිද්ධියක් බව වාර්තාකරුවන් කියා සිටිති ෴

***************************************

බුර්කා-නිකාබ භාවිතය අති සීඝ‍්‍රයෙන් පහල බසී..

(24.11.2019 – 00:03 +0530 – lankacnews.com)

මෙරට ප්‍රධාන නගර වල මුස්ලිම් කාන්තාවන්ගේ සංස්කෘතික ඇඳුමක් වන නිකාබ හා බුර්කා භාවිතය ආසන්න දින කීපයේ දී ඉතා සීග්‍රයෙන් අඩුවී ඇති බව වාර්තාකරුවන් පවසති.

කොළඹ, මහනුවර, ගාල්ල, අම්පාර ආදී නගර වල මෙම තත්වය කැපී පෙනෙන ලෙස පෙනී යන්නේ යයිද ඔවුන් කියා සිටිති.

පාස්කු බෝම්බ ප‍්‍රහාරයත් සමග හදිසි නීතිය යලි බලාත්මක කිරීමෙන් පසු හදිසි නීති රෙගුලාසි යටතේ මෙතී ඇදුම් තහනම් කල අතර පසුව හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කරන ලදී ෴

***************************************

ජාඇල, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24 ක ජල කප්පාදුවක්

(23.11.2019 – nethnews.lk)

ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල, වත්තල සහ කටුනායක ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරුවේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, හෙට (24) පෙරවරු 08.00 සිට ලබන සඳුදා පෙරවරු 08.00 දක්වා එම බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව, කටුනායක, සීදූව, ජා ඇල වත්තල, මාබෝල යන නගර සභා බල ප්‍රදේශවලටත්, ජා ඇල සහ වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අයත් වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට හෙට උදෑසන 08 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

රාගම, වල්පොල, බටුවත්ත, ඔලුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ බොයිස් ටවුන් යන ප්‍රදේශවලට ද එම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ. කැළණි ගඟ දකුණු ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙන නල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *