ඥානසාර හිමි වන අලි ප්‍රශ්නයක

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• ඥානසාර හිමි වන අලි ප්‍රශ්නයක

• ඩී.පී.ජේ. ගොඩනැගිල්ලේ (සබීතාපායේ) බදු ගිවිසුම කඩිනමින් අත්සන් කරන්න ඇමති දුමින්ද බලපෑම් කළා

• උතුරේ නීතිඥවරු පාරට බසිති

• ‘ගුරුකන්ද විහාරධිපතිගේ ආදාහනය කලොත් සාමය කඩ වේවි’ – පැමිණිලි නැතිව තහනම් නියෝගය ගෙන ඇත්තේ මුලතිව් OIC ගේ උවමනාවට

• අපවත් වූ හිමිනමකගේ දේහය පන්සලට ගෙනියන්න බැරි තත්ත්වයක් උදාවෙලා

• TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව සහිත බැනරයකට පාවහන් යොදාගෙන පහර දී ගිනි තබයි (විඩියෝ)

• සිංහල බෞද්ධ ජනනායකයකු ජනතාව ඇමැතුවොත් ජනපතිවරණය දිනාගන්න දමිළ සන්ධානයේ ඡන්ද කුට්ටිය අවශ්‍ය නෑ

• ලංකාවේ තාත්තයි පුතයි ගුවන් යානයක් පදවාගෙන කටුනායකට පැමිණෙයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

ඥානසාර හිමි වන අලි ප්‍රශ්නයක

(24.09.2019 – colombotoday.com)

ඊයේ (23) මුලතිව් නයාරු ගුරු කන්ද විහාරස්ථානයේ නායක හිමියන්ගේ අදාහන පුජෝත්සවයට සහභාගි වී යලි කොළඹ බලා වැඩම කරන අතර තුරු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අලි ප්‍රශ්නයකට මැදිහත්වී තිබෙනවා.

අලි වැටක් නොමැතිකමින් ගම් වදින වන අලින් විසින් සිදුකරන පහර දීම් හේතුවෙන් සිදු වන මරණ පිළිබඳව බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට චෝදනා කරමින් ප්‍රධාන මාර්ගය අවහිර කර ප්‍රදේශවාසීන් ඊයේ (23) උදෑසන විරෝධතාවයක් ආරම්බ කර තිබුණි. සවස්වන තුරු කිසිදු බලධාරියෙක් මේ සඳහා මැදිහත්ව නොමැති අතර එම ස්ථානයට වැඩම කරන ලද පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ප්‍රදේශවාසීන් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ඇත. ඒ අවස්ථාවේදී වනජීවී අධ්‍යක්ෂකවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධකරගෙන ඇති ඥානසාර හිමි නොවැම්බර් මාසය අවසන් වීමට පෙර අලි වට ඉදිකර දෙන බවට ලබා ගත් පොරොන්දුව මත උද්ඝෝෂණය අවසන් කර ඇත.

***************************************

ඩී.පී.ජේ. ගොඩනැගිල්ලේ (සබීතාපායේ) බදු ගිවිසුම කඩිනමින් අත්සන් කරන්න ඇමති දුමින්ද බලපෑම් කළා

(24.09.2019 – 09:21 +0530 – lankadeepa.lk ඇසුරෙන්)

ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට රැගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව තමන් ක‍්‍රියාත්මක වූ බවත් එම ගොඩනැගිල්ල මාසික කුලියට මිලදී ගැනීම වන බදු ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට එවකට සිටිය කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක තමන්ට බලපෑම් කළේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම් බී.විජයරත්න මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට මාරු කිරීමට අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට කිසිදු කැමැත්තක් නොතිබූ බවත් පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන ගියේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා කාර්යාල ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම නිසා යැයිද පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 21 මාසික කුලියකට රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල ගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇඇයි කියමින් එම කොමිසම හමුවේ ගොනු වී ඇති පැමිණිලි විභාගයට අදාළව සාක්කි ලබා දෙමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරත් සාක්කි දුන් විජරත්න මහතා කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලට නැවත පදිංචියට යාමේ හැකියාව කෘෂිකර්ම අමාත්‍යාංශශය විසින් සොයා බැලිය යුතු බව සඳහන් කරමින් අග‍්‍රාමාත්‍යවරයා 2015 සැප්තැම්බර් 21 වන දින කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළද එය ක‍්‍රියාත්මක නොවූ බවය.

අමාත්‍යාංශයට සුදුසු ගොඩනැගිල්ලක් සොයා බැලීමට අගමැතිගේ ලේකම් සමන් ඒකනායකගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළද ඒ පිළිබඳව තමා කිසි විටෙකත් දැනුවත් නොවූ බවත් පසුව අගමැති ලේකම්වරයා තමන්ට දුරකථනයෙන් කතා කර ඔවුන් ඩී. පී.ජේ ගොඩනැගිල්ල අමාත්‍යාංශය සඳහා තෝරා ගත් බව දැනුම් දුන් බවද හෙතෙම කොමිසමට දන්වා සිටියේය.

මෙම ගොඩනැගිල්ල පරීක්ෂා කර බැලීමට තමන් එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ ගොඩනැගිල්ලට ගියද එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් පවතින බවත් එය අමාත්‍යාංශයකට සුදුසු වන පරිදි සැකසීමට විශාල මුදලක් වැය කළ යුතු බව ඔවුන් වටහා ගත්තේ යැයිද විජරත්න මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා බදු ගිවිසුම් වලට අත්සන් තැබීමේදී ගිවිසුමේ අවසාන අනුවාදය නීතිපති වෙත නොයැවූයේ මන්දැයි කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දැක්වූ විජයරත්න මහතා පැවසුවේ නීතිපතිවරයා විසින් නිරීක්ෂණ පහක් සිදුකොට ඇති හෙයින් එම අවබෝධය අනුව කටයුතු කළ විනා ගිවිසුම නැවත නීතිපති වෙත යැවීමේ තමන් කටයුතු නොකළ බව කොමිසම හමුවේ පිළිගත්තේය.

එසේම අමාත්‍යාංශය සඳහා පස් අවුරුදු බදු ගිවිසුමකට අනුව මිළඳී ගත් ගොඩනැගිල්ල බෙදුම් නඩුවකට යටත් දේපළක් බවට තමන් නොදැන සිටි බවද හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසම හමුවේ පිළිගන්නා ලදී ෴

***************************************

උතුරේ නීතිඥවරු පාරට බසිති

(25.09.2019 – mawbima.lk)

උතුරු පළාතේ සියලුම අධිකරණයන්හි සේවයේ නිරත නීතිඥවරු ඊයේ (24 දා) උදෑසන අධිකරණ කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවීමෙන් අනතුරුව දහවල් මුලතිව් අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක්ද පැවැත්වූහ. විරෝධතාවේ යෙදෙමින් ඔවුන් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නියෝගය කඩකළ බොදුබල සේනාවේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාවේදී මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා එක් පිරිසක් ගමන් කළ අතර තවත් පිරිසක් මුලතිව් රෝහල ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කොට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කොට සියල්ලන් එක්ව විරෝධතාවේ නිරත වීමෙන් පසුව මුලතිව් දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය අතට සන්දේශයක්ද භාරදෙනු ලැබීය.

“නීතියේ සාධාරණය කෝ?, නීතියට විරුද්ධවූවන්ට සිදුකරන්නේ කුමක්ද? දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයන් කොහිද? මුලතිව් දෙමළ ජනතාවගේ උරුමය රැකදියව්” යනුවෙන් විරෝධතාකරුවෝ පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් කළු පටි පැලඳගෙන විරෝධතාවේ නිරත වූහ.

විරෝධතාවට එක්වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා, මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස පෙරේදා (23 දා) නයාරු ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම ආදාහනය කිරීම තමන් ඇතුළු පිරිස අනුමත නොකරන අතර ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ නීතිය නිසි පරිදි ඉටුකළ යුතු බව කියාසිටියා.

එමෙන්ම උතුරු පළාතේ දමිළ ජනතාවගේ නිජභූමිය තුළ නව සිංහල ජනාවාස බිහි කරමින් උතුරේ නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම සිදුකිරීමේ වැඩසටහනක් රජයේ උපකාර මත සිදුවන බැවින් අදාළ ක්‍රියා වහාම නවතා දැමිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

එහිදී උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාවේ නියෝජිතයන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්. ශිවමෝහන් මහතා හා ශාන්ති ස්කන්ධරාජා මහත්මිය හා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රිවරුද සහභාගි වූහ.

උද්ඝෝෂණයට සහභාගි වෙමින් උතුරු පළාත් නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා මෙසේ කියා සිටියේය :

“අපි ආරම්භ කළ මේ වැඩ වර්ජනය සිකුරාදා වෙනකම් ගෙන යනවා අපිට විසඳුමක් ලැබෙනතුරු. මුලතිව් ගුරුකන්ද විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතාගේ නියෝගය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් විසින් කඩකරමින් විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු පන්සල් භූමිය තුළම සිදු කළා. මේකෙන් අධිකරණයටත් හානියක් වුණා. ඒ වගේම පන්සල් භූමියේ තිබුණු නීරාවි පුල්ලයාර් කෝවිලේ බැතිමතුන්ට වගේම පූජකයන්ටත් ඒ අයගේ සංස්කෘතියටත් දැඩි අසාධාරණයක් වුණා. ඒ වගේම තමයි ආදාහන පූජෝත්සවය පැවැති වෙලාවේ අපේ දමිළ නීතිඥවරයකුට පන්සලේ පිරිසක් බලපෑම් කරලා තියෙනවා. මේ සියලු දේ වෙනුවෙන් සාධාරණයක් වෙන්න ඕනෑ. ඥානසාර හිමි ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. අධිකරණ නීතිය කැඩූ පිරිසට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියල තමයි අපි මේ විරෝධතාව පවත්වන්නේ.”

එමෙන්ම විරෝධතාවට එක් වූ හින්දු කෝවිල් සංගම් නියෝජිතයෝ මෙසේ පවසා සිටියහ :

“මුලතිව් අධිකරණය විසින් බෞද්ධ – හින්දු දෙපාර්ශ්වයටම හානියක් නොවන අයුරින් තීන්දුවක් දුන් අවස්ථාවක ඒ තීන්දුවද නොසලකා හරිමින් ගුරුකන්ද රජමහ විහාරයේ ආදාහන පූජෝත්සවය සිදුකළ පිරිස් සඳහා වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම මෙවැනි සිදුවීම්වලින් අපේ සංස්කෘතියටයි හානි වෙන්නේ. දෙමළ – සිංහල භේද ඇති වෙනවා ඇතැම් පාර්ශ්ව නිසා. මේ දේවල් වහාම නැවැත්විය යුතුයි.”

එහිදී ආදාහන කටයුතු වෙනුවෙන් වැඩම කළ භික්ෂුන් වහන්සේ පැවැසුවේ අධිකරණ තීන්දු තීරණ ලැබීම පමාවීම හේතුවෙන් මෙන්ම විහාරාධිපති හිමියන්ගේ දේහය අවපැහැ ගැනීමත් නිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තීරණය අනුව ගුරුකන්ද විහාර භූමියේම විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදුකළ බවයි.

කෙසේ වෙතත් ඊයේ (24 දා) දින උතුරේ නීතිඥවරුන් නඩු කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් නඩු විභාග වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි පිරිස් අපහසුතාවන්ට පත්වෙමින් ආපසු නිවෙස් වෙතට පිටත් වූහ. උතුරේ නීතිඥවරුන්ට අමතරව ත්‍රිකුණාමලය, මඩකළපුව හා වාලච්චේන අධිකරණ සංකීර්ණ අසලද ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විණි.

ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණයේ නීතිඥවරු පිරිසක්ද සිය සේවා කටයුතුවලින් ඉවත්ව ඊයේ (24 දා) වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්වූහ.

මඩකළපුව නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති එන්. නාරයනපිල්ලෙයිගේ මූලිකත්වයෙන් පවත්වන ලද උද්ඝෝෂණයේදී මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණය යන අධිකරණවල 40 කට අධික නීතිඥවරුන් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැස්විණි.

අධිකරණය ඉදිරිපිට රැස් වූ නීතිඥවරුන් “අධිකරණ නියෝගය තකනු, නීතිය සියලුදෙනා සමානයි, යුක්තියට අභියෝගයක්ද, එකම රටක එකම වැසියෝ, නීතියට අතනොතබනු, අධිකරණ ක්ෂේත්‍රයට අත නොතබනු” යන පාඨ සඳහන් පුවරු රැගෙන උද්ඝෝෂණයේ නිරත වූහ.

මෙම වර්ජන හා උද්ඝෝෂණය නිසා සියලුම අධිකරණවල ක්‍රියාදාමයන් අක්‍රිය වූ අතර අද විභාගයට ගැනීමට තිබුණු නඩු වෙනත් දිනයකට කල් දමන ලදී.

වාලච්චේන දිසා අධිකරණයේ නීතිඥ වැඩ වර්ජනය නිසා එහිද විවෘත අධිකරණ කටයුතු අක්‍රියව තිබිණි.

මේ අතර ගුරුකන්ද රජමහ විහාරයේ වත්මන් විහාරාධිකාරි හිමියන්ව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (23 දා) කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ ඇතුළු දායක සභාවටත් එම පාර්ශ්වයේ නීතිඥයන්ටත් දෙමළ භාෂාවෙන් කතා කරන ලෙසට ජ්‍යෙෂ්ඨ නීතිඥ සහ වවුනියාව වැඩබලන මහෙස්ත්‍රාත් ඇන්ටන් පුලිදනායගම් මහතා කියා සිටියේය. උතුරු පළාතේ රාජ්‍ය භාෂාව දෙමළ බැවින් අධිකරණ ඇතුළු රජයේ සියලුම කටයුතු දෙමළ භාෂාවෙන් පමණක් සිදුකළ යුතු බවත් උතුරු පළාතට පන්සල් සහ සාම්ප්‍රදායික බෞද්ධ ක්‍රියාකාරකම් සහ සිරිත් විරිත් අනවශ්‍ය බවත් හෙතෙම සඳහන් කළේය.

ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට සිදුකරනු ලබන උද්ඝෝෂණ පිළිබඳව අපි ඥානසාර හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ පැවැසුවේ ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අධිකරණ නියෝගයක් ලැබී නොතිබුණු බවයි.

ආදාහනය සඳහා චිතකය ඉදිකරන ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර බලා ලිඛිතව අවසරය ලබාදුන් ස්ථානයේදී සංඝ සභාවේ, දායක සභාවේ සහ අවමංගල්‍ය කමිටුවේ තීරණයට අනුව සෑය ඉදිකොට අවසන් කටයුතු කළ බවත් එහි සිටි කිසිවකු නීති විරෝධී ක්‍රියාවක් සිදුකර නැති බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් කීහ.

+++++++++++++++++++++

‘ගුරුකන්ද විහාරධිපතිගේ ආදාහනය කලොත් සාමය කඩ වේවි’ – පැමිණිලි නැතිව තහනම් නියෝගය ගෙන ඇත්තේ මුලතිව් OIC ගේ උවමනාවට

(25.09.2019 – colombotoday.com)

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදු කළහොත් සාමය කඩ වීමට ඉඩ ඇති බවට පසුගිය ඉරිදා දින මුලතිව් අතිරේක මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත්තේ මුලතිව් පොලිස් ස්ථානාධිපති සේනාධිපති ද සිල්වා බව වාර්තා වෙනවා.

මුලතිව් OIC සේනාධිපති ද සිල්වා :

පසුගිය සඳුදා අධිකරණයේ නඩුව කඳවු අවස්ථාවේදී විහාරස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් ඉරිදා අධිකරණයට කරුණු දක්වන අවස්ථාව වන විට ආදාහන පූජෝත්සවයට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලැබී නොතිබුණු බවට පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයේදී පිළිගෙන ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය අදාහන පූජෝත්සවයට සහබාගි වූ භික්ෂුන් වහන්සේලාගේ දැඩි විවේචනයට ලක්වූ අතර පොලිසියේ මෙම ක්‍රියාව හේතුවෙන් සිංහල සහ දෙමල ජනතාව ප්‍රකෝප ගැන්වූ බවට චෝදනා එල්ල විය ෴

+++++++++++++++++++++++++++++++++++

අපවත් වූ හිමිනමකගේ දේහය පන්සලට ගෙනියන්න බැරි තත්ත්වයක් උදාවෙලා

(25.09.2019 – mawbima.lk)

මේ රට වර්තමානයේ පත්වෙලා තියෙන තත්ත්වය පිළිබඳ මේ රටේ පාලකයෝ වග කියනවාද නැද්ද කියන කාරණය ගැන බරපතළ ගැටලුවක් අපට මතුවෙලා තියෙනවා.

අද වෙනකොට අපවත් වූ හිමිනමකගේ දේහය පන්සලකට ගෙනියන්න බැරි තත්ත්වයක් උදාවී තිබෙන බව නැඟෙනහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක මඩකළපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවැසූහ. උන්වහන්සේ එසේ පැවැසුවේ මඩකළපුව කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අම්පිටියේ සුමනරතන හිමියෝ :

“නයාරු විහාරස්ථානයේ අපේ ස්වාමීන් වහන්සේගේ දේහය ආදාහනය කර ගන්න බැරිව මේ වෙනකොට ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. උතුරු නැඟෙනහිර තිස් අවුරුද්දක් යුද්ධ කරලා අපේ රටේ රණවිරුවෝ අපට ආරක්ෂා කරල දුන්නේ දේහයවත් වළල ගන්න, පුච්ච ගන්න බැරි රටක් නම් ඒක බරපතළ කනගාටුදායක සිද්ධියක්. යහපාලනය මේකද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය.

මේ රට බේරල දුන් රණවිරුවෝ මහපාරේ හිඟන්නො වගේ වැටිලා දවස් ගාණක් කෑ ගහනවා තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා.

ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැතිනම් මේ රටේ සම්බුද්ධ ශාසනය රැක්ක භික්ෂුන් වහන්සේලා මහ පොළොවේ වළලන්න යද්දී ඒකටත් තහනම් නියෝග ගන්නවා නම් නීති පනවනවා නම් මොකක්ද සිංහල ජාතියට තියෙන තැන කියන එක තමයි අපිට අහන්න වෙන්නේ.

මේ රටට ජාතියට කරන දෙයින් යහපාලනයේ අවසානය ළංවෙලා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි.

වසර 2000 කට වඩා පැරැණි ඉතිහාසයක් තියෙන උතුරු නැඟෙනහිර භූමියේ ඇති ඓතිහාසික ස්ථාන යහපාලනය පැමිණීමෙන් පසුව කෝවිල් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරනවා. කෝවිල් තිබුණට කමක් නැහැ හැබැයි ඒක මුවාවෙන් පන්සල් ටික විනාශ කරන්න හදනවා නම් ඒකට අපි භික්ෂුන් වහන්සේලා හැටියට ඉදිරියට පැමිණෙන එක කාටවත් නවත්වන්න බැහැ. ඒ නිසා මේ පිළිබඳව රජයේ දැඩි අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටිනවා.”

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

TNA ක්‍රියාකාරීන් ඥානසාර හිමිගේ රුව සහිත බැනරයකට පාවහන් යොදාගෙන පහර දී ගිනි තබයි

(25.09.2019 – colombotoday.com)

ඊයේ මුලතිව් නගරයේ දෙමල ජාතික සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ රුව සහිත බැනරයකට පාවහන් යොදාගෙන පහර දී ගිනි තබා තිබෙනවා.

එම වීඩියෝව :

+++++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=jP-EuwSwY_Q#t=6
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් (25.09.2019)

***************************************

සිංහල බෞද්ධ ජනනායකයකු ජනතාව ඇමැතුවොත් ජනපතිවරණය දිනාගන්න දමිළ සන්ධානයේ ඡන්ද කුට්ටිය අවශ්‍ය නෑ

(25.09.2019 – mawbima.lk)

ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ජනනායකයකු සිංහල ජනතාව ඉදිරියට පැමිණ ඍජුව කතා කරන්නේ නම් ජනාධිපතිවරණ ජයග්‍රහණයට දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද කුට්ටි අවශ්‍ය නොවන බවත් සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ හැකි බවත් ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවැසීය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සියලුම ජාතික සංවිධාන ඒකරාශි වෙමින් ජනාධිපතිවරණය උදෙසා ‘ජාතික සංවිධාන මතවාදය හා කාර්යභාරය’ ජනගත කිරීම සඳහා ඊයේ (24 දා) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් නලින් ද සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නලින් ද සිල්වා :

“විධායක ජානාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන වගන්තියක් ඇතුළත් කිසිදු වාර්තාවක් අපි පිළිගන්නේ නැහැ. 13 වැනි සංශෝධනය අහෝසි නොකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එපා කියන මතයේ තමයි අපි ජාතික සංවිධාන විධියට ඉන්නේ. මොන වාර්තාවේ මොන විධියට තිබුණත් විධායක සහ ව්‍යවස්ථාදායක බලය කාටවත් විමධ්‍යගත කරන්න බැහැ.

අපි ඒකීය රජයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. වෙල්ලාල ඇරෙන්න මේ රටේ සෑම දෙමළ මනුස්සයකුගේම සම්භවය තිබෙන්නේ සිංහල සම්භවයක්. අද යාපනයේ ඉන්නා මලවාර්, කරෛයිවර් සහ තවත් කුලවල අය සම්භවය හැටියට ගත්තොත් සිංහල මිනිස්සු. ඒ සිංහල මිනිස්සුම දෙමළ සංස්කෘතියට අවශෝෂනය කරගත්තාට පස්සේ තමයි ඒ අය දෙමළ වුණේ.

ඒ මිනිස්සු කවදාවත් සිංහලයන්ට විරුද්ධ වෙන්නේ නැහැ. අද සිංහලයන්ට විරුද්ධ වෙන්නේ වෙල්ලාලගේ ටික විතරයි. දෙමළ ජාතික සංවිධානයේ ඉන්න ඔක්කොම වෙල්ලාලයෝ.

ඒ වගේම තමයි 1892 දී ඉංග්‍රීසි ආණ්ඩුව 4 වැනි ආඥා පනත ඇති කළා. ඒ ආඥා පනතින් ආණ්ඩුකාරවරයාගේ අවසරයකින් තොරව බෞද්ධ නොවන කිසිදු සිද්ධස්ථානයක් හදන්න බැහැ. එහෙම සිද්ධස්ථානයක් හැදුවොත් ආණ්ඩුකාරවරයා නීතියෙන් බැඳෙන්නේ නැහැ එම ස්ථාන ආරක්ෂා කරන්න. අදටත් ඒ නීතිය ක්‍රියාත්මකයි. බෞද්ධ නොවන සිද්ධස්ථානයක් අදටත් හදන්න බැහැ ආණ්ඩුකාරවරයාගේ අවසරයෙන් තොරව. මේවා හරියට ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි රටේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ. මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනි සිංහල නිවට දේශපාලනඥයන්.

අපි ජාතික සංවිධාන විධියට අවධාරණය කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද කුට්ටි වුවමනා නැහැ හරි නායකයකුට ජයග්‍රහණය කරන්න. හොඳ සිංහල නායකයෙක් සිංහල බෞද්ධ ජනතාවට හරියට කතා කළොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්.”

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා :

“රට භාරගන්න අලුත් නායකයෙක් පත්කරන්න ඕනි වෙලාව දැන් ඇවිල්ලා තිබෙනවා. මේ රට අගාධයට පත්වෙනකම් බලාගෙන හිටපු ආණ්ඩුවේ කිසිම කෙනෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔවුන්වත් පලවා හරින්න ජනතාව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි :

“මේ රටේ ජාතික සංවිධාන කියන්නේ ජාතිකත්වය අගය කරන, විදේශ බලවේගවලට යට නොවන, රට ඒකීය වශයෙන් පැවැතිය යුතුයැයි කියන මතවාදයේ දැඩිව සිටින සංවිධාන. ඒ ජාතික සංවිධානවල මතය ඉදිරි ජනාධිපතිවරණය සඳහා කොන්දක් තිබෙන නායකයෙක් පත්කරගැනීමයි. ඒ වගේම විධායක ජනාධිපති ධුරය පිළිබඳව ජාතික සංවිධාන දරන්නේ එක මතයක්. විධායක ජනාධිපති ධුරය අපේ රටට අවශ්‍ය එකක්. ඒක තිබිය යුතුයි. මොනම හේතුවක් නිසාවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කළයුතු නැහැ කියන මතයේ අපි ඉන්නවා.

ගුරුකන්ද විහාරයේ විහාරාධිපති හිමිගේ ආදාහනය පන්සල් භූමියේම සිදුකළා. දෙමළ දේශපාලකයෝ මේක නතර කරන්න උසාවියේ තහනමක් ගන්න ගියා. ඉතා පැහැදිලිව කියන්න ඕනි මේක කළේ දෙමළ මිනිස්සු නෙමෙයි දෙමළ දේශපාලකයෝ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික සංවිධාන ඔක්කොම එකට එකතු වෙලා රට රැකගන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයකුට අපේ සහයෝගය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”

නීතිඥ කල්‍යාණන්ද තිරාණගම මහතා :

“මේ ආණ්ඩුව තරම් මේ රටට විනාශයක් කරපු ආණ්ඩුවක් තවත් නැහැ. මේ පාලනයට සම්බන්ධ වුණු කිසිම කෙනකුට සදාචාරාත්මක අයිතියක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය ඇති කිරීම සඳහා ඡන්දය ඉල්ලන්න.

මේ ආණ්ඩුව දූෂණය නීතිගත කරලා. මහ බැංකු කොල්ලයේ සැබෑ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැහැ. මහ හොරා අත්අඩංගුවට ගන්නේ නැතිව අතකොළු විතරයි අත්අඩංගුවට ගත්තේ. මේ පාලනය අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතුයි.”

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එම්.ජී.බී. කොටකදෙණිය මහතා :

“අද මේ රට පත්වෙලා තිබෙන අර්බුදයට ප්‍රධාන හේතුව තමයි දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් අතර නොමනා සම්බන්ධකම.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික සංවිධාන සම්මේලනයේ ලේකම් ධර්මානන්ද විජේසිංහ, බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අනුරාධා යහම්පත්, හැට දෙලක්ෂයේ බියපත් ඡන්ද දායකයන්ගේ සංවිධානයේ කැඳවුම්කරු බන්දුල සුබසිංහ, සිංහල වීරවිදහන සංවිධානයේ සභික එම්.එම්. බන්දුල සේන, ජාතික සංවිධාන ක්‍රියාකාරික මතුගම සෙනෙවිරුවන්, සිවුරැස ජනහඬ ලේකම් බී. කොතලාවල යන මහත්ම මහත්මින් මෙහිදී අදහස් පළ කළ අතර තවත් ජාතික සංවිධාන ක්‍රියාකාරකයෝ රැසක් එක්ව සිටියහ ෴

***************************************

ලංකාවේ තාත්තයි පුතයි ගුවන් යානයක් පදවාගෙන කටුනායකට පැමිණෙයි

(25.09.2019 – 10:49 +0530 – hirunews.lk/sinhala)

සියල්ලන් මවිත කරමින් ලංකාවේ තාත්තයි පුතයි ගුවන් යානයක් පදවාගෙන කටුනායකට පැමිණෙයි :

ශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මව්බිමට පැමිණීම ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදුවිය.

මෙලෙස මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ‘එයා ඒෂියා’ ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරණ ගුවන් යානය පදවාගෙන පැමිණියේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස උදිත දන්වත්ත සහ ඔහුගේ පුතුවන කවීෂ දන්වත්ත යි.

ඔවුන් දෙදෙනා පිළිගැනීමට උදිතගේ ආදරණීය බිරිඳ මල් මිටක් ද රැගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

එහිදී උදිත දන්වත්ත මහතා මෙසේ පැවසුවා :

“මට මේ ගුවන් ගමන ඉතාමත් සුවිශේෂී එකක්. මම මගේ පුතාත් එක්ක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ‘එයා ඒෂියා’ ගුවන් යානය පදවාගෙන පැමිණියා. එහිදී මගේ සහායක ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ මගේ ආදරණීය එකම පුතා, කවීෂ දන්වත්ත. මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක්. මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්.

මෙහිදී අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත මහතා :

“මේක මගේ කුඩා කාළයේ පටන්ම පැවති සිහිනයක්. මට අවුරුදු 22 කට පසුව ඒ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් උනා. ඉතිං මට මේ තත්වයට එන්නට උදව් කළ මගේ ආදරණීය දෙමාපියන්ට , ගුරුවරුන්ට මේ අවස්ථාවේ මම ස්තුතිය පුද කරනවා.”

මෙම පිය පුතු දෙපළ විසින් පදවාගෙන පැමිණි එයා ඒෂියා ගුවන් යානය යළිත් රාත්‍රී 10:55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්වූවා.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *