සියලු ආබාධිත රණවිරුවන් දිවි ඇති තෙක් වැටුප් ගෙවන්න කැබිනට් අනුමැතිය

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• සියලු ආබාධිත රණවිරුවන් දිවි ඇති තෙක් වැටුප් ගෙවන්න කැබිනට් අනුමැතිය

• මංගලගේ තීරණයට රණවිරුවන්ගේ විරෝධය (විඩියෝ)

• ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක

• ඇතුලු බඩ කටින් පිටකල බතලියගේ වැඩ තහනම් කරයි

• සාමනේර හිමිවරුන්ට පහරදුන් සිද්ධියේ සැකකරුට අත්හිටවූ සිර දඬුවම්

• අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

• අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 80,007 ක් පීඩාවට

• සජිත් දැන් සිමෙන්ති බෙදනවා – ආචාර්ය බන්දුල ගුණවර්ධන

+++++++++++++++++++++++++++++++++++

සියලු ආබාධිත රණවිරුවන් දිවි ඇති තෙක් වැටුප් ගෙවන්න කැබිනට් අනුමැතිය

(24.09.2019 – 18:37 +0530 – sinhala.adaderana.lk)

යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම අඛණ්ඩව සිදු කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේ දී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලැබේ.

උදාහරණයක් වශයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ යුධ හමුදා මේජර්වරයකුගේ මූලික වැටුප හා දීමනා රු. 97,205/= වේ. ඊට අමතරව සේවා විශ්‍රාම වැටුප වශයෙන් රු 10,000 ක් ද, දුබලතා විශ්‍රාම වැටුප වශයෙන් 4,000 ක් ද ඇතුළුව ආබාධිත මේජර්වරයකුගේ මාසික වැටුප වූයේ රු. 111,483 කි. ඔහු ආබාධිත සෙබළකු වශයෙන් වයස අවුරුදු 55 දී විශ්‍රාම ගැන් වූ පසු ඔහුට මෙතෙක් ලැබුණේ රු 81,000 ක විශ්‍රාම වැටුපකි.

ඒ අනුව අද දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වූ එම හමුදා නිලධාරීවරයාට ඔහු විශ්‍රාම ගැන්වීමට පෙර ලබා ගත් රුපියල් 111,483 මුදල ඔහුට දිවි ඇති තෙක් විශ්‍රාම වැටුප වශයෙන් ලැබෙනු ඇත.

ආබාධිත සෙබළුන්ගේ නියෝජිත පිරිසක් දැනට මාස කිහිපයකට පෙර මාතර දී මුදල් අමාත්‍යවරයා හමු වී ඔවුන්ගේ දුෂ්කරතාවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ බවත් ඒ අනුව මුදල් අමාත්‍යවරයා වශයෙන්, රට වෙනුවෙන් ඔවුන් කරන ලද කැපකිරීම අගයනුවස් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ට ජීවිත කාලය දක්වා අවසන් වරට ලැබූ වැටුපට සමාන මුදල ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දුන් බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ද දැනුම්වත් කිරීමෙන් පසුව මෙම සහන වීරෝධාර සෙබළුන් වෙනුවෙන් ලබා දීමට මෙම රජයට හැකිවීම සතුටට කරුණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

උතුරු නැගෙනහිර ගැටුම් අවසානයෙන් පසුව එදා පැවැති රජය වීරෝධාර සෙබළු ඇතුළු ආරක්ෂක අංශ විකුණාගෙන දේශපාලනය කරන යුගයක් පැවැති බවත් පවසන අමාත්‍යවරයා, ඔවුන් දැන් විපක්ෂයේ සිටිය දී පවා කරනුයේ පටු දේශපාලන වාසි තකා යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ දුක හා කඳුළු මත බලයට පැමිණීමට උත්සහ කිරීම බවත් සඳහන් කරයි.

පසුගිය රජයේ පාලකයන් එම සෙබළුන්ගේ සුබ සාධනය සඳහා සැලකිය යුතු කිසිවක් ලබා දුන්නේ නැති වුවත් එහෙත් මෙම රජය බලයට පත් වීමෙන් පසුව පොලීසිය හා ආරක්ෂක හමුදාවේ සියලු සාමාජිකයන්හට පසුගිය වසර 20 ක් තිස්සේ නොදුන් සහන අයවැය හරහා ලබා දීමට මුදල් අමාත්‍යාංශයට හැකි වු බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් දක්වා තිබේ.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ඉහළ නැංවීම ක්‍රියාත්මක කළ අතර, එම නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව ඉකුත් ජනවාරියේ සිට ඉහළ නැංවීමට රජය පියවර ගත් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව නිලධාරීන්ගේ සලාක දීමනාව රුපියල් 23,231 දක්වා ද, සෙසු නිලයන්ගේ සලාක දීමනාව රුපියල් 19,350 දක්වා ද මේ වන විටත් ඉහළ නංවා ඇති අතර, ඊට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව ද දෙගුණ කළ බව මුදල් අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වෙයි.

එසේම යුද, නාවික හා ගුවන් හමුදා සේවයේ රුපියල් 1000 ක කමාන්ඩෝ දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවා ඇති අතර තව ද අවුරුදු 20 ක් තිස්සේ පොලීසියේ නිලධාරීන්ට අහිමිව තිබූ උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලද අතර 31,000 කට අධික පොලිස් කොස්තාපල් සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්හට උසස්වීම් ක්‍රියාත්මක වීම පසුගිය සතියේ දී ඇරඹු බවත් එම නිවේදනයේ තව දුරටත් සඳහන්.

ආබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් මෙම වැටුප් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නුදුරේදීම සංශෝධනය කරනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබු නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

මංගලගේ තීරණයට රණවිරුවන්ගේ විරෝධය

(24.09.2019 – 19:36 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කළේ යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ,පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට විශ්‍රාම ගිය පසුවද අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.

කෙසේවෙතත් විරෝධතාවයේ නිරත අබාධිත රණවිරුවන් එම තීරණය ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් විරෝධතාවයේ නිරතව සිටියි.

ඒ තමන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද අදාළ විශ්‍රාම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ, මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් අවශ්‍ය බවත් එයට නිවේදනය අවශ්‍ය නොවන බවත්ය.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ කැඳවුම්කරු යූ. ඩී. වසන්ත මහතා පවසා සිටියේ, මෙම කැබිනට් පත්‍රිකාව විශාල වශයෙන් සංශෝධනය කර ඇති බවයි.

එනිසා එය පිළිගැනීමට නොහැකි බවත් පැවසු ඒ මහතා, විරෝධය නවතා දැමීමට සුදානම් නැතැයි ද කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක

(24.09.2019 – 21:10 +0530 – sinhala.adaderana.lk)

කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටින ආබාධිත රණවිරුවන් දෙදෙනෙක් මාරාන්තික උපවාසයක් ආරාම්භ කර ඇත ෴

***************************************

ඇතුලු බඩ කටින් පිටකල බතලියගේ වැඩ තහනම් කරයි

(24.09.2019 – 18:39 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ සේවය වහාම අත්හිටුවන්නැයි රාජ්‍ය සේවා කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා ෴

***************************************

සාමනේර හිමිවරුන්ට පහරදුන් සිද්ධියේ සැකකරුට අත්හිටවූ සිර දඬුවම්

(24.09.2019 – 13:39 +0530 – lankadeepa.lk)

හොරෙව්පොතාන ශ‍්‍රී ස්වර්ණතිලකාරාම මහ පිරිවෙනෙහි සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් ගත කර සිටි සැකකරුට වසර එකහමාරක සිර දඬුවමක් නියම කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු, මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමටද නියෝග කළේය.

ඊට අමතරව සැකකරුට රුපියල් 1,000 ක දඩයක්ද නියම කෙරිණ.

මෙසේ දඬුවම් නියම වූයේ හොරොව්පොතාන මැදගම පදිංචි චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකුටය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (24) යළි කැඳවූ අවස්ථාවේ තමන් වරද පිළිගන්නා බව පැමිණිලිකාර සාමනේරු හිමිවරුන්ට විවෘත අධිකරණය්දී වැඳ නමස්කාර කරමින් සැකකරු ප‍්‍රකාශ කිරීමෙන් පසුව ඔහුට මෙලෙස දඬුවම් නියම කරනු ලැබීය.

සුළු සිද්ධියක් පදනම් කර ගනිමින් වයස අවුරුදු 10 සහ 14 වියෙහි පසුවන සාමනේර හිමිවරුන් දෙනමකට අමානුෂික පහරදීම සම්බන්ධයෙන් සැකකරු ලැජ්ජාවට පත් විය යුතු බව ඔහුට දඬුවම් නියම කරමින් ප‍්‍රකාශ කළ විනිසුරු අල්විස් මහතා සැකකරු සම්බන්ධයෙන් යළි මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් ඔහුට උපරිම දඩුවම් ලබාදීමට අධිකරණය පසුබට නොවන බවටද දැන්වීය.

උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප‍්‍රතාප් සෙනරත් සදුන්ගහවත්ත මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් කැබිතිගොගල්ලෑව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා සදහන් කළේ මෙම සිද්ධිය පිලිබදව උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සදුන්ගහවත්ත මහතාගේ නියෝග මත පොලිස් කන්ඩායම් තුනක් මගින් විමර්ශන මෙහෙයවූ බවයි.

අදාල සියලු විමර්ශන මේ වන විට අවසන්ව ඇති බවද අධිකරණයට සැලකළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සැකකරු මෙම පරදීම සිදු කර ඇත්තේ ආගමික ගැටුමක් නිර්මාණය කිරීමේ අරමුණින් නොවන බවට එම විමර්ශනවලදී තහවුරු වී ඇතැයිද කීවේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය පිළිබඳව මුල් බී වාර්තාව මගින් ප‍්‍රධාන පොලිස් පරික්ෂක කීර්ති ජයන්ත මහතා සඳහන් කළේ සැකකරුට අයත් කුඩා වෙළෙදසැලක් හොරොව්පොතාන මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති බවයි.

එම වෙළෙද සැලෙන් දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමනේර හිමිවරුන් ඉකුත් 10 වන දින පැමිණි අවස්ථාවේ සැකකරු මෙම පරදීම සිදු කර ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැන්වීය. රුපියල් 10 ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබා ගත් බවට චෝදනා කරමින් සැකකරු සාමනේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බව දැනට සිදු කර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වූ බව අධිකරණයට සැලකළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාමනේර දෙනම මුදල් නොගෙවා හොරෙන් සැකකරුට අයත් වෙළෙඳ සැලෙන් චොක්ලට් ලබා ගෙන නැති බව පොලිස් විමර්ශනවලදි තවදුරටත් හෙළි වී ඇතැයිද අවධාරණය කළේය.

සැකකරු සාමනේර හිමිවරුන්ගේ පහර දෙන අයුරු සිද්ධිය වූ ස්ථානය අසළ සීසීටීවී කැමරාවක පැහැදිලිව සටහන්ව ඇති බවද අධිකරණයට කියා සිටි ප‍්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත මහතා සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති වීමේ දැඩි අවදානමක් පවතින බවද කීවේය.

සැකකරුගේ පහරකෑමට ලක් වූ සාමනේර දෙනම හොරොව්පොතාන මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා තවදුරටත් අධිකරණයට දැන්වීය.

කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි කොඩිසිංහ මහතා ලබා දුන් විශේෂ නියෝගයකට අනුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා විසින් සැකකරු සම්බන්ධයෙන් මූලික නීතිමය කටයුතු සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය ෴

***************************************

24-09-2019

***************************************

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

(24.09.2019 – navy.lk)

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයුක්ත කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේවන විට සහන කණ්ඩායම් යොදවා ඇති අතර, ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් අනුයුක්ත කර ඇත.

ඒ අනුව, මේ වන විට නාවික හමුදාව විසින් සිවිල් වැසියන් 417 දෙනෙකු ආරක්ෂිත ස්ථානයන් වෙත ප්‍රවාහනය කිරීමට සමත්ව ඇති අතර, ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 18 දෙනෙකු බේරාගෙන ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමට ද කටයුතු කරන ලදී. එමෙන්ම ඕනෑම හදිසි අවස්ථාවකදී යෙදවීම සඳහා සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවත් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වන විටත් නාවික විධානයන්හි සූදානමින් තබා ඇත.

+++++++++++++++++++++++++++++++++++

24-09-2019

+++++++++++++++++++++++++++++++++++

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 80,007 ක් පීඩාවට

(25.09.2019 – 06:44 +0530 – sinhala.adaderana.lk)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08 කට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වි ඇති බවයි.

පවුල් 20,815 කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ද තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඕනෑම ආපදා තත්ත්වයට මුහුණුදිම සදහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනේ නිරතදිග කොටසේ දැනට පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවිමක් හෙට දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අද දිනයේත් බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴

***************************************

සජිත් දැන් සිමෙන්ති බෙදනවා – ආචාර්ය බන්දුල ගුණවර්ධන

(24.09.2019 – 21:36 +0530 – sinhala.adaderana.lk)

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ නීති කඩකරමින් වීරවිල ප්‍රදේශයේදී ජනතාවට සිමෙන්ති බෙදා දීමක් සිදුකරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ජනහමුවකදි ඒ මහතා මේ බව සඳහන් කළේය.

වීරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දන්සලක් ලෙස මෙලෙස සිමෙන්ති බෙදන බවද මන්ත්‍රීවරයා පවසයි.

මෙය මැතිවරණයට අල්ලස් ලබා දීමක් ලෙස මන්ත්‍රීවරයා පැවසීය.

නමුත් පසුගිය ජනපතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරිම ද නතර කළ බව මන්ත්‍රීවරයා පවසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *