අවසන් මොහොතේ ගෝඨාභය මැතිතුමා හිරේ දාලා ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කරයිද ?

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

අවසන් මොහොතේ ගෝඨාභය මැතිතුමා හිරේ දාලා ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කරයිද ?

• අත්අඩංගුවට ගෙන ගෝඨාභය ජනපති වීම වැළැක්විය හැකිද? මෙන්න නීතිය (විඩියෝ)

• ගෝඨාභය හොර ඡන්ද දැම්මා ද? මඩ වලට මෙන්න පිළිතුරු (විඩියෝ)

• දිල්රුක්ෂි සහ සේනාධිපතිගේ දුරකථන සංවාදය ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ (විඩියෝ)

• දිල්රුක්ෂි ජරා ජීර්ණ දේශපාලඥයින් ලෙස නම් කළේ කවුරුන්ද හෙළි කරන්න – ජනපති

• නෙළුව නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක සිදුවූ රන්මුදු සොරකම – CCTV (විඩියෝ)

• ආබාධිත රණවිරුවන් අදත් (21) මහ පාරේ

• “බුර්කා තහනම ඉවත් කිරීම ගැටලුවක්” – ශ්‍රීපනිපයත් ආණ්ඩුවේ ඇමතිවරයෙකුත් කියයි (ඔඩියෝ)

• “වාඩි වුණේ අර්බුදයක් ඕනේ නැති නිසා” – වාඩි වෙන්න කලින් තේරීම් කාරක සභා සාමාජිකයින් ඉදිරියේ වෙච්ච දේ ජනපති හෙළිකරයි (ඔඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

අවසන් මොහොතේ ගෝඨාභය මැතිතුමා හිරේ දාලා ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කරයිද ?

(22.09.2019 – 03:26 +0530 – lankacnews.com)

විපක්ෂ නායක කාරයාලයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

“ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබිය දී මෙවැනි විර්මශනයක් ආරම්භ කර තිබීම නිසා අවසන් මොහොතේ ගෝඨාභය මැතිතුමා හිරේ දාලා ඡන්දය ඉල්ලීම් අවස්ථාව අහිමි කරන්න ගෝඨා භය කියන භයානක රෝගයෙන් පෙලෙන මේ ආණ්ඩුව කටයුතු කරන බවට ජනතාව තුල කුකුසක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ නීතිමය තත්වය පැහැදිලි කිරීම අපේ යුතුකමක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89(ඈ) වගන්තිය අනුව යම් පුද්ගලයෙකු වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම වී එයින් මාස හයක් සිර දඬුවම විඳ ඇත්නම් වසර හතකට මැතිවරණයකට තරග කරන්න බෑ. එහෙම නම් ගෝඨාභය මැතිතුමාට එරෙහිව හෙට නඩුවක් පවරලා හෙටම තීන්දුව දීලා වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම කළත් එතුමාට ඡන්දය ඉල්ලන්න බාධාවක් නෑ. ඇයි? නාමයෝජනා භාර දෙන දිනය වන විට සිර දඬුවමෙන් මාස හයක් ගත වී නැති නිසා. අද සිට නාමයෝජනා සඳහා තිබෙන්නේ දින 15 ක පමණ කාලයක්. එතුමාව සිරගත කරලා එතුමාට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව අහිමි කිරීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් තිබෙනවා නම් කාලයා විසින් එම කුමන්ත්‍රණය දැනටමත් පරාජය කර හමාරයි.

තවත් සමහරු මෙහෙමත් අහනවා. මේ කුරුමානම අල්ලන්නේ නාමයෝජනා දිනයේ දී අත්අඩංගුවට අරගෙන නාමයෝජනා භාර දීම වලක්වන්න නේද කියලා. ආණ්ඩුව ඇත්තටම එහෙම සිතා ගෙන ඉන්නවා නම් ආණ්ඩුවට වැරදිලා. 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ පනතේ 13(1) වගන්තිය අනුව ජනාධිපතිවරණ නාමයෝජනා භාර දීම අපේක්ෂකයාට හෝ ඔහුගේ නම යෝජනා කරන තැනැත්තාට කරන්න පුළුවන්. 12(1) වගන්තියෙන් කියනවා කාටද නාමයෝජනා පත්‍රයට අත්සන් කල හැක්කේ කියලා. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉල්ලනවා නම් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා. ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්. ගෝඨාභය මැතිතුමාට හෝ පොදුජන පෙරමුණේ ලේකම්තුමාට නාමයෝජනා භාර දෙන්න පුළුවන්. සිරගතකලත් රක්ෂිත බන්ධනාගාර ගත කලත් ගෝඨාභය මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නතර කරන්න මොන සක්කරයටවත් බෑ කියන එක අපි ඉතාම වගකීමෙන් කියනවා.

ඔච්චරටම ආසාවක් තිබෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිරේ දාන්න; කරුණාකරලා ඒක කරන්න. ඉන් අපිට වාසියක් මිස අවාසියක් නෑ. ලංකාවේ තිබෙන අනුකම්පා ඡන්ද අනුව නම් ඡන්ද කාලයේ හිරේ දාන එක අපට වාසියි. 1988 දී කලුතර දිස්ත්‍රිකයෙන් කෝඩුකාර අප්ක්ෂකයෙක් ඉදිරිපත්වුණා තිලත් කරුණාරත්න මැතිතුමා. මැතිවරණයේ මැද තිලක් කරුණාරත්න මැතිතුමාව හිරේ දැම්මා. එතුමාගේ ආධාරකරුවන් පෝස්ටරයක් ගැහුවා තිලත් කරුණාරත්න සිපිරිගෙයින් මැතිසබයට කියලා. ප්‍රතිඵලය මොකද්ද? රත්නසිරි වික්‍රමනායක, අනිල් මුණසිංහ, නෙවිල් ප්‍රනාන්දු වැනි දැවැන්ත චරිත පස්සට තල්ලු කරලා කෝඩුකාර තිලක් කරුණාරත්න මැතිතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා.

ඒ වගේම 2010 දී මැතිවරණය මැද පාලිත තෙවරප්පෙරුම මැතිතුමා හිරේ දැම්මා. ප්‍රතිඵලය? එතුමා මනාප ලැයිස්තුවේ පළමුවැනියා වුණා. 2015 මැතිවරණයේ දී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිතුමාව හිරේ දැම්මා. රත්නපුරේ හැමදාම පළමුවැනියන් වන පවිත්‍රා මැතිණිය සහ ජෝන් සෙනෙවිරත්න මැතිතුමා පහලට ඇද දමලා ප්‍රේමලාල් මැතිතුමා පළමුවැනියා වුණා.

ඒ නිසා මේ වෙලාවේ ගෝඨාභය මැතිතුමා හිරේ දාන එක අපේ මැතිවරණ ව්‍යාපාරයට ලබා දෙන සහයෝගයක් හැටියටයි අපි දකින්නේ. ඒ උදව්වත් බාරගන්න අපි සූදානම්.”

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++

අත්අඩංගුවට ගෙන ගෝඨාභය ජනපති වීම වැළැක්විය හැකිද? මෙන්න නීතිය

https://www.youtube.com/watch?v=XoDBXLv_53M

+++++++++++++++++++++

ගෝඨාභය හොර ඡන්ද දැම්මා ද? මඩ වලට මෙන්න පිළිතුරු

https://www.youtube.com/watch?v=x3wkJoYYWv4

***************************************

දිල්රුක්ෂි සහ සේනාධිපතිගේ දුරකථන සංවාදය ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ

(21.09.2019 – 19:35 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම, වත්මන් සොලිසිටර් ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඊට අදාළ විමර්ශන පැවැත්වීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත නීතිපතිවරයා විසින් එළඹෙන සඳුදා යොමු කිරීමක් සිදුකිරීමට නියමිත බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

එම දුරකථන සංවාදය ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඊයේ සමාජ මාධ්‍යයට මුදා හැරියා.

ඒ, සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබන අතරතුරයි.

මේ අතර, අදාළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වත්මන් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබුණා.

ඇය එමඟින් කියා සිටියේ සම්පූර්ණ හඬ ඇමුණුමම මුදා හරින ලෙසයි.

https://www.youtube.com/watch?v=OMqPOGMkPCI#t=5

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

දිල්රුක්ෂි ජරා ජීර්ණ දේශපාලඥයින් ලෙස නම් කළේ කවුරුන්ද හෙළි කරන්න – ජනපති

(21.09.2019 – 20:06 +0530 – sinhala.adaderana.lk)

දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිය දුරකථන සංවාදය හරහා ජරා ජීර්ණ දේශපාලඥයින් ලෙස නම් කළේ කවුරුන්දැයි හෙළි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ත්‍රික් සම්මේලනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ පැවැත්වුණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ විධායක ජනාධිපතිධූරය අහෝසි කළයුතුය යන්න එදා මෙන්ම අදද තම දේශපාලන ප්‍රතිපත්තිය බවයි.

එමෙන්ම එය අතපසු කළේ තමා නොව, පාර්ලිමේන්තුව බවත්, එහෙත් මැතිවරණයක් නිවේදනයකර ඇති මේ මොහොතේ ඊට උත්සාහ දැරීම විහිළුවට කරුණක් බවත් කියා සිටියේය.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳවු හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප්‍රකාශය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එය ඉතා වැරදි ප්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවත් ය.

එමෙන්ම මේ දිනවල මාධ්‍යවල පළවන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ හඬපටය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා සිහිපත් කළේ, එතුමිය සිය තනතුර අතහැර ගියේ තම අනුදැනුමකින් තොරව හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු අධිකරණයට ගෙන ගිය අවස්ථාවේ තමා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් බවයි.

උදේ සිට සවස 4.00 වන තුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රාජකාරි කර සවස 6.00න් පසු අරලිගහ මන්දිරයේ දූෂණ වංචා ලේකම් කාර්යාලයේ රාජකාරි කළ දිල්රුක්ෂි ඩයස් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයක් සඳහා පත්කරන ලෙස මෑතක දී ද අග්‍රාමාත්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලීමක් කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා, දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ හඬපටයේ සඳහන්වන අන්දමින් වැරදි විදියට නඩු දමන්න ඇයට උපදෙස් ලබා දුන් එම පහත් පෙළේ දේශපාලනඥයන් කවුදැයි රටට හෙළි කරන ලෙස තමා එතුමියට දන්වන බවත් එය රටට අනාවරණය කිරීම අත්‍යාවශ්‍ය බවත් කියා සිටියේය.

මේ අතර ඊයේ දින තමා සහ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභා නියෝජිතයන් අතර පැවති හමුව මාධ්‍යයට අනාවරණය නොකිරීම තමාගේ ඉල්ලීමට අනුව සිදුවූ බවට කෙරෙන අසත්‍ය ප්‍රචාර පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එම සාකච්ඡාව ආරම්භයේ සිට අවසානය දක්වා මාධ්‍යයට විවෘත කිරීමට තමා සියලූ කටයුතු සූදානම් කර තිබුණත් එසේ නොකරන ලෙස ඉල්ලා සිටියේ එම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව විසින්ම බවයි.

අදාළ සිදුවීම පිළිබඳ අදහස් සහ යෝජනා ලබාගැනීමට තේරිම් කාරක සභාව තමාගෙන් ඉල්ලීමක්කර තිබූ අතර, එහිදී තම අභිමතය පරිදි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා දන්වා තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස තමා එම අවස්ථාව ලබාදුන් බව කියා සිටි ජනාධිපතිතුමා සැඟවීමට කිසිවක් තමාට නොමැති අතර අදාළ සිදුවීම පිළිබඳ සියලූ සත්‍ය කරුණු තමා එම නියෝජිතයන්ට පැවසූ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව සංවිධානය කරන දිස්ත්‍රික් සමුළු මාලාවේ මාතලේ දිස්ත්‍රික් සමුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාක්ෂිකන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද (21) පස්වරුවේ නාවුල දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අලුතින් කෙතරම් දේශපාලන පක්ෂ බිහිවුවද එම දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ කෙතරම් දුරට ජනතාවාදී ද යන්න ජනතාවගේ අවධානයට ලක්විය යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් දේශපාලන පක්ෂයක් බවත්, සංඛ්‍යාත්මකව ගණන් හැදීමට වඩා වැදගත් වන්නේ දේශපාලන පක්ෂයක ගුණාත්මක භාවය බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා පත්කරගත හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලවේගයක් තුළින් පමණක් බවයි.

සියලූදෙනා රැකගනිමින් රට ගැන සිතන ජාතික වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන බවත් එහි ශක්තියයට පත් කිරීමට කිසිවෙකුට නොහැකි අතර අලූතින් පත්වූ දේශපාලන පක්ෂවලට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දූෂණ වංචා, අවස්ථා වාදය සහ පවුල් වාදය පිළිබඳ කිසිදු චෝදනාවක් නොමැති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

***************************************

නෙළුව නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක සිදුවූ රන්මුදු සොරකම – CCTV දර්ශන සහිතයි

(22.09.2019 – 09:57 +0530 – sinhala.adaderana.lk)

පසුගිය දිනක නෙළුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවකයකු මුලා කොට රුපියල් 40,000 ක් පමණ වටිනා රන් මුදුවක් සොරකම් කර ඇත.

නෙළුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි හලකට පැමිණි පුද්ගලයෙකු රන් මුදුවක් මිලදී ගැනීමට එහි සේවකයෙකුගෙන් විමසා ඇත.

සේවකයා විසින් විවධ මාදිලි වලින් තැනු රන් මුදු පැමිණි පුද්ගලයාට පෙන්වා දෙන අතරතුර සුක්ෂමව සේවකයා මුලා කොට සොරකම සිදු කර ඇත.

තෝරාගත් මුදුව මිලදී ගැනීම සඳහා මුදල් හිඟකමක් ඇති හෙයින් අසල පිහිටි බැංකුවක් වෙත ගොස් මුදල් රැගෙන එන බව පවසමින් ඔහු අලෙවිසැලෙන් පිටතට ගොස් ඇත.

එහි සේවකයා විසින් ස්වර්ණාභරණ නැවත පෙට්ටි තුල අසුරන අවස්ථාවේ රන් මුදුවක් අස්ථානගතවීඇති හෙයින් වෙළදසැලේ කළමනාකාරීත්වය දැනුවත් කර එහි සවිකර තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී සුක්ෂම අයුරින් රන් මුදුවක් සොරාගන්නා ආකාරය පටිගත වී ඇත.

මේ සම්බන්ධයෙන් නෙළුව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ වන විට නෙළුව පොලීසිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

***************************************

ආබාධිත රණවිරුවන් අදත් (21) මහ පාරේ

(21.09.2019 – 19:32 +0530 – sinhala.adaderana.lk)

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වන්නේ පසුගිය 11 වනදා සිටයි.

ඊයේ (20) රාත්‍රියේද විරෝධතාවයේ නිරත අබාධිත රණවිරුවන්ට ජනතාව විසින් ආහාර පාන පිරිණැමුවේය.

මේ අතර ඊයේ (20) රාත්‍රියේ එම ස්ථානයට පැමිණි මදුමාධව අරවින්ද ඇතුලු කලාකරුවන් පිරිසක් විරෝධතාකරුවන් සමඟ ගීත ගායනා කරනු දක්නට ලැබුණි.

අද (21) පෙරවරුවේ කොටුවේ පොඩි හාමුරුදුරුවෝ නමින් හැඳින්වෙන පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමිද එම විරෝධතාව පැවැත්වෙන ස්ථානයට වැඩම කර විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසා සිටියේය.

මේ අතර මෙම විරෝධතාවයට සහය පළ කරමින් මොනරාගල දිස්ත්‍රික් මහා සංඝරත්නය හා ප්‍රදේශවාසි රණවිරු පවුල් එක්ව මොනරාගල නගර මධ්‍යයේ පිහිටි බෝධිය ඉදිරිපිටදී ඊයේ ආශිර්වාද පූජාවක නිරත වුණි ෴

***************************************

“බුර්කා තහනම ඉවත් කිරීම ගැටලුවක්” – ශ්‍රීපනිපයත් ආණ්ඩුවේ ඇමතිවරයෙකුත් කියයි

(22.09.2019 – nethnews.lk)

නිකාබය, බුර්කාව සහ මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණය ජාතික ආරක්‍ෂාවට ගැටළුවක් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

එහි උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා පැවසුවේ මුස්ලිම් දේශපාලනඥයින්ගේ උවමනාව මත ආණ්ඩුව මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

නිකාබය, බුර්කාව සහ මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් ආණ්ඩු පාර්ශ්වයෙන්ද විමසීමක් කළා. අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඒ පිළිබද අදහස් දක්වමින් කියාසිටියේ මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ද ඊට විරෝධය පළ කරන බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලුම් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේ නිකාබය, බුර්කාව සහ මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් වාසි ලබාගැනීමට බවයි.

***************************************

“වාඩි වුණේ අර්බුදයක් ඕනේ නැති නිසා” – වාඩි වෙන්න කලින් තේරීම් කාරක සභා සාමාජිකයින් ඉදිරියේ වෙච්ච දේ ජනපති හෙළිකරයි

(22.09.2019 – nethnews.lk)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තමන්ගෙන් සාක්‍ෂි විමසීමේ අවස්ථාව මාධ්‍යයට අනාවරණ නොකළේ එම සභාවේ ඉල්ලීමකට අනුව බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

තමන් මෙය මාධ්‍යයට විවෘත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබූ බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී “මම කරන ප්‍රකාශය රටේ ජනතාවට දැක ගන්න මම සූදානම් කර තිබුණා. තේරීම් කාරක සභාවේ ඔක්කොම එක හඬින් කිව්වා මාධ්‍යට දෙන්න බැහැ. කැමරා අවශ්‍ය නෑ මෙතනට කියලා.” යනුවෙන් සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නාවුල ප‍්‍රදේශයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාතලේ දිස්ති‍්‍රක් සමුළුව අමතමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *