පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

(11.08.2019 – 16:02 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2568182263403012/

+++++++++++++++++++++

ජනපති අපේක්ෂක ගෝඨාභය කැලණි විහාරයට

(11.08.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ඓතිහාසික කැලණිය රජමහා විහාරය වැඳ පුදා ගෙන ආශිර්වාද ලබාගැනීම සඳහා රජමහා විහාරය වෙත පැමිණියා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගෝඨා වෙනුවෙන් දිවයින පුරා ප්‍රීති ඝෝෂා

(11.08.2019 – 17:14 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ දිවයින පුරා ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත් වීය.

පිටකොටුව, පිළියන්දල, ගම්පහ, එයාර්පෝර්ට් මංසන්ධිය, කළුතර, මහනුවර, නුවරඑළිය – රාගල, දඹුල්ල, ගාල්ල බස්නැවතුම්පොළ, මාතර – දික්වැල්ල, හම්බන්තොට – බෙලිඅත්ත, යාපනය බස්නැවතුම්පොළ, මුලතිව් පොදු වෙළඳපොළ, මන්නාරම, කිලිනොච්චිය, වැලිඔය – ඇතාවැටුණු වැව, මඩකලපුව බස්නැවතුම්පොළ, අම්පාර, කන්තලේ, කුරුණෑගල, පුත්තලම – ආරච්චිකට්ටුව, අනුරාධපුර, පොළොන්නරුව – කදුරුවෙල, බදුල්ල, මොණරාගල, කෑගල්ල – රඹුක්කන, අවිස්සාවේල්ල, දිවුලපිටිය, ගම්පොළ, මාතර, රත්නපුර – නිවිතිගල යන ප්‍රදේශ වල මෙලෙස ජනතාව සිය සතුට ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ගෝඨාගේ පළමු පොරොන්දුව

(11.08.2019 – 16:35 +0530 – sinhala.adaderana.lk)

ඓතිහාසික සමුළුවේ දී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂත්වයට තමාව පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව මේ මෙහොතේ අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම සමුළුව ආරම්භ කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ, ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට පත් කරනු ලැබීය.

විප්ලවීය වෙනසක් නිර්මාණය කරන්න තමාට බාර දීම යුග මෙහෙවරක් ලෙස සලකන බවද කියා සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා, තමා රටට ආදරය කරන බවත්, තමාට රට ගැන දැක්මක් ඇති බවත් මව්බිමට සෞභාග්‍ය උදා කිරීමට ඇති අවස්ථාවක් ලෙස මෙය බාර ගන්නා බවත් පැවසීය.

ජනතාව ඉදිරියේ අවශ්‍ය නායකත්වය සැපයීමට සුදානම් බව ඉතා වගකීමෙන් පවසන බවත් කියා සිටි ගෝඨාභය මහතා, කිසිවිටෙකත් තමා සීමාවලට කොටු නොවී වැඩ කරන බවද සඳහන් කළේය.

තමාගේ රටට එරෙහි වන කිසිවෙකුට හිස නැමවේ නැති බවත්, අනාගතයේ දීත් රටේ සෛවරීයභාවයට අත තියන කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැති බව ද ගෝඨාභය මහතා වැඩිදුරටත් පැවසීය.

අද වන විට රටට අවශ්‍ය වන්නේ විනයගරුක දුෂණයෙන් තොර දේශප්‍රේමී නායකත්වයක් බවත් පැවසු ගෝඨාභය මහතා, ජනාධිපතිවරයාගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ එවැනි ගුණාංග බවද කියා සිටියේය.

අපේ රජයක් තුළ පළමු කාර්යභාරය වන්නේ රටේ පුර්ණ ආරක්ෂාවක් තහවුරු කිරීම වන බවද ගෝඨාභය මහතා මෙහිදී පැවසීය.

යළිත් ලංකාව ලෝකයේ සුරක්ෂිතම රට බවට පත් කළ හැකි බව ඉතා විශ්වාසයෙන් පවසන බවත්, දූදරුවන්ගේ ආරක්ෂාව තමා බාර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විවිධ ආගම් අදහන පුද්ගලයින් සිටින බවත්, එකිනෙකාගේ සංස්කෘතියට ගරු කළ පිරිසක් බවත්, අපගේ ශක්තිය විය යුත්තේ එය බවද පැවසීය.

උතුරේ ජනතාවට විශේෂිත වු ගැටළු ඇති බවත්, එම ගැටළු නිසැකයෙන්ම විසඳා දැමීමට තම රජයක් තුළින් ක්‍රියාකරන බවද පැවසු ගෝඨාභය මහතා, රටේ අනාගත පරපුර දැනුමින් පෝෂණය කිරීමට ද විශේෂ අවධානයක් යොමු කරන බව කියා සිටියේය.

කාන්තාවකට බිය නැතුව ඕනෑම තැනක යා හැකි රටක් අපි ගොඩ නගන බවද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව හමුවේ පවසා සිටියේය.

කිසිදු රටකට සෛවරීත්වය බිඳ දැමීමට ඉඩ නොදෙන බවද පැවසු ඒ මහතා, කිසිදු රටක් ඉදිරියේ දණ නොගසන යුගයක් නැවත ඇති කරන බවද පැවසීය.

ඉදිරියේ එන ජනාධිපතිවරණය රටට ඉතාම තීරණතාමක බවත් එය රටේ අනාගතය තීරණය කරනු ඇති බවත් ඒ වෙනුවෙන් සියලු දෙනාට පක්ෂ භේදයෙන් තොරව අත්වැල් බැඳගන්නා බවද ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙහිදී කියා සිටියේය.

සමස්ත මැතිවරණ ව්‍යාපාරයම විනය ගරුක ලෙස පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත්, මැතිවරණ ව්‍යාපාරය තුළ පරිසර ආරක්ෂණයට මුල් තැන ලබා දෙමින් ඉටු කරමු යනුවෙන් ද මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා සභාව අමතමින් පැවසීය ෴

+++++++++++++++++++++

වෛර කරලා දිනා ගන්න දෙයක් දැන් මට නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

(11.08.2019 – 15:37 +0530 – sinhala.adaderana.lk)

වෛර කිරීමෙන් ලබා ගත හැකි දෙයක් අද වන විට තමාට වත්මන් දේශපාලනය තුළ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය මීට සුළු මොහොතකට පෙර උත්කර්ෂවත් අයුරින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගනයේදී ආරම්භ වී ඇත.

මීට සුළු මොහොතකට පෙර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම සමුළුව අමතමින් මෙම අදහස් පළ කළේය.

සියලු පුරවැසියන්ට ජාති, ආගම්වලින් තොරව එකට සිටිය හැකි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස පක්ෂ අද දිනයේ දී නිර්මාණය කළ බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එයට මුල්වු බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

මේ දිනය උදාවෙන එක නැවැත් වීමට වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ වැඩ කළ බවත් රාජපක්ෂ පවුලේ අයට දේශපාලනයට පැමිණීමට ඒමට නොහැකි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරල බවත්, ඔවුන් එවැනි දේ කරමින් තම නිදහස උදුරා ගත් බවත්, එනමුදු රටේ නිදහස වෙනුවෙන් තම නිදහස කැප කල බවත් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

කිසිදු ආගමකට දර්මයකට වත්මන් ආණ්ඩුව සැලකුවේ නැති බවත්, වෛරකාර මෙම දේශපාලනයට යා හැකි දුර අද වන විට තීරණය වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

වෛරය ඉදිරියට ගෙන යෑමට බලයට නොපැමිණෙන බවත්, තමන්ට ආදරය කරන ජනතාව දෙස පමණක් බලා සිටින බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිට වු දා සිට එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළ බවත් එහෙත් 2015 පසුව සිරිකොතේ හෙවනැල්ල වැටුණාම රටට ආදරය කරන අයට එතැන ඉන්න බැරි වු බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ කුණු කඳු ගොඩ ගැහිලා ගඳ ගහනකොටත් ජනතාවට අපිව මතක් වු බවත් කියා සිටි රාජපක්ෂ මහතා, කොළඹ බෝම්බ පිපිරෙන කොට සියලු ජනතාවට අපිට මතක් වු බවත් එයින් අසරණ වු ජනතාව වෙනුවෙන් පොහොට්ටුව නිර්මාණය කළ බවත් සඳහන් කළේය.

අද වන විට කාලය විසින් තමාව නිර්දෝෂී කර අවසන් බවත් රටට නිර්දේශ කර අවසන් බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා තමාට බාර ගැනීමට ඇත්තේ බාර දුන් රට නොව විනාශ වු රටක් බවත් පැවසීය.

රටේ පළමුවෙන් ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, එසේ නොමැති නම් රටක් ගොඩනැඟිය නොහැකි බවත් පැවසු රාජපක්ෂ මහතා, අපේ දරුවන් පාසල් යවා දෙමාපියන් මුරට යන කාලය අවසන් කළ යුතු බවත් කියා සිටියේය.

ඕනෑම ආගමකටම තම පන්සල්, පල්ලිවලට යා හැකි රටක් සෑදිය යුතු බවත් පැවසු රාජපක්ෂ මහතා, සෑම මුස්ලිම් ජනතාවම ත්‍රස්තවාදීන් යැයි කියන රටක් නොවෙයි අපට හදන්න ඕනේ යනුවෙන් ද පැවසීය.

365 දවසම අපේ රට ගැන බලා ගන්නා පුද්ගලයෙක් රටට අවශ්‍ය බවත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව රට සෑදිය හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

විනයක් රටට අත්‍යාවශ්‍ය බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා විනයක් සමඟ සෑදුන පුද්ගලයෙකුට පමණයි රටක් නිසි මඟට ගත හැක්කේ යනුවෙන්ද පැවසීය.

මහපොළොවේ ඇති සම්පත් පමණක් නොව සාගර ආර්ථිකයක් සෑදිය යුතු බව සිතු අයෙක් ජනාධිපතිවරණයට ගෙන එන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

‘මම කරනවා’ කිව්ව කෙනෙක් නොවෙ කරලා පෙන්නපු පුද්ගලයෙක් ගෙන ආ යුතු බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව රවට්ටන්නේ නැති අයෙක් තම අපේක්ෂකයා විය යුතු බවත්, නීතිය නවන අයෙක් රට අවශ්‍ය නොවන බවත්, කෘෂිකර්මාන්ත නංවාලිය හැකි අයෙක් රටට අවශ්‍ය බවත් පැවසීය.

එදා රැවටුණ තරුණයින් අද දේශපාලනය යන වචනයටත් වෛර කරන බව පැවසු මහින්ද රාජපක්ෂ මහතා, අපිට අවශ්‍ය වන්නේ අනාගතය ලෙස බලන අයෙක් විය යුතු බවත්, කියා සිටියේය.

රටට ආදරය කෙනෙක් රටේ සියලු දෙනා ඉල්ලු බවත්, තමාට වැදගත් වන්නේ තමාගේ කැමැත්ත නොව රටේ තේරීම බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

ජනතාව පැවසු සියලු දේ ගැන සිතා අලුත් අයෙක් සොයා බැලූ බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, තමා තේරුවත් නැතත් ඔහු ජනතාවගේ සහෝදරයා වී අවසන් බවද කියා සිටියේය.

ඒ අන් කිසිවෙක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පත් කිරීමට නියමිත බව ද මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“මම තේරුවත් නැතත් ඔහු ඔබේ සහෝදරයා වෙලා ඉවරයි” යනුවෙන් පැවසු මහින්ද රාජපක්ෂ මහතා “මගේ සහෝදරකමින් මම ඔහුව ඔබට බාර දෙනවා” යනුවෙන් ද සඳහන් කළේය.

“ගෝඨා කවදාවත් මාව ජනාධිපති කරන්න කියලා ඉල්ලුවේ නෑ” යනුවෙන් ද පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ‘ඔබේ දෑත් ශක්තිමත් කරන්න මිස ඔහුගේ දෑත් ශක්තිමත් කිරීමට මෙලෙස පත් නොකල’ බවද පැවසීය.

දෙවනුවත් තෙවනුවත් මට වටින්නේ මගේ රට නිසාවෙන් ඔබට එය එසේ විය යුතුයි ‘ගෝඨා’ යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

+++++++++++++++++++++

පොහොට්ටු සමුළුව පුද්ගලික රූපවාහිනී නාලිකා වාර්තාවක.. සියළු පුද්ගලික නාලිකා සජිවිව විකාශය කරයි..

(12.08.2019 – 06:32 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සිය පක්ෂයේ පලමු සම්මේලනය මෙරට සියලු පුද්ගලික රූපවාහිනි නාලිකාවන් ඔස්සේ සජීවීව විකාශණය කරන ලදී.

දෙරණ, හිරු, ස්වරණවාහිනී, සිරස, ශක්ති, TV1, සියත, ටීඑන්එල්, දෙරණ24 යන සියළු පුද්ගලික නාලිකා ඔස්සේ එය විකාශණය කරනු ලැබීය.

එය විකාශනය නොකරන ලද්දේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මගින් පමණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉහළම ප්‍රකාශකයෙකු කියා සිටියේ කිසිදු රූපවාහිනි නාලිකාවකට තම පක්ෂය විසින් මෙම විකාශණ කටයුතු සඳහා කිසිදු මුදලක් නොගෙවූ බවයි.

ඔවුන් ස්ව කැමැත්තෙන් නොමිලේ කල විකාශණ කටයුත්තට සිය ස්තුතිය පල කරන බවද සදහන් කලේය ෴

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *