පාස්කු ප‍්‍රහාරය තෙක් ආර්ථිකය හොදට තිබ්බාලු.. මොන බොරුවක්ද.. සංඛ්‍යාලේඛණ මෙන්න..

(26.06.2019 – 06:28 +0530 – lankacnews.com)

වියත්මග සංවිධානය මගින් මාතලේ සංවිධානය කර තිබූ සම්මන්ත‍්‍රණය මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලාවේ පැවති අතර මෙය සංවිධානයකර තිබුණේ මාතලේ වියත්මග දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉංජිනේරු නාලක කෝට්ටේගොඩ මහතා ඇතුළු මාතලේ දිස්ත්‍රික් වියත්මග කමිටුව විසිනි.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා දැක්වූ අදහස් :

රටේ සිදුව තිබෙන අර්බුදය ගැනත්, ඊට හේතු වූ කාරණා ගැනත් ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් වියත්මග සංවිධානය එහි මූලිකත්වය ගෙන තිබෙනවා. 2015 ජනවාරි මස මේ රටේ දේශපාලන නායකත්වයේ වෙනසක් සිදුවුණා. ඒ ආණ්ඩු පෙරළිය සිදුවූ වෙලාවේ වත්මන් යහපාලනය ගෙන ඒමට රටේ බහුතරයක් ඡන්දය දුන්නේ පෙර තිබූ රජයටත් වඩා හොඳින් මොවුන් රට පාලනය කරයි කියන අහිංසක බලාපොරොත්තුව ඇතිවයි. බහුතරයක් ජනතාව නරක චේතනාවකින් නොවෙයි යහපාලන රජයට ඡන්දය දුන්නේ. අද ඔවුන්ට තේරුම් ගිහින් තිබෙනවා තමන් මුලා වුණා කියලා. වත්මන් රජයේ පාලන කාලය දිහා බැලුවාම ඔවුන් බලාපොරොත්තු වූ දේවල් නෙමෙයි අද ලැබී තිබෙන්නේ. සිව්බියක් පමණයි. ඒ තමයි හොරකම, මැරකම, ගැතිකම සහ බැරිකම පමණයි. මේ ආණ්ඩුවට බලයට ඒමට පෙර රට ඉතා වේගයෙන් දියුණු වෙමින් තිබුණා. ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ට බැරි වූ යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්‍ෂ රජයට හැකියාව ලැබුණා. ඊට පසුව ආර්ථික විප්ලවයක් ඇති කරන්න කටයුතු කළා. 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා රජය භාර ගන්නා විට මේ රටේ ආර්ථිකයේ තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 20 ක ප‍්‍රමාණයක්. 2005 සිට වසර නවයක් තුළ ආර්ථිකය හතර ගුණයකින් ප‍්‍රසාරණය වුණා. ඒ ප‍්‍රාතිහාර්යය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එතුමාට පැහැදිලි සැලැස්මක් තිබූ නිසයි ඒ ආර්ථිකය සංවර්ධනය ඇති වුණේ. ආර්ථිකය කළමනාකරණය කළා. වරායවල්, ගුවන් තොටුපළ, අධිවේගී, දුම්රිය, මහාමාර්ග මාර්ග සංවර්ධනය වුණේ ඒ නිසයි. රටේ අවශ්‍යතාවෙන් සියයට 98 කට විදුලිය ලබා දීමට කටයුතු කළා. ජල, වාරිමාර්ග ව්‍යාපෘති ඇති කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි 2014 දී සමස්ත ආසියාවෙන්ම වේගයෙන් සංවර්ධනය වන රටක් විදිහට දෙවැනියට ශ‍්‍රී ලංකාව පත් වුණා. සෑම ආර්ථික දර්ශක වේගයට අනුව දකුණු ආසියාවේ දෙවැනි තැනට හෝ පළමු තැනට පත් වීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

එවැනි තත්ත්වයක් තුළ තමයි යහපාලන රජය බලයට ආවේ. මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම යහපාලන රජයට ආර්ථික ප‍්‍රතිපත්තියක් මෙන්ම කිසිදු සැලැස්මක්, දැක්මක් තිබුණේ නැහැ. අදටත් වත්මන් රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය කුමක්ද කියා දන්නේ නැහැ. ආර්ථිකය කළමනාකරණය කරනවා වෙනුවට වැඩි අවධානයක් යොමු කළේ දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විරුද්ධවාදීන් මර්දනය කරන්නයි. වසර හතරකට වැඩි කාලයක් කළේ පළිගැනීමයි. ජිනීවාවලදී කිසිම රටක් අත්සන් නොකළ ගිවිසුම්වලට අත්සන් කරමින් රණවිරුවන්ව පාවා දුන්නා. අවසානයේදී ඒවායෙහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි නිවැරදි නායකත්වයකින් යුක්තව වේගයෙන් සංවර්ධනය වූ රට කඩාවැටුණා. දැන් කියනවා – ආණ්ඩුවේ නායකයන් කිසිදු ලැජ්ජාවක් නැතිව කියනවා පාස්කු ප‍්‍රහාරය තෙක් රටේ ආර්ථිකය හොඳ මට්ටමක තිබ්බා කියලා. මොන තරම් බොරුවක්ද? එදා ආර්ථික සංවර්ධනය වේගයත් අද තිබෙන ආර්ථික වේගයත් සංසන්දනය කරලා බැලීමේදී පේනවා රටේ ආර්ථික සංවර්ධනය කොතැනද තිබෙන්නේ කියලා. එදා රජය සෑම වසරකම ජනවාරි මස මුල් සතියේදී ඉදිරි ආර්ථික සැලැස්ම පුරෝකථනය, පසුවිපරම් කළා. 2014 දී ඇමරිකානු ඩොලර් බිලියන 80 ක්ව තිබූ ආර්ථිකය 2015 දී ඇමරිකානු ඩොලර් බිලියන 86 කට ආවා. 2019 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 141 ක් දක්වා වර්ධනය වීමට නියමිතව තිබුණා. බලාපොරොත්තු නොවූ ආකාරයට අසාර්ථක ආකාරයකින් තමයි අද රට පාලනය වෙන්නේ. එදා චීනයට පමණක් දෙවැනි වූ රටේ ආර්ථික සංවර්ධනය වේගය අද රනිල් වික‍්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ නායකයන්ගේ අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා 2018 දී ඇෆ්ගනිස්තානයට පමණයි අද රටේ ආර්ථිකය දෙවැනි වී තිබෙන්නේ.

ආණ්ඩුවේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් රටට විශාල පාඩු රැසක් සිදුවුණා. වරාය ව්‍යාපෘතිය නතර කළා. අවුරුද්දක් යන්නත් කලින් යළිත් ව්‍යාපෘතිය පටන් ගත්තා. වරාය ව්‍යාපෘතිය අහිමි වූ කාලයට වන්දි වශයෙන් රුපියල් බිලියන 26 ක් ගෙව්වා. රුපියල කඩාවැටුණා. ඒ හානිය සාමාන්‍ය ජනතාව කවුරුත් දන්නේ නැහැ. විදේශීය ණය ගෙවන්නේ අපේ වත්කම්වලින්. විදේශීය ණය කතා කරන්නේ රුපියල්වලින්. අවශ්‍ය රුපියල් ප‍්‍රමාණයට විදේශීය මුදල් ගෙවීමට වැඩි වෙනවා. එදා මහින්ද රජයේ ව්‍යාපෘති සුදු අලි කිව්වා. අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ හදන්න ගිය මුදලට වඩා වැඩි මුදලක් රුපියල බාල්දු වීමෙන් සිදුවූ පාඩුව ගෙවීමට සිදුවුණා. මහින්ද රජය රටේ ජනතාව ණය උගුලක පටලවා ඇති බව මේ රජය දිගින් දිගටම කියනවා. මහින්ද රාජපක්‍ෂ රජය ණය ගත්තා. මේ රටේ ජනතාව ගණිතය නොදන්නා අය බව කියමින් රනිල් වික‍්‍රමසිංහ තවදුරටත් රටේ ජනතාව මුලා කරමින් සිටිනවා. මෙහි යථාර්තය කුමක්ද? ලංකා ඉතිහාසයේ කිසිම රජයක් නොගත් තරම් ණය ප‍්‍රමාණයක් වත්මන් රජය අරන් තිබෙනවා. රාජපක්‍ෂ යුගයේ ණය අරන් රටට වැඩක් කළා. යුද්ධය අවසන් කළා. රට සංවර්ධනය කළා. ඒ කළ දේවල් ඇහැට පේන්න තිබෙනවා. 2005 දී රටේ සමස්ත ණය තිබුණේ රුපියල් බිලියන 2200 යි. වසර නමයක් තුළ රුපියල් බිලියන 5900 ක් ණයට අර ගත්තා. නමුත් 2014 සිට 2018 වසර අවසානය දක්වා රුපියල් බිලියන 6600 ක් ණයට අරන් තිබෙනවා මේ ආණ්ඩුව. අඩුම තරමේ බෝක්කුවක් හැදුවද? පාරක් කාපට් කළාද? කිසිම දෙයක් කළේ නැහැ. අපේ රටේ ජනතාව තවත් ණය කළා පමණයි. මහින්ද රාජපක්‍ෂ රජය තුළ ක‍්‍රමානුකූලව දළදේශීය නිෂ්පාදිතයට අනුව ණය ප‍්‍රමාණය අඩු වෙමින් තිබුණා. මේ විදිහට රට විනාශ වෙද්දි අනික් පැත්තකින් අසීමිත ලෙස බදු වැඩි කළා. රටේ ජනතාවගේ ජීවන බර වියදම වැඩි වීමට හේතුව තමයි බදු වැඩි වීම. රැකියා දශලක්‍ෂයක් ඇතුළු සුරංගනා කතා කිහිපයක් කිව්වා. අඩුම තරමේ තිබුණු රැකියා ලක්‍ෂ 4 කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙලා තිබෙනවා. තවදුරටත් ලැජ්ජා නැතිව කියනවා ඉදිරි වසර කිහිපය තුළ රට සංවර්ධනය කරනවා කියනවා. තවදුරටත් මේ රජය බලයේ හිටියොත් රට හිඟන්නෙක් බවට පත් වෙනවා.

රට ඉදිරියට ගෙන යෑමට අපට දැක්මක්, සැලැස්මක් තිබෙනවා. ඒ සඳහා තාක්‍ෂණය භාවිතා කරනවා. හරියට තාක්‍ෂණය භාවිතා කළහොත් කෘෂිකර්මාන්තය, සේවා, කර්මාන්ත අංශ දියුණු කරන්න පුළුවන්. අවුරුදු දෙකක් ඇතුළත මේ රට සංවර්ධනය කරන්නේ කොහොමද සැලැස්ම අපි සතුව තිබෙනවා. දූෂණය අවම කරන්න බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය සංදර්ශනවලින් පමණක් දූෂණය නැති කරන්න බැහැ. ආයතනික දූෂණය නැති කළ යුතුයි. ටෙන්ඩර් ක‍්‍රියාවලිය හරහා තමයි සෑම දූෂණයක්ම වෙන්නේ. චීනය ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය විධිමත් කරලා තිබෙනවා. ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය ඒක කේන්ද්‍රීය ස්ථානයකට ගෙන ආ යුතුයි. එදා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ ක‍්‍රියාවලිය නිසි පරිදි ඉටු කළා. එවිට රටේ දූෂණය විශාල ප‍්‍රමාණයකින් අවම කර ගැනීමට හැකියාව ලැබුණා. අද ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායමින් සියයට 30 ක්වත් ලැබෙන්නේ නැහැ. ආදායම් බදු දෙපාර්තමේන්තුවට නිසි තාක්‍ෂණය ලබා දිය යුතුයි. ජනතාවට නොතේරෙන විදිහට බදු අය කරගත යුතුයි. එවැනි නිසි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක් අද නැහැ. ඉදිරියේදී එවැනි නායකත්වයක් අපි ඇති කරනවා. ලංකාවේ රේගුව කාර්යක්‍ෂම කළොත් රටේ ආදායම තුන් ගුණයකින් වැඩි කරන්න පුළුවන්. ප‍්‍රශ්න ඇතිවෙයි කියලා මේවා කරන්න කවුරුත් බයයි. අපි බය නැතිව තීන්දු අරන් රට සංවර්ධනය සහ වෙනස ඇති කරනවා. පරිසරය සුරක්‍ෂා කරනවා. වනය, සත්ත්ව සම්පත ආරක්‍ෂා කරනවා. සංවර්ධනය කියන්නේ සමාගම් කිහිපයක්, කිහිප දෙනෙක් පොහොසත් වෙනවා කියන එක නෙමෙයි. රටේ දුප්පත්කම නැති වුණොත් පමණයි රටේ ආර්ථිකය සංවර්ධනය ලෙස අපි දකින්නේ. සමෘද්ධිය ගැන කතා කිරීම ලැජ්ජා විය යුතුයි. සමෘද්ධිය දෙන්නේ දුප්පත්කම තිබෙන නිසයි. ඉදිරි රජයක් යටතේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් රටට ඉදිරිපත් කරනවා. සෑම කෙනෙක්ට අවම ආර්ථික සංවර්ධනයක් ඇති කරන සැලැස්මක් අපි ළඟ තිබෙනවා. ඊළඟට බලයට පත්වන රජයක් යටතේ මේ සියලුම සැලැසුම් ක‍්‍රියාත්මක කරනවා.

ආචාර්ය පාලිත කොහොන මහතා :

ඔබේ සියලුම ප‍්‍රශ්න විසඳෙයි කියා පසුගිය වසර හතර තුළ විශ්වාස කළා. නමුත් අද ඔබේ ප‍්‍රශ්න විසඳී නැහැ කියා අපට තේරුම් යනවා. වත්මන් රජය ඇමරිකාවත් සමඟ ඇති කර ගන්නට යන ගිවිසුම් ගැන රටේ කතාබහක් ඇති වී තිබෙනවා. වචනවලින් පමණක් මේ ගිවිසුම්වල බැරෑරුම්කම තේරුම් ගන්නට බැහැ. ලංකාවට මෙවැනි ගිවිසුම් ඇති කර ගැනීමට අවශ්‍යතාව කුමක්ද? ඇතැම් ගිවිසුම් ගැන තවම එළිදක්වා නැහැ. නිදහස් රටක් වශයෙන් එවැනි ගිවිසුම් අත්සන් කරන්නේ ඇමරිකාවේ වුවමනාවටද? නැතිනම් වෙනත් අරමුණක් සපුරා ගැනීමටද කියන ප‍්‍රශ්නය තිබෙනවා.

ඇමරිකාවයි – චීනයයි ලෝකයේ විශාල තරගයකට යමින් තිබෙනවා. ඇමරිකාවට කරන ආධාරයක් විදිහටද මේ ගිවිසුම් අත්සන් කරන්නේ? යම් හෙයකින් ගිවිසුම්ගත වුවහොත් ඇමරිකාවට ආධාර කරන්න ලංකාවට සිදුවෙනවා. ඉදිරියේදී මේ නිසා ඇති වන යුද්ධය මුහුදේ පමණක් නොව ගොඩබිමටත් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. චීනයයි ඇමරිකාවයි ගැටුණොත් ඒ ප‍්‍රශ්නයට අකමැත්තෙන් හෝ ගෑවීමට අපට සිදුවෙනවා.

ආණ්ඩුවේ ගිවිසුම් ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පාර්ලිමේන්තුව තුළ මේවා ගැන හඬක් නැඟිය යුතුයි. ඒවා කරනවාද කියන එක අපි දන්නේ නැහැ. මේ අවස්ථාව අපි පැහැර හැරිය යුතු නැහැ. සෝෆා වැනි ගිවිසුම් ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රසිද්ධියක් ඇති නොවෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉදිරියේදී ත‍්‍රස්තවාදය ගැන කුමන පියවරක් ගන්නේද යන්නත් විමසා බැලිය යුතුයි. පාස්කු ප‍්‍රහාරය ගැන තොරතුරු ලැබුණත් ඊට පියවරක් ගැනීමට නොහැකි වුණා. යළිත් එවැනි දේවල් නොවෙන්න සියලුම දෙනා වගබලාගත යුතුයි.

ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා :

වියත්මග සංවිධානයේ අද වන විට පන්දහසක් පමණ සිටිනවා. ඉන් අධ්‍යක්‍ෂකවරු තිහක් ඉන්නවා. ඉන් 20 කට පමණ ක්‍ෂේත‍්‍ර කිහිපයක් භාරදී තිබෙනවා. ඒ අය ලංකාවේ ආර්ථිකය, කෘෂිකර්මය, අධ්‍යාපන, කර්මාන්ත, ව්‍යාපාර සංවර්ධනය කරනනේ කොහොමද කියා විශ්ලේෂණය කරනවා. අපි වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ මහන්සි වෙලා මහාචාර්යවරු හැත්තෑවක් පමණ එකතු වෙලා ඉදිරි අධ්‍යාපන ක‍්‍රමය හදලා අවසන්. ඉදිරියේදී දැවැන්තම ශක්තිමත් බුද්ධිමත් ශ‍්‍රම හමුදාවක් හදන අධ්‍යාපන ක‍්‍රමයක් නිර්මාණය කරනවා. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය පමණක් නොව සෑම ක්‍ෂේත‍්‍රයක්ම සංවර්ධනය කරන සැලසුම් සකස් කර අවසන්.

ඉදිරියේදී අපගේ මාතෘභූමිය තිබෙන්නේ අවධානම් තත්ත්වයකයි. මෙවැනි අවස්ථාවක ඔබ දැනුවත් විය යුතුයි. ශක්තිමත් විය යුතුයි. ආර්ථිකය වැටුණොත් හදාගන්න පුළුවන්. රට අහිමි වුණොත් අනාගත පරපුරට ඉන්න රටක් නැති වෙනවා. මේ දේ හැමෝටම පේන්නේ නැහැ. මාතෘ භූමියට යන විනාශය අපි තේරුම්ගත යුතුයි. එඩිතර වීර මද්දුමබණ්ඩාරත් බිහිවුණේ මේ ඓතිහාසික මාතලේ පුරවරයෙන්. අවුරුදු තිහක් තිස්සේ පැවති යුද්ධයෙන් රට බේරාගත්තේ අපේ රණවිරුවන්. විසිනවදහසක් ජීවිත පූජා කළා. මේ රට බේරා ගන්න තිබෙන්නේ මාස හතරයි. ඒ නිවැරදි තීන්දුව ගන්න. රට බේරාගත හැකි ශක්තිමත් නායකයෙක් අපට අවශ්‍යයි. එවැනි නායකයෙක් අපට බිහිවේවායි කියා ප‍්‍රාර්ථනා කරනවා.

– වියත්මග මාධ්‍ය ඒකකය

+++++++++++++++++++++

2019.06.22 මාතලේ පැවති වියත්මග සම්මන්ත්‍රණය – එරන්ද ගිනිගේ මහතා

+++++++++++++++++++++

2019.06.22 දින මාතලේ පැවති වියත්මග සම්මන්ත්‍රණය – මිලින්ද රාජපක්ෂ මහතා

Viyathmaga TV

***************************************

අවදානමෙන් රට මුදාගැනීමට ඥානසාර හිමි ජනතාවගේ සහය පතයි

(26.06.2019 – 05:58 +0530 – sinhala.adaderana.lk)

පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා ආරම්භ කරන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් සියය බැඟින් මූල්‍ය පරිත්‍යාග සිදුකරන ලෙස බොදු බල සේනා සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.‍

ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඳහන් කළේ, මීට සමගාමීව ජූලි 07 වැනිදා සිව්හෙළේ මහා සමුළුව නමින් මහනුවරදී ජාතික සමුළුවක් සංවිධාන කර ඇති බවයි.

එහිදි උන්වහන්සේ කියා සිටියේ මේ වන විට මුළු රටම අවදානම් තත්ත්වයක පවතින බවත් ජුලි 07 වනදා තිබෙන සමුළුවේදි වැදගත් කාරණයක් සම්බන්දධයෙන් තොරතුරු හෙළි කරන බවත්ය.

සත්‍ය පැවසීම සඳහා ඒ හා අදාල ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය මාධ්‍ය සහය මෙන්ම අර්ථික ගැටලුද පවතින බවත් ඒ සඳහා සහය වන ලෙසති උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

“දැයම එක රොදකට” යනුවෙන් අදහස් කරන්නේ එක් පිරිසක් පමනක් නොවන බවත් “දැය” දැය යනුවෙන් අදහස් කරන්නේ අන්තවාදයට විරුද්ධ සෑම කෙනෙකුටම බවත් උන්වහන්සේ පවසයි.

වර්තමානයේ සාකච්ඡා කළ යුත්තේ මැතිවරණ සම්බන්ධයෙන් නොවන බවත් සිදු කළ යුත්තේ ජාතිවාදී සහ ආගම්වාදී පක්ෂ තහනම් කිරිම බවත් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පැහැදිලි කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *