මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳව පුළුල් විමර්ශනයක් ‘වලාන දූෂණ මර්දන ඒකකයෙන්’

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳව පුළුල් විමර්ශනයක් ‘වලාන දූෂණ මර්දන ඒකකයෙන්’

හුදෙකලා සිදුවීම අංක 2 : කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

PSTA පනත ගැන ජගත් මානව හිමිකම් කොමිසමටත් ගැටළුවක් – සංශෝධන 09 ක් ඉදිරිපත් කරයි

හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුගේ මරණය – පොලිස් නිලධාරීන් 09 ක ගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

මීපේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් තිදෙනෙකුට (3) තුවාල

‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ කියමින් CCTV දර්ශන විකෘති කර සමාජ මාධ්‍යයට මුදාහැරියාට සරත් වීරසේකරගෙන් රු. කෝටි දහයක් (10) ඉල්ලා කිංස්බරි හෝටලයට එන්තරවාසියක්


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳව පුළුල් විමර්ශනයක් ‘වලාන දූෂණ මර්දන ඒකකයෙන්’

(30.10.2026 – sinhala.adaderana.lk)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ දූෂණ අක්‍රමිකතා සොයාබැලීම සඳහා ‘වලාන දූෂණ මර්දන ඒකකය’ ඇතුළු විමර්ශකයින් කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගනිමින් සිටින බව වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්‍රී ලංකා හා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් මේ සඳහා එක්ව සිටී ෴


හුදෙකලා සිදුවීම අංක 2 : කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

(30.10.2026 – sinhala.adaderana.lk)

කොබෙයිගනේ පොලිසිය භාරයේ රඳවා සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය සැකකරුගේ සිද්ධියට එම පොලිස් ස්ථානයේ සැරයන්වරු දෙදෙනෙකු (2) සහ කොස්තාපල්වරයෙකුගේ (1) වැඩ තහනමට ලක්කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රාජකාරිය පැහැර හැරීම මත අදාළ නිලධාරීන්ට මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇති බවය.

පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දී තිබුණි.

ඉන් අනතුරුව දින දෙකක් (2) පුරා ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවී ඇති අතර, ඉකුත් 27 වැනිදා රාත්‍රියේදී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

එම මරණයත් සමග සැකකරු අල්ලා පොලිසියට භාර දුන් ප්‍රදේශවාසීන් පස් දෙනෙකු (5) කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත්වූ පිරිසගේ ඥාතීන් දැඩි චෝදනා කළේ, සැකකරු අල්ලා ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය දැනුවත් කර ඔහු නිරපද්‍රිතව පොලිසියට භාර දුන් බවය.

ඔහුට පහරකෑමක් සිදුවී තිබුණි නම්, මරණයට පත්වීමට ප්‍රථම ඔහුව රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ දක්වා අත්අඩංගුවට ගත් එම ප්‍රදේශවාසීන් පිරිස නිදහස් කර නොමැති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය ෴


PSTA පනත ගැන ජගත් මානව හිමිකම් කොමිසමටත් ගැටළුවක් – සංශෝධන 09 ක් ඉදිරිපත් කරයි

(30.10.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ 9 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ත්‍රස්තවාදී වැරදි පැහැදිලිව සහ පටු ලෙස අර්ථ දැක්වීම සහතික කිරීම, නීත්‍යනුකූල අදහස් ප්‍රකාශ කිරීම සහ සිවිල් ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් පිළිබඳ අධිකරණ අධීක්ෂණය ශක්තිමත් කිරීම, වධහිංසා පැමිණවීම් සහ අයුතු ලෙස සැලකීම්වලින් ආරක්ෂා කිරීම, නිසි ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග පිළිබඳ සහතික කිරීම් ශක්තිමත් කිරීම, ඵලදායී අධීක්ෂණය සහ පිළියම් සහතික කිරීම ඇතුළු සිවිල් පොලිසියේ ප්‍රමුඛතාව පවත්වා ගැනීම එම නිර්දේශ 09 ට ඇතුළත්.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර, ඒ පිළිබද සොයා බලා ජනතාව සහ විද්වතුන් සමග සාකච්ඡා කරන ලෙසයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙරට රජයෙන් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම, මේ සඳහා රජයට අවශ්‍ය තාක්ෂණික උදව් සහ උපදෙස් ලබා දීමට තමන් සූදානම් බව ද එම කාර්යාලය සඳහන් කර තිබෙනවා.

මේ අතර, මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව මීට පෙර වාර්තා වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත ඇතිවීමේ අවදානමක් පවතින බව ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා තිබුණා.

අත්තනෝමතික රැඳවුම් භාරයන්, වධහිංසා පැමිණවීම්, නිරීක්ෂණ කටයුතු සහ පුරවැසි නිදහස සීමා වීම ආදිය එමගින් සිදුවන බවයි එම සංවිධානය සිය කණස්සල්ල පළකරමින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, පොලිසිය විසින් ලබාගන්නා පාපොච්ඡාරණය මත පදනම්ව දඬුවම් නියම කිරිමට ඉඩදීම තුළින් වදහිංසා පැමිණවීම් දිරිමත් කිරීමට ද හේතු විය හැකි බවයි ‘හියුමන් රයිට් වොච්’ සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ එලෙන් පියර්සන් ප්‍රකාශ කර ඇත්තේ.

මෙම පනත දැනට පවතින ආකාරයෙන් සම්මත වුවහොත් මීට පෙර ක්‍රියාත්මක වූ ඒ හා සමාන දැඩි නීති මගින් සිදුවූ ආකාරයටම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරිම් රැල්ලක් ඇති විමේ අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් ද සීමිත අධිකරණ අධීක්ෂණයක් යටතේ වසරක් දක්වා කාලයක් සඳහා වරකට මාස දෙක බැඟින් රැඳවුම් නියෝග ලබාදීමට ඉඩ සලසන අතර ඇප ලබා දීම සීමා කර ඇති බවත්, බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන්ට නිදහස් වීම සඳහා හිමිකම් ඇත්තේ සුවිශේෂී අවස්ථාවලදී පමණක් බව ද ‘හියුමන් රයිට්ස් වොච්’ පෙන්වා දෙනවා.

එමෙන්ම, යුරෝපා සංගම් වෙළඳපොළට විශේෂ වෙළඳ වරප්‍රසාද ලබා දෙන යුරෝපා සංගමයේ ‘ජී.එස්.පී. ප්ලස්’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති මානව හිමිකම් සහතික සහ කැපවීම් සම්බන්ධයෙන් ද මෙම යෝජිත නීති මඟින් ගැටලු මතු වන බව ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයේ අදහසයි.

මෙවැනි පසුබිමක ‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහනය අහිමි වුවහොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවන බව ඒකාබද්ධ ඇඟලු අපනයනකරුවන්ගේ සංසදයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ ඊයේ (29) කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

එමෙන්ම, රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ලංකා ගුරු සංගමය ඇතුලු වෘත්තීය සමිති ඊයේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත වුණා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ පහතින් :

  1. ත්‍රස්තවාදය සහ ඒ ආශ්‍රිත වැරදි පිළිබඳ අර්ථ දැක්වීම පටු කර පැහැදිලි කිරීම; ආරක්ෂික ප්‍රකාශනය සහ සිවිල් ක්‍රියාකාරකම් අපරාධකරණය කළ හැකි විධි විධාන ඉවත් කිරීම හෝ සැලකිය යුතු ලෙස සංශෝධනය කිරීම

නීතිය මගින් ත්‍රස්තවාදය පැහැදිලිව අර්ථ දැක්විය යුතු අතර, එය මරණය හෝ බරපතල තුවාල සිදු කිරීම හෝ ප්‍රාණ ඇපයට ගැනීම වැනි ත්‍රස්තවාදී අරමුණක් සහිතව සිදු කරන ඉතා බරපතල, චේතනාන්විත ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පමණක් සීමා කළ යුතුය. අපැහැදිලි හෝ ඉතා පුළුල් ලෙස දැක්වෙන වැරදි හේතුවෙන් සාමාන්‍ය අපරාධ හෝ කථනය සහ ප්‍රකාශනය, සාමකාමී රැස්වීම සහ ඇසුර ඇතුළු මූලික නිදහස නිත්‍යානුකූලව භුක්ති විඳීම ත්‍රස්තවාදය ලෙස සැලකීමේ අවදානමක් පවතී.

  1. සෑම අත්අඩංගුවට ගැනීමක් සහ රඳවා තබා ගැනීමක් සඳහාම කඩිනම්, ස්වාධීන සහ ඵලදායී අධිකරණ අධීක්ෂණයක් නියම කිරීම

තැනැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිසිය, සන්නද්ධ හමුදා හෝ වෙරළාරක්ෂක බලකාය විසින්ද යන්න නොසලකා, සෑම අත්අඩංගුවට ගැනීමක් සහ රඳවා තබා ගැනීමක්ෂවිනිසුරුවරයෙකු විසින් කඩිනමින් සමාලෝචනය කළ යුතුය. රඳවා තබා ගැනීමේ නියෝග සමාලෝචනය කිරීමට, පුද්ගලයන් නිදහස් කිරීමට හෝ ඇප ලබාදීමට විනිසුරුවරයන්ට බලය තිබිය යුතුය. රඳවා තබා ගැනීමේ තීරණය හුදෙක් විධායක නිලධාරියෙකු විසින් පනවනු ලැබීම සහ අධිකරණය විසින් එය ස්වයංක්‍රීයව පිළිගැනීම සිදු නොවිය යුතුය.

  1. වධහිංසා පැමිණවීම, අයුතු ලෙස සැලකීම, අන්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට එරෙහි ආරක්ෂාව ශක්තිමත් කිරීම

රහසිගතව රදවා තබා ගැනීම සහ නීතිමය පදනමකින් තොරව රඳවා තබා ගැනීම වැළැක්විය යුතුය. නීතීඥවරයෙකු වෙත කඩිනම් සහ රහසිගත ප්‍රවේශය, විනිසුරුවරයෙකු සහ මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ රහසිගතව සාකච්ජා කිරීම සහ ස්වාධීන වෛද්‍ය පරීක්ෂණ සපයා දිය යුතුය. කාලානුරූපීව පවුල් දැනුවත් කිරීම, පුද්ගලයන් රඳවා තබා ගන්නා ස්ථාන ලියාපදිංචි කිරීම සහ අර්ථවත් ලෙස පවුලේ සම්බන්ධතා පැවැත්වීමට ඉඩ සැලසීම කළ යුතුය. නිලධාරීන් මෙම ආරක්ෂණයන් අනුගමනය කිරීමට අපොහොසත් වන විට ඊට එරෙහිව පියවර ගැනීම සහ පිළියම් ද පැවතිය යුතුය.

  1. නිසි ක්‍රියාවලිය සහ සාධාරණ නඩු විභාග පිළිබඳ සහතික ශක්තිමත් කිරීම

චෝදනා ලැබූ සෑම පුද්ගලයෙකුටම සාධාරණ සලෙස සැලකිය යුතු අතර තමන් වෙනුවෙන් පෙනී සිටීමට සැබෑ අවස්ථාවක් ලබා දිය යුතුය. වරදකරු බව ඔප්පු වන තෙක් නිර්දෝෂී ලෙස පූර්ව නිගමනය කිරීම, චෝදනා සහ නඩු කටයුතු තේරුම් ගැනීම, නීතිඥවරයෙකු වෙත රහසිගතව ප්‍රවේශ වීම, අවශ්‍ය විටෙක ස්වාධීන භාෂා පරිවර්තන සහය ලබා ගැනීම සහ සාක්ෂි මෙන්ම රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කිරීමට හැකිවීම මෙයට ඇතුළත් වේ. වධහිංසා පැමිණවීම, තර්ජන, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම හෝ අවශ්‍ය ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමට බරපතල ලෙස අපොහොසත් වීම හරහා ලබාගත් පාපොච්චාරණයන් ඇතුළු සාක්ෂි භාවිතා නොකළ යුතුය.

  1. ආක්‍රමණශීලී සෝදිසි කිරීම, ඇතුළුවීම් සහ අල්ලා ගැනීමේ බලතල සඳහා අධිකරණ වරෙන්තු රීතිය ඇතුලත් කිරීම

ස්ථානයකට ඇතුළු වීමට හෝ සෝදිසි කිරීමට පුද්ගලයන් සෝදිසි කිරීමට හෝ දේපළ අත්අඩංගුවට ගැනීමට පෙර බලධාරීන් විනිසුරුවරයෙකුගේ අවසරය ලබා ගත යුතුය. අතිරේක අදාළ විය යුත්තේ පටු ලෙස අර්ථ දක්වා ඇති හදිසි අවස්ථාවන් සඳහා පමණක් වන අතර, ඒවා ඉක්මන් අධිකරණ සමාලෝචනයට යටත් විය යුතුය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුමැතිය. ලිඛින හේතු දැක්වීම සහ ඉහළ නිලධාරියෙකුගේ කඩිනම් සමාලෝචනය ද ඊට ඇතුළත් විය යුතුය.

  1. සිවිල් පොලිසියේ ප්‍රමුඛතාවය සහතික කිරීම

අත්අඩංගුවට ගැනීම්, සෝදිසි කිරීම, ප්‍රශ්න කිරීම හෝ රඳවා තබා ගැනීම සඳහා යුද්ධ හමුදාවන්ගේ හෝ වෙරළාරක්ෂක බලකායේ මැදිහත්වීම සුවිශේෂී සහ පැහැදිලිවම සීමිත විය යුතුය. පොලිස් බලතල භාවිතා කරන යුද්ධ හමුදා නිලධාරින්, ඔවුන්ගේ ක්‍රියාමාර්ග සඳහා පැහැදිලි අධික්ෂණයක් සහ වගකීමක් සහිතව, සිවිල් පොලිස් බලධාරීන්ට වගකීමට බැඳී සිටිය යුතුය.

  1. ඵලදායි ස්වාධීන අධීක්ෂණය, වගවීම සහ පිළියම් ස්ථාපිත කිරීම

මෙම බලතල භාවිතා කරන ආකාරය පරීක්ෂා කිරීමටත්, වැරදි ක්‍රියා හඳුනා ගැනීමටත්, වගකිව යුතු නිලධාරීන් වගකීමට යටත් කිරීම සහතික කිරීමටත් ස්වාධීන ආයතනවලට හැකි විය යුතුය. උල්ලංඝනය කිරීම අභියෝගයට ලක් කිරීමට, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීමෙන් නිදහස් වීමට, වාර්තා නිවැරදි කිරීමට සහ නිසි පරීක්ෂණ, වන්දි හෝ වෙනත් සහනයන් ලබා ගැනීමට ජනතාවට ප්‍රායෝගික මාර්ග තිබිය යුතුය.

  1. නිර්මුක්ති විධි විධාන පටු කිරීම

තමන් යහපත් චේතනාවෙන් හෝ තමන්ගේ නිල රාජකාරියේ කොටසක් ලෙස කටයුතු කළ බව ප්‍රකාශ කළ පමණින් නිලධාරීන් නීතිමය වගකීමෙන් ආරක්ෂා නොවිය යුතුය. නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම, අයුතු ලෙස සැලකීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, නොසැලකිලිමත් ක්‍රියා, බරපතල ලෙස නොසලකා හැරීම හෝ වෙනත් බරපතල අයිතිවාසිකම් උල්ලංසනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ, නඩු පැවරීම හෝ වන්දි ලබාදීම නීතිමය ආරක්ෂණයන් මගින් බාධා නොකළ යුතුය.

  1. තවදුරටත් නීති සම්පාදන ක්‍රියාමාර්ග ගැනීමට පෙර අර්ථවත් ලෙස මහජන උපදේශන ක්‍රියාවලියක් පැවැත්වීම.

ඉදිරියට යාමට පෙර, යෝජිත නීතිය සමාලෝචනය කිරීමට රජය විසින් බලපෑමට ලක්වූ ප්‍රජාවන්ට, ප්‍රජා සංවිධානවලට, නීති විශේෂඥයින්ට, ස්වාධීන ආයතනවලට සහ ශ්‍රී ලංකාව පුරා සිටින අනෙකුත් අයට සැබෑ අවස්ථාවක් ලබා දිය යුතුය. මෙම ක්‍රියාවලිය විවෘත සහ සියලු දෙනා අන්තර්ගත කර ගන්නා පනත් විය යුතු අතර, නීතියක් බවට පත්වීමට පෙර එය සමාලෝචනය කිරීමේදී සහ නැවත ලියන විට අදහස් සලකා බැලිය යුතුය ෴


හුදෙකලා සිදුවීම අංක 1 : හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුගේ මරණය – පොලිස් නිලධාරීන් 09 ක ගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

(30.10.2026 – sinhala.adaderana.lk)

හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සහ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝග මත බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පසුගිය 25 වැනිදා සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට අදාළ සියලු සාක්ෂි සටහන් කර ගැනීම ද ආරම්භ කර ඇත.

එමෙන්ම, මියගිය සැකකරු සමඟ 2026 ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු මේ වන විට බන්ධනාගාරගතව සිටින බැවින්, අධිකරණයෙන් ලබාගත් නියෝග මත ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීන් ඔක්තෝබර් 29 වැනිදා බන්ධනාගාරයට ගොස් තිබේ.

මේ අතර, ඔක්තෝබර් 28 වැනිදා අත්අඩංගුවට ගත් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා වන උප පොලිස් පරීක්ෂකවරයා ඔක්තෝබර් 29 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය සැකකරු ඔක්තෝබර් 24 වැනිදා රිය අනතුරකින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට පස්වරු 01:05 ට ඇතුළත් කර ඇති බවය.

එදිනම පස්වරු 05:55 ට ඔහු අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත ෴


මීපේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් තිදෙනෙකුට (3) තුවාල

(30.10.2026 – sinhala.adaderana.lk)

පාදුක්ක මීපේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක අද (30) සිදු වූ පිපිරීමකින් සේවකයින් තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

එම පිපිරීම හේතුවෙන් අසල නිවසකට දැඩි හානි සිදුව තිබේ.

අදාළ කර්මාන්ත ශාලාවේ ලිහිසි තෙල් ගබඩා කිරීම සඳහා වෙන්දේසියකින් මිලදී ගත් ඉන්ධන පිරවුම්හලකින් ඉවත් කරන ලද ටැංකියක් එහි තිබූ ඉන්ධන ඉවත් නොකර අවශ්‍ය පරිදි ගෑස් මගින් කපා සකස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මෙම පිපිරීමෙන් පිරිමි සේවකයින් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති අතර තවත් සේවිකාවකගේ හිස මතට උළු කැටයක් වැටීම හේතුවෙන් ඇය ද රෝහල් ගත කර ඇති බව පොලිසිය කීය.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

+++

+


‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ කියමින් CCTV දර්ශන විකෘති කර සමාජ මාධ්‍යයට මුදාහැරියාට සරත් වීරසේකරගෙන් රු. කෝටි දහයක් (10) ඉල්ලා කිංස්බරි හෝටලයට එන්තරවාසියක්

(30.10.2026 – sinhala.adaderana.lk)

තමන් කොළඹ කිංස්බරි (The Kingsbury) හෝටලයට පැමිණි අවස්ථාවේ ලබාගත් ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන විකෘති කර, ‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ යනුවෙන් අසත්‍ය ලේබල් අලවා සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් සිය කීර්තිනාමයට හානියක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම හෝටල් කළමනාකාරීත්වය වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසියක් යොමු කර තිබේ.

අදාළ ලේඛනය මඟින් පෙන්වා දෙන්නේ, සරත් වීරසේකර මහතා පසුගිය ඔක්තෝබර් 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී අදාළ හෝටලය වෙත ගොස් ඇති බවත්, හෝටල් පරිශ්‍රයේ සුවිශේෂී භාරකාරත්වය සහ පාලනය යටතේ පවතින සීසීටීවී පද්ධතියේ සටහන් වූ දර්ශන, හෝටල් පාලනාධිකාරිය විසින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා එක්ව සිතාමතාම විකෘති කර පිටතට මුදාහැර ඇති බවත්ය.

එම සංස්කරණය කරන ලද වීඩියෝ පටය මඟින් සරත් වීරසේකර මහතා සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම අවස්ථාවක හෝටල් කාමරයක් වෙත ඇතුළු වන ආකාරය පෙන්වමින්, ඔවුන් දෙදෙනා එක්ව හෝ එකම වේලාවක එම කාමරයට ඇතුළු වූ බවට සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු හැඟීමක් සමාජගත කර ඇති බව එමඟින් චෝදනා කෙරේ.

මෙම විකෘති කළ දර්ශන ‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ යන ශීර්ෂය යටතේ ප්‍රචාරය කර ඇති බවත්, එහි සිටින සරත් වීරසේකර මහතාගේ ලේකම්වරයා ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා බවට අසත්‍ය ලෙස හුවාදක්වමින් සමාජය නොමඟ යවා ඇති බවත් නීතිඥවරු පෙන්වා දෙති.

හෝටලයේ පූර්ණ අධීක්ෂණය යටතේ තිබිය යුතු මෙවැනි රහස්‍ය දර්ශන කිසිදු අවසරයකින් තොරව පිටස්තර පාර්ශ්ව වෙත ලබාදීම හෝටලයේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් වන අතර, එමඟින් තම සේවාදායකයාගේ පෞද්ගලිකත්වයට දැඩි හානි සිදුකර ඔහුව මාර්ගගත ක්‍රම ඔස්සේ දැඩි අපහාසයට සහ මානසික පීඩාවට ලක් කර ඇති බව නීතිඥවරු අවධාරණය කරති. එමෙන්ම, සිතාමතාම මෙවැනි අසත්‍ය ප්‍රකාශ සහ දර්ශන සන්නිවේදනය කිරීම 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 20 වැනි වගන්තිය යටතේ ගැනෙන බරපතළ වරදක් බවට ද හෝටල් කළමනාකාරීත්වයේ අවධානයට යොමු කර ඇත ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤