වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ බදු බරින් පද්ධතියම අර්බුදයක.. නව වැටුප් ව්‍යාහයක් ඉල්ලයි..

වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ බදු බරින් පද්ධතියම අර්බුදයක.. නව වැටුප් ව්‍යාහයක් ඉල්ලයි..

ගම්වාසීන් අල්ලා පොලිසියට භාර දුන් සැකකරුවෙක් රෝහලේදී මරුට


වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ බදු බරින් පද්ධතියම අර්බුදයක.. නව වැටුප් ව්‍යාහයක් ඉල්ලයි..

(29.10.2026 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති බරපතළ අභියෝග ජය ගැනීම සහ වෛද්‍යවරුන් මුහුණ දෙන දැවෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් හදිසි ඉල්ලීමක් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය යු.කේ.බී. වරකාවගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ මාධ්‍ය නිවේදනයක් මඟින් පෙන්වා දෙන්නේ, පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය මාස කිහිපය පුරා අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළ ද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

= මාධ්‍ය නිවේදනයයි =

සෞඛ්‍ය පද්ධතියේ අභියෝග ජය ගැනීමට රජය සහ වෛද්‍ය ප්‍රජාව අතර ඵලදායී සංවාදයක් අත්‍යවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කරමින් ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව සැපයීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ඉටු කරන කාර්යභාරය අතිමහත්ය. එහෙත් වර්තමානයේදී වෛද්‍යවරුන්ගේ වෘත්තීය, ආර්ථික සහ සේවාමය තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ගැටලු රැසක් පවතී. එම ගැටලු සඳහා කාලෝචිත හා තිරසාර විසඳුම් සෙවීම සෞඛ්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් අත්‍යවශ්‍ය කරුණකි.

පුද්ගලයෙකු වෙනුවෙන් වැය වන සෞඛ්‍ය වියදම සාපේක්ෂව අඩු මට්ටමක පැවතියද, සංවර්ධිත රටවලට සමාන සෞඛ්‍ය දර්ශක පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබීම අපගේ නිදහස් සෞඛ්‍ය පද්ධතියේ සුවිශේෂී ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය පිටුපස වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ කැපවීම, දක්ෂතාවය සහ වෘත්තීය වගකීම පවතී. මෙම ජයග්‍රහණය අනාගතයටද සුරක්ෂිත කර ගැනීම සඳහා සෞඛ්‍ය සේවකයන්ගේ සුබසාධනය, සාධාරණ සේවා කොන්දේසි සහ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සහිත ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් තහවුරු කළ යුතුය.

වෛද්‍යවරුන්ගේ වැටුප සහ දීමනාවල වටිනාකම අඩු වීම, බදු බර සහ අපේක්ෂිත පුද්ගල ආදායම් බදු (APIT) ක්‍රමය සම්බන්ධ ගැටලු, අමතර රාජකාරි දීමනා සහ රජයේ නිවාඩු දින දීමනාවලින් තුනෙන් එකක් අහිමි වීම සහ රාජකාරි සහනදායී වාහන බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම වැනි කරුණු වෛද්‍යවරුන්ගේ ආර්ථික හා වෘත්තීය තත්ත්වය බිඳ වැටීමට බලපා ඇත. මෙම කරුණු පිළිබඳව සාධාරණ සහ ප්‍රායෝගික විසඳුම් සොයා බැලීම සඳහා අදාළ පාර්ශ්වයන් අතර සාකච්ඡාවක් පැවැත්වීම වැදගත් වේ.

එමෙන්ම, 2015 වසරෙන් පසු අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩල විධිමත් සංශෝධන ක්‍රියාවලියක් (Cadre Revision) සිදු නොවීම, සෞඛ්‍ය සේවාවන්හි ව්‍යාප්තිය, රෝගී අවශ්‍යතා ඉහළ යාම සහ පළපුරුදු වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටලු පිළිබඳව නැවත සලකා බැලීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා, ඔවුන්ගේ පුහුණුව, අත්දැකීම්‚ වගකීම් සහ සෞඛ්‍ය සේවාවට ලබාදෙන දායකත්වයට සාපේක්ෂව සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. සමාන ආදායම් මට්ටම් සහිත රටවල වෛද්‍ය වැටුප් හා සේවා කොන්දේසි පිළිබඳ විශ්වාසදායක දත්ත මත පදනම් වූ සංසන්දනයක් සිදු කර, විශේෂිත වැටුප් ව්‍යුහයක් සහිත ශ්‍රී ලංකා වෛද්‍ය සේවයක් ස්ථාපිත කිරීමේ යෝජනාවද සාකච්ඡාවට ගත යුතු වැදගත් කරුණකි.

2027 අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාද මෙම ගැටලු සඳහා විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසකි. අමතර රාජකාරි දීමනා හා රජයේ නිවාඩු දින දීමනා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම, DAT දීමනාව සංශෝධනය කිරීම, සෞඛ්‍ය සේවකයන් සඳහා අවදානම් දීමනාවක් හඳුන්වා දීම, සාධාරණ බදු සංශෝධන, වෛද්‍යවරුන් සඳහා විශේෂිත ශ්‍රී ලංකා වෛද්‍ය සේවය සහ එයට අනන්‍ය වැටුප් ව්‍යුහයක් සකස් කිරීම, විධිමත් කාර්ය මණ්ඩල සංඛ්‍යා සැලසුම්කරණය හා සංශෝධනය, පර්යේෂණ දිරිගැන්වීම සහ Clinical Travel Medicine වැනි නව්‍ය සේවා හඳුන්වා දීම හරහා විදේශ විනිමය උපයා ගැනීම එම යෝජනා අතර වේ. මෙම යෝජනා පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ විවෘතව සාකච්ඡා කර, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි සැලසුම් මෙහිදී ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අතිගරු ජනාධිපතිවරයා සමඟ හමුවක් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මාස කිහිපය පුරා අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇති අතර, ඒ වෙනුවෙන් කඩිනම් සාකච්ඡාවක් ලබා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

එබැවින්, සෞඛ්‍ය පද්ධතියේ අභියෝග විසඳීම සඳහා චෝදනා හෝ බෙදීම් වෙනුවට සාධනීය සංවාදයකට ප්‍රමුඛත්වය ලබා දී, අදාළ සියලු පාර්ශ්වයන් සමඟ එක්ව ප්‍රායෝගික හා තිරසාර විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී ෴


ගම්වාසීන් අල්ලා පොලිසියට භාර දුන් සැකකරුවෙක් රෝහලේදී මරුට

(28.10.2026 – hirunews.lk)

කොබෙයිගනේ පොලිසියට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලා භාරදුන් සොරකමකට පැමිණි බව කියන සැකකරුවෙකු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ ගම්වාසීන් විසින් සැකකාර තරුණයාට පහරදී තිබූ බවයි.

ඒ අනුව, ඔහුව රෝහල්ගත කළ බවත් එහිදී මෙම තරුණයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශයෙන්’ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්ගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ අදාළ තරුණයාට පහරදුන් බවට සැකපිට ගම්වාසීන් හතර දෙනෙකු (4) ද අත්අඩංගුවට ගත් බවයි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤