ඥානසාර හිමි වෙනුවෙන් නිදහසේ පාද යාත්‍රාව අද (13) වරකාපොළින් ගමන් අරඹයි

ඥානසාර හිමි වෙනුවෙන් නිදහසේ පාද යාත්‍රාව අද (13) වරකාපොළින් ගමන් අරඹයි

‘ශිරන්තිගේ විවෘත හදවත් සැත්කම’ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් දෙන්න – අධිකරණයෙන් බන්ධනාගාරයට නියෝගයක්

‘මිද්දෙණියේ කජ්ජා’ගේ පුතා ගිනි අවියක් සමග අත්අඩංගුවට

කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලාවලට මත්ද්‍රව්‍ය බෙදූ විදේශිකයින් 4 ක් අත්අඩංගුවට

යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප ඔක්තෝබර් 16 නැවත විවෘත කෙරේ

කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන අපරාධ කල්ලි සාමාජිකයෙක් (1) අත්අඩංගුවට

ශිරන්ති ආර්යාවගේ නඩුව ආණ්ඩුවට පාරාවලල්ලක් වේ. කතානායකගෙන් ලෝක වාර්තාවක්. (13.10.2026)


ඥානසාර හිමි වෙනුවෙන් නිදහසේ පාද යාත්‍රාව අද (13) වරකාපොළින් ගමන් අරඹයි

(13.10.2026 – hirunews.lk)

සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්‍රාව’ අද (13) හතරවන දිනට (4) වරකාපොළ නගරයෙන් නිට්ටඹුව දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

කෑගල්ල නගරයෙන් ආරම්භ කළ පාගමන ඊයේ (12) තුන්වන (3) දිනට වරකාපොළ නගරයෙන් අවසන් වුණා.

සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා සහ උන්වහන්සේට ගිහි ඇඳුම් ඇන්දවීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය දළදා මාළිගාව අභියසින් පා ගමනක් ආරම්භ කළේ ඉකුත් 10 වැනිදායි.

මේ අතර, ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රදේශ රැසක අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් සහ පාගමන් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව, ‘මනුෂ්‍යත්වයේ, ආදරයේ, කරුණාවේ අත්සන’ යන්න තේමා කරගනිමින් අත්සන් ලක්ෂ 50 ක් ලබා ගැනීමේ වැඩසටහන අද (13) පස්වන (5) දිනටත් ක්‍රියාත්මක වනවා.

+


‘ශිරන්තිගේ විවෘත හදවත් සැත්කම’ සම්බන්ධයෙන් වහාම වාර්තාවක් දෙන්න – අධිකරණයෙන් බන්ධනාගාරයට නියෝගයක්

(13.10.2026 – hirunews.lk)

මේ වන විට රක්ෂිත බන්ධනාගරගතව සිට දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ‘ශිරන්ති රාජපක්ෂ විවෘත හදවත් සැත්කමනට භාජනය වෙනවාද? නැද්ද?’ යන්න සම්බන්ධයෙන් සොයා බලා අද (13) පස්වරු 02:00 ට පෙර වහාම අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (13) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

ඒ, ‘සිරිලිය ගිණුම’ සම්බන්ධයෙන් වන නඩුව අද (13) යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.

මෙහි දෙවන (2) සැකකාරිය වන ශිරන්ති රාජපක්ෂ යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඇය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සඳහන් කළේ තම සේවාදායිකාව මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කමකට භාජනය කර ඇති බවයි. ඒ හේතුවෙන් ඇයට ඇප නියම කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී නිතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් සඳහන් කළේ මෙම සැකකාරිය කොළඹ ජාතික රෝහලේ 61 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පමණක් දැනුම් දී ඇති බවත්, සැකකාරිය හදවත් සැත්කමකට භාජනය කිරීමට නියමිත බවට නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බවත්ය.

මෙහිදී ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායිකාවට හදවත් සැත්කමක් සිදුකිරීමට නියමිත බවයි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියට සැබැවින්ම විවෘත හෘද සැත්කමක් කරනවාද? යන්න පිළිබඳ වාර්තාවක් පස්වරු 02:00 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් නඩු විභාගය එතෙක් කල් තැබුවා.

ඒ අනුව නඩුව පස්වරු 02:00 ට කැඳවිමට නියමිතයි ෴


‘මිද්දෙණියේ කජ්ජා’ගේ පුතා ගිනි අවියක් සමග අත්අඩංගුවට

(13.10.2026 – hirunews.lk)

පසුගිය වසරේදි වෙඩි ප්‍රහාරයකින් මියගිය ‘මිද්දෙණියේ කජ්ජා’ගේ පුතා විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක් සමග තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ගිනි අවිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, විදේශීය රටක නිෂ්පාදිත ‘බෝල්ට් ඇක්ෂන්’ වර්ගයේ බෝර 12 ගිනි අවියක් බවයි වැටලිම් නිළධාරින් පැවසුවේ.

අදාල ගිනි අවිය වීරකැටිය, යග්ගස්මුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සැකකරු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ සැකකරු මිද්දෙණිය පොලිස් වසමේදී සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් දෙදෙනකු (2) සමග මියගිය විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් ‘කජ්ජා’ නමැත්තාගේ පුත්‍රයා බවයි වැටලීම් නිළධාරින් සඳහන් කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴


කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලාවලට මත්ද්‍රව්‍ය බෙදූ විදේශිකයින් 4 ක් අත්අඩංගුවට

(13.10.2026 – hirunews.lk)

කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලාවලට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතුවල නිරතව සිටි ජැමෙයිකානු ජාතිකයින් 4 දෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී කොල්ලුපිටිය පිහිටි හෝටලයක් තුළදී සහ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළදී මොවුන් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 කට වැඩි ප්‍රමාණයක් සමගයි ෴


යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප ඔක්තෝබර් 16 නැවත විවෘත කෙරේ

(13.10.2026 – hirunews.lk)

පැවැති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 යන කලාප (Blocks 1 & 2) ඔක්තෝබර් 16 වනදා සිට නැවතත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

දැඩි වියළි කාලගුණය හමුවේ වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වනෝද්‍යානය තුළ මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් 14 වනදා සිට මෙම කලාප දෙක (2) නැරඹීම තාවකාලිකව අත්හිටුවීමට වනජීවී බලධාරීන් පියවර ගෙන තිබුණා.

වනෝද්‍යානය මහජනතාව සඳහා විවෘත කිරීමෙන් අනතුරුව, එහි පිහිටි සංචාරක බංගලා සහ කඳවුරු භූමි වෙන් කරවා ගැනීමේ පහසුකම ලබන නොවැම්බර් 01 වනදා සිට නැවත ආරම්භ වනු ඇති ෴


කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන අපරාධ කල්ලි සාමාජිකයෙක් (1) අත්අඩංගුවට

(13.10.2026 – hirunews.lk)

කොළඹ වරාය නගරයේ පිහිටි විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ, චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ ප්‍රබල චීන ජාතික සැකකරුවෙකු (1) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාල සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී රටවල් කිහිපයකට අයත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර 4 ක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගත් බවයි.

දීර්ඝ කාලයක සිට මෙරට රැඳී සිටිමින් වරාය නගරය තුළ සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වූ මෙම කප්පම් ජාවාරම සහ තර්ජනය කිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත පදනම්ව CCIB නිලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක චීන පාතාල කල්ලියක ප්‍රබල සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් සකස් කළ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් නීති විරෝධී ලෙස මෙරට රැඳී සිට ඇති බවද පොලිසිය පවසනවා ෴


ශිරන්ති ආර්යාවගේ නඩුව ආණ්ඩුවට පාරාවලල්ලක් වේ. කතානායකගෙන් ලෝක වාර්තාවක්. (13.10.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤