මතුගම ‘ඩ්‍රැගන්’ හෝටල් හිමිකරු සහ බිරිඳ ඝාතනය: ඩුබායිහි ‘දනුක’ගෙ සැළසුමක් බවට සැකයක්

මතුගම ‘ඩ්‍රැගන්’ හෝටල් හිමිකරු සහ බිරිඳ ඝාතනය: ඩුබායිහි ‘දනුක’ගෙ සැළසුමක් බවට සැකයක්

‘ඉන්ෆ්ලුවන්සා රෝගය’ ගර්භණී මව්වරුන්ට වැළඳීමේ අවදානමක්

රුපියල් මිලියන 250 කට අධික මත්ද්‍රව්‍ය සමග ‘ශිරාන් බාසික්’ගේ සහායකයෙකු වත්තලදී අත්අඩංගුවට

යුරෝපයට පනින්න ගිහින් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී කොටුවෙයි


මතුගම ‘ඩ්‍රැගන්’ හෝටල් හිමිකරු සහ බිරිඳ ඝාතනය: ඩුබායිහි ‘දනුක’ගෙ සැළසුමක් බවට සැකයක්

(11.10.2026 – hirunews.lk)

මතුගම ඩ්‍රැගන් හෝටලයේ හිමිකරු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම ක්‍රියාත්මක කර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘දනුක’ නැමැත්තා බවට සැකයක් එල්ල වී ඇතැයි පොලිසිය පවසනවා.

කළුතර – මතුගම පාරේ ගල්ලස්ස හංදියේ පිහිටි මෙම හෝටලයට පසුගිය (09) වැනිදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

කළුතර – මතුගම පාරේ ගල්ලස්ස හංදියේ පිහිටි ‘ඩ්‍රැගන්’ හෝටලයට ඉකුත් 09 වැනිදා උදේ 07:30 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් හෝටලයේ හිමිකරු එම ස්ථානයේදීම මිය ගියා.

එහිදී වෙඩි වැදීමෙන් අසාධ්‍ය තත්වයෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ බිරිඳ අද (11) අලුයම 01:48 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ දොඩන්ගොඩ, පොල්වත්තගොඩ පදිංචිව සිටි ‘තුෂාර සම්පත් එදිරිසිංහ’ (අවු. 54) සහ ‘ශිරෝමි ප්‍රියදර්ශනී’ (අවු. 50) යන දෙපළයි.

හෝටලයේ හිමිකරු මීට පෙර ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් අක්ෂි ආබාධයකින් පෙළී ඇති අතර, සිද්ධිය වූ දින දෙදෙනා (2) නිවසේ සිට මෝටර් රථය පදවාගෙන හෝටලයට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ බවටයි වාර්තා වන්නේ.

පොලිසිය පවසන පරිදි, තුවක්කුකරුවන් ටී-56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර, ගිනි අවියේ මැගසිනය අවසන් වන තුරුම එය ක්‍රියාත්මක කර ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

මෙම ඝාතන තමා විසින් සිදු කළ බව කියමින් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘දනුක’ නමැත්තා කීප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදී ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව, ‘දිනුක’ නමැත්තාගේ බිරිඳගේ නැගණියගේ සැමියා වන ඇල්හේන්කන්ද, බෝම්බුවල පදිංචි 39 හැවිරිදි සූපවේදියෙකු සහ බෝම්බුවල පදිංචි බීම පැකැට් නිෂ්පාදනය කර අලෙවි කරන්නෙකු වන 19 හැවිරිදි තරුණයෙකු මෙම සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් මීට පෙර ‘අයිස් මත්ද්‍රව්‍ය’ ළඟ තබා ගැනීම, මුදලට සූදු සෙල්ලම් කිරීම, ලියකියවිලි කිසිවක් නොමැති ත්‍රීරෝද රථයක් ළඟ තබා ගැනීම, තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකුට (2) තුවාල සිදු කිරීම, බීමත්ව රිය පැදවීම හා ගංජා ළඟ තබා ගැනීම ආදි වැරදි සම්බන්ධයෙන් දකුණු කළුතර සහ දොඩන්ගොඩ පොලිස් ස්ථානවලින් වරින් වර අත්අඩංගුවට පත්වූවන් වන බව ද පොලිසිය පවසනවා.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඉකුත් ජූලි 23 වැනිදා මෙම සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් ඩ්‍රැගන් හෝටලයට පැමිණ, “දනුක කතා කරනවා” යැයි පවසා හෝටල් හිමිකරුට දුරකථනය ලබාදී ඇති බවයි. එහිදී ‘මුදලට බූරුවා ගැසීම’ සඳහා හෝටලයේ කාමරයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති නමුත් හෝටල් හිමිකරු ඊට එකඟ වී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙම සිද්ධියට අදාල සැකකරුවෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දකුණු කළුතර පොලිසියට භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සියළු සැකකරුවන් අද (11) කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය සහ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.පී. උදයකුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත දකුණු කළුතර පොලිසිය ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් තුනක් (3) යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා ෴


‘ඉන්ෆ්ලුවන්සා රෝගය’ ගර්භණී මව්වරුන්ට වැළඳීමේ අවදානමක්

(11.10.2026 – hirunews.lk)

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ‘ඉන්ෆ්ලුවන්සා රෝගය’ මේ වන විට ගර්භණී මව්වරුන්ට වැළඳීමේ අවදානමක් පවතින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ මහාචාර්ය සනත් ලැනරෝල් පවසනවා.

ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රෝගය වැළඳීමට පෙර ලබා දෙන ‘ඉන්ෆ්ලුඑන්සා එන්නත’ ලබා ගැනීමෙන් ගර්භණී මව්වරුන්ට රෝගය වැළඳීමෙන් ආරක්ෂා විය හැකි බවයි ෴


රුපියල් මිලියන 250 කට අධික මත්ද්‍රව්‍ය සමග ‘ශිරාන් බාසික්’ගේ සහායකයෙකු වත්තලදී අත්අඩංගුවට

(11.10.2026 – hirunews.lk)

වත්තල, මාබෝල ප්‍රදේශයේදී කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 250 කට අධික වටිනාකමකින් යුත් ‘හෙරොයින්’ සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 229 ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 09 යි ග්‍රෑම් 264 ක් (සහිත සමස්ත මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 කට ආසන්න ප්‍රමාණයක්) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ නැමැත්තාගේ සමීපතමයෙකු වන අතර, විදේශගතව සිටින ‘මොරිල්’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්ද්‍රව්‍ය මෙරට තුළ බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස මොහු කටයුතු කර ඇති බවට හෙළිවී තිබෙනවා ෴


යුරෝපයට පනින්න ගිහින් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී කොටුවෙයි

(11.10.2026 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘චරිත් සඳකැලුම්’ හෙවත් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදන සහ දේශසීමා ආරක්ෂක දත්ත පද්ධති පදනම් කරගනිමින් බල්ගේරියානු ආරක්ෂක අංශ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලීසිය විසින්ද තහවුරු කර ඇති අතර, ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා උදර්පන නීතිය යටතේ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘චරිත් සඳකැලුම්’, දීර්ඝ කාලයක සිට ඩුබායි හි රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත.

ඔහු දැනට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ජාත්‍යන්තර වැටලීම්වලින් බේරීම සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී මොහු මෙලෙස බල්ගේරියානු ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මෙරටට භාර ගැනීමෙන් පසු කිරින්ද අයිස් ජාවාරම, මූල්‍ය විශුද්ධිකරණය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුළුල් විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

‘රන් මල්ලි’ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා :

කිරින්ද මහා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම

2025 නොවැම්බර් 12 වැනිදා කිරින්ද අන්දගලවෙල්ල වෙරළ ප්‍රදේශයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය, තංගල්ල අපරාධ කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 30 කට වඩා වටිනා කිලෝ 345 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් අත්අඩංගුවට ගැනුණි.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ සැබෑ හිමිකරු ඩුබායිහි සැඟව සිටින ‘රන් මල්ලි’ බව පොලිසිය තහවුරු කළ අතර, ඩුබායි හි සිට සැකකරුවන්ට රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ඔහු උපදෙස් දී තිබුණි.

මෙම සිදුවීමට අදාළව සැකකරුවන් 8 ක් සහ වාහන 6 ක් අත්අඩංගුවට ගත් අතර, තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දින 7 ක රඳවා තැබීමේ නියෝගද ලබාගෙන ඇත.

කොට්ටාවේ මුදල් වැලලීමේ සිදුවීම

2021 ජූලි මාසයේදී කොට්ටාව (පන්නිපිටිය) ප්‍රදේශයේ කුලී නිවසක වළලා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් මිලියන 13.9 ක මුදලක් සොයාගැනීමට පොලිසිය සමත් විය.

අදාළ නිවස කුලියට ගෙන සිටි ‘රන් මල්ලි’ගේ බෑනනුවන් වන ‘දිනේෂ් ලක්මාල්’ නමැත්තා අත්අඩංගුවට ගැනුණු අතර, මෙරට මුදල් පාලනය සඳහා ‘රන් මල්ලි’ විසින් ඔහුව යොදවාගෙන තිබූ බව අනාවරණය විය.

ගැඹුරු මුහුදේ හෙරොයින් ජාවාරම

2022 වසරේදී හම්බන්තොට මහා රාවණා කොටුව ආසන්න මුහුදේදී නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අත්අඩංගුවට ගත් කිලෝ 331 ක හෙරොයින් තොගය පිටුපසද ‘රන් මල්ලි’ සිටින බවට තොරතුරු වාර්තා වී තිබුණි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤