රු. කෝටි 13 ක් වංචා කළ කඩුවෙල රාජ්‍ය බැංකුවක අයකැමියාට වසර 15 කින් එකවර ගෙවීයන ලෙස බරපතළ වැඩ සහිත වසර 35 ක සිර දඬුවමක්

රු. කෝටි 13 ක් වංචා කළ කඩුවෙල රාජ්‍ය බැංකුවක අයකැමියාට වසර 15 කින් එකවර ගෙවීයන ලෙස බරපතළ වැඩ සහිත වසර 35 ක සිර දඬුවමක්

‘ටී.එම්. ඇප්’ පිරමීඩ සමාගමේ අධ්‍යක්ෂකයන් දෙදෙනෙකුට (2) විදෙස් ගමන් තහනමක්

හොඳටම හොඳ වුනත්, යන්න තැනක් නැති හාරසියයක් (400) මානසික රෝහලේ


රු. කෝටි 13 ක් වංචා කළ කඩුවෙල රාජ්‍ය බැංකුවක අයකැමියාට වසර 15 කින් එකවර ගෙවීයන ලෙස බරපතළ වැඩ සහිත වසර 35 ක සිර දඬුවමක්

(09.10.2026 – hirunews.lk)

රාජ්‍ය බැංකුවක තැන්පත් කර තිබූ රුපියල් කෝටි 13 කට අධික මුදලක් සිය පෞද්ගලික පරිහරණයට ගෙන සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතරකට (4) වරදකරු කරනු ලැබූ එම බැංකුවේ ප්‍රධාන මුදල් අයකැමියා ලෙස සේවය කළ නිලධාරියාට බරපතළ වැඩ සහිත වසර 35 ක සිර දඬුවම් නියම කළ හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග එම සිරදඬුවම එකවර වසර 15 කින් ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කළා.

එයට අමතරව එලෙස සාවද්‍ය සාපරාදී පරිහරණය කළ මුදල ද (135,102,975.00) වන්දියක් ලෙස එම රාජ්‍ය බැංකුවට ගෙවීමට ද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් වසර හතරක (4) සිර දඬුවම්ද නියම කළා.

කඩුවෙල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ප්‍රධාන මුදල් අයකැමියා ලෙස සේවය කළ නිලධාරියාට මෙලෙස සිරදඬුවම් නියම විය ෴


‘ටී.එම්. ඇප්’ පිරමීඩ සමාගමේ අධ්‍යක්ෂකයන් දෙදෙනෙකුට (2) විදෙස් ගමන් තහනමක්

(09.10.2026 – hirunews.lk)

අන්තර්ජාලයේ දැන්වීම් නැරඹීමට රුපියල් 7800 ක මුදලක් ආයෝජනය කර වසරකට රුපියල් ලක්ෂයේ (100,000) සිට රුපියල් පනස් අටකෝටි අනූඅට ලක්ෂ හතළිස් දහසක් (58,98,40,000) දක්වා ආදායම් ලැබිය හැකි බවට ප්‍රචාරය කරමින් ජනතා මුදල් රුපියල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන “ටී.එම්. ඇප්” නීති විරෝධී පිරමීඩ සමාගමේ අධ්‍යක්ෂකයන් දෙදෙනෙකුට (2) විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව පිරිමිඩ සමාගමේ අධ්‍යක්ෂකයන් වන පානදුරේ පදිංචි ‘කරාගොඩ ඩේවිඩ් ලලිත්’ සහ කල්මුණේ පදිංචි ‘මොහොමඩ් රාෆික් මොහොමඩ් සබ්රි’ සැකකරුවන්ට මෙම විදෙස් ගමන් තහනම නිකුත් කළා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක් කරන ලද ‘ටී.එම්. ස්කිල් එක්ස්චේන්ජ්’ හා ‘ට්‍රම්ප් මීඩියා හවුස්’ නමින් පිහිටවූ නීති විරෝධී පිරමීඩ සමාගම් දෙකක් (2) මගින් මෙම ජාවාරම කර රු. කෝටි ගණන් ජනතා මුදල් වංචාකර ඇති බවය.

විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ මෙලෙස පවසා සිටියා :

“ස්වාමීනි , ‘ටී.එම්. ඇප්’ යෙදුම හරහා පල කරන දැන්වීම් නැරඹීමට සමාගම් දෙකෙහි (2) ලියාපදිංචි වී මුදල් ආයෝජනය කරන ලෙසට ජනතාවට දැනුම් දී තිබෙනවා. සැකකරුවන් එමගින් රු. කෝටි ගණන් මුදල් වංචා කර ඇති බවට පැමිණිල්ලි ලැබෙමින් පවතිනවා.

රුපියල් 7800 සිට රුපියල් තිස් අට ලක්ෂය (38,00,000) දක්වා පැකේජ් නමයක (9) ආයෝජනය කර රුපියල් ලක්ෂයේ (100,000) සිට රුපියල් පනස් අට කෝටියක (58) ආදායමක් වර්ෂයකට ලබාගත හැකි බවට ප්‍රචාරය කර තිබෙනවා.”

“සැකකරුවන් විසින් 2025 ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා අදාළ මුදල් එක් රැස් කර වංචා කර ඇත. මුල් අවස්ථාවේදී ආයෝජකයින්ට ප්‍රතිලාභ ලබා දී ඇතිමුත් පසුව රුපියල් ලක්ෂ ගණනින් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කර ඇත. මෙම වංචාවට හසුව මුදල් අහිමි කරගත් තැන්පත්කරුවන්ගේ පැමිණිලි අනුව සැඟව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඔවුන් විදේශගත වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි බැවින් අදාළ විදෙස් ගමන් තහනම නිකුත් කරන ලෙසද ඉල්ලා සිටිනවා.”

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් නියෝග නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ෴


හොඳටම හොඳ වුනත්, යන්න තැනක් නැති හාරසියයක් (400) මානසික රෝහලේ

(09.10.2026 – hirunews.lk)

මානසික රෝග වැලදී සුව වූ පුද්ගලයින් 400 ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව නිවෙස් වලට යා නොහැකිව සිටින බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පවසනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් සදහන් කළේ රජය සහ පෞද්ගලික අංශ මැදිහත්ව ප්‍රාදේශිය වශයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීම මගින් මෙම තත්වය පාලනය කර ගත හැකි බවයි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤