ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
භික්ෂුවකගේ සිවුර ගැලවීමේ බලය තියෙන්නේ අදාළ නිකායට විතරයි – එජාපයෙන් විශේෂ ප්‍රකාශයක්
“මොන කේවට්ටයා ද උපදෙස් දුන්නේ? මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම බුද්ධ ධර්මයට කළ අපහාසයක් – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය
බන්ධනාගාරගත භික්ෂූන් පිටතට ගෙන යද්දී සිවුර පොරවාගෙන යාමට ඉඩ දෙන්න – යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයෙන් ඉල්ලීමක්
සිවුරට අත තබා ශිෂ්ටාචාරය ආගාධයට ඇද දමන්න එපා – දුමින්ද දිසානායක
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේ නීති සංශෝධනයට කමිටුවක් : ජනාධිපති මහා සංඝරත්නය හමුවේ කියයි
බාල ගල් අඟුරු නිසා රටට රුපියල් මිලියන 17,900 කට වැඩි පාඩුවක් : මහ බැංකු බැඳුම්කර වංචාවටත් වඩා ලොකුයි – පා. මන්ත්‍රී එස්.එම්. මරික්කාර්
‘ශිරාන් බාසික්’ගේ රු. කෝටි 10 ක දේපළ දින 14 කට තහනම්
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ – හෙට (09) ජාතික අක්ෂි රෝහලට
අභියෝගාත්මක තත්ත්වයක සිටින ඉරාන නෞකා හේතුවෙන් ශ්‍රී ලංකාව අර්බුදයක
ඉදිරියේදී විවෘත පත්‍රිකා යටතේ වාහන අලෙවි කිරීමෙන් වළකින්න : ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්’ ජනතාවට දැනුම්දීමක්
(08.10.2026 – hirunews.lk)
ඉදිරියේදී විවෘත පත්‍රිකා (Open Papers) යටතේ රථවාහන අලෙවි කිරීමෙන් වළකින ලෙස ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව’ ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු සඳහන් කළේ, වාහනයක් පැවරීමේදී පැවරුම්කරු සහ පැවරුම්ලාභියා විසින් ‘MTA 6’ නැමැති අදාළ ලේඛනය අත්සන් කර, එහි නියමිත පිටපත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කළ යුතු බවයි.
වාහන යොදා ගනිමින් රට තුළ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීමත්, එවැනි වංචනිකයන්ගෙන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කර ගැනීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴
ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
(08.10.2026 – hirunews.lk)
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා ෴
භික්ෂුවකගේ සිවුර ගැලවීමේ බලය තියෙන්නේ අදාළ නිකායට විතරයි – එජාපයෙන් විශේෂ ප්‍රකාශයක්
(08.10.2026 – hirunews.lk)
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය අනාවරණය කරමින්, එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
විනය පිටකයට අනුව භික්ෂූන් වහන්සේනමකගේ සිවුර ඉවත් කළ හැක්කේ උන්වහන්සේ අයත් අදාළ නිකායට පමණක් බව පෙන්වා දෙන ඔහු, මෙලෙස අන්තනෝමතික ලෙස කටයුතු කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති මෙන්ම බුද්ධාගම හා ආගමික නිදහස ද අභියෝගයට ලක්කර ඇති බවයි අවධාරණය කරන්නේ.
අධිකරණ තීන්දුව මත ඥානසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කළ අවස්ථාවේදී, උන්වහන්සේගේ සිවුර ගැලවීමට පෙර අධිකරණ අමාත්‍යාංශය විසින් මහානායක හිමිවරුන්ගේ අදහස් ලබාගත යුතුව තිබූ බවද ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම, යහපාලන ආණ්ඩු සමයේදී ඥානසාර හිමියන්ට එරෙහිව නඩුව ගොනු වූ අවස්ථාවේදී ද මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත එවකට ජනාධිපතිවරයා විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදුන් බවත්, මහානායක හිමිවරුන්ගේ එම ඉල්ලීම මත නිදහස ලබාදුන් පසු නැවත එය වෙනස් වන්නේ කෙසේදැයි එජාප සභාපතිවරයා ප්‍රශ්න කර සිටිනවා.
මෙම තත්ත්වය සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස සැලකිය නොහැකි බවත්, ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර වෙනත් ආකාරයකින් විසඳුමක් ලබාදීමට ඉඩකඩ තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා ෴
“මොන කේවට්ටයා ද උපදෙස් දුන්නේ? මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
(08.10.2026 – hirunews.lk)
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
යම් හෙයකින් කාගේ හෝ උපදෙස් මත මෙලෙස භික්ෂූන් වහන්සේනමකගේ සිවුර ඉවත් කර ඇත්නම්, එය බෞද්ධ රාජ්‍යයක කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.
“කිරිකලයට ගොම බින්දුවක් වැටුණා වගේ වැඩක් මෙතැනදී සිදුවෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාත් බෞද්ධයෙක් (?), අගමැතිත් බෞද්ධයෙක් (?). මොන කේවට්ටයා උපදෙස් දුන්නත් මෙවැනි දේවල් සිදුවීමෙන් සිදුවන්නේ රජයටත් අගෞරවයක් සිදුවීමයි,” යනුවෙන් උන්වහන්සේ පෙන්වා දුන්නා.
ඥානසාර හිමියන් අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඊට දඬුවම් ලැබීම සාධාරණ වුවත්, මෙවැනි පියවරක් ගැනීමට පෙර මහානායක හිමිවරුන් දැනුවත් කර උන්වහන්සේලාගේ අදහස් ලබාගත්තේ නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන බවයි උන්වහන්සේ අවධාරණය කරනු ලැබුවේ.
එබැවින් මේ සම්බන්ධයෙන් නැවත දුරදිග සලකා බලා, මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කර ඥානසාර හිමියන්ට නැවත සිවුර ලබාදීමට කටයුතු කරන ලෙසත්, මතුව ඇති අගෞරවනීය තත්ත්වය වහාම නිවැරදි කරගන්නා ලෙසත් උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
+
ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම බුද්ධ ධර්මයට කළ අපහාසයක් – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය
(08.10.2026 – hirunews.lk)
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම බුද්ධ ධර්මයට කළ අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ බුද්ධ ශාසනය තුළ තහවුරු වී ඇති සම්ප්‍රදායන් සහ විනය නීතිවලට අනුව බවයි.
විනය පිටකයට අනුව සංඝයා වහන්සේනමකගේ සිවුර ගැලවීමේ බලය ඇත්තේ උන්වහන්සේ පැවිද්ද ලැබූ නිකායට පමණක් බවත්, ඉන් පරිබාහිර කිසිදු පාර්ශවයකට ඒ සඳහා හිමිකමක් නොමැති බවත් එහි දැක්වෙනවා.
එමෙන්ම ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම ඇන්දවීමට ගත් පියවර හේතුවෙන් රට තුළ විශාල විරෝධයක් මතුව ඇති බව පෙන්වා දෙන ඒකාබද්ධ විපක්ෂය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බවද සිහිපත් කරනවා.
එබැවින් බුද්ධාගම සම්බන්ධයෙන් අන්තනෝමතික ලෙස ක්‍රියාකිරීම වහාම නතර කළ යුතු බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා ෴
බන්ධනාගාරගත භික්ෂූන් පිටතට ගෙන යද්දී සිවුර පොරවාගෙන යාමට ඉඩ දෙන්න – යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයෙන් ඉල්ලීමක්
(08.10.2026 – hirunews.lk)
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට කැඳවාගෙන යන අවස්ථාවලදී සිවුර පොරවාගෙන යාමට අවකාශ සලසා දෙන ලෙස යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරනවා.
එම සංගමයේ සභාපති ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලේ පුඤ්ඤරතන නායක හිමියන් සහ මහා ලේඛකාධිකාරී සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක මොරවක සෝරත නායක හිමියන්ගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපිය මගින් පෙන්වා දෙන්නේ, නෛතිකව වැරදිකරුවන් වූ භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට ගිහි ඇඳුමින් රැගෙන යාම බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේ ද කම්පනයට හේතුවන කරුණක් බවයි.
දඬුවම් කාලය අවසන් වූ පසු උන්වහන්සේලාට නැවත ශාසනික කටයුතුවල නිරත වීමට සිදුවන බැවින්, පුද්ගල පෞරුෂත්වයට හානියක් නොවන පරිදි කටයුතු කිරීම වැදගත් බව ද එහි සඳහන්.
එබැවින් පවතින නෛතික ඉඩකඩ උපයෝගී කරගනිමින්, පිටතට ගෙන යන අවස්ථාවලදී උන්වහන්සේලාට ශාසනික නිල ඇඳුම වන සිවුර පැළඳීමට අවස්ථාව ලබාදෙන ලෙස සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා ෴
සිවුරට අත තබා ශිෂ්ටාචාරය ආගාධයට ඇද දමන්න එපා – දුමින්ද දිසානායක
(08.10.2026 – hirunews.lk)
බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිවුරට අත තැබීමෙන් හෝ ඊට බාධා කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක රජයෙන් ඉල්ලීමක් කරනවා.
එවැනි ක්‍රියාමාර්ග මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ වසර දහස් ගණනක ශිෂ්ටාචාරය ආගාධයට ඇද දැමීමේ අවදානමක් පවතින බවයි අද (08) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ලංකාව යනු ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ පදනමක් සහිත රටක් බවත්, සෑම සිංහල ගමකම පාහේ විහාරස්ථාන සහ සංඝරත්නය කේන්ද්‍ර කරගත් දීර්ඝ සංස්කෘතික ඉතිහාසයක් පවතින බවත් ආණ්ඩුව මතක තබා ගත යුතු බවත්, ආණ්ඩුව මේ වන විටත් භික්ෂූන් වහන්සේලාගේ ‘සිවුරට අත තබා’ ඇති බවත්, ඉන් එහාට ගොස් ‘සිවුරට ගිනි තැබීම’ට කටයුතු නොකරන ලෙසත් ඔහු අවධාරණය කළා.
අතීතයේ අධිරාජ්‍යවාදී පාලකයන් පවා මහා සංඝරත්නයේ සහ සිවුරේ බලපෑමට අභියෝග කිරීමට ගිය අවස්ථාවලදී විශාල ජන විරෝධයකට මුහුණ දුන් බව හෙතෙම මතක් කර දුන්නා.
කිසිවෙකුටත් භික්ෂූන් වහන්සේලාගේ සිවුර හෙළදැකිය නොහැකි බවත්, සිවුරට හානියක් නොවන පරිදි ඕනෑම අධිකරණ ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගෙන යන ලෙස මහානායක හිමිවරුන් පවා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළා ෴
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේ නීති සංශෝධනයට කමිටුවක් : ජනාධිපති මහා සංඝරත්නය හමුවේ කියයි
(08.10.2026 – hirunews.lk)
භික්ෂුන් වහන්සේ බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින්, නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
නීතිපති, අධිකරණ අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් එම කමිටුව පත් කරන බවත්, සති දෙකක් (2) ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවත්, එහි භික්ෂූන් වහන්සේලාට බලපාන කොටස් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
එසේ නොමැතිව නීති තිබියදී, තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවත්, නීතිය වර්තමානයට උචිත නොවන්නේනම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කරගැනීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා බව සඳහන් කළේ අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ෴
බාල ගල් අඟුරු නිසා රටට රුපියල් මිලියන 17,900 කට වැඩි පාඩුවක් : මහ බැංකු බැඳුම්කර වංචාවටත් වඩා ලොකුයි – පා. මන්ත්‍රී එස්.එම්. මරික්කාර්
(08.10.2026 – hirunews.lk)
ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ලංකාවට ගෙන්වීම සහ හදිසි මිලදී ගැනීම් හේතුවෙන් රටට රුපියල් මිලියන 17,965 කට (රු. කෝටි 1,796 කට) අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා.
අද (08) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම අලාභය මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් එකහමාර (1½) ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් බවයි.
ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පත්කළ විශේෂඥ කමිටු වාර්තාව ඇසුරෙන් කරුණු දක්වමින් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ජනනය කිරීමට වැඩිපුර ගල් අඟුරු වැයවීමෙන් රු. මිලියන 799 ක පාඩුවක්ද, නඩත්තු කටයුතු සඳහා රු. මිලියන 80.4 ක්ද, අළු පාලනය සඳහා රු. මිලියන 13.1 ක්ද වැයවී ඇති බවයි.
විදුලි උත්පාදනය අඩුවීම නිසා අඛණ්ඩ විදුලිය පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට රුපියල් මිලියන 8,573 ක් වැයවී ඇති බවත්, ගල් අඟුරු නැව් 25 ක් පැමිණීමට තිබුණද පැමිණ ඇත්තේ නැව් 19 ක් හේතුවෙන් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙනා නැව් 5 ක් සඳහා අතිරේකව රුපියල් මිලියන 2,284 ක් ගෙවීමට සිදුවී ඇති බවත් මන්ත්‍රීවරයා පවසනවා.
රටේ විදුලි බිල සහ තෙල් මිල ඉහළ දැමීමට සෘජුවම බලපා ඇත්තේ මෙම බාල ගල් අඟුරු මාෆියාව බවත්, ඒ හරහා සිදුවූ පාඩුව වසාගැනීමට ආණ්ඩුව ජනතාව මත බදු බර පටවා ඇති බවත් මන්ත්‍රීවරයා චෝදනා කළ අතර, මෙම මහා පරිමාණ වංචාවට එවකට අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි සෘජුව වගකිව යුතු බවත්, අදාළ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා ෴
‘ශිරාන් බාසික්’ගේ රු. කෝටි 10 ක දේපළ දින 14 කට තහනම්
(08.10.2026 – hirunews.lk)
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘ශිරාන් බාසික්’ නැමැත්තා විසින්, සිය පියා සහ උපකාරක පන්ති ගුරුවරයෙකු යන අයගේ නම්වලින් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් දේපළක් දින 14 ක කාලයක් සඳහා තහනම් කර තිබේ.
මෙම දේපළ අතරට ගොඩනැගිල්ලක්, නිවසක්, හෝටලයක් සහ ඉඩම් 2 ක් ඇතුළත් වන බවයි පොලිසිය පවසන්නේ.
මෙම සිද්ධියට අදාල විමර්ශන පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකෙරනවා ෴
ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඉදිරිපත් නොකෙරේ – හෙට (09) ජාතික අක්ෂි රෝහලට
(08.10.2026 – hirunews.lk)
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම සැකකාරියව අද (08) බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න ප්‍රකාශ කළා.
එහිදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඇයව හෙට (09) දිනයේදී කොළඹ ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴
අභියෝගාත්මක තත්ත්වයක සිටින ඉරාන නෞකා හේතුවෙන් ශ්‍රී ලංකාව අර්බුදයක
(08.10.2026 – hirunews.lk)
ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බෙහි රැඳී සිටින, එක්සත් ජනපද සම්බාධකවලට ලක්වූ ඉරාන නෞකා සඳහා මානුෂීය ආධාර සැපයීමෙන් ද්විතීයික සම්බාධකවලට (secondary sanctions) මුහුණ දීමට සිදුවීමේ අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව දිනපතා පළවන ඉංග්‍රීසි පුවත්පතක් වාර්තාකර සිටිනවා.
ප්‍රමාණයෙන් 20 ක් පමණ වන මෙම නෞකා ශ්‍රී ලංකාවේ ආර්ථික කලාපය තුළ පිහිටා තිබුණද, ඒවා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ නොමැති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.
මෙම නෞකාවල නාවිකයින් සඳහා ආහාර, ජලය සහ ඖෂධ සැපයීමෙන් ශ්‍රී ලංකාව වළකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉරාන බලධාරීන් වෙත දැනටමත් දැනුම් දී ඇති අතර, පෞද්ගලික අංශයටද එවැනි සැපයුම් නොකරන ලෙස උපදෙස් දී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 98 වැනි වගන්තියට අනුව, මානුෂීය අවශ්‍යතා ඇති නෞකා සඳහා එවැනි ආධාර සැපයීමට ශ්‍රී ලංකාවට නීතිමය අයිතියක් ඇති අතර සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව, සැපයුම් ලබාගැනීමට බලා සිටින ඉරාන නෞකාවල නාවිකයින්ට ආධාර සැපයීමට බැඳී සිටින බවට ඉරාන බලධාරීන් තර්ක කරන්නේ.
මේ සම්බන්ධයෙන් තමන්ගේ කරුණු ඉදිරිපත් කිරීමේදී ඔවුන් UNCLOS සම්මුතියට අමතරව, 1974 මුහුදේදී සිදුවන ජීවිත ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සහ 1979 සාගර සෙවුම් හා මුදවා ගැනීමේ ජාත්‍යන්තර සම්මුතිය (SAR) ද උපුටා දක්වා තිබෙනවා.
කෙසේ වෙතත්, නැගී එන ආර්ථිකයක් හිමි කුඩා රටක් වන ශ්‍රී ලංකාවට මෙම අවස්ථාවේදී ඇමරිකානු සම්බාධකවලට එරෙහිව සිටීමට හැකියාවක් නොමැති බවයි එම මාධ්‍ය වාර්තාව පෙන්වා දෙන්නේ.
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද සඳහන් කළේ ශ්‍රී ලංකාවට මෙම සම්බාධකවලට තනිවම එරෙහි විය නොහැකි බවත්, තනිව උත්සාහ කරනවාට වඩා සමූහයක් ලෙස එකතු වී නොබැඳි ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යා හැකි බවයි.
මීට පෙර එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ‘නීති විරෝධී ඉරාන ආදායම් මාර්ග’ වසා දැමීමට සහ ඉරාන පාලන තන්ත්‍රය සමඟ ගනුදෙනු කිරීමේ අවදානම පිළිබඳව ගෝලීය වශයෙන් දැනුවත් කිරීමට එක්සත් ජනපදය සිය පාර්ශවකරුවන් සහ සහකරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවයි.
සැප්තැම්බර් 25 වන දින තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දක්වා තිබුණේ, “සම්බාධකවලට ලක්වූ නෞකාවල මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීම හේතුවෙන් තැරැව්කරුවන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ භාණ්ඩ සහතික කරන්නන් ඇතුළු පාර්ශ්වයන් එක්සත් ජනපදය විසින් මීට පෙරද නම් කර ඇති බවයි.
“සම්බාධක පනවා ඇති නෞකාවලට සහාය දෙන තැරැව්කරුවන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ භාණ්ඩ සහතික කරන්නන්ට එරෙහිව පියවර ගෙන තිබෙනවා. මෙවැනි නෞකාවලට ඉන්ධන, ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය සැපයීම සිදුකරන සමාගම් හෝ පුද්ගලයන් ඇමෙරිකානු සම්බාධක මෙන්ම සිවිල් හෝ අපරාධ චෝදනාවලට ලක්විය හැකියි.” යනුවෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනයක් සඳහන් කරන බවයි එම මාධ්‍ය වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴