ශිරන්ති රාජපක්‍ෂ නවලෝක රෝහලට..
ප‍්‍රමිතිය බාලයි.. බාල එන්නත් තොග හතරක් (4) වහාම ඉවත් කරයි..
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි කනස්සල්ල – බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
(07.10.2026 – sinhala.adaderana.lk)
අධිකරණ තීන්දුවකට අනුව බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර ඇත.
එම ලිපියෙන් මහානායක හිමිවරු පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණමය ක්‍රියාදාමයන්ට බාධා නොවිය යුතු බවට සිය ස්ථාවරය වන නමුත්, භික්ෂූන් වහන්සේනමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බවය.
එය ගරුතර මහා සංඝරත්නයට අයත් ශාසනික කර්තව්‍යයක් බව උන්වහන්සේ අවධාරණය කරති.
එම ලිපියේ දක්වා ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ :
භික්ෂූන් වහන්සේනමකගේ පැවිදි බව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලධිකාරිය ඇත්තේ අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවට බවත්, ඥානසාර හිමියන්ගේ භික්ෂූත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මගින් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එහි සඳහන් වේ.
බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසියට අනුව, වරදකරුවන් කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතු අතර, වරදකරුවන් වීමට පෙර ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඉඩ දිය යුතුය. භික්ෂූන් වහන්සේනමක් සම්බන්ධයෙන් “වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම” වන්නේ චීවරය මිස ගිහි ඇඳුමක් නොවන බව මහානායක හිමියන් පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 17(3) රීතිය ප්‍රකාරව, සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන සෑම අවස්ථාවකදීම ඔහුට තමාගේම පෞද්ගලික ඇඳුම් හෝ සාමාන්‍ය ඇඳුම් ඇඳීමට අවසර දිය යුතු බවද මතක් කර දී ඇත.
එබැවින්, ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී ද අඛණ්ඩව චීවරධාරීව (භික්ෂු භාවයෙන්) පෙනී සිටීමට අවශ්‍ය පරිපාලනමය පහසුකම් සලසා දෙන ලෙසත්, බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාව තුළ භික්ෂූත්වයට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අවකාශ සලසන ලෙසත් මහානායක හිමිපාණන් වහන්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිති.
+++

ශිරන්ති රාජපක්‍ෂ නවලෝක රෝහලට..
(07.10.2026 – lankacnews.com)
‘සිරිලිය’ ගිණුමේ රුපියල් මිලියන 10 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අක්ෂි ප්‍රතිකාර ලබාගැනීම සඳහා හෙට (08) නවලෝක රෝහල වෙත යොමු කරන ලෙස අධිකරණය නියෝග කළේය.
ඇය පෙළෙන අක්ෂි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම පිණිස, මීට පෙර ප්‍රතිකාර ලබාගත් අදාළ පෞද්ගලික රෝහලේ සුපුරුදු වෛද්‍යවරයා හමුවට ඇයව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.
ඒ අනුව බන්ධනාගාර ආරක්ෂාව යටතේ හෙට (08) දහවල් 12:30 ට ඇයව නවලෝක රෝහල වෙත රැගෙන යාමට නියමිතය.
මේ අතර, නඩු විභාගය අතරතුරදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.
එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ 73 වැනි වියෙහි පසුවන තම සේවාදායිකාව දීර්ඝ කාලයක සිට බරපතළ රෝගාබාධ කිහිපයකින්ම පෙළෙන තැනැත්තියක් බවයි.
2019 වසරේ සිට ඇය හෘද රෝගී තත්ත්වයන් සඳහා අඛණ්ඩව ප්‍රතිකාර ලබන බවත්, ඇයගේ රුධිර ධමනි කිහිපයක් කොලෙස්ටරෝල් හේතුවෙන් අවහිර වී ඇති බැවින් හෘදයාබාධයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙවැනි රෝගී තත්ත්වයක පසුවන අයෙකු බන්ධනාගාරගත කළහොත් අධික මානසික ආතතිය හේතුවෙන් ජීවිත අවදානමක් පවා මතුවිය හැකි බව නීතිඥවරයා අවධාරණය කළේය.
තවද, 2021 වසරේදී ඇයගේ මොළය ආශ්‍රිතව ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඇති බවත්, වේලාවක් නිශ්චය කළ නොහැකි ලෙස හිටිහැටියේ ඇතිවන දැඩි කරකැවිල්ල සහ ක්ලාන්තය හේතුවෙන් ඇය බිම ඇදවැටෙන බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඊට අමතරව ඇයගේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධයක් සහ ‘වෙරිකෝස්’ (Varicose veins) රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින්, ඇයට සිය දෛනික කටයුතු පවා තනිවම කරගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව ද සඳහන් කෙරිණි.
මෙවැනි සංකීර්ණ රෝගී පසුබිමක පසුවන පුද්ගලයකුට බන්ධනාගාරයක් තුළදී නිසි ප්‍රතිකාර ලබාදිය නොහැකි බැවින් සහ ඇය දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සුවය ලබමින් සිටින හෙයින්, මෙම කරුණු සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා ඇයට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය ෴
ප‍්‍රමිතිය බාලයි.. බාල එන්නත් තොග හතරක් (4) වහාම ඉවත් කරයි..
(07.10.2026 – lankacnews.com)
ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ ‘කෝ-ඇමොක්සික්ලෙව්’ (Co-amoxiclav) මිලිග්‍රෑම් 1000-200 කාණ්ඩයේ ප්‍රතිජීවක එන්නත් තොග හතරක් (4) වහාම භාවිතයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදෙස් මත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් විශේෂ චක්‍රලේඛයක් මගින් දිවයිනේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.
මෙලෙස භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර ඇත්තේ ‘බෝක්ලැව් 1.2’ (Boclav 1.2) යන වෙළෙඳ නාමය යටතේ පවතින B 15017, B 15001, B 15018 සහ B 15002 දරන කාණ්ඩ අංක (Batch Numbers) සහිත එන්නත් තොගයන්ය.
අදාළ ඖෂධය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ‘භාරත් පැරෙන්ටරල්ස්’ (Bharat Parenterals) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය (2025) වසරේ ජනවාරි මාසයේදී නිෂ්පාදනය කර ඇති එම එන්නත් තොග එළැඹෙන දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබූ ඒවා බව සඳහන් වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන තාක්ෂණික හා පරීක්ෂණ ආයතනය වන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NMQAL) නිකුත් කළ වාර්තා හතරක් (4) සහ එම අධිකාරියේ ආරක්ෂාව හා අවදානම් ඇගයීම් අනුකමිටුව පසුගිය 21 වැනිදා ගනු ලැබූ තීරණයක් පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
චක්‍රලේඛය මගින් අදාළ ඖෂධ තොග වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසත්, 2021 දෙසැම්බර් 08 දිනැති සෞඛ්‍ය ලේකම්වරයාගේ අංක 01/2021 චක්‍රලේඛයේ උපදෙස් දැඩිව පිළිපදින ලෙසත් සියලු පළාත්, කලාප සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී තිබේ ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴