මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු… මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්…

මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු… මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්…


මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු… මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්…

(23.07.2026 – lankacnews.com)

ඕස්ට්‍රේලියානු ණය දෙන ආයතනයක් වන ‘Export Finance Australia’ වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරික මුදලක් වංචනික ගිණුම් වෙත යොමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු අසත්‍ය සහ අසම්පූර්ණ කරුණු නිවැරදි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මහ බැංකුව පෙන්වා දෙන්නේ අදාළ මුදල් වංචනිකයන්ගේ ගිණුම් වෙත හැරවීමට මූලිකම හේතුව මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් පද්ධතියට එල්ල වූ සයිබර් බලපෑමක් හරහා සකස් වූ ව්‍යාජ ගෙවීම් උපදෙස් බවයි.

ඕස්ට්‍රේලියානු ණය දෙන ආයතනය සමඟ 2025 ඔක්තෝබර් 27 දින අලුතින් අත්සන් කරන ලද ණය ගිවිසුම් මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව සතුව තිබියදීත්, ලැබුණු ඉන්වොයිසිවල සඳහන් බැංකු ගිණුම් විස්තර එකී මූලික ගිවිසුම් සමඟ සසඳා බලා නිවැරදි භාවය තහවුරු කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කර නැත. රජයේ බැංකුකරු ලෙස මහ බැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය මගින් අනුමත කර එවන ලද ගෙවීම් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණි.

මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ඉන්වොයිසියක ප්‍රතිග්‍රාහක බැංකු විස්තර වෙනත් ප්‍රාන්තයක පිහිටි බැංකුවක් ලෙස සටහන්ව තිබීම හේතුවෙන්, ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (AML) නීතිමය පසුබිම යටතේ අදාළ ගෙවීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව මහ බැංකුවේ මුදල් දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයට පූර්වයෙන් දැනුම් දී තිබුණි. ණය හිමියාගෙන් ඍජුවම නිවැරදි ගිණුම් විස්තර තහවුරු කරගන්නා ලෙස උපදෙස් දුන්නද, මුදල් අමාත්‍යාංශය ඍජු තහවුරු කිරීමක් සිදු නොකර ව්‍යාජ මුලාශ්‍රය මතම විශ්වාසය තබා කටයුතු කර ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මගින් ස්ථාපිත කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වෙනුවෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව (PDD) විසින් පූර්ණ පුහුණුවක් ලබා දී තිබුණි. මෙම පුහුණුවෙන් පසු, 2025 ඔක්තෝබර් 24 දින සිට PDMO නිලධාරීන් විසින්ම තමන්ගේම පරිශීලක ගිණුම් භාවිත කරමින් NRM පද්ධතිය තුළ ස්වාධීනව Standard Settlement Instructions (SSIs) සකස් කිරීම සහ ගනුදෙනු ඇතුළත් කිරීම සිදු කර ඇත. එබැවින් මෙම ගනුදෙනු මහ බැංකුවේ ඍජු අධීක්ෂණය හෝ අනුමැතිය යටතේ සිදු වූවක් බවට මුදල් අමාත්‍යාංශය කරන ප්‍රකාශ අසත්‍ය බව මහ බැංකුවේ පද්ධතිමය සටහන් (System Logs) ඇසුරින් සනාථ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ, රාජ්‍ය විදේශ ණය සේවාවන් ඉටු කිරීමේදී රජයේ බැංකුකරු ලෙස තමන් සැමවිටම කැපවීමෙන් කටයුතු කර ඇති බවයි. මෙම අරමුදල් වෙනතකට යොමුවීමේ සිදුවීම මහ බැංකුවේ ක්‍රියාවලියක්, පුහුණුවක් හෝ පද්ධතිමය දෝෂයක් නිසා සිදු වූවක් නොව, මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර සත්‍යාපන ක්‍රියාවලියේ සහ පාලන ව්‍යූහයේ පැවති බරපතල බිඳවැටීම නිසා සිදු වූවක් බව මහ බැංකුව COPF කාරක සභාව හමුවේ අවධාරණය කර සිටියි.

මහ බැංකුව සිය වාර්තාව මගින් අවධාරණය කරන ප්‍රධාන කරුණු මෙසේය :

  1. මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන පද්ධති බිඳවැටීම :

මෙම මූල්‍ය වංචාව සිදුවීමට සෘජුවම බලපා ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතිය බිඳවැටීම සහ එහි නිලධාරීන්ගේ දැඩි නොසලකා හැරීම බව මහ බැංකුව පෙන්වා දෙයි.

ගෙවීම් උපදෙස් නිකුත් කිරීමට පෙර ඒවා මුල් ලේඛන සමඟ සැසඳීමට අමාත්‍යාංශ නිලධාරීන් අපොහොසත් වී ඇති අතර, වංචනිකයන් විසින් එවන ලද වෙනස් කරන ලද උපදෙස් නිවැරදි යැයි උපකල්පනය කරමින් ඔවුන් කටයුතු කර ඇති බව මහ බැංකුව චෝදනා කරයි.

  1. මහ බැංකුවේ අධීක්ෂණය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ :

අදාළ වංචාව සිදුවන අවස්ථාවේදී රජයේ ණය කළමනාකරණ ඒකකය මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පැවති බවට මුදල් අමාත්‍යාංශය කළ ප්‍රකාශය මහ බැංකුව සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. 2025 ඔක්තෝබර් මාසයේ සිට එම ඒකකය මුදල් අමාත්‍යාංශය යටතේ ස්වාධීනව ක්‍රියාත්මක වූ බවත්, එහි සියලු ගනුදෙනු සහ අනුමත කිරීම් අමාත්‍යාංශ නිලධාරීන් විසින්ම සිදු කර ඇති බවත් මහ බැංකුව පවසයි. ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ තාක්ෂණික සහාය මහ බැංකුව විසින් කලින්ම ලබා දී තිබූ බව ද එහි සඳහන් වේ.

  1. අනතුරු ඇඟවීම් නොසලකා හැරීම :

මෙම ගනුදෙනුවේදී ප්‍රතිලාභියාගේ ලිපිනයන් වෙනස් වීම පිළිබඳව මහ බැංකු නිලධාරීන් විසින් මුදල් අමාත්‍යාංශය වෙත සැක මතු කර තිබුණද, අමාත්‍යාංශය එම අනතුරු ඇඟවීම් නොසලකා හැර වංචනික මූලාශ්‍රවලින් තොරතුරු ලබාගෙන ගනුදෙනුව ඉදිරියට ගෙන ගොස් ඇති බව වාර්තාවේ දැක්වේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ වගකීම මහ බැංකුව පැහැර හැර ඇති බවට කරන චෝදනාව “නීතිමය වශයෙන් පදනම් විරහිත” එකක් බව මහ බැංකුව අවධාරණය කරයි.

  1. ගෙවීම් ප්‍රතික්ෂේප වීම පිළිබඳ අසත්‍ය තොරතුරු :

අදාළ ගෙවීම් වාර තුනකදී ප්‍රතික්ෂේප වූ බවට මුදල් අමාත්‍යාංශය කළ ප්‍රකාශය ද මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි. බැංකු පද්ධති වාර්තා අනුව එවැනි සිදුවීමක් වී නොමැති බවත්, අමාත්‍යාංශය සත්‍ය තත්ත්වය වසන් කරමින් කරුණු විකෘති කිරීමට උත්සාහ කරන බවත් මහ බැංකුව පවසයි.

  1. මහ බැංකුවේ භූමිකාව :

මහ බැංකුව රජයේ බැංකුකරු ලෙස ක්‍රියා කරන අතර, මුදල් අමාත්‍යාංශය විසින් ලබා දෙන නිවැරදි සහ වලංගු ගෙවීම් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණක් මහ බැංකුවේ වගකීම බව මෙහිදී සිහිපත් කර ඇත. ගෙවීම් උපදෙස්වල නිරවද්‍යතාව සහ සත්‍යතාව තහවුරු කිරීමේ පූර්ණ වගකීම මුදල් අමාත්‍යාංශය සතු බව මහ බැංකුව සිය වාර්තාව මගින් අවධාරණය කර සිටී.

+


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *