හොර සහතික මුද්‍රණය කළ ස්ථානයක් ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ දී වැටලේ

හොර සහතික මුද්‍රණය කළ ස්ථානයක් ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ දී වැටලේ

කූඨ ලේඛන සකස් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

පස් කන්දක් කඩා වැටී හැටන් – බලංගොඩ මාර්ගය අවහිර වෙයි

මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 3 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්

අද (20) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වැස්ස ගාල්ල උඩුගමට

ලන්ච්ෂීට් සහ සිලි බෑග් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ වැටලීමක්

වැලිගම සහ පයාගල දියේ ගිලී ළමුන් දෙදෙනෙක් (2) අතුරුදන්

පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න ගිය ටිපර් රියැදුරන් සහ සහායකයින් 5 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

මුදල් ආරවුලකට බේරුවල ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් කොල්ලකෑ දෙදෙනෙක් (2) අල්ලයි


හොර සහතික මුද්‍රණය කළ ස්ථානයක් ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ දී වැටලේ

(20.09.2026 – hirunews.lk)

ව්‍යාජ උපාධි සහතික සහ රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතනවල නිල ලිපි ලේඛන සකස් කර මුද්‍රණය කළ ස්ථානයක් ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී වටලා තිබෙනවා.

ගම්පහ පොලිස් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් මත යක්කල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, ඉහළ ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ කුලී පදනම මත පවත්වාගෙන ගිය නිවසක් මෙලෙස වටලා ඇති බව සඳහන්.

එහිදී ව්‍යාජ සහතික පත් 35 ක්, විවිධ ආයතන ප්‍රධානීන්ගේ නිල මුද්‍රා 51 ක්, එම්බොස් සීල් 3 ක්, ස්මාර්ට් ජංගම දුරකථන දෙකක් (2), ලැප්ටොප් පරිගණක දෙකක් (2) සහ වර්ණ මුද්‍රණ යන්ත්‍රයක් (1) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 27 හැවිරිදි තංගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරු මෙම කටයුතු සඳහා අදාළ නිවස මසකට රුපියල් 35,000 ක කුලී මුදලකට ලබාගෙන තිබූ බවද අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් නිල මුද්‍රා අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල, බැංකු සහ වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක නිලධාරීන්ගේ මුද්‍රා තිබූ බවයි.

ශ්‍රී ජයවර්ධනපුර, රජරට, වයඹ, රුහුණු, කැලණිය, මොරටුව සහ ඌව වෙල්ලස්ස ඇතුළු විශ්වවිද්‍යාලවල නිල මුද්‍රාද ඒ අතර තිබූ බව සඳහන්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහු වසරක පමණ කාලයක් මෙම ව්‍යාජ ලේඛන සකස් කිරීමේ කටයුතුවල නිරතව ඇති බවත්, ව්‍යාජ සහතිකපත් රුපියල් 25,000 සහ 50,000 වැනි මුදලකට අලෙවි කර ඇති බවත් අනාවරණ වී තිබෙනවා.

විදෙස්ගත වීම සඳහා අවශ්‍ය ව්‍යාජ සහතිකපත් ඇතැම් අවස්ථාවල රුපියල් ලක්ෂ 4 ක් වැනි මුදලකට ලබාදී ඇති බවටද සැකකරු ප්‍රකාශ කර ඇති බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම, මෙලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කරගත් පුද්ගලයින් 200 ත් 300 ත් අතර පිරිසක් මේ වනවිට විදෙස්ගතව ඇති බවට සැකකරු ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


කූඨ ලේඛන සකස් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

(20.09.2026 – hirunews.lk)

කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් නවගමුව, ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 48 ක්, ජංගම දුරකතනයක් (1) ඇතුළු කූඨ ලේඛන සැකසීමට භාවිත කළ බවට සැකකෙරෙන යන්ත්‍ර කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා ෴


පස් කන්දක් කඩා වැටී හැටන් – බලංගොඩ මාර්ගය අවහිර වෙයි

(20.09.2026 – hirunews.lk)

අධික වර්ෂාවත් සමග හැටන් බගවන්තලාව, මස්කෙළිය සහ බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.

දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයෙනුයි මෙම පස් කන්ද කඩා වැටී ඇත්තේ.

අද (20) පෙරවරු 11:00 ට පමණ මෙසේ පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කඩා වැටුණු පස් කන්ද හැටන් පොලිසියේ නිලධාරින් හා ප්‍රදේශවාසීන් එක්ව කපා ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය දැනුම්වත් කර තිබෙනවා.

මේ අතර තවදුරටත් පස් කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම ස්ථානයෙන් රථ වාහන ධාවනය කිරිමේදි සැළකිලිමත් වන ලෙසයි හැටන් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴


මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට 3 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම්

(20.09.2026 – hirunews.lk)

මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට 3 වැනි මට්ටමේ නායයෑම් අවදානම් සහිත ඉවත් වීමේ (රතු) අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් නිකුත් කර තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද 3 වැනි මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද මෙම රතු අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා ෴


අද (20) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වැස්ස ගාල්ල උඩුගමට

(20.09.2026 – hirunews.lk)

අද (20) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 132.5 ක් වන වැඩිම වර්ෂාපතනය ගාල්ල – උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එමෙන්ම නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටුවන්ගල සහ දෙල්ලව තේ කර්මාන්ත ශාලාව ප්‍රදේශවලට මිලිමීටර 126.5 බැඟින් වැසි ඇද හැලි තිබුණා.

එමෙන්ම ඊයේ (19) රාත්‍රියේ සිට අද (20) උදෑසන කාලයේත් ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතිනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, පවතින සක්‍රීය නිරිත දිග මෝසම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව පලාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලති‍ව්, වවුනියා සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (19) රාත්‍රී සිට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය අද (20) අලුයම සිට වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

මේ හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බවයි ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.

එමෙන්ම අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ද එම ජලාශ භාර ඉංජිනේරුවෝ සඳහන් කළා.

පවතින අධික වර්ෂාවත් සමග මධ්‍යම කදුකර ප්‍රදේශවල රථවාහන ධාවනය කිරිමේදි සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴

(20.09.2026 – sinhala.adaderana.lk)

ගෙවුණු පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 103.5 ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි ෴

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

‘අද දෙරණ වාර්තාකරු’ පැවසුවේ මේ වන විටත් අදාළ ප්‍රදේශවලට වැසි ඇද හැලෙමින් පවතින අතර, ඊයේ (19) සවස කාලයට සාපේක්ෂව ගත වූ පැය 24 ක කාලය තුළ කැළණි ගඟේ පූගොඩ ප්‍රදේශයෙන් ජල මට්ටම අඩි කිහිපයකින් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණයවන බවය.

අඛණ්ඩව වැසි පවතින බැවින් ගඟ ආසන්න පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී ෴


ලන්ච්ෂීට් සහ සිලි බෑග් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ වැටලීමක්

(20.09.2026 – hirunews.lk)

ලන්ච්ෂීට් නිවැරදිව ලේබල් නොකිරීම සහ සිලි බෑග් නොමිලේ ලබාදීම යන වැරදි සම්බන්ධයෙන් වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 22 ක පාර්ශව 104 කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවයි එම අධිකාරිය සඳහන් කළේ.

පාරිභෝගිකයින්ගෙන් සහ විවිධ පාර්ශවවලින් එල්ලවන පැමිණිලිවලට අදාළව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මෙම වැටලීම් සිදුකර තිබෙනවා ෴


වැලිගම සහ පයාගල දියේ ගිලී ළමුන් දෙදෙනෙක් (2) අතුරුදන්

(20.09.2026 – hirunews.lk)

වැලිගම සහ පයාගල පොලිස් වසම්වල ඊයේ (19) දින සිදුවූ ජල අනතුරු දෙකකින් 15 හැවිරිදි ළමුන් දෙදෙනෙක් (2) දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

වැලිගම පොලිස් වසමේ දම්බොක්ක නුගදූව පාලම අසල පොල්අතුමෝදර ගඟේ අතු ගංගාවක මසුන් ඇල්ලීමට ගිය ළමුන් තිදෙනෙකු (3) ගෙන් එක් (1) අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි වැලිගම පොලිසිය පවසන්නේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ දෙනිපිටිය, වැලිගම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි වියේ පසුවන දරුවෙක්.

මේ අතර, පයාගල පොලිස් වසමේ කුඩා පයාගල ප්‍රදේශයේ වෙරළ තීරයේ මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට ගිය ළමුන් පිරිසක් අතුරින් එක් (1) අයෙකු මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇති බව පයාගල පොලිසිය සඳහන් කරනවා.

මෙම අනතුරින් අතුරුදන්ව ඇත්තේද කුඩා පයාගල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

අතුරුදන් වූ ළමුන් දෙදෙනා (2) සෙවීම සඳහා පොලිසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින අතර, වැලිගම සහ පයාගල පොලිස් ස්ථාන විසින් සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා ෴


පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න ගිය ටිපර් රියැදුරන් සහ සහායකයින් 5 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

(20.09.2026 – hirunews.lk)

පරන්තන් මාර්ග බාධකයේදී වැලි ප්‍රවාහන බලපත්‍ර පරීක්ෂා කිරීමේදී, අත්සන් නොකර සිටීම සඳහා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සාහ කළ වව්නියාවේ සිට යාපනය දෙසට ධාවනය වූ වැලි ටිපර් රථවල රියැදුරන් සහ රිය සහායකින් පස්දෙනෙක් (5) ඊයේ (19) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කිලිනොච්චිය පොලිස් වසමේ පරන්තන් මාර්ග බාධකයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී භූ විද්‍යා හා පතල් කාර්යංශය මඟින් නිකුත් කරනු ලබන වැලි ප්‍රවාහන බලපත්‍රයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලබන තීරුව අත්සන් නොකර සිටීම සඳහා මෙම අල්ලස් ප්‍රදානය කිරීමට සැකකරුවන් උත්සාහ කර ඇති බවයි වාර්තා වුණේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වව්නියාව, රාමනාදපුරම්, ධර්මපුරම්, ආනන්දපුරම් හා පුලෝලී යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 28, 29, 40 සහ 49 යන වයස්වල පසුවන පිරිසක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


මුදල් ආරවුලකට බේරුවල ව්‍යාපාරිකයෙක් පැහැරගෙන ගොස් කොල්ලකෑ දෙදෙනෙක් (2) අල්ලයි

(20.09.2026 – hirunews.lk)

බේරුවල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු මුදල් ආරවුලක් මත පැහැරගෙන ගොස්, රත්තරන් භාණ්ඩ, මුදල් සහ යතුරුපැදියක් මංකොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙක් (2) කළුතර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට දින දෙකකට (2) පමණ පෙර බේරුවල පිහිටි අදාල ව්‍යාපාරික ස්ථානයට කුලී පදනම මත පැමිණි මග්ගොන ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා (2), එම ව්‍යාපාරිකයා බියගන්වා බලහත්කාරයෙන් ත්‍රීවිල් රථයක නංවාගෙන මග්ගොන පොදු ක්‍රීඩාංගණය අසලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

ඉන්පසුව සැකකරුවන් තමන්ගෙන් ණයට ගත් මුදල් ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති අතර, ව්‍යාපාරිකයා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔහු බිය ගන්වා අත් පලඳනා, මුදු, ජංගම දුරකථන තුනක් (3), මුදල් පසුම්බියේ තිබූ මුදල් සහ බැංකු කාඩ් පත් මංකොල්ලකා ඇතැයි වාර්තා වෙනවා.

අනතුරුව ව්‍යාපාරිකයා ලවා ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී, නිවසේ තිබූ යතුරුපැදියක්ද වෙනත් පුද්ගලයකු ලවා ගෙන්වා ගැනීමට මෙම සැකකරුවන් කටයුතු කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම පැහැර ගැනීමේ සිද්ධියෙන් පසු දින කිහිපයක් ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි සැකකරුවන් දෙදෙනා (2) කළුතර අපරාධ කොට්ඨාසය විසින් මග්ගොන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගත් බව පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී මංකොල්ලකන ලද රත්තරන් භාණ්ඩ, බැංකු කාඩ් පත්, මුදල් පසුම්බි සහ නිවසින් පැහැර ගන්නා ලද යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම පැහැර ගැනීම ව්‍යාපාරිකයා විසින් සැකකරුවෙකුට ලබාදීමට තිබූ මුදලක් නිසා සිදුවූවක් බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් බේරුවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබූ අතර, අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *