මධ්‍යම කඳුකරයේ ජලාශ අටම (8) පිරී පවතින බැවින් භූකම්පන අවදානමක්

මධ්‍යම කඳුකරයේ ජලාශ අටම (8) පිරී පවතින බැවින් භූකම්පන අවදානමක්

අන්තර්ජාල මූල්‍ය වංචාවක නිරත වූ චීන ජාතිකයින් 32 ක් පානදුරේදී පොලිස් භාරයට

කොම්පඤ්ඤවීදියේ සුපිරි හෝටලයක 26 වැනි මහලෙන් වැටී ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට


මධ්‍යම කඳුකරයේ ජලාශ අටම (8) පිරී පවතින බැවින් භූකම්පන අවදානමක්

(08.11.2026 – divaina.lk)

ප්‍රධාන ජලාශ අටම (8) ජලයෙන් පිරී පවතින බැවින් මධ්‍යම කඳුකරයේ සුළු භූ කම්පන තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.

වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ, පොල්ගොල්ල, බෝවතැන්න, කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශ මේ වන විට උපරිම ජලධාරිතාවක් පෙන්නුම් කරන බවද ඇතැම් ජලාශ පිටාර මට්ටම ඉක්මවා ඇති බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මෙයට පෙර මෙවැනිම අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පසු කෙටි කලකින් මධ්‍යම කඳුකරයේ දිගන පල්ලේකැලේ මහියංගනය ආශ්‍රිතව භූ කම්පන තත්ත්ව ඇතිවූ බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ජලාශවල ජලය දිගු කාලයක් රඳවා තැබීම හේතුවෙන් පොළවේ පාෂාණ ස්ථරයන් පීඩනයට ලක් විය හැකි අවස්ථා මතු විය හැකි බවත් අතුල සේනාරත්න මහතා අවධාරණය කළේය ෴


අන්තර්ජාල මූල්‍ය වංචාවක නිරත වූ චීන ජාතිකයින් 32 ක් පානදුරේදී පොලිස් භාරයට

(08.11.2026 – hirunews.lk)

පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ හෝටලයක් තුළ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කරන බවට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී චීන ජාතිකයින් 32 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් සිදු කරන ලද මෙම විශේෂ පරීක්ෂාවේදී, එම සැකකරුවන් විසින් අදාළ ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක 23 ක් සහ තවත් තාක්ෂණික උපාංග රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම පිරිස කුමන ආකාරයේ මූල්‍ය වංචාවල නිරත වූයේද සහ ඔවුන් මෙරටට පැමිණි ආකාරය පිළිබඳව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


කොම්පඤ්ඤවීදියේ සුපිරි හෝටලයක 26 වැනි මහලෙන් වැටී ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට

(08.11.2026 – hirunews.lk)

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක 26 වැනි මහලෙන් වැටී 60 හැවිරිදි ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

මෙම අනතුර ඉකුත් (06) වැනිදා සිදුව ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාජගිරිය පාර, බත්තරමුල්ලේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මරණකරු සිද්ධිය වූ හෝටල් සංකීර්ණයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති අතර, ඉකුත් (06) වැනිදා දහවල් ඔහු ලැඟුම් ගෙන සිටි හෝටල් කාමරය අසලින් පහළට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මරණයට හේතු වූ නිශ්චිත තත්ත්වයන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එය හදිසි අනතුරක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න සම්බන්ධයෙන් අදාල ස්ථානයේ සී සී ටී වී දර්ශන ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙම සිද්ධියට අදාල ස්ථානීය පරීක්ෂණය සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා පැමිණි බව ද පොලිසිය සඳහන් කළා ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤