‘ඔන්ලයින් බිස්නස්’වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

‘ඔන්ලයින් බිස්නස්’වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට


‘ඔන්ලයින් බිස්නස්’වලට කියා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(14.07.2026 – hirunews.lk)

අන්තර්ජාල ව්‍යාපාරයක් සඳහා ඇරඹූ බැංකු ගිණුමකට මුදල් බැර කරවා ගනිමින් සිදු කරන ලද රුපියල් ලක්ෂ අටකට (8) අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබූ බවත්, අන්තර්ජාල ව්‍යාපාරයක් ඇරඹීමට යැයි කියා සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් එක් කෝටි විසිහතර ලක්ෂ පනස්දෙදහස් දෙසීය අසූවක (1,24,52,280) මුදලක් බැර කරවාගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

සැකකරු එම මුදලින් රුපියල් 824,004/= ක (අටලක්ෂ විසිහතරදහස් හතරක) මුදලක් වංචා කර ඇති බවට හෙළිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලන්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙක්.

සැකකරු අද (14) ගල්ගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


නොමිලේ දෙන්න ගෙනා පොහොර විකිණූ මගඩිය : ‘හිරු CIA’ හෙළිදරව්වේ තොරතුරුවලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රාජ්‍ය නිලධාරියෙක්

(14.07.2026 – hirunews.lk)

2024 වසරේ ලෝක ආහාර සංවිධානය මගින් මෙරට ගොවීන් අතරේ නොමිලේ බෙදා දීමට පරිත්‍යාගයක් ලෙස රජයට ලබා දී තිබු පොහොර තොගයක් පෞද්ගලික ආයතනයට විකුණු රාජ්‍ය නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පොහොර තොගය පෞද්ගලික ආයතනයේ සඟවා ඇති බවට ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත පොලිසිය අදාල ස්ථානය වැටලු අතර එහි වැඩිදුර විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ පොහොර ප්‍රවාහනය කළ ලොරි රථය ද සමගයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරට ගොවීන්ට නොමිලේ ලබාදීම සදහා ‘එම්.ඕ.පී. පොහොර’ මෙට්‍රික් ටොන් 55,000 ක තොගයක් මෙරට රජයට ලබා දී තිබුණේ පසුගිය 2024 වසරේදීයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මෙම පොහොර තොගය නොමිලේ ගොවීන්ට ලබා දීමට සැලසුම් සකස් කර තිබුණ ද රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් පිරිසකගේ ද කූට ක්‍රියාවලියක් හරහා මෙම පොහොර තොගයෙන් වැඩි කොටසක් යටි මඩි ගසා ඇති බවටයි ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණේ.

පොදු දේපල යටතටද ගැනෙන මෙම නොමිලේ ලබාදෙන පොහොර අවභාවිත නොකරන ලෙසට පොහොර මිටි සෑම එකකම පාහේ පැහැදිලිව සඳහන් කර තිබුණ ද ඒවා හොර රහසේ ගම්පහ, මරදගහමුල ප්‍රදේශයේ පුද්ගලික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයට රැගෙනවිත් තිබුණා.

මේ පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේගේ උපදෙස් මත එහි නිලධාරීන් හා දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් ක්ෂණික වැටලීමක් සිදුකලේ පසුගිය 08 වැනිදායි.

එම වැටලීමේදී නිලධාරීන් ද පුදුමයට පත්වූයේ රජයෙන් ගොවීන්ට නොමිලේ ලබාදීමට තිබු මෙම පොහොර මිටි 350 ක ප්‍රමාණයක් පෞද්ගලික ආයතනයක ඇත්තේ කෙලෙසදැයි ප්‍රශ්න කරමින්.

තවත් පොහොර මිටි විශාල ප්‍රමාණයක් මෙම ස්ථානයේදී වෙනත් පොහොර සදහා මිශ්‍ර කර ඇති බව ද පරීක්ෂණවලදී හෙළි වුණා.

මේ පිළිබඳ කළ වැඩිදුර විමර්ශනවලදී පොහොර සංවර්ධන නිලධාරීවරයෙකු ඇතුළු පොහොර ප්‍රවාහනය කළ ලොරි රථයක් එහි සහයක ඇතුළු සැකකරුවන් 09 දෙනෙකු දිවුලපිටිය පොලිස් ස්ථානයේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පසුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කලේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරට ගොවීන්ට නොමිලේ ලබාදීම තිබු මෙම පොහොර තොගය පිළිබඳ සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබාදුන් ප්‍රකාශ මත තවදුරටත් විමර්ශන සිදුකරන බවයි ෴


කතානායක එලවන්න ආණ්ඩුව සජබ සමඟ රහස් සාකච්ඡාවක (14.07.2026)

+


ගෝඨා – ඉන්දීය බුද්ධි ප්‍රධානී අතර හමුවක් | අරගලය සුනු විසුනු කළ රනිල්ගේ මෙහෙයුම මෙන්න (14.07.2026)

+


මීගමුවේ ගැටුමට හේතුව හෙළිවෙයි – ‘කටුවැල්ලේගම සුරේෂ්’ගෙන් බන්ධනාගාර නිලධාරියෙකුටත් තර්ජන

(14.07.2026 – 19:19 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා ගැටුම් ඇතිවූ මීගමුව බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271 ක් විමර්ශනවලදී සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (14) අනාවරණ කළේය.

ඒ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් වන නීතී කෘත්‍ය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (14) සිදුකෙරුණු අවස්ථාවේදීය.

එහිදී නොසන්සුන්තාව ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 2,417 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 විමර්ශන නිලධාරින් සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 40 ක් කණ්ඩායම් තුනකට (3) බෙදී විමර්ශන සිදුකරන බවය.

“ස්වාමිනි, මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 136 දෙනෙකුගෙන්, රැදවියන් 141 දෙනෙකුගෙන් සහ පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට අනුව සිදුවීම වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිට ඇති මුළු රැඳවියන් ගණන 2417 ක්. බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 166 දෙනෙකුත් සිට තිබෙනවා. නොසන්සුන්තාවයට මුල්වූ පළමු සිදුවීම වෙලා තියෙන්නේ ජුලි 05 වනදා. සාමාන්‍යයෙන් රැඳවියන්ට ශාරීරික ව්‍යායාම් කරන්න විනාඩි 30 ක කාලයක් ලබාදෙනවා. මෙදින A(1) වාට්ටුවේ රඳවා සිටි ‘කටුවැල්ලේගම සුරේෂ්’ නම් රැඳවියා තමන්ට ව්‍යායාම් සඳහා වැඩි කාලයක් ලබාදෙන්නැයි ඉල්ලා බන්ධනාගාර නිලධාරීයෙකුට පරුෂ වචනයෙන් බැන මරණ තර්ජන කර තිබෙනවා. පසුව එදින A(1) වාට්ටුවේ දොර විවෘත කළ අවස්ථාවක ‘සුරේෂ්’ නැමැති මේ රැඳවියා වාට්ටුවෙන් පිටතට පැන 02 වාට්ටුවේ සිටි රැඳවියන් පිරිසකට පහරදී තිබෙනවා. මෙය තමයි නොසන්සුන්තාවයට මුල් වූ සිදුවීම. මෙහිදී මුල් අවස්ථාවේ රැඳවියන් දෙදෙනෙකුත් (2) පසු අවස්ථාවක තවත් අයෙකුත් (1) ලෙස රැඳවියන් තිදෙනෙක් (3) මියගොස් තිබෙනවා. 36 දෙනෙක් රෝහල්ගත කරලා. එය කලහකාරී ලෙස දිග්ගැස්සිලා බන්ධනාගාර ඖෂධ හලට හා පරිපාලන ගොඩනැගිල්ලට රැඳවියන් අලාභහානි සිදුකර තිබෙනවා. බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලත් රැඳවියන්ගේ භාරයට පත්වෙලා. 05 වෙනිදා සවසම බන්ධනාගාර නිලධාරීන් පොලිසියට දැනුම්දීලා ආරක්ෂාව ඉල්ලලා තියෙනවා. මීගමුව මූලස්ථාන පොලිස් නිලධාරීන් පැමිණියත් තත්ත්වය මුලුමනින්ම පාලනය කරගැනීමට නොහැකි වූ නිසා බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන් 89 දෙනෙකු මීගමුව බන්ධනාගාරයට කැඳවා තිබෙනවා. 05 වෙනිදා රාත්‍රියේත් රැඳවියන් වහලය උඩට නැගලා සංවිධාන වෙමින් කලහකාරීව හැසිරුණු බවට සාක්ෂි ලැබී තිබෙනවා. පසුදින උදෑසන ආහාරය දීමට බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේ යළි නොසන්සුන්තාවය ඇතිවී තිබෙනවා. ඇතැම් රැඳවියන් ‘සර්ලාට ගහන්න ඉන්නේ සර්ලා යන්න’ කියලා බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා. පෙරවරු 10:30 ත් 10:50 ත් අතර කාලයේ නොසන්සුන්තාවය ගැටුම්කාරී තත්ත්වයක් කරා වර්ධනය වෙලා. තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන්ද බන්ධනාගාරය ඇතුළට ගිය ආවස්ථාවේදී රැඳවියන් සංවිධානාත්මකව ගල්මුල්, පොලුමුගුරු, ව්‍යායාම් උපකරණ යකඩ කොටස්වලින් අමානුෂික ලෙස පහරදී තිබෙනවා. ගැටුම මැද මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණියත් බන්ධනාගාරයේ පිහිටීම පිළිබඳ අවබෝධයක් නොමැති, කොළඹින් පැමිණි නිලධාරීන්ට පිටතට ඒමට හැකියාව ලැබී නැහැ. පළමු දිනයේ නොසන්සුන්තාවය ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරයේ අවි ගබඩාවේ එක් පැත්තක අවි ඉවත්කරලා තියෙනවා. නමුත් අනික් කොටසේ අවි ගැටුම අතරතුර රැඳවියන් අතට පත්වෙලා. නොසන්සුන්තාවය අතරතුර බන්ධනාගාරයේ ඇතුළු පැත්තේ සිට නිලධාරීන්ට ගිනිඅවියක් එල්ල වී තිබෙනවා. එම අවස්ථාවේදී තමයි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කඳුළු ගෑස් එල්ල කර තිබෙන්නේ. එත් මෙල්ල නොවුන නිසා අහසට වෙඩි තබා තිබෙනවා. එයිනුත් මෙල්ල නොවුන අවස්ථාවේ තමයි නිලධාරීයෙක් බන්ධනාගාර දොරටුවේ කුහරයෙන් ඇතුළට වෙඩි තබන්නේ. ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බන්ධනාගාරයට ඇතුල් වූ විට කොළඹින් ගිය නිලධාරීන් බිම වැටී සිටින අයුරු දැක තිබෙනවා.”

මෙහිදී විමර්ශන නිලධාරීන් විසින් දැනට සිදුකරමින් පවතින විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද වැඩිදුර කරුණු දැක්වීමක් සිදුකළේය :

“ස්වාමිනි, සිදුකළ වැඩිදුර විමර්ශනයේදී T58 ගිනිඅවියක් සහ මැගසින් එකක් බන්ධනාගාර අභ්‍යන්තරයෙන් හමුවුණා. එසේම බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271 ක් සොයාගෙන තිබෙනවා. විමර්ශනයට අදාළව මේ වෙද්දි මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව පැවති ගිනිඅවි 50 ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් ගිය නිලධාරීන් සතු ගිනිඅවි 10 ක් ලෙස මුළු ගිනිඅවි 60 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් බන්ධනාගාරයට වූ අලාභය පිළිබඳ වාර්තාවක් කැඳවියයුතුව තිබෙනවා. බන්ධනාගාරයේ තිබූ CCTV වලට අදාළ DVR දෘඩ තැටි 02 ක් අපි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒවා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමුකර වාර්තාව කැඳවිය යුතුයි. මේ විමර්ශනයට අදාළව අප නීතිපතිවරයාගේ සහාය ඉල්ලා තිබෙනවා. දැනට දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙන්ම, තුවක්කු ආඥා පනත හා පොදු දේපළ පනත යටතේ වන වරද සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යනවා. විමර්ශන අවසානයේදී සැකකරුවන් නම් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ගැටුම අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන් සම්බන්ධයෙන් වාර්තා කැඳවන ලෙස නියෝග කළාය.

එමෙන්ම එම අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සිට මේ වනවිට මාරුකර යවා ඇති සියලු රැඳවියන්ගෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

නඩුව ජුලි 16 වනදා යළි කැඳවීමට නියමිතයි.

+++

+


ඉන්දීයානුවන්ගේ ‘Destination Wedding’‍වල ප්‍රමුඛතම තේරීමක් ලෙස ලංකාව ඉදිරියට

(14.07.2026 – 18:04 +0530 – sinhala.adaderana.lk)

විවාහ වීමට සූදානමින් සිටින ඉන්දීයානුවන් සිය විවාහ මංගල්‍යයන් විදේශ රටවල පැවැත්වීම සඳහා තෝරාගන්නා ස්ථානය ලැයිස්තුවේ, ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් ඉහළට පැමිණෙමින් ඇති ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්ව ඇතැයි ඉන්දීය විවාහ සැලසුම්කරණ ආයතනයක් වන WedMeGood ආයතනය නිකුත් කළ “Destination Wedding Report 2026” වර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවට අනුව, ඉන්දීය යුවළ අතර සාම්ප්‍රදායික මහා පරිමාණ මංගල උත්සව වෙනුවට සමීපතමයන් පමණක් සහභාගී වන අත්දැකීම් බහුල විවාහ මංගල්‍යයන් පැවැත්වීමේ ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

මේ වන විට ඉන්දියාවේ සිදුවන මුළු විවාහ මංගල්‍යයන්ගෙන් 25% ක්ම විවිධ සංචාරක ගමනාන්ත ආශ්‍රිතව සිදුවන අතර, එය 2028 වන විට 30% සිට 32% දක්වා තවදුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

ඉන්දියාවෙන් පිටත විදේශීය රටවල පැවැත්වෙන ඉන්දීය විවාහ මංගල්‍යයන් සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම වාර්ෂිකව 20% සිට 25% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊට බලපා ඇති ප්‍රධාන හේතු මෙසේය :

ඉන්දීය යුවළ වලින් 44% ක්ම කැමැත්ත දක්වන්නේ පැය 2 සිට 4 දක්වා ගුවන් ගමන් කාලයකින් ළඟාවිය හැකි ගමනාන්තයන්ටය.

ඉන්දීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දී ඇති වීසා රහිත ප්‍රවේශ පහසුකම.

සුඛෝපභෝගී ආගන්තුක සත්කාර, සුන්දර වෙරළ තීරයන්, වනජීවී, සංස්කෘතික සහ ආධ්‍යාත්මික සුවතා අත්දැකීම් එකම රටක් තුළදී විඳ ගැනීමට ඇති හැකියාව.

වාර්තාවට අනුව, මෙවැනි විවාහ මංගල්‍යයන් සඳහා කෙරෙන වියදම් වසරින් වසර 8% කින් පමණ ඉහළ ගොස් තිබේ.

ඉන්දියාව තුළ පැවැත්වෙන ගමනාත්ත විවාහ උත්සවයක සාමාන්‍ය පිරිවැය ඉන්දීය රුපියල් මිලියන 5.8 ක් පමණ නමුත් ඔවුන් විදෙස් රටවල සැලසුම් කරන ගමනාත්ත වල මංගල්‍යයක සාමාන්‍ය පිරිවැය ඉන්දීය රුපියල් මිලියන 15 ඉක්මවන බව සඳහන් වේ.

එමෙන්ම, 2020 ට පෙර දින දෙකකට (2) ආසන්න කාලයක් පැවති මංගල උත්සව කාලසීමාව, මේ වන විට සාමාන්‍යයෙන් දින 4 කට ආසන් කාලයක් දක්වා දිර්ඝ වී තිබේ.

පැමිණෙන අමුත්තන්ට ලැබෙන අත්දැකීම මෙහිදී ප්‍රධාන වන අතර, රසවත් ආහාර පාන සඳහා මෙහිදී ඉහළම ප්‍රමුඛතාවක් හිමි වේ.

මෙම ප්‍රවණතාව පිළිබඳව අදහස් දක්වමින් WedMeGood හි සම-නිර්මාතෘ මෙහක් ෂහානි මහත්මිය ප්‍රකාශ කළේ, වර්තමානයේ ඉන්දීය විවාහ මංගල්‍යයන් විශාල පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවය.

යුවළ තම පවුලේ අයට සහ මිතුරන්ට අමතක නොවන අර්ථවත් අත්දැකීමක් තෑගි කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවත්, එම උනන්දුව විවාහ අයවැය කෙරෙහි ද සෘජුවම බලපාන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *