රෝහල් පද්ධතිය බිඳ වැටෙනවා .. රැකගන්න වහා වැඩපිලිවෙලක් අවශ්‍යයි ..
රෝහල් පද්ධතිය බිඳ වැටෙනවා .. රැකගන්න වහා වැඩපිලිවෙලක් අවශ්‍යයි ..
(16.10.2025 – 08:02 +0530 – lankacnews.com)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
= මාධ්‍ය නිවේදනයයි =
බිඳ වැටෙන රෝහල් පද්ධතිය රැක ගනිමින් නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම උදෙසා තිරසාර වැඩපිලිවෙලක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවය.
මෙරට ජන ජීවිත සහ ශ්‍රම බලකාය ශක්තිමත් කරමින් සුවපත් රටක් සහ අනාගතයක් බිහි කිරීම වෙනුවෙන් ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවයි.
පහල මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව, ඉහළ ආදායම් ලබන සංවර්ධිත රාජ්‍යන්ට නොදෙවෙනි සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීමට සමත්ව තිබිම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාවට ලක්ව ඇත. එහිදි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.
එහෙත් රෝහල් පද්ධතියේ තුළ පවතින ගැටලු නිවැරදිව හඳුනා ගනිමින් එම ගැටලු සඳහා ඒකාකාරී විසඳුම් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය සහ රෝගී සත්කාර සේවාවන් බිඳ වැටීමේ අවධානමකට ලක් වී ඇත.
නිදහසින් දශක 08 කට ආසන්න කාලයක් ගත වී තිබුනද නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා අරගලයක නිතර වීමට තවමත් ජනතාවට සිදු වී ඇත.
ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් වැඩිම බලපෑමට ලක් වූයේ රෝහල් පද්ධතියයි. එසේ වුවත් රෝගී සත්කාර සේවාවන් ගුණාත්මකව සහ අඛණ්ඩව පවත්වාගෙන යාමට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැවැන්ත කැප කිරීමක් සිදුකරමින් සිටී.
වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කැපකිරීම් හේතුවෙන් එම ගැඹුරු අර්බුදයේ සැබෑ ස්වරූපය තවමත් සැඟවී පවතී.
මානව සම්පත් හිඟය, ඖෂධ හිඟය, මූලික පහසුකම් නොමැති වීම, රෝහල් පද්ධතිය තුල ආරක්ෂාව බිඳ වැටීම වැනි ගැටළු ගණනාවක් හේතුවෙන් උද්ගත වී ඇති මෙම අර්බුදය සඳහා වහාම විසඳුම් ලබාදීමට අසමත් වන්නේ නම් රෝහල් පද්ධතිය නුදුරේදීම බිඳ වැටීම වැළැක්විය නොහැකි වනු ඇති බව දිගින් දිගටම අපගේ සාමාජිකත්වය අප වෙත තොරතුරු සපයමින් පවති.
රාජ්‍ය තුළ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම ඕනෑම රජයක අත්හළ නොහැකි වගකීමකි. එබැවින් අර්බුදකාරී සමයක වුවද ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛත්වය ලැබිය යුතුය.
එහිදී රෝහල් පද්ධතියේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටළු විසඳීම අරමුණු කර ගනිමින් කෙටිකාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත තිරසර සැලසුමක් ක්‍රියාත්මක වීම යුගයේ ප්‍රබල අවශ්‍යතාවයක් බවට පත්වී ඇත.
එබැවින් ඉදිරි ආර්ථික සහ සංවර්ධන උපායමාර්ග නිර්ණය කිරීමේදී, සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කරමින් ගුණාත්මක බව රැක ගැනීම කේන්ද්‍රීය සාධකයක් විය යුතුය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදි රෝහල් පද්ධතිය මුහුණ දී ඇති අර්බුදකාරි වාතාවරණය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර නිදහස් සෞඛ්‍ය සේවාවට පණ පොවන ක්‍රියාකාරි සැලැස්මක් සදහා යෝජනාවලියක්ද සාකච්ඡා කරන ලදී.
- විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම අරමුණු කරගනිමින්, ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම හා තෘප්තිමත් වෘත්තීය පරිසරයක් බිහි කිරීම වෙනුවෙන් කාල රාමුවක් සහිතතිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
- රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය තිරසාර ලෙස විසඳමින්, ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ගුණාත්මක බව සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝකාලීන උපාය මාර්ග සහිත ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම.
- රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය නව නීති ප්‍රතිපාදන හඳුන්වාදීම සහ සෞඛ්‍ය ආයතන වලට ආවේණික වූ ක්‍රියාකාරී සැලසුම් ස්ථාපිත කිරීම.
- සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින සේවා අවශ්‍යතාවයන් සහ අනාගත සේවා පුළුල් කිරීම් විශ්ලේෂණය කර, සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රක්ෂේපණය කිරීම සහ ඊට අනුරූපව අනුමතවෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව හැකි ඉක්මනින් යාවත්කාලීන කිරීම.
- වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන, පශ්චාත් උපාධි සහ පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් රෝගි සත්කාරක සේවාවේ ගුණාත්මක භාවය ඉහල නැංවීම.
- රෝහල් පද්ධතිය තුළ රෝගී සත්කාර සේවාවන් ලබාදීමේදී, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒ සඳහා අවශ්‍ය නිල නිවාස, ප්‍රවාහන පහසුකම් ඇතුලු මූලික යටිතල පහසුකම් ප්‍රමිතිගතලෙස ස්ථාපිත කිරීම තුළ යහපත් වෘත්තිය පරිසරයක් බිහි කිරීම.
- රෝහල් පද්ධතිය තුළ රෝගීන් සඳහා ලබාදෙන යටිතල පහසුකම් හා සනිපාරක්ෂක පහසුකම් වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
- ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයකින් යුතුව ක්‍රමවේදයක් සැකසීම සහ ඒ හරහා සෞඛ්‍ය සේවාවන් ජනතාවට වඩා සමීප කිරීම.
ඒ අනුව නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් අර්බුදය ඇතුළු සැබෑ ගැටලු හඳුනා ගනිමින් තිරසර වැඩපිළිවෙලක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කිරීම සඳහා රජය වහාම පියවර ගත යුතු අතර ඉහත අපගේ යෝජනාවලිය මත පදනම්ව සියලු පාර්ශව එක් කරගනිමින් සෞඛ්‍ය පද්ධතිය සහ ජන ජිවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් බව අවධාරණය කරමු.
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්
සෙව්වන්දි නේපාලයේ දී කුඩුවලට ඇබ්බැහි වෙලා – ඉදිරි විමර්ශන CIDයට (16.10.2025)
+++
පද්මෙගෙන් රු. ලක්ෂ 1200 ක් අරන් වැඩක් භාරගත් පිරිසක් හෙළිවෙයි | සෙව්වන්දි නිසා සමාජ ප්‍රශ්නයක් (16.10.2025)
+
මට ලැජ්ජයි හරිනි අගමැතිනිය ගැන, ජවිපෙ සාහසික අපරාධ යුක්ති සහගත කරන්න යනවා ලස්සන සාරි ඇඳගෙන (14.10.2025)
+
පාසල් පැමිණියේ නැතැයි දෙවන (2) වසරේ සිසුවියකට විදුහල්පතිගෙන් ගුටි
(16.10.2025 – hirunews.lk)
දිනක් පාසල් නොපැමිණියේයැයි කෝප වි දැරියකට ලී පතුරකින් පහර දුන්නැයි කියන ආණමඩුව ආසන්නයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන බව ආණමඩුව පොලිසිය අද (16) පැවසුවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව කෑදැත්තෑව ප්‍රදේශයේ පදිංචි ප්‍රාථමික පාසලක හත් හැවිරිදි (7) දැරියක් බව පොලිසිය සඳහන් කරනවා.
අදාල සිදුවීමට මුහුණ දී ඇති දැරිය පෙර දින පාසලට නොපැමිණීම ගැන කෝප වි අසල තිබු ලී පතුරක් රැගෙන විදුහල්පතිවරයා විසින් පහර කිහිපයක් ගසා ඇති බව ඇගේ මව්පියන් ආණමඩුව පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ පැමිණිල්ලට අනුව අදාල විදුහල්පතිවරයා සම්බන්ධව ආණමඩුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පොලීසිය පැවසුවා.
එම පාසලේ මව්පියන් පවසන්නේ පාසල තුළ දරුවන්ට ගුරුවරුන් විසින් දෛනිකව අධ්‍යාපන කටයුතු නොකිරිම හේතුවෙන් දරුවන් පාසල් එවිමට තමන්ගේ කැමැත්තක් නොමැති බවයි.
එසේම මෙම පහර දීමට සම්බන්ධ සැකකාර විදුහල්පතිවරයා ද දහවල් 12:00 පමණ වන විට පාසලින් පිටව යන බව ද දෙමාපියන් පැවසුවා.
මෙම ගුරුවරුන් සම්බන්ධව මේ වන විට පළාත් අධ්‍යාපන කාර්යාලයට චෝදනා රැසක් යවා ඇති බවද මව්පියන් සඳහන් කරනවා ෴
පාන් – බනිස් මුවාවෙන් ‘මදන මෝදක’ බෙදද්දී මාට්ටු
(16.10.2025 – hirunews.lk)
බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ‘ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි’ අලෙවි කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෝර්ටන් බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජේරත්න පවසන්නේ අද 16 උදෑසන කුඩා ලොරි රථයකින් ‘මදන මෝදක ගුලි’ බෙදමින් සිටිය දී ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ලොරි රථය හැවන් ප්‍රදේශයට ධාවනය කරවන අවස්ථාවේ නතර කර පරීක්ෂා කිරීමේදී ‘මෝදක ගුලි’ 250 ක් සොයා ගත් බවත් ස්ථානාධිපතිවරයා කියනවා.
‘මෝදක ගුලියක්’ රු. 200 ක තොග මිලකට අලෙවි කර ඇති බවත්, ගුලිවල නිෂ්පාදිත දිනයක්, කල් ඉකුත්වන දිනයක් හෝ නිෂ්පාදිත ආයතනයක නමක් සදහන් නොවන බවත් හෙතෙම පවසනවා.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
සුදු වෙන්න කිසිම බෙහෙතක් මේ ලෝකයේ නෑ !
(16.10.2025 – hirunews.lk)
සම සුදු වීම සඳහා එන්නතක් හෝ මල්ටිවිටමින් වර්ගයන් ලොව කොතැනක හෝ නොමැති බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කරයි.
කෙසේ නමුත් රූපලාවණ්‍ය මධ්‍යස්ථානයන් හි වැටලීම් සිදුකරන අවස්ථාවන්වලදී අත්අඩංගුවට ගන්නා එවැනි එන්නත් හා මල්ටිවිටමින් වර්ගවල ඇසුරුමේ සඳහන් කර ඇති කේත අංකයන් (QR) ක්‍රියාත්මක නොවන බවද කරන ලද පරික්ෂා කිරීම්වලදී තවුරු වී ඇතැයි ඇය පැවසුවා.
කෙසේ නමුත් රූපලාවණ්‍ය ආයතන නිලධාරියකුට හෝ නිලධාරිනියකට පටක තරල ප්‍රතිකාරයන් හෝ එන්නත් කිරීමට නීතියෙන් අවසර නොමැති බවත් ඔවුන්ට කළ හැක්කේ මතුපිට සමට සිදුකරන සත්කාරයන් පමණක් යැයිද ඇය පවසා සිටියා.
සම ඉක්මනින් සුදු කර ගැනීමට යැයි සිතා ‘රසදිය’ බොහෝ සේ අන්තර්ගත ආලේපනයන් භාවිත කිරීම හේතුවෙන් සමට සිදුවන හානිය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි තරම් බරපතල වි ඇති බවත් එය දිනෙන් දින වැඩිදියුණු වන බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා.
ආලේපනයන් භාවිත කර සමේ කළු පැහැති හෝ දුඹුරු පැහැති ලප මතුවීම, සම ඉරීම, නියපොතු දුඹුරු පැහැ ගැන්වීම වැනි කෙටි කාලීන හානි පෙන්නුම් කළ ද දිගුකාලීන හානි වාර්තාවීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇති බව ඇය පැවසුවා ෴
නවතා තිබූ වෑන් රියකට අකුණකින් හානි
(16.10.2025 – hirunews.lk)
නෝර්වුඩ් ප්‍රදේශයට ඊයේ (15) දින ඇද හැලුණු වර්ෂාවත් සමග පතිත වූ අකුණු සැරකින් නවතා තිබූ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට සහ ඒ අසල වූ නිවසකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
නිවසේ සිටි පුද්ගලයෙකු ද කම්පනයෙන් බිම ඇද වැටී තුවාල ලබා ඇති අතර පසුව දික්ඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පස්වරු 05:00 ට පමණ වැන් රථය ගාල් කර තිබූ ස්ථානය අසල විශාල යුකැලිප්ටස් ගසකට අකුණු සැර පතිත වී එම අකුණු සැර පසුව වෑන් රථයට සහ නිවසට පතිත වූ බව ප්‍රදේශවාසීන් කියනවා.
අකුණු සැරය හේතුවෙන් නෝර්වුඩ් ප්‍රදේශයටම එක්වරම විදුලිය ද විසන්ධිධිවූ බවද ඔවුන් පවසනවා.
මේ දිනවල ප්‍රදේශයට මිලි මීටර් 100 ට වඩා අධික වැසි ලැබෙමින් ඇති අතර අකුණු සැර අවදානම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ජනතාව දැනුවත් කර තිබෙනවා ෴
ඉහළ පංතිවල දරුවන්ගෙන් සියයට 24 කට විෂාදීය රෝග ලක්ෂණ
(16.10.2025 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ පාසල්වල ඉහළ පංතිවල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 24 ක් දෙනා විෂාදීය රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස සදහන් කරනවා.
සෑම දරුවන් 10 න් 6 දෙනකු එනම් දරුවන්ගෙන් සියයට 60 ක ප්‍රමාණයක් කිසියම් මානසික පීඩනයකින් පෙළෙන බව ද කැළණිය විශ්ව විද්‍යාලය සහ මොනෑෂ් විශ්ව විද්‍යාලය එක්ව සිදු කළ පර්යේෂණයකින් හෙළිව ඇතැයි ද මහාචාර්යවරයා පැවසුවා.
දරුවන්ට අධ්‍යාපන පිළිබඳව තිබෙන පීඩනය, දෙමාපියන් සමඟ තිබනෙ ගැටලු, සමාජ මාධ්‍යයට වැඩි වශයෙන් නැඹුරු වීම, ශාරිරිකව හා මානසික ඇතිවන පීඩා මෙයට හේතු වී ඇති බව පර්යේෂණයෙන් තහවුරු විනැයි ද මහාචාර්යවරයා සඳහන් කළා.
එම පර්යේෂණයට අනුව ලංකාවේ ජනගහනයෙන් සියයට 19 ක් දෙනා විශාදයේ ලක්ෂණ පෙන්නුම් කරන බව ද හෙතෙම අවධාරණය කළා.
රාත්‍රියේදී පැය 7-8 සුව නින්දක් ලබා ගැනිම, විද්‍යුත් තිර භාවිතය පාලනය කිරීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකිම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීම හා දිනපතා ඉලක්කයකට අනුව කටයුතු කිරීම මේ සඳහා පිළයම් ලෙස හඳුන්වා දිය හැකි බව මහාචාර්යවරයා සඳහන් කරනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴