‘ලේක්හවුස්’ එකෙන් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන පන්සීයක (500) වන්දියක්
‘ලේක්හවුස්’ එකෙන් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන පන්සීයක (500) වන්දියක්
(14.10.2025 – hirunews.lk)
2007 වසරේ නොවැම්බර් මස විජයදාස රාජපක්ෂ එවකට ‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට යාමෙන් පසු ‘සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්)’ මගින් මුද්‍රණය කොට බෙදාහරිනලද ‘සිළුමිණ’ පුවත්පතේ පිටු දෙකක් (2) පුරාවට ඔහු සම්බන්ධව ඇතුලත් කළ ද්වේශ සහගත අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් ඔහුට සිදුව ඇති අලාභය ලෙස රුපියල් මිලියන 500 ක මුදලක් ගෙවන ලෙසට ඉල්ලා ඔහු 2009 වසරේ කොළඹ දිසා අධිකරණයේ එකී ‘සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ට සහ එම පුවත් පතේ ප්‍රධාන කතෘවරයාට එරෙහිව නඩුවක් පවරා තිබුණා.
පැමිණිළිකරු අයද සිටි අලාභ මුදල ගෙවන ලෙසට කොළඹ දිසා අධිකරණය 2010 වසරේ දී තීන්දු කළ අතර එකී තීන්දුවට එරෙහිව ‘සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එම අධිකරණය විසින් එම අභියාචනය 2013 වසරේ දී නිෂ්ප්‍රභා කරනු ලැබුවා.
එකී තීන්දුවට එරෙහිව ‘සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එම අභියාචනය පිළිබඳව දීර්ඝ විමර්ශනයකින් පසුව අද දින එනම් 2025 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරනු ලැබුවා.
ඒ අනුව කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන 500 ක මුදලක් ගෙවන ලෙසට ‘සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ට එරෙහිව දෙන ලද තීන්දුව බලාත්මක වනු ඇති.
ගරු ජනක් ද සිල්වා, ගරු අචල වෙන්ගප්පුලි සහ ගරු සෝභිත රාජකරුණා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා ඉදිරියේදී එම අභියාචනය විභාගයට ගන්නා ලද අතර පැමිණිලිකාර විජයදාස රාජපක්ෂ වෙනුවෙන් ජ්‍යෙෂඨ නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදේස් පරිදි නීතීඥ සජාන ද සොයිසා, රන්ධිවරී අරන්ගල සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පෙනී සිටි අතර ‘එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම’ වෙනුවෙන් ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා පෙනීසිටියා ෴
ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී මරුට
(14.10.2025 – hirunews.lk)
මාලබේ තලාහේන විජයමාවත ප්‍රදේශයේදී ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි කැපීමට ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් ඇති බවට මාලබේ පොලිසිය සඳහන් කරනවා.
මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැති බවයි සඳහන් වන්නේ.
අද (14) අලුයම 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ලද පණිවිඩයක් අනුව එම පුද්ගලයාගේ මළ සිරුර විදුලි කණුව අසල වැටී තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇති බව සඳහන්.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අඩි 15 ක් පමණ උස ට්‍රාන්ස්ෆෝමරය මතට පිහියක් සහ ලී කොටයක් රැගෙන මියගිය පුද්ගලයා නැග ඇති බවයි.
ඒ අනුව මෙම පුද්ගලයා තඹ කම්බියක් කපමින් සිටියදී ඔහුගේ හිස ඉහළින් තිබූ විදුලි රැහැනක ගැටීමෙන් ඔහුට විදුලි සැර වැදී තිබෙනවා.
විදුලි සැර වැදීමත් සමඟම අධි බල විදුලි කණුවේ එක් පියුස් ස්විචයක් ඉබේම විසන්ධි වීම නිසා ප්‍රදේශයේ නිවාස කීපයකට විදුලිය විසන්ධි වී ඇති බව පොලිසිය සඳහන් කළා.
විදුලි සැර වැදී පිලිස්සී සිටි මෙම පුද්ගලයා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවට වාර්තා වනවා.
මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් විජේසිංහගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව සඳහන් ෴
කොළඹ කෙසෙල්වත්ත වේල්ල වීදියේ ලැගුම්හලක සේවකයන්ට තැලූ ‘පීසී ඩබලක්’ අත්අඩංගුවට
(14.10.2025 – hirunews.lk)
කොළඹ කෙසෙල්වත්ත වේල්ල වීදියේ නිවාඩු නිකේතනයකට ගොස් සේවකයන් දෙදෙනෙකුට (2) කිසිදු හේතුවක් නොමැතිව පහර දුන් බව කියන පොලිස් කොස්තාපලුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති බවට කෙසෙල්වත්ත පොලිසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන කොස්තාපලුන් දෙදෙනෙක් (2).
පහර කෑමට ලක් වූ සේවකයන් දෙදෙනා (2) රෝහල් ගතව ඇති බව වාර්තා වනවා.
ඉකුත් 12 වැනිදා සවස 05:45 ට පමණ සිවිල් ඇඳුමින් සැරසී පැමිණි සැකකරුවන්, එක් (1) සේවකයෙකුගෙන් දුරකථනය ඉල්ලා එය නොමැති බව පැවසීමෙන් පසු ඔහුට පහර දී බිම පෙරළා පහර දී තිබෙනවා.
පසුව අනෙක් (1) සේවකයාට ද පහර දී නිවාඩු නිකේතනයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
පහර කෑමට ලක් වූ සේවකයන්ගේ පැමිණිලි සහ නිවාඩු නිකේතනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව, මෙම පුද්ගලයන් දෙදෙනා (2) කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත කොස්තාපලුන් බවට හඳුනා ගෙන තිබෙනවා.
අනතුරුව කෙසෙල්වත්ත පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකාර කොස්තාපලුන් දෙදෙනා (2) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්තගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුවනවා ෴
පාතාලේ රු. කෝටි 3,902 ක දේපොළ රාජසන්තකයි
(14.10.2025 – hirunews.lk)
සංවිධානාතමක අපරාධකරුවන්ගේ බවට තහවුරු කරගත් රුපියල් කෝටි 3,902 ක් වටිනා දේපොළ රාජසන්තක කිරීමට පියවරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් පවසනවා.
2021 වසරේ සිට 2024 දක්වා අදාළ රාජසන්තක කිරීම සිදුකළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මේ අතර 2025 වසරේ මේ දක්වා සංවිධානාතමක අපරාධකරුවන්ගේ රුපියල් කෝටි 73 ක් වටිනා දේපොළ රාජසන්තක කර තිබෙන බවද ඔහු සඳහන් කළා.
ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන්ට අයත් රන් පවුම් 354 ක්, වාහන 72 ක්, නිවාස 35 ක් සහ අක්කර 37 ක් පමණ ඉඩම්ද මේ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
මීට අමතරව රුපියල් කෝටි 67 ක් වටිනා මුදල්ද මේ අතර වන බවද වැඩිදුරටත් පැවසුවා.
අද (14) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ෴
පාසල් සිසුන්ට ගංජා විකිණූ ජාවාරමෙක් තණමල්විල දී කොටු
(14.10.2025 – hirunews.lk)
කලක සිට පාසැල් සිසුන්ට ගංජා අලෙවි කිරිමේ ජාවාරමක නිරත වු පුද්ගලයකු ගංජා ග්‍රෑම් 850 ක් සමග අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.
ඊයේ (13) සවස සිදු කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තණමල්විල ගාමිණීපුර පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. තණමල්විල ප්‍රදේශයේ පාසලක සිසුවකු ගංජා සමග පාසල තුළදි විදුහල්පතිවරයාට හමු වී ඇති අතර විදුහල්පතිවරයා විසින් සිසුවා පිළිබදව පොලිසියට දන්වා ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ සිසුවාගෙන් සිද්ධිය පිළිබදව ප්‍රශ්න කර ඇති අතර එහි දී තමන් මිතුරන් සමග පානය කිරීමට ගංජා රැගෙන ආ බවත් තණමල්විල ගාමිණීපුර පදිංචි අයෙකු විසින් මෙම ගංජා අලෙවි කළ බවත් පවසා ඇත.
සිසුවාගෙන් ලද තොරතුර අනුව පොලිසිය විසින් අදාළ සැකකරුගේ නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරුගේ නිවසේ තිබී සිසුන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබු වියළි ගංජා ග්‍රෑම් 850 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කලක සිට පාසල් සිසුන්ට හා ටියුෂන් සිසුන්ට ගංජා අලෙවි කිරීම සිදුකර ඇති බවත් පොලිසිය කියයි. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි ෴
‘පොලිස් හොරා’ අත්අඩංගුවට
(14.10.2025 – hirunews.lk)
කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ශ්‍රවණාගාරයේ විදුලි රැහැන් පද්ධතිය කපා එහි ඇති තඹ කම්බි හා තවත් දේපල රැසක් සොරාගත් පොලිස් සැරයනයෙකු අත්අඩංගුවට ගත්බව ‘කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය’ පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල මුර පොළට අනුයුක්ත පොලිස් සැරයනයෙකු යි.
සැකකාර සැරයනයා සොරාගත් බව කියන විවිධ වර්ගයේ හා විවිධ දිගින් යුත් වයර් තොගයක්, කිලෝ ග්‍රෑම් 01 ක් බර ගම් ටින් 01 ක්, යකඩ කපන කතුරක්, පුටු රෝද 09 ක්, වයර් සුද්ද කිරීමට යොදා ගන්නා ‘පේපර් කටර්’ වර්ගයේ පිහියක්, හා වෝල්ට් 1000 වර්ගයේ ප්ලෑෂ් ලයිට් 01 ක් මෙලෙස පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පොලිස් සුභසාධක ගොඩනැගිල්ලේ හයවන (6) මහලේ ශ්‍රවනාගාරයේ දොරක් කඩා ඇතුළු වී තිබූ කිසියම් පුද්ගලයකු ශ්‍රවණාගාරයේ විදුලි උපකරණවලට විදුලි සම්බන්ධතාවය ලබා දී තිබූ විදුලි රැහැන් පද්ධතිය කපා ඒ තුළ අඩංගුව තිබෙන තබ කම්බි 2025 අගෝස්තු මස 01 වෙනිදින ත් 2025 සැප්තැම්බර් මස 24 වෙනිදින ත් අතර කාලයේදී සොරාගෙන ඇති බව පවසමින් ගොඩනැගිලි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් කර තිබුණා.
ඒ අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරු පදිංචි බදුල්ල එගොඩ උයන පතනේ ගෙදර නිවස තුළ සහ තවත් කොටසක් විකුණා වෙළඳසලක තිබීයදීත් දේපළවලින් කොටසක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරනවා.
සැකකාර සැරයනයා සොරා ගත් දේපලවල වටිනාකම මෙතෙක් ගණනය කර නැතැයි ද පොලිසිය වැඩිදුරටත් පවසනවා.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වනවා ෴
ශිෂ්‍යත්වයෙන් 06 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
(14.10.2025 – hirunews.lk)
පස්වන (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද 31/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.
‘අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය’ මගින් නිකුත් කර ඇති මෙම අංක 31//2025 වක්‍රලේඛය https://moe.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ ෴
රු. දසලක්ෂයක අල්ලස් ගත් වාප්පු ලිපිකරු ලබන 28 දක්වා යළි රිමාන්ඩ්
(14.10.2025 – hirunews.lk)
ව්‍යාපාරිකයෙකු විසින් විදේශීය රටකින් ගෙන්වන ලද බහාලුම් පෙට්ටියක් නිෂ්කාශනය කරදීම සඳහා ඔහුගෙන් රුපියල් දසලක්ෂ හතලිස් පන්දහකට (10,45,000) ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වාප්පු ලිපිකරුවෙකු ලබන 28 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (14) නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ‘අල්ලස් කොමිසම’ විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව සැකකරු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනා.
සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට ‘රේගුවේ නිලධාරින්’ සාක්ෂි සඳහා කැඳවන අවස්ථාවන්වලදී නිසි ලෙස සාක්ෂි ලබා දීමක් සිදු නොකරන බව ‘අල්ලස් කොමිසම’ අධිකරණය හමුවේ දැනුම් දුන්නා.
සැකකරු සන්තකයේ ඇති බව කියන ලේඛන විමර්ශන සඳහා අවශ්‍ය බැවින් එම ලේඛන විමර්ශනය සඳහා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසටද ‘අල්ලස් කොමිසම’ අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එසේම සැකකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පාපොච්ඡාරණයක් සිදු කරන බවට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ ද සැකකරු සිය ස්ථාවරය වෙනස් කළ බව ද ‘රේගුව’ අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා අධිකරණය හමුවේ දන්වා සිටියේ ‘රේගුවේ ප්‍රකාශ’ ලබා නොදීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිම සුදුසු නොවන බවය. එලෙස ප්‍රකාශ නිසි ලෙස නොදෙන්නේ නම් අල්ලස් පනත යටතේ ප්‍රතිපාදන ඇති බව කියමින් සැකකරු ඇප මත මුදා හරින ලෙස නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා විමර්ශනයට සහාය නොදෙන්නේ නම් අල්ලස් පනතේ බලතල ප්‍රකාරව පියවර ගන්නා ලෙස ‘අල්ලස් කොමිසම’ට නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ හොරණ ප්‍රදේශයේ පදිංචි අජිත් අරුණ නැමැති වාප්පු ලිපිකරුවෙකි ෴
බොරු නඩු දාලා මිනිස්සු හිරේ යවන පොලිසිය… තව කරේ තියාගෙන පලයල්ලා (14.10.2025)
+
‘සුවසැරිය’ මංකොල්ල කාපු ජේවීපී ‘හිච්චි අබේ’ලා… මහපොළත් ඇතුලත්මුදලිගේ නෙවෙයි කියයි ද දල්ලෑ (14.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴