අතුරුදන්ව සිටි අංකුඹුරේ සිසුන් දෙදෙනාගේ (2) සිරුරු හමුවේ
(10.10.2025 – hirunews.lk)
අතුරුදන්ව සිටි මහනුවර අංකුඹුරේ පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ (2) මළ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී අද (10) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසනවා.
සිසුන් දෙදෙනා පෙරේදා (08) මහවැලි ගඟ අසබඩ ගැවසෙමින් සිටියදී අතුරුදන්ව තිබුණා.
ඔවුන් දියේ ගසාගෙන යන්නට ඇතැයි යන සැකය මත පොලීසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව වික්ටෝරියා ජලාශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද ඒ පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.
මළ සිරුරු හමු වූයේ සිසුන් පදිංචි සිටි අංකුඹුර ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් (2) පමණ දුරකින් හාරගම ප්‍රදේශයෙන් බව පොලීසිය පවසනවා.

වර්ෂා තත්ත්වයත් සමඟ පෙරේදා (08) දිනයේ මහවැලි ගඟේ ජල මට්ටම අවස්ථා කිහිපයකදී වැඩිවූ බව ප්‍රදේශවාසීන් පවසනවා.
මෙලෙස මියගොස් තිබුණේ තැන්නේකුඹුර ප්‍රදේශයම පදිංචිකරුවන් වන මහනුවර නගරයේ පාසලක 09 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් හා මහනුවර නගරයේ පාසැලක 08 වසරේ ඉගෙනුම ලබන එම්. මිලාන් නමැති සිසුන් දෙදෙනෙක් (2).
මෙම සිසුන් දෙදෙනා (2) පෙරේදා (08) දින පස්වරුවේ සුරතල් මසුන් මිලදී ගැනීම සඳහා දිගන ප්‍රදේශයට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර පසුව කීප දෙනෙකුම දැක ඇත්තේ ඔවුන් දෙදෙනා (2) තැන්නේකුඹුර පාලම යට මහවැලි ගංගාවේ ගල්තලාවක ඇවිදිමින් සිටි බවයි.
ප්‍රදේශයේ මසුන් මරන්නකු සඳහන් කළේ මෙම සිසුන් දෙදෙනා (2) එම ගල්තලාව මත සිටියදී ඔවුනට ජලයට නොබසින ලෙස තමා අවවාද කළත් තමන්ට පිහිනීමට හැකි බව එම සිසුන් පැවසූ බවයි.
නමුත් මද වේලාවකින් බලනා විට සිසුන් දෙදෙනා (2) එම ස්ථානයේ දක්නට නොලැබුණු බැවින් ඔවුන් ගල්තලාවෙන් ඉවතට ගිය බව සිතූ බවත් මඳ වේලාවකින් වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජලය වැඩි වූ බවත් හෙතෙම පවසා තිබුණා ෴
පිහිණුම් පුහුණුවේදී ගිලී මියගිය පෙර පාසල් සිසුවාගේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
(10.10.2025 – hirunews.lk)
පිහිනුම් තටාකයක ගිලී පෙර පාසල් දරුවෙකු (අවු:5) මියගිය සිද්ධියට අත්අඩංගුවට ගත් පිහිනුම් උපදේශකයන් ඇතුළු 7 දෙනා, ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් අද (10) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මිරිහාන ප්‍රදේශයේ පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ දරුවෙකු පාසලේ පිහිණුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලී ඊයේ (09) දින රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ නුගේගොඩ – තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි පෙරපාසල් යන දරුවෙක්.
අදාළ පාසලේ ගුරුවරුන් සමග දරුවන් පිරිසක් පිහිණුම් පුහුණුවීම් සදහා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පිහිණුම් තටාකයකට ඊයේ (09) පස්වරුවේ ගොස් තිබුණා.
පුහුණුකරුවන්ගේ මඟ පෙන්වීම යටතේ පුහුණුවීම් කරමින් සිටියදී සිසුවා දියේ ගිලී ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ පියා කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබුණා.
+++
+
නිදන් හෑරූ එකම පවුලේ සිව්දෙනෙක් (4) ඉඟිනියාගලදී අත්අඩංගුවට
(10.10.2025 – hirunews.lk)
ඉඟිණියාගල පොලිස් වසමේ කොක්නහර ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි එකම පවුලේ සිව්දෙනෙකු (4) අම්පාර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අම්පාර කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයට ලැබුනු තොරතුරක් අනුව අද (10) පස්වරුවේ මෙම වැටලිම සිදුකර ඇති අතර, එහිදී නිදන් හාරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු (4) හා උපකරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වතුර මෝටරයක්, විදුලිය සපයා ගැනීම සඳහා භාවිත කළ විදුලි රැහැන්, පුජා භාණ්ඩ, අඳුනක්, අලවංගු ඇතුලු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඉහත අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් දැනට දින කිහිපයක සිට මෙම කැණීම් කටයුතු සිදුකර ඇති බවයි පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගැනීමට හැකිවී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉඟිනියාගල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴
පොලිස් නිෂ්කාශන පද්ධතියේ බිඳ වැටීමක්
(10.10.2025 – hirunews.lk)
තාක්ෂණික හේතුවක් මත පොලිස් නිෂ්කාශන අයැදුම් කිරීමේ මාර්ගගත පද්ධතිය (Online) බිඳවැටීමක් සිදුව ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ නිෂ්කාශන වාර්තා අයැදුම්කරුවන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කණගාටුව පළ කර සිටින බවයි.
පොලිස් මූලස්ථානය නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වෙයි :
“පොලිස් නිෂ්කාශන වාර්තා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයැදුම් කිරීම සිදු කරන අතර 2025.10.10 වන අද දින අළුයම් කාලයේ සිට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම පද්ධතිය බිඳ වැටීමකට ලක්ව ඇත.
මේ වන විට මෙම පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර අයැදුම්කරුවන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කණගාටුව පල කර සිටී.
පද්ධතිය යථා තත්ත්වයට පත් කළ වහාම ඒ බව දැනුම් දීමට කටයුතු කරනු ලැබේ” ෴
පාදුක්කේ පාසලක සිසුන් රැසක් අසාත්මිකතාවක් හේතුවෙන් රෝහලේ
(10.10.2025 – hirunews.lk)
පාදුක්ක, වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් හතළිහකට (40) ආසන්න පිරිසක් ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසනවා.
එහිදී රෝහල් ගතකල දරු පිරිසෙන් විසි දෙනෙකු (20) පමණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති බවත්, තවත් විස්සකටකට (20) ආසන්න පිරිසක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කළා.
එමෙන්ම, දරුවන් තිදෙනෙකු (30) වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමටද කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අසාත්මිකතාවය ඇතිවීමට හේතුව වී ඇත්තේ පාසලේ උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසුව බවට සැකකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
+++
+
‘සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන’ අලුත් වෙයි : සිසුන්ට තවත් ප්‍රතිලාභ
(10.10.2025 – hirunews.lk)
පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන’ යටතේ, සිසුන්ට හිමි වන ප්‍රතිලාභ වැඩි කරමින් නව ගිවිසුමක් ඊයේ (09) දින අත්සන් තබා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනය සමගයි යාවත්කාලීන කර ඇත්තේ.
නව ප්‍රතිලාභ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
ඊට අනුව මෙම නව සංශෝධිත ප්‍රතිලාභ 2025 සැප්තැම්බර් 01 දින හෝ ඊට පසු සිදුවන සිදුවීම් සඳහා අදාළව ක්‍රියාත්මකයි.
නේවාසික ප්‍රතිකාර (රජයේ හෝ පෞද්ගලික රෝහල්) සඳහා රු. 300,000 ක් හිමි වෙනවා.
බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභය ලෙස රු. 20,000 දක්වා වැඩි කර ඇති බව සඳහන්.
අසාධ්‍ය රෝග ප්‍රතිලාභය රු. 1,500,000 සිට හිමි වෙනවා.
හදිසි අනතුරු හේතුවෙන් ඇතිවන අකර්මණ්‍යතා සඳහා හිමි වන ප්‍රතිලාභ ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා රු. 200,000 ක්,
සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා රු. 150,000 ක්,
තාවකාලික අකර්මණ්‍යතා සඳහා රු. 25,000 සිට රු. 100,000 දක්වා ප්‍රතිලාභ හිමි වෙනවා.
ජීවිත රක්ෂණාවරණය යටතේ, වාර්ෂික ආදායම රු. 180,000 ට වඩා අඩු පවුල්වලට අමතරව ‘අස්වැසුම’ වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය හෝ නීත්‍යනුකූල භාරකරුවන්ගේ වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000 බැගින් හිමි වෙනවා.
එක් මරණයක් වෙනුවෙන් වෙන් කරන උපරිම මුදල රු. 225,000 ක්.
2025.09.01 දිනෙන් පසු මෙම ප්‍රතිලාභය ලබා දීම සඳහා සලකා බලන වාර්ෂික ආදායම රු. 240,000 කට වඩා අඩු ආදායමක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
මෙම නිවේදනයට අනුව නව විශේෂ ප්‍රතිලාභ කිහිපයක් ද මීට ඇතුළත්.
මින් පෙර ආවරණය නොවූ, නිශ්චිත අසාධ්‍ය රෝග ඇතුළු රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්ට බාහිර ප්‍රතිලාභ ලෙස රු. 20,000 ක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
කොඳු ඇට පෙළ විකෘති වීම නිවැරදි කරන උපාංගය (Scoliosis Brace) සඳහා රු. 75,000 දක්වා ප්‍රතිලාභ වෙන් කර ඇති බව සඳහන්.
කර්ණ ශංඛ උපකරණ (Cochlear Implants) සඳහා වන වියදම වෙනුවෙන් රු. 75,000 දක්වා ප්‍රතිලාභ හිමි වනවා.
වෛද්‍ය උපාංග ආවරණය යටතේ හදිසි අනතුරකට අමතරව සාමාන්‍ය අසනීප අවස්ථාවක දී ද විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත ‘Lumber Guards and Cervical Collars’ උපාංග සඳහා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් පත්‍ර ඇතුළු සියලුම ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්’ ආයතනයේ ප්‍රාදේශීය ශාඛාවක් වෙත භාර දිය යුතු බව මෙහි වැඩිදුරටත් සඳහන් ෴
දිස්ත්‍රික්ක 12 ක් මී උණ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ
(10.10.2025 – hirunews.lk)
මෙරට දිස්ත්‍රික්ක දොළහක් මී උණ (Leptospirosis) ව්‍යාප්ත වීමේ වැඩි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (10) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී රෝහණ බණ්ඩාර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මෙහිදී මී උණ රෝගය සඳහා 2024 වසරේ සිට මේ දක්වා රෝහල්ගතව ඇති රෝගීන් සංඛ්‍යාව 21,963 ක් වන අතර, වාර්තා වූ මරණ සංඛ්‍යාව 2024 වර්ෂයේ 286 ක් බවත් ඔහු සඳහන් කළා.
එහිදී, මී උණ ව්‍යාප්තිය සඳහා අධි අවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක වශයෙන් ගාල්ල, රත්නපුර, කළුතර, කෑගල්ල, කුරුණෑගල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, ගම්පහ සහ මොණරාගල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම, රෝගය පාලනය කිරීමට අවශ්‍ය වන ‘ඩොක්සිසයික්ලින්’ (Doxycycline) නම් ඖෂධය රට තුළ ප්‍රමාණවත් තරම් ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
මී උණ පාලනය සඳහා මසකට ‘ඩොක්සිසයික්ලින්’ පෙති 10,000 ක් අවශ්‍ය වන බවත්, දැනටමත් මාස තුනකට (3) අවශ්‍ය තොග ගබඩා කර ඇති බවත්, තවදුරටත් මාස නවයකට (9) අවශ්‍ය ඖෂධ තොගයක් ද ඉදිරියේදී ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පිළිතුරු දෙමින් සඳහන් කළා ෴
රේගුවේ රඳවාගෙන ඇති වාහනවලට අදාළ පෙත්සම් 14 වැනිදා කැඳවීමට නියෝග
(10.10.2025 – hirunews.lk)
මෙරටදී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් පිටත වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින වාහන මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම් සමථයට පත් කිරීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා අදාල පෙත්සම් ලබන 14 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
සිය වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගැනීමට එරෙහිව වාහන ආනයනකරුවන් විසින් ගොනුකර තිබූ පෙත්සම් 15 ක් පමණ අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින මෙම වාහන කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට තිබෙන හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය දැනුම් දීමත් කර තිබෙන බව සඳහන් කළා.
ඒ අනුව අදාළ වාහන සමාගම් ඇපකරයක් හෝ බැංකු ඇප කරයක් තැබීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව වෙත ගෙවිය යුතු බදු ගෙවීමෙන් අනතුරුව අදාළ වාහන මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ඉක්‍රම් මොහොමඩ්, ෆයිසර් මුස්තාපා යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ, මෙම කොන්දේසි මත අදාල පෙත්සම් සමථයට පත් කර ගැනීමට තිබෙන හැකියාව දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව මෙම පෙත්සම් සමතයට පත්කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සදහා එය මේ මස 14 වැනිදා කැඳවන ලෙස නියෝග කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴