පාලන මිලට වඩා රු. 20 ක් වැඩි මිලට පානීය ජල බෝතලයක් විකුණු පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ හයක (6) දඩ

පාලන මිලට වඩා රු. 20 ක් වැඩි මිලට පානීය ජල බෝතලයක් විකුණු පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ හයක (6) දඩ


පාලන මිලට වඩා රු. 20 ක් වැඩි මිලට පානීය ජල බෝතලයක් විකුණු පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ හයක (6) දඩ

(09.10.2025 – hirunews.lk)

මිලි ලීටර් 500 පානීය ජලය බෝතලයක් එහි පාලන මිල වන රුපියල් 70 මිල ඉක්මවා රුපියල් 90 ක මිලකට අලෙවි කිරීම නිසා වරදකරු වූ පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ හයක (6) දඩ මුදලක් අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම වුණා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න හමුවේ යි.

කොලොන්නාව, කොලොන්නාව පාර, අංක 02, යන ස්ථානයේ පිහිටි ‘නන්දසිරි බේකර්ස් පුද්ගලික සමාගම’ වෙත මහේස්ත්‍රාත්තුමිය එසේ දඩ මුදලක් නියම කළා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ නියෝග පරිදි 2025 අප්‍රේල් මස 24 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකළ බව අධිකරණයට දැන්වුවා.

මෙම වරද සඳහා 2021 අංක 20 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධිත) පනත අනුව අවමය රු. ලක්ෂ පහේ (5) සිට උපරිමය රු. ලක්ෂ පනහක් (50) දක්වා දඩ නියම කළ හැකි බව පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් කරුණු දක්වා සිටි විමර්ශන නිලධාරී මහතා අධිකරණය හමුවේ දන්වා සිටියා.

එම කරුණු සලකා බැලූ ගරු මහේස්ත්‍රාත්තුමිය ඉහත වරද සඳහා රුපියල් ලක්ෂ හයක (6,00,000) දඩ මුදලක් අද (09) දින කරනු ලැබූ අතර එම සම්පූර්ණ දඩ මුදල අද (09) දිනයේම ගෙවා නිම කරන බව අදාළ සමග සමාගම අධිකරණය හමුවේ දන්වා සිටීයා ෴


ඇමති වසන්තට අපහාස කළ ෆේස්බුක් ගිණුම් 10 ක් CIDයට

(09.10.2025 – hirunews.lk)

අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී ‘නිමෝදි වික්‍රමසිංහ’ ඉලක්ක කර ගනිමින් අසත්‍ය හා අපහාසාත්මක සමාජ මාධ්‍ය සටහන් සංසරණය වීම සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ, ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි කිහිපයක් අමාත්‍යවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ, පවුලේ සහ වෘත්තීය කීර්ති නාමයට මෙන්ම ඔහුගේ දේශපාලන චරිතයට හානි කරන ගොතන ලද කථා, සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

අංක 20039516 යටතේ ගොනු කර ඇති මෙම පැමිණිල්ලෙන්, අදාළ පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය පිටු විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස CIDයෙන් ඉල්ලා තිබෙනවා.

පැමිණිල්ලේ නම් කර ඇති අය අතර නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, කේ.ඩබ්ලිව්. පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජෑස්, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසිකා විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා සහ ‘ගම්පහ පොදු ජන හඬ’ ෆේස්බුක් පිටුවද තිබෙනවා ෴


එකම නිවසක් තිදෙනකුට (3) විකිණීමට ඔප්පු ලියු නොතාරිස් රිමාන්ඩ්

(09.10.2025 – hirunews.lk)

කොල්ලුපිටිය මහල් නිවාස සංකීර්ණයක එකම නිවසක් අවස්ථා තුනකදී (3) පුද්ගලයන් තිදෙනෙකුට (3) විකිණීමට ඔප්පු සකස් කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් නොතාරිස්වරයා ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (09) නියෝග කළා.

සැකකාර නොතාරිස්වරයා වෙනුවෙන් සිදු කළ ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කොළඹ 04 පිහිටි STN Star Property Pvt Ltd නිවාස සංකීර්ණයේ නිවසක් විකිණිමට ආධාර අනුබල දුන් බව කියන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නොතාරිස්වරයෙකි.

නොතාරිස්වරයා මුල් ගිවිසුම අවලංගු නොකර වරින් වර මෙම පුද්ගලයන් තිදෙනාට (3) නිවාස ඒකක විකුණා ඇති බවට කොල්ලුපිටිය පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවා.

රුපියල් මිලියන 103 ක් ලබා ගෙන නිවාස ඒකකයක් දෙන බව පවසමින් වංචා කළ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන වලින් අනාවරණය කර ඇතැයි පැවසු පොලිසිය සැකකරු ඇප මත මුදා හැරියහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි බව අධිකරණය හමුවේ දන්වා සිටියා.

එසේම අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් වටිනා වෘත්තියක් නියෝජනය කරන නොතාරිස්වරයෙක් වන සැකකරු මෙලෙස කටයුතු කිරිමෙන් ඔහු ගැන විශ්වාසයෙන් මෙම පුද්ගලයන් කටයුතු කර ඇති බවය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ෴


‘අන්තර්ජාල ජාවාරමුන්’ට බැංකු ගිණුම වික්ක ‘ගිණුම් සහකාර’ මාට්ටු

(09.10.2025 – hirunews.lk)

සංවිධානාත්මක අන්තර්ජාල ජාවාරම් කල්ලියකට සිය බැංකු ගිණුම මුදලට විකුණා දැමීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෞද්ගලික ආයතනයක ගිණුම් සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම 32 හැවිරිදි සැකකරු, දින විස්සක (20) කෙටි කාලයක් සඳහා තම ගිණුම භාවිතා කිරීමට ඉඩ දීම වෙනුවෙන් රුපියල් 40,000 කට ආසන්න මුදලක් මෙම කල්ලියෙන් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අපරාධ කල්ලිය විසින් දින 20 ඇතුළතදී පමණක් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් ගිණුම හරහා ගනුදෙනු වී ඇති බවයි පොලිසිය කියා සිටින්නේ.

මෙම සිදුවීම බැංකු ගිණුම් මුදලට විකිණීමෙන් සිදුවන මහා පරිමාණ මූල්‍ය අපරාධ ජාලයක එක් පුරුකක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ WhatsApp සහ Telegram ඔස්සේ ‘අන්තර්ජාල ව්‍යාපාරයක්’ බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 5,42,877 ක මුදලක් වංචා කිරීමේ පැමිණිල්ලක් මතයි.

මෙම පුද්ගලයාට අයත් මුදල්වලින් කොටසක් අත්අඩංගුවට පත් වූ පුද්ගලයාගේ ගිණුමට බැර කර තිබීම හේතුවෙන් ඔහු පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා.

වයඹ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කළ සූක්ෂම මෙහෙයුමකදී, එම වංචා කළ මුදල් මෙම සැකකරුගේ ගිණුම ඇතුළු බැංකු ගිණුම් 6 ක් අතර බැර වී ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

මෙම වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු (2) මීට පෙර ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් මෙම ගිණුම් සහකාරවරයාගේ ගිණුමෙන් තවත් ගිණුම්වලට මුදල් ගිය ආකාරය පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරීමට පොලිසිය මේ වන විටත් අධිකරණ අවසරය ලබා ඇති බව ද වාර්තා වී තිබෙනවා.

මෙය පුළුල් පරාසයක පැතිරුණු ජාවාරමක් බවත්, WhatsApp සහ Telegram ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා ලබා දෙන මුවාවෙන් ජාවාරම්කරුවන් විසින් මෙය මෙහෙයවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා ෴


මහවැලියට බැස්ස නුවර සිසුන් දෙදෙනා (2) අතුරුදන්

(09.10.2025 – hirunews.lk)

මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයෙන් ඊයේ (08) පස්වරුවේ මහවැලි ගංගාවට බැස්සේ යැයි පැවසෙන පාසල් සිසුන් දෙදෙනකු (2) අතුරුදහන් වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ තැන්නේකුඹුර ප්‍රදේශයම පදිංචිකරුවන් වන මහනුවර නගරයේ පාසලක 09 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් හා මහනුවර නගරයේ පාසැලක 08 වසරේ ඉගෙනුම ලබන එම්. මිලාන් නමැති සිසුන් දෙදෙනෙක් (2).

මෙම සිසුන් දෙදෙනා (2) ඊයේ (08) දින පස්වරුවේ සුරතල් මසුන් මිලදී ගැනීම සඳහා දිගන ප්‍රදේශයට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර පසුව කීප දෙනෙකුම දැක ඇත්තේ එම දෙදෙනා (2) තැන්නේකුඹුර පාලම යට මහවැලි ගංගාවේ ගල්තලාවක ඇවිදිමින් සිටි බවයි.

ප්‍රදේශයේ මසුන් මරන්නකු සඳහන් කළේ මෙම සිසුන් දෙදෙනා (2) එම ගල්තලාව මත සිටියදී ඔවුනට ජලයට නොබසින ලෙස තමා අවවාද කළත් තමන්ට පිහිනීමට හැකි බව එම සිසුන් පැවසූ බවයි.

නමුත් මද වේලාවකින් බලනා විට සිසුන් දෙදෙනා (2) එම ස්ථානයේ දක්නට නොලැබුණු බැවින් ඔවුන් ගල්තලාවෙන් ඉවතට ගිය බව සිතූ බවත් මඳ වේලාවකින් වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජලය වැඩි වූ බවත් හෙතෙම පැවසුවා.

මෙම සිසුන් දෙදෙනා (2) යැයි හැඟෙන දෙදෙනෙකු (2) මහවැලි ගංගාවට බැස ගල්තලාවේ ඇවිදිමින් සිටින ආකාරය ද කීප දෙනෙකු දැක තිබුණා.

නමුත් අතුරුදහන්ව සිටින රාමචන්ද්රන් ජෙගදීස් සිසුවාගේ මව සඳහන් කරන්නේ තම පුත්‍රයාට පිහිනීමට නොහැකි බවත් ඔහු මහවැලි ගංගාවේ දිය නෑමට නොයන බවයි.

නමුත් තැන්නෙකුඹුර ප්‍රදේශයේම පුද්ගලයෙකු සඳහන් කළේ මෙම අතුරුදහන් වූ සිසුන් දෙදෙනා (2) දිය නෑම සඳහා මහවැලි ගඟට යන බව පවසමින් තම පුතුට ද අඬ ගසා තිබුණද තම පුතා ඔවුන් සමග නොගිය බවයි.

කෙසේ වුවද මහනුවර මූලස්ථාන පොලිසිය මෙන්ම බලගොල්ල පොලිසිය එක්ව අතුරුදහන් සිසුන් සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර නාවික හමුදාවේ කිමිදුම් කරුවන් යොදවා මහවැලි ගංගාවේ විමර්ශන කටයුතු ආරම්භ කරන බවද මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කළා ෴


‘බැකෝ සමන්’ගේ ඥාතීන්ගේ බැංකු ගිණුම් වලින් රු. කෝටි නවයක් (9) සංසරණය වෙලා – නිතිපති

(09.10.2025 – hirunews.lk)

‘බැකෝ සමන්’ගේ නැනා සහ මාමණ්ඩිගේ බැංකු ගිණුම්වලින් රු. කෝටි 9 කට ආසන්න මුදලක් සංසරණය වි ඇති බව නිතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් අද (9) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේදී යි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘බැකෝ සමන්’ගේ බිරිඳ අද (09) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය මේ බව සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් සඳහන් කර සිටියේ, මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ,

“ස්වාමීනි 2024, 2025 වර්ෂ වල මෙම සැකකාරිය සහ ඇගේ සමීපතයින් විසින් විශාල මුදලක් උපයා තිබෙනවා. බැකෝ සමන්ගේ බිරිඳගේ සහෝදරිය වන ‘දේශානි ලක්‍ෂානි’ නැමැත්තියගේ බැංකු ගිණුම් හරහා 2024 වර්ෂයේ රු. ලක්ෂ දෙසිය හතරක (204) මුදලකුත්, 2025 වර්ෂයේ රු. ලක්ෂ පන්සිය හැට තුනක (563) මුදලකුත් සංසරණය වී තිබෙනවා.”

“මෙම සැකකාරියගේ පියා වයස අවුරුදු පනස් හයක් (56) වයසැති ගඩොල් කපන පුද්ගලයෙක් වන බව දක්වා තිබුන ද ඔහු 2025 වර්ෂයේ රු. ලක්ෂ 114 ක මුදලක් ඔහුගේ බැංකු ගිණුම් හරහා හුවමාරු කර තිබෙන බවයි.”

“ස්වාමීනි මෙලෙස අති විශාල ලෙස බැංකු ගිණුම් හරහා මුදල් සංසරණය වී තිබීමෙන් පැහැදිලි වෙනවා මෙම සැකකාරිය මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව එම ජාලය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කරනවා. ස්වාමීනී ඇඹිලිපිටිය ජාවාරමේදී හෙළිවී තිබෙනවා මෙම සැකකාරිය පලා ගොස් වවුනියාව ප්‍රදේශයෙන් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බව. ස්වාමීනි මෙම සැකකාරිය කලින් විවාහ යේ දරුවාගේ උප්පැන්න සහතිකය වෙනස්කර තමයි ව්‍යාඡ ලෙස විදෙස් ගමන් බලපත්‍ර අරන් තිබෙන්නේ, ස්වාමීනි ඒ සම්බන්ධයෙන් වවුනියා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස මෙම සැකකාරියට නොතිසි නිකුත් කර තිබෙනවා.”

“ස්වාමීනි, සැකකාරිය සතු ඩුබායි රටෙහි බැංකු ගිණුම් හතරක් (4) තිබෙන බවත් එම බැංකු ගිණුම් පිළිබඳව එෆ්.අයි.යු. එකට මේ වන විට කරුණු වාර්තා කර තිබෙනවා. මෙම සිද්ධියට මෙම සැකකාරිය සම්බන්ධ බවට මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ තුනක් (3) සටහන් කරගෙන තිබෙනවා.”

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුහර්ෂි හේරත් සඳහන් කර සිටියේ, සැකකාරිය සතු බැංකු ගිණුම් 5 ක් ඇතුළු ඇයගේ සමීපතීන්ගේ බැංකු ගිණුම් 13 ක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බවයි.

සිද්ධියට අදාළ සැකකාරිය සම්බන්ධයෙන් 2020 වර්ෂයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව එම ප්‍රකාශවල සඳහන් වන බවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය කරුණු දැක්වූවා.

සැකකාරිය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකාරිය සම්බන්ධයෙන් මහාධිකරණයේ තහනම් කළ ගිණුම් සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, සැකකාරිය සම්බන්ධයෙන් 54 වගන්තිය යටතේ මත්ද්‍රව්‍ය ඡාලයට සම්බන්ධව තිබෙන කරුණු පිළිබඳ ව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ෴


රට පුරා ‘ග්‍රාම නිලධාරීහු’ වර්ජනයකට සැරසෙති

(09.10.2025 – hirunews.lk)

පසුගිය රනිල් වික්‍රමසිංහ රජයෙන් මීට අවුරුදු දෙකකට (2) පෙර අනුමත කළ ලීටර් 20 ක ඉන්ධන දීමනාව මේ ආණ්ඩුව මංගල අයවැයෙන්ම කප්පාදු කළ බවත් එම දීමනාව මෙවර අයවැයෙන් ලබා දීමට කටයුතු නොකළොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවත් ‘සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ’ ලේකම් ජගත් චන්ද්‍ර ලාල් පවසනවා.

රට පුරා විසිරී සිටින ග්‍රාම නිලධාරීන්ගෙන් සියයට අනූ පහක්ම (95%) ‘ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය’ සහ ‘ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය’ යන සංගම් දෙකේ (2) සමාජිකයන් බවත් එම සංගම් දෙකම (2) ඒකාබද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගය අරඹන බවත් ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක් වූ හෙතෙම මෙසේ ද පැවසීය :

“හදිසි මරණයක්, ආපදාවක් වුණත් රැයක් දවාලක් නැතිව අපිට යන්න වෙනවා. කොට්ඨාසයේ යම් යම් අවශ්‍යතා සඳහා ග්‍රාම නිධාරියාට අනිවාර්යයෙන් යන්න වෙනවා. ඒවගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් නිතර නිතර යන්න වෙනවා. දැන් ලැබෙන රුපියල් 600 න් ඒ දේවල් කරන්න බෑ. ග්‍රාම නිලධාරීන්ට වෙලා තියෙන්නෙ පඩියෙන් තෙල් ගහගෙන රාජකාරි කරන්න” ෴


බූස්සේ පාතාලයන්ගේ මැදිරිවලින් ජංගම දුරකථන 29 ක් සොයා ගැනේ

(09.10.2025 – hirunews.lk)

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ඒ, සී හා ඩී වාට්ටුවල තිබී ජංගම දුරකථන 29 ක් සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ, බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී එම ජංගම දුරකථන තොගය සොයාගත් බවයි.

ජංගම දුරකථන සොයාගත් වාට්ටු තුල ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා ෴


දේවානි ජයතිලකට වැඩ වරදින ලකුණු – පඬු කරඳ ගහෙන් පරිසර ප්‍රේමය පාවිච්චි කළා (09.10.2025)

+


‘සුව සැරිය’ නම අයින් කරන්න කියලා – ඇම්බියුලන්ස් එකට JVP එකේ පාට ගාන්න යනවා (09.10.2025)

+


නල්ලතන්නිය තේ කර්මන්තශලාවක් ගිනිගනී සේවකයෝ එතන යකා නටයි (09.10.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *