ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29 ත් යන වයස් කාණ්ඩයේ HIV ආසාදිතයන් වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29 ත් යන වයස් කාණ්ඩයේ HIV ආසාදිතයන් වැඩිවීමක්


ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29 ත් යන වයස් කාණ්ඩයේ HIV ආසාදිතයන් වැඩිවීමක්

(06.10.2025 – 20:21 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29 ත් යන වයස් කාණ්ඩයේ HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය.

HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි.

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම ප්‍රහාර එල්ල කර ශරීරය දුර්වල කිරීම මෙමඟින් සිදුවන අතර කැස්සක්, හෙම්බිරිස්සාවක් වැනි කුඩා හෝ රෝගයක් වැළඳීමෙන් මරණය පවා සිදුවීම මෙහි ඇති භයානකම තත්ත්වයය.

HIV ආසාදිතයින් නිර්මාණය විය හැකි ප්‍රධාන ආකාර ත්‍රිත්වයක් (3) සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

  1. HIV රෝගියෙක් සමඟ ලිංගික සබඳතා පැවැත්වීම

HIV රෝගියෙක් සිප වැළඳගැනීමෙන් මෙම රෝගය බෝවන්නේ නැහැ. ලිංගික තරල හරහායි මේ රෝගය බෝවෙන්නේ. ගුද මාර්ගික සංසර්ගය HIV ඇතිවීමට ප්‍රධානම හේතුවක්. මෙවැනි අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා නිසා ශරීරගත විය හැකි HIV වෛරසය මුළු ශරීරය පුරා පැතිරීමට ගතවෙන්නේ පැය 72ක පමණ කෙටි කාලයක්.

  1. අවිධිමත් ලෙස එන්නත් කටු භාවිතය

විවිධ මත්ද්‍රව්‍ය එන්නත්කරගැනීමට එකම එන්නත් කටු භාවිත කිරීම මේ තත්තවයට හේතුවන්නට පුළුවන්.

  1. ආසාදිත ගර්භණී මවගෙන් දරුවාට HIV ආසාදනය වීමයි

HIV ආසාදිත සහ ඒ සඳහා ඖෂධ ලබානොගන්නා මවකගේ මව්කිරි හරහා දරුවාට රෝගය බෝවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනාවරණ කරගෙන තිබෙනවා. නමුත් මෙහි සුබවාදී කරුණ නම් මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය වීම සාර්ථකව අවම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට 2019 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය හිමි වී තිබීමයි.

ඒ අනුව අනාවරණ වන්නේ රුධිරය සහ ලිංගික ශ්‍රාව හරහා පැහැදිලිවම HIV රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවය.

ආසාදිතයන්ගේ වාර්තාවීම සැලකිල්ලට ගැනීමේදී 2021 වර්ෂයේදී මෙරටින් ආසාදිතයන් 411 ක්, 2022 දී 607 ක්, 2023 දී 697 ක්, 2024 දී 824 ක් සොයාගෙන තිබේ.

ඒ අතුරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේ පුරුෂයන්ගෙන්. එය අනුපාතයක් ලෙස ගතහොත් 7:1 කි.

ඒ අනුව ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

2024 වසරේදී නව HIV ආසාදිතයන් 824 ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවට අනාවරණ වී තිබේ.

ඉන් 47 දෙනෙකුට දිවි අහිමි වී ඇත්තේ එය, AIDS තත්ත්වය දක්වා වර්ධනය වීමෙනි.

ශ්‍රී ලංකාව, HIV ව්‍යාප්තිය අඩු මට්ටමක පවතින රටක් ලෙස සැලකුණත්, පසුගිය වසරේදී නව ආසාදිතයන් වාර්තා වීමේ සැලකිය යුතු වැඩිවීමක් තිබීමම අනතුරුදායක බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අවුරුදු 15-29 යන වයස්වල පසුවන තරුණ පිරිස අතර HIV ආසාදන වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි හඳුනාගැනීමත් අවධානයට ලක් කළ යුතු කරුණකි.

එසේනම් ඔබ HIV ආසාදිතයෙක් ද යන්න නිවැරදිව හඳුනාගන්නේ කෙසේද?

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මඟින් මේ සඳහා නොමිලේ සහ පෞද්ගලිකත්වය සුරැකෙන පරිදි පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සපයන අතර ශ්‍රී ලංකාව පුරා පිහිටි ලිංගාශ්‍රිත රෝග සායන 41 කදී HIV ආසාදිතයන්ට නොමිලේ ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලබාදෙයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ක්ෂණික දුරකථන අංකයට (070 373 3933 , 011 266 7163) අමතා රහසිගත සේවාවක් ලබා ගැනීම ද තවත් ක්‍රමයකි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක KNOW FOR SURE යෙදුම හරහා මේ පිළිබඳ සියලු තොරතුරු මනාව දැනගත හැකිය.

එසේම HIV TEST KIT භාවිතයෙන් ස්වයං මුඛ තරල පරික්ෂාවක් හරහා HIV ආසාදිතයෙක් ද නැද්ද යන්න හඳුනාගත හැකිය.

බොහෝ පාර්ශ්වයන්හි අදහස නම් පාසල් දරුවන් පවා මේ තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බැවින් පාසල් අධ්‍යාපනයේ සිට මේ පිළිබඳ දැනුම සමාජගත කළ යුතු බවය ෴


පිහිනුම් තටාකයට වැටුණු 17 හැවිරිදි පාසල් සිසුවා මරුට

(06.10.2025 – hirunews.lk)

පාසලේ පිහිනුම් තටාකයට වැටුණු 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු බවයි පොලිසිය පවසන්නේ.

අදාළ ශිෂ්‍යයා තම පංතියේ මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී අහම්බෙන් බෝලය පිහිනුම් තටාකයට වැටී තිබෙනවා.

එම බෝලය ගැනීමට ගිය සිසුවා මෙසේ දියේ ගිලී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ ෴


‘කළුබෝවිල චූටි’ගේ බඩුත් එක්ක අයියා, මලෝ මාට්ටු

(06.10.2025 – hirunews.lk)

‘හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 3 කට ආසන්න තොගයක් සමග ‘කළුබෝවිල චූටි’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඔහුගේ සහෝදරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්යෙන් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වුණා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත කණ්ඩායමක් විසින් යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටින බවට ‘පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව විශේෂ මෙහෙයුම් අංක තුන ඒකකය’ට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව එම ඒකකයේ නිලධාරීන් බෝකුන්දර මංසන්ධියේ හදිසි මාර්ග බාධක යොදා විශේෂ මෙහෙයුමක් දියත් කළා.

එහිදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) පරීක්ෂා කළ පොලිසිය එම යතුරුපැදියේ පසුපස අසුනේ සිටි පුද්ගලයාගේ ගමන් මල්ලේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 100 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 478 ක් සොයාගත්තා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා (2) පොලිසිය අත්අඩංගුවට ගත් අතර, පොලිසිය පැවසුවේ එලෙස අත්අඩංගුවට පත් වුණේ ‘කළුබෝවිල චූටි’ නමැති 23 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ 25 හැවිරිදි ඔහුගේ වැඩිමහල් සහෝදරයා බවයි.

ඔවුන් පැමිණි යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය දැනට විදේශගතව සිටින ‘කළුබෝවිල අවිශ්ක’ට අයත් ඒවා බවයි.

මීට සතියකට පමණ ඉහතදී ‘අවිශ්ක’ විසින් මෙම සැකකරුවන් දෙදෙනාට (2) දැනුම් දී ඇත්තේ බෙල්ලන්විල ඇවිදින මංතීරුව අසළ ගසක් යට හෙරොයින් සහිත බෑගයක් තබා ඇති අතර එහි ගොස් එම බෑගය ගන්නා ලෙසයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා (2) එම ස්ථානයට ගොස් මත්ද්‍රව්‍ය සහිත බෑගය ලබාගෙන තිබු අතර, එහි හෙරොයින් කිලෝ ග්‍රෑම් 3 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 ක් තිබි ඇති බව පොලිසිය සඳහන් කළා.

ඉන් සතියකට පමණ පසුව කළුබෝවිල අවිශ්ක විසින් ඇමතුමක් ලබාදෙමින් ඔවුන්ට යළි පවසා ඇත්තේ අදාළ මත්ද්‍රව්‍යවලින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 ක් සහ අයිස් ග්‍රෑම් 500 ක් පිළියන්දලට රැගෙන යන ලෙසයි.

එම මත්ද්‍රව්‍ය තොගය තැබිය යුතු ස්ථානයක් පසුව දැනුම් දෙන බව ද ඔහු පවසා ඇති අතර, කළුබෝවිල චූටි සහ ඔහුගේ සහෝදරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වුණේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පිළියන්දලට රැගෙන යන අතරවාරයේදීයි.

අත්අඩංගුට ගත් සැකකරුවන් දෙදෙනා (2) වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබෙනවා ෴


විමල් ආවේ නෑ – තංගල්ල පොලිසිය

(06.10.2025 – hirunews.lk)

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීමට අද (06) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණියේ නැත.

ඒ, අද (06) දින පැමිණීමට නොහැකි බැවින් ඒ සදහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසට ඔහු ඉල්ලීමක් කර ඇති නිසා බව තංගල්ල පොලිසිය පවසනවා.

විමල් වීරවංශ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ සිදුවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව සිදුකළ විමර්ශනයකදී ‘තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය’ විසින් අත් අඩංගුවට ගනු ලැබ රැඳවුම් නියෝග මත සිටින ‘පුවක්දණ්ඩාවේ සනා’ නමැති සැකකරු පිළිබඳව කළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමසීමට ඔහු ‘තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය’ට කැඳවා තිබිණා.

එම දැනුම්දීම පෙරේදා (05) විමල් වීරවංශ මහතා පදිංචිව සිටින හෝකන්දර දකුණ, මංගල මාවතේ පිහිටි නිවසේ සිටි චිත්‍රාදේවි නමැති කාන්තාවට මාළඹේ පොලිසිය විසින් බාරදුන් බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා ෴


නිධානයක් ගොඩ ගන්න ඇවිත් ව්‍යාපාරිකාවගේ රු. ලක්ෂ 22 ක රන් කොල්ල කාලා

(05.10.2025 – hirunews.lk)

පල්ලම ආඩිගම වැටිය ගල්වල ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් රවටා නිධානයක් ලබා ගැනිම සඳහා තැන්පත් කිරීමට යැයි පවසමින් ඇගේ රුපියල් ලක්ෂ 22 කට ආසන්න රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එකම පවුලේ මව, පියා හා දියණිය පල්ලම පොලිසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය ඌරාපොත්ත ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි සැමියා, 48 හැවිරිදි බිරිඳ හා ඔවුන්ගේ දියණීය යැයි කියන 22 හැවිරිදි තරුණියක් බව පොලිසිය පවසනවා.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව වසර 10 කට ආසන්න කාලයක් ඩුබායි රාජ්‍යයේ සේවය කර ඇති අතර ඇය දෙදරු මවක් බව පොලිසිය සඳහන් කරනවා.

මෙරටට පැමිණීමෙන් පසු ඇයගේ පල්ලම කම්මන්දළුව ප්‍රදේශයේ පිහිටි තවත් ඉඩමක කුලි පදනමට රැඳී සිටි එකම පවුලේ සැමියා, බිරිඳ හා දියණිය එක්ව මෙම සොරකම සිදුකර ඇති බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇති ආකාරයට අදාල සැකකරුවන් තමන්ගේ කම්මන්දළුව නිවසේ රැඳී සිටින අතරතුරදී එම නිවසට ආරක්ෂාවක් කිරීම සදහා යැයි පවසමින් අවස්ථා කිහිපයකදී රු. ලක්ෂ පහකට (5) ආසන්න මුදලක් ලබා ගෙන තිබු බවත් එම නිවසේ ආරක්ෂාව මෙම සොරකම කළ සැකකාර පවුලේ කාන්තාව විසින් සිදුකළ බවත් කියයි.

ඒ පිළිබඳව ඇතිවූ විශ්වාසය මත ඔවුන් ගැන සැකයක් නොතිබුණු බවද ඇය පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

ඒ සමඟම ඉකුත් 04 වැනිදා තමන් පදිංචි ආඬිගම වැටියගල්වල නිවසට පැමිණ එම ඉඩම තුළ නිධානයක් ඇති බව පවසා සිටි බව දන්වා ඇති අතර එය ලබා දීමට හැකි බව අත් අඩංගුවේ පසුවන කාන්තාව පවසා ඇතැයි වාර්තා වෙනවා.

මෙම සැකකරුවන් දැඩි පරිශ්‍රමයක් දරා පැමිණිලිකාරියව නිධානය ලබා ගැනිමට කැමති කර ගැනිමෙන් පසු එය ලබා ගැනීමට පෙර මෙම කාන්තාවගේ රන් ආභරණ සියල්ල වළ දැමිය යුතු බවත් එය මෙම කාන්තාව ඉදිරියේ සිදු කරන බවට දැනුම් දී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

තම නිවසේ කුලී පදනමට සිටින නිසා මොවුන් පිළිබඳව සැක නොසිතා අදාල කාන්තාව ඩුබායි රැකියාව අතරතුරදි මිලදී ගත් පවුම් නවයකට (9) ආසන්න රන් මාලයක්, පෙන්ඩන්ට් දෙකක් හා රන් වළලු දෙකක් වල දැමීමට සුදු රෙදි කැබැල්ලක ඔතා ලබා දී තිබු බව සඳහන්.

එසේ ලබා දුන් රන් ආභරණ සියල්ල රු. ලක්ෂ 22 කට ආසන්න බවත් එය මෙම කාන්තාව ඉදිරියේදීම මෙම සැකකාරිය වල දමා ඇති බවත් එම ස්ථානයේ ඇගේ සැමියා හා දියණිය ද සිටි බවත් පැමිණිල්ල පොලිසියට පවසා තිබෙනවා.

රන් ආභරණ වල දැමීමේන් පසු යාතිකා කරමින් සිටියදී සැකකාර කාන්තාව නිවෙස් හිමි කාන්තාවට නිවසට ගොස් පිරිසිදු ජලයට කහ දියර සකස් කර රැගෙන එන ලෙසට දන්වා පිටත් කර තිබු බවත් කියයි.

පසුව නිවෙස් හිමි කාන්තාව කහ වතුර රැගෙන ඒමෙන් පසු එම ස්ථානය පුරා ඉසිමින් නැවතත් වතාවත් කරන බවට පෙන්වමින් පසුව මෙම ස්ථානයේ බහිරවයකු සිටින බවත් බහිරවයා යවන තුරු වල දැමු රන් ආභරණ ලබා ගැනීම නොකරන ලෙසට පවසමින් සැකකාර කාන්තාව ඇගේ සැමියා හා දියණිය සමඟ පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වෙනවා.

වල දැමු රන් ආභරණ ගොඩ ගැනීමට නිවෙස් හිමි කාන්තාව මෙම සැකකාර කාන්තාවට අවස්ථා කිහිපයකදි දුරකථන ඇමතුම් ලබා ගෙන තිබුණ ද එයට සම්බන්ධ කර ගැනිමට නොහැකිවීම නිසා ඇතිවු සැකය මත ඊයේ (04) එම ස්ථානය හාරා රන් ආභරණ ගොඩ ගැනීමට කටයුතු කළ නිවෙස් හිමි කාන්තාවට හමුවි ඇත්තේ තමන් ලබා දුන් රන් ආභරණ නොව රෝල්‍ගෝල්ඩ් යැයි පැවසෙන වෙනත් සුර හා තවත් කිහිපයක් බව කියයි.

එයින් පසු සිද්ධියට මුහුණ දුන් කාන්තාව පල්ලම පොලිසියට පැමිණිලි කර තිබුූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකාර පවුලේ තිදෙනා (3) පල්ලම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පල්ලම පොලිසීයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්. රාජකරුණාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පතිරණ ඇතුළු නිලධාරීන් පිරිසක් පරික්ෂණ සදහා එක්ව සිටියා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රන් බඩු මිළට ගන්නා මුවාවෙන් බොරු ඒවා මාරු කළ යුවළක් දැලේ

(05.10.2025 – hirunews.lk)

මහනුවර නගරයේ ස්වර්ණාභරණ අලෙවි ස්ථානවලට ව්‍යාජ රන් භාණ්ඩ රැගෙන ගොස් රන් භාණ්ඩ මිලට ගන්නා මුවාවෙන් ඒවා සැබෑ රන් භාණ්ඩවලට මාරුකරන තරුණ යුවළක් මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තළාතුඔය ඇතුළුගම පදිංචි මෙම යුවළ තම විවාහය සඳහා රන් භාණ්ඩ මිලට ගැනීමට අවශ්‍යය බව පවසමින් ස්වර්ණාභරණ අළෙවි ස්ථානවලට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබෙන බව මහනුවර පොලීසියේ අපරාධ අංශය ප්‍රකාශ කළා.

අවුරුදු 23 හා 20 වයසේ පසුවන මෙම යුවළ කාලයක් තිස්සේ මෙම සොරකම සිදුකර තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සී.සී.ටී.වී. කැමරා දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණයකින් පසුවයි.

සැකකාර යුවළ මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔවුන් සොරකම් කර උකස් තබන ලද රන් භාණ්ඩ කිහිපයක් සොයා ගත් බව ද ඒවාහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති බවත් පොලීසිය පැවසුවා.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රි රාජපක්ෂ යන අයගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා ෴


පන්සලකට හොරු පැනලා

(05.10.2025 – hirunews.lk)

විහාරස්ථානයක ආවාස ගෙයක් බිඳ රු. අට ලක්ෂ විසිදාහක (8,20,000) මුදලක් සොරාගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා.

ඊයේ (04) උදෑසන කාලයේ ඒ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනේ ආවස ගෙට ඇතුළු වූ අයෙකු එලෙස මුදල් සොරාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴


කැනඩා යවන්න මුදල් ගැරූ ව්‍යාපාරිකයා දැලේ

(05.10.2025 – hirunews.lk)

කැනඩාවේ රැකියා ලබා දෙන බවට පවසමින් පුද්ගලයින් ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ විදේශ රැකියා ආයතනයක අතරමැදි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බියගම පොලිසිය විසින්.

මෙම සැකකරු පුද්ගලයින් දෙදෙනකු (2) ගෙන් රුපියල් ලක්ෂ පහමාරක (5½) මුදලක් ලබා ගෙන තබූ බවට කළ පැමිණිල්ලකට අනුව බියගම ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සැකකරු බියගම ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකට අතරමැදියෙකු ලෙස සම්බන්ධ වෙමින් මෙම මුදල් වංචාව කර තිබෙන බව ‍පොලිසිය සඳහන් කරනවා.

මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 3 ක් හා තවත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක් (2½) සැකකරු විසින් ඉකුත් පෙබරවාරි මාසයේදී වංචා කර තිබුණා.

මෙම සැකකරු කලක් අරණායක ප්‍රදේශයේ පදිංචි වි සිටියදී ඔවුන්ගෙන් මෙසේ මුදල් ලබා ගෙන තිබෙන අතර පසුව ඔහු තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබූ බවට පොලිසිය කරුණු ‍හෙළිකරගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගන්නා ලද සැකකරු හැටපස් (65) හැවිරිදි තැනැත්තකු වන අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳව බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් විජේසිංහගේ උපදෙස් අනුව එහි විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලන්ත රාජකරුණා හා උප පොලිස් පරික්ෂක සුමිත් රෝභණ යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *